Showing posts with label ආදර කතා. Show all posts
Showing posts with label ආදර කතා. Show all posts

29 August 2014

අතැඟිල්ලට රන් මුදුවක් නොවෙද අගේ...

පහුගිය ටිකේ අපේ කන්තෝරුවේ වැඩ ටිකකට හිර වෙලා උන්නු නිසා බ්ලොග් අවකාශය පැත්තේ එන්න උනේ නෑ.. ඒ නිසා පරණ බ්ලොග් ලිපි ටික කියවන්නත් උනේ නෑ.. අද ඒ ලිපි ටික කියවගෙන යන්න හිතාගෙන ඉන්නේ.

පහුගිය ටිකේ වැඩ කටයුතු වලට මහන්සි උන නිසාමද මන්දා ලියන්ඩ දේවල් හිතට එන්නෙත් නෑ..

මේ අගෝස්තු මාසේ... වෙන අවුරුදු වල වගේ නෙමේ මේ අවුරුද්දේ අගෝස්තු මසය උදා උනේ මගේ ජීවිතයේ පොඩි වෙනසකුත්තෙක්ක.

ඒ තමා මගේ විවහා ගිවිස ගැනීම සිද්ධ උනෙත් මේ මාසේ දෙවෙනිදා (සෙනසුරාදා)

ලොකු උත්සවයක් නැතුව බොහොම චාමෙට තමා මේක සිද්ධ කලේ..වෙඩිමටයි විවහා ගිවිස ගැනීමටයි ලොකු වියදම් දෙකක් දරණ එක අපරාදේ නිසයි මෙහෙම චාමෙට ගත්තේ. අපේ ගෙදරින් අපි හතර දෙනයි අපේ අම්මගෙයි තාත්තගෙනුයි නෑදෑයෝ හතරදෙනෙකුයි තමා මේ උත්සවේට ගියේ. ඒ ගොල්ලන්ගෙනුත් මේ වගේම ටිකදෙනයි ඇවිල්ලා තිබුනේ.

කතෝලික ක්‍රමයට බඳින නිසා පල්ලියේදිමයි මේ කටයුතු සිද්ධ උනේ.පල්ලියේ කටයුතු ඉවර වෙලා අපේ උන්දෑගේ ගෙදර දවල් කෑම ලෑස්ති කරලා තිබුනා.



දවක් කෑම ඉවර උනායින් පස්සේ ඉදිරියේදි කරන්න ඕන කටයුතු ගැන කතාබහ කලා. ඊට පස්සේ අපේ මාමා ස්තූති කතාවක් කලා.

මං ගැනයි මගේ පවුල් පසුබිම ගැනයි මගේ ගතිගුණ ගැන වගේ දේවල් තමා කතාවෙන් කිව්වේ. අපේ මාමගේ ස්තූති කතාව ගැන නැන්දම්මා එච්චර පැහැදුනේ නෑ.. නමුත් මාමණ්ඩි නම් බොහොම කැමති උනා මේ කතාවට.

අපේ මාමගේ ස්තූති කතාව ගැන නැන්දම්මගේ හිතේ තිබ්බ නොසතුට, විවහා ගිවිස ගැනීමෙන් පස්සේ සෑහෙන දවසක් යනකන් තිබුනා.

මට නං තාම හිතා ගන්න බෑ ඇයි ඒ කතාව එයාට එච්චර නොරිස්සුවේ කියලා.ඒවයින් කාරි නෑ.. කොහොමහරි මේ කටයුතු ටික අඩුපාඩුවක් නැතුව සිද්ධ වෙච්ච එකම මදෑ..

ඔන්න ඔය විදිහට තමා මගේ අතට මුද්දක් වැටුනේ... ඉතින් මේ සිදුවීම කාට නැතත් මට වටින නිසයි පස්සේ කාලෙක බලන්න පෝස්ට් එකකට ඇතුලත් කලේ..

ඔය පල්ලෙහා පින්තූරේ ඉන්නේ අපි කට්ටියම. වමේ ඉදන් ගත්තහම අපේ තාත්තා, මම, මගේ එක්කෙනා, අපේ අම්මා, මල්ලි !!

18 September 2012

එකකට ඔවු නම්, අනෙකට නෑ..

