28 February 2012

උපාධියත් කල් ගියා.

අනධ්‍යන සේවක වැඩ වර්ජනය නිසා මාර්තු මාසේ පළවෙනිදට තියෙන්න තිබ්බ අපේ උපාධි ප්‍රධානෝත්සවය දින නියමයක් නැතුව කල් ගියා. මදැයි ඉදලා ඉදලා උපාධි ගන්න හිතුවා !

පහලින් තියෙන්නේ මේ කල් යාම අපේ බැච් එකේ එකෙක් මූනුපොතේ දාලා තිබ්බ ස්ටේටස් එකක් ! (මූ තුන්වෙනි පාර කැම්පස් ආපු එකෙක්.)

උපාධිය සිහිනයාක් පමණයි
ලැබෙන දවසක් නෑ
එදා first shy ගොඩ ගියා නම්
මෙදා චාටර් නෑ !!

පහලින් තියෙන්නේ ඔය ස්ටේටස් එකට වැටිච්ච කමෙන්ට් එකක් !

සොබා දහමට නොවන අවනත
ලොවේ කිසිවක් නෑ.
CONVO විතරක් කල් නොගිය නම්
ඒකෙ ගතියක් නෑ..

කැම්පස් පටන් ගත්ත දවස්වල ඉදන් දින නියමයක් නැතුව කල් ගිය ඒවායින් නම් අඩුවක් නෑ. ඒ නිසා උපාධි ප්‍රධානෝත්සවය කල් ගිය එක ඒ හැටි ගානකුත් නෑ. !

මේ ලිපිය කියවන කට්ටිය යන ගමන් ප්‍රාර්ථනාවකුත් කරන්න මාර්තු මාසේ ඉවර වෙන්ඩ කලින්වත් අපේ උපාධි උත්සවය තියෙන්න කියලා ! :)

24 February 2012

මැරෙන මොහොතේ සිතුවිල්ල

අපි මලාම කොහේටද යන්නේ ? පින් කරපු හැමෝම මැරුනම දිව්‍ය ලෝකයේ යනවද ? පවු කරපු හැමෝම මැරුනම අපායේ යනවද ?

කෙනෙක් ජීවත් වෙලා ඉන්නැද්දි ගොඩක් පින් කරලා තිබුනට මැරුනට පස්සේ ඒ කෙනා නරක තැනක ආයෙම උපදින්නත්, කෙනෙක් ජීවත් වෙලා ඉන්නැද්දි ගොඩක් පවු කරලා තිබුනත් මලාට පස්සේ හොද තැනක උපදින්නත් ඒ කෙනා මැරෙන මොහොතේ හිතේ උපදින සිතුවිලි සමුදාය බලපානවා !

අපි කොච්චර පින් කලත් සමහර විට මැරෙන මොහොතේ හිතේ ඇතිවෙන සිතුවිලි වලින් නරක තැනක උපදින්නත් ඉඩ කඩ තියෙනවා !

එහෙම නම් පින් කරලා වැඩක් තියේ යෑ !!!!

නෑ... නරක තැනක ඉපදුනත් පින් කරලා තියෙනවා නම් දුකක් නැතුව සැප විඳින්න ඉඩකඩ තියෙනවා. මැරෙන මොහොතේ හිතේ ඉපදෙන සිතුවිල්ල හන්දා ඊලඟ ආත්මේ සත්ව ආත්මයක ඉපදුනත් පින් කරලා තියේ නම් සැප විඳින්න පුලුවන් !

ඒ නිසා කොච්චර පින් කලත් මැරෙන මොහොතේ හිතේ සිතුවිල්ල යහපත්ව තියාගන්න එක වටිනවා !

සියළු දෙනාට තෙරුවන් සරණයි !
-------------------------------------------------------------------

ප.ලි. - මහා කම්ම විභංග සූත්‍ර දේශනාවේ තිබ්බ මේ කරුණු ටික ලංකාවේ වෙලාවෙන් අද හවස 6ට බෞද්ධයා ගුවන් විදුලියේ විකාශනය වෙච්ච ධර්ම දේශනයකින් අහන්න ලැබුනා.

