29 April 2011

ලොකු ජයග්‍රහණයක්


අද දේශන වලට සහභාගි වෙන්න යද්දි කොරිඩෝවේ එක පැත්තක ලස්සන කුසලානයක් තියලා. ඒ ලගින්ම නම් ටිකකුත් ලියලා තියෙනවා.මේ කුසලානය දකිද්දි හිතට මාරම සතුටක් දැනෙන්නේ. අන්න ඒ කුසලානය පේරදෙණි සරසවියේ ලබාගත්තු ලොකු ජයග්‍රහණයකට උරුමකම් කියනවා.

හැම අවුරුද්දකම වගේ මයික්‍රොසොෆ්ට් සමාගමෙන් පවත්වන Imagine Cup සොෆ්ට්වෙයාර් තරයගෙන් සමස්ථ ලංකාවම නියෝජනය කරන්න පේරාදෙනි සරසවි මවගේ දරුවන් කිහිපදෙනෙක්ට හැකිවෙලා තියෙනවා.මෙවර පැවති තරගාවලියට ලංකාවෙම විශ්ව විද්‍යාල ඒ වගේම පුද්ගලික අධ්‍යන ආයතන ගණනාවක් සහභාගි වෙලා තියෙනවා.

Imagine cup කියලා කියන්නේ ලෝකයේ සියලුම රටවල් වල විශ්ව විද්‍යාල ඒ වගේම අධ්‍යන ආයතන ඉගෙනුම ලබන සිසුන් වෙනුවෙන් මයික්‍රෝසොෆ්ට් සමාගම මගින් පවත්වන තරගාවලියක්.හැම රටක්ම එරට නියෝජනය කිරීමට කණ්ඩායමක් සහභාගි කරවනවා.

හැම වසරකම වගේ කණ්ඩායම් කිහිපයක් ඉදිරිපත් උනත් ප්‍රථම වරට මෙවැනි විශාල ජයග්‍රහනයක් ලබා ගැනීමට හැකි වීම තමයි මෙහි සුවිෂේශිම කාරණය.ගියවර තරගාවලියේදි අපේ පීඨය නියෝජනය කළ කණ්ඩායම අනුශුරතාව දිනා ගැනීමට සමත් උනා.එම වසරේ කොළඹ සරසවිය ලංකාව නියෝජනය කිරීමේ භාග්‍යය උදා කර ගත්තා. ගිය වසරේ අවසාන මහා තරගාවලිය පැවැත්වුවේ පෝලන්තයේ. මෙවර අවසාන මහා තරගාවලිය පවත්වන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ.

තරගකරුවන්ගේ සියලුම වියදම් මයික්‍රෝසොෆ්ට් සමාගම මගින් දරනවා. ඒ වගේම තරගය පවත්වන රටේ සංචාරය කිරිමටත් තරගකරුවන්ට වාසනාව උදා වෙනවා.

අවසන් වශයෙන් ලංකාව නියෝජනය කරන පේරාදෙනි සරසවි කණ්ඩායමට සුබ පතනවා !!!! ඒ වගේම අවසන් මහා තරගයෙන් ජයග්‍රහනය කිරීමට ශක්තිය, ධෛර්ය, වාසනාව ලැබෙන්න කියලා එක සිතින්ම පතනවා !!

අපේ කණ්ඩායම.......

28 April 2011

පාස්කු ඉරිදා


2011 අවුරුද්දේ පාස්කු ඉරිදා යෙදිලා තිබ්බේ හරියටම අප්‍රේල් 23 වෙනි ඉරිදා දවසේ. නමුත් එදා මට පෝස්ට් එකක් දාන්න බැරි උනා. මොකද මා ලග තිබ්බ කරුණු ප්‍රමාණවත් නැති හන්දා.ඒ නිසයි අද පෝස්ට් එක දාන්න හිතුවේ.

කවුරුත් දන්න විදිහට ජේසුස් වහන්සේ මහ සිකුරාදා දවසේ අපවත් වෙනවා. (උකුත් වෙනවා)ජේසු තුමා උකුත් උනාට පස්සේ අරිමාතියේ ජෝශප් කියන තරුණයා පිලාත් ආණ්ඩුකාරයාගෙන් ජේසුස් වහන්සේගේ මෘත දේහය කුරුසියෙන් බාගෙන ගල් ලෙනක තැන්පත් කරන්න අවසර ඉල්ලනවා. ඔහුට අවසර ලැබෙනවා.ඒ අවසරයෙන්, ඔහු ජේසුස් වහන්සේගේ මෘත ශරීරය නොඉදුල් ගල් ලෙනක(කිසිදු මෘත ශරීරයක් තැන්පත් නොකල) තැන්පත් කරනවා.

අන්තිමේදි පිලාත්ට මතක් වෙනවා ජේසු තුමා දවස් තුනකින් මරණින් නැගිටිනවා කියලා කිව්ව බව. බැරිවෙලාවක වත් ජේසුතුමාගේ ගෝලයෝ ජේසුගේ මෘත ශරීරය හොරෙන් අරන් ගිහින් ජේසුතුමා උත්ථාන උනා කියලා කියන්නත් බැරි නැති හින්දා මේ ගල්ලෙන මුරට සෙබලුන්ව යොදවනවා.මේ ගල්ලෙනේ දොර, ලොකු ගලකින් වහනවා.

මහ සිකුරාදා ඔහොම තැන්පත් කරපු ජේසුගේ මෘත ශරීරයට සුවද විලවුන් ගල්වන්න කියලා මග්දලා කියන ගමේ මරියා කියන ගෑනු කෙනාත් තවත් ජෙරුසලම් ස්ත්‍රීන් කිහිප දෙනෙක් එනවා. එහෙම එද්දි එයාලා දකිනවා ගල් ලෙන වහපු ගල ඉවත් කරලා කියලා. ඒ අය ඊට පස්සේ ගල්ලෙන ඇතුලට ගියාට පස්සේ ජේසු තුමාගේ මළ සිරුර දකින්න ලැබෙන්නේ නෑ.එතකොටම දේව දූතයෙක් මේ අයට කියනවා ජේසු තුමා මරණින් උත්ථාන උනා කියලා.

මෙ උත්ථාන වෙච්ච ජේසු තුමා තමන්ගේ ගෝලයන් වෙතට යනවා. ගෝලයන් බයවෙනවා හොල්මනක් ය කියලා. නමුත් ජේසු තුමා තමන්ගේ ගෝලයන්ට කතා කරලා කියනවා තමන්ගේ ඇගේ තියෙන වණ කැලල් දිහා බලන්න. විශ්වාස නැත්නම් තමන්ව ස්පර්ශ කරලා බලන්නැයි කියලා.අන්තිමේදි ගෝලයන් තේරුම් ගන්නවා මේ මරණින් නැගිට්ට ජේසු තුමාම තමයි කියලා.

ජෙරුසලම් ස්ත්‍රින් ජේසුගේ මෘත ශරීරයට බලන්නට ඒම හා ජේසුතුමා මරණින් නැගිටිම යන මේ කාරණා ටික තමයි පාස්කු ඉරිදට කිතුනු භක්තිකයෝ සිහි කරන්නේ. එදාටත් සුපුරුදු පරිදි පූජාවක් තියෙනවා. මේ පූජාවේදි ප්‍රසාද ස්නාපන පොරොන්දු ඒ කියන්නේ පුංචි දරුවෙක් හෝ වේවා වැඩිහිටියෙක් හෝ වේවා ඕනම කෙනෙක් කතෝලික ආගමට එනකොට ආගමික වශයෙන් පොරොන්දු වගයක් දෙනවා.(යක්ශයා හා උගේ පරීක්ශා දුරු කරනවා, ගෝලයන්ගෙන් පැවතගෙන එන කතෝලික දහම ගැන විශ්වාස කරනවා.... ඔයවගේ පොරොන්දු ටිකක්.) අන්න ඒ පොරොන්දු අලුත් කරනවා.

පුංචිම ළමයෙක් කතෝලික ආගමට ගනිද්දි එයාට ඔය පොරොන්දු ගැන අවබෝධයක් නෑ. අනිත් එක තමයි එයාලට කතා කරන්න බැරි හින්දා එයාලා වෙනුවට එයාලගේ ඥාන මව්පියෝ (අම්මයි අප්පච්චියි නැති කාලේ ඒ දරුවාව බලාගන්නවා ය කියලා දෙවියන් ඉදිරියේ පොරොන්දු වෙන නෑයෝ දෙන්නෙක්.ගෑනු කෙනෙකුයි පිරිමි කෙනෙකුයි. ) ඒ පොරොන්දු දෙනවා.ඊට පස්සේ ඒ දරුවා ලොකු මහත් උනාට පස්සේ ඒ පොරොන්දු ආයෙම අලුත් කිරීමක් සිද්ධ කරනවා.

