12 May 2019

සීගිරියේ අලි මඟ

කාළයකට කලින් අපි සීගිරියේ ගියා. අපි ප්ලෑන් කරල තිබ්බේ උදෙම්ම සීගිරිය බලලා ඊට පස්සේ එහෙම්මම හවස මින්නේරියේ අලි බලන්න සෆාරි ටුවර් එකක් යන්ඩ. අපි ඒ හන්දා උදෙම්ම කොළඹට ආවා.

මෙදාපාර ට්‍රිප් එක යන්ඩ බවලත් උදවිය කිහිප දෙනෙක් සූදානම් වෙච්ච නිසා උදෙම්ම යන ගමන ටිකක් ප්‍රමාද වෙලා උදේ හය විතර වෙද්දි තමා කොළඹින් පිටත් උනේ. බස් එක වරකාපොල ට්‍රැෆික් එකත් කාලා දඹුල්ලට එනකොට උදේ 10.30 වගේ වෙලා.

අපි උදේට කන්න පානුත් අරගෙන එහෙම්ම්ම අපේ සෆාරි ජීප් එකට ගොඩ උනා. අපේ යාලුවෙක් තමා සෆාරි ජීප් එක ලෑස්ති කරල දුන්නේ. ජීප් එක අයිති නුවන් කියලා ඩයල් එකකට. ඒකාගේ ෆෝන් නම්බර් එක තමයි 071 407 6376. සීගිරි, දඹුළු, පිදුරංගල, කවුඩුල්ල, නාමල් උයන වගේ යනවා නම් මේ සෆාරි කැබ් එකේ යන්ඩ පුලුවන්.යන්ඩ ඕන තැන් ටික කියලා ගාන කතා කරගන්ඩ පුලුවන්. නුවන් පොඩි රෙස්ටුරන්ට් එකක් කරනවා ඒ නිසා කන්න බොන්නත් ඕන නම් ලෑස්ති කර ගන්න පුලුවන්. ඔක්කොම බලලා හවස නාන්න පොට් එකකුත් සෙට් කර ගත්තෑකි.

අපි පැය භාගයක් වගේ යනකොට සීගිරිය ටිකට් ගන්න තැනට ආවා. එතන ඉදලා සීගිරිය බැළුවා. ඕන කෙනෙක් සීගිරි ගිහින් තියෙන නිසා පින්තූර නම් දාන්න දෙයක් නෑ.

10 May 2019

හෙරලි

එක දිගටම චාරිකා සටහන් ලියපු නිසා වෙනස් දෙයක් ලියන්න ඕන කියලා හිතුනා. අපේ ගේ ඉස්සරහා තියෙනවා කොස් ගහක්. අපේ අම්මා කියන්නේ ගෙයක් ඉස්සරහා කිරි ගහක් තියෙන එක හොදයි කියලා. නමුත් කොස් ගහකට වඩා ගේ ඉස්සරහා බෙලි ගහක් තියෙන එක ගොඩක් හොඳයි ලූ. බෙලි ගහක් තියෙනකොට ගෙට සිරියාකාන්තාව වඩිනවා ලූ. (එක ගෑනු කෙනෙක් ඇති. තව කෙනෙක් නං ඕන නෑ.)

ඒත් බෙලි ගහක් ගේ ඉස්සරහා තියෙන එක හෙන අවදානම් වාහනයක් එහෙම නවත්තල තිබ්බොත් බෙලි ගැට වැටෙන්ඩ පුලුවන්. එතකොට නම් ඉතින් සොරි ඩොට් කොම්.

කතාවට කියනවා නෙව යන යකා කොස් අත්තත් බිදගෙන යනවයි කියලා. අන්න ඒ වගේ අපේ ගෙදර යකා ගේ ඉසරහා කොස් අත්තක් කඩාගෙන යයි. :)

පානදුරේ ජීවත් වෙන අපිට වත්තේ කොස් ගහක් නෑ කියලා කියන්නේ ඒක අඩුවක් වගේ. මොකද කොස් මාමා කියලා විරුදාවලිය ලබපු ආතර් වී. දියෙස් මහහ්මයාත් පානදුරේ කෙනෙක් නෙව.

08 May 2019

මේ වසරේ වෙසක් උත්සවය

මේ ටිකේ ලංකාවේ ආරක්ෂාව ගැන අහන්න දකින්න හම්බ වෙන්නේ ඒ තරම් සුබදායක දේවල් නෙමේ. මේ සේරම දේවල් පටන් ගත්තේ අප්‍රේල් 21 වනදා ලංකාවේ ස්ථාන හයකට එල්ල වෙච්ච මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන්. එතැන ඉදලා ලංකාවේ ආරක්ෂාව තර කරලා දිවයින පුරාම එක එක සෝදිසි මෙහෙයුම් දියත් කරලා තියෙනවා.

ඒ වගේම බෝම්බ පතුරම් වගේ එක එක දේවල් විවිධ පලාත් වලින් ලැබුණයි කියලා ආරංචි වෙනවා. මේ හින්දම පාසල් පටන් ගන්න එකත් කල් දාලා තිබ්බා.

දැන් නම් මේ දේවල් ටිකක් මිනිස්සුන්ගේ මතකයෙන් ඈත් වේගෙනයි යන්නේ. ඒත් අපි කොයි එකටත් ඒ ගැන අවධනයෙන් ඉන්න එක හොදයි.

මේ හන්දම මේ අවුරුද්දේ වෙසක් උත්සවය වෙනුවෙන් තියෙන වෙසක් කළාප, දන්සල් වගේ දේවල් නොපවත්වන්න කියලා රජය විසින් රටේ මහජනතාවගෙන් ඉල්ලා සිටිනවයි කියලා ප්‍රවෘත්ති නිවේදන වල අහන්න ලැබුණා.