ප.ප.ලි.- කොළඹින් FM 104.5MHz, කන්ද උඩරටින් FM 95.5MHz, රුහුණෙන් FM 99.0 MHz, යන සංඛ්‍යාත වලින් බෞද්ධයා ගුවන් විදුලිය සුසර කරගන්න පුලුවන්.

ප.ප.ලි.- මහා කම්ම විභංග සූත්‍රය ත්‍රිපිටකයෙන් කියවන්න මෙතන ක්ලික් කරන්න.

23 February 2012

මුනි සිරිපා සිඹිමින්නේ....


මුනි සිරිපා සිඹිමින්නේ
සමනොල ගිර පෙදෙසින්නේ
මඳ සුළඟයි මේ එන්නේ
මගේ පුතා නැලවෙන්නේ

------------------------------------------------------------
ප.ලි. - මේ කවිය මම දැක්කේ නුගේගොඩ ළමා සංවර්ධන හා වනිතා කටයුතු අමාත්‍යංශ ගොඩනැගිල්ල ඉස්සරහා තිබ්බ පෝස්ටරයකින්. මේ කවියට සිබිල් වෙත්තසිංහ මහත්මිය ඇඳලා තිබ්බ චිත්‍රයත් එක්ක මේ කවියේ අර්ථය තවත් වැඩි කරනවා.

නමුත් ඒ චිත්‍රයේ පින්තූරයක් ගන්න නම් බැරි උනා.

ලස්සන දරු නැළවිලි ගීයක් නිසා පෝස්ට් කරන්න හිතුනා. !

19 February 2012

Walking Park එකක ඇවිද ගියෙමි.

Walking Park සංකල්පය ගොඩක් බටහිර රටවල් වලට නම් ආධුනික සංකල්පයක් නෙමෙයි. කාර්යබහුල ජීවිත ගත කරන අයට අවශ්‍ය ව්‍යායාම ලබා ගැනීම සදහා නගර වල මේ වගේ Walking Park ඇති කරලා තියෙනවා කියලා මම් චිත්‍රපටි වල දැකලා තියෙනවා. අපේ රටෙත් කොළඹට සීමා වෙලා තිබ්බ Walking Park සංකල්පය දැන් අපේ ගමටත් ඇවිදින්. අවුරුදු 25ක් තිස්සේ පුරන් වෙලා තිබ්බ වෙල් යායක ප්‍රධාන නියර පාදක කරගෙන මේ Walking Park එක නිම කරලා තියෙන්නේ. ඒ නිසාම වෙල් යායේ පරිසර පද්ධතියට වෙලා තියෙන හානිය අවමයි කියලා කියන්න පුලුවන් ! අපේ Walking Park එක දළුපිටියේ ඉදලා කිරිබත්ගොඩ දක්වා දිවෙන මීටර් 1650ක දිගින් යුක්ත වෙනවා.90%ක විතර වැඩ දැනටමත් අවසන් ! තාම විවෘත කරලා නම් නෑ ! වැඩ ඉවර නොවුනට Walking Park එකේ ඇවිදින්න එන කට්ටියගෙන් නම් අඩුවක් නෑ. අද ඉරිදා දවසේ සෑහෙන කට්ටියක් ඇවිදින් හිටියා. මම නම් දුවනවට වැඩිය ඇවිදන් ගියා කිව්වොත් හරි ! මහර ප්‍රාදේශිය සභාවෙයි කැළණිය ප්‍රාදේශිය සභාවෙයි ජනතාවගේ සුභසිද්ධිය උදෙසා කරපු මේ නිර්මාණය ගොඩක් වටිනවා ! මේ තියෙන්නේ පින්තූරු......
ඉර බැහැගෙන යන අපූරුව

18 February 2012

බල්ලා සහ මස්කටුව

ගෙවී ගිය සතිය මහ පුදුම සතියක් ! මාර වැඩ කන්දරාවක් තිබ්බේ ! ඒ නිසා ගොඩක් කට්ටියගේ පෝස්ට් කියවන්න වෙලාව හොයාගන්න බැරි උනා. අද නිවාඩු දවසේ ඒ ටික කියවන්න හිතන් ඉන්නේ. :)

ගිය සතියේ දවසක දවල් කෑම එක ඔතලා තිබ්බ පත්තර කොළයක් කියවන්න ලැබුනා. මම් ඉතින් ඔහොම පත්තරයක් කියෙව්වොත් මිසක් පත්තර හොයාගෙන ගිහින් කියවන එකක් යෑ.