අදත් බ්ලොග් එකේමොනවා හරි කොටන්ඩ කියලා හිතුනා. ඒත් ලියන්ඩ කිසිම දෙයක් මතක් වෙන්නේ නෑ..  අපේ කතන්දරකාරයාට වගේ මාතෘකා 100ක වෙන්ඩ කතන්දර මුකුත් නෑ. කොටින්ම ලියන්ඩ කිසිම දෙයක් මතක් වෙන්නේ නැත්තේ මේ දවස්වල මම් කරන වැඩත් එක්ක මාර ස්ට්‍රෙස් එකෙන් ඉන්න හන්දා වෙන්ටෑ...

ඒ මදිවට ස්ට්‍රෙස් එකෙන් ඉන්නකොට කියන කරන දේ උනත් හරහට හිටින්නේ.. ඒකෙන් ආයෙම වෙන්නේ තවත් ස්ට්‍රෙස් එක වැඩි වෙන එක විතරයි.

ස්ට්‍රෙස් කියලත් කරන්ඩ දේකුත් නෑ... මේක කොම්පීතර් රස්සා වල හැටියක් නේ ! මේන් මේ වෙලාවට තමා කොම්පීතරේ බැඳගත්ත එකේ රඟේ තේරෙන්නේ.

ඔළුවේ තියෙන බර චුට්ටක් අඩු කරගන්ඩ කියලා මූනුපොතේ රවුමක් දානකොට  පහල පින්තූරය දකින්න ලැබුනා.

පහල රූපයේ තියෙන විදිහට පිරිමි ළමයෙක් ගෑල්ලමයෙක්ගෙන් ආදරේ ඉල්ලුවොත් කොහොමට හිටීද.ගෑල්ලමයට අනිවාර්යෙන්ම ආදරෙයි කියලා කියන්ඩ වෙනවාමයි !!!

මෙන්න පින්තූරේ...

 

ප්‍රශ්න දෙකක් තියෙනවා... උත්තර දෙනවද ?
දෙකටම ඔවු කියන්ඩත් බෑ..දෙකටම නෑ කියන්ඩත් නෑ.. එකකට ඔවු කිව්වොත් අනිකට නෑ කියන්ඩ ඕනේ.
1) ඔයා මට ආදරේ ද ?
2) ඉස්සෙල්ලා කිව්වේ බොරුවක් නේද ?

එක වතාවක් බ්ලොග් ටැංකියක ඉන්න හාදයෙකුත් ගෑල්ලමයෙක්ගෙන් ආදරේ ඉල්ලන්ඩ මේ වගේ අපූරු ක්‍රමයක් පාවිච්චි කලා. උන්දෑ පාවිච්චි කරලා තියෙන්නෙ ෆ්ලෑෂ් කෑල්ලක්.. මෙන්න ඒ ෆ්ලෑෂ් ගැජමැටික් එක
එහෙනම් ඉතින් ගිහින් එන්නම්...
ආයේ හිත නිදහස් වෙච්ච වෙලාවකට කතාවක් දෙකක් ලියන්ඩ බැරුව යෑ..

ජය වේවා !