පාස්කු ඉරිදායි පස්සේ චතාරික කාලයේ දින හතලිහ ගෙවිලා ඉවර වෙනවා. ඒ වගේම තමයි නත්තල් දවස ඇරෙන්නට තිබ්බ උතුම්ම මංගල්‍ය දවස් ටිකත් ගෙවිලා යනවා. එහෙනම් ගිහින් එන්නම්

ලෝ වැසි සියලුම කිතුනුවන්ට සුභම සුභ පාස්කු මංගල්‍යයක් වේවා !!!!!

23 April 2011

මහ සිකුරාදා

කලින් පෝස්ට් වල අළු බදාදා, ගොක් ඉරිදා, මහ බ්‍රහස්පතින්දා වගේ කිතුනුවන්ගේ විශේශිත දවස්වල තියෙන විෂේශත්වයන් ලිව්වා. අද කියන්න යන්නෙත් ඒ වගේ දවසක් ගැන. ඒ කියන්නේ මහ සිකුරාදා එහෙමත් නැත්නම් Good Friday දවසේ තියෙන විෂේශත්වය ගැන.

මහ බ්‍රහස්පතින්දා දවසේ ජේසු තුමාව එයාගෙම ගෝලයෙක් ජුදා හේවායින්ට පාවා දෙනවා. අන්න එහෙම පාවා දුන්නට පස්සේ හේවායින් ජේසු තුමාව අල්ලන් යනවා.එහෙම අල්ලගෙන යන්නේ එවකට හිටපු නායක පූජකයාගේ (එවකට මිත්‍යා ඇදහිලි වල නිරත වෙලා හිටපු පූජකයෙක්) දේව මාලිගාවට. ජේසු තුමාත් එක්ක පේදුරු කියලා කියන ගෝලයාත් යනවා. නමුත් මේ පේදුරු දේවස්ථානය ඇතුලට යන්නේ නෑ දොර ලග නතර වෙනවා. එතන දොරටු පාලකයා අහනවා "ඔබත් මේ ජේසුගේ ගෝලයෙක් ද " කියලා. එතකොට පේදුරු "නැහැ" කියලා උත්තර දෙනවා.ඔය වගේ අවස්ථා තුනකදිම පේදුරු තුමා ජේසුව අදුනන්නේ නෑ කියලා කියනවා.

ජේසුතුමා අන්තිම රාත්‍රි භෝජනය වෙලාවේ දි පේදුරුට කතා කරලා කියනවා අලුයම කුකුලා අඩලන්නට කලින් පේදුරු තුමා ජේසුව අදුනන්නේ නෑ කියලා තුන් සැරයක් කියනවා කියලා.අන්න ඒ කියපු දේව වාක්‍යය මෙතනදි සම්පූර්ණ වෙනවා.මොකද පේදුරු තුමා අවස්ථා තුනකදිම ජේසුව අදුනන්නේ නෑ කියපු හන්දා.

ඊට පස්සේ ජේසු තුමාව එවකට ආණ්ඩුකාරයා වෙලා හිටපු පිලාත්ගේ (සීසර් අධිරාජ්‍යයාගේ පාලන කාලයේ) අධිකරණ ශාලාවට ගෙනියනවා. ගෙනිහින් ජේසු තුමාව විත්තියේත් මුළු ජුදා සෙනග පැමිණිල්ලෙත් තියලා සාක්ෂි විමසනවා. අන්තිමේ දි පිලාත් ට පෙනීයනවා මේ ජේසු තුමා අත වරදක් නෑ කියලා.වරදක් නැති නිසා ජේසුව නිදහස් කරන්න යද්දි සෙනග කෑ මොර දෙනවා "ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා කියපු වරදට කුරුසියේ ඇණ ගහන්න" කියලා.

ඊට පස්සේ බරබ්බස් කියන මංකොල්ලකාරයාවත් අධිකරණ ශාලාවට අරගෙන එනවා. එදා පාස්කු දවසක්. (ඉස්සර පාස්කු මංගල්‍යය කියලා සැමරුවේ වෙනම කාරණාවක්.ඒක නම් මම දන්නේ නෑ.) හරියට නිදහස් දවසට හිරකරුවන් නිදහස් කරනවා වගේ එදා තිබ්බ නීතියේ හැටියට පාස්කු දවසට එක් අයෙක් නිදහස් කරන්න නීතියෙන් අවසර තිබ්බා. ඒ නිසා පිලාත්, සෙනගගෙන් අහනවා ජේසු තුමාවද බරබ්බස් කියන මංකොල්ලකාරයාවද නිදහස් කරන්න ඕනේ කියලා. සෙනග එක හඩින් කෑ ගහලා කියනවා බරබ්බස් කියන මංකොල්ලකාරයාව නිදහස් කරන්න කියලා.

ඒ නිසා ජේසු තුමා කුරුසියට නියම වෙන අතරම බරබ්බස් හිරෙන් නිදහස් වෙනවා.ඊට පස්සේ පිලාත් වතුර භාජනයක් ගෙන්නවලා "මේ මනුෂ්‍යයාගේ ලෙයින් මම නිදහස්" කියලා තම දෑත් වතුරෙන් සෝද ගන්නවා. වැරද්දක් කරලා තමන් නිදහස් වෙන්න අත් සෝදගන්න එවුන් එදා සමාජයෙත් හිටියා අද සමාජයෙත් ඉන්නවා. එහෙම බලාගෙන ගියාම එදායි අදයි කියලා වැඩි වෙනසක් නෑ.

ඊට පස්සේ ජේසුතුමාගේ හිසට කටු ඔටුන්නක් දානවා.බරවූ කුරුසයක් කරට දෙනවා. ජේසු තුමා ඒ කුරුසිය කරට අරන් නගරයෙන් පිටත තියෙන කපාල කන්දට එක්කන් යනවා. නගරය හරහා යන ගමනේදි තුන් වරක් කුරුසියත් එක්කම බිම ඇද වැටෙනවා. නගරයේ සෙනග පාර දෙපැත්තට වෙලා ජේසුතුමා යන මේ ගමන දිහා බලන් ඉන්නවා. එහෙම යන ගමනේදි ජේසු තුමාට තමාගේ අම්මව මුණ ගැහෙනවා.දරුවෙකුගේ කකුලේ කටුවක් ඇනුනත් දුක් වෙන අම්මෙකුට තමන්ගේ දරුවාට කස පහර දිදී මරන්න අරගෙන යනකොට කොච්චර නම් දුක හිතෙන්නට ඇත්ද.ඒ අම්මා එතනින් නතර වෙන්නේ නෑ. මොනදේ උනත් ඒ අම්මා අඩ අඩ තමන්ගේ පුතාව අරගෙන යන මග දිගේම එනවා.

ජේසු මෙහෙම කුරුස බරින් බිම ඇදගෙන වැටෙද්දි සීමන් සිරිනේවුස් කියන දෙන්නව ජේසුගේ උදව්වට එනවා. අන්තිමේදි ජේසු තුමා කපාල කන්ද මුදුනට එනවා.ඊට පස්සේ හේවායෝ ජේසුගේ වස්ත්‍ර ගලවලා රෙදි කඩක් අන්දනවා.ජේසුගෙ ඇදුම ඉරලා විසි කරන්නේ නෑ.හේවායෝ ඒ ඇදුමේ අයිතිය වෙනුවෙන් ඔට්ටු අල්ලනවා.

අන්තිමේ ජේසුතුමාව කුරුසියේ ඇණ ගහනවා.ජේසු තුමාගේ ආදරනීය මෑණියෝ අඩ අඩ කුරුසිය පාමුල ඉන්නවා. ඒත් එක්කම ජේසුගේ ජුවාම් කියන ගෝලයාත් ඉන්නවා. ජේසුතුමා තමන්ගේ මැණියන් අමතලා "මෑණියනි මේ ඔබගේ පුත්‍රයා " කියලා කියනවා. ඒ වගේම ජුවාම් අමතලා "ජුවාම්, මේ ඔබගේ මෑණියෝ ය." කියලා කියනවා. මෙතනදි වෙන්නේ අපවත් වීමට ආසන්න ජේසු තුමා තමන්ගේ කිතුනු සභාව තම මෑණියන්ට භාර දෙනවා දරුවෙක් වගේ ආදරෙන් බලාගන්න කියලා.දේව මෑණියෝ ආදරෙන් බලාගත්ත සභාව තමයි අදටත් කිතුනුවන් විදිහට පැවතගෙන එන්නේ.