ඒ පත්තර කෑල්ලේ තිබ්බේ මේකයි.

බල්ලෝ, මස් කටු කන්න ගොඩක් ආසයි කියලා කවුරුත් දන්නවනේ. සමහර මාස ගනන් පරණ, මස් කඳුලක්වත් නැති මස් කටු රහ කර කර කනවා දැකලා ඇති නේ.මටත් ඔහොම මස් කට්ටක් කන බල්ලෙක්ව දැක්කම හිතෙනවා මොනාට මෙච්චර අමාරුවෙන් මේක කනවද කියලා.

බල්ලා ඔය මස්කට්ට හපනකොට මස් කටුවයි උගේ විදුරුමහයි එකට තද වෙලා විදුරු මහ තැලෙනවලු. ඊට පස්සේ විදුරුමහ තැලිච්ච තැන්වලින් ලේ ගලනවා. ඒ ගලන ලේවල රහ බල්ලාගේම දිවට දැනනවා ලූ.එතකොට බල්ලා හිතන්නේ ඒ ලේ රහ එන්නේ මස්කට්ටෙන් කියලා ලූ.

ඒක ලූ ඌ පරණ මස් කට්ටක් උනත් රහ කර කර කන්නේ !!

ඇත්තද දන්නේ නෑ. :)

එහෙනම් ගිහින් එන්නම් !
-----------------------------------------------------------------------
ප.ලි. - ඉදලා ඉදලා බලු කතාවක් කිව්වද මන්දා !

12 February 2012

මොස්කිටෝ බැට්

මේ දවස්වල ලංකාවේ ප්‍රධාන පාරක ගියොත් බැඩ්මින්ටන් පිති අරගත්තු මිනිස්සු දකින්න හම්බ වෙනවා. ඒවා බැඩ්මින්ටන් පිති වගේ පෙනුනට ඒවට කියන්නේ මොස්කිටෝ බැට් (mosquito bat) කියලා ලූ. මදුරුවෝ ඉන්න තැනකට ගිහින් ඒ පිත්ත වැනුවම මදුරුවෝ ඒකට අහු වෙනවලු.
තෝරගන්න මාදිලි රැසකින්ම

දවසක් වැඩ ඇරිලා ගෙදෙට්ට ගොඩ වෙච්ච හැටියෙම අපේ අප්පච්චිගේ අතේ ඔය බැට් එකක් තියෙනවා දැක්කා.

"අද මාත් නාරාහේන්පිට පැත්තේ ඔයවගේ බැට් විකුණන මනුස්සයෙක් දැක්කා !!!" කියලා පිත්තේ කම්බි දැල තියෙන පැත්ත ඇල්ලුවා !!!

අම්මා ගහයි බැට් එකෙන් කිව්වලු. "චටස් " ගාලා කරන්ට් පාරක් වැදුනා. ඒ බැට් එකෙන් මදුරුවෝ මැරෙන්නේ උඩ තියෙන කම්බි දැලට එන කරන්ට් එකෙන්.ඒ කරන්ට් එක දෙන්නේ පිත්තේ තියෙන බැටරියෙන් !

මේ කරන්ට් පාර කොච්චර සැරද කියලා කියනවා නම් මගේ ඇඟිලි වල කම්බි දැල අහුවෙච්ච අහුවෙච්ච තැන් ටිකේ දිය පොක්කලම් (දිය පට්ට) ආවා. අපේ අප්පච්චි ඒ වෙලාවෙමලු බැටරිය චාර්ජ් කරගෙන ආවේ. අපේ අතට ඔහොම සැර නම් මදුරුවන්ට කොහොම ඇත්ද !

