Showing posts with label තේරවිලි. Show all posts
Showing posts with label තේරවිලි. Show all posts

02 March 2026

අද දවසේ ගණිත ගැටළුව

 අද මම පොඩි ගණිත ගැටළුවක් අරගෙන ආවා. විවේකයක් තියෙනවා නම් පොඩ්ඩක් මේක විසඳලා බලන්න. එච්චර ලොකු අමාරු ගැටළුවක් නෙමේ. සාමාන්‍ය පෙළ දැනුමෙන් විසදගන්න පුළුවන් තරමේ ගැටළුවක්.

ඔන්න මේකයි ගැටළුව... !

මේ ටිකේ ලියන්ඩ දේවල් මොකුත් මතක් වෙන්නේ නැති නිසයි මෙහෙම දකින ගණිත ගැටළුවක් එහෙම අරගෙන එන්නේ. විසදලා උත්තරේ පහලින් කොමෙන්ට් කරගෙනම යන්නකො.

එහෙනම් මම ගියාවේ.

ඉක්මනින් මේ තෙල් පෝලිම් නැති වේවා කියලා පතනවා !

12 October 2025

අද දවසේ ගණිත ගැටළුව

 අද ඉතින් ඉරිදා දවසේ කට්ටියම ගෙදරට වෙලා විවේකි සුවයෙන් ඉන්න ඇති කියලා හිතනවා. ඉරිදා දවස විවේකි සුවයෙන් ගතකරලා හවස් වෙනකොට තමයි ටික ටික මතක් වෙන්නේ හෙට සඳුදා නේද කියලා.

දුර බැහැර පලාත් වල ඉඳලා කොළඹට වැඩට එන අයට හෙට උදේම්ම ඇහැරිලා බස් වලට දුවන්ඩ ඕන කියලා මතක් වෙනකොට කේන්තිත් යනවැති. මොනවා කරන්නද ඉතින් ජීවත් වෙන්ඩ රස්සාවකුත් කරන්ඩ එපෑ.

සති අන්තයේ ගම්බිම් වල ගියපු අය උදෙම්ම වැඩට එන්න පිටත් වෙන නිසා වාහන තදබදයත් ටිකක් විතර වැඩි දවසක් තමයි හෙට....!

ඒවයින් කාරි නෑ...

08 October 2025

මේස් දෙකක්

මේක මේ මුහුණුපොතේ මම දැක්ක ගැටළුවක්.

මේකයි කතාව.... !

අඳුරු කාමරයක ලාච්චුවක එක වර්ගයක මේස් දහයකුයි තවත් වර්ගයක මේස් දහයකුයි තියෙනවා. අපි අඳුරේම ලාච්චුව ඇරලා එක වර්ගයක මේස් කුට්ටමක් දාගෙන යන්න ඕන කියලා කියමු. 

27 September 2025

ගණිත ගැටළුවක්

 අද නිවාඩු දවසේ කරන්ඩ කියලා විශේෂ දෙයක් තිබුනෙත් නැති නිසා කම්මැලිකමට පොතක් කියවන්ඩත් හිතුවත් හරි හමන් පොතක් තිබුනෙත් නැති නිසා ෆෝන් එක අරගෙන අන්තර්ජාලයේ එහෙට මෙහෙට හක්කලං කරනකොට හම්බ උනා පොඩි ගණිත ගැටළුවක්. 

ඒ ගණිත ගැටළුව ඔයාලටත් අරගෙන ආවොත් හොඳයි කියලා හිතුන නිසා බ්ලොග් එකේ පෝස්ට් එකක් දාන්ඩ හිතුවා. එහෙනම් පහල තියෙන ගණිත ගැටළුව විසදලා උත්තරේ කමෙන්ට් කරගෙනම යන්නකෝ.

27 April 2025

වතුර ප්‍රශ්නයක්

 කලින් ලිපියෙන් මම කිව්වා නෙහ් ජොබ් එහෙක ඉන්ටර්විවු එකකින් මම අසමත් උනයි කියලා. අන්න ඒ ජොබ් ඉන්ටර්විවු එකෙන් අහපු බුද්ධි පරීෂණ ප්‍රශ්නය තමයි මේ ලිපියෙන් ලියන්ඩ හිතුවේ. සමහරු නම් මේක අහලත් ඇති. අහලා නැති අය පොඩි උත්සහයක් දීලා මේක විසදගන්ඩ බලමු.

මෙන්න මේකයි ප්‍රශ්ණය !

23 February 2019

රුබික් කැටය හදමු - 4 පාඩම (අවසාන කොටස)

මේ වෙනකොට ඔයාලා ලේයර් දෙකක් හදලා ඉවර ඇති කියලා හිතනවා. එහෙම ඉවර කර ගන්න බැරි උනා නම් මගේ පරණ පෝස්ට් ටික බලලා එන්න.


දැන් තියෙන්නේ අන්තිම ලේයර් එක හදන එක. ඒ පියවර මම කොටස් තුනකට වෙන් කරන්නම්. ඒක හදන්න ලේසියි.