අන්තිමේ ජේසුතුමා කුරුස ගසේදිම අපවත් වෙනවා. ඊට පස්සේ ජේසුගේ ශරීරය ගල්ලෙනක තැන්පත් කරනවා.මේක තමයි මහ සිකුරාදාවේ අතීත කතාව.

මහ සිකුරාදා දවසටත් වෙනදා වගේම පූජාවක් තියෙනවා. එදාට කිතුනුවන් මලගමකට එන විදිහට සුදු ඇදගෙන පල්ලි එනවා.කුරුසියෙ ඇණ ගහපු ජේසුගේ සුරුවමක් (පිලිමයක්) කුරුසියෙන් බාගෙන මිනියක් ගෙනියන විදිහට පෙට්ටියක දාලා පල්ලියේ ගල් ලෙනට අරගෙන යනවා.අරන් යන අතරතුර ගොඩක් දුක හිතෙන විදිහේ ගීතිකා(ගීත) කියනවා. ගිහින් ඒකේ තැන්පත් කරනවා. මේ දේවල් තමයි එදා වෙන්නේ. ගොඩක් සංක්ශිප්තව කියපු නිසා සමහර දේවල් මග ඇරිලා තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න.

-------------------------------------------------------------------------
ප.ලි.- මේ සිද්ධි සියල්ලම passion of the Christ චිත්‍රපටියේ තියෙනවා. පුලුවන් කට්ටිය හොයාගෙන බලන්න. බලද්දි ගොඩක් දුක හිතෙනවා.මේ චිත්‍රපටියට පාදක කරගෙන තියෙන්නේ හේවායෝ ජේසු තුමාට දීපු වද වේදනා ඉස්මතු කරලා පෙන්වීම. ඒ අතින් අති සාර්ථක චිත්‍රපටියක් !!!

කැමති අය passion of the Christ ටොරන්ට් එක බා ගන්න මෙතන ක්ලික් කරන්න

21 April 2011

මහා බ්‍රහස්පතින්දා

කිතුනු භක්තිකයින්ගේ සුවිෂේශිම සතිය එහෙමත් නැත්නම් ශුද්ධවු සතිය තමයි මේ ගෙවෙන්නේ.ශුද්ධවූ සතියේ පළමුවන සුවීෂේශි දවස තමයි මහ බ්‍රහස්පතින්දා කියලා කියන්නේ.මේ දවසේ එක විශේශත්වයක් නෙමෙයි කිහිපයක් තියෙනවා.

ජේසුස් වහන්සේ, තම දහම දේශනා කරන්න උදව්වට තෝර ගත්තු ගෝලයන් සමග එකට එකතුවී ගන්නා අන්තිම රාත්‍රි භෝජනය (The last Dinner) වැළදිම සිදු කරන ලද්දෙත් මහ බ්‍රහස්පතින්දා දවසේ.මෙම අන්තිම රාත්‍රි භෝජනයට පෙර ජේසු තුමා තම ගෝලයන්ගේ පා දෝවනය කරනවා.මෙයින් අදහස් කරන්නේ තම ගෝලයන්ගේ පා සේදිමට තරම් නායකයා නිහතමානි විය යුතු බවයි.අනුන්ගේ අදහස් වලටත් ඉඩක් දිය යුතු බවත්ය.

ඊට පස්සේ රොටි ගෙනත් ආශිර්වාද කරලා ඒවා ගෝලයන් අතරේ බෙදා දෙනවා.එහෙම ආශිර්වාද කරද්දි ජේසුස් වහන්සේ "මේ මාගේ ශ්‍රී ශරීරයයි මෙය ගෙන අනුභව කරන්න." කියලා කියනවා. ඒ කියපු වාක්‍යය අදටත් කිතුනුවන් දිව්‍ය පූජාවේදි සිහිපත් කරනවා. ඊට පස්සේ මිදි යුෂ පිරි කුසලානය අරගෙන ඒක ඉහලට ඔසවලා "මේ මාගේ ශ්‍රි රුධීරයයි මෙය ගෙන පානය කරන්න" කියලා කියනවා. මේ වාක්‍යයත් පූජාවල් වලදී සිහිපත් කරනවා.රොටි=ශරීරයටත්, මිදි යුෂ=ලේ වලටත් උපමා කරපු හේතුව නම් දන්නේ නෑ. දන්න කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් කරන්න.

එදා ඔවුන් පාවිච්චි කරපු රොටි හා මිදි යුෂ වෙනුවට පූප හා වයින් තමයි පාවිච්චි කරන්නේ. මේ දවසෙන් පස්සේ තමයි ජේසුස් වහන්සේ අනුව යන පූජක සංගයක් (පූජක පිරිසක්) බිහි වෙන්නේ.ඒ කියන්නේ දේවස්ථානවල පූජකවරු බිහි වෙන්නේ අන්තිම රාත්‍රි භෝජනයට පස්සේ.එහෙම ආහාර අනුභවයෙන් පස්සේ ජේසුතුමා තම ගෝලයන්ට කියනවා ඔබ අතුරින් කෙනෙක් මා පාවා දෙන්නෙහිය කියලා. මේ අවස්ථාවේ ගෝලයොත් ටිකක් බයවෙලා එකිනෙකාගේ මූනවල් දිහා බලා ගන්නවා.



අන්තිම රාත්‍රි භෝජනයෙන් පස්සේ ජේසු තුමා ගෝලයන් එක්ක ගෙත්සෙමනි කියන මල් උයනට යනවා යාච්ඥා කරන්න.දේව පුත්‍රයාට උනත් භය කියන දේ පොදුයි.මේ අවස්ථාවේදී ජේසු තුමාත් බය වෙනවා. එහෙම බයවෙලා "මේ දුක් ප්‍රාප්තිය මාගෙන් අහක්විය හැකිනම් එසේ වේවා, නමුත් මාගේ කමැත්ත ලෙස නොව ඔබගේ කැමැත්ත ලෙස සිදු වේවා" කියලා දෙවියන්ට යාච්ඥා කරනවා .ජේසු තුමා යාච්ඥා කරලා ඉවර වෙනතෙක් ඇහැරිලා ඉන්න කියලා ගෝලයන්ට කියලා යනවා. නමුත් ගෝලයන්ට එහෙම ඇහරිලා ඉන්න බෑ. ඔවුන්ට නින්ද යනවා.

මේ බව ජේසු තුමා දකිනවා. දැකලා ඇතිවෙච්චි හිත් වේදනාවෙන් "මා සමග එක පැයක්වත් පිබිද සිටින්න නුබලාට බැරි උනාදැයි" කියලා අහනවා.තමන්ට මෙච්චර දුකක් වෙන්න යද්දිත් තමන් ලග ඉන්න අය තමන්ගැන බලන්නෙත් නැතුව එහෙම ඉදිද්දි දුක හිතෙන එක සාමාන්‍ය දෙයක්. ජේසුතුමාටත් එහෙම දුක හිතෙන්නට ඇති.

අන්තිමේදී යාච්ඥා කලායින් පස්සේ ගෝලයන් ලගට ඇවිත් "මනුශ්‍ය පුත්‍රයා පවුකාරයින් අතට අසුවන වේලාව පැමිනුනේය. මෙතනින් නැගිට යම්හ යි" කියලා සියලු දෙනාම පිටත් වෙනවා. මේ අවස්ථාවේ නායක පූජකවරුයි හේවායිනුත් එක්ක ජේසු තුමා එක්ක හිටපු ජුදාස් ස්කාරියොත් කියන ගෝලයා ඇවිත්, ජේසු තුමාගේ මුහුණ සිබිමින් පාවා දෙනවා.

