23 December 2014
ඩ්‍රැගන් ෆෘට් මලක්
ඒ නිසා අපේ තාත්තා එක වතාවක් ස්ට්‍රෝබෙරි වැව්වා. තව වතාවක් ලොකාට් හිටෙව්වා. දැන් ආසාව තිබ්බේ ඩ්‍රැගන් ෆෘට් හිටවලා බලන්න. මේ වැඩේ නං අති සාර්ථකයි. මලුත් ආවා ! ගෙඩිත් ආවා !
23 March 2014
අක්කපාන මල්
අපේ ගෙදර වතුර කරාමේ ගාවත් අක්කපාන පැල ගොඩක් හිටෝලා තියෙනවා. හැබැයි ඉතිං අපේ තාත්තා අක්කපාන හිටෙව්වට අක්කපාන කොළ මැල්ලුමට නං මං එච්චර මනාප නෑ.. මනාප නැති උනත් අපේ තාත්තා ආස හන්දා අකමැත්තෙන් උනත් කන්ඩ වෙනවා.
අක්කපාන කොළ සම්බෝලය මුත්‍රා අමාරු වලට ගුණයි කියනවාලු නෙහ්..
අද මං උදේ කරාමේ ගාව දත් මැද මැද ඉන්නැද්දි තමා අපේ අක්කපාන ගස් වල මල් පිපිලා තියෙනවා දැක්කේ.. ඉතිං මට හිතුනා කට්ටියට බලන්ඩත්තෙක්ක අක්කපාන මල් වල පින්තූරු ටිකක් දාන්ඩ.
පහලින් තියෙන්නේ ඒ මල් වල පින්තූර... !
ඔය තියෙන්නේ අක්ක පාන පැළය... !
ඔය මල් වල පින්තූර තව ටිකක් ලං වෙලාම බලමු...
මේ මල් දැක්කහම මට මතක් උනේ බාඳුරා ගොටු... ඒ වගේ හැඩයක් තියෙන්නේ...
ඔන්න ඕවා තමා අක්කපාන මල්.. මම කලින් දවසක දුටු සතුටු මල් වල පින්තූරයකුත් දැම්මා මතක ඇතිනේ.. දැකපු නැති අය ඒකත් බලාගන්ඩලා..
මම එහෙනං ගියාවේ... ජය වේවා !!
13 October 2013
අපේ කඩුපුල්
ඔහොම උගන්න උගන්න ඉන්නැද්දි සර්ගේ කට වැරදීමකින් කියවුනා ඉස්කෝලෙත් කඩුපුල් පැලයක් තියෙනවයි කියලා. මං ඊට පස්සේ ඉන්ටර්වල් එකේදි අපේ මල් පෝච්චි එකින් එක බැලුවා කොයි පෝච්චියේද කඩුපුල් පැලෑ තියෙන්නේ කියලා. ඔහොම බලාගෙන යනකොට කඩුපුල් පැලේ තියෙන පෝච්චිය හම්බ උනා.
මං දෙන්නං වැඩේ කියලා ඉස්කෝලේ ඇරෙන වෙලාවක් අල්ලගෙන ඕකෙන් කොළයක් කඩාගෙන ගියා. ගිහින් ගෙදර පැල කලා. මල් පැල හිටවනවා නං ඉල්ලගෙන ගිහින් හිටවනවට වඩා හොරෙන් උගුල්ලගෙන ගිහිං හිටෙව්වොත් හොඳට පැලවෙනවා. ඒක මං අත්දැකීමෙන් දන්න දෙයක් !
ඔහොම කඩාගෙන ආපු කඩුපුල් කොළය ගෙදර තිබ්බ පෝච්චියක පැල කලා. හොඳට පැලවෙලා ටික දවසකින් අළුත් දල්ලකුත් ආවා. හොඳටම පැල උනාට පස්සේ මං පොල් ලෙල්ලක හිටවලා තාප්පේ එල්ලුවා. මං හිතන විදිහට රෑ මනමාලි කියන්නෙත් කඩුපුල් මල් වලටම වෙන්ඩ ඕන !
