28 December 2010

මගේ කවිය ඔබ වෙන්න...


මේ දවස් වල අපට මාරාන්තික සතිය එහෙමත් නැත්නම් Dead Week එක උදා වෙලා තියෙන්නේ . Dead Week එක කියන්නෙ විභාගයට කලින් පාඩම් කරන්න කියලා දෙන අධ්‍යයන නිවාඩුවට.මෙහේ කට්ටිය ඔය නිවාඩුවට තමයි Dead Week එක කියලා කියන්නේ. මුලු සමාසිකය පුරාම පිස්සු නටලා විභාගේ ලග උනාම තමයි රත් වෙලා පාඩම් කරන්න ගන්නේ. එතකොට මැරීගෙන පාඩම් කරනවා ඒක හින්දම වෙන්ටෑ මේ අධ්‍යයන නිවාඩුවට Dead Week එක කියලා කියන්නේ ලබන සතියේ තමයි අපට විභාගේ තියෙන්නේ. උදේ ඉදන් පාඩම් කරලා පොඩි කම්මැලිකමක් හිතුනා.

ඒ හින්දා බ්ලොග් කියවන්න කියලා ආවා.නිකමට වගේ බ්ලොග් සටහනක් දැම්මොත් හොදයි කියලා හිතුන හින්දා මොනවහරි ටයිප් කරන්න ගත්තා. ටයිප් කරන්න ගත්තට මොකද මුකුත් හිතට එන්නෙම නෑ. ඔහොම ටික වෙලාවක් කල්පනා කර කර ඉන්නකොට තමයි මතක් උනේ මං ඒ කාලේ ගැනු ළමයෙක් ට ලියපු කවි ටිකක්.


කම්පියුටර් එක පීරලා වගේ හොයා ගත්තා ඒ කවි ටයිප් කරපු වර්ඩ් ෆයිල් එක. මං කවි ටික ලිව්වට මොකෝ තාම දී ගන්න බැරි උනා. (ඒකනේ තාමත් ඔටු ජීවිතය ගත කරන්නේ ) මේකත් හරියට අපේ දනා ලියන නඟේ නුඹට නොකියු කවි වගේ එකක්. බාග දා මේ කවියත් ඒකා පොතට දාල ද දන්නෙ නෑ.

පහලින් තියෙන්නේ මම ලියපු කවි පේලි ටික. කියවලා හොද නරක සටහන් කරලම යන්නකෝ. ඒක මට ලොකු ශක්තියක්. කවි ටික මෙලෝ රහක් නැත්නම් ඒකත් සටහන් කරලා යන්න.

මගේ කවිය ඔබ වෙන්න...

අදුරු රැය බබලන්න
සිත් අහස එලි වෙන්න
මගේ සිත නැල වෙන්න
තව ටිකක් හිනහෙන්න

තොදොල් බස් තෙපලන්න
තව ටිකක් ලංවෙන්න
උනුහුමට ගුලි වෙන්න
පැතුම් මල් පුබුදින්න

සිහිනයෙන් දැක ගන්න
තව වරක් ඔබ එන්න
ආදරය පුද දෙන්න
මගේ කවිය ඔබ වෙන්න...

26 December 2010

සමන් අයියාගේ කැන්ටිම - සූපවේදී ක්‍රම සහ විධි


කලින් බ්ලොග් එකේදී සමන් අයියගේ සහා නේවාසිකාගාර සිසු අපගේ ප්‍රියතම ආහාර පාන ගැන ලිව්වනේ. අද ලියන්න යන්නේ ඒ කෑම ජාති හදන්න අනුගමනය කරන ක්‍රම කිහිපයක් ගැනයි.

සමහර කෑම ජාති හදන්න ඒ ජාතියටම ආවේනික වෙච්ච ක්‍රමත් තියෙනවනේ. නමුත් අපේ කැන්ටිමේ එහෙම නෑ සාමාන්‍ය කෑම වර්ගයක් උනත් හදන්න කැන්ටිමටම ආවේනික මෙතඩ් තියෙනවා


මුලින්ම කියන්නම්කෝ කැරට් බීට් වගේ එලවලු උයන විදිහ ගැන. දවල් හරි රෑ හරි කෑමකට එන ඕනම කෙනෙක් මේ එලවලු වර්ග කපලා තියෙන විදිහ ගැන වික්ශිප්ත වෙනවා. මොකද ඒ කැරට් බීට් කෑලි විසමාකාර හැඩයක් ගන්නා නිසා. අපි ඒ පිලිබද සමන් අයියගෙන් කල විමසීමකදී ඔහු කියා සිටියේ කැරට්, බීට් වැනි එලවලු කපන්න පිහි උපගෝගි කර නොගන්න බවයි. අපිටත් හරි පුදුමයි කොහොමද පිහි නැතුව කැරට් කපන්නේ කියලා.

කැරට් කපන විදිහ ගැන අයියා අප විස්තර කලේ මෙහෙමයි.

" මල්ලි ලා, කැරට් බීට් වගේ එලවලු වල බීටා කැරොටිනොයිඩ වගේ පෝෂ්‍ය කොටස් තියෙනවා නේ. අන්න ඒ පෝෂ්‍ය පදාර්ථ පිහිවල තියෙන ඔක්සයිඩ එක්ක ප්‍රතික්‍රියා කරලා ඒවා විනාශ වෙන්න පුලුවන් ඒ නිසා අපි පිහි පාවිච්චි කරන්නේ නෑ. කැරට් බීට් වගේ එලවලු හෝදලා ජීවානුහරනය කරපු ගෝනි වල දානවා. එකපාරකට මේ ගෝනියකට කිලෝ දහයක් විස්සක් දාන්න පුලුවන්. ඊට පස්සෙ කැන්ටිමේ ඉන්න ශක්තිවන්ත කොල්ලො දෙන්නෙක් ඒ ගෝනි උස්සලා ආන්න අර කලු ගලේ ගහනවා. ''

අයියා ඈත තියෙන ලොකු කලු ගල් පොත්තක් පෙන්නුවා.