රිදී කාසි 30කට තමයි ජේසුව පාවා දෙන්නේ.අන්තිමේදී ජුදාස් ට කරපු වැරැද්ද අවබෝධ වෙලා රිදී කාසි ටික නායක පූජකයන් ඉදිරියේ විසි කරනවා. ඊට පස්සේ ඔහු ගෙල වැල ලා ගෙන සිය දිවි හානි කරගන්නවා. අහිංසක මනුෂ්‍යයෙක්ගේ ලේවලට තක්සේරු කරපු රිදී තිහ දේව මාලිගාවේ භාණ්ඩාගාරයට දාන්නේ නෑ.ඒ මුදල් වලින් විජාතිකයින්ට (යුදෙව් නොවන අයට) සොහොන් පිටියක් හදනවා.ඒ සොහොන් පිටිය "කුඹල් කෙත" කියලා නම් කරනවා. පස්සේ කාලෙක ඒ සොහොන් පිටියට "ලේ කෙත " කියලත් කියනවා.

ඔය ටික තමයි මහ බ්‍රහස්පතින්දා දවසේ තියෙන විෂේශත්වය.එදාටත් වෙනදා වගේ ම පූජාවක් තියනවා. ගෝලයෝ දොලොස් දෙනාට මිනිස්සු දෝලොස් දෙනෙක් තෝරගෙන පල්ලියේ පියතුමා ඒ අයගේ පා දෝවනය කරනවා. ඒවගේම පාන් ආශිර්වාද කරලා බෙදා දෙනවා.

අද ලිපිය ටිකක් දිග වැඩි උනා.මට කියන්න අමතක වෙච්ච මොනවහරි තියෙනවානම් ඒවා පහලින් කමෙන්ට් කරන්න. මං පෝස්ට් එක ට දාන්නම්.
-----------------------------------------------------------------------
නායක පූජකවරු - ජේසුතුමාගේ කාළයේ විවිධ මිත්‍යා ඇදහිලිවල නිරතවෙලා හිටපු පූජක පිරිසක්.ජේසුස් වහන්සේගේ අනුගාමික පූජකවරු නෙමේ.

17 April 2011

ගොක් ඉරිදා

කලින් පෝස්ට් එකක කිතුනු බැතිමතුන්ට විෂේශ දවසක් වෙච්ච අළු බදාදා දිනයේ තිබ්බ විෂේශත්වය කිව්වා මතක ඇති. ඒ ලිපිය කියවන්න බැරි උනා නම් කැමති කට්ටිය මෙතන ක්ලික් කරලා කියවන්න. අළු බදාදයින් පස්සේ එන සුවිශේශි දිනය තමයි ගොක් ඉරිදා කියන්නේ.අළු බදාදායින් පටන් ගන්න කාලය හදුන්වන්නේ චතාරික කාළය කියලා එහෙමත් නැත්නම් දුක්ප්‍රාප්ති කාළය කියලා. ජේසුතුමාගේ දුක් විදීම කුරුස ගතවීම හා කුරුසයේ උකුත් වීම සිහි කරනනේ මේ කාල සීමාවෙයි.

ගොඩක් කතෝලික අය වගේම කතෝලික නොවන අයත් හිතාගෙන ඉන්නේ නත්තල් මංගල්ල්‍යය එහෙමත් නැත්නම් ජේසු තුමාගේ උපත සිහි කරන එක තමයි කිතු බැතිමතුන්ගේ සුවිෂේශි ම දිනය කියලා.ඒ කතාව වැරදියි. දරුවෙක් ගේ උපතක් සුවිෂේශි වෙන්නේ ඒ දරුවගේ දෙමව්පියන්ටයි එයාගේ නෑදෑ අසල්වැසියන්ට විතරයි. එහෙම නම් ඒ දරු උපත ලෝක වාසින් සිහිපත් කරන්න මොකක්හරි සුවිෂේශි හේතුවක් තියෙන්න ඕනේ.

එහෙම යම් කෙනෙක්ගේ උපතක් ලෝ වැසි ජනතාව ඉමහත් ගෞරවයෙන් භක්තියෙන් සිහි කරන්න ප්‍රධානම හේතුව වෙන්නේ ඒ කෙනා ජීවත්ව ඉන්න කාලේ කරපු කියපු දේවල් නිසයි. කෙනෙක් ජීවත් වෙලා ඉන්නකන් ලෝ වැසියන්ට හොදක් කලා නම් ඒ මිනිස්සු ඒ අදාල කෙනාගේ උපත සිහි කරනවා. ඒ කෙනා උපන් දවසට ජනතාව ඒ ගෞරවය ඒ කෙනාට ලබා දෙනවා.මේ කතාව ජේසුස් වහන්සේටත් පොදුයි. අපි කාටත් එක වගේ පොදු කාරණාවක්. බුදු දහමෙත් එහෙම්මමයි වෙනසක් නෑ.

ජේසුස් වහන්සේ තම ආගමික කාර්යය ආරම්භ කරමින් තැනින් තැන ගිහින් කිතු දහම දේශනා කරලා ලෝක වාසි ජනතාවට ප්‍රේමයේ දහම කියා දීපු කාලය පටන්ගෙන අන්තිමේ නොකළ වරදකට කුරුස ගත වීම හා කුරුසියේ උකුත් වීම දක්වා දිවෙන සිද්ධි දාමය සිහි කරන කාලය තමයි මේ චතාරික කාළය කියලා කියන්නේ. ඒ කිතු දහම ලොවට හදුන්වා දිම නිසයි කිතු උපත ඉමහත් භක්තියෙන් සමරන්නේ.

අන්න ඒ කිතු දහම දේශනා කරන්න, ජේසු තුමාට ගමින් ගම යන්න සිද්ධ උනා. ඒ විදිහට කිතු දහම දේශනා කිරීමට කොටලුවෙක් ගේ පිට ජේසු තුමාගේ උතුරු සලුව අතුරලා ඒ මත හිදගෙන ජෙරුසරමට ගිය අවස්ථාවේ ජෙරුසලම් වැසියෝ, පාර දෙපස රැස්වෙලා ඔලිව් අතු වනමින් "හෝසන්නා (සැරදේවා)!!!! " කිය කියා ජේසු තුමාව පිලි ගත්ත එක තමයි ගොක් ඉරිදා දවසේ තියෙන විශේශත්වය විදිහට කිතුනු භක්තිකයෝ සමරන්නේ.

අන්න එහෙම ඔල්වරසන් දීලා පිලිගත්ත ජනතාවම තමයි අන්තිමේදි ජේසු තුමාට බොරු චෝදනා එල්ල කරලා කුරුසියේ මරණය දක්වාම අරගෙන යන්නේ.

ගොක් ඉරිදා දවසට කිතුනු දේවස්ථානවල දිව්‍ය පූජාවක් තියනවා. එදා ජෙරුසලමේ වැසියෝ පාවිච්චි කරපු ඔලිව් අතු වෙනුවට ගොක් කොළ පාවිච්චි කරන නිසයි මේ ඉරිදට කිතුනු බැතිමතුන් ගොක් ඉරිදා කියලා කියන්නේ. එදාට පූජාවට අරන් එන ගොක් කොළ ආශිර්වාද කරනවා. ඒ ගොක් කොළ අරන් ගිහින් කුරුස හදලා ගෙවල්වල උළුවස්සේ එල්ලන්නත් කිතුනුවන් අමතක කරන්නේ නෑ.අන්න එහෙම එල්ලන ගොක් කුරුස අලු තමයි අළු බදාදා දවසේ නලලේ තවරන්නේ.
අන්න ඒ ගොක් ඉරිදා දවස තමයි මේ ඉරිදා ඔවුන් සමරන්නේ.

ප.ලි. - අපි බෞද්ධයෝ වශයෙන් අනිත් ආගම් ගැනත් යම්කිසි හරි දැනුවත් වීමක් තියෙන එක හොදයි කියලා හිතුන නිසයි කිතුනු බැතිමතුන්ගේ මේ වගේ සුවිෂේශි දින වල විෂේශත්වයන් බ්ලොග් ලිපිවල ලියන්නේ. මං අනිත් ආගම් ගැන නම් දන්නේ නෑ. මේ දේවල් ටිකක් හරි දන්න නිසයි ලියන්නේ.

09 April 2011

සිංහල අලුත් අවුරුද්දට කලින්....



සිංහල අවුරුදු නිවාඩුවත් අතලගටම ඇවිල්ලා. හැම සැරේම වගේ මෙදාපාරත් සිංහල අවුරුද්දට සතියක නිවාඩු කාලයක් ලැබුනා. ඒ හින්දා ගෙදර යන්න කියලා හිතාගෙන ඉන්නේ.කාමරේ තියෙන අතට අහුවන අහුවෙන හැම ඇදුම් කෑල්ලක්ම බෑග් එකේ දාගෙන කම්පියුටර් එක ඉස්සරහට ආවේ ගෙදර යන්න කලින් සිංහල බ්ලොග් අවකාශයේ ඉන්න සහෝදර සහෝදරියන්ට අවුරුද්දටත් කලින් ම අවුරුද්දට සුබ පතන්න කියලා.

