31 October 2013

හැලොවීන් දවස

බස් එකේ වාඩි වෙලා නිදිකිරා වැටි වැටි එනකොට නාවල කිට්ටුවෙනකොටම දැක්කා මොන්ටිසෝරියක් ඉස්සරහා අමුතු විදිහට සරසලා. අමුතු විදිහට කිව්වේ වට්ටක්කා භූත රූප එහෙම එල්ලලා. වට්ටක්කා භූත රූපයක් දැක්කහම තමා මට ක්ලික් උනේ ඒ හැලොවීන් රූපයක් කියලා. :)

ඊට පස්සේ ඔපීසියට ඇවිත් කොම්පීතරේ ඔන් කරපු හැටියෙම බැලුවේ හැලොවීන් දවස අදද කියලා. ඔවු හැලොවීන් දවස අදයි ලූ !!!!

ඔය හැලොවීන් දවස මුලින්ම සමරලා තියෙන්නේ රෝම ජාතිකයන්ලූ. ඒ අයගේ මිය ගිය ඥාතින් එයාලගේ ගෙවල් වලට එන්නේ එදාය කියලා ඔවුන්ගේ විශ්වාසයක් තියෙනවාලූ.

පසු කාලීනව ඉංග්‍රීසි ජාතින් හැලොවීන් දවස එයාලගේ ආගමේ සියළුම සාන්තුවරයන් සිහි කරන බවට පත් කරගෙන. පරණ ඉංග්‍රීසි වචනයක් වෙච්ච  Hallow (හැලෝ) කියන වචනයෙනුත් කියැවෙන්නේ "සාන්තුවරයා" කියලාලූ. ඒ වචනයෙන් මුල් කරගෙන හැදිච්ච වචනයක් ලූ හැලෝවීන් කියන්නේ.

හැලොවීන් දවසට ප්‍රසිද්ධම සැරසිල්ලට තමා වට්ටක්කා ගෙඩියක් මදේ හාරලා ඒකෙන් මිනිස් මූනක් මතුකරගෙන ඒක මැද ඉටිපන්දමක් පත්තු කරලා තියෙන සැරසිල්ල. ඒකට  කියන්නේ "ජැක් ඕ ලන්තෑරුම " කියලා !
 පහලින් තියෙන්නේ 'ජැක් ඕ ලන්තෑරුමක්' !



අපට ආගන්තුක දවසක් උනත් බටහිර ජාතීන් සියළු දෙනා විවිධ භූතයන් වගේ ඇඳ පැලඳගෙන බාල මහලු සියළු දෙනා එක විලසට සතුටු වෙන දවසක් තමා මේ හැලෝවීන් දවස!

එහෙනං,

හැලෝවීන් සමරන අයට සුබ හැලෝවීන් දවසක් වේවා !

------------------------------------------------

ප.ලි. - Halloween කියන වචනේ මං උච්ඡාරණය කරපු විදිහ හරිද මන්දා :)

29 October 2013

අපාය හා දිව්‍යලෝකය

අහලා තියෙනවද මේ කතාව ?

ඔන්න එක මනුස්සයෙක්ට දිව්‍යලෝකයයි අපායයි බලලා එන්න පුලුවන් වෙන විදිහේ අපූරු වරයක් ලැබුනාලු. ඒ වරය ලබාගත්ත මනුස්සයා මුලින්ම ගියේ අපායට ලූ. ඒ යනකොටත් අපායේ දවල් කෑම, මේසෙට ඇරලලු තිබ්බේ.

හරි අපූරු කෑම වේලක් ලු.. කෑම ටික දැක්කහම අපායේ කෑමද කියලා හිතාගන්ඩ බැරි තරම් ලූ. කොටිංම හිතාගන්ඩකෝ හොඳ වෙඩිමක තියෙන කෑම වේලක්.. අන්න එහෙම කෑම මේසයක්ලූ අපායේ තිබ්බේ. කෑම වෙලාවට බෙල් එක ගැහැව්වහම කට්ටිය මේසේ ලඟට ඇවිත් කෑම බෙදාගත්තාලු.

ඒත් මේ කට්ටියගේ අත්, වැලමිට ගාවින් නමන්ඩ බෑලූ. මේ නිසාම බෙදාගත්ත කෑම වේල කටට දාගන්ඩ විදිහක් නැතුව එක එකා කේන්තියෙන් පුපුර පුපුර ඉන්නවාලු. කෑම වෙලාව ඉවර වෙන බෙල් එක වැදුනහම බෙදාගත්ත කෑම එක හලලා කේන්තියෙන් යන්ඩ ගියාලූ.

ඔන්න ඊට පස්සේ අර මනුස්සයා ඊලඟට ගියේ දිව්‍යලෝකයට ලූ. ඒ යනකොටත් දවල් කෑම ලෑස්ති කරලා ලූ. අර විදිහෙම කෑම මේසයක්ලු තිබ්බේ. අර විදිහටම මේ අයගෙත් අත් වැලමිට හරියෙන් නමන්ඩ බෑලූ. වෙනසකට තියෙන්නේ අපායේ වගේ නෙමේ මේ අය තමන් බෙදාගත්ත පිගානෙ කෑම අනිත් කෙනාට කවනවලු. ඒ අයත් අනිත් අයට කවනවලූ.

මේ නිසා සියල්ලෝම බඩ පුරවගෙන සතුටින් විසිර ගියාලු.

ඔන්න ඔය කතාව දවසක් පූජාවකදි ෆාදර් කිව්වට පස්සේ කතාව සාවදානව අහගෙන උන්නු පොඩි කොළු පැටව් දෙන්නෙක් මෙහෙම කියනවා.

"අපායේ මිනිස්සු හරි මෝඩයිනේ අයියේ... "

"ඇයි ඒ ??" අයියගේ ඇස්ගෙඩි දෙක නළලෙලු.

"ඉතිං අයියේ කෑම කන්න අත්දෙක ඔන යෑ.. කෑම ටික හොඳට අනලා බල්ලෙක් වගේ පිඟානට කට තියාගෙන කෑවා නං හරිනේ.... !"

"ඕ...වෙලාවකට අපිත් එහෙම කන්නේ. උං මෝඩයෝ ටිකක්... !"

නිස්සද්ද වෙලාවක ඇහිච්ච පුංචි කටහඬවල් දෙකක් නිසා කට්ටිය පොඩි හිනාවකුත්තෙක්ක ඒ දිහෑ හැරිලා බැලුවා. මුන් දෙන්නෑ අම්මට පොලෝ පලාන යන්ඩ තරං ලැජ්ජයි. ඊට පස්සේ කට්ටිය එහාට්ට මෙහාට්ට වෙනකං ඉදලා උන් දෙන්නෑ කන් දෙක වට එකහමාරක් විතර කරකැව්වා.

ඊට පස්සේ දෙන්නා හුම් සද්දයක් නෑ...  ආයේ නං මතක තියෙන කාලෙක කිසිම පූජාවකට පල්ලිය ඇතුලට ගියෙ නං නෑ.. :)

-------------------------------------------------------------
ප.ලි. - වැඩ අඩු දවස් ටිකක් නිසා මේ ටිකේ ටිකක් වැඩිපුර මොනාහරි ලියතෑකි. මේ විවේකය ඊලඟ මාසේ වෙනකොට නං නැතිවේවි.. :(

28 October 2013

මගේ පන්ති කෙරුවාව

ගුරුවරයෙක් තමන්ගේ ගෝලයන්ට උගන්වන්ඩ කොච්චර නම් ආයාසයක් ගන්නවද කියලා තේරෙන්නේ අපි කවුරුහරි ඒ ගුරුවරයෙන් වෙච්චදාට කියලා මං තේරුම් ගත්ත කාලයක් තමා මේ ගත වෙන්නේ. ඒ මගේ සති අන්ත පන්ති දෙක හන්දා.

එක පන්තියක් සෙනසුරාදටයි අනෙක ඉරිදටයි. ඒ දෙකම ගණන් පන්ති !  ( ගණන් තමයි මං ආසම විෂය !)

ඒ පන්ති දෙකට එන්නෙත් මහ එපා කරපු ළමයි සැට් එකක්. උන් වෙලාවකට උගන්නද්දි ශෝක් එකට අහන් ඉන්නවා. තේරුනාද කියලා ඇහුවමත් ඔවු කියලා ඔලුවත් වනනවා. ඊට පස්සේ ගානක් දුන්නහම හදාගන්ඩ බෑ. ඒ ගාන ආයෙම තේරුම් කරන්ඩ ගියහම පන යනවා !

කෝමහරි ගණන් ටිහිකුත් හදෝලා ඊලඟ සතියේ එනකොට කරන් එන්ඩෙයි කියලා ගෙදර වැඩත් දීලා පංතිය ඉවර කලැයි කියමු. ඕං ඊට පස්සේ සතියේ ගෙදර වැඩ අල්ලන්නෙවත් නැතුව එනවා ! ඒ විතරක් යෑ කලින් සතියේ කරපු පාඩම මොකද්ද කියලා මතකත් නෑ.ඒ සතියේ වහපු පොත ආයෙම ඇරලා තියෙන්නේ පංතියට ආපුවහමයි කියලා තේරුනාම එපා වෙනවා.

ඊට පස්සේ මට පුදුම කේන්තියි !