06 October 2011

ලෝක පූජිත ආදර කතා

මේ ලෝකේ හිටපු මුල්ම මිනිහගෙයි ගැහැනියගෙයි පටන් ගත්තම අද වෙනකොට කොච්චර නම් ආදර කතා තිබිලා ඇද්ද.නමුත් ඒ ආදර කතාවලින් කීයෙන් කීයක්ද ලෝක පූජිත ආදර කතා වෙලා තියෙන්නේ. ආදර කතා ලක්ෂයක් ගත්තොත් ඒවයින් එකක්වත් ලෝක පූජිත ආදරයක් වෙලා නෑ. ඒකට තියෙන ලොකුම හේතුව තමයි ගොඩක් ආදර කතා විවාහයකින් කෙලවර වෙන එක. විවාහයකින් කෙලවර වෙන කිසිම ආදර කතාවක් ලෝක පූජිත ආදර කතාවක් වෙන්නේ නෑ.උදාහරණෙකට ගමු සාලිය අසෝකමාලා, රෝමියෝ ජුලියට්, ලයිලා මජ්නු, දෙව්දාස් පාරෝ වගේ ආදර කතා කවදාවත් විවාහයකින් කෙලවර වෙලා නෑ. අන්න ඒ නිසයි ඒ ආදර කතා අදටත් ලෝක පූජිත ආදර කතා කියලා කවුරුත් කියන්නේ. බොහෝමයක් ආදරවන්තියෝ තමන්ගේ ආදරවන්තයාව කෝමහරි කසාද බඳින්න පොළබවා ගන්නවා. එතකොට වෙන්නේ දෙවි කෙනෙක්ට තමන්ගේ දේවත්වය අහිමි උනා වගේ දෙයක්. තමන්ට ලෝක පූජිත ආදර කතාවක හිමිකාරයා/ හිමිකාරිය වෙන්න බැරුව යනවා. ඒ නිසා මම නම් කියන්නේ ආදරේ කළාට කමක් නෑ. කවදාවත් කසාඳ බඳින්න එපා. කසාද බැන්දම කවදාවත් ලෝක පූජිත වෙන්න බැරුව යනවා. දැන් ඉතින් කසාද බැදලා ඉන්න කට්ටිය බඩ පපුව පිච්චිලා යන තරමට හූල්ලන්න එපා. ලෝක පූජිත වෙන්නත් වාසනාවකුයි කර්ම ශක්තියකුයි තියෙන්න ඕනේ. දැන් ආදරේ කරන කට්ටියට තමන් කවදාහරි ලෝක පූජිත ආදරවන්තයෙක්/වන්තියක් වෙන්න හිතේ කොනක හරි අදහසක් තියෙනවා නම් කසාද බඳින එක හිතෙන් අයින් කරලා දාගන්න. ඔය පහල පින්තූරේ ඉන්න දෙන්නව අදුනනවද ? ඒ තමයි හිම කුමාරියි එයාගේ කුමාරයායි. පේනවා නේද ඒ දෙන්නා කසාද බැඳලා වෙච්ච දේ ? කවුරුවත් කියන්නේ නෑ එයාලගේ ආදර කතාව ලෝක පූජිතයි කියලා. පොඩි කට්ටියට උනත් සුරංගනා කතාවක් විදිහට හරි කියන්නේ යාලුවෙලා ඉන්න කාලේ වෙනකන් විතරයි. ඊට පස්සේ උන දේවල් කියන්නේ නෑ. එතකොට දැන් කවුරුහරි කියයි "උබ මේ ඊරිසියාවට කියන කතා !!!! එතකොට සාජහාන් රජතුමායි මුම්ටාස් දේවියයි කසාද බැඳලත් ඔය යස අපූරුවට ලෝක පූජිත වෙලා ඉන්නේ !!!" කියලා. කවුද කියන්නේ ඒ දෙන්නා කසාද බැඳලා සතුටින් හිටියයි කියලා. අනිත් එක තමයි ඒ දෙන්නගේ ආදර කතාව ලෝක පූජිත උනේ ටජ් මහල හන්දා. ඔය ටජ් මහල හදපු නිසා ඒ රටේ ආර්ථික අහේනියකුත් උනාලු. ඇයි සෑහෙන වියදම් ගියාලු නේ ඔය ටජ් මහල හදන්න.ඉතින් රටවැසියෝ දුකෙන් කන්න නැතුව ඉන්නකොට රටේ රජා කරපු මේ වැඩේ හරිද ? නෑ නේ. අනිත් එක තමයි ඒක හදපු දක්ෂ නිර්මාණකරුවගේ අත් දෙකටත් සොට් එක ලැබුනනේ !!! ------------------------------------------------------------ ප.ලි. - මූ නම් පට්ට කොල්ලෙක් ය මූත් එක්ක ලෝක පූජිත ආදර කතාවක් පටන් ගන්න ඕනේ ය කියලා හිතුන කවුරුහරි ගෑනු ළමයෙක් ඉන්නව නම් තම තමන්ගේ CV එක මේල් කරන්න පුලුවන්. ඒත් හිතන්න එපා මූ වේලි වේලි ඉන්න හන්දා අනිවා තමාව තෝර ගනී කියලා.ඒවා හඳේ හරිද !!!! කතාවටත් කියන්නේ සිංහයෝ කොච්චර බඩගින්නේ හිටියත් තණකොළ කන්නේ නෑ ය කියලා. අන්න ඒ හන්දා ඉස්සෙල්ලා ටෙක්නිකල් ඉන්ටර්විවු එකක් තියලා පස්සේ හැදියාව බලන්නත් එක්ක HR ඉන්ටර්විවු එහෙකුත් තියනවා. ඒ දෙකෙන්ම තේරෙන අය තමයි ගන්නේ. එහෙම ගත්තත් ඒ කට්ටියටත් මාස 9ක ප්‍රොබේශන් කාලයක් (probation period - පරිවාස කාළයක්) තියෙනවා. දැන් තේරෙනවනේ මේක කොච්චර අමාරු වැඩක්ද කියලා !!!!

