28 August 2011

අතුරුදහන් වී සිටියෙමි.


හුග දවසකට බ්ලොග් එක පැත්ත පළාතේ එන්න ලැබුනේ නැහැ. ආචාර්යවරුන්ගේ වැඩ වර්ජනය මාස තුනකට විතර පස්සේ ඉවර වෙලා ආයෙම අපේ විභාග පටන් ගන්න දිනයක් නියම වෙලා. ඉතින් එකට පාඩම් කරන්න සිද්ද වෙච්ච නිසයි බ්ලොග් එක පැත්තෙවත් එන්න උනේ නැත්තේ. පහුගිය විභාගේ කාලේ නම් මගේ කම්පියුටර් එක හොස්ටල් එකේ තිබ්බ හන්දා පාඩම් කරලා මහන්සි උනාම බ්ලොග් පෝස්ට් එකක් කියවන්නවත් පුළුවන් උනා. දිග නිවාඩුවක් ලැබුන නිසා මගේ කොම්පියුටර් එක ගෙදර ගෙනිච්චා. ඒ නිසා බ්ලොග් කියවන්නත් නෑ.

සදුදා ඉදන් අපට විභාග පටන් ගන්නවා. මේක තමයි මගේ අන්තිම විභාගේ !!!! ඒ නිසා විභාගේ ලොකු රිසල්ට් එකක් දාගන්න තමයි උපරිම ට්‍රයි එක දෙන්නේ. (ලොකු රිසල්ට් එකක් කියන්නේ A එකක් එහෙම නෙමෙයි. මට A එක මිස් වෙලා ගොඩක් කල්. !!!! ඔය ඊට පල්ලෙහා තියෙන රිසල්ට් එකක් දාන්න තමයි උත්සාහය. එහෙම බලාගෙන ගියාම C එකත් ලොකු රිසල්ට් එකක් තමයි. )

ඔන්න ඕක තමයි රංජනී පහුගිය ටිකේ බ්ලොග් ලිය ලියා හිටපු එකාට උනේ. එහෙනම් කට්ටිය නාස් වලට රෙද්දක් බැදගෙන එහෙම මකුළු දැල් ටික කඩන්න උදව්වක් දුන්නා නම්.......

එහෙනම් කට්ටිය ටාර් ගාලා වැඩේ පටන් ගන්න. මම තේ ටිකක් එහෙම බිලා එන්නම්.ඔන්න මම එනකම් කට්ටිය ටාර් ගගා ඉන්නවා එහෙම නෙමෙයි !!!!

උදව්වට එන හැමෝටම මම ගානේ පහේ කිට් කැට් එකක් තෑගි දෙනවා. ඉක්මන් කරන්න. ඔබේ කිට් කැට් එක දැන්ම වෙන් කරවා ගන්න.

ඕක තමයි මේ දවස්ටිකේ අතුරුදහන් වෙලා ඉන්න සිද්ද උන හේතුව !!!

පාඩම් කර කර ඉන්න ගමන් යාලුවෙක්ගෙ ලැප් එකක් හම්බ උනා නෙටුත් එක්ක. ඉතින් විනෝදයට වගේ පෝස්ට් එකක් දාන්න හිතුවා. එහෙනම් ගිහින් එන්නම්.

සියලු දෙනාටම (මටත් එක්කම) ජය වේවා !!!!!


20 August 2011

අධ්‍යාපන චාරිකාව

අපේ නෑදෑ වෙන මල්ලි කෙනෙක්ට සති දෙකක් විතර පන්ති තහනම් කරලා. අපේ අම්මා මීට සති කිහිපයකට උඩදි මට ඔය කතාව කිව්වම මම් ඇහුවේ මොකද එහෙම උනේ කියලා.

කතාව මේකයි. ඔය මල්ලි මීට සති කිහිපයකට උඩදි ඉස්කෝලෙන් ට්‍රිප් එකක් ගිහින්. මට මතක හැටියට ට්‍රිප් එක ගියෙ ගම්පහ දිස්ත්‍රික්කයේ ලෙන් විහාර වලට හරි දළදා මාලිගාවට හරි. ඒක එච්චරම මතක නෑ.කොහොමහරි මූත් ඔය කියන ට්‍රිප් එක ගිහින්.

මුන්ගේ පංතියේ කොල්ලො ටිකක් ඒ ට්‍රිප් එකේදි බොන්න සෙට් වෙලා. කවුරුත් දන්නවනේ ඉස්කෝලේ ට්‍රිප් එකක් ගියහම එලිපිට බොන්න බෑනේ. මුන්ගේ මොළේ කියන්නේ මුන් කොකාකෝලා මෙගා බෝතලයක් අරගෙන ඒකෙන් භාගයකට කෝක් දාලා ඉතුරු හරියට අරක්කු දාන්න. එතකොට වැඩෙත් මාට්ටු නෑ. බොන්නත් පුලුවන් නේ.