05 May 2019

නන්පේරියල් හරහා ලෝකාන්තය පාමුලට

මේකත් මේ සෑහෙන කාළයක් යන්න හිතේ තියාගෙන ඉදලා ගියපු ගමනක්. මේ ගමනත් ටිකක් විතර දුශ්කර ගමනක්. දුශ්කරයි කිව්වේ මේ ගමන පුරාවට කිලෝමීටර් 25කට වඩා පයින් යන්න තියෙන ගමනක්.

කට්ට කගෙන පයින් ගියාට සෑහෙන සුන්දර ගමනක්. හරි ඒවයින් කාරි නෑ. වැල්වටාරම් ඕන නෑ. අපි ගියේ නන්පේරියල් හරහා ලෝකාන්තය පාමුල තියෙන නැග්රක් බංගලාව බලන්න.

සුපුරුදු විදිහට අපි සිකුරාදාවක රෑ කොළඹින් බදුල්ල බලා යන බස් එකකට ගොඩ වෙන්න පිටකොටුව පුද්ගලික බස් නැවතුම් පොළට ආවා. කලින් පාර වගේ මෙදා සැරෙත් අපි ටිකට් බුක් කරලා තිබ්බේ නෑ. ඒකට හේතුව තමයි ගමන යන සෙට් එක කවුද කියලා අන්තිම මොහොත වෙනකන් ෂුවර් කරගන්න බැරි වෙන එක.

මුලදි හා කියලා කියන කට්ටිය පස්සේ පස්සේ එන්නේ නැති වෙන නිසා ස්ථිර ගානක් කියලා බස් වල ටිකට් බුක් කරගන්න බෑ.

28 April 2019

පහන්තුඩාව ඇල්ල

අපි දියළුම ඇල්ලේ ඉදලා බෙරගල පැත්තට බස් එකක නැගලා බෙරගලට ඇවිත් එතැන ඉදලා කොළඹ බස් එකකින් බෙලිහුල් ඔයට ආවා කියලා මතකනේ. බෙලිහුල් ඔය තානායම ලඟින් බැහැලා අපි පහන්තුඩාව ඇල්ල තියෙන පාර දිගේ ආවා. බෙලිහුල් ඔය හන්දියේ ඉදලා පහන්තුඩාවට කිලෝමීටර් 2ක් විතර යන්න ඕන. ත්‍රීවිල් එකක නම් යන්න පුලුවන්. ඒ නැතත් පරිසරය ලස්සන නිසා පයින් යන්නත් පුලුවන්.

බෙලිහුල් ඔය හන්දියේ බෝඩ් එකක් ගහලා තියෙනවා පහන්තුඩාවට යන පාර සදහන් කරලා. ඒ නිසා පාර වරදින්නේ නම් නෑ.


27 April 2019

උඩ දියළුම ඇල්ල

එදා සිකුරාදා දිනයක්. අපේ බදුල්ල ගමන් ගොඩක් වෙලවාට අපි යන්නේ සිකුරාදා දවසේ රෑ. මොකද බදුල්ල පැත්තට යන්නම පෑ හයක් විතර ගත වෙනවා. එතකොට උදේක ගියත් ගමනෙන් බාගයක්ම ඉන්න වෙන්නේ බස් එකේ. එහෙම ගිහිල්ලත් උදේ කෑම කාලා බලන්න යන තැනට සෙට් එනකොට දවස ගත වෙලා ඉවරයි.

මෙන්න මේ කරදරයෙන් මිදෙන්න තමා අපි බදුල්ලේ යනවා නම් සිකුරාදා රෑ යන්න තීරණය කරන්නේ. සිකුරදා රෑ බස් එහෙක නැගලා බදුල්ල කිට්ටු වෙනක්කොට උදේ පහ හය වගේ වෙලාවට බහින්න පුලුවන්. එතකොට මුළු දවසම වගේ ඉතුරුයි.

මෙදාපාර අපි යන්න හිතාගෙන හිටියේ උඩ දියළුමයි පහන්තුඩාව ඇල්ලයි ඇඩිසම් බංගලාවයි. එකිනෙකට වෙනස්ම පැති තුනක්.

මේ ගමන යන්න අපේ ඔපිස් එකෙන් මමයි තව එක්කෙනෙකුයි වෙනම අපේ තව යාළුවෝ දෙන්නෙකුයි එකතු උනා. ඊට අමතරව මගේ ආදරණීය බිරින්දෑත් එකතු උනා. ඔක්කොම කට්ටිය පහයි.

අපේ උන්දෑ මේ වාගේ ගමන් වලට ආසයි. ඒත් එයාට වැඩිය කටු කන්න බෑ. කොටින්ම ටිකක් වැඩියෙන් දුරක් ඇවිදින්න අමාරුයි. ටික වෙලාවක් යද්දි කුණු කුණු ගානවා. ඒ වගේම කඳු වල ඇවිදින්න එහෙම අමාරුයි.

මේ ගමන කොහොමහරි යනවමයි කියලා හිතලා තමා අපි එක්ක ආවේ.

23 April 2019

රෙමූණ වැව හා ආඳ දොළ

පහුගිය කාලේ ලංකාවටම පෑවිල්ල ඇල්ලුවා  මතක ඇතිනේ. අන්න ඒ කාලේ සෙනසුරදා දවසක හවස් වරුවේ තමයි මේ ගමන ගිහින් ආවේ. මේත් වැඩි ඈතකට ගියපු ගමනක් නෙමෙයි.

හොරණ ඉදලා කිලෝමීටර් 12ක් වගේ දුරකින් තියෙන රෙමුණ වැව බලන්න ගියපු ගමනක්.

