31 December 2013

ගතවුනු අවුරුද්ද ගැන...

අද මේ අවුරුද්දේ අන්තිම දවස !

ඒ හන්දමද මන්දා අද අපේ කන්තෝරුව සෑහෙන පාලුවට ගිහින් එක තට්ටුවකට ඉන්නේ කීප දෙනයි. මගේ කණ්ඩායමටම මම විතරයි ඉන්නේ. අනිත් අය නිවාඩු ගිහිං. මටත් නිවාඩු ඉතුරු වෙලා තිබුනා නං මාත් අද ගෙදර !

මගේ බස් සගයා කියන විදිහට අද වගේ දවසක් උදා නොවෙනවා නං හොඳයි ලූ. ඒකට හේතුව විදිහට කියන්නේ අවුරුද්දේ අවසානයයි මාසයේ අවසානයයි දෙකම එකට එන හන්දා හුස්ම ගන්ඩ බැරි තරමටම වැඩ තියෙන දවසක් හන්දා ලූ.

මට නං ඒකේ අනිත් පැත්ත ! අද මට වැඩ නැතිම දවසක් !

මේ අවුරුද්ද පටන් ගන්න කොට නං වැඩිය ලොකුවට බලාපොරොත්තු තිබුනේ නෑ.

අළුතෙන් මොනවහරි ඉගෙන ගන්න හිතුනත් ආයේ පාඩම් කරන්න ලෙක්චර් යන්න ඕන කියලා මතක් වෙනකොට මහා කම්මැලිකමක් හිතෙනවා. ඒ නිසා ඉගෙන ගන්න එක නවත්තලා දැම්මා. නැවත්තුවා කිව්වට එහෙම් පිටින්ම නවත්තලා දැම්මේ නෑ.

පොඩි කෝස් එකකුත් කලා !

ඒ වගේම මේ අවුරුද්දේ  සෑහෙන කාළයක් බ්ලොග් එක දිහා හැරිලවත් බැලුවේ නැති නිසා ඒ කාළය පුරාම පොත් ගොඩක් කියෙව්වා. කොච්චර පොත් කියෙව්වද කියනවා නං මං පොඩි කබඩ් කෑල්ලකුත් ගත්තා පොත් ටික අහුරන්ඩ.

පොත් කියෙව්ව එකට අමතරව මං කරපු අනිත් දේ තමා පොඩි පොඩි ට්‍රිප් ගියපු එක. ඒකත් ජොලි වැඩේ.  අපේ අප්පච්චි උපන්තේකට නොගිහින් තිඋනු සත්තු වත්ත බලන්ඩ එක්කං ගියෙත් මේ අවුරුද්දේ. උන්දෑ නං සෑහෙන ආස උනා ඒ ගමනට !

මේ අවුරුද්දේ සිදුවෙච්ච අනිත් සුවිශේෂිම වැඩේ තමා මට සුදුනෝනව මුන ගැහිච්ච එක ! ඒ ගැන විස්තර පසුවට කියන්නම්. සුදු නෝනා ගැන කියනවා නං හරි ශෝක් කෙලි පොඩ්ඩි !

ඔය විදිහට තමා මං මේ අවුරුද්ද ගත කලේ. දුක හිතෙන සිදුවීමුත් සිදු නොවුනාම නෙමේ. ඒ දේවල් මතක් කරලා ආයෙම හිත රිද්දගන්නේ මොකටද නෙහ්. ඒ නිසා ඒ ටික අමතක කරලා දානවා.

එහෙනං මං ගියාවේ ! අළුත් අවුරුද්දෙම හම්බ වෙමුකෝ !

29 December 2013

යාපහුවට ගිය ගමන

යාපහුවට යන ගමන මුලින්ම පටන් ගත්තේ මං අපේ නදී අක්කලාගේ ගෙදර ගිය දවසේ. එදා එයත් එක්ක ඇති වෙච්ච කතා බහේ දී අපි යාපහුවේ යන්න ඕන කියල හිතා ගත්තා. එයගේ යාළුවෙකුත් ඉන්නවා යාපහුව රජමහා විහාරය ලඟ. එයාවත් එකතු කරගෙන මේ ගමන යන්ඩයි අපි එදා කතා උනේ.

ඔය කතාවෙන් පස්සේ අද (29 වෙනිදා) යාපහුවේ ගමන යන්න දින දාගත්තා.

මාත් අපේ අම්මවයි මල්ලිවයි එක්ක යන්න හිතුවට මල්ලිට ඉස්පිරිතාලේ යන්න වෙච්ච නිසා එයා ආවේ නෑ. අම්මයි තව අපේ මල්ලිලා නංගිලා රොත්තකුත් එක්ක මේ ගමන යන්න සූදානම් උනා. ගමන සූදානම් උනාට මේ ගමනේ ප්‍රධාන සංවිධායිකාවට ඒ කියන්නේ අපේ නදී අක්කට එන්ඩ උනේ නෑ...

නමුත් එයා අපිට එයාගේ යාළුවාව ලෑස්ති කරලා දුන්නා ගමනේ මග පෙන්වන්නා විදිහට. ඒකත් ලොකු උදව්වක් !

යාපහුවට යන්න කෝච්චියෙන් ගිහින් මහවෙන් බහින්ඩ ඕන. ඊට පස්සේ මහව බස් නැවතුමෙන් ගල්ටැංවැව බස් එකෙන් යාපහුව පංසල ගාවටම ආවෑකි. කුරුණෑගල ඉදලා එනවා නං කුරුණෑගල මහව බස් එකේ ඇවිත් මහවෙන් බැහැලා ගල්ටැංවැව බස් එකේ යන්ඩ ඕන.

