31 December 2013

ගතවුනු අවුරුද්ද ගැන...

අද මේ අවුරුද්දේ අන්තිම දවස !

ඒ හන්දමද මන්දා අද අපේ කන්තෝරුව සෑහෙන පාලුවට ගිහින් එක තට්ටුවකට ඉන්නේ කීප දෙනයි. මගේ කණ්ඩායමටම මම විතරයි ඉන්නේ. අනිත් අය නිවාඩු ගිහිං. මටත් නිවාඩු ඉතුරු වෙලා තිබුනා නං මාත් අද ගෙදර !

මගේ බස් සගයා කියන විදිහට අද වගේ දවසක් උදා නොවෙනවා නං හොඳයි ලූ. ඒකට හේතුව විදිහට කියන්නේ අවුරුද්දේ අවසානයයි මාසයේ අවසානයයි දෙකම එකට එන හන්දා හුස්ම ගන්ඩ බැරි තරමටම වැඩ තියෙන දවසක් හන්දා ලූ.

මට නං ඒකේ අනිත් පැත්ත ! අද මට වැඩ නැතිම දවසක් !

මේ අවුරුද්ද පටන් ගන්න කොට නං වැඩිය ලොකුවට බලාපොරොත්තු තිබුනේ නෑ.

අළුතෙන් මොනවහරි ඉගෙන ගන්න හිතුනත් ආයේ පාඩම් කරන්න ලෙක්චර් යන්න ඕන කියලා මතක් වෙනකොට මහා කම්මැලිකමක් හිතෙනවා. ඒ නිසා ඉගෙන ගන්න එක නවත්තලා දැම්මා. නැවත්තුවා කිව්වට එහෙම් පිටින්ම නවත්තලා දැම්මේ නෑ.

පොඩි කෝස් එකකුත් කලා !

ඒ වගේම මේ අවුරුද්දේ  සෑහෙන කාළයක් බ්ලොග් එක දිහා හැරිලවත් බැලුවේ නැති නිසා ඒ කාළය පුරාම පොත් ගොඩක් කියෙව්වා. කොච්චර පොත් කියෙව්වද කියනවා නං මං පොඩි කබඩ් කෑල්ලකුත් ගත්තා පොත් ටික අහුරන්ඩ.

පොත් කියෙව්ව එකට අමතරව මං කරපු අනිත් දේ තමා පොඩි පොඩි ට්‍රිප් ගියපු එක. ඒකත් ජොලි වැඩේ.  අපේ අප්පච්චි උපන්තේකට නොගිහින් තිඋනු සත්තු වත්ත බලන්ඩ එක්කං ගියෙත් මේ අවුරුද්දේ. උන්දෑ නං සෑහෙන ආස උනා ඒ ගමනට !

මේ අවුරුද්දේ සිදුවෙච්ච අනිත් සුවිශේෂිම වැඩේ තමා මට සුදුනෝනව මුන ගැහිච්ච එක ! ඒ ගැන විස්තර පසුවට කියන්නම්. සුදු නෝනා ගැන කියනවා නං හරි ශෝක් කෙලි පොඩ්ඩි !

ඔය විදිහට තමා මං මේ අවුරුද්ද ගත කලේ. දුක හිතෙන සිදුවීමුත් සිදු නොවුනාම නෙමේ. ඒ දේවල් මතක් කරලා ආයෙම හිත රිද්දගන්නේ මොකටද නෙහ්. ඒ නිසා ඒ ටික අමතක කරලා දානවා.

එහෙනං මං ගියාවේ ! අළුත් අවුරුද්දෙම හම්බ වෙමුකෝ !

29 December 2013

යාපහුවට ගිය ගමන

යාපහුවට යන ගමන මුලින්ම පටන් ගත්තේ මං අපේ නදී අක්කලාගේ ගෙදර ගිය දවසේ. එදා එයත් එක්ක ඇති වෙච්ච කතා බහේ දී අපි යාපහුවේ යන්න ඕන කියල හිතා ගත්තා. එයගේ යාළුවෙකුත් ඉන්නවා යාපහුව රජමහා විහාරය ලඟ. එයාවත් එකතු කරගෙන මේ ගමන යන්ඩයි අපි එදා කතා උනේ.

ඔය කතාවෙන් පස්සේ අද (29 වෙනිදා) යාපහුවේ ගමන යන්න දින දාගත්තා.

මාත් අපේ අම්මවයි මල්ලිවයි එක්ක යන්න හිතුවට මල්ලිට ඉස්පිරිතාලේ යන්න වෙච්ච නිසා එයා ආවේ නෑ. අම්මයි තව අපේ මල්ලිලා නංගිලා රොත්තකුත් එක්ක මේ ගමන යන්න සූදානම් උනා. ගමන සූදානම් උනාට මේ ගමනේ ප්‍රධාන සංවිධායිකාවට ඒ කියන්නේ අපේ නදී අක්කට එන්ඩ උනේ නෑ...

නමුත් එයා අපිට එයාගේ යාළුවාව ලෑස්ති කරලා දුන්නා ගමනේ මග පෙන්වන්නා විදිහට. ඒකත් ලොකු උදව්වක් !

යාපහුවට යන්න කෝච්චියෙන් ගිහින් මහවෙන් බහින්ඩ ඕන. ඊට පස්සේ මහව බස් නැවතුමෙන් ගල්ටැංවැව බස් එකෙන් යාපහුව පංසල ගාවටම ආවෑකි. කුරුණෑගල ඉදලා එනවා නං කුරුණෑගල මහව බස් එකේ ඇවිත් මහවෙන් බැහැලා ගල්ටැංවැව බස් එකේ යන්ඩ ඕන.

ඔන්න කතා කරගත්තු දවසේ ඒ කියන්නේ අද. උදේ 6.05ට තිබ්බ යාල් දේවියෙන් මහව ස්ටේශමට ආවා. ස්ටේශමට අපි එනකොට කියපු වෙලාවට වඩා පෑ බාගයක් ප්‍රමාද වෙලා. ලංකාවේ කෝච්චිනේ ඉතිං !

ඒ වෙනකොට අපේ මග පෙන්වන්නියත් ඇවිත් හිටියා.

එයත්තෙක්ක කතාවක් දාගෙන මහව බස් නැවතුමට ආවා. ඉරිඳා නිසා ද මන්දා ගල්ටැංවැව බස් එක තිබ්බේ නෑ. ඉතිං අපි ටික වෙලාවක් බස් ස්ටෑන්ඩ් එකේ තැග් ගැහි ගැහි ඉන්නකොට ඕං බස් එකක් ආවා. අපි බස් එකට නැග්ගට බස් එක යන්නේ තව පැයකට පස්සේ.

මොනා කරන්නද ඉතිං බස් එකේ නැගලා අපේ මග පෙන්වන්නියත්තෙක්ක පොඩි කතාවක් දාගෙන උන්නා. එයා වැඩ කරන්නෙත් අපේ නදී අක්කා වැඩ කරන කන්තෝරුවේමයි !

ඕං පැයකට පස්සේ බස් එක පිටත් උනා. බස් එක පිටත් වෙලා පෑ කාලක බස් ගමනකින් පස්සේ යාපහුව පන්සල ගාවින් බැහැගත්තා. අපි ඒ වෙනකොට උදේ කෑමත් නොකා හිටියේ. ආපු හැටියෙම කලේ අපි ගෙනාපු සීනි සම්බෝලයි පානුයි අපේ මග පෙන්වන්නියටත් දීලා අපිත් කෑවා. බඩිගින්න වැඩිකමටද මන්දා ඒ සීනි සම්බෝලයයි පානුයි සෑහෙන රසක් තිබ්බා ! :)

උදේ කෑම කාලා ඉවර උනාට පස්සේ අපි කන්ද නගින්ඩ පටං ගත්තා. මේ තියෙන්නේ කන්ද නගින්ඩ පටන් ගත්තු තැන.

ඔය පඩි පෙල් ටික නැගගෙන එනකොට  යාපහුවට ප්‍රසිද්ධ යාපහුවේ සිංහයා උන්නා. මේ ඉන්නේ ඔය කියන සිංහයා. රුපියල් දහයේ නෝට්ටුවෙත් ඉන්නේ ඔය සිංහයාලුනේ... :)


මේං මේ වාගේ පඩි පෙලක් තමා කන්ද නගින්ඩ තියෙන්නේ.. මම් ඉස්කෝලෙන් එන දවස්වල මෙච්චර හොඳ පඩි පෙලක් තිබුනේ නෑ. ගස් ගල් වල එල්ලි එල්ලි කන්ද නැග්ගේ. දැං නං මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් පඩිපෙල් හදලයි කියලා අපේ මගපෙන්වන්නිය පැහැදිලි කලා.


කන්ද නගිනකොට වටාපිටාව පෙන්නේ මෙහෙමයි. ඔය ලඟින්ම තියෙන කන්දේ ඉදලා යාපහුව කන්දට උමගක් තියෙනවලූ. ඒකත් කිව්වේ අපේ මගපෙන්වන්නිය !


මේකත් කන්දට පෙනෙන දර්ශනයක් !


කන්ද නගින අතරෙදි අපි දැකපු පොකුණක් තමයි මේ.


මේ තව ටිකක් දුරට කන්ද නැග්ගහම තියෙන ගුහාවක්...


අමාරුවෙන් අමාරුවෙන් කන්ද මුදුනට නැග්ගහම මුලින්ම හමු වෙන්නේ මේ තියෙන ගරා වැටුනු චෛත්‍යය රාජයා. මේ චෛත්‍යය ඒ දවස්වල ලස්සනට තියෙන්ඩ ඇති...


මේකත් ගරා වැටුනු සෑයක් මයේ හිතේ...


කන්ද උඩට නැග්ගහම අපි කන්ද නගින්ඩ පටන් ගත්තු තැන පේන්නේ මෙන්න මෙහෙම..


 කන්ද නැගලා බහිනකොට සෑහෙන මහන්සියි. ඒ වගේම බඩගිනියි.අපේ මගපෙන්වන්නිය අපට කෑම ගෙනත් තිබුන නිසා හාවක් හූවක් නැතුව ඒ කෑම ටික රසවින්දා !

කෑම කාලා නෙල්ලි ගස් හෙවනේ ටික වෙලාවක් ඉදලා අපි විහාරය පැත්තට ගියා. මේ තියෙන්නේ විහාරගෙයි ඉදිරිපස පෙනුම.


මේ තියෙන්නේ විහාරගෙයි ඇතුලත දර්ශන කිහිපයක් !



විහාරෙත් වැඳපුදාගෙන අපි ගෙදර එන්න බස් එකට නැග්ගා.බස් එකෙන් මහවට ඇවිත් පුරුදු විදිහට කෝච්චියේ එල්ලුනා. ගෙදර එනකොට හය හමාර පහු වෙලා !

අද දවසත් සතුටින් ගත කලා කියන සිතුවිල්ලෙන් ඉන්න ගමන් මේ පොස්ට් එක ලිව්වා... !

අපේ මග පෙන්වන්නියටයි නදී අක්කටයි ස්තූතියි. ! ඒත් අපේ නදී අක්කට එන්ඩ උනේ නැති එක නිසා පොඩි දුකකුත් හිතේ නැතුවාම නෙමෙයි... !

27 December 2013

ආනවිලුන්දා අභය භූමියට ගිය ගමන

පහුගිය සතියේ සෙනසුරාදා මට බ්ලොග් බීච් පාර්ටියට එන්ඩ උනේ නෑ. ඒකට හේතුව උනේ මම අපේ යාළුවෙක්ට උන්දෑ ගෙදර එනවයි කියලා කලිං ඉදලම පොරොන්දු වෙලා උන්නේ.. දෙයක් පොරොන්දු උනා නං ඒක ඉටු කරන්ඩ එපැයි.. ඒ නිසාම උන්දෑ ගෙදර ගියා.

යාළුවා ඉන්නේ ආනවිලුන්ඩාවේ !

ආනවිලුන්ඩාව තියෙන්නේ පුත්තලම් කොළඹ පාරේ බංගදෙනියයි බත්තුළුඔයයි අතර මැදක. ඔන්න ඉතිං කියපු දවසේ උදේ අටට තිබ්බ පුත්තලම් කෝච්චියට නැග්ගා ආනවිලුන්දාවට යන්ඩ. පුත්තලම් යනවා නං කෝච්චියක යනවට වඩා බස් එකක යන එක හොඳයි.. බස් එකේ පෑ දෙකක විතර ගමනට කෝච්චියෙන් ගියොත් පෑ 4ක් විතර යනවා.

ඒත් ඉතිං කෝච්චියේ යන එක ජොලි වැඩක් නිසා කෝච්චියට නැග්ගා... මං හලාවතට එනකොට උදේ 11.45ත් පහු වෙලා. හලාවතට ආ හැටියෙම මගේ කැමරාව ඔන් කර ගත්තා කලපුවේ ෆොටෝ ටිකක් ගන්ඩ. එතකොටම මුතු කුමාරි කෝච්චිය නවත්තලා. ඒ නිසා ෆොටෝ ගහන්ඩ උනේ නෑ.


ඔය තියෙන්නේ හලාවත ස්ටේශමේ නවත්තලා තිබුනු මුතු කුමාරිය !

ඒත් ඉතිං මං වැඩේ අතෑරියේ නෑ.. කෝච්චිය ඉවර වෙච්ච හැටියෙම කලපුවේ ෆොටෝ දෙක තුනක් ගහ ගත්තා. ඔය පහලින් තියෙන්නේ එහෙම ගත්තු පින්තූරයක්.


ඔන්න ඉතිං ආනවිලුන්ඩාවට ආවයි කියමුකෝ. ආ හැටියෙම දවල් කෑම කාලා ආනවිලුන්දා අභය භූමිය පැත්තෙත් ගියා. හිතපු තරම් ලොකු අභයභූමියක් නෙමේ.. කෝච්චියෙන් බැහැපු ගමන්ම තියෙන පාරේ ගියහම තමා ආනවිලුන්ඩාව අභය භූමියට යන්ඩ තියෙන්නේ.

ඔය ඉහලින් තියෙන්නේ ආනවිලුන්දා අභය භූමියට ඇතුල් වෙන තැනම තිබ්බ නාම පුවරුව.

මේක අන්තර්ජාතික රැම්සා තෙත් බිමක්.. ආනවිලුන්ඩාව අභය භූමියේ වැව් කීපයක්ම තියෙනවා. නමුත් මම ගිය දවසේ ආනවිලුන්ඩාව වැවේ විතරමයි වතුර ටිකක් හරි තිබුනේ.. අනිත් වැව් ටික හිඳිලා. ඒ නිසා ඒ පැත්තේ තිබ්බ කුඹුරු ටික ගොවිතැන් කරන්නේ නැතුව අතෑරලා දාලා. පුරන් වෙලා !

පහලින් තිබ්බ පාරේ තමා අභය භූමිය බලන්න ගියේ...


පහලින් තියෙන්නේ හිදීගිය මයියාව වැවේ දර්ශනයක්.

මයියාව වැවේ වතුර තිබුනු කොටසේ දර්ශනයක්.
පහලින් තියෙන්නේ සුරුවිල වැව පැත්තට යන ගමනේදි ගත්තු පින්තූරයක්.
(අනිත් වැවු ටික තමා පින්කට්ටිය,ඉරක්කවල, වැල්ලවල, ඉහලවැව,සුරුවිල,මරදන්සල සහ මයියාව. ඕකෙන් සුරුවිල වැවටයි මයියාව වැවටයි යා ගත්තා.)

පෑ කිහිපයක් ආනවිලුන්ඩාව අභය භූමියේ ගත කරලා මමයි මගේ යාළුවයි ගියා මුතු පන්තිය පැත්තේ !
මුතු පන්තිය කියන්නේ හලාවත මූදු තීරයට. ඒකත් ලස්සන මුහුදු තීරයක්. මුහුදු තීරයේ ටික වෙලාවක් ගත කරලා ඊට පස්සේ හවස 5.38ට තිබ්බ කෝච්චියට නැග්ගා ආපහු එඩේරමුල්ල පැත්තට එන්ඩ !