ඒත් කේන්තිය පිටට පෙන්නන්නේ නැතුව ආයෙම ටික වෙලාවක් පරණ පාඩම මතක් කරලා කලිං සතියේ නවත්තපු තැනින් පටං ගන්නවා !

ඉස්සර අපි ඉස්කෝලේදි ටීචර් ඇවිදින් උගන්නද්දි එක එක විහිලු කතා කියෝ කියෝ ඉදලා පහුවෙනිදට ගෙදර වැඩ ටික කරගෙන නාවම ටීචර් ට මල පැනලා පාරවල් දෙක තුනකුත් දීලා පංති වලින් එලියට දාන එක, උගන්නන්ඩ ගන්න ආයාසයත්තෙක්ක බලනකොට එක අතකට සාධාරණයි කියලත් හිතෙනවා.

තවත් වෙලාවකට හිතෙනවා මේ දිට්ඨ ධම්මවේදනීය කර්මද කියලත්.... ! :)

මං නං කියන්නේ ගෙදර වැඩ කරගෙන එන්ඩ බැරි උනත් කමන් නෑ අඩුම තරමේ උත්සහ කරලාවත් එන්ඩෙයි කියලා. ඒත් කොයි... මුන් අහන එකක්යෑ.. !

මගේ කටේ බලයට වැඩ කරනවා මිසක්කා මුන්ට වගේ වගක්කත් නෑ... !

කොච්චර අමාරුවෙන් උනත් කමන් නෑ මුන් ටික කොහොමහරි ඇදගෙන ගිහින් විභාගෙට තල්ලු කරනවයි කියලා හිත හදාගෙන උගන්නනවා. හැබැයි ඉතිං උගන්නන වෙලාවට එපා උනාට උං කරන පිස්සු වැඩ මතක්වෙද්දිත් උගන්නන එකෙත් අමුතු සතුටක් තියෙනවයි කියලත් හිතිලා තියෙනවා... :)

මේ පෝස්ට් එක ලියද්දි මතක් උනේ ගුරු සේවයේ රස කතා කියලා පොතකුත් තියෙනවා කියලා. ඒ පොතේ තිබ්බ එක කතාවක් ලඟදි දවසක බූන්දියෙනුත් කියෙව්වා. මේ තියෙන්නේ ඒ ලිපිය.. !

25 October 2013

ෆෝන් කතා

මහේෂ් නම් සැරිසරන්නාගේ බ්ලොග් එකේ තිබ්බ ෆෝන් ගැන පෝස්ට් එක කියෙව්වට පස්සේ මටත් ෆෝන් ගැන මොන මොනවා හරි ලියන්න ඕන කියලා හිතුනා.

ෆෝන් කිව්වහම අද නානාප්‍රකාර ෆෝන් තියෙනවා. දැන් ෆෝන් පාවිච්චි කරන අයගෙන් ගොඩක් දෙනෙක් ගාව තියෙන්නේ බොත්තම් නැති ෆෝන්.ඒ කිව්වේ ටච් ඉස්කිරිං ෆෝන් !

ඉස්සරෝම ආවේ දිග ඒරියල් එහෙකුත් තියෙන ගඩොලක් ඉතර සයිස් ෆෝන්. ඒවනං සාක්කුවේ දාන්ඩත් බැරි තරම් ලොකුයි.ඒ වගේම ඒරියල් එක අකුලන්ඩත් බෑ. මිලෙනුත් වැඩියි. පාවිච්චි කලෙත් අතලොස්සක් ඉතරයි. කැම්පස් එකේ ඉන්න දවස්වල අපේ රත්නපුරේ යාළුවෙක්  කිව්වා මේ ජාතියේ ෆෝන් ආපුම කාලේ උන්දැලා පැත්තේ මැණික් මුදලාලි කෙනෙක් තමන්ගේ වත්කම පේන්ඩත්තෙක්ක ෆෝන් එකක් ගත්තා කියලා.

ෆෝන් එක විතරක් නං මදෑ. ඒ මැණික් මුදලාලි යන යන තැන ෆෝන් එක ගෙනියන්ඩ වෙනම සේවකයෙකුත් ගත්තාලු. උන්දැට තිබුනේ කෝල් එකක් ආවහම බොත්තමක් ඔබලා ෆෝන් එක මැණික් මුදලාලිගේ කනේ තියන්ඩ ඊට පස්සේ කතා කරලා ඉවර උනහම කෝල් එක කට් කරන්ඩ විතරලු. කොහොමහරි ෆෝන් එකක් නිසා තව මනුස්සයෙක්ට රස්සාවක් ලැබුන එකම මදෑ.  :)

 ඊට පස්සේ සයිස් එකෙං පොඩ්ඩක් ඉතර පොඩි ෆෝන් ආවා. ඒකේ ඒරියල් එක අකුලන්ඩ කරන්ඩ එහෙමත් පුලුවං. ඒ ජාතියේ ෆෝන් නං සාක්කුවේ දාගෙන ගියෑකි.හැබැයි සාක්කුව ටොම්බා සයිස් එකට පිම්බිලා පේනවා.

මුලින් මුලින් ආපු ෆෝන් වල කෝල් ගන්නවා ඇරෙන්න ඒ හැටි දෙයක් නං කරන්ඩ බෑ..නමුත් පස්සේ පස්සේ ආපු ෆෝන් වල එක එක පහසුකම් එකතු කරලා විවිධ මාදිලියේ ෆෝන් ආවා. ඒත් වර්ණ තිර තිබ්බ ෆෝන් නම් තිබ්බේ නැද්ද කොහෙද. කළු තිරයක ෆෝන් තමා ගොඩක් තිබුනේ.

ඒ දවස්වල නොකියා 1100 ෆෝන් දේවත්වයෙන් වගේ සලකපු කාලයක් !!

කාලෙන් කාලෙට අළුත් අළුත් වැඩ කෑලි එකතු වෙලා එක එක ජාතියේ ෆෝන් ආවා. මුලින්ම ඉන්ටර්නෙට් යන්ඩ පුලුවං ෆෝන් අතපත ගාන්ඩ ලැබුනේ මං උසස් පෙළ කරන දවස්වල. ඒ දවස්වල යාළුවෝ ටික එකතු වෙලා ඒ ෆෝන් එක අරං කරපු එකම දේ තමා ඉන්ටර්නෙට් ගිහින් වැල බලපු එක !

ඒ දවස්වල ඉන්ටර්නෙට් සෑහෙන ස්පීඩ්. ඒ නිසා  ඕන කරන දේ ටයිප් කොරලා කට්ටිය වෙන කතාවක් දාගෙන ඉදලා පින්තූරේ ලෝඩ් උන හැටියේ "වරෙං වරෙං පින්තූරේ ලෝඩ් උනා !!" කියලා ෆෝන් එක එක එකාගේ අතින් අත යවනවා. ඔක්කොම බලලා ඉවර උනහම තමා ඊලඟ පින්තූරේ ලෝඩ් වෙන්ඩ දාන්නේ !

සාමාන්‍ය පෙළ වෙනකන්ම නං එක කොල්ලෙක් ගාවවත් ආස්ස්..සාවකට කියලා ෆෝන් කට්ටක් තිබුනේ නෑ... මල් කඩන්ඩත් එකම පිහිට ලියුං කරදහි ! උසස් පෙළ කරපු කාලෙත් අර වැල ෆෝන් එක ඇරෙන්ඩ වෙන ෆෝන් එකක් අපේ පංති වල තිබුනේ නෑ..

ඒ දවස්වල ෆෝන් අරන් දෙන්න පහසුකම් තිබ්බ පවුල් වල කට්ටියත් ළමයි නරක් වෙයි කියලා හිතලා ෆෝන් අරන් දෙන්නේ නෑ... :) හැබැයි ඒකටත්තෙක්ක දැන් හැම ඉස්කෝලේ යන ළමයා ගාවම ෆෝන් එකක් තියෙනවා. ඒවත් නිකන් ෆෝන් නෙමේ ටච් ඉස්කිරිං එවුවා !!

ඉස්සර වගේ නෙමේ දැං නොකියා 1100 වගේ කලු ඉස්කිරිං ෆෝන් පාවිච්චි කරන කට්ටිය අඩුයි..... ඒ තරමටම තාක්ෂණෙන් දියුණු ෆෝන් හැම කෙනා අතේම තියෙනවා !

හැබැයි ඒ ජාතියේ ෆෝන් එකකට ගහන්ඩ වෙන කිසිම ෆෝන් එහෙකට බෑ.....හ්!
අදට මේ ඇති වගේ !!!! :)

23 October 2013

ඩෙංගු සතියේ උදලු ගෑවීම

අද ටිකක් වේලපහ වැඩ ඉවර වෙච්ච දවසක්. හවස තේ එකත් හදාගෙන එනකොට ඉස්කෝලේ කාලේ පොඩි සිද්ධියක් මතක් උනා.

දවසක් ඉස්කෝලේ ඩෙංගු මර්ධන සතියක අපිට ( අපි කිව්වේ 11A පංතියට ) භාර උනා පාර අයිනේ තණකොල සුද්ද කරලා දාන්න. ඉතින් අපි උදලුත් අරන් වැඩෙට යන්න පිටත් උනා. ඒ යන ගමන් අපේ කොල්ලෙක් කිව්වා '' ඔන්න බලපන් මං ජයා සර් ට කියලා මේ ඔක්කොම තණකොල ටික උදලු ගාව ගන්නවා '' කියලා.

