25 December 2023

සුබ නත්තලක් වේවා

 සෑහෙන කාළයකට පස්සේ බ්ලොග් එක මතක් වෙලා මේ පැත්තට ආවේ. දවස දවස ගෙවිල ගිහින් අවුරුද්දත් ඉවර වෙන්නත් දවස් කිහිපයයි තියෙන්නේ. ඊට කලින් නත්තල ඇවිල්ලා නෙහ් තියෙන්නේ.

එහෙනම් ඒකට සුබ පතලා ඉම්මුකෝ..

ලෝ වැසි සියළු කිතුණු බැතිමතුන්ට සුබම සුබ නත්තලක් වේවා කියලා පතනවා.

මේ නත්තලෙන් පස්සේවත් ගාසා තීරයට සාමය උදා උනොත් හොඳයි. නිස්කාරණේ සෑහෙන මනුස්ස ජීවිත ගොඩක්, දේපල රාශියක් හානි වෙන එක විතරයි මේ යුද්ධයෙන් වෙන්නේ. එහෙනම් අපි හැමෝමත් එකතුවෙලා ඒ ප්‍රාර්ථනය කරමු.



එහෙනම් මම ගියාවේ.

09 October 2023

සලංහන්තේ කළාකරුවාණනි !

 ජැක්සන් ඇන්තනී දිවියෙන් සමු ගනී !

අද උදෑසනම මා හෙලකුරු වලින් ලද පළමු ප්‍රවෘත්තිය වේ. මෙය පුවත ඇස ගැටුමත් සමඟ සියුම් දුකක් මා තුළින් හට ගැනුණ බව මා පැවසිය යුතු ය. ඒ මා ප්‍රිය කරන කලාකරුවන් ගොන්නට අයත් කළාකරුවන්ගෙන් අයෙකි.

ජැක්සන් ඇන්තනීගේ දේශපාලන දැක්ම මට අපූල ය. ! මා ඒ ගැන කතා නොකරමි !

ඒ හැරුණකොටගෙන ජැක්සන් ඇන්තනී ගැන කතා කරතහොත් ඔහු දක්ෂ කළාකරුවෙකි. සංචාරකයෙකි. වේදිකා කාට්‍ය ශිල්පියෙකි. ගායකයෙකි.

කොටින්ම ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත යන කියමන අතේ පැළවෙන බොරුවක් ය යන වග සනාත කළ අයෙකි ය.

මා මුලින්ම ජැක්සන් ඇන්තනීව හදුනාගන්නේ අවාරේ සිරිපා කරුණා කළ සංචාරකයෙක් ලෙස ය. ඔහුගේ අවාරයේ සිරිපා කරුණාව මා තුළ වූ සංචරණයට ඇති ආසව තීව්‍ර කරවී ය.

ඉන් පසුව මා ඔහුව හන්දුනාගන්නේ මධුර ජවනිකා වේදිකා නාට්‍යයේ අපූරු ගීය ගායනයත් සමග ඔහු දැක්වූ නර්තන හැකියාවෙන් ය. මහවැලි ගඟ දිගේ, සළංහන්තේ හා කළු ගඟ දිගේ වැඩ සටහන් වලින් ද මා ඔහුගේ සංචාර ගැන ඉගෙන ගත්තෙමි.

මීට අමතරව මා ඔහුගේ ලේඛන කළාවට ට බොහෝ සෙයින් ඇළුම් කරමි. ඔහු විසින් ලියූ ඔහුගේ විත්ති කතාන්තරය වන පනාපුත්‍රගේ මතක වස්තුව ද අවසන් වශයෙන්  ඔහු විසින් රචිත කන්ද උඩ ගින්දර යන කෘතීන් ද්විත්වය තුලින් මා ඔහුගේ ලේඛන හැකියාව හදුනා ගත්තෙමි.

රිදී තිරයෙන් අග්නි දාහය, මහරජ ගැමුණු හා ඇඩ්‍රස් නෑ යන සිනමා පට ද මා ඔහුගේ රංගන හැකියාවන් හදුනාගත් අවස්ථාවන් ය.

මීට මාස 14කට උඩදි වූ අනතුරකින් (වන අලි ගැටුමකින්) ඔත්පලව දැඩි සත්කාර ඒකකයේ ඇතුලත් කරවූ ඔහු අද සිය දිවියෙන් සමුගෙන තිබේ.

28 September 2023

හවස් වෙද්දිවත් පායයිනේ

අද නිවාඩු දිනයකි.
මා වෙනදා මෙන් උදෑසන හයට පමණ අවදි වූවෙමි. කෙතරම් උත්සහ කලද නිවාඩු දිනවල පවා උදෑසන හයෙන් පසුව නිදා ගැනීම මා හට කළ නොහැක්කකි. එක් අතකට එය වාසියක් උවත් අනෙක් අතට මා විඳින කරුමයක් මැයි.  පෙරදා රාත්‍රියේ පටන් ගත් මුරුගසන් වරුසාවේ අඩුවක් තිබුණත් කළු වලාකුලින් බර අඳුරු අහසක් මිසෙක පායන හිරුගෙන් පිබිදෙන පැහැදිලි අහසක ඡායා මාත්‍රයකවත් සේයාවක් දිස් නොවිනි.

අද දින මා විසින් නිම කළ යුතු කාර්‍යයන් කිහිපයක් තිබුණත් ඒ සියල්ල කිරීමට මා තුල වූ උද්‍යෝගය අදුරු අහස විසින් උදුරාගෙන ඇති බව මට හැඟුණි. මා ගෙයි ඉදිරිපස දොර හැරගෙන එකක් පසුව එකක් වැටෙන වැහි බිඳු දිහා බලාපොරොත්තු සුන් වූ හැඟීමකින් බලා සිටියෙමි. මගේ උද්‍යෝගය සුන් වූවත් මුළු පරිසරයම ප්‍රබෝධමත් වූ සෙයක් දිස් වේ. ගහකොළ පවා ප්‍රබෝධමත් වූ සෙයක් දිස් වේ. පහුගිය දිනවල එකා සීරුවට වැටුණ චණ්ඩ හිරු රැසින් කහ ගැහී වියැලී ගිය මිදුලේ තිබෙන තණ පලසත් අළු ගසා නැගිටින ෆීනික්ස් කුරුල්ලෙක් සේ ලා දළු දමමින් නැගී සිටින්නේ මින් පෙර අත්විඳි නියඟය ගැන කිසිදු වග විභාගයක් නැති සේ ය.

27 September 2023

රුපියල

 මේ රුපියලේ කාසි නම් මහ සාපයක් වෙලා තියෙන්නේ දැන් නම් !

මේ කාළේ හැටියට රුපියලේ කාසියකින් කරන්න පුලුවන් කිසිම දෙයක් නෑ. අපි පොඩි දවස්වල නම් රුපියලක් කඩේට අරගෙන ගියොත් සත දහයේ ටාටා 10ක් ගන්ඩ පුලුවන්. එහෙම නැත්නම් සත පනහේ කිරිටොපි හරි පොල් ටොපි හරි දෙකක් ගන්ඩ පුලුවන්. එහෙමත් නැත්නම් රුපියලේ ටොපියක් හරි ගන්ඩ පුලුවන්.

දැන් මේ කිසිම දෙයක් කරන්ඩ බෑ. !

කොටින්ම රුපියලක් ඉතුරු හම්බ වෙනවා නම් ඒක අරගෙනත් වැඩක් නැති ගානයි (එහෙම ඉතුරු හම්බ වෙන එකකුත් නෑ මම හිතන්නේ...)

රුපියලේ කාසි නිකන් ගෙදර ගොඩ ගැහෙන එක විතරයි වෙන්නේ.

මොකද ඉතින් රුපියලේ කාසි වලින් 10ක් කඩේට දීලා මොනාහරි ගන්න ගියොත් කඩේ මුදලාලි එච්චර හිත හොඳින් නෙමෙයි ඒක ගන්නේ. බස් එකක කොන්දොස්තරට රුපියලේ කාසි වලින් දුන්නොත් හොඳවයින් කතාවක් අහ ගන්ඩ පුලුවන්.

Por Thozhil

 කාලෙකට පස්සේ දෙමල චිත්‍රපටයක් බලන්න සෙට් උනා. මම චිත්‍රපට වලින් ආදර කතා නම් බලන්න කැමතිම නෑ. මම බලන්නෙම අපරාද ගණයේ හරි ත්‍රිලර් ගණයේ චිත්‍රපට... ඒවායේ ටිකක් කම්මැලි නැතුව බලන්න පුලුවන් ගතියක් තියෙනවා.