එඩේරමුල්ලෙන් බහිනකොට රෑ 9.30යි. ගෙදර එනකොට රෑ දහයයි !

ගානට ඇඳට වැටෙන වෙලාවට ගෙදර ආවා. ඊට පස්සේ ඇඟපත හෝදගෙන මගදි ගත්තු කෑම එකෙන් ටිකක් කාලා නින්දට වැටුනා !

ඔන්න ඔහොමයි මගේ දවස ගෙවුනේ !

--------------------------------------------------------------------
ප.ලි. - ගොඩක් පින්තූරු තියෙනවා. අපොයි සුපියල් පහ වෙන නිසා දැම්මේ නෑ.. :)

24 December 2013

සුබ නත්තලක් වේවා !

නත්තල ලබන්න තව තියෙන්නේ පැය කිහිපයක් විතරයි.. ඉතිං ඒ හන්දම නත්තල් සමරන අපේ බ්ලොග් ලියන හිතවතුන්ටයි බ්ලොග් පාඨකයින්ටයි සුබ නත්තලක් පතන්න ඕන කියලා හිතුනා. ඒ නිසාමයි මේ පෝස්ට් එක ක්ෂණිකව ලියන්නේ... !

ගිය වතාවේ නං නත්තල් කාඩ් එහෙකුත් හැදුවා.. මේ වතාවේ නං කාඩ් එකක් හදන්න උනේ නෑ.. 
 එහෙනං,


සියළුමදෙනාට ලබන්නාවු නත්තල සාමය සතුට සපිරි සුබම සුබ නත්තලක් වේවායි පතන්නෙමි !

මං එහෙනං යන්ඩ කියලා.. අද උදේ හිටං එහාට්ට මෙහාට්ට දුව දුව ඉදලා  හරි මහන්සියි.. කකුල් දෙකත් කකියනවා.. !!

----------------------------------------------------------------------
ප.ලි. - හෙට ලැබෙන නත්තල් කෑම බීම මතක් වෙනකොට අද නින්ද යාවිද මන්දා.. :)

23 December 2013

සිත්තරාගේ බිරිඳ

නත්තල හන්දා මේ සතිය ම මට නිවාඩු.. ඒ නිසා නිවාඩුවේ කියවන්න හොඳ පොත් ටිකක් ගත්තා. පොත් කිව්වහම තමා මතක් වෙන්නේ අපේ මල්ලි යාළු වෙලා ඉන්න ගෑල්ලමයගේ මාමණ්ඩියත් පොත් කාවෙක්.. කාවෙක් විතරක් නෙමේ ලේඛකයෙක් !

උන්දෑ කෙටි කතා පොතක් ලියලා සිත්තරාගේ බිරිඳ කියලා.මටත් ඔයින් කොපියක් දුන්නා කතු තුමාගේ තිළිණයක් විදිහට.. මාත් ඉතින් ආසාවෙන් කියෙව්වා. ඇත්තටම පොත හොඳයි...

මේ ලඟදි මට මලයගේ මාමණ්ඩියව හම්බ උනා. ඒ වෙලේ ඔය පොත ගැනත් කතා උනා.

"මාමේ, මං ඔයා ලියපු පොත කියෙව්වා.. "

 "කොහොමද පොත ගැන අදහස් ?" මාමා මගෙන් ඇහුවා.

"වරදක් නෑ.. ලස්සන කෙටි කතා ටිකක්... ඒ උනාට සිත්තරාගේ බිරිඳ කියන කතාව ලස්සන නෑ.. ඒ ඇරෙන්න අනිත් ටික ලස්සනයි."

ඕං ඔහොම කිව්වා විතරයි උන්දෑ මූන වහින්න ලං වෙච්ච අහසක් වාගේ කළු උනා. මල්ලිත් මට මුකුත් නොකියා බිම් බලාගෙන හිටියා. මං ඉතිං වරදක් කිව්වේ නෑ නේ... මං කිව්වේ මගේ අදහස් නේ.

ඔහොම පොත් ගැන කතා වෙවී ඉදලා ගෙදර ගියයි කියමුකෝ.

"මොකෝ බං අයියේ පොත ගැන අරෙහෙම කිව්වේ ?" අපේ මලයා මගෙන් ඇහුවා.

"නෑ ඉතිං මට හිතුන දේනේ කිව්වේ.. මගේ අදහස් නේ.. ඉතිං හම්බ වෙච්ච වෙලේ මූණටම කිව්වා."

"යකෝ... ඒක ඒ මනුස්සයාගේ ජීවිත කතාව... ඒකයි අරහෙම අප්සෙට් උනේ !"

"හුටා !  ඉතිං කවුද බං ඕවා දන්නේ..."

දැං ඉතිං උන්දෑ ලියන ඊලඟ පොත තිළියක් විදිහට ලැබෙනවා බොරු ! පාඨක අදහස් වලට ලේඛකයා මෙච්චර උරණ වෙනවයි කියලා දන්නේ අදනේ.
මාත් කර ගන්න විනාස !

19 December 2013

ඔතෙලෝ සිංඩ්‍රෝමය

ඔතෙලෝ කියන්නේ වැනීසියේ හමුදාවේ හිටපු දක්ෂ ජෙනරාල් කෙනෙක්. මේ ජෙනරාල්ගේ දකුණු අත වගේ සගයෙක් උන්නා ඉයාගෝ කියලා. ඔතෙලෝ වැනීසියේ හමුදා මෙහෙයුමේ වැඩකටයුතු කරගෙන ඉන්නකොට ඒ සේවයේම හිටපු මයිකල් කාසියෝ කියලා ආධුනික හමුදා සෙබලෙක්ව ලෙෆ්ටිනන් තනතුර දක්වා උසස් කරනවා..

මේ ආධුනික සෙබලාගේ තනතුරු උසස් කිරීම ඉයාගෝගේ ප්‍රසාදයට ලක් වෙන්නේ නෑ.. ඔහුට ඊර්ෂ්‍යාවක් හට ගන්නවා.. තමන්ට වඩා ආධුනික සෙබලෙක්ගේ තනතුර හිටපු ගමන්ම උසස් වෙන එක ගැන. මේ නිසා ඉයාගෝ, ඔතෙලෝගෙන් පලි ගන්න මාන බලමිනුයි ඉන්නේ...

ඉයාගෝ දිවා රෑ මහන්සි වෙනවා ඔතෙලෝගෙන් පලිගන්න සැලැස්මක් හදන්න ! අන්තිමේදි ඉයාගෝ තමන්ගේ සැලැස්ම ක්‍රියාත්මක කරනවා...

තව පොඩ්ඩෙං කියන්ඩ අමතක වෙනවා... ඔතෙලෝ කියන දක්ෂ ජනරාල්වරයාට පණ වගේ ආදරෙ කරන බිරින්ඳෑ කෙනෙක් ඉනවා ඩෙස්ඩිමෝනා කියලා... තමන්ගේ පණටත් වඩා ඩෙස්ඩිමෝනා මේ ජෙනරාල්වරයාට ආදරෙයි.. මේ දෙන්නා ආදරේ කරන දවස්වලට ඩෙස්ඩිමෝනාගේ තාත්තා මේ ආදරේට කැමති වෙන්නේ නෑ.. ඒ නිසා ඩෙස්ඩිමෝනා තමන්ගේ තනි කැමැත්තට තමයි මේ ජනරාල්වරයාත් එක්ක විවහා වෙන්නේ..

ඉයාගෝගේ සැලැස්ම ක්‍රියාත්මක වෙන්නේ ඩෙස්ඩිමෝනා හරහා... ඒ සැලැස්ම මෙහෙමයි.ඩෙස්ඩිමෝනාත් කාසියෝත් අතර සම්බන්දයක් තියෙනවයි කියලා ඇඟවෙන්න ඩෙස්ඩිමෝනාගේ ලේන්සුවක් අරගෙන ඇවිත් කාටත් නොදැනෙන්න ලෙෆ්ටිනන් කාසියෝගේ කාමරේ ඇතුලෙන් තියනවා.මේ ලේන්සුව ගෙනත් දෙන්නේ ඉයාගෝගේ බිරිඳ එමිලි ! ඒ ඉයාගෝගේ ඉල්ලීමක් නිසා...

දවසක් ඔතෙලෝ මේ ලෙෆ්ටිනන්වරයාගේ කාමරේට එනකොට මේ ලේන්සුව දකිනවා. ඊට පස්සේ ඒ ලේන්සුව තමන්ගේ බිරිඳගේ ලේන්සුව බවත් අඳුනගන්නවා.මේ ලේන්සුව තමා ඔතෙලෝ තමන්ගේ බිරිඳට දීපු මුල්ම තෑග්ග !

තමන්ගේ බිරිඳ මේ ලෙෆ්ටිනන්වරයාත් එක්ක නිදිවදිනවයි කියලා ඔතෙලෝ හිතනවා. ඔහු තුල ඊර්ෂ්‍යාවක් හට ගන්නවා.. ! ලිංගික ඊර්ෂ්‍යාවක් !

මේ ඊර්ෂ්‍යාව කොච්චර ප්‍රබලද කියනවා නම් ඔහු තීරණය කරනවා තමන්ට පණ වාගේ ආදරේ කරපු බිරිඳව මරන්න ! ඒත් එක්කම ඉයාගෝගෙන් ඉල්ලා සිටිනවා කාසියෝව මරන්න.

ඔතෙලෝ තමන්ගේ බිරිඳ නිදාගෙන ඉන්න යහනට ඇවිත්, නිදි යහනෙදිම ඇගේ ගෙල සිරකිරීමකිනුයි මරන්නේ. තමන්ගේ හිතේ ඇති වෙච්ච ඊර්ෂ්‍යාවකින් තමන්ට පණ වාගේ ආදරේ කරපු බිරිඳව මරා දමන්න තරම් ඔතෙලෝ සහාසික වෙනවා !

ඊට පස්සේ ඉයාගෝගේ බිරිඳ එමිලි ඔතෙලෝ ලඟට ඇවිත් ඇත්තම කාරණය පැහැදිලි කරනවා. ඒත් එක්කම ඒ ලේන්සුව ගෙනාවේ තමන්ගේ ස්වාමිපුරුෂයාගේ ඉල්ලීමක් නිසාවෙන් බවත් ඔතෙලෝට පැහැදිලි කරනවා. ඒ මොහොතේ ඔතෙලෝගේ හිතේ ලොකු ශෝකයක් හට ගන්නවා.එතකොට වෙන්න ඕන හරිය වෙලා ඉවරයි !

ඔතෙලෝ සියදිවි නසා ගන්නවා !

ඕක තමයි ලෝක පූජිත විලියම් ෂේක්ශ්පියර්ගේ ඔතෙලෝ නාට්‍යයේ එන කතාව කෙටියෙන් ! ඔය නාට්‍යය වේදිකාවෙන් එලියට එනවා... ඇවිත් අපි අතර ජීවත් වෙනවා... ඒ එන්නේ ඔතෙලෝ සිංඩ්‍රෝමය විදිහට !

ඔතෙලෝ සිංඩ්‍රෝමය කියන්නේ  තමන්ගේ ස්වාමිපුරුෂයා හෝ බිරිඳ වෙන කෙනෙක්ට ආදරේ කරනවා හෝ වෙන කෙනෙක් එක්ක සම්බන්ධතාවයක් පවත්වනවයි කියලා හිතෙන එකට.  මේ සිංඩ්‍රෝමය මෝබිඩ් ජෙලසි කියලාත් හඳුන්වනවා !

මේ සිංඩ්‍රෝමය තියෙන කෙනෙක් හැම වෙලේම තමන්ගේ සහකරු හෝ සහකාරිය කෙරෙහි ඉන්නේ සැකයකිනුයි අවිස්වාසයකිනුයි.. ඒක ඒ තරම් හොඳ මානසික මට්ටමක් නෙමේ !

නිරන්තරයෙන්ම තම සහකරුට හෝ සහකාරියට චෝදනාකිරීම,  නිතරම තම සහකරුගේ හෝ සහකාරියගේ විශ්වාසවන්තබාවය පරික්ෂා කිරීම වගේදේවල් තමා මෙම සිංඩ්‍රෝමයේ රෝග ලක්ෂණ !

මේ රෝගයට ගොදුරු වෙච්ච අය සියදිවි නසා ගැනීමට පෙළබීම තමා මේ රෝගී තත්වයේ භයානකම ලක්ෂණය !

ඔය අන්තිම ටික අපේ මලයා පැහැදිලි කලහම තමා මට මේ සිංඩ්‍රෝමයේ නිධාන කතාවත් එක්ක ලියන්න හිතුනේ... අන්තිමේදි මට හිතුනේ සැකය අවිස්වාසය කියන දේ කොයි තරම් සමාජයට හානියක් කරනවාද කියලා...

එහෙනං මං ගිහින් එන්නම්.. සුබ දවසක් !

---------------------------------------------------------------------
ප.ලි. - මෝබිඩ් ජෙලසි  (Morbid Jealousy) ගැන තවදුරටත් කියවන්න ඕන නම් මෙන්න විකිපීඩියා සබැඳිය... 

16 December 2013

රාගම ගවලෙන් තරඟය

පහුගිය ඉරිදා නිවාඩු දවසේ.. කොහේ හරි ඇවිදින්න කියලා සූදානම් වෙලාහිටියේ. ගෑල්ලමයට එන්ඩ කිව්වේ රාගමට. මම රාගමට ඇවිත් කෝල් එකක් දුන්නා. ඕං එතකොට හීනි හඬින් කියපු "අනේ මම එනකොට තව ටිකක් වෙලා යයි" කියලා.

මං දන්නවනේ එයාගේ "ටික වෙලාව" !

මං උන්දෑ එනකන්  රාගම බස් හෝල්ට් එකේ ඉන්නකොට තමා දැක්කේ රාගම පල්ලියේ තිබ්බ ගවලෙන් තරඟය !

අරුන්දෑ කීයට ඒවිද කියලා දන්නේ නැති නිසා ගොඩ උනා ගවලෙන් තරඟය බලන්න. බස් හෝල්ට් එකේ බලාගෙන හිටපු කාලේ ප්‍රයෝජනවත් දේකට යෙදෙව්වා කියලා හිත හිත උන්නා.

පහලින් තියෙන්නේ ඒ තරඟයේ පින්තූරු !



නංගි බබෙකුත් පින්තූරෙට අහුවෙලා.. :O

මේ තියෙන්නේ අන්තිම පින්තූරේ


තව ගොඩක් පින්තූර තියෙනවා. අයියෝ සුපියල් පහ වෙන නිසා අප්ලෝඩ් කලේ නෑ...
රාගම කිට්ටුව ඉන්නවා නං ගිහින් බලන්ඩ ලා ! :)

08 December 2013

ඉස්කෝලෙට පාලමක්

සෙනසුරාදා දවසේ හැන්දෑවරුවේ නිවාඩු පාඩුවේ ඉන්නකොට නිකමට වගේ හිතුනා රෑට කඩේකින් කෑම එකක් ගෙනත් කෑවොත් හොඳා කියලා. හැමදාම නැතත් ඉදලා හිටලා හරි කඩේකින් කෑම කන එකෙත් පොඩි ගතියක් තියෙනවා. ඒ නිසා හවස් අතේ හන්දියට ගිහින් ආවා. ගිහින් එනකොට මාමා අපේ ගෙදර ඇවිදින් !

මුන්දෑ මූඩ් එකත් එච්චර හොඳ මට්ටමක නෑ....

මං ගෙට ගොඩ වෙනකොටම,

"බලහං ලොකු එකෝ... මගේ පර්ස් එක බස් එකේදි වැටිලා..."

"කීයක් විතර තිබුනද ? "

"දෙදාස් ගානක් විතරයි තිබුනේ... ඒක නං කමන් නෑ.. මගේ අයිඩෙන්ටි කාඩ් එකයි... බැංකු කාඩ් එකයි ඔක්කොම තිබ්බේ පර්ස් එකේ.. ඒකයි ප්‍රශ්නේ !"