ජයා කියන්නේ අපේ ඉස්කෝලෙට අලුතින් ආපු සෞඛ්‍යය සර්. මනුස්සයාට ඔය විශය ගැන කිසිම දැනීමක් නෑ. ඒ සර් ට ගුරු පත්වීම ලැබිලා තියෙන්නේ මොකද්ද මංදා ධාවන තරගයකින් සමස්ත ලංකා ගිය නිසා. ඉස්සර සමස්ත ලංකා  තරඟ වලට ගිය කට්ටියට ගුරු පත්වීම් දෙන සිරිතක් තිබුනා. එහෙම ආපු සර් කෙනෙක් !
ඒ වගේම තමා කලාප තරඟ වලදි සුදුසුකම් තිබ්බ සිංහල ළමයින්ව කපලා එතනට කොහොමහරි හම්බයෙක්ව රිංගව ගත්ත ජාතියේ අලුගුත්තේරු වැඩත් කරපු සර් කෙනෙක් !

 ඔන්න ජයා සර් ගැන හොද නිර්වචනයක් ලැබුනනේ. දැන් කතාවට එමුකෝ.

අපි කිව්වා  "උබ කෝමද එහෙම කරන්නේ ඔට්ටුයි බෑ ?? "  කියලා. මිනිහත් ෆුල් ගට්ස් අරං වැඩේට බැස්සා. වැඩේ කිව්වේ උදලු ගාන එක නෙමෙයි සර්ව කඩේ යවන එක.

දැන් අපේ එකා උදැල්ලක් අරං ඕනෑවට එපාවට බොරලු පොලවට උදැල්ලෙන් ගගහා ඉන්නවා.

සර්රුත් මේක දැක්කා. දැකලා  " පුතා ඔය උදැල්ල පොඩ්ඩක් මෙහාට දෙන්න. ඔහොම නෙමෙයි උදලු ගාන්නේ. මෙන්න මෙහෙමයි. ඔන්න බලා ගන්න. අපි තරුණ කාලේ ඔයිට වඩා කැත්තේ උදැල්ලේ වැඩ කලා. කොල්ලෙක් උනහම ඔයිට වඩා පනෑතුව වැඩ කරන්ඩ ඕන. " කියලා සර් අරූගෙන් උදැල්ල ඉල්ලං උදලු ගානවා.

උදලු ගාන ගමන් "පේනවා නේ ? මෙහෙමයි උදලු ගාන්නේ ?" කියලා පොර ටෝකුත් දෙනවා. සර් ටික වෙලාවක් උදලු ගාලා  අරූගෙන් අහනවා කොල්ලගෙන් අහනවා "පුතා දැන් දන්නවනේ උදලු ගාන හැටි..." කියලා.

මූත් ගත් කටටම කියපි  "අනේ සර් මං දැක්කේ නෑ... " කියලා.

සර් ආයෙත් උදැල්ල අරන්  "ඔන්න එහෙනම් හොදට බලාගන්න.." කියලා උදලු ගානවලු.

දැන් සර් ආයෙත් ඇහුවලු " දැන් දන්නවෑ උදලු ගාන හැටි " කියලා.

මූ ආයෙත්  " දැක්කේ නෑ " කියපි. සර්ට දැන් යස්සයා ආරූඩ වෙලා වගේ ආයෙමත් උදැල්ල ගත්තා.

දැන් හයියෙන් හයියෙන් පොලවට උදැල්ලෙන් ගහන ගමන් '' දැන් දන්නවා නේ උදලු ගාන හැටි '' කියලා ඇහුවා.

අරූ ආයෙමත් "නැහ්ඃ" කියන්න හදනකොටම '' උබට උදලු ගාන හැටි කියලා දෙනකොට මං මේ ඔක්කොම උදලු ගාලා තියෙයි ! හරකා ! '' කියලා උදැල්ලත් කැලේට විසික්කා කරලා ආයෙමත් පංති කාමරයට ගියා. ඊට පස්සේ උදලු ගාන විදිහ කියලා දෙන්න ආවේ නෑ.

17 October 2013

චුයිංගම්

අද මට අන්තර්ජාලයේ කරක් ගහනකොට අපූරු ලිපියක් කියවන්ඩ ලැබුනා. ලිපිය තිබ්බේ චුයිංගම් හොයාගත්ත විදිහ ගැන. චුයිංගමුත් හොයාගෙන තියෙන්නේ පෙන්සිලින් හොයා ගත්තා වගේ පැරෂුට් ක්‍රමේකින්. හොයා ගත්තා කිව්වට නැතිවෙලා තිබිලා නෙමේ. :)

චුයිංගම් එකක් මුල්වරට හදලා තියෙන්නේ තෝමස් ඇඩම් කියන මනුස්සයා. ඒකත් අහම්බෙං..ඒ 1870 අවුරුද්දේ.....  ඒකයි මං කිව්වේ පැරෂුට් ක්‍රමේකින් කියලා. මුන්දෑ වැඩ කරලා තියෙන්නේ සැන්ටා ඇනා කියන සමාගමේ. ඒක රබර් සෙල්ලම් බඩු, රබර් බූට්ස්, මාස්ක් හදන සමාගමක්.

ඇඩම් මහත්තයාට ඒ සමාගමේ බාර වෙලා තිබ්බේ රබර් වෙනුවට පාවිච්චි කරන්ඩ පුලුවං ලාබදායි ආදේශකයක් හොයන්ඩ.මුන්දෑ මැක්සිකානු සැපදිල්ලා යුෂ අරගෙන පරික්ෂණ කලා ලු. ඒත් මේකාගේ අවාසනාවට (හෝ වාසනාවට) ඒ හැම පරික්ෂණයක්ම අසාර්ථක උනාලු.

මුන්දැට කේන්ති ගිය පාර හදපු මිශ්‍රණයෙන් ටිකක් අරගෙන හපන්ඩ ගත්තලු. ටික වෙලාවක් හප හප ඉන්නකොට මේ මනුස්සයා ඒ මිශ්‍රණයට ආස හිතුනලු. ආස හිතුනා විතරක් නෙමේ උන්දෑ ඒකට වැල්මී රස කවලං කරලා චුංයිගම් එකක් හැදුවලු.

ඊට පස්සේ උන්දෑ ඇමරිකා එක්සත් ජනපදයේ හිටිය අංක එකේ චුයිංගම් වෙලෙන්දා බවට පත් උනා. 

පල්ලෙහා පින්තූරේ තියෙන්නේ  ඇඩම් මහත්තයගේ පින්තූරෙයි උන්දෑ ඉස් ඉස්සෙල්ලම හදපු චුයිංගම් එකේ දැන්විමයි. ඉස්සෙල්ලම හදපු චුයිංගම් එකේ නම තමා "බ්ලැක් ජැක් ගම්" !


ඔන්න ඔය ටික තමා ඒ ලිපියේ තිඋනේ...

ඇඩම් මහත්තයා චුයිංගම් හොයා ගත්තා වගේ නෙමේ. අපේ එකාලා චුයිංගම් කාලා ඉන්න තැන අලවලා යනවා. එක්කෝ පාරවල් අයින් වල දාලා යනවා.  ඉස්සර මං ගිය පංතියකත් මේසේ යට පැත්තේ සෑහෙන චුයිංගම් තොගයක් තිබ්බා.   :)

චුයිංගම් කන එවුන් කරන මේ වගේ වැඩ ඇරෙන්න චුයිංගම් වලින් වෙන කිසිම කරදරයක් නෑ මං හිතන්නේ....

15 October 2013

සත පනහේ හුටපටයක්

කොළඹ තියෙන්නේ කාලෙන් කාලෙට වෙනස් වෙන රථ වාහන සැලැස්මක් ! මේ නිසා තියෙන ට්‍රැෆික් වලට අමතරව අළුතෙන් ට්‍රැෆික් ඇති වෙනවා. දැං පංචිකාවත්තේ සංගරාජ වටරවුමේ ඉදලා ටෙක්නිකල් හන්දියට යන පාර වන් වේ කරලා නිසා එතන අළුතෙන් ට්‍රැෆික් එකක් ! හවසට ගෙදර යන්ඩ ගියහම එපා වෙනවා !

අදත් වෙනදා වගේ වැඩ ඇරිලා කම්මැලිකමේ සීට් එකේ නිදිකිරා වැටි වැටි එනකොට ඊට ටිකක් එහායින් කොන්දොස්තරයි බස් එකට නැග්ග වයසක පහේ මනුස්සයෙකුයි බහින්බස් වීමක් ! පොඩ්ඩක් කන හරවලා බැලින්නං මාරු සල්ලි කේස් එකක්.

බස් වල මාරු සල්ලි කේස් නං එමටයි ! අවම බස් ගාස්තුව රුපියල් 9ක් උනාට කවදාවත් මාරු රුපියලක් ඉතුරු ලැබිලා නං නෑ. ඉල්ලුවට දෙන්නෙත් නෑ.දවසක් අපේ කන්තෝරුවේ හිටපු වයසකම උන්දෑ බස් එකේ කොන්දොස්තරගෙන් ඉතුරු රුපියල ඉල්ලලා. කොන්දා ගත් කටටම කියලා මාරු රුපියලට චෙක් එකක් ලියලා දෙන්ඩද කියලා !

