Showing posts with label පරිගණක. Show all posts
Showing posts with label පරිගණක. Show all posts

06 May 2025

Goodbye Skype

 ඔන්න අද ඉඳලා කාළයක් අපට කෝල්ස් වලට ඒ වගේම චැට් වලට උදව් වෙච්ච සෑහෙන්ඩ වටින මෘදුකාංගයක අවසන් දිනය අදයි. ඒ මෘදුකාංගය තමයි ස්කයිප් !

අද ඉඳලා ස්කයිප් භාවිතයෙන් ඉවත් කරන්නයි යන්නේ. ඒ වෙනුවට මයික්‍රොසොෆ්ට් සමාගමේ ටීම්ස් භාවිතා කරන්න පුලුවන් ලූ. අපි ස්කයිප් එකට භාවිතා කරපු යූසර්නේම් එකෙන්ම ටීම්ස් වලට ලොග් වෙලා වැඩ කටයුතු කරගෙන යන්ඩ පුලුවන්.

කාලෙන් කාලෙට තාක්ෂණයත් අළුත් වෙන්ඩ එපෑ. ඒ උනාට ඒ දවස්වල ස්කයිප් එකෙන් හම්බ වෙච්ච ප්‍රයෝජන නම් කියලා වැඩක් නෑ. අද මේ කෙටි සටහන වෙන් වෙන්නේ ඒ දවස්වල අපට චැට් වලට කෝල්ස් වලට උදව් වෙච්ච ස්කයිප් වෙනුවෙන්මයි. 

එහෙනම් සුබ දවසක් වේවා !

05 February 2015

VLC ප්ලේයර්යේ සිංහල යුනිකෝඩ් උපසිරැස ඔන් කරමු

මම නම් බ්ලොග් අඩවියේ තාක්ෂණික ලිපි ලියලා ඈ. මුල් දවස්වල නම් තාක්ෂණික ලිපි එකක් දෙකක් ලියල තියෙනවා. ඒ ඇරෙන්න මාස හයකටවත් එක තක්ෂණික ලිපියක්වත් ලියලා නැති තරම්.ගොඩක් වෙලාවට මම ලියන්නේ මට හිතෙන දේවල්, මම යන චාරිකා, මම අහපු දැකපු කියවපු දේවල්. අද මම පොඩියක් තාක්ෂණයට බර ලිපියක් ලියන්ඩ යන්නේ. මහා බරසාර දෙයක් නෙමේ පොඩි දෙයක්.

මගේ ලැප්ටොප් එකේ චිත්‍රපටි බලන්ඩ මම දාලා තියෙන්නේ VLC කියන ප්ලේයර් එක. ඒකේ වර්ශන් එක 2.0.5 !

මට දවසක් චිත්‍රපටියක් ලැබුනා ඒ චිත්‍රපටියේ සබ්ටයිට්ල් පේන්නේ නෑ.. කොටු කොටු පේන්නේ. මම වහාම සබ්ටයිට්ල් ෆයිල් එක ඕපන් කරලා බැලුවා. ඒ සබ්ටයිට්ල් එක තියෙන්නේ සිංහල යුනිකෝඩ් වලින්. VLC ප්ලේයර් එකට යුනිකෝඩ් කියවගන්ඩ බෑ.. අපොයි අම්මේ.... !!

12 December 2014

ගූගල් සිංහල-ඉංග්‍රීසි පරිවර්තන සේවය

වෙනදා අපි එක එක භාෂාවෙන් තියෙන දේවල් ඉංග්‍රීසියට හරවලා ඒවායේ තේරුම දැන ගත්තා. ඔන්න අද ඉදන් අපිට ඉංග්‍රීසියෙන් තියෙන දේවල් සිංහලෙනුත් සිංහලෙන් තියෙන දෙයක් ඉංග්‍රීයෙනුත් දැනගන්න දේවල් උදාවෙලා තියෙනවා.

මේ සේවය තාම පරීක්ෂණත්මක තත්වයේ තියෙන්නේ. මේක තව තවත් වැඩිදියුණු වෙන්න ඕන. ඉදිරියේදි තවත් දියුණු වෙලා ඒවි. මේ සේවය ගැන කෙටි සටහනක් තියන්න ඕන කියලා හිතුන නිසයි මේ සටහන තියන්නේ. මොකද මේක සිංහල කියවන ලියන අපේ ලොකු ජයග්‍රහණයක්. ඒ වගේම මේ සේවය වෙනුවෙන් කැපවීම් කරපු අයට ගොඩක් ස්තූතිවන්ත වෙන්ඩ ඕන.

28 November 2014

අන්තර්ජාලය වේගය හා අප්ලෝඩ් කිරීම

අපට අද උදේ ඉදලා සෑහෙන වෙලාවක් යනකන් අන්තර්ජාල පහසුකම තිබුනේ නෑ. වෙබ් අඩවියක් උනත් ලෝඩ් වෙන්ඩ සෑහෙන වෙලාවක් ගත්තා. ඊයේ හවසත් ටිකක් ස්පීඩ් අඩු ගතියක් තිබ්බා. ඒත් හවස නිසා ඒක ඒ හැටි ගානක් උනේ නෑ.