ඒත් සමහර ත්‍රිලර් කතා වල මැද්දෙන් මැද්දෙන් ආදර කතා සිංදු වගේ ඒවා දාලා මුළු චිත්‍රපටයම චොර කර ගත්තු වෙලාවලුත් නැතුවම නෙමෙයි.

 ඒ ඇරෙන්න බහුතරයක් කතා නම් හොදයි.

මේකත් මම අර කියපු ජාතියේ ත්‍රිලර් කතාවක්. මේ කතාව ගෙතෙන්නේ  දාම ඝාතකයෙක්ව හබාගෙන යන පොලිසියක් වටායි. කුතුහලය නම් නොඅඩුවම තියෙනවයි කියලා කියන්න පුලුවන්.

එකම විදිහට සිදුවන කාන්තා මරණ කිහිපයක් සිදු කරන දාම මිනිමරුවෙක්ව කොටු කරගන්න දරන හරි අපූරු වෑයමක් මේ චිත්‍රපටය පුරාම දිගහැරෙනවා....

කතාවේ නම තමයි Por Thozhil !

26 September 2023

කොස් ගහට පර්මිට්

 පහුගිය ටිකේ ගේ ඉස්සරහ වැවිලා තිබ්බ කොස් ගහක් කපලා දාන්න උනා. ඒකට හේතු භූත උනේ කොස් ගහේ යට කොටහා දිරාගෙන ගිහින් තිබ්බා. දිරලා විතරක් යෑ බෙණයක් මතු වෙලා තිබ්බා. ඔය ගහ කඩාගෙන වැටුනොත් එහාපැත්තේ වත්තේ ස්ලැබ් එක උඩට තමා පත බෑ වෙන්නේ.

ඒ නිසා ඊට කලින්ම කපලා දාන්න ඕන කියලා තමයි සූදානම් උනේ.

වෙන ගස් වගේ නෙමෙයි කොස් ගහක් හෝ දෙල් ගහක් කපනවා නම් පර්මිට් ගන්න ඕන. එන්න ඒ ක්‍රියාපටිපාටිය ගැන පොඩි අදහසක් දෙන්නයි මම මේ පෝස්ට් එක දාන්නේ.

මෙහෙමයි වැඩේ වෙන්නේ.

මුලින්ම ඉඩමේ ඔප්පුවේ කොපියක් ගහගන්න ඕන. ඒකටම ඉඩමේ ග්‍රවුන්ඩ් ප්ලෑන් එකේ කොපියත් අමුණන්ඩ ඕන. ඊට පස්සේ ඉඩමේ පත් ඉරු අංකය හොයාගෙන ඉඩම් රෙජිස්ටාර් කාර්යාලයට යන්න ඕන. එතනදි ඉඩමේ පත් ඉරු ගන්න ඕන.

ඉඩමේ පත් ඉරු ගන්න එක වරුවක වගේ සුළු වැඩක් !

ඔන්න දැන් ලියකියවිලි වලින් ගොඩක් දුරට හරි.

ඊට පස්සේ ඉඩමේ පත් ඉරුවයි, ඔප්පුවේ කොපියකුයි, ඉඩමේ ග්‍රවුන්ඩ් ප්ලෑන් එකයි අරගෙන ගිහින් ග්‍රාම නිලධාරි තැනට දීලා කොස් ගහ කපාගන්න පර්මිට් එකක් ගන්න ඕන කියලා කිව්වහම එයා ෆෝරම් කොළයක් අරගෙන පුරවනවා.

ඒ පුරවලා දීපු පෝරම් කොළයයි මම ඉහත කියපු ලියවිලියි එකතු කරලා එකට අමුණලා අපට ආපහු දෙනවා. ඔය සෙට් එක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අරගෙන ගිහින් ඉඩම් අංශයට බාර දෙන්න ඕන.

18 September 2023

කන්ද උඩ ගින්දර

 සෑහෙන කාලෙකින් බ්ලොග් අඩවියේ ලිපියක් ලියලා දාන්න බැරි උන නිසා අද මොනවමහරි කොටනවයි කියලා හිතලා මේ පැත්තේ ආවා. මම පහුගිය සෙනසුරාදා පොඩි එක්කෙනාගේ මොන්ටිසෝරියට ඕන කරන පොතක් ගේන්න ගුණසේන එකට ආවා. ඒකෙන් පොඩි එක්කෙනාට ඕන කරන පොත තෝරගෙන ඊට පස්සේ නවකතා ටික අතරේ පොඩි රවුමක් දැම්මා.

මීට අවුරුදු දෙකකට උඩදි නම් මාසෙකට පොතක් දෙකක් ගන්න එක පුරුද්දක් වෙලා තිබ්බා. දැන් නම් පොත් ගන්නේ නැති තරම්. පොතුත් ගණන් තමයි ඉතින්. ඊට වඩා යූ ටියුබ් එකේ කරක් ගහන්න පුරුදු වෙලා පොත් කියවද්දි පොඩි කම්මැලිකමක් එනවා.

හරි ඒවයින් කාරි නෑ. මම ගුණසේන එකේ පොත් රාක්ක අතරේ හක්කලං කරනකොට දැක්කා අපේ ජැක්සන් ඇන්තනී ලියපු කන්ද උඩ ගින්දර කියන පොත. ඒක අතට අරගෙන පිටුවක් දෙකක් කියවගෙන යනකොට ඒක ලියැවිලා තියෙන භාෂා විලාශය නිසා පොත සම්පූර්ණයෙන්ම කියවලා බලන්න ආසාවක් ආවා.

03 June 2023

පින්බර පොසොන් මංගල්ලයක් වේවා !

 මිහිඳු හිමියන් ප්‍රමුඛ පිරිවර ලංකාවට බුදු දහම ගෙන ආ ඒ අසිරිමත් පොසොන් පොහෝ දිනය අදයි.

මෙදාපාර වෙසක් එකට වඩා පොසොන් එක සරුයි වගේ. දකින දකින හැම තැනම දන්සල් තියෙනවා. නිකන්ම දන්සල් නෙමේ. බත් දන්සල් ! පාන් දන්සල් !

ඒ වගේම තමයි හවසට සිසිල් බීම දන්සලුත් හෙන ගොඩක් තියෙනවා. මමත් දවාලේ බයිසිකලයෙන් රවුමක් ගිහින් දන්සල් තොගයක් වැඳගෙන ආවා.

ආයේ හවස් වෙලා පොඩි රවුමක් දාල එන්ඩ ඕන. කට්ටියම මේ පොසොන් දවස සතුටින් ගත කරන්ඩෝන එහෙනං !

 


05 May 2023

සුබ වෙසක් මංගල්ලයක් වේවා !

 අද වෙසක් පෝය දවස  !
පහුගිය ටිකේම වේලිලා යන්නම පායලා ඕං අද උදේ ඉදන් වහින්න ගත්තා කියහන්කෝ. ඉදලා ඉදලා කාලයකට පස්සේ තමයි වෙසක් බලන්නවත් යන්න හම්බ උනේ ඒකත් අල වෙන පාටක් තමයි උදේ ඉදන් දකින්න හම්බ උනේ.

ඒත් හිතපු තරම් කරදරයක් මේ වෙලාව වෙනකොට නම් නෑ වගේ. දැන් නම් ආකාහේ ටිකක් වැහි වලාකුළු නැති ගතියක් තමයි තියෙන්නේ. තවත් හවස් වෙනකොට නම් කොහොමට හිටීවිද දන්නේ නෑ. ඒ නිසාම පුංචවත් බයිසිකලයේ දාගෙන පොඩි රවුමක් ගිහින් ආවා.

ඒ යන මගදි පොඩි පොඩි සිසිල් පැන් දන්සල් දෙක තුනකුත් වැඳගෙනම ආවා. පහුගිය අවුරුදු කිහිපයම ඒ තරම් හොඳට වෙසක් සමරන්න හම්බ උනේ නැති නිසා මෙදා අවුරුද්දේ ටිකක්  ජයටම වෙසක් සමරණ ගතියක් රට පුරාම දකින්න හම්බ වෙනවා. එහෙං මෙහෙං තොරණක් දෙකක් උනත් දකින්න පුලුවන් අවුරුද්දක්.