මම සුපුරුදු පරිදි ගියේ,

අළුබෝමුල්ල > බණ්ඩාරගම > හොරණ > බැල්ලපිටිය > රෙමුණ

කියන ගමන් මාර්ගය හරහා. රෙමුණ කියන ගමට කිට්ටු වෙනකොටම රෙමුණ වැව පාර කියලා පාරක් හම්බ වෙනවා. එතැනින් දාලා කිලෝමීටරයක් විතර යනකොට රෙමුණ වැව ළඟට එන්න පුලුවන්.

20 April 2019

බොල්ගොඩ ගඟේ හිරණ තොටුපොළ

හිරණ තොටුපළ යැයි කීවද අද වන විට මෙය තොටුපොළකට වඩා පාළමක් සහිත මං සංධියක් බවට පත්වී ඇත. එහෙත් අපේ ගමේ මැදිවිය ඉක්මවූ ගැමියන් පවසන්නේ එකල බොල්ගොඩ ගඟ හරහා හිරණේද පාළම් පාරුවක් තිබූ බවයි.

එහෙත් අද ඒ පාළම් පාරුවට නැවතීමේ තිත තබා මේ වනවිට බොල්ගොඩ ගඟේ ඉවුරු දෙක යාකර හිරණේදී යකඩ පාළමක් ඉදිකර ඇත.


අළුබෝමුල්ලේ සිට කැස්බෑව දෙසට යාමට ඇති කෙටිම මාර්ගය වැටි ඇත්තේ හිරණ පාළම හරහා බැවින් මසකට දෙතුන් වතාවක් මා හිරණ පාළම පසු කර යමි. ඒ යන හැම මොහොතකම හිරණ පාළම මත කෙටි වේලාවක් ගත කර එහි සුන්දරත්වය විඳීමට අමතක නොකරමි.

17 April 2019

කුඩා අරුග්ගොඩ

මා කුඩා කළ හැදී වැඩුනේ ගම්පහ දිස්ත්‍රික්කයේ  වත්තලට නුදුරු එඩේරමුල්ල නම් ගම් පියසේ ය.පාසල් ගියේ ද එඩේරමුල්ල ශා. සෙබස්තියන් විද්‍යාලය ට ය. එසේම එදිනෙදා ඕනෑ එපාකම් වලට ආවේද එඩේරමුල්ල ට ය.

එහෙත් මා විරාශා හා සමග විවහා වූවාට පසුව මා උපන් දා සිටම ජීවත් වූ පරිසරයෙන් ඈත් වී කැළණි ගඟත් පැන බොල්ගොඩ ගඟින් එහා පැත්තේ වූ පානදුරේ නම් වූ නගරයට ඒමට සිදු විය. ඒ අප දෙදෙනා මිළදී ගත් ඉඩම පිහිටියේ පානදුරේ වූ නිසා ය.

ඇඟේ උපන් ගම මොරටුව ය.

මේ නිසාම ඈ අප මිලදී ගත යුතු ඉඩම තේරුවේ මොරටුවට ආසන්නවම ය. පානදුර නගරයේ සිට මොරටුවට කිලෝමීටර 6-7ක් වූවත් මා ඉපදුන ගමේ සිට පානදුරට කිලොමීටර් 40ක් පමණ තිබේ.

මේ නිසාම මා පානදුරට ඒම ගැන මගේ දෙමාපියන් එතරම් හිත හොඳකින් සිටියේ නැත. අපේ දෙමව්පියන්ට යන්න එන්න ලෙහෙසි පැත්තකින් ඉඩම ගත්තේ නැති නිසා මුලදි ඔවුන් මා හා උරණ වී සිටියෝ ය. එහෙත් කල් ගත වනවිට ඒ හිත් අමනාපකම් සියල්ලම කාළයේ වැලිතලාවට යට වී අකාමකා වී ගියෙ ය. මේ නිසාම ඔවුන් නිතර පානදුරේට එන්නට ද කැමති විය.

මා පානදුරේ යැයි කීවත් මා ඉඩම ගත්තේ පානදුරේ සිට හොරණ පාරේ කිලෝමීටර් 5ක් ගිය තැන හමුවන කුරුස හන්දියෙන් හැරී එතැනිනුත් ඉලෝමීටර් 2ක් පමණ ගියතැන හමුවන කුඩා අරුග්ගොඩ නම් ගමෙන් ය.

තවමත් අතීත ගමක තිබෙන ග්‍රාම්‍යය ලක්ෂන නොමැකී ඇති එහෙත් කෙමෙන් කෙමෙන් නාගරීකකරණයට හසුවන ගමකි, කුඩා අරුග්ගොඩ.

කුඩා අරුග්ගොඩ පරිසරය නිශ්කලංක ය. නිහඩ ය. ගමේ මිනිසුන් ද අහිංසක ය. අනුන්ගේ දේවල් සෙවීමට එතරම් කැමති අය නොවේ. එසේම ගමේ හොර හතුරන්ගෙන් සිදුවන හානි ය අවම ය.

මේ නිසාම මට මිලදී ජීවත් වූ එඩේරමුල්ලට වඩා කුඩා අරුග්ගොඩට ආසාවක් ඇති විය. ඒ ආසාව ඇතිවීමට මා සැදූ නිවසත් බලපෑමක් ඇති කළ බව මා කිව යුතු ය.

කුඩා අරුග්ගොඩ හා මහ අරුග්ගොඩ නමින් ගමේ නම කොටස් දෙකකට වෙන් වේ. මීට අමතරව කුඩා අරුග්ගොඩ ගම තුල දංකැටියවත්ත, මහගෙදරවත්ත හා කුරුන්ද නම් වූ කුඩා ගම් කිහිපයක් ඇත.

කුඩා අරුග්ගොඩ ගමේ පන්සලක් වෙයි. එය මහේන්ද්‍රාරාමය වේ. එසේම පානදුර මීසමට අයත් ජපමාල මාතා දේවස්ථානයද මේ ගමෙහිම පිහිටා ඇත.

