28 April 2019

පහන්තුඩාව ඇල්ල

අපි දියළුම ඇල්ලේ ඉදලා බෙරගල පැත්තට බස් එකක නැගලා බෙරගලට ඇවිත් එතැන ඉදලා කොළඹ බස් එකකින් බෙලිහුල් ඔයට ආවා කියලා මතකනේ. බෙලිහුල් ඔය තානායම ලඟින් බැහැලා අපි පහන්තුඩාව ඇල්ල තියෙන පාර දිගේ ආවා. බෙලිහුල් ඔය හන්දියේ ඉදලා පහන්තුඩාවට කිලෝමීටර් 2ක් විතර යන්න ඕන. ත්‍රීවිල් එකක නම් යන්න පුලුවන්. ඒ නැතත් පරිසරය ලස්සන නිසා පයින් යන්නත් පුලුවන්.

බෙලිහුල් ඔය හන්දියේ බෝඩ් එකක් ගහලා තියෙනවා පහන්තුඩාවට යන පාර සදහන් කරලා. ඒ නිසා පාර වරදින්නේ නම් නෑ.


27 April 2019

උඩ දියළුම ඇල්ල

එදා සිකුරාදා දිනයක්. අපේ බදුල්ල ගමන් ගොඩක් වෙලවාට අපි යන්නේ සිකුරාදා දවසේ රෑ. මොකද බදුල්ල පැත්තට යන්නම පෑ හයක් විතර ගත වෙනවා. එතකොට උදේක ගියත් ගමනෙන් බාගයක්ම ඉන්න වෙන්නේ බස් එකේ. එහෙම ගිහිල්ලත් උදේ කෑම කාලා බලන්න යන තැනට සෙට් එනකොට දවස ගත වෙලා ඉවරයි.

මෙන්න මේ කරදරයෙන් මිදෙන්න තමා අපි බදුල්ලේ යනවා නම් සිකුරාදා රෑ යන්න තීරණය කරන්නේ. සිකුරදා රෑ බස් එහෙක නැගලා බදුල්ල කිට්ටු වෙනක්කොට උදේ පහ හය වගේ වෙලාවට බහින්න පුලුවන්. එතකොට මුළු දවසම වගේ ඉතුරුයි.

මෙදාපාර අපි යන්න හිතාගෙන හිටියේ උඩ දියළුමයි පහන්තුඩාව ඇල්ලයි ඇඩිසම් බංගලාවයි. එකිනෙකට වෙනස්ම පැති තුනක්.

මේ ගමන යන්න අපේ ඔපිස් එකෙන් මමයි තව එක්කෙනෙකුයි වෙනම අපේ තව යාළුවෝ දෙන්නෙකුයි එකතු උනා. ඊට අමතරව මගේ ආදරණීය බිරින්දෑත් එකතු උනා. ඔක්කොම කට්ටිය පහයි.

අපේ උන්දෑ මේ වාගේ ගමන් වලට ආසයි. ඒත් එයාට වැඩිය කටු කන්න බෑ. කොටින්ම ටිකක් වැඩියෙන් දුරක් ඇවිදින්න අමාරුයි. ටික වෙලාවක් යද්දි කුණු කුණු ගානවා. ඒ වගේම කඳු වල ඇවිදින්න එහෙම අමාරුයි.

මේ ගමන කොහොමහරි යනවමයි කියලා හිතලා තමා අපි එක්ක ආවේ.

23 April 2019

රෙමූණ වැව හා ආඳ දොළ

පහුගිය කාලේ ලංකාවටම පෑවිල්ල ඇල්ලුවා  මතක ඇතිනේ. අන්න ඒ කාලේ සෙනසුරදා දවසක හවස් වරුවේ තමයි මේ ගමන ගිහින් ආවේ. මේත් වැඩි ඈතකට ගියපු ගමනක් නෙමෙයි.

හොරණ ඉදලා කිලෝමීටර් 12ක් වගේ දුරකින් තියෙන රෙමුණ වැව බලන්න ගියපු ගමනක්.