මේ විදිහට ගියොත් ඊළඟ අවුරුද්දේ මීට වඩා වෙසක් සැමරීමක් අත්දකින්න පුලුවන් වේවි.

එහෙනං හැමදෙනාටම සුබ වෙසක් මංගල්ලයක් වේවා !

14 April 2023

සුභ අලුත් අවුරුද්දක් වේවා

 


සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔබටත් ඔබේ පවුලේ සියලු දෙනාටමත් සාමය, සතුට හා සෞභාග්‍යය පිරි සුභ අලුත් අවුරුද්දක් වේවා... !!!

இனிய சிங்கள தமிழ் புத்தாண்டு நல்வாழ்த்துக்கள்… !!!

Wish you a Happy and Prosperous Sinhala & Hindu New Year… !!!

10 April 2023

ඉඳිගහ තොටුපොළ

 මේ දවස්වල පොඩි එක්කෙනාගේ මොන්ටිසෝරියේ නිවාඩු නිසා එයාට ටිකක් කම්මැලියි. මොන්ටිසෝරි දවස්වල නම් ඉතින් උදේ වරුවේ යාළුවෝ එක්ක සෙල්ලම් කරන්න, ටීචර් එක්ක එක එක ක්‍රියාකාරකම් එහෙම කරන නිසා පාළුවක් නෑ.  ආයේ ඉතින් මොන්ටිසෝරි ඇරෙන වෙලාවට එයාට හම්බ වෙන අයිස් ක්‍රීම් එක එහෙම මේ ටිකේ ලැබෙන්නේ නැති නිසා පුංචට පොඩ්ඩක් කම්මැලි ගතියකින් ගෙවෙන දවස් ටිකක් තමයි මේ ගෙවෙන්නේ.

කොලූගේ කම්මැලිකම නැති වෙන්නත් එක්ක බයිසිකලයේ දාගෙන පොඩි රවුමක් ගිහින් ආවා. කොලූ හරි ආසයි ගඟ බලන්න, ඒත්තෙක්කම මාළු බලන්න. ඉතින් අපි දෙන්න බයිසිකලයෙන් ගියා ඉඳිගහ තොටුපොළ බලන්න. 

ඉඳිගහ තොටුපොළ කියන්නේ බොල්ගොඩ ගඟට අයිති තවත් තොටුපොළක්. මීට කලින් බොල්ගොඩ ගඟේ රුක්ගහ තොටුපොළ, මහබෙල්ලන තොටුපොළ ගැන එහෙම මම පොඩි ලිපි ලීවා මතකැති නෙහ්.

28 March 2023

හිච්චි උපාලිගේ මෙගා වංචාව

 කාලෙන් කාලෙට මොන මොනවා හරි සිද්ධි ඇවිල්ලා බුකිය ඇඉලෙන එක සාමාන්‍ය දෙයක් වෙලා. මේ දවස්වල බුකිය හොඳටම ඇවිලිලා තියෙන්නේ විනී ප්‍රඩක්ශන්ස් ලාගේ පට්ට ස්කෑම් ප්‍රොමෝශන් වීඩියෝ එක නිසා. වීඩියෝ එකේ නම හිච්චි උපාලි !

ඉතින් මේ වීඩියෝ එක දැක්කට පස්සේ මටත් හිතුනා වීඩියෝ එක පිළිබඳ මගේ සත දෙක ගැන පෝස්ට් එකක් ලියලා දාන්න.

මුලින්ම පොඩි පැහැදිලි කිරීමක් කරලා ඉන්නම්කෝ මොකද්ද මේ ස්කෑම් එකෙන් වෙන්නේ කියලා. එක්තරා රෙස්ටුරන්ට් එකක ශාඛාවන් යුරෝපා රටවල් වල ආරම්භ කරන්න යනවලූ. කලින් වීඩියෝ එකක නම් කිව්වේ ලැට්වියාවෙත් මේ රෙස්ටුරන්ට් එකක ශාඛාවක් දාලයි තියෙන්නේ කියලා. ඉතින් ඒකේ වැඩ කරන්න ඕන කරන ශ්‍රමිකයන්ව ලංකාවෙන් තෝරගෙන අදාල යුරෝපා රටවල් වලට නොමිලේම පිටත් කරනවයි කියලා තමා මේකීන් කියැවෙන්නේ. ඊට අවශ්‍ය වෙන වීසා ෆී එක, ටිකට් වී වගේ ඔය එකී මෙකී නොකී හැම ෆී එකක්ම අදාල රෙස්ටුරන්ට් එකෙන් දරනවයි කියලා තමයි වීඩියෝ එකෙන් කියැවුනේ. අයදුම් කරුවන්ට කරන්න තියෙන්නේ ෆොර්ම් එක ඩවුන්ලෝඩ් කරලා රුපියල් 1500ක මුදලක් රෙස්ටුරන්ට් එකේ ගිනුමට බැර කරලා ෆෝර්ම් ඒක එවන එක විතරයි. එතැනින් එහාට හැමදේම ඒගොල්ලෝ බලාගන්නවා කියලා තමයි ඔය ස්කෑම් එකෙන් කිව්වේ.

මුලින්ම කියන්න ඕන ඔය වීඩියෝ එකට සල්ලි ගෙවපු රෙස්ටුරන්ට් කාරයාගේ මාර්කටින් මැනේජර් හෝ මාර්කටින් ටීම් එකේ ප්ලෑන් එක පට්ටම පට්ට ! සුපිරි ඩයල් එකක් හොඳටම හිතලා ගහපු මාස්ටර් ප්ලෑන් එකක් තමයි මේ ප්‍රොමෝශන් එක.

ප්ලෑන් එක සුපිරියක් වෙන්නේ මෙහෙමයි. පළවෙනිම දේ තමයි ප්ලෑන් එක ක්‍රියාත්මක කරගන්න තෝරගත්තු කස්ටමර් බේස් එක ! විනීලා එක්ක ගොඩක්ම එකතු වෙලා ඉන්නේ ගම්වල ජීවත් වෙලා ඉන්න දුප්පත්, එහෙත් ගේමක් ගහලා ගොඩ එන්න දඟලන කොල්ලෝ කෙල්ලෝ සෙට් එකක්. බොහෝ දුරට මේ අය ටිකක් ඉමෝශනල් සෙට් එකක්. කොටින්ම ඕනෑම ප්‍රශ්නයකට මොළයට කලින් හදවත ඉස්සරහට දාලා කටයුතු කරන සෙට් එකක්. ඒ නිසා ඒ අය අතරේ ස්කෑම් එක ස්ප්‍රෙඩ් කරන එක සෑහෙන්න ලෙහෙසියි.

දෙවෙනි කාරණාව තමයි මේ දවස්වල රටේ තියෙන ආර්ථික අර්බුදත් එක්කම මිනිස්සු උත්සහ කරමින් ඉන්නේ කොහොමහරි ගේමක් ගහලා රට ගිහින් එහේ ස්ථීරවම ජීවත් වෙන්න පුලුවන් විදිහේ ප්ලෑන් එකක් ගහන්න. ඒ නිසා මේ වගේ ස්කෑම් එකක් මේ කාලේ හැටියට ඉක්මනින්ම පැතිරෙන්න ලේසියි.

තුන්වෙනි කාරණාව තමයි ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ ගොඩක්ම අඩු මුදලක්. අඩු මුදලක්, වැඩි පිරිසකගෙන් ලබා ගැනීමටයි බලාපොරොත්තු වෙන්නේ. හොර ඒජන්සි, පිරමිඩ් කාරයෝ වගේ ලොකු මුදලක් එක සැරේම ඉල්ලන්නේ නෑ. අනික නැති උනත් නැති වෙන්නේ රුපියල් 1500ක් වගේ ගොඩක්ම පොඩි මුදලක් නිසා ගොඩක් දෙනා නඩු කියන්න යන්නෙත් නෑ. බොහෝ දුරට පොලිසි යන එකකුත් නැති වෙයි. ඒ නිසා වැඩේ චොර උනත් ඔහේ අත ඇරලා දාන සීන් එකක් තමයි තියෙන්නේ. 

24 March 2023

ගුරුවරු, දඬුවම් හා මානව හිමිකම්

 මේ බ්ලොග් සටහන දමන්න හිතුනේ අපේ පුතාගේ කලින් ටීචර් කෙනෙක් දාලා තිබුන පෝස්ට් එකක් හන්දා. ඔන්න මම ඒ පෝස්ට් එක පහලින් දාන්නම්.