අද නං උදේ හිටන්ම අන්තර්ජාලය නෑ... !

එපා වෙනවා. මොකුත් හොයන්ඩ වෙන්නෙත් නෑ ඒ වගේම අන්තර්ජාලය සම්බන්ධ වෙන කිසිම වැඩක යෙදෙන්ඩ බෑ. ඒ නිසා අපට දීලා තිබ්බ අධ්‍යාපන වීඩියෝ වගයක් බැලුවා.

අන්තර්ජාල වේගය ගැන මතක් උනහම මට අපේ එක්කෙනෙක්ට ගහපු මඩක් මතක් උනා. මේක ඇත්තටම මඩක්. කොහද මම දන්න විදිහට මේකා මේ වාගේ වැඩක් කරයි කියලා හිතන්ඩ බෑ.

මේකයි වැඩේ.

12 November 2014

පරිගණක ඉංජිනේරුවෝ

මට අද වැඩ කරගෙන යන වෙලාවේ නිකමට වාගේ හිතුනේ පරිගණක ඉංජිනේරුවෙක් කිව්වහම මිනිස්සු පුදුම දේවල් ගොඩක් හිතාගෙන ඉන්නේ කියලා. කොටින්ම මිනිස්සු හිතන්නේ පරිගණක ඉංජිනේරුවෙක් කිව්වහම පරිගණකයේ ඇණයක් ඇණයක් ගානේ ඉදලා දන්න කෙනෙක් ය කියලා.

ඉංජිනේරුවෙක් කියලා කිව්වහම ඕන කෙනෙක්ගේ ඔලුවට එක පාරටම එන්නේ පාලම් හදන ගොඩනැගිලි හදන කෙනෙක් කියලා.එතකොට ඕන කෙනෙක් මුලින්ම අහන්නේ "කොහේ බිල්ඩිමක්ද/පාරක්ද/පාලමක් ද හදන්නේ" කියලා. පරිගණක ඉංජිනේරුවෙක් කියලා කිව්වහම චුට්ටක් විතර කල්පනා කරලා අහන්නේ "කොම්පියුටරයක් හදන්න පුලුවන්ද ?" කියලා. කම්පියුටරයක් හදනවා කියන්නේ එක එක කෑලි ගෙනත් එකලස් කරලා හදන එක නෙමේ. IC කෑල්ලේ පාස්සලා හදන්ඩ පුලුවන්ද කියලා. එහෙම කරන්න පුලුවන් නං අළුත් කම්පියුටර් වර්ගයක් හදලා විකුණ ගන්ඩ බැරුව යෑ. :)

තව එකක් තමා පරිගණක ඉංජිනේරුවෙක් කියලා කිව්වහම ඔපිස් ගිහින් කරන්ඩ ඕන වැඩ මොනවද කියලා අහනවා. සොෆ්ට්වෙයාර් හදනවයි කියලා උත්තර දුන්නහම ඊලඟට අහන්නේ "ෆොටෝෂොප් වගේ මයික්‍රොසොෆ්ට් ඔපිස් වගේ සොෆ්ට්වෙයාර් හදන්න පුලුවන්ද?" කියලා. කණ්ඩායමක් එකතු වෙලා ඒ ජාතියේ ඒවා හදන්ඩ බැරි කමක් නෑ. ඒත් මිනිස්සු හිතන්නේ ඒ වගේ එකක් තනියම හදන්ඩ පුලුවන් ඇති කියලා.

හොඳම වැඩේ තමා කාගේ හරි කොම්පියුටරේක මොකක් හරි අවුලක් ආවොත් ඒකට ක්ෂණික උත්තරයකුත් බලාපොරොත්තු වෙනවා. හරි හමන් උත්තරයක් දෙන්න බැරි උනොත් ඒ අය හිතන්නේ එච්චර වැඩ බෑයි කියලා.

ඔය වගේ වැඩක් මට හම්බ උනොත් මම කරන්නේ එක එක ටෙක්නිකල් වචන ගොඩාක් දාලා ලොකු උත්තරයක් දෙනවා. ඒක අනිවාර්යෙන්ම තේරුම් ගන්ඩ බෑ කියලා හිතුනහම ඒ අය සද්ද නොකර ඉන්නවා.ලේසියෙන්ම ගොඩ දාගන්න පුලුවන් වැඩක් නං ඉක්මනින් කරලා දානවා එහෙමත් අමාරු වැඩක් නං පස්සේ හිමිහිට දන්න කෙනෙක්ගෙන් අහලා, එහෙම නැත්නම් ගූගල් වලින් හොයලා ඒ කොම්පියුටරේ හදලා දානවා.