පස්සෙං පහු උන්දෑ ලැජ්ජාවටත්තෙක්ක මාරු රුපියල ඉල්ලන්නේ නෑලු.

 මං අද බස් එකේ දැක්ක බහින්බස්වීමත් මාරු සල්ලි හුටපටයක් නිසා ඇති වෙච්ච එකක්. ඒත් වයසක මනුස්සයෙක්. උන්දෑට ඉතුරු රුපියල් 3ක් දෙන්ඩ තියෙනවලු. ඒක බහිද්දි ඉල්ලගන්ඩ කියලා කොන්දා කියලා තියෙනවා. ඒක අහන්නේ නැතුව මේ මනුස්සයත් දෙතුන් විඩක් ඉල්ලලා. බැරිම තැන සත පනහේ කාසි වලිංම ඉතුරු සල්ලි දීලා.

එන්න ඒක බාර ගන්ඩ බැරුව තමා ප්‍රශ්නේ !

මාරු සල්ලි ඉල්ලුවහම සත පනහේ ඒවා වලිං දීලා අපහාසයක් කලාය ටිකට් එකක්වත් දුන්නේ නෑය. කිය කියා ඒ මනුස්සයා කෑ ගහනවා. ඔය සත පනහේ කතාව කිව්වම මට අපේ වාණිජ පංතියේ ඉගෙන ගත්ත පොඩි සිද්ධියක් මතක් උනා.

ඒ තමා,

අපට කවුරුහරි ණයක් දෙන්ඩ තියෙනවයි කියලා හිතමු. ඒ ණය මුදල සතේ, සත දෙකේ , සත දහයේ වගේ නානාප්‍රකාර කාසි වලිං උනත් ගෙවන්ඩ පුලුවං නේ.

නමුත් නීතියේ හැටියට සතය ,සත දෙක ,සත පහ,සත දහය වගේ කාසි වලිං ගෙවන්ඩ පුලුවන් උපරිම ගාන රුපියලයි. ඊට වැඩිය ගෙවීමක් කලොත් ඒක ප්‍රතික්ශේප කිරීමේ අයිතිය අදාල මුදල ලබන්නාට තියෙනවා !!

සත විසි පහ, සත පනහා වගේ කාසි වලිං ගෙවන්ඩ පුලුවං උපරිම ගාන රුපියල් පහයි. ඊට වඩා වැඩි ගානක් ගෙවන්ඩ ගියොත් අර වගේම ප්‍රතික්ෂේප කරන්ඩ පුලුවං !

ඒ වගේම රුපියලේ කාසියේ ඉදලා ඉහලට තියෙන ඕනම කාසියක් නෝට්ටුවකින් ඕනෑම ගානක් ගෙවන්ඩ පුලුවන්... ඒක ප්‍රතික්ශේප කරන්ඩ බෑ !

එහෙම බලාගෙන ගියහම අර මනුස්සයාට සත පනහේ වලින් ගෙවපු රුපියල් තුන අකමැත්තෙං උනත් බාරගන්ඩ වෙනවා.... ඔන්න ඔහොමයි නීතිය !

හැබැයි ඉතිං ඒ නීතිය කොන්දා දන්නෙත් නෑ අර මනුස්සයා දන්නෙත් නෑ... ආමර් වීදියෙන් මං බහිනකන්ම ඒ දෙන්නගේ බහින්බස් වීම තිඋනා.... !!!!

14 October 2013

ආහාරය

අද ටිකක් වැඩ අඩු දවසක්. පොඩි කම්මැලිකමකුත් එක්ක වැඩ කරගෙන යනකොට අපේ එවුං තේ බොන්ඩ යන් කියලා කතාකලා. මාත් මග් එකත් අරං තේ බොන්ඩ ආවා. දන්නවානේ අපේ හැම වාද විවාදයක්ම යන්නේ තේ වෙලාවටයි කියලා. අද අපි කතා උනේ ආහාර ගැන !

කෑම ගැන කතා වෙන්ඩ  මූලික හේතුව උනේ අපේ කන්තෝරුවේ එකෙක්ව ගෙදර බල්ලා දෙවතාවක්ම කාලා. උදේ බේත් දාගන්ඩ ගිහින්. කලින් වතාවේ බල්ලා කාලා මූව ඉස්පිරිතාලෙත් නැවැත්තුවා. මේ වතාවේ එච්චර දරුණු නැති නිසා බේත් දාගෙන ගෙදර ඇවිදින්ලූ.

"මචං ! උබලා දන්නවද සමහර දෙවිවරු ඉන්නවා සතුට ආහාර කරගෙන ජීවත් වෙන. මේ අපි බත් කනවා වාගේ ඒ දෙවිවරු කන්නේ සතුටලූ..."  එකෙක් කතාවට එන්ටර් උනා.

"ඔවු මං බණකට අහලා තියෙනවා. ඇයි සමහර දෙවිවරු ඉන්නේ විඥානය ආහාරය කරගෙන..." තවේකෙක් උත්තර බැන්දා..

"ඔය දෙවිවරුනේ... ! ප්‍රේතයෝ ඉන්නේ අපේ අසූචි සෙම් හොටු එහෙම කන...! ඒ වගේම වමනේ කන ප්‍රේතයොත් ඉන්නේ...! "  මං මේ ටිකේ කියෝන පොතක තිබ්බ කරුණක් මතක්කලා.

වතුර රත් වෙනකං ඔහොම කතාවෙවී ඉන්නකොට අපේ  පරණම සී ඩිවෙලොපර් තේ බොන්ඩ ආවා. උන්දෑ කෙස්ස පැහිච්ච විශ්‍රාම යන්ඩ ලං වෙච්ච කෙනෙක්. උන්දැත් ටික වෙලාවක් රත්වෙන කේතලේ දිහා බලාගෙන ඉදලා අපේ කතාවට එකතු උනා.

"ඇයි මං එක වතාවක් බණකට ඇහුවා.ඕවගේ යකෙක් ගැන ! " උන්දෑ කතාවට ආරම්භයක් ගත්තා. උන්දෑ ආරම්භ කරපු කතාව අහගන්ඩ අපි ඒ දිහෑවට හැරුනා. උන්දෑ ආයෙමත් හඬ අවදි කලා.

"මේ යකා ප්‍රමාණයෙන් කුඩා එකෙක්ලු. ඒ යකා දවසක් දෙවිවරු එක්ක ප්‍රශ්නයක් ඇතිකරගෙන.  දෙවිවරු මේ යකාට බණින්ඩ ගත්තලු. දෙවිවරු බණින බණින සැරයක් ගානේ මූ ලොකු වෙනවාලු. ආයේ ආයේ බනිනවා. ආයේ ආයේ ලොකු වෙනවලු. දැං යකා දෙවියන්ටත් වඩා උස එකෙක්ලූ. දෙවිවරුන්ට මාර ප්‍රශ්ණයලූ මූ මෙච්චර ලොකු වෙන්නේ ඇයි කියලා.

මේක දුක දිවැසින් දැක්ක ශක්‍රයා ඇවිත් මේ යකා දිහෑට හැරිලා 'පින්වත ඔබ ඇයි මේ දෙවිවරුන්ට කරදර කරන්නේ' වගේ කරුණාවෙන් කතා කලා ලු. එතකොට මේ යකා ටිකක් පොඩි උනාලු. ශක්‍රයාත් දිගින් දිගටම හොඳින් කතා කරනකොට මේ යකා එන්ඩ එන්ඩ පොඩි වෙලා අතුරුදහන් උනාලූ.

ඉතිං දෙයියන්ටත් හරි ප්‍රශ්නෙලු එහෙම උනේ ඇයි කියලා. ශක්‍රයා කිව්වලු ඒ යකා ක්‍රෝධය ආහාරය කරගෙන ජීවත් වෙන එකෙක්. උට බනින්ඩ බනින්ඩ ඌ තව තවත් ලොකු වෙන එක විතරයි වෙන්නේ හොඳින් කතා කලොත් තමයි ඌ ප්‍රමාණයෙන් කුඩා වෙන්නේ කියලා පැහැදිලි කලාලු. "

අපිත් උන්දෑ කතාව මීක් නැතුව සාවදානව අහගෙන හිටියා. කතාව ඉවර උනාට පස්සේ තේකත් අරගෙන ආපහු සීට් එකට ආවා.

13 October 2013

අපේ කඩුපුල්

මතක විදිහට දහයේ පංතියේ හරි එකොලහේ පංතියේ ඉන්නැද්දි විද්‍යාවට ඉගැන්නුවා අක්ක පාන වගේ පත්‍ර මගින් බෝවෙන පැලෑටි ගැන. ඒ අතරේ සර් කඩුපුල් මල් ගැනත් කිව්වා. කඩුපුල් බෝ වෙන්නෙත් පත්‍ර මගින්ය කියලත් කිව්වා.

 ඔහොම උගන්න උගන්න ඉන්නැද්දි සර්ගේ කට වැරදීමකින් කියවුනා ඉස්කෝලෙත් කඩුපුල් පැලයක් තියෙනවයි කියලා. මං ඊට පස්සේ ඉන්ටර්වල් එකේදි අපේ මල් පෝච්චි එකින් එක බැලුවා කොයි පෝච්චියේද කඩුපුල් පැලෑ තියෙන්නේ කියලා. ඔහොම බලාගෙන යනකොට කඩුපුල් පැලේ තියෙන පෝච්චිය හම්බ උනා.