ඔන්න කතා කරගත්තු දවසේ ඒ කියන්නේ අද. උදේ 6.05ට තිබ්බ යාල් දේවියෙන් මහව ස්ටේශමට ආවා. ස්ටේශමට අපි එනකොට කියපු වෙලාවට වඩා පෑ බාගයක් ප්‍රමාද වෙලා. ලංකාවේ කෝච්චිනේ ඉතිං !

ඒ වෙනකොට අපේ මග පෙන්වන්නියත් ඇවිත් හිටියා.

එයත්තෙක්ක කතාවක් දාගෙන මහව බස් නැවතුමට ආවා. ඉරිඳා නිසා ද මන්දා ගල්ටැංවැව බස් එක තිබ්බේ නෑ. ඉතිං අපි ටික වෙලාවක් බස් ස්ටෑන්ඩ් එකේ තැග් ගැහි ගැහි ඉන්නකොට ඕං බස් එකක් ආවා. අපි බස් එකට නැග්ගට බස් එක යන්නේ තව පැයකට පස්සේ.

මොනා කරන්නද ඉතිං බස් එකේ නැගලා අපේ මග පෙන්වන්නියත්තෙක්ක පොඩි කතාවක් දාගෙන උන්නා. එයා වැඩ කරන්නෙත් අපේ නදී අක්කා වැඩ කරන කන්තෝරුවේමයි !

ඕං පැයකට පස්සේ බස් එක පිටත් උනා. බස් එක පිටත් වෙලා පෑ කාලක බස් ගමනකින් පස්සේ යාපහුව පන්සල ගාවින් බැහැගත්තා. අපි ඒ වෙනකොට උදේ කෑමත් නොකා හිටියේ. ආපු හැටියෙම කලේ අපි ගෙනාපු සීනි සම්බෝලයි පානුයි අපේ මග පෙන්වන්නියටත් දීලා අපිත් කෑවා. බඩිගින්න වැඩිකමටද මන්දා ඒ සීනි සම්බෝලයයි පානුයි සෑහෙන රසක් තිබ්බා ! :)

උදේ කෑම කාලා ඉවර උනාට පස්සේ අපි කන්ද නගින්ඩ පටං ගත්තා. මේ තියෙන්නේ කන්ද නගින්ඩ පටන් ගත්තු තැන.

ඔය පඩි පෙල් ටික නැගගෙන එනකොට  යාපහුවට ප්‍රසිද්ධ යාපහුවේ සිංහයා උන්නා. මේ ඉන්නේ ඔය කියන සිංහයා. රුපියල් දහයේ නෝට්ටුවෙත් ඉන්නේ ඔය සිංහයාලුනේ... :)


මේං මේ වාගේ පඩි පෙලක් තමා කන්ද නගින්ඩ තියෙන්නේ.. මම් ඉස්කෝලෙන් එන දවස්වල මෙච්චර හොඳ පඩි පෙලක් තිබුනේ නෑ. ගස් ගල් වල එල්ලි එල්ලි කන්ද නැග්ගේ. දැං නං මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් පඩිපෙල් හදලයි කියලා අපේ මගපෙන්වන්නිය පැහැදිලි කලා.


කන්ද නගිනකොට වටාපිටාව පෙන්නේ මෙහෙමයි. ඔය ලඟින්ම තියෙන කන්දේ ඉදලා යාපහුව කන්දට උමගක් තියෙනවලූ. ඒකත් කිව්වේ අපේ මගපෙන්වන්නිය !


මේකත් කන්දට පෙනෙන දර්ශනයක් !


කන්ද නගින අතරෙදි අපි දැකපු පොකුණක් තමයි මේ.


මේ තව ටිකක් දුරට කන්ද නැග්ගහම තියෙන ගුහාවක්...


අමාරුවෙන් අමාරුවෙන් කන්ද මුදුනට නැග්ගහම මුලින්ම හමු වෙන්නේ මේ තියෙන ගරා වැටුනු චෛත්‍යය රාජයා. මේ චෛත්‍යය ඒ දවස්වල ලස්සනට තියෙන්ඩ ඇති...


මේකත් ගරා වැටුනු සෑයක් මයේ හිතේ...


කන්ද උඩට නැග්ගහම අපි කන්ද නගින්ඩ පටන් ගත්තු තැන පේන්නේ මෙන්න මෙහෙම..


 කන්ද නැගලා බහිනකොට සෑහෙන මහන්සියි. ඒ වගේම බඩගිනියි.අපේ මගපෙන්වන්නිය අපට කෑම ගෙනත් තිබුන නිසා හාවක් හූවක් නැතුව ඒ කෑම ටික රසවින්දා !

කෑම කාලා නෙල්ලි ගස් හෙවනේ ටික වෙලාවක් ඉදලා අපි විහාරය පැත්තට ගියා. මේ තියෙන්නේ විහාරගෙයි ඉදිරිපස පෙනුම.


මේ තියෙන්නේ විහාරගෙයි ඇතුලත දර්ශන කිහිපයක් !



විහාරෙත් වැඳපුදාගෙන අපි ගෙදර එන්න බස් එකට නැග්ගා.බස් එකෙන් මහවට ඇවිත් පුරුදු විදිහට කෝච්චියේ එල්ලුනා. ගෙදර එනකොට හය හමාර පහු වෙලා !