කොහොමහරි වැඩේ ක්‍රියාත්මක කළා කියමුකෝ.කට්ටිය ට්‍රිප් එක මඟක් දුර ගියහම අර කොකාකෝලා බෝතලේ අරගෙන බොන්න ගත්තා.ටීචර්ලත් හිතන්නේ මුන් කොකාකෝලා බොනවා කියලා. ඔය අල්ල පනල්ලේ අපේ එකාටත් ඕනවෙලා කොකාකෝලා බොන්න.මූ ඒක බොන්න ගන්නකොටම වගේ සර්ලට ඉව වැටිලා මූව අල්ලගත්තා ලූ.

ඊට පස්සේ අර බෝතලේ රාජසන්තක කරලා මේ කේස් එක ඉස්කෝලෙට ගියහම විසදනවා කියලා කට්ටියම ට්‍රිප් එක ගියාලු. පහුවෙනිදා තමයි සීන් එක !!!! බීපු කට්ටියට එන්න කියලා මූටත් එන්න කිව්වා.

"පුතා මීට කලින් ගෙදරදි බීලා තියෙනවද ?" කියලා මුගෙන් ඇහුවා ලු. මොකද මේකානේ බොනකොටම මාට්ටු වෙච්ච එකා.

මූත් ගත් කටටම "ඔවු. මං අවුරුද්දට අපේ තාත්තා ගෙනාපු බෝතලයක තිබ්බ ටිකක් බීලා තියෙනවා !!!" කියලා කිව්වලු.තාත්තගේ රෙදි අත්තනගලු ඔයේ ලූ !!!!

"එහෙනම් හෙට අම්මට එන්න කියාපිය !!!" සර්රුත් කිව්වා. පහුවෙනිදා ඒකාගේ අම්මා ඉස්කෝලේට ගියාම තමුන්ගේ මනුස්සයාට බොන්න බැරිනම් නාගන්න !!! ඒත් ළමයින්ට මේවගේ දේවල් පුරුදු වෙන්න තියන්න එපා කියලා ලොකු දේශනයක් තියලා මූට සති දෙකක් විතර පන්ති තහනම් කලා ලූ.

මූගේ අම්මා පරසක්වල ගහනවලු තමන්ගේ මනුස්සයා බොන්නේ නෑ. ළමයින්ට එහෙම අරක්කු අහුවෙන්න තියන්නේ නෑ කියලා. ඒත් ගුරුවරු පිලිගන්නේ නෑ. මොකද මූගේ කටින්ම කිව්වනේ ගෙදරදි බීලා තියෙනවා කියලා. එදා ගෙදර ආවට පස්සේ මූගේ තාත්තා ගහලා ගහලා අහලා තියෙනවා ඇයි එහෙම කිව්වේ කියලා.

මූ කියලා තියෙන්නේ ගෙදරදි කොකාකෝලා බීලා තියෙන නිසයි එහෙම කිව්වේ කියලා. මූ දන්නේ නෑ කොකාකෝලා වලට අරක්කු දාලා තියෙන සීන් එකක්. අපි උනත් ගෙදරදි කොකාකෝලා ඉතුරු වෙලා තියෙනකොට ගෙදර එවුන්ට හොරෙන් ඕකට වැඩේ දෙනවනේ. ඒවගේ මේ යකා හිතලා තියෙන්නේ ගෙදරදි කොකාකෝලා බීලා තියෙනවද කියලා ඇහුවයි කියලා. මූ ගොන් රජෙක් !!!!!!
-----------------------------------------------------------

ප.ලි. - මේ සිද්ධිය මට වෙච්ච එකක් නෙමේ. ඒ නිසා මේකේ කථානායකයාට මාව ආදේශ කිරීමෙන් වලකින්න.



17 August 2011

අතීතය, අනාගතය, වර්තමානය

අතීතය...
දුටුවා වූ සිහින රාශියකි
අනාගතය...
හෙට උදාවන්නා වූ සත්‍යකි
වර්තමානය...
එම කටුක වූ සත්‍යය
මිහිරියාවක් බවට
පත් කර ගැනීමට
කැපකළ යුතු දවසකි.


15 August 2011

කුලියාපිටි ගමන

ඉස්සර මම් පොඩි කාලේ අපේ මාමා සිල්ලර කඩයක් කලා. ඒ දවස්වල කඩේ වැඩ කරන්න මාමත් එක්ක එකට වැඩ කරපු ගෝලයෙක් හිටියා. ඒකාට ඒ හැටි වයසක් නැති හන්දා ඒකා අපිත් (මායි අපේ මලයයි) එක්ක මාරම ෆිට්. අපිත් ඉතින් නිවාඩු වෙලාවක් අහු වෙච්ච හැටියෙම මාමලෑ කඩේට ගිහින් ඉන්නවා.

මාමලෑ කඩේ වැඩ කරපු එකා කුලියාපිටිය පැත්තේ කිරිමැටියාන කියන ගමේ එකෙක්. ඒකා දවසක් ගමේ යන්න ලෑස්ති වෙනවා. අපිටත් මාරම ආසයි ඔය පැත්තේ ගිහින් එන්න. මොකද කවදා ගිහින් තියෙන හරියක් යෑ. ඉතින් මායි මලයයි අපේ අම්මගෙන් ඇහුවා ගිහින් එන්නද කියලා. අම්මත් කිව්වා එක දවසින් එනවනම් අවුලක් නෑ හැබැයි දවස් දෙකක් නම් යන්න දෙන්නේ නෑ කියලා.