" ඊට පස්සේ කෙලින්ම සාස්පානට දානවා. හරි ලේසියි. දාලා සාමාන්‍ය විධිහට උයනවා ''

ඒ ක්‍රමය හරිම විද්යානූකූල එකක් කියලා අපි හැමෝටම තේරුනා.

සමන් අයියා ඔහොම විස්තර කරගෙන යනකොට අපේ එකෙක් බත් එකේ තිබ්බ කං කුං ගහක් පෙන්නලා ''අයියලා කංකුං උයන්නත් විෂේශ ක්‍රම භාවිතා කරනවද ?'' කියලා ඇහුවා. අපේ උන්ටත් නිකන් කට පියාන ඉන්න බැහැනේ.

'' ආහ්... ඔව් මල්ලි. කංකුං උයන්න කලින් දවසේ හොදට හෝදලා මද පවනේ ටික වේලාවක් තියනවා තෙත හිදෙන්න. ඊට පස්සේ බිමට ජීවානුහරිත ඉටි රෙද්දක් එලලා කංකුං ටික ඒ පොලිතින් එක දිගේ අතුරන්න ඕනේ. ඊට පස්සෙ පැදුරක් අරගෙන වාශ්පෙන් තම්බලා අර කංකුන් අතුරපු ඉටි රෙද්ද වැහෙන්න දිග අරිනවා. එදා රෑ ඒ පැදුරේ එකෙන් නිදාගන්නවා. උදේ වෙනකොට කංකුං ටික ගානට මැලවෙලා තියෙනවා. මාධ්‍යය ජීවනුහරිත හින්දා විශබීජ ගැන බයක් නෑ. ඊට පස්සේ කෙලින්ම සාස්පානට දාලා සාමාන්‍ය විදිහට උයනවා . මේ ක්‍රමේදිත් පිහි පාවිච්චි කරන්නේ නෑ. "

ම්... මේ ක්‍රමයත් නරකම නෑ. උයන දෙයත් සෞඛ්‍ය ආරක්ශිතව උයන්න එපැයි.

'' අයියා ඇයි මේ පොලොස් උයනකොට ලොකු ලොකු පොල් කෑලි දාන්නේ ? '' අපේ එකෙක් ප්‍රශ්න කලා.


" අපෝ මල්ලි ඒකවත් දන්නේ නැද්ද ? මල්ලි අත උස්සලා ද කැම්පස් ආවේ ? '' අයියා එකපාර කියපි.

අපේ එකාත් ඇද්ද අහගත්තා වගේ හැගීමකින් ලැජ්ජාවෙන් ඇඹරි ඇඹරි හිටියා.

අයියට තේරුනා මූ සිරවටම දන්නේ නැති හන්දයි ඇහුවේ කියලා.

'' එහෙනම් මල්ලි අහ ගන්නකෝ. අද උදේ අපේ කැන්ටිමේ කොල්ලා පොලොස් මාලුවට ලුනු දාන්න යද්දි ලුනු බෝතලය සාස්පානට අත ඇරලා. ඊට පස්සේ හොද්ද , කටේ තියන්න බෑ. පුත්තලම, අපේ සාස්පානට දාලා වගේ. ඒකට පිලියමක් විදිහට තමයි ඔය පොල් කෑලි දාලා තියෙන්නේ. හොද්දේ ලුනු ටික විසරණ මූලධර්මයෙන් පොල් කෑලි වලට ඇබ්සෝබ් වෙනවා. හොද්දේ ලුනු සාන්ද්‍රණය අඩු වෙනවා .වැඩේ හරිම සිම්පල්. පොල් ගනන් කාලෙට කියවන්න ගෙනාපු පත්තරේ හොද්ද උඩට දානවා ලුනු ටික උරා ගත්තට පස්සේ පත්තරේ අයින් කරලා දානවා. "

" එතකොට අයියා පත්තර පිටුවල තියෙන අකුරුවල තීන්ත හොද්දට වැටෙනවනේ. " අපේ එකාට ආයෙත් ප්‍රශ්නයක්

" නෑ මල්ලි. ඔය තීන්ත වර්ගය ඇඟට අගුණ නෑ. ඒ නිසා ප්‍රශ්නයක් නෑ. අනික හොද්ද එක පාරක් හැදි ගාපුවාම, ලැකර් එකක් ටිං එක පිටින්ම හැලිලා තිබ්බත් හොයා ගන්න බෑ. ''

සමන් අයියට හදිසි දුරකතන පනිවිඩයක් ලැබීම නිසා අයියාට සමු දෙන්න උනා. නැත්නම් තව ප්‍රශ්න ටිකක් අහගන්න තිබ්බා. පස්සෙ දවසක අහගන්නම්කෝ කියලා හිතපු අපි කාමර වලට ආවා. ඇත්තට සමන් අයියට විද්‍යාව පිලිබද පුලුල් දැනුමක් තියෙනවා කියලා අපිට ඒ කතා කරපු ටික වෙලාවට තේරුනා.