1. කහපාට පැත්තේ කුරුසය නිර්මාණය කිරීම.
කහපාට කුරුසය නිර්මාණය කරන්න පල්ලෙහා තියෙන සූත්‍රය පාවිච්චි කලා නම් හරි. වැඩිය හිතන්න දෙයක් නෑ. කුරුසය නිර්මාණය වෙනකන්ම ඔය සූත්‍රය දෙතුන් විඩක් පාවිච්චි කලා නං හරි. මේ වෙනකොටත් කුරුසය නිර්මාණය වෙලා නං තියෙන්නේ ආයේ මේ සූත්‍රය එක්ක ඔට්ටු වෙන්න ඕන නෑ.

17 February 2019

රුබික් කැටය හදමු - 3 පාඩම

හරි ඔන්න එහෙනම් අපි දැන් පළවෙනි පැත්ත හදාගෙන ඉවරයි නේ.කලින් පාඩම් ටික බලන්න බැරි උනා නම් පල්ලෙහා තියෙන සබැඳි වලට ගිහින් බලලා එන්න.


 එහෙනම් දැන් කරන්න තියෙන්නෙ ඊළඟ පැති ටික හදාගන්න එක. ඔන්න මේ පියවර ඉඳලා ටිකක් පරිස්සමෙන් තමයි කොටු එහා මෙහා කරන්න ඕන මොකද අපි හරියටම එක පැත්තක් හදාගෙන ඉවරයි. තව විදිහකට කියනවනම් අපි පළවෙනි ලේයර් එක හදාගෙන ඉවරයි.
ඔයා හරියටම වැඩේ කලා නම් ඔයාලගේ කැටය පල්ලෙහා තියෙන පින්තූරේ විදිහට දිස් වෙන්න ඕන. එහෙම නෑ කියන්නේ ඔයාලා හදපු විදිහේ පොඩි වැරැද්දක් ඇති. ඒක නිවැරදි කරගෙනම එන්නකෝ.

අපි සුදු පැත්ත හරියට හදාගත්තනම් දැන් කරන්න තියෙන්නෙ සුදු පැත්ත යටට හරවල අල්ලගන්න එක.එතකොට ඔයාට කොට T අකුරක් විදිහට අනෙක් කොටු ටික දිස් වෙයි. ඊට පස්සේ කරන්න තියෙන්නේ කැටය වටේට හරවලා කොට T අකුර දික් කර ගන්න පුලුවන් විදිහක් තියෙනවද කියලා හොයන එක.

09 February 2019

රුබික් කැටය හදමු - 2 පාඩම

රායිට් !!
එහෙනම් හා හා පුරා කියලා කැටය හදන්න පටං ගම්මු. ඊට කලින් පළවෙනි පාඩම බලලා එනවා නම් හොඳ. මොකද මම ඒ කොටසේ වැදගත් කරුණු කිහිපයක්ම කිව්වා.


කැටය හදන හැටි පියවරවල් 6කට වෙන් කරන්න පුලුවන්. ඒ පියවරවල් ටික මම පහලින් සදහන් කරන්නම්.

ආහ් තව පොඩ්ඩෙන් අමතක වෙනවා. මම කැටය හදන්න පටන් ගන්නේ සුදු පාට පැත්තේ ඉදලා. වෙන ඕන කෙනෙක් ඉන්නවා නම් තමන් කැමති පාටකින් පටන් ගන්නත් පුලුවන්. ඒකේ තහනමක් නෑ. ඒත් මාත් එක්ක ඉස්ස ඉස්සෙල්ලාම කැටය දහන කෙනෙක් නම් සුදු පාටින් පටන් ගන්ඩ !

1. සුදු පාට මුහුණතේ කුරුසය නිර්මාණය කිරීම
2. සුදුපාට මුහුණතේ කොන් හතර හරියාකාරව හදා ගැනීම.
3. දෙවෙනි ලේයරය සම්පූර්ණ කර ගැනීම.
4. කහ පාට පැත්තේ කුරුසය නිර්මාණය කර ගැනීම
5. කහපාට පැත්තේ මුළු හතරට එන කැට ටික හරියාකාරව ස්ථානගත කර ගැනීම.
6. රුබික් ගණකය සාදා නිම කිරීමේ පියවර.


04 February 2019

රුබික් කැටය හදමු - 1 පාඩම

හරි එහෙනම් අපි වැඩේ පටන් ගම්මු.

මුලින්ම හොඳ රුබික් කැටයක් තොර ගන්න. නැත්නම් ඕක හදන්න ගියහම කටය කැරකෙන්නේ නැති උනහම මල පනිනවා. රුබික් කැට වලත් තියෙනවා හොඳ එක නෝමල් එක කියලා ජාති දෙකක්. හොඳ එක ටිකක් විතර මිලයි. නෝමල් එක නම් ඕන තැනකින් ගන්නත් පුලුවන්. ඒක මිලෙන් අඩුයි.

