ඉස්කෝලේ යන කාලේ සිංහල සාහිත්‍යය විශයයට ජන ගී එහෙම ඉගෙන ගන්නකොට අපිට නොයේක වර්ගවල ජන ගී හම්බ වෙලා තියෙනවා. පාරු කවි, පතල් කවි, කරත්ත කවි, ගොයම් කවි, පැල් කවි වගේ අටෝරාසියක් වර්ගවල කවි ඉගෙන ගෙන ඇති. ඒ කාලේ ඕවා උගන්නපු ටීචර් ඔය එකේක රාජකාරියේ තියෙන භයානක කමයි ඒ රාජකාරිය කරන කොට තියෙන කම්මැලිකම සාංකාව මග හැර ගන්න කවි කියන හැටි එහෙම පණ පිහිටුවලා රසට කියලා දුන්නා. ඔය හන්දම ඒ කාලේ මගේ හිතේ ලොකූ උණක් තිබුනා කවමදාක හරි ගහක් උඩ අටවපු පැලක රෑක් ගත කරලා ඒ අත්දැකීම කොහොමද කියලා රසවින්දනය කරන්ඩ ඕනයි කියලා.
ඒ දවස්වල මම ඕක අපේ තාත්තට කිව්වේ මේ පැති වල කුඹුරු තිබ්බට පැලක් අටවගෙන පරිස්සම් කරන්න ඕන තරම් සත්තුන්ගෙන් කරදර සිද්ද වෙන්නේ නැති හන්ද පැල් ගහගෙන ඉන්ඩ ඕන නෑයි කියලා. මේ පැති වල නම් රෑකට මීයෙක් දෙන්නෙක් පැනලා වක්කඩවල් වල ගුල් හාරන ඒවයි දවාලට මී හරක් පැනලා කුඹුරු කෑලි මඩ කරලා දාන ප්‍රශ්නයි ඇරුනහම වෙන සත්තුන්ගෙන් හාකි වෙනවා අඩුයි. අඩුයි කියන්නේ නැතිම තරම්.
මීයන්ට නියරවල් උඩින් අමු ගස්ලබු කෑල්ලක් හරි මීපාසානම් ටිකක් හරි තිබ්බොත් මී කරදරේ ඉවර කරගන්ඩ පුලුවන්. හරකුන්ගේ කරදරේට නම් හරක් අයිතිකාරයන්ට සද්දයක් දාලා ආවහම නිස්කාරනේ කුඹුරුවලට හරක් පනින කරදරේ අඩු කරගන්ඩ පුලුවන්.