මං දෙන්නං වැඩේ කියලා ඉස්කෝලේ ඇරෙන වෙලාවක් අල්ලගෙන ඕකෙන් කොළයක් කඩාගෙන ගියා. ගිහින් ගෙදර පැල කලා. මල් පැල හිටවනවා නං ඉල්ලගෙන ගිහින් හිටවනවට වඩා හොරෙන් උගුල්ලගෙන ගිහිං හිටෙව්වොත් හොඳට පැලවෙනවා. ඒක මං අත්දැකීමෙන් දන්න දෙයක් !

ඔහොම කඩාගෙන ආපු කඩුපුල් කොළය ගෙදර තිබ්බ පෝච්චියක පැල කලා. හොඳට පැලවෙලා ටික දවසකින් අළුත් දල්ලකුත් ආවා. හොඳටම පැල උනාට පස්සේ මං පොල් ලෙල්ලක හිටවලා තාප්පේ එල්ලුවා. මං හිතන විදිහට රෑ මනමාලි කියන්නෙත් කඩුපුල් මල් වලටම වෙන්ඩ ඕන !

කඩුපුල් කියන්නේ දිව්‍යලෝකයේ ඉදලා ආපු දිව්‍යාංගනාවකගේ අතින් වැටිලා පැලවෙච්ච පැලෑටියක් කියනවානෙ. ඒ කතාව හරියටම මං දන්නේ නෑ. හොයලා බලන්ඩ ඕන :)

කොහොමින් කොහොමහරි  මං හිටවපු කඩුපුල් වල මල් හිටන් ආවා. දැං බලයි ඉස්කෝලේ යන කාලේ හිටවපු ඒවෑ මල් ආවේ දැන් ද කියලා. නෑ... ඒ කාලෙම මල් ආවා.ඒ කාලේ ෆොටෝ ගහන්ඩ කැමරාවකුයි ලියලා දාන්ඩ බ්ලොග් එකකුයි තිඋනේ නෑ.


                                                            පිපුන කඩුපුල් මල


                                                                                         තව මලකුත් පිපෙන්ඩ තියෙනවා


මල් පොහොට්ටු එක දෙක එනකොට මෙදාපර කොහොමහරි මලක ෆොටෝ කෑල්ලක් ගන්නවමයි කියලා හිතාගෙන හිටියත් වැඩ ඇරිලා ගෙදර ආවට පස්සේ අමතක උනා. උදේ වැඩට යනකොට තමා කලින් දා රෑ පිපිච්ච කඩුපුල් මල දැක්කේ. ඉතින් දැක්ක හැටියෙම පින්තූර ගත්තා. ඔය ඉහලින් තියෙන්නේ ඒ මල් !


මීට කලින් මං දුටු සතුටු මල් ගැනත් කිව්වා මතකනේ !

දැං බලයි මොකට කඩුපුල් මල් ගැන ලිව්වද කියලා. මම හිටෝපු මල් පැලේ මලක් ආවම සතුටු මට නේ !

දිනමිණ පත්තරෙත් කඩුපුල් මල් ගැන  ලිපියක් තියෙනවා දැක්කා. මේ තියෙන්නේ ඒ ලිපිය.

11 October 2013

අපොයි පොතට ගිය සල්ලි

මං බ්ලොග් ලියන්ඩ කම්මැලි වෙලා හිටපු මාස අටක විතර කාලේ පුරාම කම්මැලිකම යවා ගන්ඩ කරපු දේවල් වලින් පලවෙනි තැන තිඋනේ පොත් කියවීම. ඒ කාලේ සෑහෙන නවකතා කෙටි කතා ගොඩක් කියෙව්වා. කොටින්ම ස්වර්ණ පුස්තක සම්මානයට නිර්දේශ වෙච්ච පොත් වලින් සෑහෙන ගොඩක් ඒ වෙනකොට කියවලා තිඋනා.

ඔන්න ඔය පුරුද්දටම මෙදාපාර කොළඹ පොත් ප්‍රදර්ශනෙන් පොත් ටිකකුත් ගත්තා.ඒ පොත් අතරේ මෙදාපාර ස්වර්ණ පුස්තක සම්මානය හිමි වෙච්ච පොතත් තිබුනා. මම පොත් තෝරන්නේ ඇඳුං තෝරන ක්‍රමේට, කෝච්චර කවුරුත් ලස්සනයි කිව්වත් මට ගැලපෙන්නේ නැත්තං මම ගන්නේ නෑ. හැබැයි ඇඳුං ගන්නවා වගේ නෙමේ පොත් ගද්දි අනිත් අයගේ අදහසුත් හොයලා බලනවා. ඒත් මේ පොත ගද්දි අදහස් විමසීමටත් වඩා අපේ අම්මෑ ඉල්ලීම නිසා ගත්තා කිව්වොත් හරි !

ගෙනාපු පොත් එකතුවෙන් හත අටක් කියවලා ඉවර කලාට පස්සේ සම්මාන ගහපු කාල සර්ප (ලේඛක - කීර්ති වැලිසරගේ) පොත අතට ගත්තා. ටිකක් ඉතර හයේ හතරේ පොතක්. පොතේ ගානත් ඒ වගේමයි !

කතාවේ පටන් ගැන්මයි මුල ටිකයි ටිකක් ඉතර හොඳයි.. ඊට පස්සේ කතාව මැද්දෙන් පිටු සීයක විතර ලොකු පරිච්ඡේදයක් තියෙනවා කතාවට ලොකු අදාලත්වයක් නැති. හිතන්ඩකෝ නාට්ටිය මැද්දෙන් ඇඩ් එකක් යනවා කියලා.අන්න ඒ වගේ පරිච්ඡේදයක්. ඊට පස්සේ තුන්වෙනි පරිච්ඡේදය ආයෙම මුල පරිච්ඡේදයත් එක්ක පූට්ටු වෙනවා.

කොහොමින් කොහොමහරි කතාව ඉවර වෙනකොට ටිපිටිප් කෑවා වගේ ! ගත්තු දේකුත් නෑ !කියෝපු දේකුත් නෑ ! මං නං කියන්නේ මේ පොත කියවනවනං කාගෙං හරි ඉල්ලගෙන කියවන්ඩ... එහෙම කියවලා හොඳයි කියලා හිතුනොත් විතරක් ගන්ඩ !

මේක නවකතා පොතක් කිව්වට කෙටි කතා පොතක් වගේ. කොහොම සම්මාන දුන්නද මන්දා. මේ සම්මානයට නිර්දේශ වෙච්ච පොත් වලින් මං ආසම පොත තමා මහින්ද ප්‍රසාද් මස්ඉඹුල ලියපු සෙංකොට්ටං නවකතාව. ඒ පොත නම් මරු !

එක හුස්මටම කියෝගෙන යන්න ආස හිතෙන පොතක්. මං හිතුවෙම සෙංකොට්ටං වලට සම්මානය හම්බුවේවිය කියලා. අපි හිතන එවුවම හරියනවා නං කොහෙද ඉතිං !

සෙංකොට්ටං පොත ගති ! ඒ හැටි ලොකු පොතකුත් නෙමේ. ! ආසාවෙන් කියවතෑකි !

මේ ලඟදි අපේ වැඩපොලේ අයියා කෙනෙක් ඊ බුක් අඩවියක් සම්පූර්ණයෙන්ම බාගත කලා. සෑහෙන ගොඩක් තිබ්බේ මල් නවකතා.  ඒ අතරේ සෙංකොට්ටං පොතත් තිබුනා. ඔන්න සෙන්කොට්ටං පොත කියවන්ඩ කැමති කෙනෙක් ඉන්නවනං මෙතනින් බා ගන්ඩලා !

සෙංකොට්ටං වලට අමතරව කියවන්ඩ හොඳයි කියලා හිතුන පොතකට තිබ්බේ ගුරු ගීතයයි හත්පණයි විතරයි. අනිත් සේරම මල් නවකතා ! හත්පණ ආයෙම කියවන්ඩ ඕන කෙනෙක් ඉන්නවනං මෙතනින් බාගත කරගන්ඩ !

---------------------------------------------------------------------
ප.ලි. - පොත් දෙකේම ලින්ක් අයින් කළා !

09 October 2013

පෑන කෝ ?

සමහර මිනිස්සු තමන්ගේ උවමනාවට ඉල්ලගෙන යන කිසිම දෙයක් වෙලාවට ගෙනත් දෙන්නේ නෑ. ඉල්ලගෙන යනකොට නම් කියන්නේ වැඩේ ඉවර වෙච්ච හැටියෙම ගෙනත් දෙන්නං කියලා. ඒත් සතියක් හමාරක් එක්කෝ මාසයක් විතර යනකන් තියාගෙන ඉන්නවා.

මමම ගිහින් හොයාගෙන එන්න ඕන. එහෙම හොයාගෙන ගියත් අරයා ඉල්ලං ගියා මෙයා ඉල්ලං ගියා කියලා තව කා ලඟට හරි ගිහින් අහන්ඩ ඕන. අන්තිමේදි ඉල්ලගෙන යන්නේ වෙන කෙනෙක් ! ඉල්ලගත්තු දේ තියෙන්නේ වෙන කාලඟවත් !