06 July 2011

'හොඳම ගෙඩිය පණුවාට' සංකල්පය

මේ සිද්ධිය වෙනකොට මම උසස් පෙළ කරනවා. ඉස්සර මම උසස්පෙළ පන්ති යන්න බස් හෝල්ට් එකට එනකොට හැමදාම උදේට දකින දෙන්නෙක් ඉන්නවා. ඒ අපේ ඉස්කෝලේ අයියා කෙනෙකුයි එයා යාලුවෙලා හිටපු අක්කා කෙනෙකුයි. එතකොට මම දොලහා වසරේ ඒ අයියා දහතුනේ.

කොහොමහරි ටික වෙලාවක් බස් එක එනකන් ඉදලා ගම්පහ කොළඹ බස් එකක් ආවම ඒකේ නැඟලා යනවා. මාත් ඒ බස් එකේම යනවා. නැත්නම් ගම්පහට යද්දි පංතිය පටන් අරන් තියෙන්නේ. කඩවත් එහෙම පාස් වෙද්දි බස් එකේ ඉන්න ගොඩක් අය බහිනවා. එතකොට යන්තන් වාඩිවෙලා යන්න ඉඩ ලැබෙනවා. නැත්නම් බස් එකේ යන්න හිතන්නවත් බෑ. උසස්පෙළ පංති වලට යන අයගෙන් බස් එක ෆුල් වෙනවා.

කොච්චර සීට් තිබ්බත් අරුන් දෙන්නා වාඩි වෙන්නේ නෑ.කොහොමහරි මඟ දුරක් යද්දි මගේ යාලුවෙකුත් සෙට් වෙනවා.ඒකාත් එක්ක තමා ඉතුරු ගමන යන්නේ. මම් උටත් මේ සීන් එක පෙන්නුවා.

ඇත්තටම මේ දෙන්නාගෙන් කොල්ලා කලුම කලුයි. එච්චර ලස්සනකුත් නෑ. කොච්චර කලුද කියලා කියනවනම් අඟුරු කෑල්ලකුයි මේ අයියවයි තිබ්බම අඟුරු කෑල්ල සුදුයි කියන්න පුලුවන් තරමේ කලුවක් තියෙන්නේ.

අක්කා ගැන කියනවනම් අක්කා මාරම ලස්සනයි. සුදුයි. පියකරුයි. සුකොමලයි. හුරුබුහුටියි. මට සිලිටුයි (උට කිලිටුයි) ඔයවගේ විෂේශණ පද ගොඩක් දාන්න පුලුවන් තරමේ ලස්සනයි.

ඇත්තටම මේ දෙන්නා දැක්කට පස්සේ මට හිතුනෙම ඇයි මෙච්චර ලස්සන කෙල්ලෝ කැත කොල්ලන්ට කැමති කියලා. මේක පිලිබඳව වැඩි දුර හොයන්න ඕනේ කියලා මායි මගේ යාළුවායි දවසක් මෙහෙයුමක් දියත් කරලා උදේ පාන්දරම පංතියට යන පාර ගාව මඟ රැකගෙන හිටියා. එතනින් එහාට්ට ගියපු ගොඩක් කපල් වල කෙල්ල ලස්සනයි කොල්ලා කලුයි කැතයි. අතරින් පතර දෙන්නම ලස්සන අයත්, කොල්ලා ලස්සන කෙල්ල ඒ තරම්ම ලස්සන නැති අයත් ගියා. හැබැයි ඒ බොහොම අඩුවෙන්.

මට තාම හේතුව නම් හොයාගන්න ලැබුනේ නෑ. අර කතාවටත් කියනවනේ හොදම ගෙඩිය කන්නේ පණුවාය කියලා. ඒ කියන්නේ තෙල් බෙහෙත් නොගහපු හොදට ඉදුනු ගෙඩි වලට අනිවා පනුවො ගහනවා. අන්න ඒ වගේ සීන් එකක්ද දන්නෙත් නෑ.

ලස්සන කෙල්ලෙක් ඇයි මේ ජාතියේ කොල්ලන්ට කැමති කියන එක දන්න කට්ටිය ඉන්නවනම් පහලින් කමෙන්ට් කරන්න.