මේ පෝස්ට් එකේ විදිහට කියැවෙන්නේ දරුවෙක්ව හොඳ මාර්ගයට ගන්න දඬුවම් කරන්නම ඕන කියලනේ. දඬුවම් කලහම දෙමව්පියන් මානව හිමිකම් කොමිසමට යනවයි කියනවනේ.

මම දන්න විදිහට දෙමව්පියන් හැම දඬුවම් දීමකටම මානව හිමිකම් එකට දුවලා නෑ. ප්‍රවෘත්ති වල ගියපු හැම මානව හිමිකම් කේස් එකකින්ම දරුවට සෑහෙන හානියක් වෙච්ච සිද්ධි තිබුනේ. එක්කො කන් අඩි පැලෙන්න ගහලා එක්කෝ තුවලාව වෙන්නම ගහලා වගේ සිද්ධි තමයි අපට අහන්න දකින්න හම්බ උනේ. ඒවට ඉතින් මානව හිමිකම් කොමිසමට නොයා ඉන්නේ කොහොමද ?

21 March 2023

බිලියන 3ක්

 මගේ සත දෙකේ කතාව ලියලා ඉවර වෙනවත් එක්කම වගේ දැක්කේ බිලියන 3ක කතාවක්.

අද 2023 අවුරුද්දේ මාර්තු මාසයේ 21 වෙනි අඟහරුවාදා දිනයක්. අද වන විට ලංකාව වැටි ඇති ආර්ථික අර්බුධයෙන් ගොඩ ඒමට යම්කිසි සහනයක් වශයෙන් අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 3ක් ලැබීමට නියමිතයි.

එක අතකට මේ ප්‍රවෘත්තිය සතුටට කාරණයක් ද එහෙමත් නැත්නම් තවත් ණය ගොන්නක හිරවීමක් ද  යන්න අදහසක් මා තුල නම් නෑ.

ඒත් කොහොමින් කොහොමහරි ජන ජීවිතය යථා තත්වයට පත් වනවා නම් එයම අපේ සතුටට හේතු වනු ඇත.

මේ වන විට රටේ වත්මන් ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කරන්නේ රනිල් වික්‍රමසිංහ වේ.

මේ ටික ලියලා තියාගන්න එක පොඩ්ඩක් වටිනවයි කියලා හිතුන නිසා බ්ලොග් පෝස්ට් එකක් දැම්මේ. පස්සේ කාලෙක ඡන්ද වලදි තීරණ ගන්න පහසුවක් වෙන්නේ නැතෑ. :)

මගේ සත දෙක

 දවසක් අපේ කම්පනි එකේ මීටිමක් තිබුණා. එකේදි මැනේජ්මන්ට් එක මතු කරපු ප්‍රශ්ණයක් ගැන එක එක්කෙනා අදහස් පළ කලා. ඔක්කොම අදහස් පළ කළේ ඉංග්‍රීසියෙන්. මෙහෙම අදහස් පල කිරීම් වලදි එක්කෙනෙක් කතාව පටන් ගත්තේ,

"හිය ඊස් මයි ටූ සෙන්ට්ස් අබවුට් දිස් ඉශූ..." කියලා.

ඉතින් මට ඔය ටූ සෙන්ට් එහෙම නැත්නම් සත දෙකේ ඉඩියම් එක ගැන තව ටිකක් දුරට හොයලා බලන්න ඕන කියලා හිතුනා. මට ඇත්තටම ඕන උනේ ඔය ඉඩියම් එකේ තේරුමට එහා ගිය ආරම්භක කතාව හොයාගන්න...

ඔහොම අන්තර්ජාලය පුරාම පීරලා බැලුවහම මට මෙහෙම උත්තරයක් හම්බ උනා. ඒක තියෙන්නේ බයිබලයේ. බයිබලයේ ජේසුස් වහන්සේගේ ඉපදීමේ ඉඳලා උකුත්වෙන අවස්ථාව දක්වා කතාව ලියවිලා තියෙන්නේ ප්‍රධාන වශයෙන් කතුවරු හතර දෙනෙක්ගෙන්. එක්කෙනෙක් ලූක්. අනිත් එක්කෙනා මාර්ක්. තව එක්කෙනෙක් ඉන්නවා මතෙව් කියලා. අන්තිමයා තමා ජොහාන්. මෙයාලට සුවිශේශකවරු කියලා කියනවා.

ඔය හතරදෙනාගෙන් මාර්ක් කියන ලේඛකයා ලියපු පොඩි කතාවක ඉන්නවා දිළිඳු වැන්දඹුවක්. දන්නවනේ වැන්දඹුවක් කියන්නේ ස්වාමි පුරුෂයා මළ ස්ත්‍රීයයක් කියලා.

10 March 2023

අපූරු පංකාවක්

 මාතර තානායමේදි අපි හරි අපූරු සුළං පංකාවක් දැක්කා. සාමාන්‍යයෙන්  අපි දැකලා තියෙන්නේ අවර පෙත්තක් විදුලි මෝටරයක ආධාරයෙන් කරකවලා සුළං ලබාගන්නා ආකාරයෙ විදුලි පංකා නෙහ්. මේක එහෙම එකක් නෙමෙයි.

මම කියනවට පොඩ්ඩක් මේ පහල වීඩියෝ එකේ තත්පර කිහිපය බලලා ඉන්ඩකෝ.


 මේක ටිකක් පැරණි තාලේ සුළං පංකාවක්. මේ පංකාව නිසාම මාතර තානායමේ තියෙන පෞරාණික ගතිය සෑහෙන්න වැඩි කරන්න සමත් වෙනවා. (මට ඒක වීඩියෝ එකකට හරියටම රෙකෝර්ඩ් කරගන්න බැරි උනා. මේක අන්තර්ජාලයෙන් හොයාගත්තු වීඩියෝ එකක්)


09 March 2023

මාතර කොටුව

 මාතර තානායමේදි උදේම නැගිට්ටා.කීයට නිදියෑවත් උදේ හය වෙද්දි වගේ අනිවාර්යෙන්ම මට ඇහැරෙනවා. එතනින් එහාට ඉතින් ආයේ නින්ද යන්නෙම නෑ. නැගිටලා උදේ තේ එකකුත් බීලා ඊට පස්සේ ටවුම පැත්තේ පොඩි රවුමක් දාලා එන්න ආවා. ඒ වෙනකොට පොඩි පහේ මීදුම් ගතියකුත් තිබුනා. ඒ මුහුද ළඟ හන්දා වෙන්ඩැති.

පන්ති යන්ඩ ආපු ළමයි කිහිපදෙනෙක් එහෙම බස් ස්ටෑන්ඩ් එකට වෙලා හිටියා. ඊට අමතරව ඉතින් දුර ගමන් සේවා වල සෙනග ලෝඩ් කරන බස් ටික පෙලට ස්ටෑන්ඩ් එකේ නතර කරලා තිබ්බා.

මම ස්ටෑන්ඩ් එකට ගිහින් අනිත් රවුම කොටුව පැත්තට ආවා. ගාලු කොටුව තරම්ම මාතර කොටුව ජනප්‍රිය නොවුනට මාතරත් ලන්දේසින් විසින් ගොඩනගපු කොටුවක් තියෙනවා. ඒ කොටුවේ ඔර්ලෝසු කණුවකුත් තියෙනවා.

වෙලාව හම් හරියට වැඩ කරන්නේ නෑ. :)

මේ පින්තූරය අන්තර්ජාලයෙනි.

08 March 2023

මාතර තානායමේ ගෙවු දිනක්

 කුශ්ඨරාජගල බලලා ආයෙම ගාළු පාරට එනකොට වෙලාව හැන්දෑවේ දෙක විතර වෙලා තිබුණා. ඊට පස්සේ අපි ගාළු පාරේ මාතර දිහාවට එනකොට පාර අයිනේම තිබ්බ පොඩි කඩේකින් දවල්ට කෑවා. දැන් ඉස්සර වගේ නෙමේ කඩේකින් පොඩි දෙයක් කෑවත් රුපියල් 500ට එහා ගානක් යනවා.