අද දවසත් සතුටින් ගත කලා කියන සිතුවිල්ලෙන් ඉන්න ගමන් මේ පොස්ට් එක ලිව්වා... !

අපේ මග පෙන්වන්නියටයි නදී අක්කටයි ස්තූතියි. ! ඒත් අපේ නදී අක්කට එන්ඩ උනේ නැති එක නිසා පොඩි දුකකුත් හිතේ නැතුවාම නෙමෙයි... !

27 December 2013

ආනවිලුන්දා අභය භූමියට ගිය ගමන

පහුගිය සතියේ සෙනසුරාදා මට බ්ලොග් බීච් පාර්ටියට එන්ඩ උනේ නෑ. ඒකට හේතුව උනේ මම අපේ යාළුවෙක්ට උන්දෑ ගෙදර එනවයි කියලා කලිං ඉදලම පොරොන්දු වෙලා උන්නේ.. දෙයක් පොරොන්දු උනා නං ඒක ඉටු කරන්ඩ එපැයි.. ඒ නිසාම උන්දෑ ගෙදර ගියා.

යාළුවා ඉන්නේ ආනවිලුන්ඩාවේ !

ආනවිලුන්ඩාව තියෙන්නේ පුත්තලම් කොළඹ පාරේ බංගදෙනියයි බත්තුළුඔයයි අතර මැදක. ඔන්න ඉතිං කියපු දවසේ උදේ අටට තිබ්බ පුත්තලම් කෝච්චියට නැග්ගා ආනවිලුන්දාවට යන්ඩ. පුත්තලම් යනවා නං කෝච්චියක යනවට වඩා බස් එකක යන එක හොඳයි.. බස් එකේ පෑ දෙකක විතර ගමනට කෝච්චියෙන් ගියොත් පෑ 4ක් විතර යනවා.

ඒත් ඉතිං කෝච්චියේ යන එක ජොලි වැඩක් නිසා කෝච්චියට නැග්ගා... මං හලාවතට එනකොට උදේ 11.45ත් පහු වෙලා. හලාවතට ආ හැටියෙම මගේ කැමරාව ඔන් කර ගත්තා කලපුවේ ෆොටෝ ටිකක් ගන්ඩ. එතකොටම මුතු කුමාරි කෝච්චිය නවත්තලා. ඒ නිසා ෆොටෝ ගහන්ඩ උනේ නෑ.


ඔය තියෙන්නේ හලාවත ස්ටේශමේ නවත්තලා තිබුනු මුතු කුමාරිය !

ඒත් ඉතිං මං වැඩේ අතෑරියේ නෑ.. කෝච්චිය ඉවර වෙච්ච හැටියෙම කලපුවේ ෆොටෝ දෙක තුනක් ගහ ගත්තා. ඔය පහලින් තියෙන්නේ එහෙම ගත්තු පින්තූරයක්.


ඔන්න ඉතිං ආනවිලුන්ඩාවට ආවයි කියමුකෝ. ආ හැටියෙම දවල් කෑම කාලා ආනවිලුන්දා අභය භූමිය පැත්තෙත් ගියා. හිතපු තරම් ලොකු අභයභූමියක් නෙමේ.. කෝච්චියෙන් බැහැපු ගමන්ම තියෙන පාරේ ගියහම තමා ආනවිලුන්ඩාව අභය භූමියට යන්ඩ තියෙන්නේ.

ඔය ඉහලින් තියෙන්නේ ආනවිලුන්දා අභය භූමියට ඇතුල් වෙන තැනම තිබ්බ නාම පුවරුව.

මේක අන්තර්ජාතික රැම්සා තෙත් බිමක්.. ආනවිලුන්ඩාව අභය භූමියේ වැව් කීපයක්ම තියෙනවා. නමුත් මම ගිය දවසේ ආනවිලුන්ඩාව වැවේ විතරමයි වතුර ටිකක් හරි තිබුනේ.. අනිත් වැව් ටික හිඳිලා. ඒ නිසා ඒ පැත්තේ තිබ්බ කුඹුරු ටික ගොවිතැන් කරන්නේ නැතුව අතෑරලා දාලා. පුරන් වෙලා !

පහලින් තිබ්බ පාරේ තමා අභය භූමිය බලන්න ගියේ...


පහලින් තියෙන්නේ හිදීගිය මයියාව වැවේ දර්ශනයක්.

මයියාව වැවේ වතුර තිබුනු කොටසේ දර්ශනයක්.
පහලින් තියෙන්නේ සුරුවිල වැව පැත්තට යන ගමනේදි ගත්තු පින්තූරයක්.
(අනිත් වැවු ටික තමා පින්කට්ටිය,ඉරක්කවල, වැල්ලවල, ඉහලවැව,සුරුවිල,මරදන්සල සහ මයියාව. ඕකෙන් සුරුවිල වැවටයි මයියාව වැවටයි යා ගත්තා.)

පෑ කිහිපයක් ආනවිලුන්ඩාව අභය භූමියේ ගත කරලා මමයි මගේ යාළුවයි ගියා මුතු පන්තිය පැත්තේ !
මුතු පන්තිය කියන්නේ හලාවත මූදු තීරයට. ඒකත් ලස්සන මුහුදු තීරයක්. මුහුදු තීරයේ ටික වෙලාවක් ගත කරලා ඊට පස්සේ හවස 5.38ට තිබ්බ කෝච්චියට නැග්ගා ආපහු එඩේරමුල්ල පැත්තට එන්ඩ !