මම මේ කතා කලේ පහුගිය ටිකේ මගේ ෆෝන් එකේ හෙඩ් සෙට් එක  එකෙක් ඉල්ලගෙන ගිහින් මාසයක් විතර ලඟ තියාගෙන උන්නා. ඉල්ලගෙන යනකොට නං කිව්වේ සිංදුවක් තියෙනවා ඒක අහලා දෙන්නං කියලා.

ඒ ඉල්ලගෙන යන දේවල් නේ. සමහරු අනුන්ගේ මේස උඩ තියෙන දේවල් තමන්ගේ වගේ අරගෙන ගිහින් තියාගෙන ඉන්නවා. මොකෙක්හරි එකෙක් මම ගේන ගේන පෑන උස්සනවා. එක පාරක් උස්සලා කියලා දැනගත්තහම මම තව පෑනක් ගෙනත් කොල කෑල්ලක නම ලියලා පෑන ඇතුලට දාලා තිබ්බා. ඕං ඒකත් උස්සලා !

ආයේ වතාවකුත්  පෑනක් ගෙනත් නම ගහලා තිබ්බා. ඒකත් ගල් කරලා !

ඔහොම පිට පිට තුන්වතාවක් පෑන් නැති උනාට පස්සේ  මම ආයෙම පෑනක් ගෙනත් ඒකේ නම වෙනුවට "පෑන ගෙනිච්චොත් ගෙනත් තියපං" කියලා කොල කෑල්ලක ලියලා ඒක පෑනේ ඇතුලට දැම්මා.

කියන්ඩ කණගාටුයි ! ඒ පෑනත් උස්සලා !

උස්සලා විතරක් නෙමේ පෑන ඇතුලේ තිබ්බ කොළ කෑල්ල මේසේ උඩ තිබ්බා. ඒකේ මම ලියපු එක යටින් මොකෙක් හරි එකෙක් "හා මචං !" කියලා ලියලා.

ඊට පස්සේ මං හිතා ගත්තා මින් මනත මං පෑන් ගේන්නේ නං නෑ කියලා. පෑන් ගෙනත් පිරිමහන්ඩ බෑ !

07 October 2013

ශිෂ්‍යත්වය

ශිෂ්‍යත්වය, ළමයින්ට වඩා අම්මලාගේ තරඟ විභාගයක් කියලා කිව්වොත් සාධාරණයි. මොකද ඒ තරමටම මහන්සි වෙන්නේ දෙමව්පියෝ හන්දා.ළමයි බෑ කියලා කියද්දි ඇදගෙන ගිහින් ශිෂ්‍යත්ව පංති වලට ගිහින් අතාරිනවා. ඉතින් එදා ඉදන් ප්‍රශ්න පත්තර කිරීම්, යුගල පද තනි පද සමාන පද විරුද්ධ පද කටපාඩම් කිරීම් වලින් වලින් ඉවරයක් නෑ.

ඔය සේරම පාඩම් කරවලා ප්‍රශ්න පත්තරත් ලියවලා විභගයට යැවුවයි කියමුකෝ. එදා ඉදන්  බලන් ඉන්නේ කොයි මොහොතෙද ප්‍රථිපල එන්නේ කියලා.

ප්‍රතිපල ආපු දවසට සෑහෙන උනන්දුවක් තියෙන්නේ තමන්ගේ ළමයා පාස් උනාද කියලා දැනගන්න. ළමයා පාස් වෙලා නං දෙමව්පියන්ට ඊට වඩා සතුටක් නෑ. ඉල්ලපු තෑගි බෝග අරන් දෙනවා ! ට්‍රිප් එක්කං යනවා ! පාර්ටි දානවා ! නානාප්‍රකාර වැඩ කෝටියයි !

හැබැයි ලකුණක් දෙකක් හරි අඩුවෙලා ෆේල් උනා නං ළමයා ගෙදර ඉදලත් හමාරයි !

ලඟදි දවසක ප්‍රවෘත්ති වලටත් කිව්වා ශිෂ්‍යත්ව විභාගේ ෆේල් උනා කියලා ගෑල්ලමයෙක්ව ගෙදරින් පිටමං කලායි කියලා. හොඳම වැඩේ තමා ඒ ළමයගේ දෙමව්පියෝමයි ළමයට යන්න කියලා ඇදුං ටික ලෑස්ති කරලා දීලා තියෙන්නේ.

මේ අම්මට විලිරුදාව නැතුව වෙන්ඩෑ ඒ ළමයව හම්බ වෙලා තියෙන්නේ. ඇරත් ගෑනු ළමයෙක්ව මේ විදිහට ගෙවල් වලින් පිටමං කරනවා යෑ ! ළමයගේ වෙලාවට ඒ ළමයා තමන්ගේ ඉස්කෝලේ යාළුවෙක්ගේ ගෙදරට ගිහින් තියෙන්නේ.

ඒ වගේම තව ළමයෙක් ෆේල් උනැයි කියලා උන්දෑ තාත්තා  යකඩයක් රත් කරලා මේ ළමයව හොඳටෝම පුච්චලා. තාත්තව රිමාන්ඩ් කලත් එක්ක !

දෙමව්පියෝ උනහම  තේරුං ගන්න ඕන විභාගයක් කියන්නේ ජීවිතයම නෙමේ කියලා. අනික ශිෂ්‍යත්ව විභාගය කියන්නේ එච්චර වටින කියන විභාගයක් නෙමේ කියලත් උන්දැලා තේරුං ගන්ඩ ඕනා. ශිෂ්‍යත්වය ෆේල් උනා කියන්නේ එතනින් එහාට්ට ළමයගේ මුළු අධ්‍යාපනයම කඩා කප්පල් උනා කියන එක නෙමේ කියලත් තේරුං ගන්ඩ ඕන.

විභාග පැත්තකින් තියමු.කොයි දේ උනත් තමන්ගේ ළමයට තමන්ගේ දෙමව්පියන් ඇර වෙන සරණක් නෑ කියලා තේරුම් ගන්ඩ ඕන. ඒවා තේරුං නොගන්න තාක්කල් මේ වගේ දේවල් අහන්න දකින්න ලැබෙන එක අඩුවෙන එකක් නෑ.....

හැබැයි ඉතිං අපරාදේ කියන්ඩ බෑ. අපේ අම්මට නං මායි අපේ මලයයි ෆේල් උනා කියලා කිසි ගානක්වත් නෑ. අපේ අප්පොච්චට අපි කියනකන් දන්නේ නෑ ප්‍රථිපල ආවයි කියලවත්. මොකද ඒයැයිට ඒ හැටි තේරුමක් නෑ. උදේ හිට මහන්සිවෙවී කන්න අදින්න දුන්නා මිසක් ඔය ගැන වැඩිය හාර අවුස්සලා බලන්ඩ ගියේ නෑ. ඒ සේරම අම්මට බාර දීලා තිඋනේ.

අම්මගේ උත්සහය නිසා තමා මේ හැටිවත් යහතින් ඉන්නේ !

බලාගෙන ගියහම ශිෂ්‍යත්වයත් හිතපු තරං ලේසි පාසු තරඟයක් නෙමේ.... !

05 October 2013

කුණ්ඩසාලේ

"ඔන්න මෙහෙමයි පුතේ... ඒ දවස්වල ඉන්දියාවේ බ්‍රාහ්මණයෙක් ජෝතීර්ෂ වැඩක් කර කර ඉන්නකොට ශනී ගුරු කියන ග්‍රහ දෙයියෝ අතර යුද්ධයක් ඇති වෙනවයි කියලා හොයා ගත්තාලූ.ඒ යුද්දෙදි ශනීගේ කුණ්ඩලාභරණයකින් කෑල්ලක් කැඩිලා පොලවට වැටෙන බවත් දැනගත්තලු.

ඉතින් මේ  බමුණා හිතුවලු කොහොමහරි මේ කුණ්ඩලාභරණය හොයා ගන්නවමයි කියලා. එහෙම හිතපු මේ බමුණා නැවු නැගලා ලංකාවට එනවලූ. ඇවිදින් මහනුවර කිට්ටුව ගුරුදෙනිය ගමේ පන්සලේ නවාතැන් ගත්තලු."

"ඉතින් අම්මේ මොකෝ ගුරුදෙනියෙම නැවතුනේ ?"

 "ඔය බමුණා ගණනය කිරීම් කරලා බලපුවාම ඒ කුණ්ඩලාභරණය වැටෙන්නේ ගුරුදෙණිය කිට්ටුව පැත්තකට කියලා හොයාගත්තා ලු. ඒ නිසයි ගුරුදෙනිය කිට්ටුව පන්සලේ නැවතුනේ !

ඉතින් මේ බමුණා රෑ දවල් මහන්සිවෙලා ගණනය කිරීම් කරනවලු හරියටම කොහේටද මේ කුණ්ඩලාභරණය වැටෙන්නේ කියලා හොයන්ඩ. මෙහෙම දවස පුරාම ගණන් හදන බමුණාව දැක්ක පන්සලේ හාමුදුරුවෝ මේ මනුස්සයාගෙන් අහනවලු මොනවද ඔය තරම් ගණන් හදලා හොයන්නේ කියලා.