මීට අමතරව කුඩා අරුග්ගොඩටත් මහ අරුග්ගොඩටත් මිණි පහණක් වූ දැයේ දරුවන්ගේ නැණස පාදන ශ්‍රී පරාක්‍රම මහ විද්‍යාලය පිහිටා ඇත. ගමේ නම අරුක්ගොඩ වීම සදහා ගම කෙලවරින් ගලන බොල්ගොඩ ගඟ හා එහි වූ රුක්ගහ තොටුපොළ හේතු වන්නට ඇත.

එකල රුක්ගස් ගොඩක් මේ ප්‍රදේශයේ පිහිටන්නට ඇති. මේ නිසාම රුක් ගස් ගොඩක් පිහිටි ප්‍රදේශය රුක්ගොඩ වී පසු කලෙක කටවහරේ යෙදෙන විට අරුක්ගොඩ වී දැන් තිබෙන අරුග්ගොඩ නාමය වනතෙක් විකාශනය වන්නට ඇත.

කුඩා අරුග්ගොඩ ජීවත් වන අපට එදිනෙදා ගමන් බිමන් යාමට බසයක් වෙයි එය පානදුරේ සිට රුක්ගහ තොටුපොළ වෙත දිවෙන මාර්ග අංක 452 නම් වන රුක්ගහ-පානදුර බසය වේ. උදෑසන පහ මාරට රුක්ගහ තොටුපොළෙන්  පටන් ගන්නා පළමු බස් ධාවනයේ සිට රෑ අට ට පානදුරෙන් පිටත්වන අන්තීම බසය තෙක් විනාඩුතිහකට හෝ හතලිස් පහකට වරක් බසයක් ගමන් ගනී.

මේඅවතරව කොප්පල සිට එන පානදුර-කොප්පල ලංගම බසය ද කුඩා අරුග්ගොඩ මිනිසුන්ගේ එදිනෙදා ගමන් බිමන් අවශ්‍යතා පිරිමසයි.

කුඩා අරුග්ගොඩ ජනතාව තම ඕනෑ එපාකම් පිරිමහ ගන්නේ කුරුස හන්දියෙනි. කුරුස හන්දියේ බැංකු කිහිපයක් වෙයි. මෙයට අමතරව සතොසක් හා සති පොළක් වෙයි. සති පොළ සෙනසුරාදා හවස පැවත් වේ. පොළෙන් එළවලු හා මාළු මිලදී ගන්නා ගැමියන් සතොසින් හාල් හා සීනි තේකොළ යනාදිය මිළදී ගනී. මේ දෙජාතියම මිළදී ගන්නා අයවළුන් රුක්ගහ තොටුපොළ පාරට වී රුක්ගහ බසය එනකන් කල් මරති.

රුක්ගහ බසය ආ කල ඒට ගොඩවී නිවස කරා ගමන් කරයි. එහෙමත් අයෙක් කුරුස හන්දියේ සිට ත්‍රී රෝද රථයක නැගී නිවස බලා ගමන් ගත්ත ද බොහෝ ගැමියන් දුප්පතුන් වූ බැවින් ඔවුන් බසයෙන් ගමන් කිරීමට පෙලබේ.

මේ ගම තුල දේවාල කිහිපයක් පිහිටා ඇත මෙයින් ප්‍රසිද්ධම දේවාලය මහගෙදරවත්ත මූලස්ථම්භ පත්තිනි දේවාලය වේ. මෙයට අමතරව කුඩා ප්‍රමාණයේ දේවාල කිහිපයක් වෙයි.

ගැමියන් තවමත් අණ විණ කොඩිවිණ හා තොවිල් පවිල් යනාදී යාග හෝම ගැන විශ්වාස කරන නිසාම බොහෝ දිනවල තුම්මං හන්දි වල මල් බුලත් තටු හා පෙරේත තටු දකින්නට පුලුවන.

ගමේ මිනිසෙකුට ලෙඩක් දුකක් හැදුන කලෙක බෙහෙත් ගැනීමට දොස්තර මහතෙක් සිටී. ඔහුගේ ඩිස්පැන්සරියේ කටයුතු කෙරෙන්නේ සවස් කාළයේ බැවින් බොහෝ සෙනගක් ඩිස්පැන්සරියට එයි. මෙයට අමතරව බෙහෙත් ගැනීම සදහා ගැමියන් පානදුර මූලික රෝහලට හෝ බණ්ඩාරගම දිසා රෝහලට යාමට පුරුදු වී සිටියි.

ගමේ සියළුම දෙනා පාහේ සිංහලයින් ය. ආගම් වශයෙන් වැඩි ප්‍රමාණයක් බෞද්ධයින් හා සුළු ප්‍රමාණයක් කතෝලිකයින් සිටියි. ඔවුන් සියළුම දෙනා සුහදතාවයෙන් හා එකිනෙකාට උදව් පදව් කරගෙන සතුටින් ජීවත් වෙයි.

මා ඉහත සදහන් කළේ ගමට ආ දා පටන් මා ඇසූ දුටූ සියල්ල ය. තව තවත් දේ කීමට ඇතත් මේ එයට කාළය නොවේ. 

දියගම සෙල්ලිපිය

එදා සෙනසුරාදා දවසක්.

උදේ ඉදන් ගෙදරට වෙලා පොතක් කියව කියා ඉදලා කම්මැලිකමක් හිතුනා. ඊට පස්සේ කොහේටහරි ගිහින් එන්ඩ ඕන කියලා හිතුන නිසා යන්නේ කොහේද කියලා මම ටික වෙලාවක් කල්පනා කළා. එතකොටම මතක් උනා මම කලින් දාක කළුතර ඉදලා හොරණට එනකොට දැකපු පුරාවිද්‍යා ස්ථානයක් තියෙනවයි කියලා. අන්න එහෙට ගිහින් එන්ඩ තිබ්බා නම් හොදයි කියලා හිතුනා.