මදුරුවෙක් දැලට අහු උනොත් ඒකා මැරෙනකොටත් "චටස් " ගාලා සද්දයක් එනවා. එතකොට දැනගන්ඩ පුලුවන් මදුරුවෙක් අහු උනාය කියලා. මේ බැටරිය, කරන්ට් එකට ගහලා චාර්ජ් කරන්න පුලුවන් ජාතියේ එකක් !

මේ ටිකේ අපේ අප්පච්චියි මලයගෙයි වැඩේම ඔය පිත්ත වන වනා ඉන්න එක ! අපේ මලයා නම් මං නිදාගෙන ඉන්නකොටත් ඇඟට උඩින් ඔය පිත්ත අල්ලනවා. මූ කොහාට්ට අල්ලයිද කියලා බයේ බෑ !!!
-----------------------------------------------------
ප.ලි. -ලඟ ලඟම එන ආදරවන්තයින්ගේ දිනයට තම තමන්ගේ ආදරවන්තයාට දෙන්න තෑග්ගක් තීරණය කරලා නැත්නම් මෙන්න දිය යුතුම තෑග්ග !!!

(තමන්ගේ ගෑල්ලමයා මදුරු ගෑනු සතෙක් වගේ කුනු කුනු ගානකොට 'චටස් ! චටස් !' ගාලා පිත්තෙක් දෙකක් දෙන්න බැරුව යෑ !)

09 February 2012

කිඹුලා ගැන කටකතා

අපේ පැත්තේ මේ දවස් ටිකේම එක එක්කෙනා කතා වෙන්නේ ඊයේ රාගමදි අල්ලපු කිඹුලා ගැන. මේ කිඹුලා අල්ලපු සිද්ධිය කොච්චර ප්‍රසිද්ධයිද කියනවා නම් බස් හෝල්ට් එකේ කඩපිල්වල කවුරු කවුරුත් කතා වෙන්නේ කිඹුලා ගැන.මූ එසේ මෙසේ කිඹුලෙක් නෙමෙයි තඩි කිඹුලෙක් ! මිනී කන කිඹුලෙක් !

කිඹුලව ඇල්ලුවාට පස්සේ ඌ ගැන සෑහෙන්න කටකතා ගොඩක් පැතිරීගෙන යනවා.සමහර එවුවා ඇත්තද බොරුද කියලා හිතාගන්න බෑ.
මේ ඉන්නේ ඔය කිඹුලා

කිඹුලා අල්ලලා වනජීවි එකට බාර දුන්නට පස්සේ මේ කිඹුලා මලා කියලා කට්ටියක් කියනවා.

තව කට්ටියක් කියනවා මේ කිඹුලව අල්ලගන්න ඇමට බලුපැටියෙක්ව දාලා තිබ්බයි කියලා. ඌ කෑ ගහන සද්දෙට ලූ කිඹුලා ආවේ.

හැබැයි තවත් සමහරු නම් කියන්නේ මේ කිඹුලාව ඒ ලඟ ආමි කෑම්ප් එකෙන් මුතුරාජවෙල වගුරුබිමට දාපු කිඹුල්ලු තුන්දෙනාගෙන් එකෙක්ය කියලා. එකෙක්ව කෝච්චියට අහු වෙලා මලා ලු ! මේ අනිකා ලූ ! තව එකෙක් මුතුරාජවෙල වගුරු බිමේ ඉන්නවලු !
(අපේ ගෙවල් ගාව වෙල මුතුරාජවෙලේ කෑල්ලක් ය කියලා දැනගත්තෙත් මේ සිද්ධියෙන් පස්සේ.)

එහෙම ආමි එකෙන් කිඹුල්ලු දාලා තියෙන්නේ මේ වෙලෙන් ආමි කෑම්ප් එකට කොටි එන එක වලක්වන්න ලූ.! ඇත්තද කියලා දන්නේ නෑ !