එඩේරමුල්ලෙන් බහිනකොට රෑ 9.30යි. ගෙදර එනකොට රෑ දහයයි !

ගානට ඇඳට වැටෙන වෙලාවට ගෙදර ආවා. ඊට පස්සේ ඇඟපත හෝදගෙන මගදි ගත්තු කෑම එකෙන් ටිකක් කාලා නින්දට වැටුනා !

ඔන්න ඔහොමයි මගේ දවස ගෙවුනේ !

--------------------------------------------------------------------
ප.ලි. - ගොඩක් පින්තූරු තියෙනවා. අපොයි සුපියල් පහ වෙන නිසා දැම්මේ නෑ.. :)

24 December 2013

සුබ නත්තලක් වේවා !

නත්තල ලබන්න තව තියෙන්නේ පැය කිහිපයක් විතරයි.. ඉතිං ඒ හන්දම නත්තල් සමරන අපේ බ්ලොග් ලියන හිතවතුන්ටයි බ්ලොග් පාඨකයින්ටයි සුබ නත්තලක් පතන්න ඕන කියලා හිතුනා. ඒ නිසාමයි මේ පෝස්ට් එක ක්ෂණිකව ලියන්නේ... !

ගිය වතාවේ නං නත්තල් කාඩ් එහෙකුත් හැදුවා.. මේ වතාවේ නං කාඩ් එකක් හදන්න උනේ නෑ.. 
 එහෙනං,


සියළුමදෙනාට ලබන්නාවු නත්තල සාමය සතුට සපිරි සුබම සුබ නත්තලක් වේවායි පතන්නෙමි !

මං එහෙනං යන්ඩ කියලා.. අද උදේ හිටං එහාට්ට මෙහාට්ට දුව දුව ඉදලා  හරි මහන්සියි.. කකුල් දෙකත් කකියනවා.. !!

----------------------------------------------------------------------
ප.ලි. - හෙට ලැබෙන නත්තල් කෑම බීම මතක් වෙනකොට අද නින්ද යාවිද මන්දා.. :)

23 December 2013

සිත්තරාගේ බිරිඳ

නත්තල හන්දා මේ සතිය ම මට නිවාඩු.. ඒ නිසා නිවාඩුවේ කියවන්න හොඳ පොත් ටිකක් ගත්තා. පොත් කිව්වහම තමා මතක් වෙන්නේ අපේ මල්ලි යාළු වෙලා ඉන්න ගෑල්ලමයගේ මාමණ්ඩියත් පොත් කාවෙක්.. කාවෙක් විතරක් නෙමේ ලේඛකයෙක් !

උන්දෑ කෙටි කතා පොතක් ලියලා සිත්තරාගේ බිරිඳ කියලා.මටත් ඔයින් කොපියක් දුන්නා කතු තුමාගේ තිළිණයක් විදිහට.. මාත් ඉතින් ආසාවෙන් කියෙව්වා. ඇත්තටම පොත හොඳයි...

මේ ලඟදි මට මලයගේ මාමණ්ඩියව හම්බ උනා. ඒ වෙලේ ඔය පොත ගැනත් කතා උනා.

"මාමේ, මං ඔයා ලියපු පොත කියෙව්වා.. "

 "කොහොමද පොත ගැන අදහස් ?" මාමා මගෙන් ඇහුවා.

"වරදක් නෑ.. ලස්සන කෙටි කතා ටිකක්... ඒ උනාට සිත්තරාගේ බිරිඳ කියන කතාව ලස්සන නෑ.. ඒ ඇරෙන්න අනිත් ටික ලස්සනයි."

ඕං ඔහොම කිව්වා විතරයි උන්දෑ මූන වහින්න ලං වෙච්ච අහසක් වාගේ කළු උනා. මල්ලිත් මට මුකුත් නොකියා බිම් බලාගෙන හිටියා. මං ඉතිං වරදක් කිව්වේ නෑ නේ... මං කිව්වේ මගේ අදහස් නේ.

ඔහොම පොත් ගැන කතා වෙවී ඉදලා ගෙදර ගියයි කියමුකෝ.

"මොකෝ බං අයියේ පොත ගැන අරෙහෙම කිව්වේ ?" අපේ මලයා මගෙන් ඇහුවා.

"නෑ ඉතිං මට හිතුන දේනේ කිව්වේ.. මගේ අදහස් නේ.. ඉතිං හම්බ වෙච්ච වෙලේ මූණටම කිව්වා."

"යකෝ... ඒක ඒ මනුස්සයාගේ ජීවිත කතාව... ඒකයි අරහෙම අප්සෙට් උනේ !"

"හුටා !  ඉතිං කවුද බං ඕවා දන්නේ..."

දැං ඉතිං උන්දෑ ලියන ඊලඟ පොත තිළියක් විදිහට ලැබෙනවා බොරු ! පාඨක අදහස් වලට ලේඛකයා මෙච්චර උරණ වෙනවයි කියලා දන්නේ අදනේ.
මාත් කර ගන්න විනාස !

19 December 2013

ඔතෙලෝ සිංඩ්‍රෝමය

ඔතෙලෝ කියන්නේ වැනීසියේ හමුදාවේ හිටපු දක්ෂ ජෙනරාල් කෙනෙක්. මේ ජෙනරාල්ගේ දකුණු අත වගේ සගයෙක් උන්නා ඉයාගෝ කියලා. ඔතෙලෝ වැනීසියේ හමුදා මෙහෙයුමේ වැඩකටයුතු කරගෙන ඉන්නකොට ඒ සේවයේම හිටපු මයිකල් කාසියෝ කියලා ආධුනික හමුදා සෙබලෙක්ව ලෙෆ්ටිනන් තනතුර දක්වා උසස් කරනවා..