එතකොට දෙගොල්ලන්ටම ප්‍රශ්නයක් නෑ නෙහ්.. අනික අපි කියලා හැම ප්‍රශ්නෙටම උත්තරේ කට පාඩං කරගෙන ඉන්ඩ කියලා යෑ...හික්ස් :)

05 November 2014

මෝස් ගණකය

මීට මාස කිහිපයකට විතර උඩදි අපේ කන්තෝරුවේ වැඩ කරන කමල් අයියා ලැප්ටොප් එකෙන් සර්කීට් එකක රූපයක් බලාගෙන ඉන්නවා. මාත් ටික වෙලාවක් ඒ සර්කීට් එක දිහා බලාගෙන ඉදලා "මොකද්ද කමල් අයියා ඔය සර්කිට් එක ?" කියලා ඇහැව්වා.

කමල් අයියා ගැන කියනවා නං අවුරුදු 54ක් වයස අවුරුදු තිහක විතර පරිගණක ක්ෂේත්‍රයේ පලපුරුද්ද තියෙන ප්‍රවීනයෙක්. ඒ වගේම විවිධ විවිධ දේ අත්හදා බැලීම් කරලා බලන්න ආස කරන ගතින් වයස උනත් හිතින් තරුණ මනුස්සයෙක්.

ඉතින් මුන්දෑ මට ඒ සර්කීට් එක ටිකක් විස්තර කලා.

ඒක මෝස් ගණකයේ සර්කීට් එකලු.මෝස් ගණකය කියන්නේ මීට සෑහෙන අවුරුදු ගාණකට කලින් ටෙලිග්‍රාප් පණිවිඩ යවන්ඩ භාවිතා කරපු උපකරණයකට. මේ වෙනකොට දුරකතන හොයාගෙන තිබිලා නෑ.. මේ ගණකයේ තියෙන්නේ එක බොත්තමයි.ඒක තද කිරීමෙනුයි විවිධ විවිධ සංඥා නිකුත් කරන්නේ.

පහලින් තියෙන්නේ මෝස් ගණකයේ රූපයක්.

මේ උපකරණයෙන් පණිවිඩ යවන්නේ මෙහෙමයි.අපි උදාහරණයකට  ඉංග්‍රීසි හෝඩියේ කැපිටල් A අකුර යවන්න ඕන කියලා හිතමු. A අකුර යවන්න ඕන නං අදාල උපකරණයේ බොත්තම එක පාරක් ඔබලා තව පාරක් දීර්ඝ එබීමක් සිදු කරන්ඩ ඕන. තවත් සරලව කියනවා නම් ඉංග්‍රීසි හෝඩියේ A අකුරට අදාල මෝස් කෝඩ් එක බීප් බීඊඊඊඊඊප්ප්ප්ප්ප් !

ඔය වාගේ ඉංග්‍රීසි හෝඩියේ අකුරු ගානට මෝස් කෝඩ් ගොඩක් තියෙනවා. පහලින් තියෙන්නේ ඒ එක් එක්  අකුරට අදාල මෝඩ් කෝඩ් ටික.

ඉංග්‍රීසි හෝඩියේ B අකුර ටයිප් කරනවා නම් කෙටි එබීම් තුනයි දීර්ඝ එබීම් එකයි. ඒ කියන්නේ බීඊඊඊඊඊඊඊප්ප්ප්ප්ප් එකයි බීප් තුනයි. බීඊඊඊඊඊප්ප්ප් බීප් බීප් බීප්

පොඩ්ඩක් හිතලා බලන්ඩකෝ එක වචනයක් යවන්න කොච්චර වාර ගණනක් මෝස් ගණකයේ බොත්තම ඔබන්ඩ ඕනද කියලා. ඒ කාලෙට අනුව ටෙලිග්‍රාප් පණිවිඩයක් යවන එකත් ලේසි නෑ. මේ මෝස් කෝඩ් ක්‍රමය ලෝකයට හඳුන්වලා දුන්නේ සැමුවෙල් මෝස් කියන ඇමරිකන් ජාතික විද්‍යාඥයා. මේ මෝස් ගණකයේ තියෙන අවාසිය තමයි මේකෙන් පණිවිඩ යවන්න පුලුවන් ස්ථාන දෙකක් අතරේ විතරයි.

මීට මාස ගණනාවකට කලින් කමල් අයියා පහදලා දීපු මෝස් ගණකයේ සර්කීට් එක ආයෙම මගේ මතකයට ආවේ පහේ පංතියේ ඉංග්‍රීසි පොතේ තිබ්බ පාඩමක් නිසා. මට මතක විදිහට පහේ ඉංග්‍රීසි අච්චු පොතේ තොරතුරු සන්නිවේදනය ගැන පාඩමක් තියෙනවා. ඒකේ සදහන් වෙනවා ඔය මෝස් කෝඩ් ක්‍රමය ගැන. මම ඒ පාඩම උගන්නනකොට මේ මෝස් කෝඩ් කතාවත් සරලව පැහැදිලි කලා.