ඒක සෙල්ලිපියක්.

මේ සෙල්ලිපිය තියෙන්නේ කළුතර හොරණ පාරේ දියගම කියන ගමේ.

මම ගෙදරින් පිටත්වෙලා,

අළුබෝමුල්ල > බණ්ඩාරගම > හොරණ > බැල්ලපිටිය > රෙමුණ > කෙසෙල්හේනාව > දොඹගොඩ > ගල්පාත > දියගම

පාර ඔස්සේ දියගමට ආවා.

15 April 2019

බොල්ගොඩ ගඟේ මහබෙල්ලන තොටුපොළ

බොල්ගොඩ ගඟේ මා දුටු තෙවෙනි පොටුපොළ මෙය වෙයි. පළමු තොටුපොල රුක්ගහ තොටුපොළ වන අතර මා මීට කලින් එම තොටුපොළ ගැන ලියා ඇත.

දෙවන තොටුපොළ හිරණ තොටුපොළ වන අතර ඒ පිළිබඳව මා මතු දිනෙක ලිපියක් ලියා දමමි.

අද ලියන්නට යන්නේ තුන්වෙනි තොටුපොළ පිළිබඳව ය.

මහබෙල්ලන නම් ගමෙහි පිහිටා ඇති නිසා මෙය මහබෙල්ලන තොටුපොළ නම් වේ. රුක්ගහ තොටුපොළ මෙන් පාළම් පාරුවක් මහබෙල්ලනෙ හි නැත. ඒ වෙනුවට නාන තොටුපොළක් වෙයි.

14 April 2019

සුබ නව වසරක් වේවා

අලුත් අවුරුද්ද උදාවෙන්න තව තියෙන්නේ හරියටම හෝරා කිහිපයක් විතරයි. මේ අවුරුද්දේ සිංහල අවුරුද්ද උදාවෙන්නේ පූර්ව භාග 2.09ට. ඒ කියන්නේ හවස 2.09ට.


එහෙනම් හැමෝටම ලබන්නාවූ සිංහල හින්දු අලුත් අවුරුද්ද සාමය සතුට සහජීවනය පිරි සුබ නව වසරක් වේවා !!

13 April 2019

පාළම් පාරුව අද නැත

හෙට සිංහල හින්දු අළුත් අවුරුදු දා ය.

ඒ නිසා බොහෝ නිවෙස්වල පිරිමින් ගෙවල් දොරවල් අස් පස් කිරීමේ ද ගැහැණුන් කැවිලි පෙවිලි සකස් කිරීමේ කටයුතු වලද නියැලී සිටිති. මා ජීවත් වන දෙල්ගහවත්තට ද අවුරුදු සරු ය. ළමා ලපටින් කෙළිදෙලෙන් ප්‍රීති වන කෑකෝ ගැසීම් හා සිනා හඩ ද විටින් විට මා සවනත වැකෙයි.

තවත් විටෙක කොහේ හෝ ගෙයක කුස්සියක ඉදෙන කැවුමක රස නහර පිනා යන සුවඳින් මා කුසගිනි අවුලවයි. මාත් මා ආදරණීය බිරින්දෑත් උපන් කතෝලිකයින් වූ නිසා ම සිංහල වුවත් අවුරුදු සමරන්නේ නැත. විටෙක අප උපන් සිංහලයින් වූවත් අනෙක් සිංහලයින් හා සමානවම අවුරුදු සමරන්නේ නැත්තේ ඇයි දැයි මගෙන්ම අසා ගනිමි.

එය මට ම උත්තර නැති ප්‍රශ්නයකි.කුඩා කළ මා අම්මාගෙන් මේ බව ඇසූ විට අම්මාගේ පිළිතුර වූයේ,

"අපි ඉතින් නත්තල් සමරනවනේ පුතේ" යන්නයි.

ඒ පිළිතුර මා ඉස් මුදුනින් ම පිළිගෙන සිටියා මිසක මා එතැනින් එහාට ප්‍රශ්න ඇසීමට නොගියෙමි. මේ නිසාම තවමත් ප්‍රශ්නය එලෙසම පවතී.

අවුරුදු සමරන්නේ නැති වුවත් මා උදේ සිටන ම ගෙවල් දොරවල් අස්පස් කිරිමේ කටයුතු වල නියැළී සිටියෙමි.

21 March 2019

ඒක කන්දෝ මේක කන්දෝ

මම කලින් ලිපියේදී රොටි ගැන කියලා මේ කතාව කියන්න අමතක උනා නෙව. ඔන්න එහෙනම් මේ ජන කතාව අහ ගම්මු.

මේක මං පොඩි කාලේ අපේ අම්මා මට කියලා දීපු කතාවක්.සමහර ඈයෝ දන්නවත් ඇති. නොදන්න පිරිසක් ඇති ය කියලා හිතලාමයි මේ කතාව ලියලා දාන්නේ.

එහෙනං තුන් හතර පොලකින්ම වාඩි උනා නං.

ඔන්න එකෝමත් එක රටක අම්මා කෙනෙකුයි පුතෙකුයි ජීවත් උනා. මේ අම්මයි පුතයි හරි දුප්පත්. ඒ වගේම තමා මේ පුතාගේ තාත්තා ජීවත් වෙලා උන්නේ නෑ. පවුලේ එකම කොල්ලා නිසා මේකා සෙල්ලක්කාර කමට හැදිලා අම්මා උයා පිහා දෙන දෙයක් කාලා පැත්ත වැටිලා නිදියන්ඩ පුරුදු වෙලා උන්නේ.