මේ ආධුනික සෙබලාගේ තනතුරු උසස් කිරීම ඉයාගෝගේ ප්‍රසාදයට ලක් වෙන්නේ නෑ.. ඔහුට ඊර්ෂ්‍යාවක් හට ගන්නවා.. තමන්ට වඩා ආධුනික සෙබලෙක්ගේ තනතුර හිටපු ගමන්ම උසස් වෙන එක ගැන. මේ නිසා ඉයාගෝ, ඔතෙලෝගෙන් පලි ගන්න මාන බලමිනුයි ඉන්නේ...

ඉයාගෝ දිවා රෑ මහන්සි වෙනවා ඔතෙලෝගෙන් පලිගන්න සැලැස්මක් හදන්න ! අන්තිමේදි ඉයාගෝ තමන්ගේ සැලැස්ම ක්‍රියාත්මක කරනවා...

තව පොඩ්ඩෙං කියන්ඩ අමතක වෙනවා... ඔතෙලෝ කියන දක්ෂ ජනරාල්වරයාට පණ වගේ ආදරෙ කරන බිරින්ඳෑ කෙනෙක් ඉනවා ඩෙස්ඩිමෝනා කියලා... තමන්ගේ පණටත් වඩා ඩෙස්ඩිමෝනා මේ ජෙනරාල්වරයාට ආදරෙයි.. මේ දෙන්නා ආදරේ කරන දවස්වලට ඩෙස්ඩිමෝනාගේ තාත්තා මේ ආදරේට කැමති වෙන්නේ නෑ.. ඒ නිසා ඩෙස්ඩිමෝනා තමන්ගේ තනි කැමැත්තට තමයි මේ ජනරාල්වරයාත් එක්ක විවහා වෙන්නේ..

ඉයාගෝගේ සැලැස්ම ක්‍රියාත්මක වෙන්නේ ඩෙස්ඩිමෝනා හරහා... ඒ සැලැස්ම මෙහෙමයි.ඩෙස්ඩිමෝනාත් කාසියෝත් අතර සම්බන්දයක් තියෙනවයි කියලා ඇඟවෙන්න ඩෙස්ඩිමෝනාගේ ලේන්සුවක් අරගෙන ඇවිත් කාටත් නොදැනෙන්න ලෙෆ්ටිනන් කාසියෝගේ කාමරේ ඇතුලෙන් තියනවා.මේ ලේන්සුව ගෙනත් දෙන්නේ ඉයාගෝගේ බිරිඳ එමිලි ! ඒ ඉයාගෝගේ ඉල්ලීමක් නිසා...

දවසක් ඔතෙලෝ මේ ලෙෆ්ටිනන්වරයාගේ කාමරේට එනකොට මේ ලේන්සුව දකිනවා. ඊට පස්සේ ඒ ලේන්සුව තමන්ගේ බිරිඳගේ ලේන්සුව බවත් අඳුනගන්නවා.මේ ලේන්සුව තමා ඔතෙලෝ තමන්ගේ බිරිඳට දීපු මුල්ම තෑග්ග !

තමන්ගේ බිරිඳ මේ ලෙෆ්ටිනන්වරයාත් එක්ක නිදිවදිනවයි කියලා ඔතෙලෝ හිතනවා. ඔහු තුල ඊර්ෂ්‍යාවක් හට ගන්නවා.. ! ලිංගික ඊර්ෂ්‍යාවක් !

මේ ඊර්ෂ්‍යාව කොච්චර ප්‍රබලද කියනවා නම් ඔහු තීරණය කරනවා තමන්ට පණ වාගේ ආදරේ කරපු බිරිඳව මරන්න ! ඒත් එක්කම ඉයාගෝගෙන් ඉල්ලා සිටිනවා කාසියෝව මරන්න.

ඔතෙලෝ තමන්ගේ බිරිඳ නිදාගෙන ඉන්න යහනට ඇවිත්, නිදි යහනෙදිම ඇගේ ගෙල සිරකිරීමකිනුයි මරන්නේ. තමන්ගේ හිතේ ඇති වෙච්ච ඊර්ෂ්‍යාවකින් තමන්ට පණ වාගේ ආදරේ කරපු බිරිඳව මරා දමන්න තරම් ඔතෙලෝ සහාසික වෙනවා !

ඊට පස්සේ ඉයාගෝගේ බිරිඳ එමිලි ඔතෙලෝ ලඟට ඇවිත් ඇත්තම කාරණය පැහැදිලි කරනවා. ඒත් එක්කම ඒ ලේන්සුව ගෙනාවේ තමන්ගේ ස්වාමිපුරුෂයාගේ ඉල්ලීමක් නිසාවෙන් බවත් ඔතෙලෝට පැහැදිලි කරනවා. ඒ මොහොතේ ඔතෙලෝගේ හිතේ ලොකු ශෝකයක් හට ගන්නවා.එතකොට වෙන්න ඕන හරිය වෙලා ඉවරයි !

ඔතෙලෝ සියදිවි නසා ගන්නවා !