කඩුපුල් කියන්නේ දිව්‍යලෝකයේ ඉදලා ආපු දිව්‍යාංගනාවකගේ අතින් වැටිලා පැලවෙච්ච පැලෑටියක් කියනවානෙ. ඒ කතාව හරියටම මං දන්නේ නෑ. හොයලා බලන්ඩ ඕන :)
කොහොමින් කොහොමහරි මං හිටවපු කඩුපුල් වල මල් හිටන් ආවා. දැං බලයි ඉස්කෝලේ යන කාලේ හිටවපු ඒවෑ මල් ආවේ දැන් ද කියලා. නෑ... ඒ කාලෙම මල් ආවා.ඒ කාලේ ෆොටෝ ගහන්ඩ කැමරාවකුයි ලියලා දාන්ඩ බ්ලොග් එකකුයි තිඋනේ නෑ.
පිපුන කඩුපුල් මල
තව මලකුත් පිපෙන්ඩ තියෙනවා
මල් පොහොට්ටු එක දෙක එනකොට මෙදාපර කොහොමහරි මලක ෆොටෝ කෑල්ලක් ගන්නවමයි කියලා හිතාගෙන හිටියත් වැඩ ඇරිලා ගෙදර ආවට පස්සේ අමතක උනා. උදේ වැඩට යනකොට තමා කලින් දා රෑ පිපිච්ච කඩුපුල් මල දැක්කේ. ඉතින් දැක්ක හැටියෙම පින්තූර ගත්තා. ඔය ඉහලින් තියෙන්නේ ඒ මල් !
මීට කලින් මං දුටු සතුටු මල් ගැනත් කිව්වා මතකනේ !
දැං බලයි මොකට කඩුපුල් මල් ගැන ලිව්වද කියලා. මම හිටෝපු මල් පැලේ මලක් ආවම සතුටු මට නේ !
දිනමිණ පත්තරෙත් කඩුපුල් මල් ගැන ලිපියක් තියෙනවා දැක්කා. මේ තියෙන්නේ ඒ ලිපිය.
22 July 2012
ජෑම් ගොරකා
මතකනේ එක වතාවක් අපේ අප්පච්චි ස්ටෝබෙරි වැවුවා. අන්න ඒ වගේ උන්දෑ එක වතාවක් බූල් ලොවේ ගහක් ගෙනත් පැල කලා. බූල් ලොවි අනිත් ලොවි වලින් වෙන් වෙන්නේ මේවායේ පොත්තේ බුල් ගතියක් තියෙන එකයි මදේ කහපාට ගතියක් තියෙන එක විතරයි. ඇඹුල් ගතිය නම් කියලා වැඩක් නෑ. මේ මතක් වෙනකොටත් මුළු ඇඟම හිරි වැටෙනවා !!!
අද කියන්න යන්නේ බූල් ලොවි ගැන නෙමෙයි. ඒ වගේ පලතුරක් ! ඒ තමා ජෑම් ගොරකා !
ජෑම් ගොරකා ???
ඔවු. ජෑම් ගොරකා තමා. ජෑම් ගොරකා ගෙඩි හරියට අපි අර හොද්දට දාන ගොරකා වගේ හැඩයක් ගන්නවා. නමුත් ඒ ගොරකා වලට වඩා ගෙඩි පොඩියි. ගෙඩි ඉදුනම තැඹිලි පාටත් රතු පාටත් අතර පාටක් ගන්නවා. ටිකක් විතර ඇඹුලයි !
ඔය ඇඹුල් ගතිය නිසා මම නම් ජෑම් ගොරකා කන්න ආස නෑ. එක ගෙඩියක් කෑවම ඊලඟ ගෙඩිය කන්න එපා වෙනවා. නමුත් අපි ඇඹුලයි කියලා අහක දැම්මට බබාල හම්බෙන්න ඉන්න බවලත් උදවිය ජෑම් ගොරකා ගැට හිටන් හූරගෙන ගිහින් කනවා.