මේ බමුණත් හාමුදුරුවන්ට සම්පූර්ණ විස්තරේ කිව්වාලු. නමුත් මේ බමුණා දන්නේ නෑලු හාමුදුරුවොත් දක්ශ නක්ෂත්‍රකාරයෙක් කියලා. බමුණා හාමුදුරුවන්ට විස්තරේ කිව්වට පස්සේ හාමුදුරුවොත් බමුණට හොරෙන් හිටු කියලා ගණන් හදනවලු."

"හාමුදුරුවෝ ගනන් හදන්නේ මොහොකටද ?"

"හාමුදුරුවෝ ගනන් හදන්නේ  අර කිව්ව කුණ්ඩලාභරණය වැටිලා එතනම හිටිනවද එහෙම නැත්තං කොහාට්ට හරි විසික්කා වෙනවද කියලා හොයන්ඩ ! හාමුදුරුවෝ ඔහොම ගණන් හදාගෙන යනකොට තේරුනාලු කුණ්ඩලාභරණය ගල් තලාවේ වැදිලා ගඟෙන් එහා පැත්තට විසික්කා වෙනවයි කියලා.

ඔන්න ග්‍රහ යුද්දේ තිබ්බ දවස ආවයි කියමුකෝ. එදා කුණ්ඩලාභරණය වැටෙනකන් බමුණා ගල් තලාවේ කූඩරම් ගහගෙන හිටියලූ. නමුත් බමුණා දන්නේ නෑ ගඟෙන් එහාපැත්තේ හාමුදුරුවෝ කූඩාරම් ගහගෙන ඉන්නවයි කියලා !

දෙන්නගෙම ගණනය කිරීම් වලට අනුව කුණ්ඩලාභරණය ගුරුදෙනිය කන්දට වැටුනලු. ඒ වැටිච්ච හැටියෙම ගලේ හැප්පිලා ගඟෙන් එහා පැත්තට විසික්කා උනාලු. මේ බමුණා කුණ්ඩලාභරණය වැටිලා විසික්කා වෙච්ච තැන හොයාගෙන ගඟෙනුත් එගොඩහට යනකොට දැක්කලු එතනත් කූඩාරමක් ගහගෙන කෙනෙක් ඉදලා තියෙනවයි කියලා.තමන් කුණ්ඩලාභරණය වැටිච්ච තැන හොයාගත්තට වැටිලා විසික්කා වෙන තැන හොයාගන්න බැරි වෙච්ච ලැජ්ජාවටයි තමන්ගේ උත්සහය වතුරේ ගිය දුකටයි මුන්දෑ ගඟට පැනලා දිවි නහ ගත්තලු.

හාමුදුරුවෝ කුණ්ඩලාභරණයත් අරගෙන ගියාලු."

"ඊට පස්සේ ඒ කුණ්ඩලාභරණයට මොකද උනේ අම්මේ ?"

"හාමුදුරුවෝ ඒ කුණ්ඩලාභරණය රජතුමාට භාර දුන්නාලු. රජතුමා ඒ කුණ්ඩලාභරණයේ රත්තරන් ටික උනු කරලා දලදා වහන්සේ තැන්පත් කරන්න නෙළුම් පෙත්තක් හැදුවලු. තාමත් ඒ නෙළුම් පෙත්ත උඩලු දලදා වහන්සේ තැන්පත් කරලා තියෙන්නේ !

එදා ඒ කුණ්ඩලාභරණය වැටිච්ච තැන පස්සේ කාලෙක කුණ්ඩසාලේ උනාලු !"

--------------------------------------------------------------
ප.ලි. - පොඩි කාලේ අම්මා කියා දුන් කතාවක් පොතක තිබිලා ආයෙම කියවන්න ලැබුනා. එදා අම්මා කියපු කතාවේ තිබ්බ අඩුපාඩු ටික පොතෙන් සම්පූර්ණ උනා. අපේ අම්මා කතාව කියලා දීපු ඉට්ටැයිල් එකටම ලියලා දැම්මා. ඒ දවස්වල නං මං අහපු ප්‍රශ්න මීට වඩා වෙනස්. ඒ වගේම සෑහෙන ප්‍රශ්න ගොඩක් ඇහුවා !

 අම්මගේ කතාවේ නම් ඔය බමුණගේ නම බරණ ගණිතයා කියලා තමයි කිව්වේ !!!! නමුත් පොතේ නම් ඒ බමුණගේ නම තිවුන් නෑ !

ප.ප.ලි. -  මම කියවපු පොතේ නම තමා ඩී.පී. වික්‍රමසිංහ මහත්මයා ලියපු මඟ දිගට ජන කතා පොත. මේ පොතේ මේ වගේ එකිනෙකට වෙනස් ජනකතා 50ක් තියෙනවා. පුලුවන් කමක් තිබ්බොත් හොයාගෙන කියවන්න. මොකද මම ඒ පොතේ තියෙන ඔක්කොම කතා පෝස්ට් කරන්න යන්නේ නෑ :)




මේ පොත සූරිය ප්‍රකාශනයක් !  ශා... මරු ! අගේ ඇති පොතක් !

04 October 2013

මෙගා නම් අජූතයි

ඒ දවස්වල ප්‍රාසාංගික නාට්ටි කළාවක් වගේම ඒකාංගික නාට්ටි කළාවකුත් තිබ්බා. කාලයක් යනකොට ඒකාංගික නාට්ටි වලට සුවිප් එක ඇදිලා ප්‍රසාංගික නාට්ටි විතරක් ඉතුරු උනා. දැනුත් ඉදලා හිටලා ඒකාංගික නාට්ටියක් දෙකක් පෝයට දවසට යනවා. ඒ ඇරෙන්න මං දන්න තරමින් ඒකාංගික නාට්ටි නෑ.

ප්‍රසාංගික නාට්ටි ටික කාලයක් යනකොට මෙගා බවට පත්වෙලා. මට මතක විදිහට කෝපි කඩේ, දූ දරුවෝ, නෑදෑයෝ වගේ නාට්ටි ඇරුනහම මෙගා රැල්ලක් ආවේ ඉන්දියානු නාට්ටි වලින්.ඉන්දියන් නාට්ටි ගෙඩි පිටින් මෙහෙ ගෙනත් හඬ කවලා පෙන්වන්න ගත්තා. ඒකත් ටික කාලයක් කලැයි කියමුකෝ.

ඊටත් පස්සේ දේශිය කලාකරුවන් නගා හිටුවන්න කියලා පිටරටින් එන නාට්ටි, චිත්‍රපටි වලට බද්දක් ගහන්න ගත්තා. ඒ බද්ද නිසා රජයට අමතර ආදායමකුයි මහජනතාවට රජයට විරුද්ධව කතා කරන්න මාතෘකාවක් ලැබුනා. මේ බද්දෙන් දේශිය කලා නිර්මාණ වලට අත්වෙච්ච සෙතක් තියෙනවද කියලා නම් දන්නේ නෑ.

දැන් නම් මෙගා නාට්ටි ඇරෙන්න වෙන නාට්ටි සෑහෙන අඩුයි. බලන බලන හැම නාලිකාවෙම තියෙන්නේ මෙගා නාට්ටි ඒ විතරක් යෑ බලන බලන හැම නාට්ටියේම ඉන්නේ නෙහාරයි මේනකයි ! මට නම් මුන් දෙන්නගේ රංගනය දැක්කහම බඩ පෙරලි කරගෙන ඔක්කාරෙට වගේ එනවා. රංගනය අජූතයි !

මුන් දෙන්නා වගේම ඔහේ දෙබස් කියවන නළු නිළියෝ වැහි වැහැලා. ඒත් වගේමයි හැම නාට්ටියකම තියෙන්නේ එකම වගේ කතා තේමාවක්. මිනිස්සු කොහොම මේ නාට්ටි බලනවද මන්දා. නාට්ටියක් මෙගා උනාට කමන් නෑ, ඒක බලන මිනිස්සුන්ට අපුලක් නැතුව බලන්න පුලුවන් විදිහේ ගුණාත්මක නාට්ටියක් බිහි වෙනවා නම්.

ඒත් ඉතින් හතු පිපෙන්නා වාගේ බිහිවෙන නාට්ටි වලින් ගුණාත්මක බාවයක් පතන එක අතකට මෝඩකමක් ! ඒකෙන් මේකෙන් වෙන්නේ ප්‍රේක්ෂකයගේ රසවින්දන අවර ගණයේ නිර්මාණයකට කොටු වෙන එක.

අපොයි...මෙහෙමත් නාට්ටි කෙරුවාවක් !

03 October 2013

එක එකාගේ බලාපොරොත්තු

නීතීඥයෙකුගේ බලාපොරොත්තුව ඔබ කරදරයකට පත්වී සිටිනු දැකීමයි.
වෛද්‍යවරයෙකුගේ බලාපොරොත්තුව ඔබ රෝගී වී සිටිනු දැකීමයි.
පොලිසිය බලාපොරොත්තු වන්නේ ඔබ අපරාධකරුවෙකු වී සිටිනු දැකීමයි.
ගුරුවරයෙකුගේ බලාපොරොත්තුව ඔබ මෝඩයෙකුව ඉපිද සිටිනු දැකීමයි.
මල්ශාලා අයිතිකරුවකු බලාපොරොත්තු වන්නේ ඔබ මියගොස් සිටිනු දැකීමයි

තවද,

ඔබ සැපවත් ජීවිතයක් ගත කිරීම බලාපොරොත්තු වන්නේ හොරෙකු පමණි !!!