අයිඩෙන්ටිටි කාඩ් එක නැති උන එකට පොලිසියේ ඇන්ට්‍රියකුත් දාලා එන ගමන් අපේ දිහා ඇවිදින් තියෙන්නේ බැංකු කාඩ් එක නැති වෙච්ච එකට මොකෑ කරන්නේ කියල අහගන්ඩ. මං මගේ කාඩ් එක පිටිපස්සේ තිබුන ෆෝන් නම්බර් එකට කතා කරලා මාමෑ ගිනුම අත්හිටවලා දුන්නා.

හොඳ වෙලාවට කාඩ් එකෙන්  සල්ලි අරං තිබුනේ නෑ..හොඳම වැඩේ කියන්නේ කාඩ් එකයි කාඩ් එකේ රහස් අංකයයි එකම තැන දාලා..හොරාටත් හරිම ලේසියි !

ඊට පස්සේ මාමට තේරුං කරලා දුන්නා කවදාවත් කාඩ් එකයි රහස් අංකෙයි එක තැන තියන්ඩ එපා ය කියලා..කාඩ් එකේ වැඩේ ඉවර වෙලා කතාවක් දාගෙන උන්නා.

අපේ මාමා ගැන කිව්වොත් උන්දෑ ඉදිකිරීම් ආයතනයක මේසන් බාස් කෙනෙක්. මේ ලඟදි ඉදන් ඉස්කෝලෙක පාලමක් හදන වැඩවලට උන්දෑව අනුයුක්ත කරලයි ඉන්නේ. ඔය පාලම මේ ලඟදි පටං ගත්තට මොකෝ  ඒක මීට ගොඩ කාලෙකට කලින් කරන්න තිබ්බ වැඩක් ලූ.

ඔය පාලමට වෙලා තියෙන්නේ මේකයි.

එක වතාවක් ඇමතිතුමෙක් මේ ඉස්කෝලේ උත්සවේකට ඇවිල්ලා කරපු කතාවක කියලා තියෙනවා ඉස්කෝලේ ළමයින්ට පාර මාරු වෙන්ඩ පාලමක් හදා දෙනවයි කියලා.   එදා කතාවෙදි ඕක කියලා ගියා ගියාමයි ලූ ඊට පස්සේ ඒ ඇමතිතුමා නෙමේලූ ඒ පැත්ත පලාතටවත් ආවේ.

අවුරුද්දක් විතර ගියාට පස්සෙත් ඉස්කෝලේ උත්සවේකට ඒ ඇමතිතුමාටම එන්ඩයි කියලා. ඒ ආපු වෙලේක පිලිගැනීමේ උත්සවේ හිටපු කෙලි පැංචියෙක්ව වඩාගෙන... !

වඩා ගත්තට පස්සේ ඒ කෙලී ඇමතිතුමා දිහෑට හැරිලා,

"කෝ අංකල් ඔයා අපිට පාලමක් හදලා දෙනවා කිව්වට තාම හදලා දුන්නේ නෑනේ..  !"   කියලා කියලා.

දන්නවනේ ළමයින්ගේ කටවල් වල සද්දේ... වටේ පිටේ සේරෝමත් අහගෙන ඉදලා.ඇමතිතුමාගේ රෙදි නෑලූ... ඇමතිතුමා හිමිහිට මේ කෙලීව බිමින් තියලා, අදාල පාර්ශ්ව වලට කෝල් කරලා මේ වැඩේ කරලා ඉක්මනට කරලා දාන්න කියලා බල කරලා.

ඔහොමයිලූ කාලාන්තරයක් ඇදි ඇදී තිබ්බ පාලමේ වැඩ පටං ගැනුනේ..  ඊට පස්සේ ඉස්කෝලෙනුත් මේ පුංචි ගෑල්ලමයට හරි සැලකිලිලූ.

පාලමේ වැඩ ටිකත් මේ දවස්වල යස අගේට කෙරෙනවලු...!

05 December 2013

නිවාඩු දවසේ රඹුටන් ප්‍රශ්නයක්

අද මම නිවාඩු පාඩුවේ ගෙදර ඉන්න දවසක්... අවුරුද්දේ අන්තිම මාසය නිසාත් ඉතුරු කරගත්තු නිවාඩු ටිහිකුත් තිබුන නිසා අද නිවාඩුවක් දැම්මා. ඒ නිසා ටිකක් දවල් වෙනකන් නිදාගන්ඩ පුලුවං උනා. නිදියන එක තරං සැපතක් තියෙන එකක් යෑ..
(හැබැයි ඉතිං නිදියන්න කලින් ෆෝන් එක සයිලන්ට් දාන්න... නැත්නම් නිදියනවා බොරු. !)

ටිකක් විතර පරක්කු වෙලා ඇහැරිලා මූනකට හෝදගෙන උදේ කෑමත් කාලා ලෑස්ති උනේ මම කලින් දාක ගෙනාපු පොත කියවන්න. පොතේ නම තමා තුංමං හන්දිය... ඔවු ඔවු ඔවු... මහගම සේකර මහත්තයා ලියපු පොත තමා..මේ පොත මම මුලිංම කියෙව්වේ ඉස්කෝලේ පුස්තකාලෙන් අරගෙන. ඒ මතකයටම මම ආයෙමත් ඒ පොත ගත්තා.

පොත කියවන්න ඉස්සෙල්ලා ඊයේ දවසේ තිබ්බ දේවල් ටික බලාගන්න මූනුපොතටත් ගොඩ උනා.  මූනු පොතෙත් රවුමක් දානකොට මට අපූරු ප්‍රශ්නයක් හම්බ උනා. ඒ ප්‍රශ්නය තිබ්බේ සාමාන්‍ය දැනීම කණ්ඩායමේ.

මේකයි ප්‍රශ්නේ....

ඔන්න යාළුවෝ තුන් දෙකෙන් කඩේකට යනවලු.. ඒක පලතුරු කඩයක් කියමුකො. මේ පලතුරු කඩේට ගිහින් රඹුටන් ගේන්ඩයි කියනවා. රබුටන් ගේන්ඩ කිව්වට මොකෝ ඒ ටික ගේනකොට තුන් දෙනාම හොදටෝම නිදිලූ.

ඊට පස්සේ ටික වෙලාවකින් එකෙක් ඇහැරුනාලු. ඌ රඹුටන් ගොඩ, තුනකට බෙදලා එක පංගුවක් කාලා ආයෙම නින්දට වැටුනලු.

ඊට පස්සේ දෙවෙනි එකා ඇහැරුනා ලු. ඌත් අර විදිහට ඉතුරු වෙලා තිබ්බ රඹුටං ගොඩ, තුනකට බෙදලා එක පංගුවක් කාලා නින්දට වැටුනලූ.

දැන් තුන් වෙනියගේ වාරේ.. ඌ නැගිටලා අර විදිහටම ඉතුරු රඹුටන් ටික තුනකට බෙදුවා එයින් එක පංගුවක් කෑවා.

තුන් දෙනාම ඔය විදිහට කෑවට පස්සේ රඹුටන් 8ක් ඉතුරු උනාලු. මුලින්ම තිබ්බ රඹුටන් ගොඩේ රඹුටන් ගණන කීයද කියලා තමා ප්‍රශ්නේ.

උත්තරේ මොකක් කියලද හිතන්නේ ? දාමු බලන්න පහලින් කමෙන්ටුවක් !

මේ ගාන හදන්න ලේසිම ක්‍රමේ තමා අග ඉදලා මුලට යන එක. තුන්වෙනියා කාපු රඹුටන් ටිකෙන් පටන් අරගෙන පලවෙනියා වෙනකන් ගියා නං උත්තරේ අල්ල ගන්න අමාරු නෑ. ඔන්න ඉඟියකුත් දුන්නා. මේක මේ පරිපාලන සේවා විභාගයේ ප්‍රශ්නයක් ය කියනවා නෙහ්.

එහෙනං ඕගෝල්ලෝ ප්‍රශ්නයට උත්තරේ කල්පනා කරන්ඩ.. මම යනවා සේකර මහත්මයාගේ තුංමං හන්දිය කියවන්ඩ.. !

සියළු දෙනාට සතුටින් පිරුණු සුබ දවසක් !
උත්තරේ 27

03 December 2013

පුදුම මිනිස්සු

අම්මා...පල්ල ! ඇත්තමයි මිනිස්සු කියන ජාතිය නං කිසිමදාක විස්වාසයට ගන්න හොඳ නැති ජාතියක්..කොච්චර හොඳ හිත පෙන්නගෙන හිටියත් උන් කවදාහරි අපිටත් නොදැනිම අපිට අංචිය ඇදලා හිමීට මාරු වෙන ජාතියක් !

මට අද මෙහෙම හිතුනේ අපිත් එක්ක වැඩ හරපු හාදයෙක් කරපු වැඩක් හන්දා..

මේකයි උනේ...

අපි මේ ටිකේ කරගෙන යන ව්‍යාපෘතියේ සාම්පල් එක පෙන්නන්ඩ තිබ්බේ පහුගිය සිකුරාදා. ඔන්න එදාට කලින් දවස් දෙකක ඉදලා මේ සිද්ධියට අදාල පුද්ගලයා වැඩට ආවේ නෑ. ඒකට හේතුව විදිහට ඉදිරිපත් කරලා තිඋනේ අම්මට සනීප නෑ කියලා... ඒකත් කමන් නෑ කියමු !

මානුශික හේතුවක් නේ !

ඔන්න මේ මනුස්සයා සඳුදා ඇවිත් කට්ටියත්තෙක්ක බුල කෙලලා අද (අඟහරුවාදා) දවල්  වෙනකොට මුළු කණ්ඩායමටම ඇහෙන විදිහට කියපි "සාම්පල් එක ඉදිරිපත් කරන්න උනේ නැත්තේ අහවල් කෙනා හරියට වැඩ කරපු නැති නිසයි" කියලා. තමන්ට කර ගන්න බැරි කම කියන් නෑ.. ඒ වැරැද්ද වෙන කෙනෙක් පිට පටවන්ඩයි ලැහැස්තිය.

අර හාදයා වැරැද්ද පැටෙව්වේ කණ්ඩායමේ හිටපු පොඩිම එකාට.  අපි දන්න තරමට ඌ සේරෝම වැඩ ටික ඉවර කරලා හිටපු එකෙක්. ඒ නිසා ඒ පොඩි එකාට වරදක් කියන්ඩ බෑ...පහත් තැනින් ගලා යයි ජලේ කියන්නා වගේ  තමන්ගේ වැරදි සේරම පොඩි එකෙක් පිට පටවලා අරූ අත හෝද ගත්තා. සික් ඉතරක් !

ඔය හන්දයි මම කිව්වේ මිනිස්සු කියන ජාතිය විස්වාස කරන්ඩ අමාරු ජාතියක් ය කියලා. කොච්චර දිවෙන් දිව ගාගෙන උන්නත් අවස්ථාව ලැබුනම කාටහරි වරද පටවලා පැදුරටත් නොකියා මාරු වෙන්න දස්ස ජාතියක් මිනිස්සු කියන්නේ.

එක අතකට බලාගෙන යනකොට මිනිස්සුන්ට වඩා වනේ සත සිව්පාවා හොඳයි.. මිනිස්සු වාගේ දෙබඩි චරිත රඟපාන්නේ නෑ..  !!

02 December 2013

දික්කසාද කේක් ගෙඩිය

අද අපේ කණ්ඩායමේ ඔක්කෝම අය නිවාඩු ගිහින්... මම විතරයි ඉන්නේ. දන්නවනං මාත් නිවාඩුවක් දාලා ගෙදර ඉන්නවා. කොහෙද ඉතිං මෙවුන් නිවාඩු දානවයි කියලා කලින් දන්න එකක් යෑ.. !

අද වැඩත් එච්චර නෑ... තිබ්බ වැඩ ටික උදෙම්ම ඉවර කර ගත්තා ... කතා කරන්නවත් කවුරුත් නෑ.. මේ පැත්තම පාළුයි.. ඒහින්දම කම්මැලියි ! කම්මැලිකම යන්ඩත්තෙක්ක බ්ලොග් ටික කියෙව්වා.. කමෙන්ට් කලා... ඒත් වෙලාව ඉතුරුයි..

ඉතුරු වෙලාව ගෙවා ගන්න මොනවහරි ලියනවා.. එහෙම හිතලා බ්ලොග් එකට ගොඩ උනා.. කලින් ලියපු පෝස්ට් එකක් එහෙ මෙහේ කරලා ගත්තා... :)

ඒක නෙමේ....අහලා තියෙනවද දික්කසාද කේක් ගැන ?  තවත් තේරෙන විදිහට කියනවා නං ඩිවෝස් කේක් !!

ඩිවෝස් කේක් අපට ආගන්තුක උනාට බටහිර රටවල් වල නම් මේ ජාතියේ කේක් භාවිතා වෙනවා ලූ.

පහලින් තියෙන්නේ ඒ කේක් ගෙඩි ටිකක පින්තූරු !

                         කේක් ගෙඩියෙන් පහලට තල්ලු කර මැරවීම...


                                   මෙහාට්ට වරෙං යන්ඩ.... !


                                    මං උබට වෙඩි තොයනවා යකෝව්... !!
 

                                මූව කුණු ගොඩටම දාන්ඩ ඕන !


                                  බෙල්ල ගලවලා අතට ගත්තා.... !


අන්තර්ජාලයේ හොයලා බැලුවොත් මේ ජාතියේ කේක් ආකෘති සෑහෙන ප්‍රමාණයක් හොයගත්තෑකි. මගේ එකම ප්‍රාර්ථනය වෙන්නේ මේ ජාතියේ කේක් හදන එක සදහටම නවතීවා කියන එක !!!

මොකද ඉතින් මෙහෙම කේක් හදන්න වෙන්නේ දික්කසාද වෙන එවුවොන්ටමනේ... !

01 December 2013

x වල අගය

අද දෙසැම්බර් පලවෙනිදා !
අවුරුද්දක් ගත වෙච්ච ඉක්මන.... මේ අවුරුද්ද ඉවර වෙන්ඩ තව මාසයක් විතරයි තියෙන්නේ... කාලය අපි හිතනවටත් ඉක්මනටම ගත වෙනවා. දෙසැම්බර් පලවෙනිදාම තමා ලෝක ප්‍රජාව, එඩ්ස් මර්ධන දිනය විදිහට ප්‍රකාශයට පත් කරලා තියෙන්නෙත් !


ඒවයිං කාරි නෑ...ඔන්න අද නිවාඩු දවසේ ගණිත ගැටලුවක් ගෙනාවා.

පල්ලෙහා තියෙන රූපේ බලන්ඩ... !


ගැටලුව තමා x වලට එන්න ඕන අගය හොයලා දෙන එක...


මං මේ ප්‍රශ්නේ මූනු පොතේ සාමාන්‍ය දැනුම කණ්ඩායමේත් දැම්මා.

එහෙනං මං ගියාවේ !

උත්තරය 37.5

28 November 2013

කොත්තු රොටි

සීමිත ද්‍රව්‍ය ප්‍රමාණයක් එකතු කර විනාඩි කිහිපයක් තුළදී සාද ගත හැකි ක්ෂණික ආහාරයකි, කොත්තු රොටිය. මෙයට කොත්තු රොටිය යැයි කීවාට එය ගෝදම්බ රොටි කිහිපයක සංකලනයකි. ගෝදම්බ රොටි එකතු කර සාදන කොත්තුවට කෙටියෙන් රොටි කොත්තුව යැයි ව්‍යවහාර කරන අතර ගෝදම්බ රොටි වෙනුවට ඉදි ආප්ප හෝ බත් ද භාවිතා කළ හැකිය.එවිට එය බත් කොත්තුව හෝ ඉදිආප්ප කොත්තුව නම් වේ.