රුබික් කැටය හදමු - පෙරවදන

නිදහස් දවසේ නිදහසේ ඉන්න ගමන් මම අද කියලා දෙන්න යන්නේ අපි පොඩි කාලේ විසදන්න සෑහෙන්න උත්සහ කරපු දෙයක් ගැන. ඒ තමා රූබික් කැටය !!!

මම මුලින්ම රූබික් කැටයක් අර ගත්තේ ජනවාරි මාසයේ පල්ලියේ මංගල්ලයේ තිබ්බ මංගල්ල පොළෙන්. ඒක ඒ වෙනකොට රුපියක් 50ක් විතර මුදලක් උනේ.

ඒක අරගෙන මම මුලින්ම එහාට මෙහාට පෙරලලා පොඩ්ඩක් කලවං කරලා ගත්තා. පොඩ්ඩක් කලවං කරපු නිසා මම හිතුවේ ගේමක් නැතුවම හදාගන්න පුලුවන් වෙයි කියලා.

27 November 2014

හිස්තැන පුරවන්න

හවසට මං අපේ කන්තෝරුවේ ඉදලා ගෙදෙට්ට බස් එකේ යනවා නං පෑ දෙකාමාරක් විතර ගත වෙනවා.ඒ තරමටම පාරේ ට්‍රැෆික්. ඒ නිසාම මම තීරණය කලා දවසක් දෙකක් කෝච්චියේ ගිහිං බලන්ඩ.පෑ දෙකහමාරට වඩා අඩු කාළයකින් මට ගෙදෙට්ට යාගන්ඩ පුලුවන් උනා නං මම දිගටම හවසට කෝච්චියේ ගෙදර යනවයි කියලා.

(කට්ටිය දැං කියයි මම කසාද බැන්දට පස්සේ ඉක්මනින් ගෙදර යාගන්ඩ හොයනවයි කියලා. ඉක්මනින් ගෙදර යන්ඩ ඕන කියන තීරණය ගත්තේ බඳින්ඩ කලින් ඈ.. :) )

අපේ කන්තෝරුවේ ඉන්නවා ඒ දවස්වල ඉදලම කෝච්චියෙන් වැඩට එන අය. ඒ උන්දලා කෝච්චියෙ සිද්ධ වෙච්ච රස කතා එක එක සිදුවීම් අපිත්තෙක්ක බෙදා හදා ගන්නවා. අපිත් ඉතිං කරන වැඩේ නවත්තලා ඒ කතා අහගෙන ඉන්නවා. :)

05 December 2013

නිවාඩු දවසේ රඹුටන් ප්‍රශ්නයක්

අද මම නිවාඩු පාඩුවේ ගෙදර ඉන්න දවසක්... අවුරුද්දේ අන්තිම මාසය නිසාත් ඉතුරු කරගත්තු නිවාඩු ටිහිකුත් තිබුන නිසා අද නිවාඩුවක් දැම්මා. ඒ නිසා ටිකක් දවල් වෙනකන් නිදාගන්ඩ පුලුවං උනා. නිදියන එක තරං සැපතක් තියෙන එකක් යෑ..
(හැබැයි ඉතිං නිදියන්න කලින් ෆෝන් එක සයිලන්ට් දාන්න... නැත්නම් නිදියනවා බොරු. !)

ටිකක් විතර පරක්කු වෙලා ඇහැරිලා මූනකට හෝදගෙන උදේ කෑමත් කාලා ලෑස්ති උනේ මම කලින් දාක ගෙනාපු පොත කියවන්න. පොතේ නම තමා තුංමං හන්දිය... ඔවු ඔවු ඔවු... මහගම සේකර මහත්තයා ලියපු පොත තමා..මේ පොත මම මුලිංම කියෙව්වේ ඉස්කෝලේ පුස්තකාලෙන් අරගෙන. ඒ මතකයටම මම ආයෙමත් ඒ පොත ගත්තා.

පොත කියවන්න ඉස්සෙල්ලා ඊයේ දවසේ තිබ්බ දේවල් ටික බලාගන්න මූනුපොතටත් ගොඩ උනා.  මූනු පොතෙත් රවුමක් දානකොට මට අපූරු ප්‍රශ්නයක් හම්බ උනා. ඒ ප්‍රශ්නය තිබ්බේ සාමාන්‍ය දැනීම කණ්ඩායමේ.

මේකයි ප්‍රශ්නේ....

ඔන්න යාළුවෝ තුන් දෙකෙන් කඩේකට යනවලු.. ඒක පලතුරු කඩයක් කියමුකො. මේ පලතුරු කඩේට ගිහින් රඹුටන් ගේන්ඩයි කියනවා. රබුටන් ගේන්ඩ කිව්වට මොකෝ ඒ ටික ගේනකොට තුන් දෙනාම හොදටෝම නිදිලූ.

ඊට පස්සේ ටික වෙලාවකින් එකෙක් ඇහැරුනාලු. ඌ රඹුටන් ගොඩ, තුනකට බෙදලා එක පංගුවක් කාලා ආයෙම නින්දට වැටුනලු.

ඊට පස්සේ දෙවෙනි එකා ඇහැරුනා ලු. ඌත් අර විදිහට ඉතුරු වෙලා තිබ්බ රඹුටං ගොඩ, තුනකට බෙදලා එක පංගුවක් කාලා නින්දට වැටුනලූ.