13 June 2011

ආදරයයි ආගමයි

පිරිමි ළමයෙක් නම් ගෑනු ළමයෙක්ට, ගෑනු ළමයෙක් නම් පිරිමි ළමයෙක් ට ආදර කරන්න යද්දි මුලින්ම හිත යන්නේ ඒ ගෑනු ළමයාගේ හෝ පිරිමි ළමයාගේ ලස්සන කඩවසම් බවට එහෙමත් නැත්නම් කතා කරන හිනාවෙන විදිහට.ඒක සාධාරණයි. මොකද කවුරුත් පෘතග්ජන මිනිස්සු නේ. ඊට පස්සේ තමයි යාලු උනාට පස්සේ තමයි හිතන පතන විදිහට ඒ අදාල කෙනාගේ අදහස් වලට ආස කරන්නේ. මම දන්න විදිහට කවදාවත්ම යාලු වෙන්න කලින් ආගම මොකද්ද ඔයාගේ ජාතිය මොකද්ද කියලා අහන්නේ නෑ.

මට මෙහෙම කියන්න හිතුනේ. කාලයකට උඩදී අපේ අල්ලපු ගෙදර පදිංචියට ආපූ දෙන්නෙක් හින්දා. මේ දෙන්නාගෙන් ගෑනු කෙනා බෞද්ධ. පිරිමි කෙනා මුස්ලිම්. මේ දෙන්නගේ ආදර සම්බන්ධතාවට පිරිමි කෙනාගේ ගෙදරින් ගොඩක් ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. මොකද දෙන්නා ආගම් දෙකක නිසා. මේ හින්දා මේ අය තීරණය කරලා තියෙනවා ගෙදරින් පැනලා ගිහින් කසාද බැදලා ජීවත් වෙන්න.

කොහොමහරි මේ අය පැනලා ගිහින් කසාද බැදලා කුලියට ගෙයක් අරන් පදිංචියට ගිහින් තියෙනවා. නමුත් මේ අය පදිංචි උනේ කොහේද කියලා පිරිමි කෙනාගේ දෙමව්පියන්ට කියලා නෑ. මොකද ඒ අය ඇවිත් ගෑනු කෙනාට කරදර කරයි කියලා. අපි දන්න විදිහට දෙන්නා ගොඩක් සතුටින් හිටියා. කවදාවත් බැනගන්නේ ගහමරා ගත්තේ නෑ. ගමනක් බිමනක් උනත් යද්දි හරි සතුටින් කුරුල්ලයි කිරිල්ලියි වගේ තමා යනේ. බලන් ඉන්නත් සන්තෝෂයි.

මේ අයගේ සතුට වැඩි කාලයක් රැදුනේ නෑ. කොල්ලගේ ගෙදර අයට, මේ අය ඉන්න තැන ආරංචි උනා.කොල්ලගේ නෑදෑයෝ සේරම වගේ ඇවිත් මේ කෙල්ලට බනින්න ගත්තා. කෙල්ලට නොසෑහෙන්න ගැහුවා.

"තොට මෙච්චර සිංහල එවුන් ඉන්නැද්දි මුස්ලිම් එකක්ම ඕනේ උනාද !!!"

වගේ ඒවා කිය කියා හොදටම බැනලා කොල්ලව ගෙදර අරන් ගියා. කෙල්ල තනි උනා. ඊට පස්සේ කෙල්ල තමන්ගේ ගෙදර යන්න ඇති. එතනින් එහාට නම් මොනාද උනේ කියලා දන්නේ නෑ.

ඇයි මිනිස්සු මෙච්චර දරුණු. ආගමක් තියෙන්න ඕන මිනිස්සුන්ව යහමගට ගන්න මිසක් සතුටින් ඉන්න දෙන්නෙක්ව වෙන් කරන්න නෙමෙයි. බොරුවට ආගම ජාතිය ඇගේ එල්ලගෙන කෑගහන්නේ නැතුව ඒ අයට ජීවිතේ ගොඩ නගා ගන්න දුන්නා නම් ඉවරයි නේ.

සමහර කතෝලික අය බෞද්ධ අයව කසාද බදිනවා. බෞද්ධ අයත් ඒ වගේ පිට ආගම් වල අයව කසාද බදිනවා. මම නම් ඒකේ වැරැද්දක් දකින්නේ නෑ. දෙන්නගේ අදහස්
ගැලපෙනවනම් දෙන්නට දෙන්නා ආදරෙන් ඉන්න පුලුවන් නම් එච්චරයි නේ. ඔය ජාති ආගම් කුල මල අපි එද්දි අරගෙන් ආවෙත් නෑ. යද්දි ගෙනියන්නේත් නෑ. ඉන්නකන් මොකද මේ වගේ දේවල් වලට නහින්න හදන්නේ.