එක දවසක් විතරක්ම නෙමෙයි අවුරුද්ද පුරාම බ්ලොග් අවකාශයේ සහෝදරත්වය අපිත් එක්ක අත්වැල් බැදගන්න ඉන්න හන්දා සිංහල අවුරුද්දේ ඒ අයව අමතක කරලා කොහොමෙයි ඉන්නේ. ඒ හින්දා සිංහල බ්ලොග් අවකාශයේ බ්ලොග් ලියන හා සිංහල බ්ලොග් කියවන සියලුම දෙනාටත් ලබන්නා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සාමය සතුට සෞභාග්‍යය සපිරි සිරි සුබ නව වසරක් වේවායි පතන්නෙමි.

සමහර අවුරුදු වල අලුත් අවුරුද්දට ගමේ යන්න නිවාඩු දුන්නත් සමහරු යන්නේ නැති හන්දා මෙදාපාර අවුරුදු කාලේ හොස්ටල් එක තහනම් කලාපයක් කරලා ඒ හින්දා හැමෝටම යන්න වෙනවා. මට නම් එහෙම කරන්න ඕනේ නෑ. මෙහෙ හිටියත් ගෙදර දුවන්න බලාගෙන ඉන්නේ අම්මා උයන කෑම ටිකක රහ බලන්න. ඒ තරමට මෙහේ මෙහේ කෑම එපාවෙලා ඉන්නේ.

08 April 2011

දරුවෝ හැදීම හා දරුවෝ වැදීම

දරුවෝ ලොකු මහත් කරන්න දෙමව්පියෝ පුදුම දුකක් විදින්නේ. දරුවෙක්ව මේ ලෝකෙට බිහිකරපු දා ඉදන් ඒකාට යමක් කමක් කරගන්න තේරෙන කාලේ වෙනකන් අම්මලාට එකා සීරුවම මහන්සි වෙන්න සිද්ද වෙනවා. දරුවෝ ගැන කිව්වම මට පොඩි කතා දෙකක් මතක් උනා.
මේ කතාව කිව්වේ මගේ යාලුවෙක්. යාලුවාගේ අක්කට අවුරුදු පහක හයක විතර පුතෙක් ඉන්නවලු. මේ පොඩි එකා මාරම ආසයිලු මාලු ඇති කරන්න. කොහොමහරි ඒකාගේ තාත්තට බල කරලා මාලු ටිකක් ගෙන්න ගත්තලු. මාලු ටික ගෙන්න ගත්තට මොකෝ එවුන්ව දාන්න ටැංකියක් තිබිලා නෑ ලු. කොහොමහරි ගෙනාපු එවුන්ව ජෑම් බෝතලයකට දාලා කාලයක් තියා ගත්තා කියමුකෝ.

මේකගේ යාලුවෝ ඔක්කෝම ගාව මාලු ටැංකි තියෙන නිසා මේකා ගෙදර ඇවිත් "මට මාලු ටැංකියක් ගෙනත් දීපියෝ " කියලා ලතෝනි තියනවලු. ඔහොම දවස් තුන හතරක් විතර කෑ ගහපු නිසා මේකගේ කරදරෙන් බේරෙන්න කියලා අපේ යාලුවාගේ ගෙදර තිබ්බ ටැංකිය ගෙනත් එදා රෑම මාලු ටික ටැංකියට මාරු කරලා තිබ්බලු පොඩි එකාට බලන්න කියලා.

ඔහොම මාලු ටික ටැංකියට මාරු කරද්දි රතු පාට එකෙක් ටැංකියෙන් එලියට පැන්නලු. ඒකව හොයන්න අම්මයි තාත්තයි මාර ම ගේමක් දීලා තියෙනවා. ඒත් බැරි වෙලා.

කොහොමහරි කොල්ලා උදේම නැගිට්ටම "පුතා අපි ඊයෙ ටැංකියක් ගෙනල්ලා ඒකට මාලු දාලා තිබ්බා ගිහින් බලන්න" කියලා කිව්වලු. කොල්ලා ගිහින් බැලුවම මාලු ටික ටැංකියට දාලා තිබ්බට රතුපාට එකා නෑලු.
ඊට පස්සේ "මෙහෙ වරෙන් !!! ඇවිත් බලපිය මේකේ රතු එකා ඉන්නවද කියලා !!!" කියලා අම්මට කෑ ගැහුවලු. ඒ අම්මට කර කියා ගන්න දෙයක් නැති උනාලු.

යාලුවා කතාව කිව්වට පස්සේ අපි හිනා උනත් මෙතන ඊට වඩා බැරෑරුම් දෙයක් තියෙනවා. සමහර චූටි එවුන් දෙමව්පියන්ට මෙහෙම කතා කලාම "පොඩි එකා නේ.නොතේරුම් කමට කියන ඒවනේ.ලොකු වෙද්දි ඕවා ඇරිලා යයි." කියලා ඒවගේ දේවල් ගනන් ගන්නේ නෑ. නමුත් ඒකා ලොකු උනාට පස්සේ අම්මලාට අරෙහෙම කතා කලාම එයාලට දුක වැඩියි. කතාවටත් කියනවනේ නියපොත්තෙන් කඩන්න ඕන දේ පොරවෙන් කපන්න ඕන වෙනකන් ඉන්න එපැයි කියලා.

යාලුවා මේ කතාව කිව්වට පස්සේ මටත් කතාවක් මතක් උනා. අපේ නැන්දගේ පොඩි එකා (අවුරුදු පහක විතර චූටි එකෙක්.) දවසක් ගෙදර තිබ්බ හෑන්ඩ් ෆෝන් එක අරගෙන සෙල්ලම් කරකර ඉදිද්දි එකපාරම අක්කා ඇවිත් ෆෝන් එක උදුරන්න හදලා. ඌට තද වෙච්ච පාර ලගම තිබ්බේ ටොයිලැට් එක ලු. ඒකට ගිහින් දොර වහ ගත්තා. අක්කා දොරට ගහද්දිත් මල්ලි දොර අරින්නේ නෑලු.

අන්තිමේදි අක්කට එපාවෙච්ච පාර ඕන දෙයක් කරගත්තෙන් කියලා යන්න ගියාලු. ඊට පස්සේ මල්ලි හිමිහිට දොර ඇරගෙන එන්න හදද්දි ෆෝන් එකේ පියනක් ගැලවිලා කොමොඩ් එකට වැටුන ලු. තාත්තා ගහයි කියන බයට දෙපාරක් නොහිතා කොමොඩ් එකට අත දාලා අර පියන අරගේ ආයෙත් අර ෆෝන් එකේ හයි කරන්න ගත්තලු. බැරිම තැන ඒක කුස්සියෙ මේසේ උඩින් තියලා යන්න ගියා.

පස්සේ ආරංචි උනා කොමොඩ් එකට අත දාපු එකට මාමා හොදටම මලයට ගැහුවා කියලා.කලින් කතාව වගේ නෙමෙයි මෙතන දෙමව්පියෝ දරුවන්ට ඕනෑවට වඩා තරවටු කරන්න ගියාම එයාලා දෙමව්පියන්ට බය වෙනවා. ඒ බය ලොකු වෙද්දිත් අතෑරගන්න බැරි වෙනවා. එහෙම උනාම වෙන්නේ ළමයා ලොකු වෙද්දි ප්‍රශ්නයක් උනාමත් අම්මා හරි තාත්තා හරි ගහයි කියන බයට කියන්නේ නැතුව ඒ ප්‍රශ්නෙත් එක්ක විදව විදව ඉන්නවා. දෙමව්පියෝ යාලුවෝ වගේ ඉන්නවනම් ඒ ප්‍රශ්න දරුවෝ අම්මලාට කියන්න බය වෙන්නේ නෑ.

ඒ නිසා දරුවෙක් මේ ලෝකෙට බිහි කරලා විතරක් මදි. එයාලව හටියට හදාගන්නත් දෙමව්පියෝ වග බලාගන්න ඕනේ. නැත්නම් රට්ටුන්ගෙන් කතා අහන්න වෙන්නෙත් දෙමව්පියන්ටමයි.