දැන් තුන් වෙනියගේ වාරේ.. ඌ නැගිටලා අර විදිහටම ඉතුරු රඹුටන් ටික තුනකට බෙදුවා එයින් එක පංගුවක් කෑවා.

තුන් දෙනාම ඔය විදිහට කෑවට පස්සේ රඹුටන් 8ක් ඉතුරු උනාලු. මුලින්ම තිබ්බ රඹුටන් ගොඩේ රඹුටන් ගණන කීයද කියලා තමා ප්‍රශ්නේ.

උත්තරේ මොකක් කියලද හිතන්නේ ? දාමු බලන්න පහලින් කමෙන්ටුවක් !

මේ ගාන හදන්න ලේසිම ක්‍රමේ තමා අග ඉදලා මුලට යන එක. තුන්වෙනියා කාපු රඹුටන් ටිකෙන් පටන් අරගෙන පලවෙනියා වෙනකන් ගියා නං උත්තරේ අල්ල ගන්න අමාරු නෑ. ඔන්න ඉඟියකුත් දුන්නා. මේක මේ පරිපාලන සේවා විභාගයේ ප්‍රශ්නයක් ය කියනවා නෙහ්.

එහෙනං ඕගෝල්ලෝ ප්‍රශ්නයට උත්තරේ කල්පනා කරන්ඩ.. මම යනවා සේකර මහත්මයාගේ තුංමං හන්දිය කියවන්ඩ.. !

සියළු දෙනාට සතුටින් පිරුණු සුබ දවසක් !
උත්තරේ 27

01 December 2013

x වල අගය

අද දෙසැම්බර් පලවෙනිදා !
අවුරුද්දක් ගත වෙච්ච ඉක්මන.... මේ අවුරුද්ද ඉවර වෙන්ඩ තව මාසයක් විතරයි තියෙන්නේ... කාලය අපි හිතනවටත් ඉක්මනටම ගත වෙනවා. දෙසැම්බර් පලවෙනිදාම තමා ලෝක ප්‍රජාව, එඩ්ස් මර්ධන දිනය විදිහට ප්‍රකාශයට පත් කරලා තියෙන්නෙත් !


ඒවයිං කාරි නෑ...ඔන්න අද නිවාඩු දවසේ ගණිත ගැටලුවක් ගෙනාවා.

පල්ලෙහා තියෙන රූපේ බලන්ඩ... !


ගැටලුව තමා x වලට එන්න ඕන අගය හොයලා දෙන එක...


මං මේ ප්‍රශ්නේ මූනු පොතේ සාමාන්‍ය දැනුම කණ්ඩායමේත් දැම්මා.

එහෙනං මං ගියාවේ !

උත්තරය 37.5

28 September 2013

පුංචි පහේ ප්‍රශ්නයක්... !

මාස ගානක් නොලිය හිටිය නිසා මම නම් හිතුවේ මාව සිංඩි වලිනුත් විසික්කා වෙලාය කියලා. වාසනාවට එහෙම වෙලා නෑ. බැරිවෙලාවකවත් එහෙම උනා නම් ආයෙම ඇප්ලයි කරන්න වෙනවා.

අද ලියන්න යන්නේ මේ මාසෙට නියමිත දෙවෙනි පෝස්ටුව. පෝස්ටු හතරක්වත් ලියන්ඩ ඕන කියලා හිතුනට කල් මදි. අවුලක් නෑ. ඊලඟ මාසේ ඉදන්ම ලියන්න බැරුව යෑ. ලියනවා වගේම බ්ලොග් කියවන්නත් ඊලඟ මාසේ ඉදන්ම එන්න ඉන්නේ.

ගිය මාසේ.. ඒ කියන්නේ අගෝස්තු මාසේ සති අන්තයේ මට සෑහෙන වැඩ තිබ්බා. මොකද අපේ ගෙවල් ගාව පොඩ්ඩෙක් මෙදා පාර පහේ ශිෂ්‍යත්ව විභාගේ ලිව්වා.   ඒ නිසා එක එක ප්‍රශ්න පත්තර වල ගැටලුයි, තනි පදයි, යුගල පදයි ඔය විදිහේ නානාප්‍රකාර ප්‍රශ්න ගොඩකට මට උත්තර දෙන්න සිද්ධ වෙච්ච කාලයක්.

සිංහල භාෂා ප්‍රශ්න නම් කොහොමහරි කියලා තේරුම් කරලා දෙතෑකි. ඒත් ගණිත ගැටලු තේරුම් ගන්න මේකා පොඩ්ඩක් පහු බහිනවා. ගණන් බැරි කමක් නන් දැක්කේ නෑ..

ඒත් ඉතින් බෑ කියලත් බැරි හන්දා මාත් වෙලාව අරගෙන කියලා දෙනවා.ඔය අතරේ එක ප්‍රශ්නයක් තිබ්බා මොක කරලවත් මේකාට තේරුම් කරවන්න බැරි වෙච්ච ප්‍රශ්නයක්.