පුද්ගලිකව මම නම් ආසයි ජාති දෙකක ආගම් දෙකක අය කසාද බදිනවට. එතකොට නොදන්න ආගම් ගැන දැනගන්නත් පුලුවන්. අනිත් ආගම් වලට ගරු කරන්නත් ඒ අයගේ ආගමික උත්සව වලට සහභාගි වෙන්නත් පුලුවන්.

02 May 2011

අමුත්තෝ තුන්දෙනෙක්

මට ඊ මේල් එකකින් ආපු කතාවක් කියවන්න ලැබුනා. ඒක බ්ලොග් එකේ දැම්මොත් හොදයි කියල හිතුනා. මේ කතාව තියෙන්නේ ඉංග්‍රිසියෙන් ඒ නිසා කතාව පරිවර්තනය කරගන්න මාරම ගේමක් දෙන්න උනා. කතාරසයට අඩු පාඩුවක් උනා නම් සමාවෙන්න ඕනා. මගෙ ඉතින් සුපිරි කඩ්ඩක්නේ තියෙන්නේ. ඔන්න එහෙනම් කතාව. (කියවලා තියෙන අයට මේක රිපීට් ටෙලිකාස්ට් එකක් වෙයිද දන්නේ නෑ.)

එක්තරා කාන්තාවක් තමන්ගේ ගෙදරින් එලියට බහිද්දි ගේ ඉදිරිපිට මිනිස්සු තුන් දෙනෙක් ඉන්නවලු.නමුත් මේ ගෑනු කෙනා ඒ ඉන්න අයව අදුන ගත්තේ නෑ. නමුත් මෙයාලට බඩගිනි ඇති කියල හිතුන මේ ගෑනු කෙනා "මම ඔයාලව නම් අදුනන්නේ නෑ. ඒ උනාට ඔයාලට බඩගිනි ඇති. ඒ නිසා ගේ ඇතුලට ඇවිත් මොනවහරි කාලා ඉන්න." කියලා කෑමට ආරාදනා කරනවා.

මට නම් ඉතින් කෑමකට කතා කලොත් පැනලා එන්නේ. නමුත් මේ අය එහෙම එන්නේ නෑ.මේ කට්ටියගෙන් එක්කෙනෙක් අහනවා "තමන්ගේ ස්වාමිපුරුෂයා ගෙදර ඉන්නවද ?" කියලා.ඒ ගෑනු කෙනා කියනවා "එයා තාම වැඩ ඇරිලා ආවේ නෑ" කියලා.

"එහෙමනම් අපට ඇතුලට එන්න බෑ " කියලා අර ආපු තුන්දෙනාගෙන් එක්කෙනෙක් කියනවා. කොහොමින් කොහොම හරි මේ අල්ල පනල්ලේ ගෙදර මනුස්සයාත් වැඩ ඇරිලා එනවා.

ගෙදර මනුස්සයාම ගිහින් අර කට්ටියට ගේ ඇතුලට එන්න කියලා ආරාධනා කරනවා.නමුත් මේ අය කියනවා ඒ තුන්දෙනාටම එකපාර ගේ ඇතුලට එන්න බෑ කියලා.

" ඇයි ඒ තුන්දෙනාටම එකපාර එන්න බැරි ? " ගෙදර හිටපු ගෑනු කෙනා අහනවා.

"මෙයාගේ නම 'ධනය'. අනිත් එක්කෙනාගේ නම 'සාර්ථකත්වය'. මගේ නම 'ආදරය'." අමුත්තෝ තුන්දෙනාගෙන් එක්කෙනෙක් කිව්වා. ඊට පස්සේ "ගිහින් තමන්ගේ ස්වාමි පුරුෂයා එක්ක කතා කරලා අපි තුන්දෙනාගෙන් කැමති කෙනෙක්ට ගෙදෙට්ට ආරාධනා කරන්න" කියලා කිව්වා.

ගෑනු කෙනා ගේ ඇතුලට ගියා. ගේ ඇතුලේ එකම යුද්ධයයි. කට්ටියම සුපර් ස්ටාර් තෝරනවා වගේ සාකච්චා කරනවා.