වැඩේ කියන්නේ මූ යන්නේ දවස් දෙකකට ලූ. මමයි මල්ලියි අම්මට කන්නලවු කලත් හරි ගියේ නෑ. ඒ නිසා ගෙදෙට්ට හොරෙන් ගමන යන්න ලෑස්ති උනා. කොහොමහරි එදා අම්මා සමෘද්ධි රැස්වීමකට ගිහින්. මමයි මල්ලියි ලෑස්ති වෙලා ඒ අයියලෑ දිහාවේ යන්න පිටත් උනා.කොහොමහරි කුලියාපිටි බස් එකට ගොඩ වෙන්න කලින් ඒ අයියව අපිට සෙට් උනා. කට්ටියම සෙට් වෙලා ඒ අයියලෑ ගෙදර ගියා.

එදා දවල්ට ඒ අයියලෑ ගෙදරින් කෑම කාලා හවස් අතේ ගම පුරාම ඇවිද්දා.දවසම විනෝදෙන් හිටියා මිසක්කා අපට ගෙදර ගැන ගානක්වත් තිබ්බේ නෑ. කොහොමින් කොහොමහරි අපි රෑටත් කාලා නිදාගත්තා. වැඩි වෙලා නිදාගන්න ලැබුනේ නෑ. ඒ ගේ ඉස්සරා එකපාරටම වාහනයක් නවත්තන සද්දේ ඇහුනා. මෙන්න බොලේ අම්මයි ලොකු අම්මයි මාමයි වෑන් එකක් හයර් කරගෙන ඇවිල්ල !!!!!

එකපාරටම අපේ අම්මා පැනපු ගමන් ඇඳ යට තිබ්බ විකට් පොල්ලක් (ස්ටම්ප් එකක් ) ඇදලා අරගෙන නෙලන්න ගත්තා. අම්මා ගහයි ස්ටම්ප් එකෙන් කිව්වලු !!!! දෙක වදිනකොට මම් වෑන් එක ඇතුලේ !!!! මල්ලිත් අඬ අඬ වෑන් එකට නැග්ගා. ඊට පස්සේ අපට නොසෑහෙන්න බැනලා අපි ඒ ගෙදරින් පිටත් උනා.

එන ගමන අම්මා මගින් මගට බනිනවා ඉවරයක් නෑ. මාත් ගොනා වගේ අහගෙන ඉන්නවා. කොහොමහරි මහබාගේ කිට්ටුව නයිට් කඩයක් ලඟ වාහනය නවත්තලා තේ බොන්න ලෑස්ති උනා.

"ලොකු පුතාට මතකද දවසක් අපි වැලිසර ඉස්පිරිතාලේ යනකොට මේ කඩෙන් තේ බිව්වා !!!!" අම්මා මං දිහාට හැරිලා කිව්වා. මට කාපු කැවිල්ලේ හැටියට ඒ කිසිම එකක් මතක තිබ්බේ නෑ. මං යන්තම් හිනා උනා.කොහොමරි ඒ කඩෙන් තේ බීලා ගෙදර ආවා. ගෙදර ආපු හැටියෙම මම් ඇඳ බදාගෙන නිදා ගත්තා. ඇයි වදේ ආයෙම බැනුම් අහන්න පුලුවන් යෑ.

කොහොමහරි මේ ගමනෙන් කාපු තරමක් ගුටි කෑවේ මම්. හරියට අපේ මලයව මම් වඩාගෙන මේ ගමන එක්කන් ගියා වගේ !!!! දවස් දෙකක් යනකන් බැනිල්ල නම් තිබ්බා.අන්තිමේදි අම්මා ෂේප් උනා.

මේ කරපු පිස්සු වැඩෙන් දුක හිතුනේ එදා ඒ වෑන් එකේ හයර් එකට සල්ලි ගෙව්වේ අපේ අප්පච්චි කලින් දවසේ නයිටක් කරලා ගෙදර ගෙනාපු සල්ලි වලින් බව දැනගත්තට පස්සේ. හිතන්නකෝ අපේ අප්පච්චි මුලු රෑක් පොහොර මිටි කරගහලා හොයා ගත්තු රුපියල් 1800ක් මේ වගේ පිස්සු වැඩකට යොදවන්න උනා කියලා. ඒක නම් අපි කරගත්තු ලොකු පවක් !!!!!

කොහොමරි එදායින් පස්සේ මම නම් මේ වගේ ගමන් යන්නේ නෑ කියලා හිතාගත්තා. හැබැයි කැම්පස් ආවට පස්සේ නම් මේ වගේ ගමන් යන්න ගෙදරින් අවුලක් නෑ. දවස් දෙක තුන උනත් ඕන තැනක ඉදලා ආව හැකි.

13 August 2011

උපන්දින තෑග්ග

පහුගිය ජුලි මාසේ මම් අදුනන ගෑනු ළමයෙක් ගේ උපන්දිනයක් තිබ්බා.උපන්දිනේට කලින් දවසේ මට කෝල් එකක් දීලා කිව්වා එයත් එක්ක උපන්දිනේ දවසේ පන්සල් යන්න එනවද කියලා. උපන් දිනේ දවස නිසා එන්න බෑ කියන්නත් බෑ. අනිත් එක පන්සල් යනවා වගේ හොද වැඩකට එන්න කියන්නේ. ඔක්කෝටම වඩා කෙල්ලෙක් එන්න කියන්නේ. ඉතින් නොගිහින් කෝම !!!!