මෙන්න මේකයි ප්‍රශ්නේ !

මිනිස්සු 3 දෙනෙක් එකතු වෙලා දවස් 12කදී ගඩොල් 1200ක් හදනවලු. මිනිස්සු 6 දෙනෙක්ට ගඩොල් 300ක් හදන්න කොච්චර කල් ගත වෙනවද ? 

උත්තරේ දින වලින්ම දුන්නහම ඇති. කියලා තමා තිබුනේ.

අන්තිමේදි මම කිව්වා මේ වගේ ප්‍රශ්න විභාගයට එන්නේ නෑ ඒ නිසා බය නොවී හිටු කියලා. එහෙම කියල ඒකාගේ හිත හදලා විභගයට යැව්වා.

මොකද කියන්නේ අර ගාන හදලා බලමුද ?  එහෙනං ගාන හදලා උත්තරේ පහලින් කොටන්න

31 October 2012

චොකලට් ප්‍රශ්නයක්

පහුගිය දවස් ටිකේ විභාගයක් හන්දා අතුරුදහන් වෙලා හිටපු නිසා හුඟ දවසකින් බ්ලොග් එක දිහෑ ඇහැක් ඇරලා බැලුවේ නෑ. විභාගේ නම් ඉවරයි. ඒත් කම්මැලිකම ඉහටත් උඩින් තිබ්බ නිසා කිසිම දෙයක් ලියන්න හිතුනේ නෑ..

ඊයේ සෑමා මතක් කරපු නිසා ආයෙම මොනාහරි බ්ලොග් එකේ කුරුටු ගාන්න ඕන කියලා හිතුනා. ඒත් ලියන්න කිසිම දෙයක් හිතේ නෑ. ඔන්න එතකොට තමා අපේ වැඩපොලේ කට්ටියක් චොක්ලට් ප්‍රශ්නයක් ඇදලා ගත්තේ.

ප්‍රශ්නය කෙටියෙන්ම මේකයි. !

ඔන්න එකෝමත් එක පොඩි කොල්ලෙක් රුපියල් 15කුත් අරගෙන කඩේකට යනවා චොක්ලට් ගේන්ඩ. චොක්ලට් එකක් රුපියලයි ලූ.
(අර ඊයම් කොළ වල ඔතපු හින්නිකිතර චොකලට් කෑලි කියලා හිතමු.)
ඉතින් මේ කොල්ලා චොක්ලට් ගේන්ඩ ගිය දවසේ ඒ චොක්ලට් වර්ගය ජනප්‍රිය කරවීමේ අරමුණෙන් චොක්ලට් කොළ 3කට එක චොක්ලට් එකක් නොමිලේ දෙන ප්‍රචාරණ වැඩසටහනකුත් තිබ්බ දවසක් ලූ.

රුපියල් 15ක් අරගෙන කඩේට ගිය කොල්ලට කොච්චර චොක්ලට් ප්‍රමාණයක් ගන්න පුලුවන් උනාද ?


එහෙනම් දන්න දන්න කට්ටිය පහලින් උත්තරේ කොටලා යන්න. උත්තරේත් එක්කම ක්‍රමේත් ලියලා යනවා නම් තමා හොඳ.

කට්ටියටම සුබ දවසක් !

ප.ලි. - හැමෝටම අවස්ථාවක් දෙන්ඩ ඕන නිසා කමෙන්ට් මොඩරේට් කරලා තියෙන්නේ.. :)

20 July 2012

සති අන්තයේ ප්‍රශ්නය

අද ටිකක් විතර වැඩ අඩු දවසක්.ඒත් එක්කම කම්මැලි දවසක්. ගොඩක්ම කම්මැලියි කියලා හිතෙන්නේ සිකුරාදා දවසක් නිසා වෙන්ටෑ. කම්මැලි කම යන්නත් එක්ක අන්තර්ජාලය පීරලා එක එක කතා කියවන්න ගත්තා.

බ්ලොග් අඩවි බ්ලොක් කරලා නිසා ඒවට නම් යන්ඩ වෙන්නේ නෑ. ඔන්න බොස්ගේ නෙට්වර්ක් එකට වයර් එකක් අමුණ ගත්තා නම් බ්ලොග් කියවන්නත් ඇහැකි. 

කතා ටික කියවලා ඉවර වෙලා මේල් එකවුන්ට් එක පැත්තටත් ලොග් උනා. අපේ ඉන්දුල මලයා මට එවපු මේල් එකකුත් තිබ්බා.පහලින් තියෙන්නේ ඒ මේල් එක. සමහරු නම් මේක කියවලත් ඇති.
 
 මේක එක්තරා විදිහක තේරවිල්ලක් ! ඔය පහල තියෙන පින්තූරේ බලන්න. ඒ පින්තුරෙන් සිංදුවක් කියවෙනවා. ඒ සිංදුව මොකද්ද කියලා තමයි අහන්නේ ! පුලුවන් කට්ටිය තොරන්ඩ බලන්න.