පස්සේ දවසක අපේ කමල් අයියා මෝස් කෝඩ් ගණකයක් හැදුවයි කියලා කිව්වා. ඒ ගණකය මට ගෙනත් පෙන්නනවා කියලත් කිව්වා. ඒත් මේ වෙනකන් තාම ඒ මෝස් කෝඩ් ගණකය ගෙනාවේ නෑ... :)

අන්තර්ජාලය චුට්ටක් පීරලා බැලුවා නං මෝස් කෝඩ් (Morse Code) ගැන ලිපි ගොඩාක් හොයා ගත්තෑකි.  එහෙනං අදට මං නවතිනවා. ෂා.... හෙට පෝය නිවාඩුවකුත් තියෙනවා නෙව.. :)

14 August 2014

යාළුවෙක් හදපු ඇන්ඩ්‍රොයිඩ් ඇප් ටිකක්

මේ ටිකේ මම ලිපි ලියාගෙන යන රටාවට පොඩි විරාමයක් තියලා අපේ යාළුවෙක්ට පොඩි අවස්ථාවක් දෙන්න හිතුවා. මේ ලිපියෙන් පස්සේ අයෙම පරණ ලිපි සෙට් එක නවත්තපු තැනින් පටන් ගන්නවා.

කැළුම් මේශාන්ත ප්‍රනාන්දු

අපිත්තෙක්ක පේරාදෙණිය සරසවියේ පරිඝණක ඉංජිනේරු විද්‍යාව හදාරපු කොල්ලෙක්. ඒ වගේම හැබැම දක්ශයෙක්.. කැලුම් ගැන තව දුරටත් කියනවා නම් මීගමුවේ ජීවත්වෙන මීගමුව ශාන්ත පීතර විද්‍යාලයෙන් සරසවි වරම් ලබලා පේරදෙණියට ආපු කොල්ලෙක්.

අපිත්තෙක්ක පේරාදෙණිය සරසවියේ හිටපු දවස්වලත් එක එක මෘදුකාංග නිර්මාණයේ යෙදුනු කෙනෙක් තමයි කැලුම් කියන්නේ. කැලුම් ඒ දවස්වලත් දුරකතන වැනි ජංගම උපාංග වලට මෘදුකාංග නිර්මාණය ගැන සෑහෙන උනන්දුවකින් හිටියා.

ඒ නිසාම ඔහු ඇන්ඩ්‍රොයිඩ් හා සම්බන්ධ මෘදුකාංග නිර්මාණය කරන්න පෙළඹුනා. අද ලිපියෙන් ඔහු අතින් නිර්මාණය වෙච්ච මෘදුකාංග තුනක් දෙන්නයි මේ සූදානම.

මේ මෘදුකාංග තුනම ඇන්ඩ්‍රොයිඩ් උපාංග වලට ඕන කරන ලයිව් වොල්පේපර් මෘදුකාංග... !

ඔයාලත් බාගත කරගෙන පාවිච්චි කරලා බලන්ඩකෝ !

01. Sunflower Live Wallpaper

02. Natural Leaf S4 Live Wallpaper

03. Natural Lake S5 Live Wallpaper

ඔය උඩ තියෙන සබැඳි වලට ගිහින් ඒවා පාවිච්චි කරලා බලන්ඩකෝ..
එහෙනම් මම ගියාවේ...

ඊලඟ ලිපියෙන් බිලින්ග්ස් ක්‍රමය ගැන ලියන්නම්.... එතෙක් ජය හා සතුට ! 

25 July 2014

ෆේස්බුක් වයිරස් එකක්

කාලෙකට පස්සේ මොනවහරි ලියන්න කියල අද තමයි ටිකක් විවේඅයක් ලැබුනේ. විවේකය මදි කමට ලොකුම හේතුව උනේ මට අළුත් පරිගණක භාෂාවක් ඉගෙන ගන්ඩ සිද්ධ වෙච්ච එක. ඒ භාෂාව ඉගෙන ගන්න කාලය ගත උනා වාගෙම ඒ භාෂාව පාවිච්චි කරලා එක එක වැඩ කෑලි දාන්නත් සිද්ධ උනා

ඒකට තමා වැඩිමනක්ම කාළය ගත උනේ. උදේ හිටන් හවස් වෙනකන්ම ඒ මත්තේ නැහුනට පස්සේ ගෙදර ගිහින් ආයේ කතාවක් කොටන්ඩ කම්මැලියි.

ලියන්ඩ කියලා හිතේ තියාගෙන ඉන්න ඒවත් ලියන්ඩ උනේ නෑ..හරි ඒවයින් කාරි නෑ.. ඔන්න අද තමා ඒ පහුගිය වැඩ ටික අඩු වෙලා ඉස්පාසුවක් ලැබුනේ. අද ඉදලා දිගටම බ්ලොග් ලිපි කියවන්න එනවා.