ආයෙත් දවසක සමන් අයියගේ කැන්ටිමේ කතාවක් ලියන්නම්කෝ

23 December 2010

නඟේ නුඹට නොකියු කවි


මේ දවස්වල අපේ දනා නඟේ නුඹට නොකියූ කවි කියලා කවි පොතක් ලියනවා. මමත් දනාලගේ පැත්තේ ගියා කවි පොතේ ප්‍රගතිය බලන්න. පොරත් බැහැලම වැඩ. දනා ලියන කවි වලට මොකක් හරි කතාවක් පාදක වෙනවා. සමහර විට ඒකාටම වෙච්ච සිද්ධියක් නැත්නම් බැච් එකේ කාටහරි වෙච්ච සිද්ධියක්, ඔයවගේ දේවල් පාදක කරගෙන තමයි ඒකා කවි ලියන්නේ.

මමත් එහේ ගිය වෙලාවක කවි ටිකක් ඉල්ලුවා මගේ බ්ලොග් එකේ දාන්න. අපරාදේ කියන්න බෑ මට කවි දෙක තුනක්ම ලැබුනා. ඉතින් දනාගේ ඉල්ලීම පරිදි ඒ කවි පහලින් පල කරනවා.


වස්සානය වූවා නම් නුඹ .....

සදවතිය නුඹ ...
අදුරු අහසේ තනිව දිලෙනා
තරුවක තනිකම දුරලන

ලතා මඩලකි නුඹ ....
අහස සිසාරා වැඩෙන
ගසකට ලස්සන ගෙනදෙන

දිය දෝතකි නුඹ...
සිසිලස සොයමින් ඉකිබිදිනා
මිහිමඩලක පිපාසය දුරලන

පබවත නුඹ ...
සෙනෙහස සොයමින් යන
සිතකට කවිත්වය ගෙන දෙන

පබැදුම - දමිත් ධනංජය


ඔය ඉහලින් තියෙන කවිය ලියන්න පාදක උනේ, දනා කාලයක් නුවර උසස් බාලිකාවෙන් ආපු නංගි කෙනෙක්ට හිතෙන් ආදරය කරන්න (හිතෙන් විතරයි. මේ වෙනකන් වචනයක්වත් කතා කරලා නෑ.) පටන් ගත්ත කාලේ. ඔය අන්තිම කවියෙන් කියවෙන්නේ ''පබවත'' කියලා ඒක තමයි ඒ නංගිගේ කාඩ් එක (පබාවතී) . නමුත් ඒ නංගි ටිකක් ආඩම්බර කාරී ඒ නිසා මේ වැඩේ හරි යන්නේ නෑ කියලා උෟටම හිතුනා ඒ නිසාමද මංදා ඒකා වැඩේ අතෑරලා දැම්මා.

දනා ගැන පොඩි සදහනක් දාලම ඊලග කවියට යමුකෝ. දනා කියන්නේ පුදුම විදිහට ආත්ම විශ්වාශයක් තියෙන කොල්ලෙක්. මොන ප්‍රශ්නය තිබ්බත් කවදාවත් සැලෙන්නේ නැතිව හිටපු කොල්ලෙක්. මොනදේ උනත් තමන්ගේ වැඩ, පාඩු කරගන්නේ නැතිව කරන අනුන්ට කිසිම කරදරයක් නැති කොල්ලෙක්. මමත් ඒකව ආදර්ශයට අරගෙන හැදෙන්න කියලා බැලුවා.

ම්........ වැඩේ අමාරුයි. මම පොඩි ප්‍රශ්නයක් ආවත් ''දඩස්'' ගාලා කඩාවැටෙනවා හරියට නිකං පෙන්ටගනයට බෝම්බ ගැහුවා වගේ. ඒ වෙලාවට ඉතින් අම්මාගේ සරණ තමයි. අම්මා තමයි මගේ හිත හදලා ආයෙත් තිබ්බ තැනට හිත ගෙනත් තියන්නේ. අම්මා නැති දාක..... (අම්මෝ මං නම් ඒ ගැන හිතන්නවත් කැමති නෑ.....)

හිරුට ලෙන්ගතු නම්

අඳුරු රැයෙක
රැයෙහි අහසම
සදක් පායා , නොකියාම පායා

ලෙන්ගතු විලසින්
හිරු දෙසම නෙතු යොමා
විකසිත වන පියුමක්... ලෙස
පිපිද හිනහෙන නෙළුම් මලේ... සුදු නෙළුම් මලේ

පාළු අදුර මකා දමා
සදවත පායා..... ගෙමිදුල
නිතරම නෙත අයා සිටි.....
ලෙන්ගතුකම විඳගන්නට
සඳවතියේ පියකරු ..... සඳවතියේ.....


හිරුට ලෙන්ගතු නම්
මෙතරම්ම......
අරුණලු ගෙනෙන්නම්
නුඹ ලඟටම වී
විකසිත වී හිනැහෙන්න
අදත් නුඹ.....
එදා විලසින්ම.....

පබැඳුම - දමිත් ධනංජය

ඔය කවිය ලියන්න පාදක උන කතාව මං කලින් බ්ලොග් එකක දැම්මා. ඒක කියවන්න බැරි උනා නම් මෙතන ක්ලික් කරලා කියවන්න.

එහෙනම් ආයෙත් දවසක මොකක්හරි සිතක සංකල්පනාවක් දාන්න එන්නම්.

සියලු දෙනාට ජය වේවා !!

19 December 2010

සමන් අයියා ගේ කැන්ටිම - ප්‍රියතම කෑම වර්ග


මේ දවස් ටිකේ පොඩි විවේකයක් තිබ්බ හින්දා පොඩ්ඩක් ලියන්න කියලා හිතුනා. සමං අයියගේ කැන්ටිම ගැන පොඩි සටහනක් දැම්මොත් හොදයි කියලා හිතිච්ච හින්දා ලියන්න ගත්තා.