ඕක තමයි ලෝක පූජිත විලියම් ෂේක්ශ්පියර්ගේ ඔතෙලෝ නාට්‍යයේ එන කතාව කෙටියෙන් ! ඔය නාට්‍යය වේදිකාවෙන් එලියට එනවා... ඇවිත් අපි අතර ජීවත් වෙනවා... ඒ එන්නේ ඔතෙලෝ සිංඩ්‍රෝමය විදිහට !

ඔතෙලෝ සිංඩ්‍රෝමය කියන්නේ  තමන්ගේ ස්වාමිපුරුෂයා හෝ බිරිඳ වෙන කෙනෙක්ට ආදරේ කරනවා හෝ වෙන කෙනෙක් එක්ක සම්බන්ධතාවයක් පවත්වනවයි කියලා හිතෙන එකට.  මේ සිංඩ්‍රෝමය මෝබිඩ් ජෙලසි කියලාත් හඳුන්වනවා !

මේ සිංඩ්‍රෝමය තියෙන කෙනෙක් හැම වෙලේම තමන්ගේ සහකරු හෝ සහකාරිය කෙරෙහි ඉන්නේ සැකයකිනුයි අවිස්වාසයකිනුයි.. ඒක ඒ තරම් හොඳ මානසික මට්ටමක් නෙමේ !

නිරන්තරයෙන්ම තම සහකරුට හෝ සහකාරියට චෝදනාකිරීම,  නිතරම තම සහකරුගේ හෝ සහකාරියගේ විශ්වාසවන්තබාවය පරික්ෂා කිරීම වගේදේවල් තමා මෙම සිංඩ්‍රෝමයේ රෝග ලක්ෂණ !

මේ රෝගයට ගොදුරු වෙච්ච අය සියදිවි නසා ගැනීමට පෙළබීම තමා මේ රෝගී තත්වයේ භයානකම ලක්ෂණය !

ඔය අන්තිම ටික අපේ මලයා පැහැදිලි කලහම තමා මට මේ සිංඩ්‍රෝමයේ නිධාන කතාවත් එක්ක ලියන්න හිතුනේ... අන්තිමේදි මට හිතුනේ සැකය අවිස්වාසය කියන දේ කොයි තරම් සමාජයට හානියක් කරනවාද කියලා...

එහෙනං මං ගිහින් එන්නම්.. සුබ දවසක් !

---------------------------------------------------------------------
ප.ලි. - මෝබිඩ් ජෙලසි  (Morbid Jealousy) ගැන තවදුරටත් කියවන්න ඕන නම් මෙන්න විකිපීඩියා සබැඳිය... 

16 December 2013

රාගම ගවලෙන් තරඟය

පහුගිය ඉරිදා නිවාඩු දවසේ.. කොහේ හරි ඇවිදින්න කියලා සූදානම් වෙලාහිටියේ. ගෑල්ලමයට එන්ඩ කිව්වේ රාගමට. මම රාගමට ඇවිත් කෝල් එකක් දුන්නා. ඕං එතකොට හීනි හඬින් කියපු "අනේ මම එනකොට තව ටිකක් වෙලා යයි" කියලා.

මං දන්නවනේ එයාගේ "ටික වෙලාව" !

මං උන්දෑ එනකන්  රාගම බස් හෝල්ට් එකේ ඉන්නකොට තමා දැක්කේ රාගම පල්ලියේ තිබ්බ ගවලෙන් තරඟය !

අරුන්දෑ කීයට ඒවිද කියලා දන්නේ නැති නිසා ගොඩ උනා ගවලෙන් තරඟය බලන්න. බස් හෝල්ට් එකේ බලාගෙන හිටපු කාලේ ප්‍රයෝජනවත් දේකට යෙදෙව්වා කියලා හිත හිත උන්නා.

පහලින් තියෙන්නේ ඒ තරඟයේ පින්තූරු !



නංගි බබෙකුත් පින්තූරෙට අහුවෙලා.. :O

මේ තියෙන්නේ අන්තිම පින්තූරේ


තව ගොඩක් පින්තූර තියෙනවා. අයියෝ සුපියල් පහ වෙන නිසා අප්ලෝඩ් කලේ නෑ...
රාගම කිට්ටුව ඉන්නවා නං ගිහින් බලන්ඩ ලා ! :)

08 December 2013

ඉස්කෝලෙට පාලමක්

සෙනසුරාදා දවසේ හැන්දෑවරුවේ නිවාඩු පාඩුවේ ඉන්නකොට නිකමට වගේ හිතුනා රෑට කඩේකින් කෑම එකක් ගෙනත් කෑවොත් හොඳා කියලා. හැමදාම නැතත් ඉදලා හිටලා හරි කඩේකින් කෑම කන එකෙත් පොඩි ගතියක් තියෙනවා. ඒ නිසා හවස් අතේ හන්දියට ගිහින් ආවා. ගිහින් එනකොට මාමා අපේ ගෙදර ඇවිදින් !

මුන්දෑ මූඩ් එකත් එච්චර හොඳ මට්ටමක නෑ....

මං ගෙට ගොඩ වෙනකොටම,

"බලහං ලොකු එකෝ... මගේ පර්ස් එක බස් එකේදි වැටිලා..."

"කීයක් විතර තිබුනද ? "

"දෙදාස් ගානක් විතරයි තිබුනේ... ඒක නං කමන් නෑ.. මගේ අයිඩෙන්ටි කාඩ් එකයි... බැංකු කාඩ් එකයි ඔක්කොම තිබ්බේ පර්ස් එකේ.. ඒකයි ප්‍රශ්නේ !"