දවල්ට කාලා අපි කෙලින්ම ආවේ මාතර තානායමට. මාතර තානායම තියෙන්නේ ටවුන් එකේමයි. හරියටම මාතර - කොළඹ හයිවේ බස් නැවතුම්පොළ කිට්ටුවෙන් තියෙන්නේ. තානායම මුහුද කිට්ටුවෙන්ම තියෙන නිසා මුහුදෙන් නැගෙන අතොරක් නැති රල හඬ හැම වෙලේම ඇහෙනවා. ඒත් එක්කම මුහුදු හුළඟ නිසා කොච්චර රස්නයක් තිබ්බත් ඒක වැඩිය දැනෙන්නේ නෑ. ටවුන් එක කිට්ටුවෙන්ම තිබ්බත් ටවුන් එකේ තියෙන ලොකු ඝෝෂාවක් නම් මේ තානායමට ඇහෙන්නේ නෑ.


 

07 March 2023

කුශ්ඨරාජගල

 අපි මාතර යන ගමනේදි මට ඕනකමක් තිබුණා වැලිගම හරියේ තියෙන කුශ්ඨරාජගල බලලා එන්ඩ. ඒක තියෙන්නේ ගාල්ල - මාතර පරණ පාරේ. ගාල්ල පැත්තේ ඉදලා එනකොට කුඹල්ගම දුම්රිය ස්ථානය පහු කරල ටික දුරක් වැලිගම පැත්තට එන්ඩ ඕන.

මේ ගල ට කුශ්ඨරාජගල කියලා නම වැටිලා තියෙන්නේ හතරවන අග්බෝ රජතුමාට වැළදුන කුශ්ඨ රෝගයක් සුව වෙන්න කියලා මේ ආසන්නයේම තිබ්බ අග්‍රබෝධියට බාරයක් වෙලා තියෙනවා. ඒ බාරය වෙලා තියෙන්නේ තමාට වැළදුන කුශ්ඨ රෝගය සුව උනොත් මේ පර්වතයේ නාථ දෙවියන්ගේ පින්තූරයක් කරවනවයි කියලා. කොහොමහරි රජතුමාගේ රෝගය සුව උනාට පස්සේ දැන් තියෙන ගලේ නාථ දෙවියන්ගේ පින්තූරයක් ඇඹෙව්වාලු.


 

කුශ්ඨය හැදුන රජතුමා බාර වූ ගල පස්සේ කාලෙක කුශ්ඨරාජගල උනා ලූ. මේ කුශ්ඨරාජගලේ තියෙන්නේ මහායාන බුදු දහමට අදාල අවලෝකිතේශ්වර බෝසත් පිළිමයක් ලූ.

06 March 2023

මාතර යන ගමන් ගාළු කොටුවේදී

 සෑහෙන කාළයකට පස්සේ සති අන්තයේ දීර්ග නිවාඩුවක් ලැබුන නිසා පොඩි ට්‍රිප් එකක් යන්න ප්ලෑන් කලා. එක එක තැන් ටිකක් යෝජනා කරගෙන එයිනුත් අන්තිමේදි තීරණය කර ගත්තේ දකුණු රටට ගිහින් එනවයි කියලා. දකුණු රටේ මාතරට ගිහින් දවසක් එහේ ඉඳලා එන්න තමයි අන්තිම අදහස උනේ.

හයිවේ එකේ නිකන්ම මාතරට ගිහින් එනවට වඩා ගාල්ලේ ගිහින් ගාළු කොටුවත් බලලා එතනත් ටික වෙලාවක් ඉඳලා මාතර එමුයි කියලා මම යෝජනා කළා. ඒකට අපේ උන්දැත් කැමති උන නිසා අපි උදෙන්ම හයිවේ එකට දාලා පින්නදූවෙන් ගාල්ලට ආවා.

ඒ එනකොට උදේ හත හමාර වගේ උනා. ඒ වෙලාවට නම් අවුව අඩු නිසා ගාළු කොටුවේ ඇවිදින එකේ අමුතු ගතියකුත් තියෙනවා. ගාළු කොටු බැම්මේ ඉඳලා ඈත මුහුද බලාගෙන ඉන්න එකත් මරු හැබැයි. ඒත් ගාළු කොටුව ඇතුලේ තියෙන පාරවල් වල ඇවිදින කොට නම් හිතෙන්නේ වෙනම රටකට ගියා වගේ. හැම පාරකම තියෙන ගොඩනැගිලි පැරණි ඕලන්ද සම්ප්‍රදායට හදපුවා.

ඒ වගේම තමා පාරවලුත්  ඇතිරුම් ගල් අල්ලලා වෙනස්ම ක්‍රමයකට හදලා තියෙන්නේ. සාහිත්‍ය පොත් වල තියෙන විදිහේ අපූරු සැලැස්මක් තමයි ගාළු කොටුව ඇතුලේ තියෙන්නේ. මේ කාලෙට සංචාරකයෝ අඩුවෙන් එන කාළයක් නිසාද මන්දා ඒ තරම්ම කට්ටියක් අපිට දකින්න හම්බ උනේ නෑ.

03 March 2023

ගුරු වර්ණනා

 අපේ පුතාගේ මොන්ටිසෝරියෙන් දෙමව්පියන් සේරම එකතු කරලා වට්සැප් ගෲප් එකක් හදලා දීලා තියෙනවා. ඒක නිසා ටීචර්ට එක එක නිවේදන නිකුත් කරන්න හරි පහසුයි. මේ හින්දම කොළ වල ලියලා දැන්වීම් පුවරුවේ දාන්න කරදර වෙන්න ඕන නෑ. කෙලින්ම වට්සැප් මෙසේජ් එකක් දැම්මහම ඇති.

ඒ වගේම තමා දෙමව්පියන්ට තමන්ගේ දරුවට අදාල දිනට මොන්ටිසෝරි එන්න වෙන්නේ නැත්නම් ඒකත් මේ ගෲප් එකට මෙසේජ් කරලා ටීචර්ට දැනුම් දෙන්න පුලුවන්. එතකොට ටීචරුත් දන්නවා මේ දරුවා මෙදාට මොන්ටිසෝරි එන්නේ නෑයි කියලා.

මීට අමතරව මොන්ටිසෝරියෙන් කෙරෙන පොඩි පොඩි ඉවෙන්ට් වල පින්තූර එහෙම දානවා. එතකොට දෙමව්පියන් විදිහට අපිත් දන්නවා මේ දේවල් මොන්ටිසෝරියේ සිද්ධ උනා ය කියලා.


ඔය වාගේ අටෝරාසියක් දේවල් මේ ගෲප් එක හරහා සන්නිවේදනය වෙනවා. ඒක හොඳ දෙයක් !

11 February 2023

ගජමෑන්

 මේ දිනවල අති සාර්ථක අන්දමින් තිරගත වන ගජමෑන් චිත්‍රපටිය නරඹන්නට මට ද අවස්ථාවක් ලැබුණි. ගජමෑන් චිත්‍රපටිය පිළිබඳ පූර්ව ප්‍රචාරක කටයුතු සිදු වුනේ මීට අවුරුදු 5කට පමණ උඩ දී බව ඔබ අප කවුරුත් දන්නා කරුණකි. විවිධ හේතූන් නිසා තිරගත වීම කල් ගිය ද මේ වසරේ ජනවාරි 20 වනදා පටන් ලාංකීය සිනමා රසික රසිකාවියන්ට ගජමෑන් චිත්‍රපටය රස විඳින්නට හැකියාව ලැබී තිබේ.

සමාජ මාධ්‍ය ඔස්සේ හා අනෙකුත් ප්‍රචාරණ මාධ්‍යන් ඔස්සේ සදහන් කළ පරිදි මෙය ශ්‍රී ලංකාවේ පළමු ත්‍රිමාණ චිත්‍රපටය වේ.

මෙහි ඇත්තේ ඉතාම සරල කතා තේමාවක් උවත් පොඩි මල්ලි හා චූටි මල්ලි දෙපලගේ හඬ කැවීම් නිසා කතාවට අපූරත්වයක් එකතු වී ඇත. එසේම ත්‍රිමාන රූප ද යම්තාක් දුරට යහපත් මට්ටමක පැවතුණි. හොලිවුඩ් චිත්‍රපට තරම්ම ගුණාට්මක බවින් ඉහල නොවූනද යම්කිසි සාර්ථකත්වයක පළමු පියවරක් ලෙස මා මෙම චිත්‍රපටය හැදින්වීමට කැමැත්තෙමි.