මා රොටි කොත්තුවට එතරම් ප්‍රියතාවයක් නොදක්වයි. එයට මූලිකම හේතුව වන්නේ රොටි කොත්තු කෑ විට විටින් විට වතුර බීමට සිදු වීමයි. වතුර ගැලුමක් බීවද මේ පිපාසය නම් සංසිදෙන්නේ නැත. රාත්‍රිය මැදින් මැද නැගිට නැගිට වතුර බීමට ද සිදුවේ. මෙය ඉතාම කරදරකාරි තත්වයකි. පිටි කෑම කෝයි එක කෑවත් ඔහොම්මම ය. මේ නිසාම රොටි කොත්තුවට වඩා බත් කොත්තුව ඉස්තරම් ය. වතුර ගැලුම් ගණන් බීමට සිදු වන්නේ ද නැත.

අප පේරාදෙණිය තිප්පොලෙහි සිටි දිනවල මසකට වරක් පිට කඩේකින් ආහාර ගැනීමට යන්නෙමු. ඒ ගිය විට අපේ ජනප්‍රියම කෑම වන්නේ කොත්තු රොටි ය. මසක් පුරාම කැන්ටින් හොද්දත් මෙලෝ රහක් නැති මැල්ලුමත් සමග බත් කෑ අපට මේ කොත්තුව දිව්‍ය භෝජනයට වඩා අගනා කෑමක් විය. මේ නිසාම අප කොත්තුවට ඉතාමත් ඇලුම් කළෙමු.

කොත්තු රොටිය රාත්‍රී කෑමකි.මේ නිසාම රාත්‍රි කෑම කඩවල නොවරදින කෑම අතර කොත්තුවට සුවිශේෂි තැනක් හිමිවේ. කොත්තු රොටි සාදන්නන්ට කොත්තු බාස්වරු යැයි ව්‍යවහාර කරන අතර කොත්තු සෑදීම සඳහා මාත්‍රා හයේ අටේ වේග රිද්ම තාලයක් භාවිතා කළ යුතු ය. එසේ නොවුනහොත් කොත්තුව හරියාකාරව හැදිය නොහැකි වේ.

ටකට ටකට ටකට ටකට !

මෙය කොත්තු රොටි සෑදීමේ ජනප්‍රියතම වේග රිද්ම තාලය වේ. කනට අමිහිරි තාලයකි. මේ තාලය හැරෙන්නට කොත්තු බාස්වරු  දන්නා වෙන තාලයන් නොමැති නිසා කොත්තු පරිභෝජකයෝ ඉතාමත් අසීරුවෙන් හෝ මේ තාල වාදනය අසා සිටී.

කෑම හා සම්බන්ධ ගීත එකතු කලහොත් ඒ ගීත වලින් වැඩිහරියක් ඇත්තේ කොත්තු රොටි ගැන කියැවී ඇති ගීත වේ. අයෙක් මට කොත්තුත් ඕනේ ලයිමුත් ඕනේ යැයි පවසන අතර තවත් අයෙක් මේ ඔක්කොම රොටි හබක් වෙලා රජ කරන්නේ කොත්තු රොටියලූ යැයි පවසයි.

කාර්යබහුල ජීවන රටාවකට හුරුවූ ජනතාවක් සිටීමත් හැම හෝටලයකින්ම වාගේ ඉතාමත් පහසුවෙන් ලබාගැනීමට හැකි වීම නිසාත් යන කාරණා හේතු කොටගෙන අපේ රට තුල කොත්තු රොටියට පවතින ඉල්ලුම දිනෙන් දින වැඩිවන බව මගේ අදහසයි.

27 November 2013

ගුවන් විදුලි නාට්ටි

ගුවන් විදුලි නාට්ටි ගැන අපේ පරම්පරාවට වඩා හොඳින්ම දන්නේ අපේ අම්මලා අප්පච්චිලෑ පරම්පරාව. ඒ කාලේ රූපවාහිනියට වඩා ජනතාවට සමීප මාධ්‍යය වෙලා තිබුනේ ගුවන් විදුලිය.. සරලව කියනවා නං රේඩියෝ එක !

ප්‍රවෘත්ති දැන ගැනීම වගේම සිංහල ගීත හින්දි ගීත රසවිඳින්න ඒ දවස්වල තිබ්බ එකම මාධ්‍යය වෙලා තිබුනේ රේඩියෝව.. ! මේ හන්දම රේඩියෝ නාලිකා එක්ක අත්වැල් බැඳගත්ත ශ්‍රාවක පිරිසක් බිහිවෙලා තියෙනවා.. ඔය අතරින් ගම්පහ පත්මාවෝ මහේශ්වරී, ගාමා ගාමිණී සුබසිංහ වගේ නම් කිහිපයක් අපේ අප්පච්චි අදටත් මතක් කරනවා...

මං පොඩිම කාලෙදිත් අපේ ගෙදර තිබ්බා රේඩියෝවක්.. ඕකෙන් අපි උදේ දවල් ප්‍රවෘත්ති ඇහැව්වා.. එතනින් ගියහම උදේට උදේට දේශාභිමානි ගීතත් ඇහුවා... ඒ ඇරෙන්න සිංදු ඇහැව්වයි කියලා මතකයක් නං නෑ.. ඇයි ඉතිං බැටරිය ඉතුරු කරගන්ඩ එපෑ... !

ටිකක් හරි තේරෙන වයසට එනකොට  සඳුදා හවසට (මතක විදිහට 8.30ට) මුවන්පැලැස්ස නාට්ටිය ඇහැව්වා. සෙනසුරාදා හවස "සිපෙට්කෝ මහත්තයා" කියලා නාට්ටියක් ඇහැව්වා. ඔය නාට්ටි දෙකම ගියේ ලක්හඬ නාලිකාවේ !

දැන් නම් රූපවාහිනිය ජනප්‍රිය වෙලා හන්දා මිනිස්සු රේඩියෝ අහනවා අඩුයි.... ඒ හන්දමද මන්දා රේඩියෝ නාට්ටිත් අඩුයි !

ඉදලා හිටලා මල් නාට්ටියක් දෙකක් නම් තියෙනවා. ඒවා අහනවට වඩා හොඳා නිකා ඉන්න එක ! ඔන්න එක කොටසක් යනවා ඊට පස්සේ සිංදු තුන හතරක් යනවා... ආයෙම තව කොටසක් යනවා... සිංදු තුන හතරක් යනවා.... ඔහොම ගියහම නාට්ටිය කොතනින් ද නැවැත්තුවේ කියලා හිතාගන්ඩ බෑ.. !

තව නාට්ටි ජාතියක් තියෙනවා ඒවා පටන් ගන්නේ හවස හතේ ඉදන්. එකක් කියලා නෑ හැම නාලිකාවකම මේ ජාතියේ නාට්ටි යනවා. ඒකෙන් නං කරන්නේ කෙනෙක්ගේ දුකක් නාට්‍යානුසාරයෙන් ඉදිරිපත් කරන එක... මං නං ඒවට කොහෙත්ම මනාප නෑ...

ඔන්න තව පොඩ්ඩෙං කියන්ඩ ආපු කාරණාවත් අමතක වෙනවා... මේ දවස් ටිකේ ෂර්ලොක් හෝම්ස් කතා ටික නාට්ටි විදිහට සිරස එෆ්. එම්. නාළිකාවේ යනවා. හැම ඉරිදාම රෑ 9ට !

ඕක හන්දම තමා මේ පෝස්ට් එකත් ලියන්ඩ හිතුනේ..!

පුළුවං කෙනෙක් ඉන්නවා නං අහලා බලන්ඩ... !

අහන්ඩ මිස් වෙච්ච කතාවක් තියෙනවා නං සිරසේ යූ ටියුබ් පිටුවට මෙතනින් ගිහින් අහන්ඩ...

කලින් වතාවකුත් මේ නාට්ටි සෙට් එකම ගියා... ඒවයින් ටිකක් මට ඩවුන්ලෝඩ් කරගන්න ලැබුනා. ඒ ටික මෙතනින් බාගන්න !

එහෙනං මං ගියාවේ !

23 November 2013

සති අන්තයේ දිගාමඩුල්ලේ ආශ්චර්යය

අද දවසට මට තියෙන ප්‍රධානම වැඩේ තමා උදේ තියෙන සාමාන්‍ය පෙළ පංතිය කරන එක. ඒ නිසා ඒකට සූදානම් උනා. අද ඉගැන්නුවේ භාග සංඛ්‍යා සුළු කිරීම !

ඒක මරු පාඩමක් ! මං අපේ අම්මගෙන් ටොකු කාපු තරමක් කෑවේ ඔය පාඩම ඉගෙන ගන්න ගිහිං. අපේ අම්මා ඒ දවස්වල ඉගෙන ගෙන තියෙන්නේ අංක ගණිතය හන්දා භාග සංඛ්‍යා සුළු කිරීම, කොටස් නාමික අගය, ලාභාංශ, පොලී වැල් පොලී වගේ පාඩම් සෑහෙන හොඳින් දන්නවා.

ජ්‍යාමිතිය වගේ පාඩම් නම් අපේ අම්මා දන්නේ නෑ.

පංතිය ඉවර වෙලා අම්මත් එක්ක මට උගන්නවපු ඒ අතීතය මතක් කර කර උන්නා. බලන්ඩ එපෑ ඒ වෙලාවේ අපේ අම්මෑ මූනේ තිබ්බ හිනාව. උන්දෑ ඇස් වලිනුත් හිනාවෙවී ඒ අතීතයත් මතක් කලා.

ඔහොම කතා කර කර ඉදලා දවල් වෙච්ච නිසා නා ගත්තා. දවාලකට නාගන්නවනම් ඉතින් සති අන්තයක්ම වෙන්ඩ එපෑ. නෑවට පස්සේ බඩගින්නකුත් ආවා. දවාලට යහමින් කාලා පොඩි නින්දක් දැම්මා. ඇහැරෙනකොට හතරයි !

ඇහැරිලා බලනකොට මේං හතරවටිං කළුකරගෙන.. වහින්ඩ වාගේ !

කිව්වත් වාගේ ඊට ටික වෙලාවකට පස්සේ ධරාණිපාත වැස්සක් පටන් ගත්තේ නැතෑ.. සීතලයි ! ඒ වගේම කම්මැලියි ! කරන්ඩ දේකුත් නෑ.නිදාගෙන නැගිට්ට හන්දා ආයේ නිදියන්ඩත් හිත නෑ.වහින හන්දා මල් කැඩිලි මැසේජ් කෙටිලිත් නෑ.. පස්සේ තමා මතක් උනේ මං මීට මාසෙකට කලිං ගෙනාපු පොතක් තියෙනවයි කියලා.

පොතේ නම තමා "දිගාමඩුල්ලේ ආශ්චර්යය". ලියලා තියෙන්නේ අපි කවුරුත් දන්න මායාරංජන් මහත්තයා ! කම්මැලිකම යන්ඩත් එක්ක කියලා ඒ පොත කියවන්ඩ පටන් ගත්තා. රස්සාවට ගිහිං අවුරුදු දෙකක් සම්පූර්ණ වෙච්ච හන්දා මතක් වෙන්ඩ කියලා මං මේ පොත ගත්තේ.

                                                 මේ තියෙන්නේ පොතේ පිටකවරය

දිගාමඩුල්ලේ ආශ්චර්යය පොත ගැන කියනවා නම් ඒක අගේ ඇති පොතක්.. ! දිගා මඩුල්ලේ ජීවත් වෙච්ච මිනිස්සුන්ගේ ජන ජීවිතය ගැන හරි අපූරුවට විග්‍රහ කරලා තියෙනවා. මේ පොත ගොඩක් පරණ එකක්. පළමු මුද්‍රණය 1957 අවුරුද්දේ කරලා තියෙන්නේ. ඒ නිසාම භාෂා භාවිතයත් ටිකක් ඉතර අමුතුයි. වෙනසක් තියෙනවා.

ඒ වෙනසත් එක්ක හරි අපූරුවට කියවගෙන යන්න පුලුවං පොතක්. මට මතකයි අපේ හතේ පංතියේ සිංහල අච්චු පොතටත් මේ පොතෙන් කොටසක් දාලා තිඋනා.

පොත කියවගෙන යනකොට මට හිතුන දෙයක් තමා මායාරංජන් මහත්මයා හරි වාසනාවන්ත මනුස්සයෙක් කියලා. එහෙම හිතුනේ ඒ වගේ සරල ජීවිත ගත කරපු මිනිස්සුත් එක්ක ජීවත් වෙන්ඩ ලැබුන හන්දා. ඒ මිනිස්සුන්ගේ ජීවිත වල අවශ්‍යතා හරි සීමිතයි. සරල ජීවිත. මහ ලොකු බලාපොරොත්තු නෑ..

අන්න ඒ වගේ ජීවත් වෙන්ඩ තියෙනවා නම්........කොච්චර ශෝක් ද

විවේකයක් තියෙනවා නම් කියවලා බලන්න දිගාමඩුල්ලේ ආශ්චර්යය. ලස්සන කතාවක්.ගොඩගේ පොත් සාප්පුවෙන් පොත ගන්ඩ පුලුවං !

21 November 2013

මැල්ලුම් ගැන

නිරෝගී ජීවිතයකට වතුර බීම අත්‍යවශ්‍යයි, දවසකට ප්‍රමාණවත් වතුර ශරීරයට ලැබෙන්ඩ ඕනේ, ඒ නැත්නම් ලෙඩ රෝග වලට ගොදුරු වෙන්ඩ සිදුවෙනවා කියන කරුණු කාරණා ඇස්පනාපිටම ඔප්පු වෙලා පෙනුන කාළයක් මේක. ඒ අපේ කාර්යාලයේ වැඩ කරපු අයියා කෙනෙක්ට මුත්‍රා ගල් වලට බේත් ගන්ඩ වෙලා.

ඉතින් උන්දෑ අපට කියනවා හොඳට වතුර බීපල්ලා කියලා.

මුත්‍රා ගල් තියෙන කෙනෙකුට කියාපුම සිංහල බේත තමා අක්කපාන කොළ මැල්ලුම. ඒ උනාට අක්කපාන කොළ මැල්ලුමක් එක වතාවක් හරි ආසාවට කාපු එකෙක් නං දන්නවා මැල්ලුම කොච්චර රහද කියලා. දවසක් මාත් අපේ අම්මට කියලා ආසාවට මැල්ලුම හදෝ ගත්තා. හදාගත්ත නිසා කෑවා මිසක්කා ඊට පස්සෙං පහු කනවා තියා මැල්ලුමක් දිහා බලන්ඩවත් හිත නෑ..... තිත්තම තිත්තයි !

අඟුණකොළ මැල්ලුමට වඩා තිත්තයි. ඒ අතින් බලාගෙන ගියහම අඟුණකොළ මැල්ලුම කිසි ගින්නක් නැතුව කෑ හැකියි. අඟුණකොලවලත් කිරි අඟුණකොළ මැල්ලුම් හැදුවහම තිත්ත ගතියක් නෑ.. කිරි අඟුණ තනිකරම මැල්ලුම් හදනවට වඩා හොඳයි කලවං මැල්ලුමක් හදනවා නං.

කිරි අඟුණ කලවං මැල්ලුමයි පරිප්පු හොද්දකුයි සාළයෝ මාළුයි සම්බා හාලේ බතුයි කියන්නේ මගේ ප්‍රියතම කෑම. කොච්චර කෑවත් ඇති වීමක් නෑ...අපේ අම්මත් ඒක දන්න හන්දම මැල්ලුම් හදපු දාට සෑහෙන මැල්ලුම් තොගයක් මගේ පිඟානට බෙදනවා. :)

ගොටුකොළ මැල්ලුම් කන එක පීනසටත් හොඳා ලූ. ඒ නිසා කාළයක් අපේ අම්මා මට හීනිවට ලියාගත්තු රතුලූණු ගොඩකුත් දාලා අනපු ගොටුකොළ මැල්ලුම් දුන්නා.