මුලින්ම කියලා ඉන්නම්කෝ සමන් අයියා කියන්නේ කවුද කියලා. සමන් කියන්නේ අපේ හොස්ටල් එකේ කැන්ටිම කරගෙන යන මනුස්සයා. සමන් අයියා, අපේ කැම්පස් එක වගේම කොලඹ කැම්පස් එකෙත් කැන්ටිමක් කරගෙන යනවා කියලා තමයි ගොඩක් කට්ටිය කියන්නේ.


හැබැයි සමහරු නම් කියන්නේ සමං අයියා වැවිලි කාරයෙක් කියලා. අවුරුදු හතරක් හොස්ටල් එකේ ගත කරපු මටත් ඒක නම් ඇත්ත වෙන්න ඇති කියලා හිතුනා. හැබැයි මං උපන්තේකට සමන් අයියගේ කියලා බිං අඟලක් වත් දැකලා නම් නෑ. ඇත්ත කියලා හිතෙන්නේ දවල්ට හරි රෑට හරි දෙන කෑම එකේ තියෙන මාලු පිනි දැක්කහමයි.

මේ පැත්තේ (පේරදෙනියේ ) ගොවියෝ වගා කරන්නේ කැරට්, ගෝවා බීට් රූට් වගේ එලවලු උනාට සමන් අයිය ලාබ බලාගෙන ඔය කැරට් බීට් වගේ බාල එලවලු වගා කරන කෙනෙක් නම් නෙවෙයි. මනුස්සයගේ ෆාම් එකේ තියෙන්නේ කැකිරි, කරවිල, පිපිඤඤා වගේ බොහෝම ගුණ කෑම.

සමන් අයියගේ ෆාම් එක දැකලා නැති උනාට ෆාම් එකේ අස්වැනු නෙලන්නෙ මොන එලවලු වර්ගයද කියලා ඇස් කන් තියෙන ඕන කෙනෙක්ට අනුමාන කරලා ටක්කෙටම කියන්න පුලුවන් . කැකිරි පලදාව ලැබෙන කාලයට දිගටයි හරහටයි උදේටයි දවල්ටයි රෑටයි කැකිරි, කැකිරි. ඒ දවස්වල අපේ සිසුන්ගේ මුත්‍රා අමාරු සියයට අසූවකින් විතර අඩු වෙනවා. මොකද කැකිරි කියන්නේ මුත්‍රා අමාරු වලට කියාපු කෑමක් නේ. නමුත් කැකිරි කන්නේ නැති සමන් විරෝධී පිරිස කරන්නේ බත් එකට කැකිරි දාපු ගමන් කුනු බාස්කට් එකට කැකිරි ටික හලාගෙන යන එකයි. මොනා කරන්නද එවුන්ට බලෙන් ගුණ දේවල් කවන්න යෑ.

කැකිරි වගේ ම තමයි කරවිල කියන්නෙත් පුදුම ගුණ දෙන කෑමක්. කොටින්ම කරවිල කෑවම ලේ පිරිසිදු වෙනවා කියලා තමයි ආයුර්වේදයේ කියන්නේ. ඒ නිසාමදෝ මංදා සමන් අයියත් කරවිල වවන්නේ. කැකිරි වලට වඩා හොස්ටල් එකේ අයෙගෙන් ලොකු ඉල්ලුමක් කරවිල වලට තියෙන්නේ. කරවිල පලදාව ලැබුන දාට මදි නොකියන්න කරවිල කන්න තියෙනවා. සමහරු කොච්චර ආසාවෙන් කරවිල කනවද කියනවනම් බත් එක ගත්ත ගමන් සමන් අයියගේ අම්මටයි අප්පච්චිටයි නොසෑහෙන්න පින් අනුමෝදන් කරලයි කන්න පටන් ගන්නේ. ඒ කාලේ වෙන කොට ඕන කැලෑවක රිංගලා එන්න පුලුවන් කූඩැල්ලෙක් කවා ගන්නේ නැතුව. මොකද කූඩැල්ලෝ බොනවා කියන්නේ මිනිස්සුන්ගේ ඇගේ තියෙන කුනු ලේ නේ. කරවිල කාපුවාම කුනු ලේ තියෙන්න විදිහක් නැහැනේ.



ඔය සමහර එග්සෑම් කාල වලදී සිසුන්ට මානසික ආතතිය වැඩි වෙනවනේ. අන්න ඒ කාලවල් වලදී තමයි සමං ඇන්ඩ් ද ෆාම් එකේ පිපිඤඤා පලදාව ලැබෙන්නේ. ඒ දවස්වල අපේ ආතතිය නැති වෙන්න කියලා පිපිඤඤා ගෙනත් උයන්නේ. අපරාදේ කියන්න බෑ එහෙම දවස්වල අපේ කොල්ලො වෙනදටත් වඩා හොදට කැන්ටිමෙන් කනවා. ආයේ අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ සමන් අයියගේ අම්මා බුදු බව ලබනවා කියලා.

ඔය සමහර කාලවල් වලදී යාලුවන්ගේ නෑදෑයෝ එහෙම අන්ත්‍රා වෙනවනේ. අන්න ඒ කාලවල් වලදී සමන් අයියත් අපිත් එක්ක නොසෑහෙන්න සෝක වෙනවා . කොටින්ම එදාට මුලු කැන්ටිමම එකම මළගෙයයි. එදාට ඉතින් අපරාදේ කියන්න බෑ වට්ටක්කා මාලුව වරදින්නේ නෑ. අපේ යාලුවාගේ නෑදෑයගේ තුන් මාසේ දානේ ඉවර වෙනකන් ම වගේ උදේටයි දවල්ටයි රෑටයි වට්ටක්කා උය උයා සමන් අයියත් සෝක ප්‍රකාශ නිකුත් කරනවා. කොල්ලො නම් කියන්නේ බුදු හාමුදුරුවෝ වට්ටක පිරිත දේශනා කලේ සමන් අයියටමයි කියලා. මොනා කරන්නද කොල්ලන්ගේ කටවල් වහන්න කියලා යෑ. ඕන දෙයක් කියපුදෙන් කියලා සමන් අයියා සෝක වෙනවා. ඕහ්... වැරදුනා වට්ට්ක්කා උයනවා.