හොදම වැඩේ තමා ත්‍රීවීල් ටයර් එකක් බඩ මැද්දේ හිර කරගත්ත කිඹුලෙකුත් ඔය කිට්ටුව වෙලක ඉන්නවා කියලත් ආරංචි උනා. ඌව නම් බලන්න වටිනවා ! :)

මොනා උනත් ඕ වගේ තඩි කිඹුලෙක් මම් ජීවිතේටම දැකලා නෑ. අපරාදේ ගෙදර හිටියා නම් බලන්න යන්න තිබ්බා. රාගමට එච්චර දුරකුත් නැති එකේ රේල් පාර දිගේ පයින් ගියත් පාඩු නෑ.
-----------------------------------------------------------------
ප.ලි. - පින්තූරය ගත්තේ නිකමා මල්ලිගේ බ්ලොග් එකෙන්. තව පින්තූර බලන්න ඕන් නම් නිකමා මල්ලිගේ බ්ලොග් එකේ මේ ලිපියට යන්න

07 February 2012

තැඹිලි තොරණ

කට්ටියම වෙසක් කාලෙට ජාතක කතා නිරූපණය කරන වෙසක් තොරණ් දැකලා ඇති නේ. මේ මම් දැකපු තොරණක් ! මේ තොරණ විෂේෂත්වයකට තියෙන්නේ මේ තොරණේ පුරාම තියෙන්නේ තැඹිලි ! මේ තැඹිලි තොරණ, ගමේ පල්ලියේ මංගල්ලෙට හදපු තොරණක් ! කට්ටියට දැන් හිතනවා ඇතිනේ මේ තැඹිලි වලට මොනවද කලේ කියලා.මංගල්ලේ පූජාව ඉවර වෙච්ච හැටියේ ආගම් භේද ජාති බේද අමතක කරලා දාලා තැඹිලි තොරණෙන් තැඹිලි ගන්න පොර කෑවා ! මාත් කොහොමහරි රිංගලා තැඹිලි අරන් ආවා. :) මේ තියෙන්නේ තැඹිලි තොරණේ පින්තූරු !!!

06 February 2012

රටකජු ගෙනාවද ?

පුංචිම දවස්වල අපේ අම්මා කොහේ හරි යනවා නම් මං අම්මත්තෙක්ක ඇවිදින්න යන්න ගොඩක් ආසයි. නමුත් අපේ අම්මා සමහර ගමන් එක්ක ගියාට සමහර වෙලාවල්වල එක්ක යන්නේ නෑ.පොඩි ඈයෝ එක්ක ගියහම කරදරයිලූ.

වඩන් යන්න ඕනෙලු ! දකින දකින දේ ඉල්ලනවලු ! අවුවේ එක්ක යන්න බෑලු ! ඔය වගේ නානාප්‍රකාර දේවල් ගොඩක් කියනවා. එක්කන් යන්න බෑ කියලා කිව්වම මම් කරන්නේ පොලොවේ තියෙන බොරලූ හූරගෙන බිම වැටිලා අඬන එක.

"අම්මා එහෙනම් මට මොනාහරි ගේන්න ???" එක්කන් යන්නෙම නැති වෙච්ච ගමන් ඒ වෙලාවට මගේ කටින් කියවෙනම වචන ටික තමයි ඕක.

අම්මා ගියපු වෙලේ ඉදන් මලයත් එක්ක සෙල්ලම් කරනවා. විඩින් විඩේ කඩුල්ල ගාවට ඇවිත් බලනවා අම්මා එනවද කියලා. අම්මා පාර කෙලවරෙන් එනවා පෙනුනොත් පාරට දුවගෙන යනවා.

"අම්මා මොනාද ගෙනාවේ ?" අම්මා ගෙට ගොඩ වෙන්නත් කලින් මම මුලින්ම අහන්නේ ඔය ප්‍රශ්නේ !

සමහර දාට අතේ සල්ලි තිබ්බොත් මොනාහරි ගේනවා. ගොඩක් වෙලාවට ගේන්නේ රටකජු ! මොකද හැම හන්දියකම වගේ වැඩිපුරම තියෙන්නේ රටකජු වගේ ජාති. ඒ නිසා "අම්මේ රටකජු ගෙනාවේ නැද්ද !" කියලා අහන දවසුත් තියෙනවා.