මේ මැල්ලුම් ජාති ඇරුනහම මම ආසම කලවං පලා මැල්ලුමට. කෝප්ප කොළ, පැශන් දළු, මඥ්ඥොක්කා දළු, ජපන් බටු දළු එකතු කරලා මැල්ලුමක් හැදුවම මාර රසයි. ඒ මැල්ලුමට හරියන්ඩ පරිප්පු ටිකක් උයලා, කීරමින් සාළයෝ කරවල ටිකක් අල කෑල්ලකුයි තක්කාලි කෑල්ලකුයි දාලා උයලා ගත්තහම පංකාදු පහයි ! තව බැදපු මිරිස් කරලක් තිබ්බා නම් තවත් ගති !

හැමදාම කන ජාතියක් හන්දා මුකුණුවැන්න මැල්ලුම ගැන නං කියන්න යන්නේ නෑ...

තව ජාතියක් තමා ගොනිකා කොළ මැල්ලුම.  ඒ මැල්ලුම ගොඩක්ම හොඳ කැඩුම් බිඳුම් වලට බේත් කරන අයට. කැඩුම් බිඳුම් වලට ගුණදෙන ගතියක් ඒ මැල්ලුමේ තියෙනවා.

ඕක ගොනිකා කොළ කිව්වට හරිම නම ගොනු කෑ කොළ වෙන්ඩ ඕන !

ඒකට නම හැදිලා තියෙන විදිහට අපූරු කතාවක් තියෙනවා.

ඉස්සර හරක් අයිතිකාර මනුස්සයෙක් තමන්ගේ ගොන් බාන දක්කගෙන කැලෙට යනවා. ගිහින් එහේ ගාල් කරලා එනවා. ආයේ උන්ව එක්කන් යන්නේ හවස. ඔන්න දවසක් මේ මනුස්සයා හරක් ටික දක්කගෙන එන්න කියලා කැලෑවට ආවා.එනකොට එක ගොනෙක් පොඩි කඳු ගැටේකින් වැටිලා කකුලක් කොර ගහනවා.

පොඩ්ඩක් හොයලා බලනකොට  උගේ කකුලක් ඇමට්ටිවෙලා. (හෝ කැඩිලා) මූව දැං අරන් යන්න බැරි නිසා තව දෙතුන් දෙනෙක් එක්ක හෙට ඇවිල්ලා මූව අරං යනවා කියලා හිතලා උන්දෑ ඉතුරු හරක් ටිකත් දක්කාගෙන ගෙදර යනවා.

කොහොමින් කොහොමහරි මේ මනුස්සයාට පහුවෙනිදා උදේ එන්න අමතක උනා. මේ මනුස්සයා ආපහු ආවේ දවස් දෙක තුනකට විතර පස්සේ. මේ මනුස්සයා ඇවිදින් ගොනාව හොයනකොට මෙන්න මූ යස අගේට ඇවිදිනවා. ඇමට්ටි වෙච්ච ගතියක්වත් නෑ ලූ.

මේ මනුස්සයාට හරි පුදුමයි ලූ !

මූගේ කකුල හොඳ උනේ කොහොමද කියලා පොඩ්ඩක් විපරම් කරලා බලනකොට මේ මනුස්සයා දැක්කලු මේ ගොනා ලඟපාත තිබ්බ වැලකින් කොළජාතියක් කාලා තියෙනවා කියලා. ඒ කොළ ජාතිය කාපු නිසා හොඳ උනා කියලා හිතපු මේ මනුස්සයා ඒ වැල් වර්ගයට ගොනු කෑ වැල් කියලා නම් කලා ලූ.

පස්සේ කාලෙදි ගොනු කෑ වැල්, ගොනුකා වැල් වෙලා ගොනිකා වැල් උනා ලූ. අන්න ඒ ජාතිය තමා මිනිස්සුත් ගොනිකා කොළ කියලා හඳුනා ගන්නේ !

බලාගෙන ගියහම සත්තුන්ටත් මිනිස්සුන්ට වඩා හොඳට මොළේ තියෙනවා නෙව !

මුත්‍රා ගල් වලිං පටන් අරං ලියාගෙන ආපු ලිපිය මැල්ලුම් ගැන ලියවිලා.. හිහ් :)
එහෙනං මං ගියා වේ !

19 November 2013

ලිලිපුට් -බ්ලෙෆුස්කු යුද්ධය

ඈත අතීතයේ ඉදලා ලිලිපුට්ටන්ගේ ආගමික නීතියක් තියෙනවා එයාලා බිත්තරයක් කඩන්නේ ලොකු පැත්තෙන් කියලා. තමන්ගේ ආගමෙන්ම ආපු නීතියක් නිසා ලිලිපුට්ටෝ ඒ නීතිය ඉස්මුදුනෙන්ම පිලිගත්තා.ඒ විතරක් නෙමේ අකුරටම පිලිපැද්දා.

ඔහොම ටික කාලයක් ගත උනා කියමු. ලිලිපුට්ටන්ගේ අධිරාජ්‍යයා දවසක් බිත්තරයක් කඩනකොට බිත්තරේ කටුවට එයාගේ ඇඟිල්ල කැපෙනවා. ඔන්න එදා ඉදලා ඒ අධිරාජ්‍යයා නීතියක් ගේනවා මෙතැන් පටන් සියළුම ලිලිපුට්ටන් එයාලගේ බිත්තර කඩන්න ඕන ලොකු පැත්තෙ ඉදන් නෙමේ කුඩාම පැත්තේ ඉදන් කියලා.



ගොඩාක්ම ලිලිපුට්ටෝ තමන්ගේ අධිරාජ්‍යයාගේ අළුත් නීතියට එකඟ උනා. ඒ උනාට කැරළිකාරයෝ හය දෙනෙක් මේ නීතිය පිලිපැද්දේ නෑ. ඒ වගේම ලිලිපුට් රාජධානියට ලඟම රාජධානිය වෙච්ච බ්ලෙෆුස්කු (Blefuscu) රාජධානියේ අධිරාජ්‍යයා ලිලිපුට් අධිරාජ්‍යයාට චෝදනා කරනවා අතීතයේ ඉදලා ආපු ආගමික නීතියක් කැඩුවයි කියලා.

ඒත් ලිලිපුට් අධිරාජ්‍යයා ඒ චෝදනාව පිලිගන්න කැමති නෑ..

පිලිගන්න කැමති නෑ විතරක් නෙමේ, ලිලිපුට් අධිරාජ්‍යයා තර්ක කරනවා ඒ ආගමික නීතියේ තියෙන්නේ "තමන්ට ලේසිම පැත්තෙන් බිත්තරය කඩන්න" කියලා නියම කිරීමක්ලූ.අන්තිමේදි මේ වාදය දරුණු වෙලා යුද්ධයක් දක්වා දිග්ගැස්සෙනවා.

බ්ලෙෆුස්කු හමුදාවට කැරලිකාර හමුදාවේ සහයත් ලැබෙනවා.

මේ සටන දරුණු නිසා ලිලිපුට් හමුදාව ගලිවර්ගේ සහය පතනවා. ගලිවර් මුලින්ම හිතනවා මේ මොන විකාර යුද්ධයක්ද කියලා. නමුත් අන්තිමේදි ඔහුගේ සහය ලිලිපුට්ටන්ට ලැබෙනවා.

ඔන්න ඔහොම තමා ලිලිපුට් -බ්ලෙෆුස්කු ජාතින් අතර ඓතිහාසික යුද්ධයක් ඇති වෙන්නේ !


කොච්චර ලොකු ප්‍රශ්නයක්ද නෙහ් ?

ඔය යුද්දේ එතනින් නතර වෙන්නේ නෑ... ඒක කොම්පීතර් වලටත් එනවා. ඒ එන්නේ බිග් එන්ඩියන් (Big Endian) ලිට්ල් එන්ඩියන් (Little Endian) කියලා !

(බිත්තරේ ලොකු පැත්තට කියන්නේ බිග් එන්ඩියන් - Big Endian කියලා. පොඩි පැත්තට කියන්නේ ලිට්ල් එන්ඩියන් - Little Endian කියලා. )

කොම්පීතර් වල සංඛ්‍යාවක් ගබඩා කරනකොට බිග් එන්ඩියන් පද්ධතියක ලොකු කොටස ඉස්සෙල්ලාමත් පොඩි කොටස පසුවත් ගබඩා කරනවා.

ලිට්ල් එන්ඩියන් පද්ධතියක නම් කුඩා කොටස මුලින්මත් ලොකු කොටස පසුවත් ගබඩා කරනවා !

ඕං ඔය ප්‍රශ්නය හන්දා මේ දවස්වල මං හිර වෙලා ඉන්නේ ! :(

------------------------------------------------------------------
ප.ලි. -  ඔය යුද්ධේ කෙසේ වෙතත් මට ආයෙම ජොනතන් ස්විෆ්ට්ගේ ගලිවර්ගේ චාරිකා පොත කියවන්න හිතුනා. ඒ දවස්වල ටීවී එකෙත් ගලිවර්ගේ සුවිසැරිය කියලා කාටුන් එක ගියපු අතීතයත් මතක් උනා.

ප.ප.ලි -  බිග් එන්ඩියන් ලිට්ල් එන්ඩියන් ගැන දැනගන්න ඕන නම් මෙතනින් කියවන්න...

15 November 2013

අයිසන් වල්ගාතරුව

මේ ටිකේ චෝගම් හන්දා කොළඹ පාරවල් තැන් තැන් වලින් වහලා දමලා. ඒ නිසා සාමාන්‍ය වෙලාවට අමතරව ටිකක් වැඩි වෙලාවක් යනව. ඒ මදිවට සෑහෙන ට්‍රැෆික් එකක් එකතු වෙලා. ඔය නිසා මම අද වැඩට ගියෙත් නෑ. නිවාඩුවක් දාලා ගෙදර හිටියා.

ගෙදර ඉඳන් කරපු එකම වැඩේ චෝගම් බලපු එක !

වැඩේට නං සෑහෙන්ඩ වියදම් වෙලා තියෙනවා වාගේ.... ! ;)

මේ චෝගම් එකක් හන්දා තව ටිකෙං කියන්ඩ ආපු කාරණාවත් අමතක වෙනවා. ඕං මේ චෝගම් අස්සේ අයිසනුත් ඇවිල්ලයි කියන්නේ.අයිසන් කිව්වේ වල්ගාතරුවකට... !

මේ සති දෙක ඇතුලත අයිසන් වල්ගාතරුව බලාකියා ගන්ඩ පුලුවන් ලූ. අද ඉදන් සති දෙකක් පුරාවට පාන්දර පහේ ඉදන් ඉර උදා වෙනකං අයිසන් බලන්ඩ පුලුවන් ලූ. පහලින් තියෙන්නේ අයිසන් වල්ගාතරුවේ පින්තූරයක් !


පත්තරේ තිබ්බේ,

ශ්‍රී ලංකා වාසීන්ට මෙම වල්ගාතරුව නොවැම්බර් මස දෙවන සතියේ සිට නැ‍ඟෙනහිර ක්ෂිතිජයේ දකුණට බරව අලුයම 5 පමණ සිට හිරු උදාවන තෙක් පියවි ඇසින් නිරීක්ෂණය කළ හැකි වේ. කියලා.

සිළුමිණ පත්තරේ තිබ්බ සම්පූර්ණ විස්තරේම කියව ගන්ඩ මෙතන කොටන්න.

මගේ නං ලොකුම ආසාව තියෙන්නේ අයිසන් බලන්ඩ නෙමේ.... හැලීගේ වල්ගාතරුව බලන්ඩ.. ඒ නිසා කොහොමහරි 2061 අවුරුද්ද වෙනකන් පණ ගැට ගහගෙන ඉන්ඩ තමා කල්පනාව. :)

 පිටරට කට්ටියට නං කොහොම පෙනේවිද මන්දා.. ලංකාවේ අපට නම් පේනවයි කිව්වේ. ඔය හන්දම අද (15 වෙනිදා) උදෙම්ම ඇහැරුනත් වැඩක් උනේ නෑ.. වලාකුළු වැඩි නිසා පෙනුන් නෑ.. බලමු හෙටවත් පෙනේවිද කියලා.

හැලීගේ වල්ගාතරුව බලන්ඩ ලැබෙන්නේ නැති එකේ අයිසන්වත් බලන්ඩ ඕන.. කවුද දන්නේ ඔච්චර කල් ඉදීවිද කියලා. :) 

-------------------------------------------------------
ප.ලි. - පත්තරේ විස්තරේ සිංහලෙන්ම තියෙන නිසා මං ආයේ විස්තර කියන්ඩ යන් නෑ.. කට්ටියම පත්තරේ විස්තරේ බැලුවා නං...

13 November 2013

අප්සැට් මූඩ්

තමන් ලඟින් ආශ්‍රය කරන යාළුවෙක් මොනම හරි ප්‍රශ්නයක ඉන්නවා නං ඒක උගේ මූනෙන්ම පේනවා. වෙනදට හිනා වෙලා ඉන්න එකා මූඩ් ගහලා ඉන්නකොට ඉවෙන් වාගේ දැනෙනවා මූ ඉන්නේ මොකක් නමුත් ලොකු ප්‍රශ්නෙක කියලා. අපිත්තෙක්ක එකට වැඩ කරපු එකෙක් ඊයේ පෙරේදා ඉදන් හෙන අමුතු වෙලා.

කතා කලාට මූන බලං කතා කරන් නෑ. මූනේ හිනා කඳුලක් නෑ. කොයි වෙලේත් කල්පනා කරගත්තු ගමන්මයි. හරියට කෑමක් බීමක් ගන්නේ නෑ.. රැවුලක් කපන්නේ නෑ..

ඔය වගේ නානාප්‍රකාර ඉරියවු දැක්කට පස්සේ අපි නීර්ණය කරගත්තා මූ සපත්තුවක් කාලායි කියලා. දන්න සිංහලෙං කිව්වොත් බූට් එකක් කාලා කියලා !

බූට් මූඩ් එකෙං ඉන්න එකෙක්ට කොච්චරවත්,

ඕවා ගනං ගන්ඩෙපා මචං !
මූදේ ඉන්නේ එක මාළුවද ? අල්ලලා දාපං !
බූට් නං මොනාද බං.. !

වගේ නානාප්‍රකාර දේවල් කිව්වට පිලිගන්නේ නෑ නෙව.මොන දේ කිව්වත් මූ ඉන්න මූඩ් එකෙං ගැලවිලා ඉන්ඩ කැමති නෑ. අපි කියලා මොනා කරන්ඩද ඉතිං.

ඔන්න අද මං උදේ වැඩට එනකොට මූ ජනේලයෙං නුගේගොඩ පාර දිහාව බලාගෙන සෑහෙන්ඩ කල්පනා කරනවා. කතා කරලා වදයක් වෙන්ඩ ඕනැන්නේ නැති නිසා මාත් මූට තනියම කල්පනා කරන්ඩ ඉඩ දීලා ශේප් එකේ දැක්කා නොදැක්කා ගානට ආවා. අද මේකා උදේ වැඩට ආවට එහෙම්ම ගෙදර ගිහිං !

කාලයත්තෙක්ක ඔය සිතුවිලි සේරම මගෑරිලා යාවි.. !

බූට් එකක් කාපු එකෙක්ට කරන්ඩ හොඳයි කියලා කියන ජාති හතක් මට නෙට් එකේ තිබිලා හම්බුනා.

ඒවා තමා,

1. ආපහු එයාව හම්බවෙන්ඩ යන්ඩෙපා. කෝල් කරන්ඩත් එපා.
2. සමාව දෙන්ඩ.
3. ධනාත්මකව හිතන්ඩ.
4. ළඟම යාළුවෙක්ට සියළුම දේ කියලා හිත නිදහස් කරගන්ඩ.
5. අළුතින් මොනවහරි දෙයක් මිලදී ගන්ඩ. ෂොපිං කරන්ඩ කිව්වේ.
6. හිත රීෆ්‍රෙශ් වෙන්ඩත්තෙක්ක කෙටි නින්දකට යන්ඩ.
7. මේ සිදුවීම කාළයට බාර දෙන්ඩ !