මම සුපුරුදු පරිදි ගියේ,

අළුබෝමුල්ල > බණ්ඩාරගම > හොරණ > බැල්ලපිටිය > රෙමුණ

කියන ගමන් මාර්ගය හරහා. රෙමුණ කියන ගමට කිට්ටු වෙනකොටම රෙමුණ වැව පාර කියලා පාරක් හම්බ වෙනවා. එතැනින් දාලා කිලෝමීටරයක් විතර යනකොට රෙමුණ වැව ළඟට එන්න පුලුවන්.

20 April 2019

බොල්ගොඩ ගඟේ හිරණ තොටුපොළ

හිරණ තොටුපළ යැයි කීවද අද වන විට මෙය තොටුපොළකට වඩා පාළමක් සහිත මං සංධියක් බවට පත්වී ඇත. එහෙත් අපේ ගමේ මැදිවිය ඉක්මවූ ගැමියන් පවසන්නේ එකල බොල්ගොඩ ගඟ හරහා හිරණේද පාළම් පාරුවක් තිබූ බවයි.

එහෙත් අද ඒ පාළම් පාරුවට නැවතීමේ තිත තබා මේ වනවිට බොල්ගොඩ ගඟේ ඉවුරු දෙක යාකර හිරණේදී යකඩ පාළමක් ඉදිකර ඇත.


අළුබෝමුල්ලේ සිට කැස්බෑව දෙසට යාමට ඇති කෙටිම මාර්ගය වැටි ඇත්තේ හිරණ පාළම හරහා බැවින් මසකට දෙතුන් වතාවක් මා හිරණ පාළම පසු කර යමි. ඒ යන හැම මොහොතකම හිරණ පාළම මත කෙටි වේලාවක් ගත කර එහි සුන්දරත්වය විඳීමට අමතක නොකරමි.

17 April 2019

කුඩා අරුග්ගොඩ

මා කුඩා කළ හැදී වැඩුනේ ගම්පහ දිස්ත්‍රික්කයේ  වත්තලට නුදුරු එඩේරමුල්ල නම් ගම් පියසේ ය.පාසල් ගියේ ද එඩේරමුල්ල ශා. සෙබස්තියන් විද්‍යාලය ට ය. එසේම එදිනෙදා ඕනෑ එපාකම් වලට ආවේද එඩේරමුල්ල ට ය.

එහෙත් මා විරාශා හා සමග විවහා වූවාට පසුව මා උපන් දා සිටම ජීවත් වූ පරිසරයෙන් ඈත් වී කැළණි ගඟත් පැන බොල්ගොඩ ගඟින් එහා පැත්තේ වූ පානදුරේ නම් වූ නගරයට ඒමට සිදු විය. ඒ අප දෙදෙනා මිළදී ගත් ඉඩම පිහිටියේ පානදුරේ වූ නිසා ය.

ඇඟේ උපන් ගම මොරටුව ය.

මේ නිසාම ඈ අප මිලදී ගත යුතු ඉඩම තේරුවේ මොරටුවට ආසන්නවම ය. පානදුර නගරයේ සිට මොරටුවට කිලෝමීටර 6-7ක් වූවත් මා ඉපදුන ගමේ සිට පානදුරට කිලොමීටර් 40ක් පමණ තිබේ.

මේ නිසාම මා පානදුරට ඒම ගැන මගේ දෙමාපියන් එතරම් හිත හොඳකින් සිටියේ නැත. අපේ දෙමව්පියන්ට යන්න එන්න ලෙහෙසි පැත්තකින් ඉඩම ගත්තේ නැති නිසා මුලදි ඔවුන් මා හා උරණ වී සිටියෝ ය. එහෙත් කල් ගත වනවිට ඒ හිත් අමනාපකම් සියල්ලම කාළයේ වැලිතලාවට යට වී අකාමකා වී ගියෙ ය. මේ නිසාම ඔවුන් නිතර පානදුරේට එන්නට ද කැමති විය.