අන්තිමට කියන්න තියෙන්නේ දරුවන්ට ඕනෑවට වඩා නිදහස දෙන්නත් හොද නෑ ඒ වගේ ඕනෑවට වඩා හිර කරල තියා ගන්නත් හොද නෑ.ඒ හින්දා මේ දෙකම අතර මැද්දේ මැදුම් පිලිවෙතක් අනුගමනය කරන එක තමා නුවණට හුරු. බුදු හාමුදුරුවොත් බුදු උනේ මැදුම් පිලිවෙත පාවිච්චි කලා කියලා කියනවනේ. ඒ නිසා කොයි දේටත් හොදයි මැදුම් පිලිවෙත !!!!

ප.ලි. - යාලුවාගේ අක්කගේ පුතාව උදාහරණෙට ගත්ත එකට ඒ යාලුවාගෙන් සමාව ඉල්ලනවා.නම් ගම් නොකියා කතාව කියන්න උත්සහ ගත්තෙත් ඒ හින්දයි. මේ මට හිතෙන දේ. මං සමහර විට හරි වෙන්නත් පුලුවන් එහෙම නැත්නම් වැරදි වෙන්නත් පුලුවන්. වැරැද්දක් ඇතොත් ඒක නිවැරදි කරලා කමෙන්ට් එකක් දාන්න.

07 April 2011

වැඩකාරයෝ දෙන්නෙක්

උසස් පෙළ කරන දවස් කියන්නේ මට නම් කැම්පස් කාලේ වගේම සුන්දර කාලයක්. සමහර විට ඔයාලටත් එහෙම වෙන්න ඇති.යන්තන් 12 වසර පන්නගන්න විතරක් ඉස්කෝලෙට ගියා. මොකද පැමිණීම සියයට 80 ක් නැත්නම් විභාගේ ලියන්න දෙන්නේ නැති හන්දා. 13 වසරට ආවම ඉස්කෝලේ යනවා කියන එක දන්නේ නැති තරම්. මාසෙකට වතාවක් දෙකක් ඉස්කෝලෙට ගිහින් එනවා.ඉස්කෝලේ මොනවද වෙන්නේ කියලා බලන්න. ටීචර්ලටත් ඒක ඒ හැටි ගානක් නෑ ආවොත් ඉගැන්වුවා නැත්නම් විවේකාගාරේට වෙලා කයියක් දාගෙන හිටියා.

ඉස්කෝලේ යාම ඔහොම උනාට අනිවාර්යෙන්ම ක්ලාස් යෑම කරනවා. නැත්නම් විභාගේ ගොඩ දාගන්නවා බොරු.අපේ පැත්තේ ගොඩක් කට්ටිය උසස් පෙළ පංති වලට ගම්පහ යන හන්දා මාත් ගම්පහ ආවා.ගම්පහ පංති යෑම මාරම ෆන්. බස්වල යනවට වඩා කෝච්චියේ ගමන නියමයි. පැයක් විතර ඔහේ යනවා. සමහර ගෑනු ළමයි අපට පේන්න කියලා පොත් දිග ඇරන් පාඩම් කරනවා. බොරු වැඩ. මට නම් යන ගමන් පාඩම් කරනවා කියන්නේ මරන්නා වගේ වැඩක්.

කෝච්චිවලට වෙලෙන්දෝ වගේ සංදර්ශන කාරයොත් එනවා .ඔහොම ආපු මිනිස්සු දෙන්නෙක් ගැන ලියන්න කියලා හිතුනා.

දවල් 12.50 ට විතර ගම්පහට එන කෝච්චීයට වේයන්ගොඩින් නගින පුදුම වැඩ කරන මනුස්සයෙක් ඉන්නවා. ඒ මනුස්සයා රස්සාව හැටියට කරන්නේ කඩු ගිලින එක. මුලින් ම කරන්නේ කඩුව ගැන ගුණ වර්ණනාව. කඩුව හදලා තියෙන්නේ මොනවයින්ද කඩුව ලංකවට ගෙනාවේ මොන නැවෙන්ද නැව මුහුදුබත් වෙන්න ගිහින් බේරගෙන ආපු හැටි ඔයවගේ දහසක් දේවල් කියනවා.ඊට පස්සේ කඩු දෙක ඇත්ත ඒවද කියලා අල්ලලා බලන්න කියනවා. අරූගේ කටේ කෙල බේරෙන කඩු අල්ලන්න මොකෙක්වත් ඉදිරිපත් වෙන්නේ නෑ. අන්තිමේදී තමා කඩුව ගිලින්නේ. ඉස්සෙල්ලා එක කඩුවක් ගිලලා පෙන්වලා ඊලග පාර කඩු දෙකම එකපාර ගිලිනවා.කොළඹට යනකන් කෝච්චි පෙට්ටියෙන් පෙට්ටියට නැගලා ඔහොම කඩු ගිලලා පෙන්වලා සල්ලි එකතු කරනවා.

ඊලග මනුස්සයා කෝච්චියට නගින්නේ රාගම ස්ටේශමෙන්. නිකන්ම නෙමෙයි කිලෝ හය හතක් විතර බර තඩි කලු ගලකුත් එක්ක. අපෝ ඒකා නැග්ග ගමන් මිනිස්සු වෙන පෙට්ටි වලට මාරු වෙනවා නැත්නම් කෝච්චියෙන් බැහැලා වෙන කෝච්චියක යනවා. හේතුව තමයි ඒ මනුස්සයා කෝච්චියට නැග්ග වෙලේ ඉදන් සෙනග එහාට මෙහාට කරලා ඉඩ හදාගෙන කරනම් ගහනවා.සමහර ස්ටේශන් වලින් බැහැලා එලියේ කරනමක් ගහලා ආයෙම කෝච්චියට නගිනවා. ඊට පස්සේ තමයි ගලේ සීන් එකට එන්නේ.

ඒ මනුස්සයා කියන විදිහට කලුගල කකුල් දෙකෙන් උස්සනවලු. මං ඒ ලෙවල් අවුරුදු දෙක හමාරක් ගම්පහ ගියා විසි තිස් පාරක් ඒ මනුස්සයාව දැකලා තියෙනවා. එකම එක පාරක්වත් ඒ කලුගල කකුල් දෙකෙන් උස්සනවා දැකලා නෑ. ඊට කලින් මං කෝච්චියෙන් බැහැ ගන්නවා. ලගදි දවසක කොළඹ යද්දි තමයි ඒකත් දැක්කේ. කියනවා වගේ ඒ මනුස්සයා කලු ගල කකුල් දෙකෙන් කෝච්චිය යන අතරතුරේ දීම උස්සලා පෙන්වනවා.

මේ මනුස්සයෝ දෙන්නා වැඩ දෙකක් කලාට අන්තිමේ එකම අරමුණක් වෙනුවෙන් තමයි ඒ හැමදේම කරන්නේ. ඒක තමයි තමන්ගෙයි පවුලේ අයගෙයි එදිනෙදා වේලට කීයක් හරි හොයා ගන්න එක.ජීවත් වෙන එකත් එක අතකට මහා දුකක්. ඒත් එයාලා ජීවත් වෙනවා. මොන දේ ආවත් නොමැරී ජීවත් වෙන එක තමයි උතුම් දේ !!!!

ප.ලි.- අපේ ජීවිතත් හරියට කෝච්චියක් වගේ. අපට විවිධ මිනිස්සු මුන ගැහෙනවා. සමහර අය මුනැගැහිලා මහින් බැහැලා යනවා. සමහරු ගමනාන්තය වෙනකන්ම යනවා. ඒ වගේම තමයි කෝච්චිය නවත්වන්න නැවතුම් පොලවල් තියෙනවා වගේ අපේ ජීවිත වලත් එක එක නැවතුම් පොලවල් තියෙනවා.සමහර වෙලාවට ටිකවෙලවක් නැවතිලා ඉන්නවා තවත් වෙලාවක ගොඩක් වෙලාවක් ඉන්නවා.එහෙම යන ගමනේ අපි කාටත් ගමනාන්තයක් තියෙනවා ඒ වෙනකන් කොහොමහරි අපි යන්න ඕනේ.මගින් නවතින්න බෑ. ඒකයි ජීවිතය කියන්නේ !!!!!

04 April 2011

අපේ සීයා !!!!