10 February 2023

පානදුර - රත්නපුර මාර්ගය

 අපට රත්නපුර දක්වාත් එතැනින් බලංගොඩ, ඇඹිලිපිටිය, තණමල්විල, මොණරාගල, අම්පාර වැනි ගම් බලා ලෙහෙසියෙන් යාමට ඇති එකම මාර්ගය වන්නේ පානදුර - රත්නපුර මාර්ගයයි.

මේ මාර්ගය A ශ්‍රේණියේ ප්‍රධාන මාර්ගයක් වන අතර පානදුර-නාම්බපන-රත්නපුර ප්‍රධාන මාර්ගය ලෙසද හඳුන්වයි. දිගින් කිලෝමීටර් 70ක් පමණ වන අතර සෑහෙන වංගු සහිත මාර්ගයකි.

බොහෝ රියදුරන් මෙම මාර්ගයෙන් ගමන් කිරීමට මැලිකමක් දක්වයි. ඒ මේ මාර්ගයේ එක ළඟ පිහිටි වංගු සහිත වීම නිසා ය. පානදුර සිට ඉංගිරිය දක්වා පවත්වාගෙන එන වේගය පවත්වාගෙන යාමට නොහකි නිසා අප හිතනවාටත් වඩා වැඩි කාළයක් මේ මාර්ගයේ ගමන් කරන්නෙකුට ගත වේ.

මේ මාර්ගයේ වංගු සියල්ලම වාගේ පටන් ගැනෙන්නේ ඉංගිරියේ සිට ය. වංගු ඇයි කීවාට මේවා වැලමිටි වංගු නොවේ. එහෙත් එක් වංගුවකින් හරවන විටදීම අනෙක් වංගුවෙනුත් හැරවීමට සූදානම් වී පැමිණිය යුතු ආකාරයේ වංගු පෙළකි.

09 February 2023

සැතපුම් කණුව

 මීට සෑහෙන කාළයකට උඩදී මම ලංකාවේ විවිධාකාර සැතපුම් කණු ගන බ්ලොග් ලිපියක් ලිව්වා. ඒ ලිපියෙදි මම දැනට දකින්නට හම්බ වෙන සැතපුම් කණු කිහිපයක් ගැන විස්තර ටිකක් ලිව්වේ.

මේ ලිපිය වෙන් වෙන්නෙත් ඒ වගේ සැතපුම් කණුවක් ගැන කියන්නටම තමයි. මේ සැතපුම් කණුව මට හම්බ උනේ අරුග්ගොඩ ශ්‍රී පරාක්‍රම මහා විද්‍යාලය ආසන්නයේ දී.

සැතපුම් කණුවේ අංක එක ලෙස සටහන් වෙලා තියෙනවා දකින්නට පුලුවන්. හොරණ පානදුර ප්‍රධාන පාරේ ඉඳලා මෙතැනට හරියටම කිලෝමීටර් 1.6ක් විතර තිබෙනවා. ඒ කියන්නේ මේ කණුව සැතපුම් කණුවක්. 

07 February 2023

කොඩි වැල්

 මීට දින කිහිපයකට උඩදි අපේ ළඟම ඥාති වෙන කෙනෙක්ගෙ අවමංගල්‍යයට සහභාගි වෙන්නට සිදු උනා.

එහේ ගිහින් ටික වේලාවක් ඉන්නකොට මට යන්න සිද්ධ උනා වල කපන්න තැනක් බලන්ඩ. ඉතින් මායි තව කට්ටියකුයි කනත්තට ගියා වල කපන්න තැනක් බලන්ඩ.

ඒ යන ගමනේ දී මීට දින කිහිපයකට උඩදි මිනියක් ගෙනියන පාර සරසපු කොඩි වැල් එහෙම දකින්න්න හම්බ උනා. ඒක දැකපු අපිත් එක්ක ආපු එක්කෙනෙක්, ඒ කොඩි වැල් ටික ඉක්මනින් කඩලා දම්මා.

මම ඉතිං ඇහුවා ඇයි ඒ කියලා.

06 February 2023

වර්ක් ෆ්‍රොම් හෝම්

 අද දින වන විට මා නිවසේ සිට රක්ෂාව කිරීමට පටන් ගෙන වසර දෙකක් ගත වී ඇත. නිවසේ සිට වැඩ කිරීම එක අතකට වාසි සහගත ය. ප්‍රවාහන වියදම් නැත. හොඳ ඇඳුම්, සපත්තු ආදී අමතර වියදම් වැය නොවේ. කොටින්ම මහ මගට ගතවන කාළය ඉතිරි වේ.

ඊටත් වඩා අළුයම අවදිවීමේ කරදරය ද නැත.

ගෙදරම ඉන්නේ නැතුව වෙන වෙනස් තැන් වල ඉදන් රක්ෂාව කරගෙන ඉන්නට හැකි නිසා එක අතකට රැකියාවේ විව්ධත්වයක් ද සාදා ගත හැකිය. නුවර එළිය වැනි සීතල පරිසරයක උවත් නිවසක් කුළියට ගෙන ජීවත් වන ගමන් රක්ෂාවත් කරගත හැකි වීම මා දකින අනිත් වාසියයි.

එහෙත් එකම අවාසියකට මා දකින්නේ දවසේ සේවා කටයුතු අවසන් වන වේලාවක් නැත. සමහරදාට රෑ 9-10 වන තෙක්ම වැඩ කටයුතු කිරීමට සිදු වේ. නමුත් සමහර අයවළුන් මේ ක්‍රමයට කැමති නැත. කට්ටිය එක්ක එකට වැඩ කිරීමේ අවස්ථාව මෙයින් අහිමි වන නිසාත් යම් කිසි ප්‍රශ්නයකදී උදව්වක් ගැනීමට ඇති බාධාවන් නිසාත් මේ ක්‍රමයට ඔවුන් බොහෝ අකමැත්තක් දක්වයි.

පොඩි කට්ටිය ගෙවල් වල ඉන්න අයට නම් මේ ක්‍රමයට වැඩ කිරීම ටිකක් අපහසු ය.


එහෙත් පුද්ගලිකවම මා නම් මෙම ක්‍රමයට බොහෝ සෙයින්ම කැමති ය. 



04 February 2023

වස්ගමු වන අසිරිය

 කදුරුපිටිය බංගලාවේ කාමරයක නින්දට වැටුන අප පසුදින සතුන්ගේ හා නානාවිධ පක්ෂීන්ගේ කූජනයන්ගේ හඬින් අවදි වූවෙමු. මා අවදි වන වේලාවටම වාගේ තව යහළුවෙක් අවදි වී තිබුණි. මා ඔහු සමග මදක් ඉදිරියට ඇවිද ගියෙමි.

අපට වැඩි දුරක් යාමට අවසර නැත.

ඊට හේතුව වන්නේ නිදහසේ ජීවත්වන වන සතුන්ගෙන් අපට හානියක් වීම වලකාලීම සදහා ය. සමහර දින වලදී වන අලින් කදුරුපිටිය ඉසව්වටම එන බව බංගලාවේ ඉවුම් පිහුම් කරන කෙනෙකුගෙන් අසා දැන ගත්තෙමි. එය ඇත්තක් යැයි අපටත් වැටහුනේ මඩ ගොඩවල් වල තිබූ අලින්ගේ අඩි සටහන් හා ඔවුන් දැමූ වසුරු ගොඩවල් නිසා ය.

අප කදුරුපිටිය බංගලාවේදී උදෑසන ආහාරය ලබා ගතිමු. ඉන් පසු අප රෑ පාටියට අවශ්‍ය කෑම බීම පිළියෙල කිරීමට සූදානම් වූවෙමු. පාටියක් ය කීවාට කෑකෝ ගැසීම් හා උස් හඬින් වැයෙන සංගීත රාවයන්ට මෙහිදී අවසර නැත. එය වන සතුන්ගේ නිදහසට බාධාවකි.

ඔවුන්ගේ නිදහසට බාධා නොවන අයුරින් අපට සාද පැවැත්විය හැක. මදුවිතෙන් මත් වීමට ද කිසිදු බාධාවක් නැත. එහෙත් වටපිටාවේ කිසිදු අපද්‍රව්‍යයක් දැමීමට අවසර නැත.

 ඉර හැරී දෙහෝරාවක් ගිය තැන අප වන අසිරිය නැරඹීමට ගියෙමු. එහිදී අපට නොයෙක් වන සතුන් දැක ගත හැකි වූවත් ඔවුන්ව කැමරා කාචයක සටහන් කර ගැනීමට නොහැකි විය. එයිනුත් මා ලබා ගත් පින්තූර කිහිපයක් පහලින් පළ කරමි. 