ඔන්න මේ ප්‍රශ්නයට උත්තර දෙන්න ඔයාලට සති අන්තයක්ම තියෙනවා.

සියළුදෙනාටම  විනෝදයෙන් පිරුණ සති අන්තයක් වේවා !!!

07 May 2012

ඉතුරු රුපියල කෝ ?

දැන් මේකයි කතාව !
යාළුවෝ තුන් දෙනෙක් කෑම කන්න කඩේකට ගියා ලු. ගිහින් හොදටම කාලා වේටර් ට බිල ගේන්ඩ කිව්වා ලු.වේටර් බිල ගෙනාවලු. ගාන රුපියල් 25යි ලූ !!!

එක්කෙනා රුපියල් 10 ගානේ රුපියල් තිහක් බිල ගෙනාපු දීසියට දැම්මා ලු.වේටර් ඒ බිලත් එක්ක සල්ලි අරගෙන ගිහින් ඉතුරු සල්ලි ගෙනාවලු.

කවුරුත් දන්නවා නේ ඉතුරු රුපියල් 5ක් කියලා.  මේ ඉතුරු සල්ලි රුපියල් පහ ගෙනාවේ රුපියලේ කාසි 5කින් ලූ. ඉතින් මේ ඉතුරු සල්ලි වලින් වේටර්ට රුපියල් 2ක් දුන්නලු ටිප් එක විදිහට. තව රුපියල් 3ක් ඉතුරුයි නේ. අන්න ඒ රුපියල් තුන, රුපියල ගානේ තුන් දෙනා බෙදා ගත්තා ලු.

එකෙක් රුපියල් 10ක් දාලා ආයෙම රුපියලක් ගත්තා. එතකොට එකෙක්ට කෑමට ගාන වෙන්නේ රුපියල් 9යි !!! හරි නේ ??

එකෙක්ගේ කෑමට ගාන =  රු. 9
තුන්දෙනාටම  =  රු. 9 x 3 = රු. 27
වේටර්ට දීපු ටිප් එක =  රු. 2

එකතුව = රු. 27 + රු. 2 = රු. 29

කෝ ඉතුරු රුපියල ??? 

මේක වෙන්නේ කොහොමද කියලා දන්න කෙනෙක් ඉන්නවනම් පහලින් කමෙන්ට් කරන්න. ඔන්න මම නම් දන්නේ නෑ.
----------------------------------------------------------------------
ප.ලි. - මේක හිතන්න ගියොත් මගේ රැම් එක ආයෙම ඕවර්ලෝඩ් වෙනවා !

19 July 2011

සම්මුඛ පරීක්ෂණ වල බුද්ධි පරීක්ෂණ ප්‍රශ්ණ (IQ) - 2වන කොටස

ලඟදි දවසකත් මට කොළඹ යන්න සිද්ද උනා. ඒකත් සුපුරුදු පරිදි ඉන්ටර්විව් එකකට. කලින් එකට වඩා දැන් බුද්ධි පරීක්ෂණ ප්‍රශ්න වලට මුහුණ දෙන්න ප්‍රශ්නයක් නෑ. ඒ තරමටම පුරුදු වෙලා තියෙන්නේ. මෙදාපාර ලැබුන ප්‍රශ්න ටික එච්චර අමාරු නෑ. ලියන්න තමා තිබ්බේ. ප්‍රශ්න 20ක් විතර තිබ්බා. වැඩි කතා ඕනේ නෑ ප්‍රශ්න වලට බහිමු !!!!

ඔන්න මට මතක ටික පහලින් දැම්මා.

(1) ළමුන් පේලියක වාඩිවී සිටී. එම පේළියේ දකුණු පැත්තේ සිට 8 වෙනියාට කමල් වාඩි වී සිටී. එම පේළියේ වම් පැත්තේ සිට 12වෙනියාට නිමල් ද සිටී. නිමල්ව හා කමල්ව එකිනෙක මාරු කල විට වම්පැත්තේ සිට 21වෙනි තැනට නිමල්ව පත්වේ. දකුණු පැත්තේ සිට බලන විට කමල්ගේ ස්ථානය කුමක්ද ?

(2) එක්තරා මං සංධියක සංඥා කුළුණක (ට්‍රැෆික් ලයිට්) කොළ පැහැති බල්බය දැවී ගොස් (බල්බ් එක පිච්චිලා/ ගහලා ගිහින්)ඇත. එම මං සංධිය හරහා වාහනයකට ආරක්ෂිතව ගමන් කිරීම සදහා සංඥා කුළුණේ දැල්වී හා නිවී තිබිය යුතු බල්බ කුමක්ද ?