අද වැඩ ටික ඉවර වෙලා මූනුපොතට ලොග් උනාම මෙන්න මගේ වීඩියෝ එකක් ගැන කියවෙන ලින්ක් එකක් චැට් මැසේජ් එකකින් ආවා. පල්ලෙහා තියෙන්නේ ඒ චැට් මැසේජ් එකේ පින්තූරයක් !

චැට් එකෙන් කියවුනේ  නරක වීඩියෝ එකක් තියෙනවා ය ඒක මගේද කියලා අහලා තිබ්බා. මම ලින්ක් එක ක්ලික් කරන්නේ නැතුව චැට් එක ආපු එකාගෙන ඒ ගැන ඇහුවා. එතකොට තමා උන්දෑ කිව්වේ ඒකාටත් මේ ජාතියෙම මැසේජ් එකක් ඇවිත් ඒක ක්ලික් කලහම තමා මෙහෙම චැට් යන්නේ කියලා.

ඒක වයිරස් එකක් කියලත් කිව්වා.

ඒ නිසා මේ වාගේ ලින්ක් එක වතාවෙම ක්ලික් කරන්න යන්ඩ එපා. මේ වයිරස් එකෙන් කෙරෙන කාර්යය මොකද්ද කියල නං දන්නේ නෑ.. ඒ උනාට වයිරස් එකක් නෙහ්..... !

දවස් ගානකට පස්සේ ආපු හැටියෙම ලියන්ඩ උනේ වයිරස් එකක් ගැන...හික්ස් :)
මම එහෙනං ගිහිං එන්නං ! ජය සතුට !

07 April 2014

කොම්පියුටරේ ලෙඩේ

මතකනේ මම කලින් පෝස්ට් එකකදී කිව්වා මට කොම්පීතරයක් හදන්ඩ ලැබුනයි කියලා. එදා ඒ කොම්පීතරේ රැම් එක ගලවලා පිහිදාලා හයි කලාට පස්සේ ටීක් ටීක් සද්දේ නැවතුනා. ඒ උනාට කළු පාට තිරයෙන් එහාට්ට ඇවිත් වින්ඩෝස් ලෝඩ් වෙන්නේ නෑ...

මම දහ අතේ කල්පනා කලා මොකද මේ කොම්පීතරේ අවුල කියලා.

මම කල්පනා කරන වාරයක් පාසා නෑනන්ඩි ඇවිත් ඇවිත් හිනා වෙනවා.උන්දෑට ඕන කෝමහරි මට විහිලු කරන්ඩ..

"අපෝ කොම්පියිටර් ඉංජිනියර් කෙනෙක් නේද ? ඕක හදාගන්ඩ බෑ ද" කිය කියා කොච්චරවත් මාව චාටර් කරනවා.

මම තුම්මුනින් දාඩිය දාගෙන කල්පනා කරනවා මොකෑ මේකට කරන්නේ කියලා. ඇයි ඉතිං ලැජ්ජ වෙන්ඩත් බෑ නේ. ඕං ටික වෙලාවකට පස්සේ නැන්දම්මත් ඇවිදින් ඇඳේ වාඩි උනා මොකද්ද කොම්පීතරේ ලෙඩේ කියලා බලන්ඩ..

දැං හදාගන්ඩ බැරි උනෝතින් චාටරේ උපරිමේ... !

කෝක වෙතත් කමන් නෑ කියලා කොම්පීතරේ කරන්ට් එකට ගහලා ඔන් කලා. ඔන් කලාට පස්සේ ආපු තිරයේ තිබ්බ අකුරු ටික හීන් සැරේම කියව ගත්තා. එතකොට තමා ගැටේ ලිහාගන්ඩ පුලුවන් උනේ...

තිරයේ තිබ්බේ ප්‍රී මාස්ටර් නොට් ඩිටෙක්ටඩ් (Pre master : Not Detected) කියලා. ඒ වගේම ප්‍රී ස්ලේව් නොට් ඩිටෙක්ටඩ් (Pre slave : Not detected) කියලාත් තිබුනා.ඔන්න ඕකයි ලෙඩේ... මාස්ටරුයි ස්ලේවුයි (Master & Slave) හොයාගන්ඩ බැරුව කොම්පීතරේ ලත වෙනවා.

ඔය පහල පින්තූරේ ප්‍රී මාස්ටර් කියන තැනටයි ප්‍රී ස්ලේව් කියන තැනයි නොට් ඩිටෙක්ටඩ් කියලා තිබුනේ... පින්තූරයක් තිබුනේ නැති නිසා නෙට් එක පීරලා ඕක හොයාගත්තේ.
එකම ජාතියේ කේබල් වලින් හාඩ් ඩිස්ක්, සීඩි රොම් වගේ ඒවා ප්‍රධාන පුවරුවට සම්බන්ධ කරලා තිබ්බහම කොම්පීතරේට පැහැදිලි කරලා කියන්ඩ ඕන කවුද මාස්ටර් කවුද ස්ලේව් කියලා.  මාස්ටරුයි එයාගේ ස්ලේවුයි අදුරගන්න අමාරුම නම් ඒකට කරන්ඩ තියෙන්නේ ජම්පර් සෙට් කරලා මාස්ටර්/ස්ලේව් වෙන් කරලා පෙන්වන එක.

