13 May 2018

රයිගම් රාජධානියේ අසිරිය සොයා - 2 : පතහවත්ත රජමහා විහාරය

රයිගම් රාජධානිය මතක් උනහම ඊට පස්සේ මතක් වෙන්නේ අපි ඉතිහාස පොතෙන් ඉගෙන ගත්තු රයිගම් බණ්ඩාර කියන නාමය. කෝට්ටේ රජකම් කරපු හත්වන විජයබාහු පිය රජතුමාට එරෙහිව තම පුතුන් තිදෙනා කැරැල්ලක් මෙහෙය වූ බව ඉතිහාසයේ සදහන් වෙන කාරණාවක්. පියාගේ මරණින් පස්සේ කෝට්ටේ රාජධානිය පුතුන් තිදෙනා අතරේ වෙන් කරගත් බව විජය බා කොල්ලය නම් වූ සිදුවීමේදි ඔබ අසා ඇති බවට සැකයක් නැත.

සීතාවක රාජධානිය මායාදුන්නේ කුමාරයාත් කෝට්ටේ රාජධානිය හත්වන බුවනෙකබාහු කුමාරයාත් රයිගම රාජධානිය රයිගම් බණ්ඩාර කුමාරයාත්  රජකම් කළ බව ඉතිහාසය සාක්ෂි දරයි.

රයිගම් බණ්ඩාර රජතුමාගේ මාලිගය තිබුණා යැයි සැක කරන ප්‍රදේශයේ තමයි මේ පතහාවත්ත රජමහා විහාරය ඉතිකරලා තියෙන්නේ. මාලිගය වටා ඉදිපරපු කබොක් බැම්ම ඒ ඉතිහාසයේ වර්තමාන සාක්ෂි වශයෙන් ඉතිරි වී පවතී.

රයිගම් රාජධානියේ අසිරිය සොයා - 1

අද ඉරිදා දවසේ ගෙදර කම්මැලිකමේ ඉන්නැද්දි නිකමට වගේ හිතුනා ළඟපාත කොහේ හරි ගිහින් එන්න තිබ්බා නම් හොඳයි කියලා. ඉස්සර වගේ නෙමේ අපේ මලයට පින් සිද්ධ වෙන්ඩ උගේ බයිසිකලේ මට දීලා ගිය නිසා හිතෙන හිතෙන ඕනම තැනකට ගිහින් එන්න ලේසියි. නැත්නම් ඉතිං බස් එනකන් ඉන්නයි බස් හෝල්ට් ගානේ පයින් බඩගාන්නයි එපා වෙනවා.

කොහෙද යන්නේ කියලා හිත හිතා ඉන්නැද්දි මතක් උනා බොල්ගොඩ ගඟේ තොටුපොලවල් කිහිපයක් ඉතුරු වෙලා තියෙනවා නේද කියලා. මගේ ලොකු ආසාවක් තියෙනවා බොල්ගොඩ ගඟේ තොටුපොලවල් සේරම වගේ බලලා එන්ඩ. අන්න ඒ ආසාවට එහේ යනවද කිය කියා හිතනකොට තමයි මම අන්තර්ජාලයෙන් යන්ඩ ඕන පැත්තක් ගැන කරුණු හෙව්වේ.

ඔන්න එතකොට තමා පතහාවත්ත රජමහා විහාරය ගැන විස්තර හම්බ උනේ.