අයිඩෙන්ටිටි කාඩ් එක නැති උන එකට පොලිසියේ ඇන්ට්‍රියකුත් දාලා එන ගමන් අපේ දිහා ඇවිදින් තියෙන්නේ බැංකු කාඩ් එක නැති වෙච්ච එකට මොකෑ කරන්නේ කියල අහගන්ඩ. මං මගේ කාඩ් එක පිටිපස්සේ තිබුන ෆෝන් නම්බර් එකට කතා කරලා මාමෑ ගිනුම අත්හිටවලා දුන්නා.

හොඳ වෙලාවට කාඩ් එකෙන්  සල්ලි අරං තිබුනේ නෑ..හොඳම වැඩේ කියන්නේ කාඩ් එකයි කාඩ් එකේ රහස් අංකයයි එකම තැන දාලා..හොරාටත් හරිම ලේසියි !

ඊට පස්සේ මාමට තේරුං කරලා දුන්නා කවදාවත් කාඩ් එකයි රහස් අංකෙයි එක තැන තියන්ඩ එපා ය කියලා..කාඩ් එකේ වැඩේ ඉවර වෙලා කතාවක් දාගෙන උන්නා.

අපේ මාමා ගැන කිව්වොත් උන්දෑ ඉදිකිරීම් ආයතනයක මේසන් බාස් කෙනෙක්. මේ ලඟදි ඉදන් ඉස්කෝලෙක පාලමක් හදන වැඩවලට උන්දෑව අනුයුක්ත කරලයි ඉන්නේ. ඔය පාලම මේ ලඟදි පටං ගත්තට මොකෝ  ඒක මීට ගොඩ කාලෙකට කලින් කරන්න තිබ්බ වැඩක් ලූ.

ඔය පාලමට වෙලා තියෙන්නේ මේකයි.

එක වතාවක් ඇමතිතුමෙක් මේ ඉස්කෝලේ උත්සවේකට ඇවිල්ලා කරපු කතාවක කියලා තියෙනවා ඉස්කෝලේ ළමයින්ට පාර මාරු වෙන්ඩ පාලමක් හදා දෙනවයි කියලා.   එදා කතාවෙදි ඕක කියලා ගියා ගියාමයි ලූ ඊට පස්සේ ඒ ඇමතිතුමා නෙමේලූ ඒ පැත්ත පලාතටවත් ආවේ.

අවුරුද්දක් විතර ගියාට පස්සෙත් ඉස්කෝලේ උත්සවේකට ඒ ඇමතිතුමාටම එන්ඩයි කියලා. ඒ ආපු වෙලේක පිලිගැනීමේ උත්සවේ හිටපු කෙලි පැංචියෙක්ව වඩාගෙන... !

වඩා ගත්තට පස්සේ ඒ කෙලී ඇමතිතුමා දිහෑට හැරිලා,

"කෝ අංකල් ඔයා අපිට පාලමක් හදලා දෙනවා කිව්වට තාම හදලා දුන්නේ නෑනේ..  !"   කියලා කියලා.

දන්නවනේ ළමයින්ගේ කටවල් වල සද්දේ... වටේ පිටේ සේරෝමත් අහගෙන ඉදලා.ඇමතිතුමාගේ රෙදි නෑලූ... ඇමතිතුමා හිමිහිට මේ කෙලීව බිමින් තියලා, අදාල පාර්ශ්ව වලට කෝල් කරලා මේ වැඩේ කරලා ඉක්මනට කරලා දාන්න කියලා බල කරලා.

ඔහොමයිලූ කාලාන්තරයක් ඇදි ඇදී තිබ්බ පාලමේ වැඩ පටං ගැනුනේ..  ඊට පස්සේ ඉස්කෝලෙනුත් මේ පුංචි ගෑල්ලමයට හරි සැලකිලිලූ.

පාලමේ වැඩ ටිකත් මේ දවස්වල යස අගේට කෙරෙනවලු...!

05 December 2013

නිවාඩු දවසේ රඹුටන් ප්‍රශ්නයක්

අද මම නිවාඩු පාඩුවේ ගෙදර ඉන්න දවසක්... අවුරුද්දේ අන්තිම මාසය නිසාත් ඉතුරු කරගත්තු නිවාඩු ටිහිකුත් තිබුන නිසා අද නිවාඩුවක් දැම්මා. ඒ නිසා ටිකක් දවල් වෙනකන් නිදාගන්ඩ පුලුවං උනා. නිදියන එක තරං සැපතක් තියෙන එකක් යෑ..
(හැබැයි ඉතිං නිදියන්න කලින් ෆෝන් එක සයිලන්ට් දාන්න... නැත්නම් නිදියනවා බොරු. !)

ටිකක් විතර පරක්කු වෙලා ඇහැරිලා මූනකට හෝදගෙන උදේ කෑමත් කාලා ලෑස්ති උනේ මම කලින් දාක ගෙනාපු පොත කියවන්න. පොතේ නම තමා තුංමං හන්දිය... ඔවු ඔවු ඔවු... මහගම සේකර මහත්තයා ලියපු පොත තමා..මේ පොත මම මුලිංම කියෙව්වේ ඉස්කෝලේ පුස්තකාලෙන් අරගෙන. ඒ මතකයටම මම ආයෙමත් ඒ පොත ගත්තා.

පොත කියවන්න ඉස්සෙල්ලා ඊයේ දවසේ තිබ්බ දේවල් ටික බලාගන්න මූනුපොතටත් ගොඩ උනා.  මූනු පොතෙත් රවුමක් දානකොට මට අපූරු ප්‍රශ්නයක් හම්බ උනා. ඒ ප්‍රශ්නය තිබ්බේ සාමාන්‍ය දැනීම කණ්ඩායමේ.