ජම්පර් කියන්නේ පොඩි සර්කීට් කෑලි වගේකට... !

ජම්පර් කියලා කියන්නේ පහල තියෙන ජාතියේ පොඩි සර්කීට් කෑලි වලට. ඕක සෙට් කරන්ඩ ඕන විදිහ හාඩ් එකේ ඇඳලම පැහැදිලි කරලා තියෙනවා.

මම වයින් කරලා අතෑරියා වාගේ කොම්පීතරේ ගලවලා හාඩ් එකේ ජම්පර් සර්කීට් සෙට් කලා... සෙට් කරලා ඉවර වෙලා කොම්පීතරේට කරන්ට් එක දීලා ඔන් කලා...ඕන් දැං බබා වාගේ ඔන් උනා. කාටත් සතුටුයි...ඔක්කෝටම වඩා අපේ එක්කෙනාගේ මූන බලන්ඩ එපෑ... ඇස් වලිනුත් හිනා උනා.

යාන්තන් ජාමේ බේරගෙන කොම්පීතරේ ගොඩ දැම්මා... බැරි වෙලාවකවත් හදාගන්ඩ බැරි උනා නං නෑනන්ඩිගෙන් චාටර් කන්ඩ එපෑ... !

අපෝ ඒයැයි චාටරේ උපත.... !

දැන් නං නිදිමතයි වාගේ.. ගිහින් එන්නම්... හැමෝටම සුබ රාත්‍රියක්.. !

---------------------------------------------------------------------
ප.ලි. - නොතේරුන තැනක් තියෙනවා නං අහන්ඩ..තේරුනේම නැත්නම් කමන් නෑ.. හීනයක් දැක්කයි කියලා හිත හදාගන්ඩ.. :)

21 January 2014

කොම්පීතරේ ලෙඩ වෙලා

අද නම් මහ එපාම කරපු දවසක්. කිසිම වැඩක් කරගන්න බැරි උන දවසක්. ඒකට මූලිකම හේතුව උනේ මම වැඩ කරන කොම්පීතරේ ලෙඩ වීම. මුලදි මුලදි ටික ටික ලෙඩේ තිබ්බට ඒ හැටි ගනන් ගත්තේ නෑ. දිගටම වැඩ කරගෙන ගියා.

ඔන්න අද හොඳටෝම ලෙඩ වෙලා. !

මේක ලෙඩක් කිව්වට ලෙඩ දෙකක් තියෙනවා. පලවෙනිම ලෙඩේ තමා වැඩ කරගෙන යනකොට එක වතාවෙම නිල් පාට තිරයක් ඇවිත් කොම්පීතරේ හිරවෙනවා. නිල් පාට තිරයේ තියෙන පණිවිඩයෙන් කියවෙන්නේ කොම්පීතරේ රැම් එකේ ප්‍රශ්නයක් කියලා.

අනිත් ප්‍රශ්නේ තමා  නෙට්වර්ක් එක හිටිහැටියේ අතුරුදහන් වෙලා යනවා. එතකොට ඉන්ටර්නෙට් නැතිව යනවා විතරක් නෙමේ මෙච්චර වෙලා වැඩ කරගෙන හිටපු සර්වර් ටිකත් එක්ක තිබ්බ සම්බන්ධතාවය නැතුව යනවා. මුලදි හිතුවේ මෙහේ නෙට්වර්ක් අවුලක් කියලා. පස්සේ හොයලා බලනකොට ඒක මගේ කොම්පීතරේ විතරක් තියෙන ලෙඩක්.

ඔය දෝශ දෙකෙන් කෝක ඇති උනත් තාවකාලික පිළියම විදිහට කරගෙන උන්නේ  කොම්පීතරේ පවර් බටන් එකෙන් ඕෆ් කරලා ඔන් කරන එක !

ඒත් ඒ වැඩේ වැඩි කාලයක් අල්ලලා හිටියේ නෑ. මුලදි ඔය මම කියපු දෝශ දෙක ඇති උනේ සතියට දෙතුන් පාරයි. ඔන්න දැන් දවසට හය හත් පාරක් ඇති වෙනවා. බල බල ඉන්න එක ඇඟට ගුණ නැති හන්දා මම අපේ ලොක්කාත්තෙක්ක මේ ගැන කතා කලා. උන්දෑ ගත් කටටම ඒ වැඩේ තව කෙනෙක්ට පංගනාතු කරලා බේරුනා.

ඊට පස්සේ ඒ මනුස්සයා හිටපු තැනට ගියහම උන්දෑ කිව්වේ ලොක්කට කියන්ඩ කියලා.