(3) නිමල් පොත් සාප්පුවකට ගොස් රුපියල් 80ක් වටිනා පොතක් මිලදී ගනි. ඔහු පොත් සාප්පු හිමියාට රු. 100යේ නෝට්ටුවක් ලබා දුනි. මාරු කාසි නොමැති කම නිසා සාප්පු හිමියා එම 100යේ නෝට්ටුව මාරුකරගෙන එන ලෙස ඉල්ලයි. ඔහු පොත් සාප්පුව අසලම පිහිටි රෙදි සාප්පුවකින් රු 100යේ නෝට්ටුව රුපියල් 10යේ නොට්ටූවලට (දහයේ කොළ දහයක්) මාරු කරගගෙන පොතේ වටිනාකම ගෙවා පොත් සාප්පුවෙන් පිටවී යයි.නිමල් විසින් රෙදි සාප්පු හිමියාගෙන් මාරු කරගත් රුපියල් 100යේ නෝට්ටුව හොර එකක් බව පොත් සාප්පු හිමියාට පවසයි. රෙදි සාප්පු හිමියා හා පොත් සාප්පු හිමියා දිගු කලක සිටන් මිතුරන් වන නිසා රෙදි සාප්පු හිමියාට සිදුවූ අලාභය ගෙවීමට පොත් සාප්පු හිමියා පොරොන්දු විය. පොත් සාප්පු හිමියාට සිදුවූ අලාභය කීයද ?

(4) ලංකාවේ සිටින අයෙක් ප.ව 7.00 ට එංගලන්තයේ තම සේවාදායකයාව අමතයි. ලංකාවේ සිටින කෙනා විසින් එංගලන්තයේ තම සේවාදායකයාට සුබ පතන්නේ කෙසේ ද ? (ඉංග්‍රිසියෙන්)
(ගුඩ් මෝර්නින්, ගුඩ් ඊවිනින්, ගුඩ් නයිට් යනාදි වශයෙන්.... )

(5)ලංකාවෙන් 0940h වලින් පිටත් වෙන ගුවන් යානයක් ලන්ඩන් වලින් 2210h ට ලඟා වේ. ගුවන්යානයේ ගමන් කාලය කොපමණද ?

(6) X = (1+1)+(1+1)+(1+1)

(7) Quarter of 40 ?

6, 7 වගේ සරල ප්‍රශ්නත් ඒ අතර තිබ්බා.

-----------------------------------------------------------------------------------
ප.ලි. - ප්‍රශ්න පැහැදිලි නැත්නම් ඒ බව පහලින් කමෙන්ට් කරන්න. සදුදා යන්න තිබ්බ ඉන්ටර්විවු එකට නම් යන්න උනේ නෑ. දනිහ පැනලනේ. :(

08 June 2011

සම්මුඛ පරීක්ෂණ වල බුද්ධි පරීක්ශණ ප්‍රශ්න (IQ)

මේ දවස්වල ගෙදර ඉන්නවාට වඩා ඉන්නේ කොළඹ කොහේ හරි තියෙන කම්පනි එකක. ඒ තරමටම මේ දවස්වල මට ඉන්ටර්විව් තියෙනවා. ගොඩක්ම ඉන්ටර්විව් වලට ගියාට තාම එකක්වත් හරි ගියේ නම් නෑ. ගොඩක් තැන්වල ඉන්ටර්විව් වලට ගියාම ප්‍රශ්න පත්තරයකට උත්තර ලියන්න දෙනවා. එහෙම දෙන ප්‍රශ්න පත්තර වල ඉගෙන ගත්ත දේවල් වලට අමතරව බුද්ධි පරීක්ෂණ (IQ) ප්‍රශ්නත් තියෙනවා.

මුලින්ම ඔහොම ප්‍රශ්නයක් මට අහන්න ලැබුනේ ට්‍රේනින් එකක් හදා ගන්න ඉන්ටර්විව් ගියපු දවස්වල.ඒක දොඩම් ගැන ප්‍රශ්නයක්.ඒක ලියන්න තිබ්බ එකක් නෙමේ. කෙලින්ම උත්තර දෙන්නයි තිබ්බේ. ඒ නිසා ඒ ප්‍රශ්නේ නම් හොද හැටියටම නා ගත්තා. කැමති කට්ටිය ඉන්නවනම් මෙතන ක්ලික් කරලා ඒ ප්‍රශ්නය කියවන්න.

ඔහොම මගේ යාලුවෙක්ටත් ඔය වගේ බුද්ධි පරීක්ෂණ ප්‍රශ්නයක් අහලා තිබ්බා. ඒක බැක්ටීරියා ප්‍රශ්නයක්. මේකයි ප්‍රශ්නය. එක දීසියක බැක්ටීරියාවක් තියෙනවා. ඒ බැක්ටීරියාව දීසියෙන් ගන්න වර්ගඵලය හැම දවසකම දෙගුන වෙනවාලු.ඒ කියන්නේ අද සෙන්ටිමීටර් එකක වර්ගඵලයක් තියෙන බැක්ටීරියාවක් තිබ්බොත් හෙට බලද්දි ඒක සෙන්ටිමීටර් දෙකක් වෙලා.මේ බැක්ටීරියවෙන් මුලු දීසියම වැහෙන්න දවස් තිහක් ගත වෙනවලු. දිසියෙන් බාගයක් වැහෙන්න කොච්චර කල් ගත වෙනවද කියන එක තමයි ප්‍රශ්නේ. දන්න කට්ටිය ඉන්නවනම් උත්තරේ පහලින් කමෙන්ට් කරන්න.