පිණිබිදුගේ සීයගේ කථාව කියෙව්වට පස්සේ මටත් හිතුනා අපේ සීයා ගැන ලියන්න. ඔන්න පිණිබිදු මම කොප්ප ගහනවා කියලා කියනවා එහෙම නෙමෙයි හොද ද !!!! සීයා කියන්නේ අම්මයි අප්පච්චිටයි පස්සේ මට ආදරය කරපු අයගෙන් එක්කෙනෙක්. මොකද ඒ දවස්වල මුනුපුරෙක්ට කියලා ඉස්සෙල්ලාම දැකලා තියෙන්නේ මාව නේ. ඒ කියන්නේ සීයගේ ලොකුම මුනුපුරාත් මම. සීයට වැඩිපුරම වද දීපු එකාත් මම කියලා කණගාටුවෙන් උනත් කියන්න ඕනේ.


අපේ සීයා වැඩ කලේ පොහොර සංස්ථාවක චෙකර් කෙනෙක් හැටියට. ඒ කියන්නේ පොහොර තොග ලොරි වලට පටවන කොට ඒ සේරම චෙක් කරන්න හිටියේ සීයා.කරපු රස්සාවේ හැටියට සීයගේ යුනිෆෝම් එකේ හොර සාක්කු කීපයකුත් තිබ්බා. මොකද ලොරිකාරයෝ සීයාට දෙන සන්තෝසම් දාන්න තැනකුත් තියෙන්න එපැයි. ඔයවගේ දේවල් කරනවා කියලා සීයගේ ලොක්කෝ දැක්කොත් සීයාට හොද නැති හින්දයි ඔයවගේ සාක්කු තියෙන යුනිෆෝම් එකක් අදින්නේ. ඒ උනාට සීයා කවදාවත් පොහොර මිටි හොරෙන් පන්නන්න හදලා නෑ. සන්තෝසම උනත් වෙලාවටත් දෙන්නේ කලින්ම වැඩේ කරලා දෙන හන්දා.

කොහොමහරි දවසට හම්බවෙන ගානත් අරගෙන හැමදාම මටයි අපේ මලයටයි ටොපි චොලකට් එහෙම අරගෙන එන්න අමතක කරන්නේ නෑ.ඕක ගන්නත් හෙනම උම්මා ගානක් ණයට දෙන්න ඕනේ. දවසක් මම සීයා ගෙදර එන වෙලාවට වත්තේ කඩුල්ල ලග කොහොඹ කොල වැලක් ගැට ගැහුවා.සීයා හිතලා තියෙන්නේ ගෙදර කාට හරි දෙයියන්ගේ ලෙඩක් හැදිලා කියලා.සීයා දනි පනි ගාලා කඩුල්ලෙන් පැනපු පාර එතනම වැටිලා.කොහොමහරි ගෙට ගොඩ වෙලා බලද්දි මේක කරලා තියෙන්නේ මං කියලා ආච්චි කිව්වලු. මොනා කරන්නද සීයා අහසට බැන බැන හිටියලු. ඒ කාලේ මං පොඩි නිසා මට බැන්නේ නෑ.

ඔයවගේ තමයි සීයා හෙනම ආසයි සිංහල නාට්ටි වලට.හවසට හදුන් කූරක් කටේ ගහගෙන පුටුවේ හාන්සි වෙලා නාට්ටි බලන්න සෙට් වෙනවලු. මාත් කොහේ හිටියත් ඔය වෙලවට ටීවී එක ලගට ඇවිත් බලන් ඉන්නවලු. නාට්ටිය පටන් ගත්ත වෙලේ ඉදන් මහ හයියෙන් කියවලා ඇඩ් එකක් යන්න පටන් ගත්ත ගමන් සද්ද නොකර ඒ ඇඩ් එක බලාගෙන ඉන්නවලු. ආයෙම නාට්ටිය පටන් ගත්ත ගමන් කියවනවලු.
"මූත් එක්ක නාට්ටි බලන්ඩ බෑ ඒයි !!!" කියලා ආච්චිට කෑ ගහනවලු. මොනා කරන්නද බැන්නට වැඩක් නෑ පොඩි එකා නේ.

ඒ වගේම තමයි සීයා රැවුල කපන වෙලාවට කොහේ සෙල්ලම් කර කර හිටියත් දුවගෙන එනවා. ඇවිත් බලන් ඉන්නවලු.සීයා ඔලුව හරවන හරවන පැත්තට හැරි ලා බලාගෙන ඉදලා "සීයේ මෙතන කැපිලා නෑ" "මෙතන තව රැවුල් ගස් දෙකක් තියෙනවා" කියකිය වද දෙනවලු. අන්තිමේ රැවුල් කපිල්ල ඉවර වෙන්නේ සීයගේ මූනේ හය හත්පොලක් කපා ගත්තට පස්සේ.ඒ හින්දම රැවුල කපන්න එනකොට අනිවාර්යෙන්ම ඩිටෝල් එකක් අරගෙනමයි එන්නේ. අපේ අම්මා නම් කියන්නේ සමහර දාට සීයා සබන් වෙනුවට ඩිටෝල් ගාලාලු රැවුල කපන්නේ.


සීයගේ කියන්න තරම් වරදකට කියලා තියෙන්නේ හැමදාම හවසට කාලක් ක්‍රියා කරලා එන එක විතරයි. පිටරට ඒවා නෙමෙයි දේශිය ග්‍රාමිය ඒවා.අන්තිම කාලේ වෙනකන්ම ඔය බීම නම් තිබ්බා. පැන්ශන් එක අරගෙන තමන්ගෙන් දරුවන්ට වෙන්න ඕන යුතුකම් ටික ඉටු කරලා ඉතුරු ටික ඇල්කොහොල් වල දිය කලා. ඒ කාලේ මොනා උනත් ලොකු මුනුපුරානේ කියලා මගේ කරටත් රත්තරන් කෑල්ලක් දම්මා. ඒක තමයි මගේ සන්තකේටම රත්තරන් කියලා කියන්න තියෙන එකම දේ.

ඔහොම බීපු දවසක වැටිලා කාලයක් අංශභාගේ හැදිලා රෝද පුටුවේත් හිටියා. ඒ කාලේ මට රෝද පුටු එලවන්න ලයිසනුත් තිබ්බා. ඒ නිසා පැයට කිලෝමීටර් සියයක වේගෙන් උනත් හප්ප ගන්නේ නැතුව ධාවනය කරන්න පුලුවන්. ඒ නිසා සීයාට කිසිම බයක් සැකක් නැතුව ඕන තැනකට කියපු වෙලාවටත් කලින්ම ගෙනත් දාන්න මට පුලුවන්. මගේ ඩ්‍රයිවින් දැකලා "මාව මරන්නේ නැතුව ඉදපන් යකෝ " කියලා ලතෝනි තියපු අවස්ථාත් නැතුව නෙමෙයි. සීයා ඇදේ ඉන්න වෙලාවට ගෙදරට එන කොල්ලවයි බල්ලාවයි රෝද පුටුවේ තියාගෙන එහාට්ටයි මෙහාට්ටයි පද්දවනවා. එතකොට සීයා "ඕක කඩන්නේ නැතුව තියපන් යකෝ !!!" කෑ ගහනවා. ඒ උනාට සීයා කියපු දේ අහලා මගේ හයර් එක මිස් කර ගන්නේ කොහොමෙයි !!!

කාලයක් ඔහොම ලෙඩ ඇදේ ඉදලා සීයා නැති උනා. ලොකුවට නැතත් සීයගේ මල ගමේ වැඩ කටයුතු හොදට කලා. හත් දවසේ ඒ වගේම තුන් මාසේ දානත් වෙලාවට කලාවට දුන්නා. දානෙට සීයා ආස කරපු කෑම බීම හදලා එන එන අයට කන්න දුන්නා. සීයා කසිප්පු බොන්න ආස කරපු හන්දා දානෙට කසිප්පු නම් වැරැද්දුවේ නෑ. සීයගේ හොල්මනට කන්න කියලා එලියෙන් පුටුවක් තියලා ඒකේ උඩ බත් පිගානක් බෙදලා කසිප්පු වීදුරුවකුත් තිබ්බා. සීයා පෙරේත ගොට්ට ට ඇවිත් බත් නොකා කසිප්පු ටික විතරක් බීලා යන නිසා පස්සේ කාල වලදී පෙරේත ගොට්ටෙන් කසිප්පු වීදුරුව අයින් කලා.

දැන් ඒ ආවත් කසිප්පු වීදුරුව තියෙනවද කියලා බලලා, ඒක නැති නිසා බත් එකේ තියෙන කුකුල් මස් කෑල්ල විතරක් කාලා යනවා. මොනා කරන්නද සීයාව ඉන්නකන් හදන්න බැරිනම් මලා ම කෝම හදන්නෙයි !!!