ලොක්කා ගාවට ගියහම කිව්වේ මම එහෙනම් බලලා පිළියමක් කරන්නම් කියලා. ඔය කිව්වට ඕක අද හෙටම සිද්ධ වෙන පිළියමක් නෙමේ. මුලදි මුලදි නං කිව්වේ ටික දවසකින් ලැප්ටොප් එකක් දෙන්නං එතකං ඕකෙං වැඩ කරන්ඩ කියලා. එහෙම කියලා දැං අවුරුදු දෙකකටත් වැඩියි.

කීපවතාවක් මතක් කලත් වැඩක් උනේ නෑ.. !

මතක් කරන වෙලාවට විතරක් "හරි ලඟදිම ලැප්ටොප් දෙනවා " කිව්වට දෙන දවසක් නං නෑ. මැටි පූසා උනත් කමන් නෑ මීයෝ අල්ලනවා නං කියලා කතාවක් තියෙනවා නෙහ්. අන්න ඒ වාගේ ලෙඩ කොම්පීතරෙන් හරි කමන් නෑ දීලා තියෙන වැඩේ වෙලාවට කරලා දෙන නිසා කිසි අගයක් නෑ. ඒ නිසාමද මන්දා මේ ගැන සලකල බලන්නේ නැත්තේ !

ඔවුවා හිත හිත ඉන්නවට වඩා හොඳයි බේකරියට ගිහිං පැටිසක් කාලා ප්ලේන්ටියක් ගහනවා !
එහෙනං මං ගියාවේ.... 

10 October 2012

skype වෛරසයක්

මේ දවස්වල මම ලොවෙත් අන්තරස්ධාන වෙලා ඉන්නේ. ඒ නිසා බ්ලොග් කියවන්නයි ලියන්නයි එන්නම උනේ නෑ. ඒත් අද අපිට මුහුන දෙන්න වෙච්ච සිදුවීමක් නිසා යන්තම් අකුරු තුන හතරක් ලියලා දාන්න හිතුවා.

වෙනදා වගේම ස්කයිප් ලොග් වෙලා මගේ පාඩුවේ මම වැඩ කරගෙන ගියා. ස්කයිප් එකෙන් තමයි මෙහෙ වැඩ කරන අය අදහස් හුවමාරු කරන්නේ. ඒ නිසා ස්කයිප් ලොග්වෙන එක අනිවාර්යයයි.

ටික වෙලාවක් මම වැඩකරගෙන යනකොට මෙන්න බොලේ ස්කයිප් චැට් තොගයක් එකපාරටම ආවා. හැම චැට් එකේම තිබ්බේ පහල තියෙන මැසේජ් එක.

  lol is this your new profile pic?
 http://goo.gl/Ya6Se?image= මගේ ස්කයිප් අයි ඩී එක

මම අදාල ලින්ක් එක ක්ලික් කලා. ඊට පස්සේ එකපාරටම සිප් ෆයිල් එකක් ඩවුන්ලෝඩ් වෙන්න ඇහුවා. ඒකත් ඩවුන්ලෝඩ් කරලා ඩබල් ක්ලික් කරල ඕපන් කලා.  එතකොට සිප් ෆයිල් එක ඇතුලේ ඇප්ලිකේශන් එකක් තියෙනවා දැක්කා.

 ඊට පස්සේ කොයිකටත් කියලා චැට් එක එවපු කෙනාගෙන්ම අහලා බැලුවා මොකද්ද ඒ ෆයිල් එක කියලා. බැලින්නම් ඒක වෛරස් එකක් !!!! අම්මෝ යන්තන් බේරුනා ! ඇප්ලිකේශන් එක රන් කලා නම් ඉවරයි !

 මේ වෛරස් එකේ භයානක කම කියන්නේ විඩින් විඩේ  චැට් මැසේජස් යාළුවෝ ලිස්ට් එකටම යවන එක ! මේ නිසා ලොකු නෙට්වර්ක් ට්‍රැෆික් එකක් හදන්න පුලුවන් ! අතින් එක තමා සමහර ස්කෑනින් වලට මේක අහු වෙන්නෙත් නෑ !

ඒ නිසා කියන්න තියෙන්නේ මේ වගේ ලින්ක් ක්ලික් කරන්න එපා කියන එක !  අපි නම් දවසම පට්ට ෆන් එකක් ගත්තා මේ ස්කයිප් වෛරස් එකෙන් !!

ප.ලි. - ආරක්ෂක හේතුන් මත ඉවත් කරන ලදි..

12 March 2011

ලිනක්ස් වලට සිංහල ඩික්ශනරියක් | Sinhala Dictionary for Linux

නෙට් කනෙක්ශන් එක අප්ඩේට් වෙන්න තව තියෙන්නේ දවසයි. මේ මාසෙට මගේ වී කෙයාර් ඕල් වේස් කනෙක්ශන් එකේ 300MB ඉතුරු වෙච්ච හින්දා මොනාහරි ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ කියලා හිතුනා.