ආහ්... තව පොඩ්ඩෙන් අමතක වෙනවා. ඔය අලින්ට උනත් මද කිපෙන කාලයක් තියෙනවනේ. ඒ වගේ තමයි මෙහෙ අයටත්!!! අන්න ඒ කාලෙදී තමයි දඹුල්ල ආර්ථික මද්‍යස්ථානයෙන් තොග පිටින් අලු කෙසෙල් ගෙනත් ගොඩ බාන්නේ. ආයේ ඉතින් තුන්වේලටම අලු කෙසෙල් කෝස් එක දෙනවා මොන ජගතගේ උනත් හැගීම් නැත්තටම නැති වෙන්න. ඒ කාලෙට ඉතින් ටෙස්ට් එකකට වත් අහවල් සෛල ටිකක් හොයා ගන්න ලැබෙන්නෙ නෑ. කොල්ලො කියන විදිහට සමන් අයියට එයාගේ වයිෆ් ගොඩක් දවස්වලට දෙන්නෙම අලු කෙසෙල් මාලුවම ලු. හේතුව නම් මොකද්ද කියලා මං දන්නෙ නෑ.


මේ කෑම ජාති උයන කැන්ටිමටම ආවේණික වෙච්ච ක්‍රම තියෙනවා ඒ ටික මං වෙන බ්ලොග් එකක දාන්නම්.

සමන් අයියා මෙතේ බුදුන් දැක නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරනවා.

ප. ලි. - බුදුන් දැක නිවන් දකින අයට නැවත් ඉපදීමක් නැත.

18 December 2010

ආදරේ කවියක් !!!!!


කලින් බ්ලොග් ලිපියක මං දනා (දමිත් ) රගපෑමෙන් දායක වෙච්ච වීඩියෝ ක්ලිප් එකක් දැම්ම නේ. මේකත් මේ දනා ගැන පොඩි කතාවක්. මේ කතාව බ්ලොග් වල දාලා ඒකා මට අල්ලගෙන ගහයි ද දන්නේ නෑ. කමක් නෑ ඕන දෙයක් වෙච්ච දෙන් කියලා ඔන්න ඔහේ ලියලා දානවා.

මං කලිනුත් පොඩි හැදින්වීමක් දුන්න නේ දනා ගැන. දනා හිතන්නේ මේ අපි ඔයගොල්ලො හිතන විදිහට වඩා ගොඩක් වෙනස් විදිහට.


මේ සිද්ධිය උනේ අපේ ෆැකල්ටි එකේ ප්‍රදර්ශනයක් තිබුන දවස්වල. ප්‍රදර්ශනයක් කිවුවම ඉතින් ආයේ අහන්න දෙයක් නෑ විස්තර කරලම කට රිද්ද ගන්න දවස් නේ. අපේ කතා නායකයත් මොකද්ද මන්දා ප්‍රදර්ශන භාන්ඩයක් ගැන විස්තර කථනයේ හිටියා.

ඊට පොඩ්ඩක් එහා පැත්තේ නංගි කෙනෙක් (ජූනියර් බැච් එකක ) තවත් මොකද්දෝ විස්තර කර කර ඉන්නවා. ඒ නංගි ලස්සනයි හැබැයි පොඩ්ඩක් විතර කලුයි (කලුම කියන්නත් බෑ තල එලලුයි) කොහොමින් කොහොමහරි අපේ දනාට නංගී ගැන ආලවන්ත හිතක් පහල වෙලා. ඕක ඒ නංගිට කියා ගන්න බැරුව ලත වෙනවා. හූල්ලනවා. ඇදේ දිගා වෙලා සිවිලිම දිහා බලාගෙන ඉන්නවා. එක විකාරයයි.



ඔහොම දවසගානේ හීල්ලුවොත් මූව ඉතුරු වෙන එකක් නෑ නේ කියලා හිතුන නිසා මං කිවුවා උබට ඕක කටින් කියන්න අමාරු නම් ලියුමක් වත් දීපන් කියලා. ඒක ඇහුවා විතරයි මූ අදෙන් නැගිටලා පොතකින් කොලයකුත් කඩාගෙන ලියුමක්... ආහ් නෑ අපි ලියුමක් ලියන්න කිවුවට මූ ලියුමක් නෙමෙයි ලියන්න ගත්තේ කවි ටිකක්.

කොහොමහරි කවි දෙක තුනක් ගලපගෙන ලියලා දෙතුන් පාරක් කියවලා හතරට නමලා පොතක් ඇතුලට දා ගත්තා. පහුවෙනිදා ආයෙත් ප්‍රදර්ශන කුටියට ගියා විස්තර කිරීම් වලට . හවස මමත් වැඩ ඉවර වෙලා කාමරේට ආවම අරූ බර කල්පනාවක.

'' මොකක්ද බං උබ ඔය හැටි කල්පනා කරන්නේ ....? '' මං ඇහුවා.

'' මුකුත් නෑ බං ...'' අරු කියපි.

''මොකද නංගි කවිය ගන්න බෑ කිවුවද ...? නැත්නම් නංගි අකමැතියි කියලා කිව්වද.... ?'' මං ආයෙත් ඇහුවා.