එහෙනං අපි ගියාවේ !

11 November 2013

ටාර්සන්ගේ රැවුල

පහුගිය සතිඅන්තය හරිම කාර්යබහුල සති අන්තයක්. ඒකට ප්‍රධානම හේතුව මම මේ දවස්වල කරගෙන යන සාමාන්‍ය පෙළ පංතියේ ළමයි ටික මේ දෙසැම්බර් මාසේ සාමාන්‍ය පෙළ ලියන්ඩ සූදානම් වීම. ඒ නිසාම මේ ටික ප්‍රශ්න පත්තර වගේකට උත්තර ලියෙව්වා.

ඒ උත්තර සාකච්ඡා කලා... වැරදි නිවැරදි කිරීම් කලා !

ඒ නිසා බ්ලොග් පැත්ත පලාතේ එන්ඩ උනේ නෑ... ඒ නිසා ඒ ටික හිස්බඩම කියෝ ගත්තා. කමෙන්ට් කලා. මූනු පොතේ රවුමක් දැම්මා. එතකොට තමා දැක්කේ මූනු පොත පුරාම උපන් මාසේ අනුව ගතිගුණ කියැවෙන ස්ටේටස් වලින් බිත්තිය පිරවිලා. !

මාත් ගිහින් බැලුවා.. මගේ ගතිගුණයි උපන් මාසේ අනුව ලැබුන ගතිගුණයි සමානද කියලා ! මොනඃ... මගේ ගතිගුණත් එක්ක ඒවා ලඟින්වත් යන්නේ නෑ.. :)

ඊට පස්සේ වැඩ ටිකක් කරගෙන යනකොට මෙන්න අපේ ගෲප් චැට් එකේ එකෙක් අහනවා "ටාර්සන් උපන්දා ඉදලම කැලේ ජීවත් උනත් රැවුල නැත්තේ ඇයි ? " කියලා.

ඇත්ත තමා.. දන්න කාලේ ඉදන් ටාර්සන් ඉන්නේ කැලේ. ඒ උනාට එකාගේ මූනේ බේතකටවත් එක රැවුල් ගහක් නෑ.. අපේ එක එකා එක එක උත්තර දුන්නා. සමහර එවුවා ප්‍රසිද්ධ මාධ්‍යයක පල කරන්ඩත් අමාරු සම්භාව්‍ය ගණයේ උත්තර.... !

ඔය ප්‍රශ්නෙම ගුගල්ගෙන් අහලා බැලුවම සමහරු මරු මරු උත්තර දීලා තිබුනා. පහලින් තියෙන්නේ එහෙම දීලා තිබ්බ උත්තර ටිකක්.

"ටාර්සන්ට රැවුල වැවෙන්නේ නැති ලෙඩක් තිබේ."

"ටාර්සන්ගේ රැවුල ජේන් විසින් ෂේව් කරයි."

"ටාර්සන් තමන්ගේ රැවුල කටුවක හරි ගලක හරි අතුල්ලනවා."

ඔය වගේ නානාප්‍රකාර උත්තර අටෝරාසියක් තිබ්බා. ඇත්තටම ඒ දවස්වල ටාර්සන් කතාව බැලුවට ඔය ගැන වගේ වගකක්කත් හිතුනේ නෑ නෙව. :) 
වැඩ අඩු දවසක මේ වගේ මෝඩ ප්‍රශ්නයක් තිබ්බත් ඇති දවස ගෙවා ගන්ඩ.... මේ වෙනකොටත් ඒ ගැන සාකාච්ඡාව දරුණුවට යනවා... :)
උත්තර තිබේ නං පහතින් පල කරන්න !
-----------------------------------------
ප.ලි. - මේ තියෙන්නේ ගූගල්ගෙන් ලැබුනු උත්තර.. පලවෙනි ලිපිය , දෙවන ලිපිය හා තුන්වෙනි ලිපිය

05 November 2013

ලයිට් ගෙම්බා

මාස ගණනක් නොලිය ඉදලා ආයෙම ලියන්ඩ පටන් ගත්තට පස්සේ එක දිගටම ලියන්ඩ හිතෙනවා. ඒ වගේම තමා ඒ දවස්වල ලියන්ඩ හිතාගෙන ඉදලා කම්මැලිකමේ අතෑරලා දාපු ලිපිත් ටික ටික ලියාගෙන යනවා. ඒ නිසා ඉදිරි මාස දෙකක කාලයට මොන මොනවාහරි ලිපි නං අහේනියක් නැතුව තියෙයි.

ඒවා පසුවට....

අද කෑම පැයේදි කතා උනා එක එක ජාතියේ ගෙම්බෝ ගැන.එක එකා නානාප්‍රකාර දේවල් කියෙව්වා.

"ගස් උඩ ඉන්න ගෙම්බෝ ගස් ගෙම්බෝ නං ඇට උඩ ඉන්න ගෙම්බෝ ඇට ගෙම්බෝ වෙන්ඩ එපෑ.." මේ එකෙක් කියපු කතාවක් !

ඇට ගෙම්බෝ
ගස් ගෙම්බෝ
ගෙයි ගෙම්බෝ
හුළං ගෙම්බෝ
...........
ලයිට් ගෙම්බෝ !


"ඈ..... ලයිට් ගෙම්බෝ ???"  තව එකෙක් කියපු කතාවට ගොඩ දෙනෙක් විමතිය පල කලා.

"ඇයි ලයිට් ගෙම්බෝ දැකලා නැද්ද ???"

"නෑ නේ... !"

මං හිතං හිටියේ සෙල්ලම් බඩුවක් වෙන්න ඇතිය කියලා. පහලින් ඉන්නේ ඔය කියන ලයිට් ගෙම්බා... !




මෙන්න ඒ ගෙම්බාව පත්තරේටත් දාලා !
----------------------------------------------------------------------


ප.ලි. - මේ ලිපිය කලින්ම ලියලා ඩ්‍රාෆ්ට් එකේ තිබ්බ එකක්. අද (5 වෙනිදා) තමා පල කරන්නේ. :)

03 November 2013

ආච්චි අම්මා සමඟ ගෙවුනු සති අන්තය

මිනිස්සු වයසට ගිහින් එකතැන් උනාම තමා තනිකම පාළුව වැඩියෙන්ම දැනෙන්නේ. ඒ වෙලාවට ඒ තනිකම මකන්න කවුරුහරි ළඟ ඉන්නවානම් ඒකත් සතුටක්. ඒ නිසාමයි අපි මේ සති අන්තයේ අපේ ආච්චිඅම්මලෑ දිහෑ ගියේ. ආච්චි අම්මා කිව්වේ අම්මගේ අම්මා !

අපි ඉතරක්ම නෙමේ අපේ අම්මාගේ සහෝදර සහෝදරියෝ සේරම ඇවිත් හිටියා. ඒ නිසාම සෑහෙන සතුටින් ගෙවුන සති අන්තයක්.

සතුටු සාමිචියේ යෙදුනා විතරක් නෙමේ. අපි බොංගෝ ගගහා සිංදුත් කිව්වා ! කොහොමහරි පෙරැත්ත කරලා ආච්චි අම්මට කියලා සිංදු තුනක් කියෝ ගත්තා. උන්දෑ නම් කිව්වේ ඒ දවස්වල හිට් වෙලා තිබ්බ සිංදු තුනක් ! :)

සිංදු කියලා මහන්සි උනහම අපි වෙලේ නාන ලිඳට නාගන්ඩත් ගියා . නාගෙන එනකොට වෙලේ එක පැත්තක රතු ඕලු පිපිලා තියෙනවා දැකලා මම ඒවෑ පින්තූරත් ගත්තා.

පහලින් තියෙන්නේ ඒ පින්තූරු !

ඔය තිබ්බ වෙලේ තමා රතු ඕලු මල් පිපිලා තිබ්බේ. :)



මේ පින්තූරේ නම් සූම් උනා වැඩියි.. ඒ නිසා බොඳ වෙලා :(




තවත් මල් ටිකක් !


මේ තියෙන්නේ අන්තිම පින්තූරේ.. මේක ඉතරයි ලස්සනටම ආවේ. :)

ආච්චි අම්මව සතුටු කරන්ඩ ගමේ ගියාට මොකෝ ගෙදර එනකොට හොඳටෝම වැස්ස. දැන් හෙම්බිරිස්සාවකුත් හැදීගෙන ඇවිත්. හවස ගණන් පංතියත් කලේ හරි අමාරුවෙන්... 

01 November 2013

ඇත්ත ද මේ කතාව ?

අද දවසේ කරන්ඩ තිබ්බ වැඩ ටිකෙන් සෑහෙන ප්‍රමාණයක් ඉවර කරගත්ත නිසා දැන් නං ටිකක් නිදහස්. ඒ නිසා ටිකක් විතර කම්මැලිකමක් දැනෙන වෙලාවක් මේක.එතකොට තමා ගලායන ජිවිතය බ්ලොග් එක ලියපු නදී අක්කා  කියවන්න කියලා දීපු ලින්ක් එක මතක් උනේ.

ඒක දික්කසාදය ගැන ලිපියක්..

අපේ නදී අක්කා දීපු ඔය බ්ලොග් එක  කියවගෙන යනකොට තවත් ලිපියක් හම්බ උනා. ඒකෙන් කියැවෙන්නේ ගැහැනු හා පිරිමි අයගේ මොළ විශ්ලේෂණයක් ගැන.

ඒ ලිපියේ තියෙන විදිහට,

පිරිමින්ට ගෑනු අයගේ මූනු දිහා බලාගෙන බොරු කියන්ඩ බෑ ලූ. කිව්වොත් අහු වෙනවලූ. ඒකට හේතුව ගෑනු අයගේ මොළය 70%ක් මුහුනේ ඉරියවු නිරීක්ෂණයටත් 20%ක් අංගචලනය නිරීක්ෂණයටත් (බොඩි ලැංවේජ්) හැඩ ගැහිලා තියෙන නිසාලූ. ඉතුරු 10% ක ප්‍රමාණය වෙන් වෙලා තියෙන්නේ වචන වලින් කියන දේ නිරීක්ෂණය කරන්ඩලූ.

මේ හන්දා අහු වෙන්නේ නැතුව බොරු කියන්ඩ බෑ ලු.  (හික්....හිතේ ඇති)

බොරු කියන්ඩ ඕන නං මූන දිහා බලන්නේ නැතුව කියන්ඩ කියලා එයාම කියනවා.

ඊලඟ කාරණාව තමා පිරිමි කෙනෙක්ට ප්‍රශ්න ගොඩක් ඇති උනාම ඒ ප්‍රශ්න ඔක්කොම වර්ග කරලා එකින් එක විසඳගෙන යෑමේ හැකියාව තියෙනවා ලූ. (කොලර් එක උස්සගනු කොල්ලනේ)

ගෑනු කට්ටියට  මේ හැකියාව නෑලූ .... (පවු නේ)

ගෑනු කට්ටිය ප්‍රශ්න ගොඩක් ඇති උනහම කරන්නේ ප්‍රශ්න ටික විසදුනත් නැතත් කාටහරි ඒ සේරම ටික කියලා හිත නිදහස් කරගෙන නින්දට යන එක ලූ.

ඔය වගේ කරුණු 10ක් ගැන ඇංජලීනා පිල්ලේ සඳහන් කරලා තියෙනවා.  කැමති කෙනෙක් ඉන්නවා නං මෙතන කොටලා කියවන්ඩ... ඒ සේරෝම ටික පරිවර්තනේ කරන්ඩ කම්මැලියි !!

ඇංජලීනා කියන මේ කතාව ඇත්ත ද ?
----------------------------------------------------------------------

ප.ලි. - ඊලඟ සඳුදා (4 වෙනිදා) ඉදන් ලියපු ටික පබ්ලිශ් කරනවා ඇරෙන්ඩ අළුතින් ලියන්ඩ කාලයක් නැති වෙයි.

31 October 2013

හැලොවීන් දවස

බස් එකේ වාඩි වෙලා නිදිකිරා වැටි වැටි එනකොට නාවල කිට්ටුවෙනකොටම දැක්කා මොන්ටිසෝරියක් ඉස්සරහා අමුතු විදිහට සරසලා. අමුතු විදිහට කිව්වේ වට්ටක්කා භූත රූප එහෙම එල්ලලා. වට්ටක්කා භූත රූපයක් දැක්කහම තමා මට ක්ලික් උනේ ඒ හැලොවීන් රූපයක් කියලා. :)

ඊට පස්සේ ඔපීසියට ඇවිත් කොම්පීතරේ ඔන් කරපු හැටියෙම බැලුවේ හැලොවීන් දවස අදද කියලා. ඔවු හැලොවීන් දවස අදයි ලූ !!!!

ඔය හැලොවීන් දවස මුලින්ම සමරලා තියෙන්නේ රෝම ජාතිකයන්ලූ. ඒ අයගේ මිය ගිය ඥාතින් එයාලගේ ගෙවල් වලට එන්නේ එදාය කියලා ඔවුන්ගේ විශ්වාසයක් තියෙනවාලූ.

පසු කාලීනව ඉංග්‍රීසි ජාතින් හැලොවීන් දවස එයාලගේ ආගමේ සියළුම සාන්තුවරයන් සිහි කරන බවට පත් කරගෙන. පරණ ඉංග්‍රීසි වචනයක් වෙච්ච  Hallow (හැලෝ) කියන වචනයෙනුත් කියැවෙන්නේ "සාන්තුවරයා" කියලාලූ. ඒ වචනයෙන් මුල් කරගෙන හැදිච්ච වචනයක් ලූ හැලෝවීන් කියන්නේ.

හැලොවීන් දවසට ප්‍රසිද්ධම සැරසිල්ලට තමා වට්ටක්කා ගෙඩියක් මදේ හාරලා ඒකෙන් මිනිස් මූනක් මතුකරගෙන ඒක මැද ඉටිපන්දමක් පත්තු කරලා තියෙන සැරසිල්ල. ඒකට  කියන්නේ "ජැක් ඕ ලන්තෑරුම " කියලා !
 පහලින් තියෙන්නේ 'ජැක් ඕ ලන්තෑරුමක්' !



අපට ආගන්තුක දවසක් උනත් බටහිර ජාතීන් සියළු දෙනා විවිධ භූතයන් වගේ ඇඳ පැලඳගෙන බාල මහලු සියළු දෙනා එක විලසට සතුටු වෙන දවසක් තමා මේ හැලෝවීන් දවස!

එහෙනං,

හැලෝවීන් සමරන අයට සුබ හැලෝවීන් දවසක් වේවා !

------------------------------------------------

ප.ලි. - Halloween කියන වචනේ මං උච්ඡාරණය කරපු විදිහ හරිද මන්දා :)

29 October 2013

අපාය හා දිව්‍යලෝකය

අහලා තියෙනවද මේ කතාව ?

ඔන්න එක මනුස්සයෙක්ට දිව්‍යලෝකයයි අපායයි බලලා එන්න පුලුවන් වෙන විදිහේ අපූරු වරයක් ලැබුනාලු. ඒ වරය ලබාගත්ත මනුස්සයා මුලින්ම ගියේ අපායට ලූ. ඒ යනකොටත් අපායේ දවල් කෑම, මේසෙට ඇරලලු තිබ්බේ.

හරි අපූරු කෑම වේලක් ලු.. කෑම ටික දැක්කහම අපායේ කෑමද කියලා හිතාගන්ඩ බැරි තරම් ලූ. කොටිංම හිතාගන්ඩකෝ හොඳ වෙඩිමක තියෙන කෑම වේලක්.. අන්න එහෙම කෑම මේසයක්ලූ අපායේ තිබ්බේ. කෑම වෙලාවට බෙල් එක ගැහැව්වහම කට්ටිය මේසේ ලඟට ඇවිත් කෑම බෙදාගත්තාලු.