ඩවුන්ලෝඩ් කරන්න හිතුවට මොකෝ ඔය සොච්චමට ෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් කරන්න කියලැයි. 300MB ෆිල්ම් එකක් උනත් ඩවුන්ලෝඩ් කරන්න යද්දි දෙ තුන් පාරක් කනෙක්ශන් එක නැති උනාම ඒකෙනුත් වැඩක් නැහැනේ . මොකද පේරාදෙණියට ඔය ඕල් වේස් කට්ටියගේ 3G සිග්නල් ගොඩක් අඩුයි .

ඒ නිසා මගේ කම්පියුටර් එකේ ලිනක්ස් වලට ලාටෙක් (LaTeX) වත් දාන්න ඕනෙ කියලා හිතුනා. ලාටෙක් කියන්නේ ඔය ඩොකියුමන්ට් (Word, Powerpoint, වගේ ඒවා. )එහෙම හදන්න ගන්න ප්‍රෝග්‍රෑම් එකක් හැබැයි ඔෆිස් වල තරම් ලේසි නෑ.තනිකරම කෝඩ් එකෙන් තමයි ඔය සේරම ඩොකියුමන්ට් එකම හදන්නේ.කෝඩ් එක ලියලා කම්පයිල් (Compile) කලාම හැදෙන්නේ අපට ඕන කරන pdf එක. මේකේ වාසිය තමයි පිටු ඕනම ගානක ඩොකියුමන්ට් හදන්න පුලුවන්. වර්ඩ් වල පිටු සියයක් පනිද්දි මාර ලෙඩ දෙන්නේ. ඒ අතින් මේ ක්‍රමය නියමයි.

ආහ් තව පොඩ්ඩෙන් කියන්න ආපු කාරනාවත් අමතක වෙනවා. ලාටෙක් ඉන්ස්ටෝල් කලාට පස්සේ මට හිතුනා ලිනක්ස් වලට හදපු සිංහල ඩික්ශනරි (Dictionary) එහෙම නැද්ද කියලා හොයන්න. එහෙම හොයාගෙන යද්දි මට පට්ට ඩික්ශනරි එකක් ලැබුනා. සමහරවිට ඔයාලා මේක දැනටමත් පාවිච්චි කරනවා ඇති. දන්නේ නැති අයටවත් මේක ප්‍රයෝජනවත් වෙයි නේ. මේකෙන් වචනයක් හොයන්න මාරම ලේසියි කරන්න තියෙන්නේ වචනේ උඩ ඩබල් ක්ලික් කරන්න විතරයි.

මෙහෙමයි ඉන්ස්ටෝල් කර ගන්නේ....

පියවර 01
ලිනක්ස් ටර්මිනල් එකේ පහත කමාන්ඩ් එක ටයිප් කරලා Enter කරන්න.
apt-get install stardict

පියවර 02
මෙකෙන් වෙන්නේ ඩික්ශනරිය ඉන්ස්ටෝල් වෙන එක විතරයි. සිංහල දාන්නේ මෙහෙමයි.සිංහල ඩික්ශනරි ෆයිල් ටික මෙතනින් අරගන්න.ඩවුන්ලෝඩ් වෙන ටාර් (.tar) ෆයිල් එක පහත කමාන්ඩ් එකෙන් එක්ස්ට්‍රෑක් (extract) කර ගන්න.
tar -xzvf sinhala-stardict-120908.tar.gz

පියවර 03
ඊට පස්සේ එක්ස්ට්‍රෑක් ගර ගත්ත ෆයිල් ටික /usr/share/stardict/dic ඔය පාත් එකේ dic ෆෝල්ඩරයට කොපි කරන්න.

පියවර 04
දැන් Accessories සබ්මෙනු එකේන් ඩික්ශනරිය ඕපන් කර ගන්න පුලුවන්.

ඔය වගේ වින්ඩෝස් වලටත් ඩික්ශනරි තියෙනවද කියලා බැලුවා. ඒත් වැඩේ හරි ගියේ නෑ.මධුර ඩික්ශනරිය තියෙන නිසා අවුලක් නැහැනේ.

තව ලිනක්ස් වලට ඕන කරන සොෆ්ට්වෙයාර් ටිකකුත් දැම්මා. මේ ඔක්කෝම ඩවුන්ලෝඩ් කරලා එද්දි මගේ ඩොන්ගල් එකේ ෆ්‍රී ඩේටා ඉවරත් වෙලා Access Usage යන්නේ .හිනා වෙන්න එපා.මේ පෝස්ට් එක දාන්නෙත් යාලුවෙක් ගේ ඩොන්ගල් එකෙන්.

ප.ලි.- ලාටෙක් ඉන්ස්ටෝල් කරන්න අවශ්‍ය නම් මේ පහත කමාන්ඩ් එක ටර්මිනල් එකේ ටයිප් කොරලා එන්ටර් කරන එකයි ඇත්තේ. 100MB විතර ඩවුන් ලෝඩ් වෙනවා.
sudo apt-get install texlive