" අපි ධනයට ගේ ඇතුලට එන්න කියමු. එතකොට ධනයෙන් මුලු ගේම පිරිලා යයි " කියලා ස්වාමි පුරුෂයා කිව්වා.

"නෑ නෑ ඒයි !! අපි සාර්ථකත්වයට එන්න කියමු. එතකොට අපිට සාර්ථක ජීවිතයක් ගත කරන්න පුලුවන් නේ." කියලා ගෑනු කෙනා කියනවා.

කොහොමහරි මේ කතාව මේ දෙන්නගේ ලේලි පොඩ්ඩ අහගෙන ඉන්නවා. එයත් මේ කතාව මැද්දට පැනලා "ඇයි අපි 'ආදරයට' මේ ගේ ඇතුලට එන්න කියන්නේ නැත්තේ. එතකොට ආදරයෙන් අපේ මේ මුලු ගේම පිරිලා යයි " කියලා අහනවා.ඊට පස්සේ මේ අදහස හොද එකක් කියලා ආදරයට ගේ ඇතුලට එන්න කියලා ආරාධනා කරනවා.

ආදරය ගේ ඇතුලට එද්දි ඊට පිටි පස්සෙන් සාර්ථකත්වයයි ඊටත් පිටි පස්සෙන් ධනයයි ගේ ඇතුලට එනවා.

ගෙදර කට්ටියට මේක හරි පුදුමයක්.මේ කට්ටිය කියනවා එයාලා ගේ ඇතුලට එන්න කතා කලේ ආදරයට විතරයි ඇයි මේ අනිත් දෙන්නත් එන්නේ කියලා අහනවා.

එතකොට එක අමුත්තෙක් කතා කතා කරලා කියනවා "ඔයා ධනයට හරි සාර්ථකත්වයට හරි ගේ ඇතුලට එන්න කිව්වා නම් අනිත් දෙන්නා එන්නේ නෑ. නමුත් ආදරයට එන්න කිව්ව හින්දා අනිත් දෙන්නත් එනවා. අපිට ආදරය තනි කරන්න බෑ. " කියලා.

------ආදර්ශය ------
ජීවිතයක් සාර්ථක වෙන්න ආදරය කියන සාධකය අත්‍යවශයයි. ආදරය තියෙන තැන සාර්ථකත්වය නියතයි.එතැනට ධනයත් නිතැතින්ම ගලාගෙන එනවා. ඒ නිසා තමන්ගේ ජිවිතයේ ආදරයට තැනක් දෙන්න. මේ පුංචි කතාවෙන් ගන්න පුලුවන් ආදර්ශයත් ඒකමයි. (එහෙම කියන මට නැත්තෙත් ආදරය විතරමයි )



14 March 2011

මගේ ආදර කතාව


හැමදාම ගතකරන ඒකාකාරි ජීවිතයෙන් මිදිලා චුට්ටක් වෙනසකටත් එක්ක කියලා පොතක් කියවන්න ඕනේ කියලා හිතුන නිසාම අදත් කැම්පස් එකේ ප්‍රධාන පුස්තකාලයට ආවා. පොත් එකින් එක තෝරන අතරේ අහම්බෙන් වගේ දැක්කේ ඔයාගේ ඔය ලස්සන අහිංසක හිනාවයි. එක පාරක් බලලා හිතට මදි කියලා හිතුන නිසාම තව පාරක් බැලුවා. ඒත් හිතට මදි...

මොනවා කරන්නද කාලය මට හරස් වෙලා. මට දේශනයකට යන්න තියෙනවා. ආයෙත් දවසක එන්න හිතාගෙන මම පුස්තකාලයෙන් එලියට බැස්සා.

දේශන ඉවර වෙලා හැන්දෑවේ පාඩම් කරන්න කියලා පොත් අතට ගත්තා. මොන .... පාඩම් කිරිල්ලක් ද ? පොත් වල පිටු අතරේ ඔයාගෙ ඒ හිනාව පේන්න ගත්තා. අකුරු අතර ඔයා දග කරන්න පටන් ගත්තා. ඔයාට පුදුම දැඟලිල්ලක් තමයි තිබුනේ. එ උනාට ඒ ගතිගුණ වලට මම ආස කළා.