මා පානදුරේ යැයි කීවත් මා ඉඩම ගත්තේ පානදුරේ සිට හොරණ පාරේ කිලෝමීටර් 5ක් ගිය තැන හමුවන කුරුස හන්දියෙන් හැරී එතැනිනුත් ඉලෝමීටර් 2ක් පමණ ගියතැන හමුවන කුඩා අරුග්ගොඩ නම් ගමෙන් ය.

තවමත් අතීත ගමක තිබෙන ග්‍රාම්‍යය ලක්ෂන නොමැකී ඇති එහෙත් කෙමෙන් කෙමෙන් නාගරීකකරණයට හසුවන ගමකි, කුඩා අරුග්ගොඩ.

කුඩා අරුග්ගොඩ පරිසරය නිශ්කලංක ය. නිහඩ ය. ගමේ මිනිසුන් ද අහිංසක ය. අනුන්ගේ දේවල් සෙවීමට එතරම් කැමති අය නොවේ. එසේම ගමේ හොර හතුරන්ගෙන් සිදුවන හානි ය අවම ය.

මේ නිසාම මට මිලදී ජීවත් වූ එඩේරමුල්ලට වඩා කුඩා අරුග්ගොඩට ආසාවක් ඇති විය. ඒ ආසාව ඇතිවීමට මා සැදූ නිවසත් බලපෑමක් ඇති කළ බව මා කිව යුතු ය.

කුඩා අරුග්ගොඩ හා මහ අරුග්ගොඩ නමින් ගමේ නම කොටස් දෙකකට වෙන් වේ. මීට අමතරව කුඩා අරුග්ගොඩ ගම තුල දංකැටියවත්ත, මහගෙදරවත්ත හා කුරුන්ද නම් වූ කුඩා ගම් කිහිපයක් ඇත.

කුඩා අරුග්ගොඩ ගමේ පන්සලක් වෙයි. එය මහේන්ද්‍රාරාමය වේ. එසේම පානදුර මීසමට අයත් ජපමාල මාතා දේවස්ථානයද මේ ගමෙහිම පිහිටා ඇත.

මීට අමතරව කුඩා අරුග්ගොඩටත් මහ අරුග්ගොඩටත් මිණි පහණක් වූ දැයේ දරුවන්ගේ නැණස පාදන ශ්‍රී පරාක්‍රම මහ විද්‍යාලය පිහිටා ඇත. ගමේ නම අරුක්ගොඩ වීම සදහා ගම කෙලවරින් ගලන බොල්ගොඩ ගඟ හා එහි වූ රුක්ගහ තොටුපොළ හේතු වන්නට ඇත.

එකල රුක්ගස් ගොඩක් මේ ප්‍රදේශයේ පිහිටන්නට ඇති. මේ නිසාම රුක් ගස් ගොඩක් පිහිටි ප්‍රදේශය රුක්ගොඩ වී පසු කලෙක කටවහරේ යෙදෙන විට අරුක්ගොඩ වී දැන් තිබෙන අරුග්ගොඩ නාමය වනතෙක් විකාශනය වන්නට ඇත.

කුඩා අරුග්ගොඩ ජීවත් වන අපට එදිනෙදා ගමන් බිමන් යාමට බසයක් වෙයි එය පානදුරේ සිට රුක්ගහ තොටුපොළ වෙත දිවෙන මාර්ග අංක 452 නම් වන රුක්ගහ-පානදුර බසය වේ. උදෑසන පහ මාරට රුක්ගහ තොටුපොළෙන්  පටන් ගන්නා පළමු බස් ධාවනයේ සිට රෑ අට ට පානදුරෙන් පිටත්වන අන්තීම බසය තෙක් විනාඩුතිහකට හෝ හතලිස් පහකට වරක් බසයක් ගමන් ගනී.

මේඅවතරව කොප්පල සිට එන පානදුර-කොප්පල ලංගම බසය ද කුඩා අරුග්ගොඩ මිනිසුන්ගේ එදිනෙදා ගමන් බිමන් අවශ්‍යතා පිරිමසයි.