ලගදි මට ප්‍රශ්නයක් හම්බ උනා ඒක නම් ඒ ප්‍රශ්නේ හදපු එකාගේ පුද්ගලික ප්‍රශ්නයක්.

මේකයි ප්‍රශ්නේ.
එක්තරා රටක ගෑනු කෙනෙක් බැදලා ළමයි හදනවලු. පුතෙක් ලැබුනොත් ආයේ ළමයි හදන්නේ නැති ලු. බැරි වෙලාවකවත් දුවෙක් ලැබුනොත් ආයෙම ළමයෙක් හදනවලු. දෙවෙනි එකා කොල්ලෙක් (පුතෙක්) උනොත් ආයේ ළමයි හදන්නේ නැහැල්ලු. බැරිවෙලාවත් ඒකා කෙල්ලෙක් (දුවෙක්) උනොත් ආයේ ළමයෙක් හදනවලු. ඔහොම කොල්ලෙක් (පුතෙක්)ලැබෙනකන් ළමයි හදනවලු. ඒ ගෑනු කෙනාගේ දුවලාට පුතාලගේ අනුපාතය තමයි අහලා තිබ්බේ.

මට නම් ඒකට උත්තර දෙන්න බැරි උනා. දත්ත ප්‍රමාණවත් නෑ. අඩුමගානේ ගෑනු කෙනාගේ වයසවත් තිබ්බා නම් උත්තර දෙන්න තිබ්බා. මේකේ උත්තරේ දන්න කෙනෙක් ඉන්නවනම් පහලින් කමෙන්ට් කරන්න. ඒක ලොකු පිනක්.

මගේ යාලුවෙක්ට හම්බ වෙච්චි ප්‍රශ්න තුනක් මම ඒ දවස්වල පෝස්ට් වල දැම්මා.

(1.) ගණිත ගැටලුවක් !!!! - 1වන කොටස
(2.) ගණිත ගැටලුවක් !!!! - 2වන කොටස
(3.) ගණිත ගැටලුවක් !!!! - 3වන කොටස

25 October 2010

බර වැඩිම දොඩම් ගෙඩිය තෝරමුද ???


මේක මං Interview එකකට ගියපු වෙලාවක ඒකෙ හිටපු අය අහපු ප්රශ්නයක් .එයාලා මේක අහන්න පටන් ගත්තේ ප්රශ්න විසදීමේ හැකියාව සොයා බැලීම පරික්ෂා කිරීමක් හැටියටයි. බ්ලොග් එකේ දාන්නේ මොනවද කියලා කල්පනා කරගෙන යනකොට තමයි මට මේ කතාව මතක් උනේ.


මේකයි කතාව. දොඩම් ගෙඩි නවයක් තියෙනවා. පාටින් , හැඩයෙන් , රසයෙන් ඔය හැම එකකින්ම එක හා සමානයි. නමුත් එක ගෙඩියක් බරින් වැඩියි. ඒ බරින් වැඩි ගෙඩිය අපට අල්ලලා බර වැඩියි කියලා තීරණය කරන්න බෑ. අපිට තැටි දෙකක් තියෙන තරාදියක් දෙනවා. හැබැයි බර කිරන්න දෙන්නේ අවස්ථා දෙකයි. කොහොමද අපි අවස්ථා දෙකෙන් අර බර වැඩි ගෙඩිය තෝරලා ගන්නේ ???

චුට්ටක් කල්පනා කලොත් වැඩේ අහුවෙයි. නැත්නම් මේ බ්ලොග් පෝස් ට් එකේ පහල බලන්නකෝ. මමත් ගත්තා කොලයකුයි පෑනකුයි. අරගෙන තරාදියක් ඇන්ඳා. දොඩම් ගෙඩි නවයකුත් ඇන්ඳා ඊට පස්සේ අහස පොලව ගැටලන්න කල්පනා කෙරුවත් වැඩේ හරි ගියේ නෑ.

විසදුම මේකයි. දොඩම් ගෙඩි ටික තුනේ සෙට් වලට වෙන් කරනවා. ඉන් පස්සේ තුනේ සෙට් දෙකක් අරගෙන තැටි තරාදියේ තැටි දෙකට දානවා. තරාදිය සමාන උනොත් අර ඉතුරු සෙට් එකේ තමයි බරින් වැඩි ගෙඩිය තියෙන්නේ. තරාදිය අසමාන උනොත් අර බරින් වැඩි පැත්තේ තමයි අදාල දොඩම තියෙන්නේ. මේ බර කිරුමෙන් දොඩම් ගෙඩි හයක්ම අයින් කරන්න පුලුවන්. දැන් ඉතුරු ගෙඩි තුනෙන් දෙකක් අරන් තරාදියට දානවා. බරින් අසමාන උනොත් බර වැඩි පැත්තේ තමයි ගෙඩිය තියෙන්නේ. සමාන උනොත් අර ඒ සෙට් එකෙ වෙනම තියෙන ගෙඩිය තමයි බරින් වැඩිම ගෙඩිය.