උන්දලා ජෑම් ගොරකා කනවා බලන් හිටියත් ඇඟ හිරි වැටෙනවා. ඒ කාලෙට කට්ටියට ඇඹුලක් දැනෙන්නේ නැතුවැති. ඒවා ඉතින් බබාලා හම්බ උන කට්ටියගෙන්ම තමා අහන්න ඕනා. :)
කට්ටියම දැන් අහයි කෝ ජෑම් ගොරකා වල ෆොටෝ එකක් නැද්ද කියලා. ඔන්න මම් පහලින් පින්තූර කෑලි දෙකක් දැම්මා බලන්ඩ !
අපි මේවට ජෑම් ගොරකා කියලා කිව්වට එක එක පැතිවල එක එක නම් පාවිච්චි කරනවා ඇති. මේ කාලෙට ජෑම් ගොරකා අවාරේ. සමහර කාල වලට ගහ වටේට බලුප් පත්තු කලා වගේ ලස්සනේ බෑ.
------------------------------------------------------
ප.ලි.- අන්තර්ජාලය පීරලා බැළුවත් මේවෑ විස්තර ටිකක් හොයාගන්ඩ බැරි උනා.
24 March 2012
ස්ට්‍රෝබෙරි
මේ තියෙන්නේ මල්
මේ තියෙන්නේ ස්ටෝබෙරි පැළේ
05 October 2011
ලොකාට්
04 July 2011
මල් හිටවන අයට උපදෙස්
මම අද පාඩමෙන් කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ අඩු වියදමකින් වටිනා මල් පැළ ලබා ගන්න විදිහයි. සමහරු නානාප්‍රකාර මල් පැළ ජාති වලට අස්ප ගනන් වියදම් කරනවා. මගේ ක්‍රමය අනුගමනය කලාම ඒ මුදල ඉතුරු කරගන්න පුලුවන්.ක්‍රමය මේකයි.
ඔය ගොඩක් මල් පැළ ජාති කඩෙන් ගෙනත් පැළකලාම පැලවෙන්නේ එහෙමත් එකක් විතරයි. ඒ කියන්නේ පැලවෙන ප්‍රතිශතය ගොඩක්ම අඩුයි. මල් උනත් එන්නේ කඩෙන් ගෙනාපු ගමන් විතරයි. ඊට පස්සේ එක මලක්වත් එන්නේ නෑ.නිකන් සාත්තු කරනවා විතරයි.කරන්න තියෙන්නේ මල් හිටවන්න ආස යාලුවන්ගේ ගෙවල් වලට යන්න. ගිහින් එයාලත් එක්ක ටිකක් කතා කරන්න. එලිමහනේ මිදුලේ කතා කරනවනම් වඩාත්ම හොදයි. තමන් ආස කරන මල් පැළයක් එහෙම දැක්කොත් කර කර හිටපු කතාව වෙනස් කරලා මල් ගැන කතා කරන්න පටන් ගන්න.
කොහොමහරි තමන් අස කරන මල් පැලය වර්ණනා කරන්න.තමනුත් මල් හිටවන බව ඒ අයට අගවන්න. සමහර විට මේ මල්ගහෙන් අතු කෑල්ලක් දෙන්න හිතේවි. එහෙම හිතෙන්නේ නැති යකඩ හිතක් නම්, මේ මල් පැලය පැලවෙන ක්‍රම ගැන අහන්න. ඊට පස්සේ අදාල යාලුවාව වතුර එකක් ගේන්න කියලා හරි ගේ ඇතුලට යවලා අර මල් පැලෙන් කෑල්ලක් කඩාගෙන තමන්ගේ බෑග් එකට දාගන්න. මේ සදහා ගෑනු අයගේ 64 මායම් ප්‍රයෝජනයට ගන්න.
තමන් ආස කරන මල් පැළය තියෙන ගෙදර අය උදේට වැඩට යනවා නම්, දවල් වරුවක වත්තට හොරෙන්ම පැනලා ගහ පිටින්ම උගුල්ලලා අරගෙන එන්න. තමන්ට රෙද්දක් ඇඳගෙන ඒ වැඩේ කරන්න අමාරුම නම් ගමේ ඉන්න නන්නත්තාරේ යන කොල්ලෙක්ට රුපියල් 20ක මුදලක් ගෙවා ඒ වැඩේ කරවගන්න.