සමහර දාට අතේ සල්ලි තිබිලත් අපේ අම්මට හදිස්සියට මොනාහරි ගේන්න අමතක වෙනවා. එදාට අපේ අම්මා කියන්නේ,

"පුතේ, රටකජුකාරයාට ගහලා ගහලා ගහලා ගහලා ගහලා ගහලා ගහලා පොලිසියෙන් ජීප් එකට දාගෙන අරන් ගියා. ඒ නිසා රටකජු ගේන්න උනේ නෑ !"

ඔය ගහලා ගහලා කියන වචනේ හය හත්පාරක් කියන නිසා අපි හිතන්නේ ඇත්තටම රටකජුකාරයාට පොලිසියෙන් සෑහෙන්න සලකලා කියලා. අපිත් ඉතින් "අම්මේ පවු නේ ඒ රටකජුකාරයා !" කිය කිය විස්සෝප වෙනවා.
එතනින් එහාට අපි ප්‍රශ්න කරන්න ගියේ නෑ. ඒ හින්දම අපේ අම්මා ඔය කතාව සෑහෙන්න වාර ගානක් කියලා තියෙනවා.

දවසක් ඔය පොලිසියෙන් ගහපු කතාව අපේ නැන්දා එයාගේ පොඩි එකාට කිව්වලු. පොඩි එකා ගත් කටට කියපි.

"ඇයි අම්මේ රටකජුකාරයාට ගහලා එක්කන් ගියාට මොකෝ අම්මට තිබ්බේ රටකජු කරත්තෙන් ටිකක් අරන් එන්න නේ ! "

දැන් ඉන්න ළමයි අපි පොඩිකාලේ වගේ මෝඩ නෑ කියලා මට හිතුනා.

01 February 2012

මම ආසම මේල් දෙකක් !

මේ දවස්වල එක එක වැඩබිම් වලට යන නිසා වැඩ ඇරිලා ගෙදර එනකොට සෑහෙන්න රෑ වෙනවා. ඒ ආපුවාමත් මහන්සියට වැටිච්ච වැටිච්ච තැන් වල නින්ද යනවා. මේ හින්දම රීඩර් එකේ තියෙන බ්ලොග් ටිකවත් කියවගන්න වෙලාවක් නෑ. මොනා කරන්නද රස්සාවේ හැටි තමා ! වැඩබිම් වලට යන එකෙන් කොම්පීතරයක් ලඟ කොටු වෙලා ඉන්න වෙලාව සෑහන්න අඩු වෙනවා.එක අතකට ඒක සෑහෙන්න වාසියක් ! නැත්නම් දවස තිස්සෙම කොම්පීතරේ දිහා බලන් ඉදලා හවස් වෙද්දි ඉබේටම වගේ හිසේරදයත් හැදෙනවා. දැන් නම් ඒ අවුලත් නෑ. :) වැඩ කරන අතරතුරේ අහම්බෙන් වගේ මට මේල් එකවුන්ට් එකට ලොග් වෙන්න ලැබුනා. ඒකේ මම ආස කරපු මේල් දෙකක් තිබ්බා. මෙන්න පළවෙනි මේල් එක ! ආදර්ශය - මිනිස්සුන්ව බාහිර ස්වරූපයෙන් කිසි විටකත් මනින්න එපා ! ඒ මේල් එකේ ඔච්චරමයි තිබ්බේ. දෙවෙනි මේල් එකේ තිබ්බේ ශ්‍රි ලංකාඅණ්ඩුවේ නිදහස් දිනය නිමිත්තෙන් සිකුරාදා දවසත් නබිනායක උපන්දිනය නිසා සඳුදා දවසත් නිවාඩු ය කියලා. මේ අවුරුද්දේ ගොඩක් නිවඩු වැටිලා තියෙන්නේ සෙනසුරාදා ඉරිදා දවස්වල නිසා මේ වගේ මේල් එකක් දකින්නත් ආසයි !