මාත් එන්නම් කියලා කිව්වා. කොහොමහරි උපන්දිනේ දවසේ එන්න කිව්ව අදාල බස් ස්ටෑන්ඩ් එකට ගියා. දෙන්නම බස් එකට නැඟලා වාඩි උනා. බස් එක ස්ටෑන්ඩ් එකෙන් පිටත් උනා. මම් දෙන්නටම ටිකට් ගත්තා (මේකි ටිකට් ගන්නවා කිව්වට ගත්තේ නෑ.)

මෙන්න බොලේ මේ කෙල්ල අඬනවා. බස් එකේ එවුන් ඇස් කටේ තියාගෙන බලන් ඉන්නවා හරියට මම් මොනාහරි කරලා වගේ.ශේප් එකේ මම් ඇහුවා මොකෝ අඬන්නේ කියලා. මෙන්න එකපාරටම ඒකි කියපි "උපන්දිනේ දවසේ තෑග්ගක් ගන්න තාත්ති බැංකු පොතට සල්ලි දාලා නෑ." කියලා. ඉතින් මම් කිව්වා තාත්තට අමතක වෙන්න ඇති කියලා. මෙන්න ඒක කිව්වා විතරයි ඇඬිල්ල තව වැඩි උනා.

"මට කවදාවත් උපන්දිනේක මෙහෙම වෙලා නෑ. මට හැම උපන්දිනේ දවසකම තෑගි ලැබිලා තියෙනවා. අද විතරයි ලැබුනේ නැත්තේ" කියලා ආයෙමත් හොටු හූර හූර අඬන්න ගත්තා. මහපොල වාරික ටිකත් ඉවර වෙලා හන්දා තෑග්ගක් අරන් දෙන්න මා ලඟ වැඩිපුර කීයක්වත් තිබ්බේ නෑ.

කොහොමහරි පන්සල් ගිහින් එනකන් එකාසීරුවටම මේකි ඇඬුවා. මට සංසාරේ එපා උනා. ඇයි වදේ දෙමව්පියෝ දරුවන්ට පොඩිකාලේ ඉදන් පුරුදු කරලා තියෙන විදිහ නේ. මට නම් උපන්දිනේ දවස කියලා කියන්නේ එක දවසක් විතරයි. අපේ අප්පච්චිට සල්ලි තිබ්බොත් විතරක් එදාට කේක් එකක් ගේනවා. නැත්නම් ඒකත් නෑ.

තෑග්ගක් කියලා නාමයක් ලැබිලත් නෑ. දෙමව්පියෝ දෙන්න උත්සහ කරලත් නෑ. දෙන්න පුලුවන් කමකුත් නෑ. අපට ඕනෙත් නෑ. අම්මයි අප්පච්චියි අපිට මේ ජීවිතය දීපු එකත් ලොකු තෑග්ගක්. මෙච්චර දුරට උගන්වපු එකත් ලොකු තෑග්ගක්. ඒ ඇතිනේ.

අම්මෝ ආයේ නම් උපන්දින වලදි කෙල්ලොත් එක්ක ගමන් නෑ !!!! ඉල්ලගෙන මාමයිට් ගාගන්නවා කියන්නේ මේකට වෙන්න ඇති. !!!

11 August 2011

රසායන විද්‍යා පංතිය - 2වෙනි කොටස (අන්තිම කොටස)

කලින් ලිපියේ ෆෝන් එකක් නිසා රසායන විද්‍යා පංතියේ හිටපු කොල්ලෙක්ට වෙච්ච හදියක් ලිව්වා. අන්න ඒකේ දෙවෙනි කොටස තමයි ලියන්න යන්නේ. පලවෙනි කොටස කියෙව්වේ නැත්නම් මෙතන ක්ලික් කරලා කියවන්න. නැත්නම් කතාව කියෙව්වට තේරුම් ගන්න බැරි වෙයි.

එදා ඒ සර්ගේ බැනිල්ල එච්චර වෙලා තිබ්බේ නෑ. ඒ නිසා වැඩ පටන් අරගෙන පාඩම කරගෙන ගියා. දන්නෙම නැතුව විවේක කාලයත් කිට්ටු වෙච්ච හන්දා ළමයින්ට විවේකය දීලා සර් පංතියෙන් එලියට ගියා. සර් පංතියෙන් එලියට ගිහිල්ලා ගුරුවරුන්ට වෙන් වෙච්ච විවේකාගාරයට ගියා.

මෙන්න මේ කොල්ලා සර්ව හම්බ වෙන්න ඇවිත්

"සර් මට අද ක්ලාස් එකෙන් වේලාසන යන්න ඕනේ" කියලා කිව්වා.

"ඇයි එකපාරටම යන්නේ? මොකක්ද හේතුව ?" සර්රුත් ඇහුවා.