තමන් ආස කරන මල් පැළ ටික වැටට හිටවලා තියෙනවනම්, යක්කු එලි බහින ගොම්මන් වෙලාවක කාටවත් නොපෙනෙන්නම ගිහින් ගහේ අතු ටික කපාගෙන එන්න. මේ සදහා තමන්ගේ ස්වාමි පුරුෂයන්ගේ සහය ලබා ගන්න. මේ වැඩේට තම ස්වාමි පුරුශයා අකැමති නම් "තෝ හෙට කඩෙන් කාපිය !!!!!! මම හෙට කෑම එක දෙන්නේ නෑ !!!!" කියලා තර්ජනය කරන්න. වැඩේ සුටුස් ගාලා කරලා දෙයි.
මේ ක්‍රම සියල්ලම සාර්ථකව අත්හදා බලා ඇති බැවින් සාර්ථකත්වය පිලිබද කිසිදු සැකයක් තබා නොගන්න.
-------------------------------------------------------------------------------------
ප.ලි. - මෙහෙම ලබා ගන්නා මල් පැළ ටික සිටවිය යුතු ආකාරය ඊලඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න.ඊලඟ ලිපිය ලියන තෙක් මල් පැළ ටික වියලී යාමෙන් වලක්වා ගැනීමට වතුර බේසමක ගිල්වා තබන්න.
02 July 2011
දුටු සතුටු මල් දැකලා තියෙනවද ?
දුටු සතුටු කියලා කියන්නේ කාලයකට පිපෙන ටිකක් විතර දුර්ලභ මල් ජාතියක්. මේ මල් ජාතිය පිපෙන්න වාරයක් කියලා නෑ. ඒ කියන්නේ මේ අවුරුද්දේ මල් පිපුනොත් ආයේ කොයි අවුරුද්දේ මල් පිපෙයි ද කියලා දන්නේ නෑ.
සමහරවිට ඊලඟ අවුරුද්දේ පිපෙන්න පුලුවන් එහෙමත් නැත්නම් අවුරුදු දෙකකින් තුනකින් විතර තමා ආයෙම මල් පිපෙන්නේ. මේ මල් ජාතියට මේ නම වැටිලා තියෙන්නේ මේ මල් දැක්කම සතුටු හිතෙනවා කියන හේතුව නිසා. නමුත් අපේ අම්මට නම් මේ මල් පැළය දැක්කම දුකක් හිතෙන්නේ. ඒ කොච්චරවත් සාත්තු කලාට මල් අඩුවෙන් පිපෙන හන්දා.
මේ මල් පැලයේ මල් පිපෙන්නේ එක පොකුරයි. ඒකේ මල් තුන හතරක් විතර තියෙනවා. වරකට පිපෙන්නේ එක මලයි තව විශේශයක් තියෙනවා. ඒක තමයි මේ මලක් ලඟට මෝල් ගස් දෙකක් දෙපැත්තෙන් ඇල්ලුවාම ඒ මෝල් ගස් දෙක එකිනෙකට ලං වෙනවා.
මෝල් ගස් දෙක ලාවට අල්ලගෙන කෙලවරවල් දෙක මල ලඟට ලං කලාම ඉබේම ඒ කෙලවරවල් දෙක ලං වෙනවා.
ඒකට හේතු වෙන්නේ ස්ථිති විද්‍යුතය කියලා තමයි සමහර අය කියන්නේ. ඒ ගැන නම් වැඩිය දන්නේ නෑ.
පහලින් තියෙන්නේ අපේ ගෙදර මල් ගහේ පිපිච්ච දුටු සතුටු මල් වල පින්තූර. පින්තූර ගත්තේ එච්චර හොද කැමරාවකින් නෙමේ හින්දා ෆෝටෝ එච්චර කොලිටි නෑ.