ඒත් මේ කට්ටියගේ අත්, වැලමිට ගාවින් නමන්ඩ බෑලූ. මේ නිසාම බෙදාගත්ත කෑම වේල කටට දාගන්ඩ විදිහක් නැතුව එක එකා කේන්තියෙන් පුපුර පුපුර ඉන්නවාලු. කෑම වෙලාව ඉවර වෙන බෙල් එක වැදුනහම බෙදාගත්ත කෑම එක හලලා කේන්තියෙන් යන්ඩ ගියාලූ.

ඔන්න ඊට පස්සේ අර මනුස්සයා ඊලඟට ගියේ දිව්‍යලෝකයට ලූ. ඒ යනකොටත් දවල් කෑම ලෑස්ති කරලා ලූ. අර විදිහෙම කෑම මේසයක්ලු තිබ්බේ. අර විදිහටම මේ අයගෙත් අත් වැලමිට හරියෙන් නමන්ඩ බෑලූ. වෙනසකට තියෙන්නේ අපායේ වගේ නෙමේ මේ අය තමන් බෙදාගත්ත පිගානෙ කෑම අනිත් කෙනාට කවනවලු. ඒ අයත් අනිත් අයට කවනවලූ.

මේ නිසා සියල්ලෝම බඩ පුරවගෙන සතුටින් විසිර ගියාලු.

ඔන්න ඔය කතාව දවසක් පූජාවකදි ෆාදර් කිව්වට පස්සේ කතාව සාවදානව අහගෙන උන්නු පොඩි කොළු පැටව් දෙන්නෙක් මෙහෙම කියනවා.

"අපායේ මිනිස්සු හරි මෝඩයිනේ අයියේ... "

"ඇයි ඒ ??" අයියගේ ඇස්ගෙඩි දෙක නළලෙලු.

"ඉතිං අයියේ කෑම කන්න අත්දෙක ඔන යෑ.. කෑම ටික හොඳට අනලා බල්ලෙක් වගේ පිඟානට කට තියාගෙන කෑවා නං හරිනේ.... !"

"ඕ...වෙලාවකට අපිත් එහෙම කන්නේ. උං මෝඩයෝ ටිකක්... !"

නිස්සද්ද වෙලාවක ඇහිච්ච පුංචි කටහඬවල් දෙකක් නිසා කට්ටිය පොඩි හිනාවකුත්තෙක්ක ඒ දිහෑ හැරිලා බැලුවා. මුන් දෙන්නෑ අම්මට පොලෝ පලාන යන්ඩ තරං ලැජ්ජයි. ඊට පස්සේ කට්ටිය එහාට්ට මෙහාට්ට වෙනකං ඉදලා උන් දෙන්නෑ කන් දෙක වට එකහමාරක් විතර කරකැව්වා.

ඊට පස්සේ දෙන්නා හුම් සද්දයක් නෑ...  ආයේ නං මතක තියෙන කාලෙක කිසිම පූජාවකට පල්ලිය ඇතුලට ගියෙ නං නෑ.. :)

-------------------------------------------------------------
ප.ලි. - වැඩ අඩු දවස් ටිකක් නිසා මේ ටිකේ ටිකක් වැඩිපුර මොනාහරි ලියතෑකි. මේ විවේකය ඊලඟ මාසේ වෙනකොට නං නැතිවේවි.. :(

28 October 2013

මගේ පන්ති කෙරුවාව

ගුරුවරයෙක් තමන්ගේ ගෝලයන්ට උගන්වන්ඩ කොච්චර නම් ආයාසයක් ගන්නවද කියලා තේරෙන්නේ අපි කවුරුහරි ඒ ගුරුවරයෙන් වෙච්චදාට කියලා මං තේරුම් ගත්ත කාලයක් තමා මේ ගත වෙන්නේ. ඒ මගේ සති අන්ත පන්ති දෙක හන්දා.

එක පන්තියක් සෙනසුරාදටයි අනෙක ඉරිදටයි. ඒ දෙකම ගණන් පන්ති !  ( ගණන් තමයි මං ආසම විෂය !)

ඒ පන්ති දෙකට එන්නෙත් මහ එපා කරපු ළමයි සැට් එකක්. උන් වෙලාවකට උගන්නද්දි ශෝක් එකට අහන් ඉන්නවා. තේරුනාද කියලා ඇහුවමත් ඔවු කියලා ඔලුවත් වනනවා. ඊට පස්සේ ගානක් දුන්නහම හදාගන්ඩ බෑ. ඒ ගාන ආයෙම තේරුම් කරන්ඩ ගියහම පන යනවා !

කෝමහරි ගණන් ටිහිකුත් හදෝලා ඊලඟ සතියේ එනකොට කරන් එන්ඩෙයි කියලා ගෙදර වැඩත් දීලා පංතිය ඉවර කලැයි කියමු. ඕං ඊට පස්සේ සතියේ ගෙදර වැඩ අල්ලන්නෙවත් නැතුව එනවා ! ඒ විතරක් යෑ කලින් සතියේ කරපු පාඩම මොකද්ද කියලා මතකත් නෑ.ඒ සතියේ වහපු පොත ආයෙම ඇරලා තියෙන්නේ පංතියට ආපුවහමයි කියලා තේරුනාම එපා වෙනවා.

ඊට පස්සේ මට පුදුම කේන්තියි !

ඒත් කේන්තිය පිටට පෙන්නන්නේ නැතුව ආයෙම ටික වෙලාවක් පරණ පාඩම මතක් කරලා කලිං සතියේ නවත්තපු තැනින් පටං ගන්නවා !

ඉස්සර අපි ඉස්කෝලේදි ටීචර් ඇවිදින් උගන්නද්දි එක එක විහිලු කතා කියෝ කියෝ ඉදලා පහුවෙනිදට ගෙදර වැඩ ටික කරගෙන නාවම ටීචර් ට මල පැනලා පාරවල් දෙක තුනකුත් දීලා පංති වලින් එලියට දාන එක, උගන්නන්ඩ ගන්න ආයාසයත්තෙක්ක බලනකොට එක අතකට සාධාරණයි කියලත් හිතෙනවා.

තවත් වෙලාවකට හිතෙනවා මේ දිට්ඨ ධම්මවේදනීය කර්මද කියලත්.... ! :)

මං නං කියන්නේ ගෙදර වැඩ කරගෙන එන්ඩ බැරි උනත් කමන් නෑ අඩුම තරමේ උත්සහ කරලාවත් එන්ඩෙයි කියලා. ඒත් කොයි... මුන් අහන එකක්යෑ.. !

මගේ කටේ බලයට වැඩ කරනවා මිසක්කා මුන්ට වගේ වගක්කත් නෑ... !

කොච්චර අමාරුවෙන් උනත් කමන් නෑ මුන් ටික කොහොමහරි ඇදගෙන ගිහින් විභාගෙට තල්ලු කරනවයි කියලා හිත හදාගෙන උගන්නනවා. හැබැයි ඉතිං උගන්නන වෙලාවට එපා උනාට උං කරන පිස්සු වැඩ මතක්වෙද්දිත් උගන්නන එකෙත් අමුතු සතුටක් තියෙනවයි කියලත් හිතිලා තියෙනවා... :)

මේ පෝස්ට් එක ලියද්දි මතක් උනේ ගුරු සේවයේ රස කතා කියලා පොතකුත් තියෙනවා කියලා. ඒ පොතේ තිබ්බ එක කතාවක් ලඟදි දවසක බූන්දියෙනුත් කියෙව්වා. මේ තියෙන්නේ ඒ ලිපිය.. !

25 October 2013

ෆෝන් කතා

මහේෂ් නම් සැරිසරන්නාගේ බ්ලොග් එකේ තිබ්බ ෆෝන් ගැන පෝස්ට් එක කියෙව්වට පස්සේ මටත් ෆෝන් ගැන මොන මොනවා හරි ලියන්න ඕන කියලා හිතුනා.

ෆෝන් කිව්වහම අද නානාප්‍රකාර ෆෝන් තියෙනවා. දැන් ෆෝන් පාවිච්චි කරන අයගෙන් ගොඩක් දෙනෙක් ගාව තියෙන්නේ බොත්තම් නැති ෆෝන්.ඒ කිව්වේ ටච් ඉස්කිරිං ෆෝන් !

ඉස්සරෝම ආවේ දිග ඒරියල් එහෙකුත් තියෙන ගඩොලක් ඉතර සයිස් ෆෝන්. ඒවනං සාක්කුවේ දාන්ඩත් බැරි තරම් ලොකුයි.ඒ වගේම ඒරියල් එක අකුලන්ඩත් බෑ. මිලෙනුත් වැඩියි. පාවිච්චි කලෙත් අතලොස්සක් ඉතරයි. කැම්පස් එකේ ඉන්න දවස්වල අපේ රත්නපුරේ යාළුවෙක්  කිව්වා මේ ජාතියේ ෆෝන් ආපුම කාලේ උන්දැලා පැත්තේ මැණික් මුදලාලි කෙනෙක් තමන්ගේ වත්කම පේන්ඩත්තෙක්ක ෆෝන් එකක් ගත්තා කියලා.

ෆෝන් එක විතරක් නං මදෑ. ඒ මැණික් මුදලාලි යන යන තැන ෆෝන් එක ගෙනියන්ඩ වෙනම සේවකයෙකුත් ගත්තාලු. උන්දැට තිබුනේ කෝල් එකක් ආවහම බොත්තමක් ඔබලා ෆෝන් එක මැණික් මුදලාලිගේ කනේ තියන්ඩ ඊට පස්සේ කතා කරලා ඉවර උනහම කෝල් එක කට් කරන්ඩ විතරලු. කොහොමහරි ෆෝන් එකක් නිසා තව මනුස්සයෙක්ට රස්සාවක් ලැබුන එකම මදෑ.  :)

 ඊට පස්සේ සයිස් එකෙං පොඩ්ඩක් ඉතර පොඩි ෆෝන් ආවා. ඒකේ ඒරියල් එක අකුලන්ඩ කරන්ඩ එහෙමත් පුලුවං. ඒ ජාතියේ ෆෝන් නං සාක්කුවේ දාගෙන ගියෑකි.හැබැයි සාක්කුව ටොම්බා සයිස් එකට පිම්බිලා පේනවා.

මුලින් මුලින් ආපු ෆෝන් වල කෝල් ගන්නවා ඇරෙන්න ඒ හැටි දෙයක් නං කරන්ඩ බෑ..නමුත් පස්සේ පස්සේ ආපු ෆෝන් වල එක එක පහසුකම් එකතු කරලා විවිධ මාදිලියේ ෆෝන් ආවා. ඒත් වර්ණ තිර තිබ්බ ෆෝන් නම් තිබ්බේ නැද්ද කොහෙද. කළු තිරයක ෆෝන් තමා ගොඩක් තිබුනේ.

ඒ දවස්වල නොකියා 1100 ෆෝන් දේවත්වයෙන් වගේ සලකපු කාලයක් !!

කාලෙන් කාලෙට අළුත් අළුත් වැඩ කෑලි එකතු වෙලා එක එක ජාතියේ ෆෝන් ආවා. මුලින්ම ඉන්ටර්නෙට් යන්ඩ පුලුවං ෆෝන් අතපත ගාන්ඩ ලැබුනේ මං උසස් පෙළ කරන දවස්වල. ඒ දවස්වල යාළුවෝ ටික එකතු වෙලා ඒ ෆෝන් එක අරං කරපු එකම දේ තමා ඉන්ටර්නෙට් ගිහින් වැල බලපු එක !

ඒ දවස්වල ඉන්ටර්නෙට් සෑහෙන ස්පීඩ්. ඒ නිසා  ඕන කරන දේ ටයිප් කොරලා කට්ටිය වෙන කතාවක් දාගෙන ඉදලා පින්තූරේ ලෝඩ් උන හැටියේ "වරෙං වරෙං පින්තූරේ ලෝඩ් උනා !!" කියලා ෆෝන් එක එක එකාගේ අතින් අත යවනවා. ඔක්කොම බලලා ඉවර උනහම තමා ඊලඟ පින්තූරේ ලෝඩ් වෙන්ඩ දාන්නේ !

සාමාන්‍ය පෙළ වෙනකන්ම නං එක කොල්ලෙක් ගාවවත් ආස්ස්..සාවකට කියලා ෆෝන් කට්ටක් තිබුනේ නෑ... මල් කඩන්ඩත් එකම පිහිට ලියුං කරදහි ! උසස් පෙළ කරපු කාලෙත් අර වැල ෆෝන් එක ඇරෙන්ඩ වෙන ෆෝන් එකක් අපේ පංති වල තිබුනේ නෑ..

ඒ දවස්වල ෆෝන් අරන් දෙන්න පහසුකම් තිබ්බ පවුල් වල කට්ටියත් ළමයි නරක් වෙයි කියලා හිතලා ෆෝන් අරන් දෙන්නේ නෑ... :) හැබැයි ඒකටත්තෙක්ක දැන් හැම ඉස්කෝලේ යන ළමයා ගාවම ෆෝන් එකක් තියෙනවා. ඒවත් නිකන් ෆෝන් නෙමේ ටච් ඉස්කිරිං එවුවා !!

ඉස්සර වගේ නෙමේ දැං නොකියා 1100 වගේ කලු ඉස්කිරිං ෆෝන් පාවිච්චි කරන කට්ටිය අඩුයි..... ඒ තරමටම තාක්ෂණෙන් දියුණු ෆෝන් හැම කෙනා අතේම තියෙනවා !

හැබැයි ඒ ජාතියේ ෆෝන් එකකට ගහන්ඩ වෙන කිසිම ෆෝන් එහෙකට බෑ.....හ්!
අදට මේ ඇති වගේ !!!! :)

23 October 2013

ඩෙංගු සතියේ උදලු ගෑවීම

අද ටිකක් වේලපහ වැඩ ඉවර වෙච්ච දවසක්. හවස තේ එකත් හදාගෙන එනකොට ඉස්කෝලේ කාලේ පොඩි සිද්ධියක් මතක් උනා.

දවසක් ඉස්කෝලේ ඩෙංගු මර්ධන සතියක අපිට ( අපි කිව්වේ 11A පංතියට ) භාර උනා පාර අයිනේ තණකොල සුද්ද කරලා දාන්න. ඉතින් අපි උදලුත් අරන් වැඩෙට යන්න පිටත් උනා. ඒ යන ගමන් අපේ කොල්ලෙක් කිව්වා '' ඔන්න බලපන් මං ජයා සර් ට කියලා මේ ඔක්කොම තණකොල ටික උදලු ගාව ගන්නවා '' කියලා.

ජයා කියන්නේ අපේ ඉස්කෝලෙට අලුතින් ආපු සෞඛ්‍යය සර්. මනුස්සයාට ඔය විශය ගැන කිසිම දැනීමක් නෑ. ඒ සර් ට ගුරු පත්වීම ලැබිලා තියෙන්නේ මොකද්ද මංදා ධාවන තරගයකින් සමස්ත ලංකා ගිය නිසා. ඉස්සර සමස්ත ලංකා  තරඟ වලට ගිය කට්ටියට ගුරු පත්වීම් දෙන සිරිතක් තිබුනා. එහෙම ආපු සර් කෙනෙක් !
ඒ වගේම තමා කලාප තරඟ වලදි සුදුසුකම් තිබ්බ සිංහල ළමයින්ව කපලා එතනට කොහොමහරි හම්බයෙක්ව රිංගව ගත්ත ජාතියේ අලුගුත්තේරු වැඩත් කරපු සර් කෙනෙක් !

 ඔන්න ජයා සර් ගැන හොද නිර්වචනයක් ලැබුනනේ. දැන් කතාවට එමුකෝ.

අපි කිව්වා  "උබ කෝමද එහෙම කරන්නේ ඔට්ටුයි බෑ ?? "  කියලා. මිනිහත් ෆුල් ගට්ස් අරං වැඩේට බැස්සා. වැඩේ කිව්වේ උදලු ගාන එක නෙමෙයි සර්ව කඩේ යවන එක.