"සර් මට උන වගේ. පාඩම අහගෙන ඉන්න අමාරුයි. ඒ නිසයි යන්නේ" කියලා කිව්වා.

සර්රුත් මේ කොල්ලගේ නලලට අත තියලා උන තියෙනවද කියලා බැලුවා.ම්හු... උන පාටක්වත් නෑ. සර්ට තේරුනා මූ පංතියෙන් යන්නේ වෙන හේතුවකට කියලා. සර්ට දැන ගන්න ඕනවෙලා තිබ්බා ඇත්තම හේතුව මොකද්ද කියලා.

"උන නම් නෑ. මට බොරු කියන්න එපා. ඇත්තම හේතුව කියන්න !!!!!" සර් කිවා.

"සර් මට පංතියේ ඉන්න ලැජ්ජ හන්දයි ගෙදර යන්නේ " කියලා ඒ කොල්ලා ඇත්තම කිව්වා.

සර්රුත් මේ කොල්ලා ඉන්න මානසික තත්ත්වේ තේරුම් අරගෙන පංතියෙන් පිටවෙලා යන්න දුන්නා. එදා ඒකා ගියා ගියාමයි ආයේ නම් පංතිය පැත්තේ ආවෙ නෑ. ඊට පස්සේ ඒකා ගැන කිසිම ආරංචියකුත් නැතුව ගියා. අපේ සමහර යාලුවෝ නම් කිව්වේ ඒ කොල්ලා සර්ගේ නුගේගොඩ පංතියට යනවයි කියලා. නමුත් ඇත්තද කියලා නම් දන්නේ නෑ.

ඇත්තටම මේ වගේ දෙයක් උනාම ඕන කෙනෙක් මානසික වැටෙනවා. හොද වෙලාවට මේ සිදුවීම උනේ උසස්පෙළ විභාගෙට ගොඩක් කල් තියෙද්දි. විභාගය ලඟදි එහෙම උනා නම් මේ කොල්ලා විභාගේ ලියන්න යන එකකුත් නෑ. අපරාදේ ඒකාගේ අනාගතේ අඳුරු වෙන්නත් තිබ්බා. මේ සිද්ධිය උසස් පෙළට ගොඩ කාලෙකට කලින් උනා කියලා ඒකෙන් සිද්ධ වෙන මානසික හානිය සුළු පටු නෑ. සුලු කරලා තකන්නත් හොද නෑ.

මටත් සාමාන්‍ය පෙළ කරපු දවස්වල ටියුශන් පංතියක ඔහොම සිද්ධියක් උනා (ෆෝන් සිද්ධියක් නෙමේ.). ඒ නිසා මම් දන්නවා ඒ කොල්ලගේ මානසික තත්ත්වේ කොහොම එකක් ද කියලා. ඒ නිසා මේ සිද්ධිය ඇහුවම මට මාර දුකක් ඇති උනා.
---------------------------------------------------------------------
ප.ලි.- කතාව ඉවරයි !!!!

10 August 2011

රසායන විද්‍යා පංතිය -1 කොටස


ගම්පහ පැත්තේ රසායන විද්‍යාව උගන්වන ටිකක් විතර සැර ඒ උනාට කැපවීමෙන් උගන්වන සර් කෙනෙක් ඉන්නවා. ගම්පහ වගේම නුගේගොඩ නුවර කුරුනෑගල පංති කරන හන්දා මේ සර්ගේ නම කියපු ගමන් සර් කවුද කියලා ගොඩක් කට්ටියට මතක් වෙනවා.ඒ හන්දා මම ඒ සර්ගේ නම කියන්නේ නෑ.

මම් උසස්පෙළට රසායන විද්‍යා පංති ගියේ මේ සර් ලඟට.පංතියේ ළමයි දෙදාහක් විතර ඉන්නවා. හැමදාම මේ පංතිය පටන් ගන්න කලින් බෝඩ් එකේ මොකක් හරි ප්‍රශ්නයක් ලියලා තියෙනවා සර් පංතියට එනකම් කරන්න කියලා. ළමයිනුත් පංතියට ආපු ගමන් මේ ප්‍රශ්න ටික පොතේ ලියාගෙන උත්තර ලියනවා.

දවසක් මේ සර්ට ආරංචි උනා මෙහෙම ප්‍රශ්න බෝඩ් එකේ ලියලා ගියාට සමහරු උත්තර ලියන්න නෑ කියලා.ඒ වෙනුවට ෆෝන් වලින් එක එක සිංදු කෑලියි ෆොටෝයි වීඩියෝ වැල කෑලියි එහෙම බලනවා කියලා.ඔහොම දවසක් සර් එකපාරම පංතියට ඇවිත් ෆෝන් වලින් සිංදු අහන එවුන්ව චෙක් කරගෙන යනවා. එකෙක් සර්ව දැකලා එකපාරටම ෆෝන් එක හංග ගත්තා කියලා සර් දැක්කා.