'' නෑ බං කවි ටික නම් නංගි ගත්තා. ''

'' එහෙනම් දැන් වැඩෙ හරි යයි නේ. '' මං කිව්වා.

'' ඔව් වැඩේ නම් ගොඩ යයි. ඒත් පොඩි පරහක් තියෙනවා බං ....''

"ඒ මොකද්ද බං ...'' මං ආයෙත් ඇහුවා.

'' මං ඒ නංගිව බැන්දාම හම්බවෙන ලමයි කලුවට ඉදියිනේ. ඒකයි මං මේ කල්පනා කරන්නේ. '' අරූ ගත් කටටම කියලා දැම්මේ නැතෑ.

මට එක පාරටම බිබී හිටපු තේ එකත් පිට උගුරේ ගියා. උගේ කතාව අහලා. මූ යාලු වෙන්නත් කලින්ම ලමයි හදන එක ගැනයි හිතලා තියෙන්නේ.

ප. ලි. - පස්සෙ දැන ගන්න ලැබුනා ඒ නංගි අපේම බැච් එකක කොල්ලෙක් එක්ක යාලුවෙලා ඉන්නවා කියලා. සීනියර් බැච් එකක අයියා කෙනෙක් දීපු හින්දලු අර කවි ලියපු කඩදාසිය ගත්තේ (බයට ). අර කවි ලියලා දිපු කවි කොලය එදා දවල් නංගි කෑම කාලා අත පිහින්න ගත්තා කියලා ආරංචි උනා.


11 December 2010

එක් සංවේදී කතාවක්


හුග දවසකින් කතාවක් ලියන්න බැරි උන හින්දා අද නිවාඩු දවසේ කතාවක් දාන්න කියලා බ්ලොග් එක පැත්තේ ආවා. මේක මේ අපේ බැච් එකේ හිටපු යාලුවෙක් හදපු පොඩි වීඩියෝ ක්ලිප් එකක්. කලින් දවසකත් මං ඒ යාලුවා හදපු කතාවක් බ්ලොග් එකේ දැම්මා දනා සහා සනා කියලා. ඒ කතාව බලන්න මෙතන ක්ලික් කරන්න.

ඒ කතාව විනෝදාත්මක එකක් . නමුත් මේ කතාව නම් ටිකක් සංවේදි කතාවක්. මං ඉතින් දනාගෙන් (දමිත් ධනංජය) ඇහුවා උබ ඇයි මෙදා පාර මේ වගේ වැඩකට බැස්සේ කියලා.

ඒකා කිවුවේ මේ කතාව එයාලගේ පැත්තේ වෙච්ච ඇත්තම සිදුවීමක් කියලා. එයාලගේ පැත්තේ කිවුවේ දනා ඉන්නේ හලාවත පැත්තේ තියෙන ආනවිලුන්දාව කියන සුන්දර ගමක. ඇත්තටම මේ ගම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සුන්දර ගමක් !!!!


මොනවා උනත් මේ වීඩියෝ ක්ලිප් එක නම් ලස්සනයි. හැබැයි පොඩි පොඩි අඩුපාඩුත් ටිකක් තියෙනවා.අවුලක් නෑ, ඒකා ඉතින් වෘත්තියෙන් රංගන ශිල්පියෙක් නෙමෙයි නේ. ඉදිරියේදි හොද හොද නිර්මාණ ටිකක් දැක ගන්න ලැබෙයි කියලා තමයි දනා නම් කියන්නේ.

ඒවත් ලද සැනින් මං බ්ලොග් එකෙ දාන්න බලාපොරොත්තු වෙනවා. මේ කතාවත් රස විදින්න.

ආහ්... දනා ගැන පොඩි දෙයක් කියලම යන්නම්කෝ. එතකොට දනා කියන්නෙ මොනවගේ එකෙක්ද කියලා හිතා ගන්න පුලුවන් නේ.දනා කියන්නේ අපි හිතන විදිහට හිතන කොල්ලෙක් නෙමෙයි. ටිකක් අමුතු විදිහට හිතන කොල්ලෙක්. උදාහරනයක් විදිහට මොකක් හරි දෙයක් කට්ටියම "ඒක ඇත්ත" කියලා තර්ක කලොත් දනා "ඒක බොරුයි " කියලා තර්ක කරන කොල්ලෙක්. විවාද වලට නම් මරු ඩයල් එකක්. ඕනම බොරුවක් හිටගෙන හරි කමක් නෑ ඇත්ත කියලා ඔප්පු කරන අපූරු කොල්ලෙක් .

ඒකගේ රස කතා එහෙමත් තියෙනවා. ඒවත් හිමිහිට බ්ලොග් එකේ දාන්නම්.



සියලු දෙනාට ජය වේවා !!!

10 December 2010

කලා වැව


මේ දවස්වල වැඩ හන්දා බ්ලොග් එකට කතාවක් දාන්නත් එන්න බැරි උනා. අද තමයි පොඩි විවේකයක් ලැබුනේ. ඉතින් හිතුනා කතාවක් දාන්න ඕනේ කියලා. මට අහම්බෙන් වගේ මගේ පරණ සිංහල අච්චු පොතක් හම්බ උනා.

මේක ඉස්සර පහ වසර සිංහල අච්චු පොතේ තිබ්බ ජනප්‍රවාද කතාවක්. මං ඉස්සර කියල කිව්වේ ඒ කතාව තියෙන්නේ පරණ විශය නිර්දේශයේ. දැන් ඒ කතාව නැද්ද කොහෙද. ඔය අනුරාධපුරයේ යද්දි අපට මුන ගැහෙන වැවක් තමයි කලා වැව කියන්නේ. මේ කතාවත් කලා වැව සම්බන්ධවයි.