කුඩා අරුග්ගොඩ ජනතාව තම ඕනෑ එපාකම් පිරිමහ ගන්නේ කුරුස හන්දියෙනි. කුරුස හන්දියේ බැංකු කිහිපයක් වෙයි. මෙයට අමතරව සතොසක් හා සති පොළක් වෙයි. සති පොළ සෙනසුරාදා හවස පැවත් වේ. පොළෙන් එළවලු හා මාළු මිලදී ගන්නා ගැමියන් සතොසින් හාල් හා සීනි තේකොළ යනාදිය මිළදී ගනී. මේ දෙජාතියම මිළදී ගන්නා අයවළුන් රුක්ගහ තොටුපොළ පාරට වී රුක්ගහ බසය එනකන් කල් මරති.

රුක්ගහ බසය ආ කල ඒට ගොඩවී නිවස කරා ගමන් කරයි. එහෙමත් අයෙක් කුරුස හන්දියේ සිට ත්‍රී රෝද රථයක නැගී නිවස බලා ගමන් ගත්ත ද බොහෝ ගැමියන් දුප්පතුන් වූ බැවින් ඔවුන් බසයෙන් ගමන් කිරීමට පෙලබේ.

මේ ගම තුල දේවාල කිහිපයක් පිහිටා ඇත මෙයින් ප්‍රසිද්ධම දේවාලය මහගෙදරවත්ත මූලස්ථම්භ පත්තිනි දේවාලය වේ. මෙයට අමතරව කුඩා ප්‍රමාණයේ දේවාල කිහිපයක් වෙයි.

ගැමියන් තවමත් අණ විණ කොඩිවිණ හා තොවිල් පවිල් යනාදී යාග හෝම ගැන විශ්වාස කරන නිසාම බොහෝ දිනවල තුම්මං හන්දි වල මල් බුලත් තටු හා පෙරේත තටු දකින්නට පුලුවන.

ගමේ මිනිසෙකුට ලෙඩක් දුකක් හැදුන කලෙක බෙහෙත් ගැනීමට දොස්තර මහතෙක් සිටී. ඔහුගේ ඩිස්පැන්සරියේ කටයුතු කෙරෙන්නේ සවස් කාළයේ බැවින් බොහෝ සෙනගක් ඩිස්පැන්සරියට එයි. මෙයට අමතරව බෙහෙත් ගැනීම සදහා ගැමියන් පානදුර මූලික රෝහලට හෝ බණ්ඩාරගම දිසා රෝහලට යාමට පුරුදු වී සිටියි.

ගමේ සියළුම දෙනා පාහේ සිංහලයින් ය. ආගම් වශයෙන් වැඩි ප්‍රමාණයක් බෞද්ධයින් හා සුළු ප්‍රමාණයක් කතෝලිකයින් සිටියි. ඔවුන් සියළුම දෙනා සුහදතාවයෙන් හා එකිනෙකාට උදව් පදව් කරගෙන සතුටින් ජීවත් වෙයි.

මා ඉහත සදහන් කළේ ගමට ආ දා පටන් මා ඇසූ දුටූ සියල්ල ය. තව තවත් දේ කීමට ඇතත් මේ එයට කාළය නොවේ. 

දියගම සෙල්ලිපිය

එදා සෙනසුරාදා දවසක්.

උදේ ඉදන් ගෙදරට වෙලා පොතක් කියව කියා ඉදලා කම්මැලිකමක් හිතුනා. ඊට පස්සේ කොහේටහරි ගිහින් එන්ඩ ඕන කියලා හිතුන නිසා යන්නේ කොහේද කියලා මම ටික වෙලාවක් කල්පනා කළා. එතකොටම මතක් උනා මම කලින් දාක කළුතර ඉදලා හොරණට එනකොට දැකපු පුරාවිද්‍යා ස්ථානයක් තියෙනවයි කියලා. අන්න එහෙට ගිහින් එන්ඩ තිබ්බා නම් හොදයි කියලා හිතුනා.

ඒක සෙල්ලිපියක්.

මේ සෙල්ලිපිය තියෙන්නේ කළුතර හොරණ පාරේ දියගම කියන ගමේ.