සර් මූ ලඟට ආවා. මුට ෆෝන් එක එලියට ගන්න කියලා කිව්වා. ම්හු... මූ ෆෝන් එක එලියට ගත්තේ නෑ. ඔහොම දෙතුන් පාරක් කිව්වට පස්සේ සර්ට කේන්ති ගියා.මූව පංතිය ඉස්සරහට අරගෙන ගියා. මූට බනින්න ගත්තා. පංතියේ අනිත් එවුන් 'මීක්' නෑ. බැනලා බැනලා ෆෝන් එක එලියට ගන්න කිව්වා. කොහොමහරි මුටත් තේරුනා ෆෝන් එක සර්ට දුන්නේ නැත්නම් වැඩේ බරපතල වෙයි කියලා.

මූ එකපාරටම බෝඩ් එක පැත්තට හැරිලා කලිසමේ සිප් එක ඇරලා අර අහවල් තැනින් ෆෝන් එක එලියට අරගෙන ඒක සර්ට දුන්නා. මේකා බයටම ෆෝන් එක කලිසම ඇතුලේ දාගෙන. ඒක නොකියා 1100 වර්ගයේ එකක්. කෝල් එකක් මැසෙජ් එකක් ගහනවා ඇරෙන්න සිංදු අහන්න බෑ.මුට වස ලැජ්ජාවයි. අච්චර ළමයි ගොඩක් ඉස්සරහා ෆෝන් එක දෙන්න වෙච්ච එකට. සර්ටත් මාර ම දුකයි මේ වගේ අහිංසකයෙක් පංතිය ඉස්සරහට ගන්න වෙච්ච එකට.

ඊට පස්සේ මේකාට හිටපු තැනට යන්න කියලා කිව්වා. ගොඩක් වෙලාවට පංතියේ මොකක් හරි ප්‍රශ්නයක් උනාම සර් බනින එක ලේසියෙන් ඉවර කරන්නේ නෑ. සමහර දාට එකම එක ප්‍රශ්නයක් විතරක් සාකච්ඡා කරලා පංතිය අවසන් කරනවා. එහෙම කලත් වෙලාවට විශය නිර්දේශය නම් අඩුවක් නැතුව ඉවර කරනවා.

පැය 4ක විතර පංතියක් හන්දා පැය දෙකක් විතර උගන්වලා පොඩි විවේකයක් දෙනවා.මේ විවේකයේදී අර ෆෝන් එකට මාට්ටු වෙච්ච කොල්ලා සර්ව හම්බ වෙන්න ආවා.

ඊට පස්සේ මොකද උනේ කියලා ඊලඟ කොටසින් බලාපොරොත්තු වන්න.

-------------------------------------------------------------------

ප.ලි.- ඔය උඩින් තියෙන්නේ නොකියා 1100 වර්ගයේ ෆෝන් එකක්. කතාවේ ඉතුරු කොටස වැඩිකල් නොයවා ඉක්මනටම ලියන්නම්

08 August 2011

ග්‍රින් පීස් මාළුව

මට මේ කතාව කිව්වේ අපේ කැම්පස් එකේ අපේම බැච් එකේ යාලුවෙක්. අපි ඒකාට කියන්නේ පොල්කට්ටා කියලා. එහෙම් පිටින්ම කතා සාගරයක්. කැන්ටිමට සෙට් උන වෙලාවක ඒකා වටේට කට්ටිය එකතු වෙන්නේ මොකක් හරි කතාවක් අහන්න. එහෙනම් ඒකාගේ හඩින්ම කතාව අහගමු !!

මචං අපේ මාමා කෙනෙක් දවසක් ලොකු හෝටලයක වෙඩින් එකකට ගියා. වෙඩින් එක පට්ටටම තිබ්බා. කොහොමහරි මාමාත් පොඩ්ඩක් එහෙ මෙහේ කැරකිලා ඉදලා එකපාරටම කෑම තියලා තිබ්බ හට් එක පැත්තටත් ගියා. ඒ හරියට යනකොටම දොර ලග චෙෆ් (ප්‍රධාන සූපවේදියා) ඉන්නවා. ලොකු හොටල්වල කෑම දෙන තැනට වෙලා චෙෆ්ලා ඉන්න එක සිරිතක් ලු. මොකද කෑමවල හොද නරක අහන්න චෙෆ් අනිවා එතන ඉන්නවලු.

මාමා කාරයාත් චෙෆ් එක්ක හිනාවක් එහෙම දාලා හට් එක ඇතුලට ගියාලූ. ගිහින් කෑම ටික බලාගෙන බලාගෙන යනවා. ගිය ගමන් එකතැනක තියෙනවලු කජු මාළුවක් හදලා ඒකේ ග්‍රීන් පීස් තොගයක් තියෙනවලු. කජු ඇට දෙක තුනකට වැඩිය නෑලු. මේ සීන් එක මාමට එච්චර ඇල්ලුවේ නෑ. මිනිහා චෙෆ් ලඟට ගියා.

"ඔහේද මෙතන චෙෆ් ??" අපේ මාමා ඇහුවා.

"ඔව් සර් මං තමයි." චෙෆුත් ආඩම්බරයෙන් උත්තර දුන්නාලු.

" මොකද්ද අයිසේ අර කරලා තියෙන වැඩේ !!!" මාමා කිව්වා.

"ඇ..හ් ඇ..යි සර් මොකද්ද වෙලා තියෙන අවුල ?" චෙෆුත් කන පාත් කරගෙන ඇහුවා.