කොහොම උනත් සීයලාගේ ආදරේ කවදත් මුනුපුරන්ට තියෙනවා. අපේ සීයාට වගේම පිණිබිදුගේ සීයාට ත් නිවන් සුව පතමි. !!!
ප.ලි.- දැන් කියන්න බලන්න පිණිබිදුගේ සීයා ද අපේ සීයා ද වැඩියෙන්ම හොද කියලා !!!
දෙන්නම එක වගේ මුනුපුරන්ට ආදරේ කරලා තියෙනවා නේ ?????
ඔන්න පිණිබිදු කොපි කලා කියලා මාව කන්න හදන්න එපා හොදේ.... :) (අවුලක් නෑ. පිණිබිදු ඌරු මස් කන්නේ නෑ ලු නේ... :))



03 April 2011

මෙහෙමත් හොරෙක්....

මේ දවස් ටිකක් නම් ගෙවෙන්නේ මාරම කම්මැලිකමෙන් කරන්න ඒ හැටි වැඩකුත් නෑ. පාඩම් කරන්න කියලා ඔහොමත් හැමදාම පාඩම් කරන්න යෑ. ඒ හින්දා කම්මැලිකම යන්න කියලා බ්ලොග් ලිපියක් දාන්න කියලා බ්ලොග් එක පැත්තේ ආවා. එතකොට තමයි මතක් උනේ කාමරේ යතුර නැති වෙලා හුගක් දවක් වෙන හින්දා යතුරක් කප්පවගෙන ඇවිත්ම බ්ලොග් සටහන ලියනවයි කියලා. මොකද හැමදාම දොරට කෝට්ටක් ගහලා වහලා කාමරේ හොරුන්ගෙන් බේර ගන්න කියලා යෑ.

අපේ සමහරුන්ගේ ලැප් හිටන් නැති උනා.මගේ ඉතින් නැති වෙන්න කියලා ඒ හැටි දෙයක් නෑ. ඒ උනාට අවුරුද්ද අවසානයේ භාර දීලා යන්න යතුරක් තියෙන්න එපැයි. නැත්නම් දඩ කොලයක් කන්න එපැයි යතුර නැතිවෙච්ච එකට. කාමරේ ගද්දි හම්බ උනේ එකෝම එක යතුරක් හින්දා වෙන යතුරක් කපා ගන්න නම් ශාලාධිපතිගෙන් කාමරේ යතුර ඉල්ලගන්න වෙනවා. (මිනිහා ගාව හැම කාමරේකම වැඩිපුර යතුරක් තියෙනවා.)

ශාලාධිපතියාගෙන් යතුර ඉල්ලන්න ගියොත් දඩයකුත් කන්න වෙන හින්දා අනධ්‍යන සේවකයෙක් (මයිනෙක් - minor staff) හම්බ උනා. ඒ මිනිස්සු අපට ගොඩක් හිතවත් ඔය ලොකු ලොක්කෝ වගේ ඔලුව උදුම්මවාගෙන ඉන්න එවුන් නෙමේ ඒ අය. කාටත් කරදරයක් නැතුව තමන්ගේ පාඩුවේ වැඩ ටික කරගෙන ඉන්න අහිංසක මිනිස්සු වගයක්.මයිනර් ස්ටාෆ් එකේ අයියා කෙනෙක්ට කියලා යතුර ඉල්ලගන්න ගියා.

"අයියා , කාමරේ යතුර නැතිවෙලා මට යතුරක් කපා ගන්න වැඩිපුර යතුරක් ඉල්ලගන්න පුලුවන්ද ?"

"මොකෝ මල්ලි ෆයිනල් ඉයර් වෙලත් යතුරක් පරිස්සම් කරගන්න බැරිද ? " මූ මාව චාටර් කරන්නයි හදන්නේ.

"නෑ අයියා. මේ යාලුවෙක් අතින් නැති උනේ." ඇත්තටම යතුර නැති උනේ යාලුවෙක් ගේ අතින්.

"කාමරේ භාර දීලා යද්දි යතුරත් භාර දෙන්න වෙන හන්දා යතුරක් කපා ගන්න එක තමයි හොද. පේන්නේ නැද්ද හොස්ටල් එකේ ටීවි එකත් මෙහේ ඉගෙන ගන්න ආපු කොල්ලෙක් උස්සන් ගිහින්.පොඩ්ඩක් හිටින් මම යතුරක් ගෙනත් දෙන්නම්. "

මල හුට්ටප්පරයයි. මං මෙච්චර කල් හිතාගෙන හිටියේ ටීවි දෙකෙන් එකක් රෙපයාර් කරන්න අරන් යන්න ඇති කියලා.දැන් මටත් හෙනම කුතුහලය ටීවී එක උස්සන් ගිය සීන් එක අහන්න.අයියා යතුර ගෙනත් දීපු ගමන් මම කතාව ඇහුවා.

"මෙහේ කැම්පස් එකේම කොල්ලෙක් තමයි ඔය ටීවී එක හොරකම් කරගෙන ගිහින් තියෙන්නේ. එදා රැ හොස්ටල් එකේ වැඩ කරපු එක්කෙනාට අසනීප වෙලා ඇවිත් නෑ. පාන්දර දෙකට විතර තමයි ටීවි එක හොස්ටල් එකෙන් පන්නගෙන වෙන හොස්ටල් එකක ටිකවෙලාවක් තියලා ත්‍රිවිල් එකක දාගෙන ගෙනිහින් තියෙන්නේ.පස්සේ ත්‍රිවිල්කාරයාගෙන් තමයි ආරංචිය ආවේ. ඒකාට විරුද්ධව උසාවියේ නඩුව තාම යනවා."

මුලදි මම හිතන් හිටියේ ගෙදර ටීවී එකක් නැතිකමට හොරකම් කලා කියලා. පස්සේ අයියා කිව්වාමයි දන්නේ ඒකාගේ ගෙදර ටීවි එකක් තියෙනවා කියලා.ඒ විතරක් යෑ මෙහේ කොල්ලන්ගේ ඇදුම් හිටන් හොරකම් කරගෙන ගිහින් තියෙනවා කියලා අයියම කීවා. ඇදුම් නම් කමක් නෑ කියමුකෝ ඒත් තමන්ගේ ගෙදර වගේ තියෙන හොස්ටල් එකේ ටීවී එක හොරකම් කරන එක මහම මහා ජරා වැඩක්.තමන් ඉන්න තැනට ඉගෙන ගන්න තැනට ඔයවගේ දේවල් කරන එවුන්ට කවදාවත් හරියන්නේ නෑ.ඉන්නකන් හොදට ඉදලා හොද නමත් රැකගෙන මෙහෙන් පිටවෙලා යන එක තමයි හොද. ඒකෙන් උනේ තමන්ගේ හොද නමත් නැතිවෙලා උසාවී ගානේ රස්තියාදු වෙන්න සිද්ධ වෙච්චි එකයි.

දෙයක් හොරකම් කරලා ගන්නවට වඩා තමගේ මහන්සියෙන් උපයා ගන්න සල්ලිවලින් ගන්න දේවල් වල අගේ වැඩියි.ඒවා කාලයක් පවතිනවා.අනුන්ගේ දේ කවදත් අනුන්ගේ. අපට කවදාවත්ම අනුන්ගේ දේට අයිතිවාසිකම් කියන්න බෑ.

අයියට ස්තූති කරලා ගිහින් පේරාදෙණිය ටවුමෙන් යතුරත් කපාගෙන ඇවිත් ඉල්ලගත්ත යතුර අයියට දීලා යද්දි තමයි මතක් උනේ කාමරේ නොම්මරේ යතුරේ කොටන්න බැරි උනා කියලා.අපරාදේ කියන්න බෑ අයියම ඉලක්කම් ටික යතුරේ කොටලා දුන්නා. නැත්නම් ඕකටත් ගානක් ගෙවන්න වෙනවා.(එක ඉලක්කමකට දහය ගානේ ඉලක්කම් හතරට හතලිහක්.) ඒකෙන් මේකෙන් මගේ රුපියල් එකසිය විස්සකට කෙල උනා.අපරාදේ.මොකෝ අරූ සල්ලි දෙන එකක් යෑ.

හරි එහෙනම් ආයෙම ලියන්න ආපු බ්ලොග් සටහනට එමුකෝ.... කියන්න ආපු කතාව කියන්න බැරි උනා නේ.......