මම ගෙදරින් පිටත්වෙලා,

අළුබෝමුල්ල > බණ්ඩාරගම > හොරණ > බැල්ලපිටිය > රෙමුණ > කෙසෙල්හේනාව > දොඹගොඩ > ගල්පාත > දියගම

පාර ඔස්සේ දියගමට ආවා.

15 April 2019

බොල්ගොඩ ගඟේ මහබෙල්ලන තොටුපොළ

බොල්ගොඩ ගඟේ මා දුටු තෙවෙනි පොටුපොළ මෙය වෙයි. පළමු තොටුපොල රුක්ගහ තොටුපොළ වන අතර මා මීට කලින් එම තොටුපොළ ගැන ලියා ඇත.

දෙවන තොටුපොළ හිරණ තොටුපොළ වන අතර ඒ පිළිබඳව මා මතු දිනෙක ලිපියක් ලියා දමමි.

අද ලියන්නට යන්නේ තුන්වෙනි තොටුපොළ පිළිබඳව ය.

මහබෙල්ලන නම් ගමෙහි පිහිටා ඇති නිසා මෙය මහබෙල්ලන තොටුපොළ නම් වේ. රුක්ගහ තොටුපොළ මෙන් පාළම් පාරුවක් මහබෙල්ලනෙ හි නැත. ඒ වෙනුවට නාන තොටුපොළක් වෙයි.

14 April 2019

සුබ නව වසරක් වේවා

අලුත් අවුරුද්ද උදාවෙන්න තව තියෙන්නේ හරියටම හෝරා කිහිපයක් විතරයි. මේ අවුරුද්දේ සිංහල අවුරුද්ද උදාවෙන්නේ පූර්ව භාග 2.09ට. ඒ කියන්නේ හවස 2.09ට.


එහෙනම් හැමෝටම ලබන්නාවූ සිංහල හින්දු අලුත් අවුරුද්ද සාමය සතුට සහජීවනය පිරි සුබ නව වසරක් වේවා !!

13 April 2019

පාළම් පාරුව අද නැත

හෙට සිංහල හින්දු අළුත් අවුරුදු දා ය.

ඒ නිසා බොහෝ නිවෙස්වල පිරිමින් ගෙවල් දොරවල් අස් පස් කිරීමේ ද ගැහැණුන් කැවිලි පෙවිලි සකස් කිරීමේ කටයුතු වලද නියැලී සිටිති. මා ජීවත් වන දෙල්ගහවත්තට ද අවුරුදු සරු ය. ළමා ලපටින් කෙළිදෙලෙන් ප්‍රීති වන කෑකෝ ගැසීම් හා සිනා හඩ ද විටින් විට මා සවනත වැකෙයි.

තවත් විටෙක කොහේ හෝ ගෙයක කුස්සියක ඉදෙන කැවුමක රස නහර පිනා යන සුවඳින් මා කුසගිනි අවුලවයි. මාත් මා ආදරණීය බිරින්දෑත් උපන් කතෝලිකයින් වූ නිසා ම සිංහල වුවත් අවුරුදු සමරන්නේ නැත. විටෙක අප උපන් සිංහලයින් වූවත් අනෙක් සිංහලයින් හා සමානවම අවුරුදු සමරන්නේ නැත්තේ ඇයි දැයි මගෙන්ම අසා ගනිමි.

එය මට ම උත්තර නැති ප්‍රශ්නයකි.කුඩා කළ මා අම්මාගෙන් මේ බව ඇසූ විට අම්මාගේ පිළිතුර වූයේ,

"අපි ඉතින් නත්තල් සමරනවනේ පුතේ" යන්නයි.

ඒ පිළිතුර මා ඉස් මුදුනින් ම පිළිගෙන සිටියා මිසක මා එතැනින් එහාට ප්‍රශ්න ඇසීමට නොගියෙමි. මේ නිසාම තවමත් ප්‍රශ්නය එලෙසම පවතී.

අවුරුදු සමරන්නේ නැති වුවත් මා උදේ සිටන ම ගෙවල් දොරවල් අස්පස් කිරිමේ කටයුතු වල නියැළී සිටියෙමි.