කවුරුත් දන්නවා ඇති කලා වැව හැදුවේ ධාතුසේන රජතුමා කියලා. (දන්නේ නැති අයත් ඇති.) ඔය ධාතුසේන රජතුමාට හිටියලු මිගාර කියලා සෙනෙවියෙක්. ඔන්න කතාව අහ ගන්නකෝ. ධාතුසේන රජතුමා අනුරාධපුරය එක්සේසත් කරවලා (එකම රජෙක් යටතේ පාලනය කරනව කියන එක ) දැහැමින් සෙමින් (ධාර්මිකව හා සාමයෙන් ) රට පාලනය කලාලු. ඉතින් මේ රජතුමා අනුරාධපුරේ ගොවිතැන් වලට අවශ්‍ය කරන ජල සම්පත් ලබා දෙන්න කියලා වැවක් බදින්න තීරණය කලාලු.

රජතුමා රට වැසියන්ගේ උදව්වෙන් කොහොම හරි වැව බැන්දා කියමුකෝ. එදා පුර පසලොස්වක දවසක් ලු. ඉතින් මේ රජතුමා වැවේ වැඩ ඉවරවෙලා එදා රෑ උත්සවයක් සූදානම් කලාලු. උත්සවේට කට්ටිය ගියාලු. ඊට පහුවෙනිද ලු වැව විවෘත කරන්නේ.

මිගාර සෙනෙවියාට කලා කියලා පුතෙක් හිටියලු. මේ පුතා හද එලියේ වැව් බැම්ම දිගේ ඇවිද යද්දි දැක්කලු වැවේ එක තැනක් බිදිලා ඒකෙන් වතුර කාන්දු වෙනවා.පුතාට හිතුනලු මේ සිදුර ලොකු උනොත් මේකෙන් වැව් බැම්ම මුලුමනින්ම බිදිලා මුලු ගමම යට වෙන්න පුලුවන් කියලා. ඉතින් මේ දරුවා කවුරුහරි එක්ක එන්න ඕනෙ කියල බැලුවලු නමුත් ගොඩක් දුර නිසා ගිහින් එද්දි වැව් බැම්ම බිදිලම යන්න ඉඩ තියෙන්න පුලුවන් කියල හිතුනලු.



ඉතින් කලා තමන්ගේ පොඩි අත් දෙකෙන් අර සිදුර වහගෙන හිටියලු කවුරුහරි එනකන්. කොහොමහරි ඔතනින් මිගාර සෙනවියා තමන්ගේ පුතාව හොයාගෙන ආවලු. මේ සෙනවියා දැක්කලු තමන්ගේ පුතා වැව් බැම්මේ තියෙන සිදුරක් වහගෙන ඉන්නවා කියල. ඉතින් මේ සෙනවියා රජතුමා කැදවලා මේ සිද්ධිය සැල කලා ලු. රජතුමා කඩිනමින් ඒ තැන පිලිසකර කලා. මේ දරුවා තැනට සුදුසු නුවන පාවිච්චි කරලා කරපු දේ නිසා ලොකූ විනාසයක් වැලකුනා. ඊට කෘතගුන සැලකීමක් වශයෙන් රජතුමා මේ වැව කලා වැව කියලා නම් තිබ්බලු.

මොනවා උනත් රජරට ගොවියෝ අදත් ධාතුසේන රජතුමාට පින් දිදී ඔය වැවේ ජලයෙන් කුඹුරු අස්වද්දනවා.
මේ කතාව ලියද්දි මට පරණ සිංදුවකුත් මතක් උනා.

වස්තුව ඉල්ලන කාශ්‍යප පුතුනේ
ඇයි හදවත රිදවන්නේ
ඇස් දෙක වාගේ මුගලන් සහා නුඹ
පියරජු සෙවනේ උන්නේ

ඔච්චර සේවයක් කරපු රජෙකුට අන්තිමේදි සිද්ද උනේ තමාගෙම පුතුගේ අතින් මැරුම් කන්න.ඔක්කෝටම මුල වස්තුවට තියෙන කෑදර කම කියලා නම් කියන්න පුලුවන්. වස්තුවට කෑදර මිනිස්සු ඒ කාලෙත් හිටියා කියන එක ඕකෙන්ම සනාත වෙනවා

සියලු දෙනාට ජය වේවා !!!!

04 December 2010

අධ්‍යපනය පෞද්ගලීකරණය



මං දැන් මේ කියන්න යන්නේ ගොඩාක් කට්ටියට යල් පැන ගියපු මාතෘකාවක් ඒක තමයි අධ්‍යාපනය පෞද්ගලීකරනය කිරීම . නමුත් විශ්ව විද්යාල සිසුවෙක් හැටියට මට නම් මේක දවසක් උනත් කථා කරන්න පුලුවන් මාතෘකාවක්. ඉස් ඉස්සෙල්ලාම කියන්නම්කෝ මගේ අදහස. කොටින්ම කියනවානම් මං අධ්‍යාපනය පෞද්ගලීකරනය කිරීමට විරුද්ධයි. දැන් ඔයාලා කියයි මං ආත්මාථකාමි කෙනෙක් කියලා. එහෙම හිතන්න කලින් චුට්ටක් මේක කියවලා ඉන්න.