පහුවෙනිදා අයෙත් ඒ වෙලාවට ම පුස්තකාලයට ගියේ ඔයාව දකින්න තියෙන ආසාවට කියලා හිත කියනවා. ජීවිතයේ ප්‍රථම වතාවට හිත කියපු දේකට අවනත වෙලා මම පුස්තකාලයට ආවා. එදත් ඔයා යාලුවෝ ගොඩක් අතරින් යද්දි මම ඒ දිහා ඇහිපිල්ලමක්වත් ගහන්නෙ නැතුව බලාගෙන හිටියා. ඔහොම දින ගණනක් ගෙවුනා. මටත් නොදැනිම මගේ හිත ඔයාට ආදරය කරන්න ගත්තා. ඒක මහ බොලඳ සිතුවිල්ලක් කියලා හිතුන වාර ගණන අනන්තයි . ඒත් මම ඔයාට ආදරෙයි.

හැමදාම මේ ආදරය හිතේ තියාගෙන ඉන්න බෑ.හිතට මහ බරක්. කොහොමහරි ඔයාගේ ආදරය ලබා ගන්නවාමයි කියලා හිතලා ඔයාගේ ෆැකල්ටියේ හිටපු මගේ යාලුවෙක්ගෙන් ඔයාගේ දුරකතන අංකය ඉල්ල ගත්තා. එදා මට ගොඩක් සංතෝස දවසක්. මම ගැහි ගැහී ඔයාට ඇමතුම ගත්තා. ඔයා දන්නේ නැති අංකයකින් ආපු ඇමතුමක් හින්දා වැඩිය කතා කලේ නෑ . ඒ උනාට මට ඒ හොදටම ඇති. ඊට පස්සෙ ඔයා මම දීපු කිසිම ඇමතුමකට උත්තර දුන්නෙ නෑ.

එ දවස්වල මම ගොඩක් දුකෙන් ගත කලේ. මම ඔයාගෙන් අහනවම යි කියල හිතලා දවසක් ඔයා දේශන ඉවර වෙලා එනකන් ඉදලා ඔයාගෙන් ආදරේද කියලා ඇහුවා මතකද ? ඔයා එදානම් මට හොදටම බැන්නා. ෆෝන් නම්බර් එක මාරු කරනවා කියලත් කිව්වා. ඒත් මම ඔයාට ආදරෙයි නේ. දවස් දෙක තුනකට පස්සෙ මම ආයෙමත් ඇහුවා. එතකොට ඔයා අර විදිහට මට බැන්නේ නෑ. මට පුදුමත් හිතුනා.

ඔයා පස්සෙ හිතලා උත්තරයක් දෙන්නම් කියලා කිව්වා. ඒත් කවද ද කොහේදිද කියලා කිව්වේ නෑ. මං ඔයාගේ උත්තර එනකන් ඇගිලි ගැන ගැන බලාගෙන හිටියා. ගනින්න ඇගිලිත් මදි උනා. දවසක් මට දුරකතන ඇමතුමකින් ඔයා මට ආදරෙයි කියලා කිව්වම මට මුලු හොස්ටල් එකටම ඇහෙන්න කැ ගහන්න හිතුනා. ඔරලෝසුවේ කටු, ටික වෙලාවකට නැවතුනා කියලා හිතුනා. හර්දය වස්තුව විනාඩියට එකසිය විස්සක විතර වේගයකින් ගැහෙන්න ගත්තා. මොනවද කියන්නේ කියලා හිතා ගන්න බැරි උනා. කොටින්ම ඒ මොහොතේ මම මුකුත්ම දන්නෙ නැති අත දරුවෙක් වගේ උනා.

ඔයා දන්නවද එදා අපි පටන් ගත්ත ඒ ආදරයට අදට අවුරුද්දක් ගෙවෙනවා. එදාටත් වඩා මම ඔයාට ආදරෙයි. මගේ ජීවිතයම දැන් ඔයා. මේ ලිපිය කියවන ඔයාලට හිතෙයි මම මහ බොලඳ කොල්ලෙක් කියලා. මොනා කරන්නද මම ආදරේ කරන්න දන්නෙ ඔහොම තමයි. මගේ සුදු මැණිකෙට දළදා සමිදු පිහිටයි.

------------------------------------------------------------
ප.ලි. - ප්‍රධාන පුස්තකාලය අසල තිබී අහුලා ගන්නා ලද ලිපියකින් උපුටා ගන්න ලද්දක් වන අතර මෙය මධුරංග වන මාගේ ආදර කතාව නොවන බව සියලු හිත මිත්‍රාදීන් ඉතා සංවේගයෙන් පිලි ගනිත්වා !!!!