"තමුසෙලා අර හදලා තියෙන ග්‍රීන් පීස් මාළුවට කජු ඇට දෙක තුනක් වැටිලා. මං දැකපු හින්දා හොදයි. වෙන කෙනෙක් දකින්න කලින් ගිහින් ඒක අරන්දානවා !!!!! නැත්නම් හෝටලේ නමට හරි නෑ !!!!" කියලා කිසි ගින්නක් නැතුව කියලා දැම්මා.

ඒ කතාව ඇහුවා විතරයි. චෙෆ්ට හීන් දාඩිය දැම්මාලු. ඊට පස්සේ එතනින් එහාට චෙෆ් නෙමේලු කෑමවල ගුණදොස් අහන්න දොර ගාවට වෙලා හිටියෙ.

04 August 2011

සුබ උපන්දිනයක් වේවා මල්ලි !!!!

අද මම් පෝස්ට් එකක් දාන්න හිටියේ නෑ. නමුත් මට අද උදේම මතක් උනා මගේ එකම මලයගේ උපන්දිනේ කියලා. සහෝදරයෝ කියලා තුන් හතර දෙනෙක් ඉන්න එකක් යෑ. ඉන්නේ එකම එකානේ. ඒ නිසා ඒකාගේ උපන්දිනේට සුබ පතලා පෝස්ට් එකක් දාන එක ආදරනීය අයියා කෙනෙක් ගේ යුතුකමක් නේ.:)

ඒ නිසා උදෙම්ම නැගිටපු වෙලේ අකුරු දහයක් පහලොවක් ටයිප් කරලා සුබ පතලා පෝස්ට් එකක් දාන්න හිතුනා. මුලින්ම කවියක් ලියන්න හිතුනත් මට කවි සිතුවිලි නෑ. ඒ නිසා වචනයෙන්ම සුබ පතනවා කියලා හිතුනා.

මාත් එක්ක දුක සැප බෙදාගන්න රණ්ඩු කරන්න හිනා වෙන්න ඉන්න එකම මලයට
සුබම සුබ උපන්දිනයක් වේවා !!!!


-----------------------------------------------------------------------
ප.ලි. - අද යාලුවෝ එක්ක බෙදාගෙන කන්න කියලා කිට් කැට් එකකුත් ඉස්සර කරගෙන යන්නයි ලෑස්තිය. හැබැයි අපරාදේ කියන්න බෑ මගේ පංගුව කලින්ම දීලයි ගියේ !!!!

03 August 2011

කොල්ලන්ට කොස්සෙන් ගහනවා එහෙම නෙමෙයි !!!

වෙනදා වගේ දවල් වෙනකම් ඉන්නේ නැතුව උදෙම්ම ඇහැරුනා.ඇත්තටම ඇහැරුනා නෙමෙයි ඇහැරුවා. එහා ගෙදර පොඩි කෙල්ල මල්ලිට කොස්සෙන් ගහලා. මලයා ලතෝනි තිය තියා අඬනවා. එකම ගාලගෝට්ටියයි. ඒ සද්දෙට කන තියාගෙන නිදියන්නේ කොහොමද. මම් ඇහැරුනා.

ඊට පස්සේ එවුන්ගේ අම්මා ඇවිත් අර පොඩි කෙලීට කෝටුවකින් පාරවල් දෙකක් ගහලා.

"චුටි දූ මොකද මල්ලිට කොස්සෙන් ගැහුවේ !!!! කොල්ලන්ට කොසු වලින් සෙරෙප්පු වලින් ගහන්න හොද නෑ කියලා දන්නැද්ද !!!!" කියලා කියපි. මටත් මේක හරි ප්‍රශ්නේ. ඇයි එහෙම කිව්වේ කියලා.පස්සේ අපේ ආච්චි අම්මගෙන් ඇහුවම තමා හරිම කතාව කිව්වේ.

ආච්චි කියපු දේ සාරංශ කරලා ගත්තම තියෙන්නේ මේම දෙයක්.

ගෑනු කෙනෙක්ට සමාජයේ තනියම ජීවත් වෙන්න බෑ. (පුලුවන් කියලා තමයි හිතාගෙන ඉන්නේ.)පිරිමි කෙනෙක්ගේ සහය අනිවාර්යෙන්ම ඕන කරනවා. ගෑනු කෙනෙක්ගේ ජීවිතයට පිරිමි කෙනෙක් විවිධ අකාර වලින් එනවා. වෙලාවකට පියෙක්, සහෝදරයෙක්, ස්වාමිපුරුෂයෙක්, පුතෙක් විදිහට.කොස්ස කියන්නේ අතුගාන්න ගන්න උපකරණය නේ. අන්න එහෙම කොස්සෙන් ගහනවා කියන්නේ තමන්ගේ ජීවිතයෙන් පිරිමි සංහතිය අතුගාලා දානවා වගේ වැඩක් !!!! කවදාවත් තමන්ගේ ජීවිතයට පිරිමි කෙනෙක් එන්නේ නැති වෙයි ලූ.