අපට රජයෙන් නොමිලේ ලැබෙන දේවල් ටිකක් තියෙනවනේ. සෞඛ්‍ය අංශය . ආරක්ශක අංශය හා අධ්‍යාපනය යන මේ ටික තමයි අපට රජයෙන් නොමිලේ ලැබෙන්නේ. මං දැන් අනිත් ඒවා ගැන කියන්න යන්නේ නෑ. මන් කියන්න යන්නේ අධ්‍යාපනය ගැන. ලාංකීය අධ්‍යාපනය කොටස් තුනකට බෙදෙනවා ප්‍රාථමික, ද්විතියික හා තෘතියික අධ්‍යාපනය කියලා.


අද රටේ තත්වය දැක්කම මේ සියලුම කොටස් පෞද්ගලීකරනය වෙනවා කියල කියන්න පුලුවන්. දිනෙන් දින ලංකාවේ අධ්‍යාපනය සදහා අය වැයෙන් වෙන් කරන මුදල අඩු වෙනවා. ඒ නිසා රජයේ පාසල් අලුත් වැඩියා කරන්න ලැබෙන්නේ නෑ. ඒවායේ පහසුකම් වැඩි දියුනුවක් කරන්න ලැබෙන්නෙත් බොහොම කලාතුරකින්. අය වැයෙන් සදහා වෙන්කරන මුදල අඩු උනාම ගුරු පුරප්පාඩු පිරවීමක් සිදු වෙන්නේ නෑ.

මේ හින්දම පාසල් සිසුවාට පුද්ගලික පංති සදහා යොමු වෙන්න වෙනවා. දැන් ඔයලට කියන්න පුලුවන් කොහොමත් සිසුන් පුද්ගලික පංති යනවනේ කියලා. නෑ ඒක වැරදි කතාවක් එහෙම වෙන්නේ නගරාසන්න සිසුන් විතරයි එහෙම පංති යන්නේ. පිටිසර බද පලාත් වල සිසුන්ගේ දෙමව්පියන්ට පුද්ගලික පංති වලට වියදම් කරන්න පුලුවන්කමක් නෑ. මේ නිසා ගුරු පුරප්පාඩු නිසා අර පිටිසර පලාත් වල සිසුන්ට ලොකු අසාධාරණයක් වෙනවා. ගුරුවරු අඩු උනාම සිසුන් පාසල් ඒමත් අඩු වෙනවා. එතකොට මේ පාසල් දිනෙන් දින වැසී යෑමේ අවදානමක් තියෙනවා.

දැන් බලමු ඇයි මේ අයවැයෙන් අධ්‍යාපනය සදහා වෙන් කරන මුදල අඩු වෙන්නේ කියලා. අධ්‍යාපනයට කරන වියදම් වලින් කිසිම ලාභයක් ලැබෙන්නේ නෑ. ඒවා හුදෙක්ම වියදම් දැරීමක් පමනයි. ඉතින් ඒක හින්දා මේ ක්ෂේත්‍රයට කරන මුදල් වෙන් කිරීම් අඩු වෙනවා. ආහ් … තව එකක් කියන්න ඕනේ ලංකාවේ මේ වනවිට පුද්ගලික පාසල් විශාල ලෙස ආරම්භ වෙමින් පවතිනවා. ඒවයේ සිසුන් ඉගෙන ගැනීමත් මේ වනවිට සිදු වෙනවා. රජයේ පාසලුයි පුද්ගලික පාසලුයි සංසන්දනය කරලා බලනකොට පුද්ගලික පාසල් වල සුපිරි පන්තියේ විද්‍යාගාර, පරිගනක මධ්‍යස්ථාන, උපාධිදාරී ගුරුවරුන් (මං කියන්නේ නෑ රජයේ පාසල් වල උපාධි දාරී ගුරුවරු නැහැයි කියලා. ) යන මේ සියලු දේවල් වලින් අංගසම්පූර්නයි.

ඉතින් මේ පාසලක අධ්‍යාපනය කරලා එලියට එන ළමයාගෙයි රජයේ පාසලක අධ්‍යාපනය කරලා එන ළමයෙකුගෙයි ලොකු වෙනසක් තියෙනවා කියලා ඔයාලට තේරෙනවා නේ. පුද්ගලික පාසල් වල ඉදල එන ළමයෙක් ට පරිගණක වැනි නව තාක්ෂණ වල ස්පර්ශය එයාලගේ පාසල් අවධියේ ඉදලම ලැබෙනවා. රජයේ මේ වගේ පහසුකම් තියෙන්නේ නගරා සන්න පාසල් වලයි ජනප්‍රිය පාසල් වල විතරයි. (මේක ලියන මමත් ගමේ පාසලක ඉදලා විශ්ව විද්‍යාලයට ඇතුල් උනේ. පුලුවන් නම් විශ්වාස කරන්න. මං මුලින්ම පරිගණකයක් අතින් ඇල්ලුවේ විශ්ව විද්යාලයේ දියි. )

දැන් ඔයාල හිතනවා ඇති මං හරි කුහකයි කියලා. නෑ ප්‍රශ්නය ඒක නෙමෙයි. ඇයි රජයේ පාසල්වල සිසුන්ටත් මේ වගේ සැලකිලි නැත්තේ කියන එකයි . තව එකක් කියන්න ඕනේ. ඔය පුද්ගලික පාසල්වල ගුරුවරුන්ගේ වැටුපත් රජයේ පාසල්වලට සාපේක්ශව ගොඩාක් වැඩියි. මේ නිසා ඔවුන් පුද්ගලික අංශ වලට යොමු වීමට ලොකු ප්‍රවනතාවයක් තියෙනවා.

ඔය මං දැන් කිව්වේ පාසල් අධ්‍යාපනයේ සිදුවන පෞද්ගලීකරනය ගැන. අනිත් බ්ලොග් පෝස්ට් එකෙන් විශ්ව විද්යාල වල සිදුවන පෞද්ගලීකරනය ගැන කතා කරමු.