03 February 2023

නිදහස් දිනය ?

 ඉස්සර මිනිස්සු අතර කතාවක් තියෙනවා "ලෝකෙට පරකාසේ... ගෙදරට මරගාතේ..." මෙදාපාර නිදහස සැමැරීමත් හරියට ඒ කතාව වගේ. ලංකාවේ මහජනතාවට හරියට පාන් කියාගන්නවත් බැරි කාළයකි. බඩු මිල අහස උසට ගොස් ඇත.

රටම ණය බරින් මිරිකී ඇත. රටේ ණය මුදල් ගෙවා ගැනීමට දහ අතේ විසදුම් සෙවිය යුතු ය. එක ණය වාරිකයක් ගෙවා ගතහොත් අනෙක ගෙවන්නේ කෙසේදැයි සිතිය යුතු ය.

රෝහල් වල අත්‍යවශ්‍ය බෙහෙත් වර්ග සෑහෙන ප්‍රමාණයක් හිඟ ය. ඒවා කවදා කෙසේ ලැබේදැයි සිතාගත නොහැකි අරුම පුදුම කාළයකි.

කොටින්ම මිනිස්සුන්ට ගමනක් බිමණක්වත් හරියට යාගන්න බැරි තරමට බස් ගාස්තු ඉහල ය.

කදුරුපිටිය බංගලාව

 වස්ගමුව ජාතික වනෝද්‍යානය තුල ප්‍රධාන සංචාරක නැවතුම් ස්ථාන දෙකක් වෙයි. එකක් අප ගිය කඳුරුපිටිය වන නිවහන හා වවුල් ඇඹේ වන නිවහන වේ. මෙයින් කඳුරුපිටිය බංගලාව වනෝද්‍යානයේ පිවිසුම් ස්ථානය ආසන්නයේම පිහිටා ඇති අතර වවුල් ඇබේ නැවතුම් ස්ථානය, වනෝද්‍යානය ඇතුලට වන්නට මහවැලි ගඟ ආසන්නයේම පිහිටා ඇත.

02 February 2023

රිවර්ස්ටර්න් සුළං කපොල්ල

 බඹරකිරි ඇල්ලට සමු දුන් අප නැවතත් ප්‍රධාන මාර්ගයට අවතීර්ණ වූවෙමු. මා 'ප්‍රධාන' යැයි විශේෂණ පදයකින් හැදින් වූවද මී මාර්ගය බොහෝ සෙයින් අබලන් වූවකි. අබලන් සේම මේ මාර්ගය බොහෝ සෙයින් පටු වූවකි. වාහන දෙකක් එකවරු මාරු වීමට ඉතාම අපහසු පටු වූ මාර්ගයක් බව මා කිව යුතු ය.

මෙලෙස අබලන් මාර්ගයක ගමනේ යෙදෙන්නේ නම් ඔබ භාවිතා කරන වාහනය යම් කිසි උසකින් යුක්ත වූවක් විය යුතු ය. කාර් රථයකට නම් මේ මාර්ගයේ යම් යම් තැන් වලින් ගමන් කිරීම මදක් අසීරු ය. එහෙත් අප ගමන් කළ ඩිෆෙන්ඩර් වර්ගයේ මෝටර් රථයට නම් මෙවැනි අබලන් මාර්ග වල යෑමට එතරම් අපහසු නැත.


මාර්ගය දුශ්කර වූව ද සුන්දරත්වය අඩු වූවක් නොවී ය. පෙනෙන පෙනෙන හැම අතින්ම හරිත පහැ ගත් වන වදුලු ය. තවත් වරක කඳු වල වවා ඇති තේ වගාවන් ය. තවත් වරෙක පයිනස් වර්ගයේ ගස් වලින් ගහණ වනාන්තර ය.

01 February 2023

බඹරකිරි ඇල්ල

 2021 වර්ෂයේදී අපේ මිතුරන් පිරිසක් සමඟ මා වස්ගමුව නැරඹීමට ගියෙමි. සාමාන්‍යයෙන් වස්ගමු යන්නට නම් දඹුල්ලට ගොස් යෑම ලෙහෙසි පහසු වූවත් අප තීරණය කළේ රිවර්ස්ටර්න් හරහා වස්ගමුවට යෑම ගමනේ අගය තව තවත් වැඩි කරවන්නක් වන බව ය.අනෙක් අතට කෙලින්ම වස්ගමු යන්නේ නැතිව මගදිගට තව තවත් දේ දැකබලා ගමන යන්නට තිබේ නම් කොච්චර වටී දැයි අප කා තුලත් තිබූ අදහසක් විය. ගමනේ මහන්සියත් නිවාගෙන යාමට ද එය පිටිවහලකි.

 ඒ නිසාවෙන්ම අප රිවර්ස්ටර්න් හරහා වස්ගමු යන්නට එදින උදේ පිටත් වූවෙමු.

අපේ චාරිකාව දින තුනක එකක් වූ අතර පළමු දින අපේ ගමනාන්තය වන්නේ වස්ගමුව වනයේ පිහිටුවා ඇති කඳුරුපිටිය වන නිවහනයි. දින දෙකක්ම වනය තුල වූ නිවහනක ගෙවා පසුදින නැවතත් ගම් රටවල් බලා ඒමට අප සැලසුම් කර තිබුණි.

අළුයම අප පිටත් වී පෑ කිහිපයක ගමනකින් අනතුරුව අපට රිවර්ස්ටන් දක්කා වූ මාර්ගයට අවතීර්ණ වීමට හැකි විය. රිවර්ස්ටර්න් එන ගමනේදී අපට මුලින්ම හමු වන්නේ බඹරකිරි ඇල්ලයි.

තරමක බිහිසුණු ගතියක් උසුලන ඇල්ල අතීශයින්ම චමත්කාරජනක ය. 

27 January 2023

විහිළු

 සමහර ජෝක්ස් තියෙනවා ඒක අහන වෙලාවෙදිම හිනාවෙන්න පුලුවන්. ඒවා පට්ට. ඒ වෙලාවෙදි ඇහුවා. ඒකට හිනා උනා. කතාව ඉවරයි ! චැප්ටර් ක්ලෝස් !


තව සමහර ජෝක්ස් වර්ග තියෙනවා, ඒවා අහලා ටික වෙලාවක් ඉන්නැද්දි හිනා යන ඒවා. හරියට ටියුබ් ලයිට් වගේ ජෝක්ස්. ජෝක් එක අහලා ටික වෙලාවක් ගියාට පස්සෙයි හිනාව පත්තු වෙන්නේ. ඒවත් කමක් නෑ කියමුකෝ..


තව ජෝක්ස් කැටගරි එකක් තියෙනවා. ඒවා අහන වෙලාවට හිනා යන්නෙත් නෑ. පස්සේ හිනා යන්නෙත් නෑ. හරියට අපිට හිතෙන්නෙම ඒක සීරියස් කතාවක් කියලා. ජෝක් එකක් කියලම හිතෙන්නේ නෑ.

නමුත් ටික කාලයක් ගිහින් ඒක අපටම අවබෝධ වෙනවා මේ කියයලා තියෙන්නෙත් විහිළු කතාවක්මයි කියලා.

25 January 2023

වැටුපට බද්දක්

 කලින් මාස වල මෙන් නොව මේ මස පඩි පැකැට්ටුව අතට ගන්නා විට දෙකොපුල් රූරා කඳුළු කැට වැටෙන්නට පටන් ගන්නට විය. එය සතුටු කඳුළු ද දුකට වැටෙනා කඳුළු ද කියා සිතා ගන්නටවත් නොහැකි සිදුවිලි දාමයකින් සිත පිරී ඇත.

දුකට හේතු වන්නේ අපේ පඩි පැකැට්ටුවේ බර සැහැල්ලු වී අප තව තවත් නරා වලට වැටෙන්නට සිදු වීමයි. බැංකු ණය, වාහන ලීසිං, ජල විදුලි දුරකතන බිල්පත් ගාස්තු මේ ආදී එකී මෙකී නොකී සියළු වියදම් දැරීමට සිදුවන්නේ මේ හෑල්ලු වූ පඩි පැකැට්ටුවෙන් යැයි සිතෙන විට වාවාගත නොහැකි ය.