මේ අම්මටත් මේ කොල්ලගේ කල් කිරියාව ගැන ඒ තරම් පහැදීමක් නෑ. ඔන්න ඒ නිසා දවසක් මේ අම්මා උදෙම්ම නැගිටලා පොල් රොටියක් හදවලා කොල්ලෑ අතට දුන්නා.

ඒ දෙන ගමන්,

"මේ රොටිය අරං ගිහින් රස්සාවක් හොයාගෙන මිසක් ආයෙම ගෙදර එන්නේ නෑ" කියලා කිව්වා.

20 March 2019

රොටී රොටී

අද මැදින් පුර පසලොස්වක පොහොය දිනය. අද ගෙදර ඉන්නේ මං විතරයි. අපේ උන්දෑ මේ දවස් ටිකේ අම්මලෑ දිහෑ ගිහින්. අම්මලා දිහෑ කිව්වේ වැඩි ඈතක නෙමේ මේ මොරටුවේ.

මම උදෙන්ම නැගිටලා නිදි ඇඳේම ඔලුව පොඩ්ඩක් උස්සලා එක ඇහැක් ඇරලා බැළුවා එළිය වැටිලද කියලා. ම්හු... එළිය වැටිලා නෑ. ආයෙම ටික වෙලාවක් නිදා ගන්නෙමියි කියන තිර අධිෂ්ඨානයෙන්ම නින්දට වැටුනා. ඒ පාර ඇහැරුනේ අටත් පහු වෙලා.

ඇහැරිච්ච ගමන්ම කේතලේ ලිපේ තියලා කිරි තේ එකක් හදාගත්තා. කලින්දා රෑ කියවලා ඉතුරු වෙච්ච පොත අතට අරගෙන ඒකත් කියවන ගමන් තේ එක බිව්වා.

03 March 2019

කොග්ගල, හියාරේ හා ගාළු කොටුව

රුම්මස්සල වෙරලේ ඉදලා ත්‍රී රෝද රථයකින් ම අපි ආයෙම ගාළු පාරට ආවා. ගාලු පාරේ ඉදලා අපි මාතර දිහාවට යන බස් එකකට ගොඩ උනා. අපි මීළඟට බලන්න යන්න හිතාගෙන හිටියේ කොග්ගල ප්‍රාඥයා ලෙස විරුදාවලිය ලත් ළමා හේවගේ දොන් මාර්ටීන් වික්‍රමසිංහ මහත්මයා උපන් ස්ථානය දැක බලා ගන්න. අද වෙනකොට ඒ ස්ථානය ජන කෞතුකාගරයක් වෙලා තියෙන්නේ.

අපි බස් එකෙන් කොග්ගල ආයෝජන ප්‍රවර්ධන කළාපයේ හෝල්ට් එකෙන් බැහැගත්තා. එතැන ඉදලා පොඩි දුරක් මාතර දිහෑවට ඇවිදගෙන එන්ඩෝන. ඊට පස්සේ තමයි පල්ලෙහා තියෙන පුවරුව දකින්ඩ හම්බ වෙන්නේ.
ඒ බෝඩ් එකෙන් පෙන්වන දිහාවට ඇවිදගෙන ගියහම අපිට කෞතුකාගාරයේ ටිකට් කවුන්ටරයට ඒගන්ඩ පුලුවන්. එතැනින් ටිකට් අරගෙන අපි ප්‍රදර්ශන කුටි එකින් එක බලාගෙනම ඉදිරියට ඇදුනා.

02 March 2019

රුම්මස්සල ගමන

මේ ලිපිය අද ලිව්වට මේ ගමන අපි ගියේ අදක ඊයේක නෙමේ. දින වකවානු හරියටම කියනවා නම් 2017 අවුරුද්දේ ජූලි මාසේ 29 වෙනිදා. මේකත් අපේ කන්තෝරුවේ කට්ටිය ලැහැස්ති කරපු ගමනක්. කොයි ගමන සූදානම් කලත් ගමන යන දින ලං වෙනකොට කලින් උන්නයින් බාගයක්වත් ගමන යන්න නැති වෙන එක කවුරු කවුරුත් අත්දැකලා ඇති නෙව. මේකටත් එහෙම උනා.

අන්තිමේදී මේ ට්‍රිප් එක යන්ඩ ඉතුරු උනේ තුන් දෙනෙක් විතරයි. මමයි තව දෙන්නෙකුයි විතරයි.

අපි තුන්දෙනා උදෙම්ම කොළඹින් මාතර යන කෝච්චියට ගොඩ උනා. ඒ කෝච්චිය කොළඹින් පිටත් වෙන්නේ උදේ හයට විතර. කෙලින්ම නවත්වන්නේ දකුණු කළුතර. ඊට පස්සේ අළුත්ගම > අම්බලන්ගොඩ > හික්කඩුව > ගාල්ල වගේ සීමිත නැවතුම් ටිකක විතරයි නවත්වන්නේ.

ඒ නිසා අපිට උදේ 8-9 වෙනකොට යාන්තන් ගාල්ලට ඒගන්න හම්බ උනා.

පානදුරේ බාහිර රෝගී අංශය

මේ සතියේ දින පහෙන්ම මා වැඩට ගියේ දින දෙකක් පමණි. එයට හේතුව වූයේ මා හට වෛරස් උනක් වැළඳීම නිසා ය. මා දින දෙක තුනක් වැඩට නො එන බව කාර්යාලයට දන්වා ගෙදරට වී සිටියෙමි.

උන ගැනුනේ සඳුදා දින රාත්‍රියේ නිසා මා පසුදා උදෙන්ම බෙහෙත් ගැනීමට පානදුරේ මූලික රෝහලට ගියෙමි. එහිදී මා දුටු අත් විඳි අත්දැකීම් සියල්ල බෙදා හදා ගැනීම සදහා මේ ලිපිය ලියා තබමි.