ප්‍රශ්නයකදි ගෙදර ඉන්න පිරිමියාට කොස්ස උස්සන් එන ගෑනු උන්දලා මේක කියවලාවත් හැදෙන්න. බඳින්න ඉන්න එහෙමත් නැත්නම් යාලුවෙලා ඉන්න බවලත් උදවිය මේ කාරණා හොදට හිතේ ධාරණය කරගන්න ඕනේ !!!!

---------------------------------------------------------------------

ප.ලි. - මේවා ලියලා මට පාරක බැහැලා යන්න බැරි වේද මන්දා.

01 August 2011

ගෑනු සහ කැරපොත්තෝ

එදා ගොඩක් වැඩ තිබ්බ දවසක්. සාමන්‍යයෙන් නම් 6.30 වෙද්දි වැඩ ඉවර වෙනවා. එදා 8.30 වෙද්දිත් වැඩ ඉවර වෙලා තිබ්බේ නෑ. මොනා කරන්නද දවසම ඔෆිස් එකට වෙලා ඉන්න කියලා යෑ.එතන වැඩ කරපු ගොඩක් කට්ටිය ගෙදර ගිහින්. හිටියේ මමයි තව කිහිපදෙනෙකුයි විතරයි.

මම කම්පියුටරය ඕෆ් කරලා බෑග් එක අරගෙන ගෙදර එන්න හදනවත් එක්කම අපේ ප්‍රධාන තාක්ෂණික නිලධාරිනිය වොෂ් රූම් එකේ ඉදලා කෑගහගෙන එලියට පැන්නා. කොච්චර බයවෙලාද කියනවනම් කොරිඩෝවේ හිටපු මාවත් තල්ලු කරගෙන එලියට පැන්නා. යන්තන් මගේ ඔලුව බිත්තියේ වැදිලා ෂේප් උනා. වැඩිය ආපදාවක් උනේ නෑ.

ඊට පස්සේ කඩ්ඩෙන්ම මොනවද කිව්වා. උඩබිම බල බල හිටපු මට එච්චර මීටර් උනේ නෑ. කොහොමහරි යන්තමට තේරුනා වොෂ් රූම් එකේ මොකෙක් හරි ඉන්නවා කියලා. මම් හිතුවේ හොරෙක් ජනේලෙන්වත් ඇවිල්ලවත් ද කියලා. කොයිකටත් කියලා වොශ් රූම් එකේ දොර ඇරලා බැලුවා. ම්හු.... මොකෙක්වත් නෑ.

ඒ වෙනකොට බයවෙලා හිටපු මිස්ගේ බය අඩුවෙලා තිබුනා. එතකොට යන්තන් කැඩිච්ච සිංහලෙන් කිව්වා. වොශ් රූම් එකේ කැරපොත්තෙක් ඉන්නවාය කියලා.ඒ කැරපොත්තා කොමඩ් එකේ කැරකි කැරකි ඉන්නවා දැක්කා. මමත් ඉතින් උට නිදහසේ ඉන්න දීලා ගෙදර යන්න හැරුනා.

"අනේ එයාවත් අරගෙන යන්නකෝ !!!!!" ඒ මිස් කිව්වා. යකෝ !!! ගෙදර ඉන්න හතර දෙනාට අමතරව තව කැරපොත්තෙකුත් අරන් පලකෝ !!!!

"අනේ මිස්, අපේ අම්මා කියලා තියෙන්නේ තාම කවුරුවත් ගෙදෙට්ට ගේන්න එපාය කියලා." එහෙම කියන්න හිතුනට කිව්වේ නෑ.කිව්වනම් මගේ ට්‍රේනින් එකේ අවසාන දවත් එදාම වෙන්න තිබ්බා.කොහොමහරි මම මගේ සපත්තුවෙන් කැරපොත්තව වැහුවා. ඌ නිදහසේ අවසන් ගමන් ගියා. ආයෙත් ගෙදර යන්න හැරුනා. මට ඒ යන්න දුන්නෙත් නෑ.

"අනේ එයාව ඩස්පින් එකට දාලම යන්නකෝ !!!" මිස් ආයෙත් කිව්වා. මොනා කරන්නද ටොයිලැට් පේපර් එකකින් ඔතපු කැරපොත්තව ඩස්පින් එකේ මිහිදන් කරලා ගෙදර යන්න බස් හෝල්ට් එකට ආවා. යන්තම් අන්තිම බස් එකෙන් ගෙදර ආවා.

ගෙට ගොඩ උනා විතරයි "යකෝ උබ සිවිල් කලා නම් ඉවරයි. රෑට පාරවල් හදන්නේ නෑනේ. මෙච්චරවෙලා මොනවද බොල කලේ ? මම් කීපාරක්නම් බස් හෝල්ට් එකට ගියාද !!!" අපේ මල්ලි ගෝරනාඩු කරන්න ගත්තා.මම ඉතින් කරබාගෙන හිටියා.මූත් එක්ක වාද කරනවට වඩා හොදයි පොල්ලෙල්ලකින් කට උලාගන්න එක !!!

ඇත්තටම ගෑනු අය මෙච්චරම කැරපොත්තන්ට බය ඇයි ? මුන් අච්චර පොඩි කැරපොත්තන්ට තමයි බය. ඊට වඩා දස දහස්ගුණයක් විශාල අපිව තමයි කන්න හදන්නේ !!!!!