ප.ලි. - ඊ මේල් එකකින් ලැබුනු අදහසක්. ලද විවේකයෙන් සිංහලට පරිවර්තනය කලා. :)

අපේ තේ වෙලාව

කොම්පීතරයත් එක්ක හරි හරියට ඔට්ටුවෙවී වැඩ කරන මට තේ වෙලාව කියන්නේ සෑහෙන වටින කාලයක් ! වැඩ කරන පැය අටට වඩා තේ වෙලාවට ලැබෙන පැය කාල මට සෑහෙන සතුට ගේන කාලයක්. සමහර දවස්වලට කොයි වෙලේද තේ වෙලාව එන්නේ කියලා බලාගෙන ඉදපු දවසුත් නැතුවම නෙමේ. තේ වෙලාව කියන්නේ හරියට දෙයියන්ගේ අපට ලැබිච්ච තෑග්ගක් වගේ.

මගේ ජීවිතයේ මතක හිටිනම තේ වෙලාව ලැබුනේ මම මුලින්ම වැඩ කරපු ආයතනයේදී. ඒ ආයතනය ගාලු පාර අයිනේ තිබ්බ තැනක්. ඒ ගොඩනැගිල්ලේ උඩටම නැග්ගහම ලස්සනට මුහුද පේනවා. මාත් එක්ක අපේ තුන් හතර දෙනෙක් තේ එක හදාගෙන බිල්ඩිමේ උඩම තට්ටුවට යනවා.උඩ කිව්වේ උඩම තට්ටුව. ඒ කියන්නේ කොංක්‍රීට් ස්ලැබ් එක උඩට !

මූදු හුළං වැදි වැදි ක්‍රොංක්‍රීට් එක උඩ වාඩිවෙලා කතාවකුත් දාගෙන තේ බීපු කාලයක් ඒක ! ඒ නිසාමයි මට ඒ කාලේ හොඳටම මතක ! ඒ දවස්වල තේ එක බීලා ඉවර කරන්න අඩුම තරමේ පෑ බාගයක් යනවා. ඒ වගේ ලස්සන කාලයක් නං ආයේ එන එකක් නෑ මහිතේ.

ඒ තරම්ම නැති උනත් දැන් වැඩ කරන තැන තේ වෙලාවටත් නියමයි. මොකද අපි ඒ වෙලාවට තමා තමන්ට තියෙන ප්‍රශ්න, ආගමික ගැටලු, මතවාද එලියට එන්නේ. ඒ වගේම තමා වත්මන් රජයට විරුද්ධව කැරලි ගහන්නෙත් මේ තේ වෙලාවටයි !

කොච්චර කිරි තේ හදලා තිබ්බත් උනු වතුර පිල්ටරයෙන් ගත්ත වතුර ටිහිකට  තේ කහට බෑග් එක දාලා සීනි හැදි දෙහෙකුත් හලාගෙන බොන තේ එක තරං කිරි තේ මට අල්ලන්නේ නෑ. කහට කෝප්පයත් එක්ක කාගේ හරි උනුසුම් මාතෘකාවකට වාදයකුත් එකතු උනහම ආයේ කියලා වැඩක් නෑ.

සමහරදාට අපේ කතාව මුලින්ම පටන් ගන්නේ බණ්ඩාරනායක මහත්තයා ලංගමය ජනසතු කිරීම ගැන. ඊට පස්සේ කාලයත් එක්කම ලංගමය කඩා වැටිලා පුද්ගලික බස් සේවය ඉස්මතු වීමට ඇවිත් පස්සේ පුද්ගලික බස් නවත්තලා ඒ වෙනුවට ලංගමය නගා සිටුවන්න වැඩ පිලිවෙලක් ගැන කතා වෙනවා.

ලංගමය ගොඩ ගන්නම බෑ බෑ වගේ කියලා හිතුනම  වත්මන් ආණ්ඩුව බලයෙන් පහ කරන්න කතා වෙනවා. ඒකත් බැරිඋනොත් යන තැනකට කරගන්න කියලා  පිං පවු ගැන කතා වෙනවා. ඔය අතර තේ එකත් අතේ තියාගෙනම ධාතූන් වහන්සේලා වැඳපුදා ගත්තු දවසුත් නැතුවම නෙමේ.

ඔය වගේ මේ ලඟදි දවසක අපි කතා කලා 2038 අවුරුද්දෙදි අපිට මුනපාන්න සිද්ධ වෙන ප්‍රශ්නයක් ගැන. ඒක 2038 අවුරුද්දේ ජනවාරි 19 වෙනිදාට අපිට මූනපාන්න සිද්ධ වෙන ප්‍රශ්නයක් ! ඒ වෙනකොට මම විශ්‍රාම ගන්නත් කිට්ටු කාලේ ! ඒ උනත් ඒක අපට මූන පාන්න වෙන ප්‍රශ්නයක් නිසා ඉදිරියේදි ගන්න ඕන පියවරවල් ගැන කතා වෙනවා.

 කෙටියෙන්ම ප්‍රශ්නය මොකද්ද කියලා කිව්වොත් හරියටම 2038 අවුරුද්දේ ජනවාරි මාසේ 19 වෙනිදාට සමහර මෘදුකාංග ෆේල් වෙනවලූ. ඒකට මූලික හේතුව වෙන්නේ එදාට කොම්පීතරේ වෙලාව තියාගන්න වෙන් වෙලා තියෙන සම්පූර්ණ ඉඩ ප්‍රමාණය ඉවර වෙනවලූ.

ඉඩ ඉවර වෙලා ඊලඟ තත්පරේදි ඔරලෝසුව ආයේ අළුතෙන්ම පටන් ගන්නවා ලූ. ඒ නිසා දිනය පටන් ගන්නේ 1900 අවුරුද්දේ ඉදලාලූ. එතකොට 2038 ජනවාරි 20 වෙනුවට එන්නේ 1900 අවුරුද්දේ දිනයක් ලූ. ඔන්න ඕකයි ප්‍රශ්නේ !

කොච්චර බැරෑරුම් ප්‍රශ්නයක්ද නෙහ්... !

01 October 2013

ලෝක ළමා දිනය අදයි

අද ඔක්තෝම්බර් පළවෙනිදා ! වෙන විදිහකින් කියනවා නම් ලෝක ළමා හා වැඩිහිටි දිනය අදයි !

මට නම් අද දවසත් වෙනදා වගේම එක දවසක් විතරයි. නමුත් ලෝක ළමා දිනය සමරන අයට නම් අද දවස සුවිශේෂි දවසක් වේවි. කොටින්ම ඉස්කෝලේ යන අයගේ ඉස්කෝල වලින් ජයටම ළමා දිනය සමරනවා ඇති.

ළමා දිනය වෙනුවෙන් මොනවහරි ලියන්ඩ ඕන කියලා හිතුනත් අදහසක් පහල උනේ නෑ තාම. අද දවස ඉවර වෙනකොට අදහසක් පහල වේවි :)

ළමා දිනය දවස නිසා දුක් විඳින ජන කොටසකුත් ඉන්නවා. ඒ තමා ඉස්කෝලේ යන ළමයින්ගේ අම්මලා තාත්තලා ! මට එහා පැත්තේ ඉන්න කෙනා උදේ හිටන්ම ළමා දිනයක් යෝජනා කරපු එකාව පතුරු ගහනවා. වටින් ගොඩින් හොයලා බලනකොට උන්දෑගේ ළමයා ඉන්න පංතියෙන් කොහේද මන්දා පාර්ක් එකකට එක්කන් යනවලු. ඒකට හැම ළමයම රුපියල් 1800 ගානේ ගේන්ඩ ඕන කියලා. ඔන්න ඕක නිසා තමා මුන්දෑගේ මේ අඳෝනාව !

ඔන්න මේ අවුරුද්දේ ඉදලා ළමා දිනය දවසට ශිෂ්‍යත්ව ප්‍රථිපල නිකුත් කරනවයි කියලා රජයෙන් කියනවා. ළමා දිනය දවසත් ළමයින්ට සතුටින් ගත කරන්න ලැබෙන්නේ නැති වැඩක් තමා වෙන්ඩ යන්නේ. :)

ඔන්න ලෝක ළමා දිනය වෙනුවෙන් මගෙනුත් තෑග්ගක්. ඒ තමා මං පොඩි දවස්වල ආසාවෙන් කියවපු මැංචෝසන් චාරිකාව පොතේ සොෆ්ට් කොපිය ! ළමයින්ට විතරක්ම නෙමේ. ඕනම කෙනෙක්ට එක වගේ මේ පොත කියවලා රසවිඳින්න පුලුවන්. මේ පොත මෙතනින් භාගත කරගන්න !

ළමයින්ට තෑග්ගක් දුන්නා නෙහ්.ඔන්න එහෙනම් වැඩිහිටි අයටත් පොතක් ! ජයන්ත චන්ද්‍රසිරි මහත්මයා ලියපු මහරජ ගැමුණු පොතේ සොෆ්ට් කොපිය ! මේ පොත බා ගන්න මෙතන ක්ලික් කරන්න.


එහෙනං අදට ඇති වගේ.