මා පානදුරේ පදිංචියට වී අවුරුදු තුනක් ඉක්මවා ගියද, එක වරක්වත් පානදුරේ රෝහලෙන් බෙහෙත් ගෙන නොතිබිණි. සුළු ලෙඩක් හැදුන විට මා මල්ලීගෙන් බෙහෙත් අසා ඒ බෙහෙත් ටික පාමසියකින් ගෙන බීමට පුරුදුව සිටි නිසා වෛද්‍යවරයෙක් වෙත හෝ රෝහලක් වෙත යාමට උත්සාහ නොකෙරුවෙමි.

මේ සතියේ හැදුන වෛරස් උන නිසා මා කෙලින්ම පානදුරේ රෝහලට ගියෙමි. බාහිර රෝගී අංශයට ඇතුළු වූ මා ඇස් අදහාගත නොහැකි විය. රෝහලේ බාහිර රෝගී අංශයම පරිගණක ගතකොට තිබිණ. මා කොතනින් පටන් ගත යුතු ද යන්න සිතාගත නොහැකිව විනාඩි කිහිපයක් වික්ෂිප්තව බලා සිටියෙමි.

තව දුරටත් පුදුමයෙන් බලා සිටීමේ පලක් නොවන බැවින් මා අසල සිටි අයෙකුගෙන් ඕපීඩී නොම්මර දෙන්නේ කොහේදැයි විමසී ය.

23 February 2019

රුබික් කැටය හදමු - 4 පාඩම (අවසාන කොටස)

මේ වෙනකොට ඔයාලා ලේයර් දෙකක් හදලා ඉවර ඇති කියලා හිතනවා. එහෙම ඉවර කර ගන්න බැරි උනා නම් මගේ පරණ පෝස්ට් ටික බලලා එන්න.


දැන් තියෙන්නේ අන්තිම ලේයර් එක හදන එක. ඒ පියවර මම කොටස් තුනකට වෙන් කරන්නම්. ඒක හදන්න ලේසියි.

1. කහපාට පැත්තේ කුරුසය නිර්මාණය කිරීම.
කහපාට කුරුසය නිර්මාණය කරන්න පල්ලෙහා තියෙන සූත්‍රය පාවිච්චි කලා නම් හරි. වැඩිය හිතන්න දෙයක් නෑ. කුරුසය නිර්මාණය වෙනකන්ම ඔය සූත්‍රය දෙතුන් විඩක් පාවිච්චි කලා නං හරි. මේ වෙනකොටත් කුරුසය නිර්මාණය වෙලා නං තියෙන්නේ ආයේ මේ සූත්‍රය එක්ක ඔට්ටු වෙන්න ඕන නෑ.

17 February 2019

රුබික් කැටය හදමු - 3 පාඩම

හරි ඔන්න එහෙනම් අපි දැන් පළවෙනි පැත්ත හදාගෙන ඉවරයි නේ.කලින් පාඩම් ටික බලන්න බැරි උනා නම් පල්ලෙහා තියෙන සබැඳි වලට ගිහින් බලලා එන්න.


 එහෙනම් දැන් කරන්න තියෙන්නෙ ඊළඟ පැති ටික හදාගන්න එක. ඔන්න මේ පියවර ඉඳලා ටිකක් පරිස්සමෙන් තමයි කොටු එහා මෙහා කරන්න ඕන මොකද අපි හරියටම එක පැත්තක් හදාගෙන ඉවරයි. තව විදිහකට කියනවනම් අපි පළවෙනි ලේයර් එක හදාගෙන ඉවරයි.
ඔයා හරියටම වැඩේ කලා නම් ඔයාලගේ කැටය පල්ලෙහා තියෙන පින්තූරේ විදිහට දිස් වෙන්න ඕන. එහෙම නෑ කියන්නේ ඔයාලා හදපු විදිහේ පොඩි වැරැද්දක් ඇති. ඒක නිවැරදි කරගෙනම එන්නකෝ.

අපි සුදු පැත්ත හරියට හදාගත්තනම් දැන් කරන්න තියෙන්නෙ සුදු පැත්ත යටට හරවල අල්ලගන්න එක.එතකොට ඔයාට කොට T අකුරක් විදිහට අනෙක් කොටු ටික දිස් වෙයි. ඊට පස්සේ කරන්න තියෙන්නේ කැටය වටේට හරවලා කොට T අකුර දික් කර ගන්න පුලුවන් විදිහක් තියෙනවද කියලා හොයන එක.

09 February 2019

රුබික් කැටය හදමු - 2 පාඩම

රායිට් !!
එහෙනම් හා හා පුරා කියලා කැටය හදන්න පටං ගම්මු. ඊට කලින් පළවෙනි පාඩම බලලා එනවා නම් හොඳ. මොකද මම ඒ කොටසේ වැදගත් කරුණු කිහිපයක්ම කිව්වා.


කැටය හදන හැටි පියවරවල් 6කට වෙන් කරන්න පුලුවන්. ඒ පියවරවල් ටික මම පහලින් සදහන් කරන්නම්.

ආහ් තව පොඩ්ඩෙන් අමතක වෙනවා. මම කැටය හදන්න පටන් ගන්නේ සුදු පාට පැත්තේ ඉදලා. වෙන ඕන කෙනෙක් ඉන්නවා නම් තමන් කැමති පාටකින් පටන් ගන්නත් පුලුවන්. ඒකේ තහනමක් නෑ. ඒත් මාත් එක්ක ඉස්ස ඉස්සෙල්ලාම කැටය දහන කෙනෙක් නම් සුදු පාටින් පටන් ගන්ඩ !