දැන් අපේ එකා උදැල්ලක් අරං ඕනෑවට එපාවට බොරලු පොලවට උදැල්ලෙන් ගගහා ඉන්නවා.

සර්රුත් මේක දැක්කා. දැකලා  " පුතා ඔය උදැල්ල පොඩ්ඩක් මෙහාට දෙන්න. ඔහොම නෙමෙයි උදලු ගාන්නේ. මෙන්න මෙහෙමයි. ඔන්න බලා ගන්න. අපි තරුණ කාලේ ඔයිට වඩා කැත්තේ උදැල්ලේ වැඩ කලා. කොල්ලෙක් උනහම ඔයිට වඩා පනෑතුව වැඩ කරන්ඩ ඕන. " කියලා සර් අරූගෙන් උදැල්ල ඉල්ලං උදලු ගානවා.

උදලු ගාන ගමන් "පේනවා නේ ? මෙහෙමයි උදලු ගාන්නේ ?" කියලා පොර ටෝකුත් දෙනවා. සර් ටික වෙලාවක් උදලු ගාලා  අරූගෙන් අහනවා කොල්ලගෙන් අහනවා "පුතා දැන් දන්නවනේ උදලු ගාන හැටි..." කියලා.

මූත් ගත් කටටම කියපි  "අනේ සර් මං දැක්කේ නෑ... " කියලා.

සර් ආයෙත් උදැල්ල අරන්  "ඔන්න එහෙනම් හොදට බලාගන්න.." කියලා උදලු ගානවලු.

දැන් සර් ආයෙත් ඇහුවලු " දැන් දන්නවෑ උදලු ගාන හැටි " කියලා.

මූ ආයෙත්  " දැක්කේ නෑ " කියපි. සර්ට දැන් යස්සයා ආරූඩ වෙලා වගේ ආයෙමත් උදැල්ල ගත්තා.

දැන් හයියෙන් හයියෙන් පොලවට උදැල්ලෙන් ගහන ගමන් '' දැන් දන්නවා නේ උදලු ගාන හැටි '' කියලා ඇහුවා.

අරූ ආයෙමත් "නැහ්ඃ" කියන්න හදනකොටම '' උබට උදලු ගාන හැටි කියලා දෙනකොට මං මේ ඔක්කොම උදලු ගාලා තියෙයි ! හරකා ! '' කියලා උදැල්ලත් කැලේට විසික්කා කරලා ආයෙමත් පංති කාමරයට ගියා. ඊට පස්සේ උදලු ගාන විදිහ කියලා දෙන්න ආවේ නෑ.

17 October 2013

චුයිංගම්

අද මට අන්තර්ජාලයේ කරක් ගහනකොට අපූරු ලිපියක් කියවන්ඩ ලැබුනා. ලිපිය තිබ්බේ චුයිංගම් හොයාගත්ත විදිහ ගැන. චුයිංගමුත් හොයාගෙන තියෙන්නේ පෙන්සිලින් හොයා ගත්තා වගේ පැරෂුට් ක්‍රමේකින්. හොයා ගත්තා කිව්වට නැතිවෙලා තිබිලා නෙමේ. :)

චුයිංගම් එකක් මුල්වරට හදලා තියෙන්නේ තෝමස් ඇඩම් කියන මනුස්සයා. ඒකත් අහම්බෙං..ඒ 1870 අවුරුද්දේ.....  ඒකයි මං කිව්වේ පැරෂුට් ක්‍රමේකින් කියලා. මුන්දෑ වැඩ කරලා තියෙන්නේ සැන්ටා ඇනා කියන සමාගමේ. ඒක රබර් සෙල්ලම් බඩු, රබර් බූට්ස්, මාස්ක් හදන සමාගමක්.

ඇඩම් මහත්තයාට ඒ සමාගමේ බාර වෙලා තිබ්බේ රබර් වෙනුවට පාවිච්චි කරන්ඩ පුලුවං ලාබදායි ආදේශකයක් හොයන්ඩ.මුන්දෑ මැක්සිකානු සැපදිල්ලා යුෂ අරගෙන පරික්ෂණ කලා ලු. ඒත් මේකාගේ අවාසනාවට (හෝ වාසනාවට) ඒ හැම පරික්ෂණයක්ම අසාර්ථක උනාලු.

මුන්දැට කේන්ති ගිය පාර හදපු මිශ්‍රණයෙන් ටිකක් අරගෙන හපන්ඩ ගත්තලු. ටික වෙලාවක් හප හප ඉන්නකොට මේ මනුස්සයා ඒ මිශ්‍රණයට ආස හිතුනලු. ආස හිතුනා විතරක් නෙමේ උන්දෑ ඒකට වැල්මී රස කවලං කරලා චුංයිගම් එකක් හැදුවලු.

ඊට පස්සේ උන්දෑ ඇමරිකා එක්සත් ජනපදයේ හිටිය අංක එකේ චුයිංගම් වෙලෙන්දා බවට පත් උනා. 

පල්ලෙහා පින්තූරේ තියෙන්නේ  ඇඩම් මහත්තයගේ පින්තූරෙයි උන්දෑ ඉස් ඉස්සෙල්ලම හදපු චුයිංගම් එකේ දැන්විමයි. ඉස්සෙල්ලම හදපු චුයිංගම් එකේ නම තමා "බ්ලැක් ජැක් ගම්" !


ඔන්න ඔය ටික තමා ඒ ලිපියේ තිඋනේ...

ඇඩම් මහත්තයා චුයිංගම් හොයා ගත්තා වගේ නෙමේ. අපේ එකාලා චුයිංගම් කාලා ඉන්න තැන අලවලා යනවා. එක්කෝ පාරවල් අයින් වල දාලා යනවා.  ඉස්සර මං ගිය පංතියකත් මේසේ යට පැත්තේ සෑහෙන චුයිංගම් තොගයක් තිබ්බා.   :)

චුයිංගම් කන එවුන් කරන මේ වගේ වැඩ ඇරෙන්න චුයිංගම් වලින් වෙන කිසිම කරදරයක් නෑ මං හිතන්නේ....

15 October 2013

සත පනහේ හුටපටයක්

කොළඹ තියෙන්නේ කාලෙන් කාලෙට වෙනස් වෙන රථ වාහන සැලැස්මක් ! මේ නිසා තියෙන ට්‍රැෆික් වලට අමතරව අළුතෙන් ට්‍රැෆික් ඇති වෙනවා. දැං පංචිකාවත්තේ සංගරාජ වටරවුමේ ඉදලා ටෙක්නිකල් හන්දියට යන පාර වන් වේ කරලා නිසා එතන අළුතෙන් ට්‍රැෆික් එකක් ! හවසට ගෙදර යන්ඩ ගියහම එපා වෙනවා !

අදත් වෙනදා වගේ වැඩ ඇරිලා කම්මැලිකමේ සීට් එකේ නිදිකිරා වැටි වැටි එනකොට ඊට ටිකක් එහායින් කොන්දොස්තරයි බස් එකට නැග්ග වයසක පහේ මනුස්සයෙකුයි බහින්බස් වීමක් ! පොඩ්ඩක් කන හරවලා බැලින්නං මාරු සල්ලි කේස් එකක්.

බස් වල මාරු සල්ලි කේස් නං එමටයි ! අවම බස් ගාස්තුව රුපියල් 9ක් උනාට කවදාවත් මාරු රුපියලක් ඉතුරු ලැබිලා නං නෑ. ඉල්ලුවට දෙන්නෙත් නෑ.දවසක් අපේ කන්තෝරුවේ හිටපු වයසකම උන්දෑ බස් එකේ කොන්දොස්තරගෙන් ඉතුරු රුපියල ඉල්ලලා. කොන්දා ගත් කටටම කියලා මාරු රුපියලට චෙක් එකක් ලියලා දෙන්ඩද කියලා !

පස්සෙං පහු උන්දෑ ලැජ්ජාවටත්තෙක්ක මාරු රුපියල ඉල්ලන්නේ නෑලු.

 මං අද බස් එකේ දැක්ක බහින්බස්වීමත් මාරු සල්ලි හුටපටයක් නිසා ඇති වෙච්ච එකක්. ඒත් වයසක මනුස්සයෙක්. උන්දෑට ඉතුරු රුපියල් 3ක් දෙන්ඩ තියෙනවලු. ඒක බහිද්දි ඉල්ලගන්ඩ කියලා කොන්දා කියලා තියෙනවා. ඒක අහන්නේ නැතුව මේ මනුස්සයත් දෙතුන් විඩක් ඉල්ලලා. බැරිම තැන සත පනහේ කාසි වලිංම ඉතුරු සල්ලි දීලා.

එන්න ඒක බාර ගන්ඩ බැරුව තමා ප්‍රශ්නේ !

මාරු සල්ලි ඉල්ලුවහම සත පනහේ ඒවා වලිං දීලා අපහාසයක් කලාය ටිකට් එකක්වත් දුන්නේ නෑය. කිය කියා ඒ මනුස්සයා කෑ ගහනවා. ඔය සත පනහේ කතාව කිව්වම මට අපේ වාණිජ පංතියේ ඉගෙන ගත්ත පොඩි සිද්ධියක් මතක් උනා.

ඒ තමා,

අපට කවුරුහරි ණයක් දෙන්ඩ තියෙනවයි කියලා හිතමු. ඒ ණය මුදල සතේ, සත දෙකේ , සත දහයේ වගේ නානාප්‍රකාර කාසි වලිං උනත් ගෙවන්ඩ පුලුවං නේ.

නමුත් නීතියේ හැටියට සතය ,සත දෙක ,සත පහ,සත දහය වගේ කාසි වලිං ගෙවන්ඩ පුලුවන් උපරිම ගාන රුපියලයි. ඊට වැඩිය ගෙවීමක් කලොත් ඒක ප්‍රතික්ශේප කිරීමේ අයිතිය අදාල මුදල ලබන්නාට තියෙනවා !!

සත විසි පහ, සත පනහා වගේ කාසි වලිං ගෙවන්ඩ පුලුවං උපරිම ගාන රුපියල් පහයි. ඊට වඩා වැඩි ගානක් ගෙවන්ඩ ගියොත් අර වගේම ප්‍රතික්ෂේප කරන්ඩ පුලුවං !

ඒ වගේම රුපියලේ කාසියේ ඉදලා ඉහලට තියෙන ඕනම කාසියක් නෝට්ටුවකින් ඕනෑම ගානක් ගෙවන්ඩ පුලුවන්... ඒක ප්‍රතික්ශේප කරන්ඩ බෑ !

එහෙම බලාගෙන ගියහම අර මනුස්සයාට සත පනහේ වලින් ගෙවපු රුපියල් තුන අකමැත්තෙං උනත් බාරගන්ඩ වෙනවා.... ඔන්න ඔහොමයි නීතිය !

හැබැයි ඉතිං ඒ නීතිය කොන්දා දන්නෙත් නෑ අර මනුස්සයා දන්නෙත් නෑ... ආමර් වීදියෙන් මං බහිනකන්ම ඒ දෙන්නගේ බහින්බස් වීම තිඋනා.... !!!!

14 October 2013

ආහාරය

අද ටිකක් වැඩ අඩු දවසක්. පොඩි කම්මැලිකමකුත් එක්ක වැඩ කරගෙන යනකොට අපේ එවුං තේ බොන්ඩ යන් කියලා කතාකලා. මාත් මග් එකත් අරං තේ බොන්ඩ ආවා. දන්නවානේ අපේ හැම වාද විවාදයක්ම යන්නේ තේ වෙලාවටයි කියලා. අද අපි කතා උනේ ආහාර ගැන !

කෑම ගැන කතා වෙන්ඩ  මූලික හේතුව උනේ අපේ කන්තෝරුවේ එකෙක්ව ගෙදර බල්ලා දෙවතාවක්ම කාලා. උදේ බේත් දාගන්ඩ ගිහින්. කලින් වතාවේ බල්ලා කාලා මූව ඉස්පිරිතාලෙත් නැවැත්තුවා. මේ වතාවේ එච්චර දරුණු නැති නිසා බේත් දාගෙන ගෙදර ඇවිදින්ලූ.

"මචං ! උබලා දන්නවද සමහර දෙවිවරු ඉන්නවා සතුට ආහාර කරගෙන ජීවත් වෙන. මේ අපි බත් කනවා වාගේ ඒ දෙවිවරු කන්නේ සතුටලූ..."  එකෙක් කතාවට එන්ටර් උනා.

"ඔවු මං බණකට අහලා තියෙනවා. ඇයි සමහර දෙවිවරු ඉන්නේ විඥානය ආහාරය කරගෙන..." තවේකෙක් උත්තර බැන්දා..

"ඔය දෙවිවරුනේ... ! ප්‍රේතයෝ ඉන්නේ අපේ අසූචි සෙම් හොටු එහෙම කන...! ඒ වගේම වමනේ කන ප්‍රේතයොත් ඉන්නේ...! "  මං මේ ටිකේ කියෝන පොතක තිබ්බ කරුණක් මතක්කලා.

වතුර රත් වෙනකං ඔහොම කතාවෙවී ඉන්නකොට අපේ  පරණම සී ඩිවෙලොපර් තේ බොන්ඩ ආවා. උන්දෑ කෙස්ස පැහිච්ච විශ්‍රාම යන්ඩ ලං වෙච්ච කෙනෙක්. උන්දැත් ටික වෙලාවක් රත්වෙන කේතලේ දිහා බලාගෙන ඉදලා අපේ කතාවට එකතු උනා.

"ඇයි මං එක වතාවක් බණකට ඇහුවා.ඕවගේ යකෙක් ගැන ! " උන්දෑ කතාවට ආරම්භයක් ගත්තා. උන්දෑ ආරම්භ කරපු කතාව අහගන්ඩ අපි ඒ දිහෑවට හැරුනා. උන්දෑ ආයෙමත් හඬ අවදි කලා.

"මේ යකා ප්‍රමාණයෙන් කුඩා එකෙක්ලු. ඒ යකා දවසක් දෙවිවරු එක්ක ප්‍රශ්නයක් ඇතිකරගෙන.  දෙවිවරු මේ යකාට බණින්ඩ ගත්තලු. දෙවිවරු බණින බණින සැරයක් ගානේ මූ ලොකු වෙනවාලු. ආයේ ආයේ බනිනවා. ආයේ ආයේ ලොකු වෙනවලු. දැං යකා දෙවියන්ටත් වඩා උස එකෙක්ලූ. දෙවිවරුන්ට මාර ප්‍රශ්ණයලූ මූ මෙච්චර ලොකු වෙන්නේ ඇයි කියලා.

මේක දුක දිවැසින් දැක්ක ශක්‍රයා ඇවිත් මේ යකා දිහෑට හැරිලා 'පින්වත ඔබ ඇයි මේ දෙවිවරුන්ට කරදර කරන්නේ' වගේ කරුණාවෙන් කතා කලා ලු. එතකොට මේ යකා ටිකක් පොඩි උනාලු. ශක්‍රයාත් දිගින් දිගටම හොඳින් කතා කරනකොට මේ යකා එන්ඩ එන්ඩ පොඩි වෙලා අතුරුදහන් උනාලූ.

ඉතිං දෙයියන්ටත් හරි ප්‍රශ්නෙලු එහෙම උනේ ඇයි කියලා. ශක්‍රයා කිව්වලු ඒ යකා ක්‍රෝධය ආහාරය කරගෙන ජීවත් වෙන එකෙක්. උට බනින්ඩ බනින්ඩ ඌ තව තවත් ලොකු වෙන එක විතරයි වෙන්නේ හොඳින් කතා කලොත් තමයි ඌ ප්‍රමාණයෙන් කුඩා වෙන්නේ කියලා පැහැදිලි කලාලු. "

අපිත් උන්දෑ කතාව මීක් නැතුව සාවදානව අහගෙන හිටියා. කතාව ඉවර උනාට පස්සේ තේකත් අරගෙන ආපහු සීට් එකට ආවා.