එහෙත් අපේ පඩියෙන් අඩුවූ කොටසින් තවත් කොටසකගේ කුස පිරෙන බවත් සිහිවන විට සතුටු කඳුලක් ද උපදී. අහෝ හිඟන 225 ! අපි තොපේ කුස පිරවූ වගයි !

22 January 2023

ගරාජය

 මේ වන විට මා වාහනය මිලදීගෙන වසරකුත් ඉක්මව ගොස් ඇත. එහෙත් මාහට තවමත් වාහනය දැමීමට ගරාජයක් සාදාගත නොහැකි විය. එයට මූලිකම හේතුව වූයේ වාහනය ගැනීමට මා ගත් ණය මුදල ගෙවා නිම කිරීම පළමුව කළ යුතු වීමයි. ඒ සදහා මුදල් වියදම් වූ හෙයින් මා හට ගරාජයේ වැඩ කටයුතු පමා කිරීමට සිදු විය.

වාහණය ගැනීමට ගත් ණය මුදලින් වැඩි ප්‍රමාණයක් ගෙවා නිම කළ හෙයින් මා දැන් ගරාජය සෑදීමට පටන් ගත් යුතු ය. ගරාජය සෑදීමට මා තෝරාගත් ඉඩෙහි වූ ගස් සියල්ල කපා දමා එම ස්ථානය එලි පෙහෙළි කිරීම මා පළමුව කළ යුතු ය. ඒ සදහා මා කුලී කරුවෙකුගේ සහය ලබා ගත්තෙමි.

දිනක් ඔහු පැමිණ ගස් සියල්ල කපා දැමී ය.

ගස් සියල්ල කැපීමෙන් පසුව මා ඔහුට පොරොන්දු වූ මුදල ගෙවා දැමී ය. මුදල් ගෙවන අතරතුරෙහි ඔහු මාහට මෙහෙම කතාවක් කීවේ ය.

17 January 2023

සවලෙන් කෑම

මීට ටික කාළයකට කලින් ෆේස්බුක් එකේ රෙස්ටුරන්ට් එකක කෑම පිළිගන්වන විදිහක් ගැන වීඩියෝ එකක් වයිරල් ගියා. කෑම ටික සවලකට දාලා ඒ සවල ගෙනත් පිලිගන්වන සීන් එකක්.

ඒ වීඩියෝ එක සෑහෙන්න වයිරල් ගිහින් මිනිස්සු සවල් පාරවල් හොය හොයා කන්න ගියා.

අපිටත් අපේ ඔෆිස් එකෙන් සවල් පාරක් කන්න හම්බ උනා.මේ සවල් පාර කන්න හම්බ උනේ පමුණුගම පැත්තට වෙන්න තිබ්බ ප්ලේස් එකකින්. මෙතන සවලක් 9000+ වගේ මුදලක් වෙනවා. ඒකේ තියෙන්නේම සී ෆුඩ් කෑම ජාති.

කකුළුවෝ, ඉස්සෝ, මාළු, පොකිරිස්සෙක් වගේ ජාති තමයි මේ සවලට තිබ්බේ. ගෙවපු ගණනත් එක්ක බලනකොට සවලේ තිබුණ කෑම ජාති වල ප්‍රමාණය මදිත් වගේ. ඒත් ඉතින් මොනා කරන්න ද මේ දවස්වල බඩු මිලත් එක්ක ඒ ගාණ යනවා ඇති.

එහෙනම් පහල පොඩි වීඩියෝ කෑල්ල බලලා ඉන්ඩකෝ.



16 January 2023

රාගම බස් එක

 අද එලකිරියේ කරක් ගහනකොට පල්ලෙහා තියෙන පින්තූරේ එක්කම එලකිරි ත්‍රෙඩ් එකක් දකින්න හම්බ උනා. මේම මේ කඳුකර පැත්තක සෙනග එහා මෙහා කරවන්න පාවිච්චි කරපු වෑන් එකක්. වෑන් එකක් කිව්වට මේක ඒ පැත්තේ බස් එකක් විදිහට පාවිච්චි කරලා තියෙනවා.



මේ පින්තූරේ දැක්කහම මටත් මේ වගේ මතකයක් තියෙනවා. ඒ කාලේ රාගම-වත්තල (මාර්ග අංක 900) පාරෙත් දිව්වේ මේ ජාතියේම වෑන් බස් එකක්. එකක් නෙමෙයි දෙකක් විතර තිබ්බා.

09 January 2023

ඉන්ධන කෝටා ක්‍රමය

 වෙලාවකට මේ ඉන්ධන කෝටා ක්‍රමය නම් හෙන සාපයක් අප්පා. වාහනේ හිතේ හැටියකට ගමනක් ගිහින් එන්න බෑ. මොකද සතියකටම හම්බ වෙන්නේ පෙට්‍රල් ලීටර් 20යි. ටිකක් දුරකට ගියොත් ආයේ එන්න වෙන්නේ නෑ. තෙල් මදි වෙනවා.

අපි රස්සාවක් කරලා සල්ලි හම්බ කරනවා නම් අපිට හිතේ හැටියට දේවල් කරන්න පුළුවන් ආර්ථිකයක් හදන්න රටේ පාලකයෝ දැන ගන්න ඕන. උන්ට මෙහෙම මිරිකි මිරිකී ජීවත් වෙන්න සිද්ධ වෙලා නැති නිසා ඒවයින් ගානක් දැනෙන්නේ නෑ.

කොටින්ම මේ වගේ ජහුට පාලකයන්ව පත් කරලා යවපු උන්ට ඉස්සෙල්ලම මඩු වලිගයකින් තලන්ඩ ඕන.

06 January 2023

Fall (2022)

 කාළයකට පස්සේ බ්ලොග් අඩවියට ගොඩ උනා මොනාහරි ලියලා දාන්න කියලා. ලියන්න නම් දේවල් ගමකට තිබ්බත් ලියන්න වෙලාව හොයා ගන්න තමයි ගොඩක්ම අමාරුම රාජකාරිය වෙන්නේ.

ලේසියට වෙලාවක් නෑයි කියලා කිව්වත් වැඩක් නැතිව ඔහේ ඉඳපු වෙලාවල් එහෙමත් නොසෑහෙන්න තියෙනවා. මොකද අපි කියලා හුස්මක් කටක් ගන්නේ නැතුව වැඩ විතරක්ම කරන මිනිස්සු යෑ. එහෙම විවේක වෙලාවක ලියන්න ගත්තත් කම්මැලිකම ඉස්සර වෙන නිසා බ්ලොග් වලට එන්නේ නෑ.

ගිය අවුරුද්දේ අන්තිම දවස්වල ගියපු ට්‍රිප් එකකුත් තියෙනවා ලියන්න කියලා. ඒකත් ලියලා දාන්න ඕන වෙලාවක් හම්බ වෙච්ච හැටියෙම.

අද මම කියන්න යන්නේ ඒ ගැන නෙමේ. දැනට මාස කිහිපයකට උඩදි රිලීස් වෙච්ච චිත්‍රපටියක් ගන. චිත්‍රපටියේ නම තමයි Fall (2022) කියලා කියන්නේ.

05 January 2023

මොන්ටිසෝරියේ පළවෙනි දවස

 අද ජනවාරි 5 වෙනි බ්‍රහස්පතින්දා දිනයකි.  

මගේ පුතා මොන්ටිසෝරි ගිය පළවෙනි දවස අද වේ.

ඔහු වෙනුවෙන් මොන්ටිසෝරියක් තෝරා ගනීම සඳහා කලින් මාසයේ නිවස ආසන්නව තිබූ මොන්ටිසෝරි කිහිපයකට මාත් අපේ උන්දැත් ගොස් බැළුවෙමු. සමහර මොන්ටිසෝරි වල ඉඩ පහසුකම් මදි ය. ඒවා පවත්වන්නේ ඉතාම කුඩා ඉඩ ප්‍රමාණයක ය.

එවැනි මොන්ටිසෝරියක ළමයෙකුට නිදහසේ සෙල්ලම් කිරීමට ද කළ නොහැකි ය. අප තෝරා ගත් මොන්ටිසෝරිය නිස්කලංක පරිසරයක පිහිටා ඇති උතාම ඉඩ පහසුකම් ඇති තැනක පිහිටා ඇත. මාසික පන්ති ගස්තු ද ඉහල අගයක් නොවේ.

එසේම ළමුන්ද සැලකිය යුතු ප්‍රමාණයක් සිටී.