1. සුදු පාට මුහුණතේ කුරුසය නිර්මාණය කිරීම
2. සුදුපාට මුහුණතේ කොන් හතර හරියාකාරව හදා ගැනීම.
3. දෙවෙනි ලේයරය සම්පූර්ණ කර ගැනීම.
4. කහ පාට පැත්තේ කුරුසය නිර්මාණය කර ගැනීම
5. කහපාට පැත්තේ මුළු හතරට එන කැට ටික හරියාකාරව ස්ථානගත කර ගැනීම.
6. රුබික් ගණකය සාදා නිම කිරීමේ පියවර.


04 February 2019

රුබික් කැටය හදමු - 1 පාඩම

හරි එහෙනම් අපි වැඩේ පටන් ගම්මු.

මුලින්ම හොඳ රුබික් කැටයක් තොර ගන්න. නැත්නම් ඕක හදන්න ගියහම කටය කැරකෙන්නේ නැති උනහම මල පනිනවා. රුබික් කැට වලත් තියෙනවා හොඳ එක නෝමල් එක කියලා ජාති දෙකක්. හොඳ එක ටිකක් විතර මිලයි. නෝමල් එක නම් ඕන තැනකින් ගන්නත් පුලුවන්. ඒක මිලෙන් අඩුයි.

රුබික් කැටය හදමු - පෙරවදන

නිදහස් දවසේ නිදහසේ ඉන්න ගමන් මම අද කියලා දෙන්න යන්නේ අපි පොඩි කාලේ විසදන්න සෑහෙන්න උත්සහ කරපු දෙයක් ගැන. ඒ තමා රූබික් කැටය !!!

මම මුලින්ම රූබික් කැටයක් අර ගත්තේ ජනවාරි මාසයේ පල්ලියේ මංගල්ලයේ තිබ්බ මංගල්ල පොළෙන්. ඒක ඒ වෙනකොට රුපියක් 50ක් විතර මුදලක් උනේ.

ඒක අරගෙන මම මුලින්ම එහාට මෙහාට පෙරලලා පොඩ්ඩක් කලවං කරලා ගත්තා. පොඩ්ඩක් කලවං කරපු නිසා මම හිතුවේ ගේමක් නැතුවම හදාගන්න පුලුවන් වෙයි කියලා.

නිදහස් වන දා

අද පෙබරවාරි 4 වෙනිදා.

1948 අවුරුද්දේ අද වැනි දවසක ශ්‍රී ලංකාවට බ්‍රිතාන්‍ය සුදු අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස ලබපු දිනයක්. ඒ නිදහස ලැබිලා අදට අවුරුදු 71ක් වෙනවා.

මේ 71ක් අවුරුදු නිදහස් කාළය ඇතුලත අපි කොච්චර නිදහසක් භුක්ති විඳලා තියෙනවද කියලා ආපස්සට හිතලා බලන්න ඕන. මේ අවුරුදු 71ක කාළයේදි එක එක පක්ශ එක එක ජනාධිපතිවරු යටතේ ලංකාව පාලනය කරලා තියෙනවා.

ඒ කාළය තුලදි ලංකාව වෙනුවෙන් තම ජාතිය වෙනුවෙන් නොපිරිහෙලා සේවයක් කරපු අයවළුන් නැතුවම නෙමේ. ඒත් ගොඩ දෙනෙක් ලංකාව පාලනය කරන්න බාරගත්තේ තමන්ගේ යටි අරමුණු මුදුන්පත් කරගන්න. කොටින්ම තමන්ගේ ගොඩ වැඩි කරගන්න මිසක් රටකට ජාතියකට ආදරෙන් කරපු කියපු කිසිම දෙයක් ඇතුව නෙමෙයි.

05 January 2019

නන්පේරියල් - බලංගොඩ බස් ගමන

නන්පේරියල් කියලා කියන්නේ ලෝකාන්තය පාමුල පිහිටලා තියෙන තරමක දුශ්කර ඒ වගේම ස්වබාව සෞන්දර්යෙන් අනූන ගම්මානයක්. මේ ගමේ වැඩි හරියක් ඊවත් වෙන්නේ දෙමල ජනතාව. මේ අයගේ එදිනෙදා ඕනෑ එපාකම් ඉටු කරගන්න නගරයට යන්න එන්න බලංගොඩ ඩිපෝවෙන් බස් රථයක් ලබාදීලා තියෙනවා.

ඒ බස් එකේ පළවෙනි ගමන් වාරය පටන් ගන්නේ සබරගමු සරසවිය නැවතුමෙන්. තව විදිහකට කියනවා නං පඹහින්න ඔර්ලෝසු කණුව හන්දියෙන්. එතැන ඉදලා සෙනග හිටියා හෝ නැතා හෝ මේ බස් එක උදේ හයට ධාවනය ආරම්භ වෙනවා.

ගොඩක් වෙලාවට උදේ පඹහින්නේ ඉදලා නන්පේරියල් වෙනකන් බස් එහේ සෙනග ගමන් කරන්නේ නෑ.

01 January 2019

සුබ නව වසරක් වේවා !!!

කාළය සෑහෙන ඉක්මනින්ම ගත වෙනවා. ලබපු  අළුත් අවුරුද්දේ එක දවසකුත් ඉවර වේගෙන යන්නේ. ඒ නිසා අපි ගතවෙන සෑම තත්පරේකදීම වැඩදයි දෙයක් කරන්න හිතාගන්න ඕන.


ගිය අවුරුද්දට වඩා මේ අවුරුද්ද වැඩ අධික අවුරුද්දක් වේවි. ඒකට ලොකුම හේතුව වෙන්නේ මල ලැබෙන්න යන ප්‍රොමෝශන් එක නිසා. ඒ ප්‍රොමෝශන් එක ලැබුනහම මම බ්ලොග් පෝස්ට් එකකින්ම කියන්නම්.

මගෙත් එක්ක අවුරුද්ද පුරාම හිටපු සියළු දෙනාටම සුබම සුබ නව වසරක් වේවා කියලා පතනවා. !

එහෙනම් මම ගියාවේ.