මේකයි ප්‍රශ්නේ....

ඔන්න යාළුවෝ තුන් දෙකෙන් කඩේකට යනවලු.. ඒක පලතුරු කඩයක් කියමුකො. මේ පලතුරු කඩේට ගිහින් රඹුටන් ගේන්ඩයි කියනවා. රබුටන් ගේන්ඩ කිව්වට මොකෝ ඒ ටික ගේනකොට තුන් දෙනාම හොදටෝම නිදිලූ.

ඊට පස්සේ ටික වෙලාවකින් එකෙක් ඇහැරුනාලු. ඌ රඹුටන් ගොඩ, තුනකට බෙදලා එක පංගුවක් කාලා ආයෙම නින්දට වැටුනලු.

ඊට පස්සේ දෙවෙනි එකා ඇහැරුනා ලු. ඌත් අර විදිහට ඉතුරු වෙලා තිබ්බ රඹුටං ගොඩ, තුනකට බෙදලා එක පංගුවක් කාලා නින්දට වැටුනලූ.

දැන් තුන් වෙනියගේ වාරේ.. ඌ නැගිටලා අර විදිහටම ඉතුරු රඹුටන් ටික තුනකට බෙදුවා එයින් එක පංගුවක් කෑවා.

තුන් දෙනාම ඔය විදිහට කෑවට පස්සේ රඹුටන් 8ක් ඉතුරු උනාලු. මුලින්ම තිබ්බ රඹුටන් ගොඩේ රඹුටන් ගණන කීයද කියලා තමා ප්‍රශ්නේ.

උත්තරේ මොකක් කියලද හිතන්නේ ? දාමු බලන්න පහලින් කමෙන්ටුවක් !

මේ ගාන හදන්න ලේසිම ක්‍රමේ තමා අග ඉදලා මුලට යන එක. තුන්වෙනියා කාපු රඹුටන් ටිකෙන් පටන් අරගෙන පලවෙනියා වෙනකන් ගියා නං උත්තරේ අල්ල ගන්න අමාරු නෑ. ඔන්න ඉඟියකුත් දුන්නා. මේක මේ පරිපාලන සේවා විභාගයේ ප්‍රශ්නයක් ය කියනවා නෙහ්.

එහෙනං ඕගෝල්ලෝ ප්‍රශ්නයට උත්තරේ කල්පනා කරන්ඩ.. මම යනවා සේකර මහත්මයාගේ තුංමං හන්දිය කියවන්ඩ.. !

සියළු දෙනාට සතුටින් පිරුණු සුබ දවසක් !
උත්තරේ 27

03 December 2013

පුදුම මිනිස්සු

අම්මා...පල්ල ! ඇත්තමයි මිනිස්සු කියන ජාතිය නං කිසිමදාක විස්වාසයට ගන්න හොඳ නැති ජාතියක්..කොච්චර හොඳ හිත පෙන්නගෙන හිටියත් උන් කවදාහරි අපිටත් නොදැනිම අපිට අංචිය ඇදලා හිමීට මාරු වෙන ජාතියක් !

මට අද මෙහෙම හිතුනේ අපිත් එක්ක වැඩ හරපු හාදයෙක් කරපු වැඩක් හන්දා..

මේකයි උනේ...

අපි මේ ටිකේ කරගෙන යන ව්‍යාපෘතියේ සාම්පල් එක පෙන්නන්ඩ තිබ්බේ පහුගිය සිකුරාදා. ඔන්න එදාට කලින් දවස් දෙකක ඉදලා මේ සිද්ධියට අදාල පුද්ගලයා වැඩට ආවේ නෑ. ඒකට හේතුව විදිහට ඉදිරිපත් කරලා තිඋනේ අම්මට සනීප නෑ කියලා... ඒකත් කමන් නෑ කියමු !

මානුශික හේතුවක් නේ !

ඔන්න මේ මනුස්සයා සඳුදා ඇවිත් කට්ටියත්තෙක්ක බුල කෙලලා අද (අඟහරුවාදා) දවල්  වෙනකොට මුළු කණ්ඩායමටම ඇහෙන විදිහට කියපි "සාම්පල් එක ඉදිරිපත් කරන්න උනේ නැත්තේ අහවල් කෙනා හරියට වැඩ කරපු නැති නිසයි" කියලා. තමන්ට කර ගන්න බැරි කම කියන් නෑ.. ඒ වැරැද්ද වෙන කෙනෙක් පිට පටවන්ඩයි ලැහැස්තිය.

අර හාදයා වැරැද්ද පැටෙව්වේ කණ්ඩායමේ හිටපු පොඩිම එකාට.  අපි දන්න තරමට ඌ සේරෝම වැඩ ටික ඉවර කරලා හිටපු එකෙක්. ඒ නිසා ඒ පොඩි එකාට වරදක් කියන්ඩ බෑ...පහත් තැනින් ගලා යයි ජලේ කියන්නා වගේ  තමන්ගේ වැරදි සේරම පොඩි එකෙක් පිට පටවලා අරූ අත හෝද ගත්තා. සික් ඉතරක් !

ඔය හන්දයි මම කිව්වේ මිනිස්සු කියන ජාතිය විස්වාස කරන්ඩ අමාරු ජාතියක් ය කියලා. කොච්චර දිවෙන් දිව ගාගෙන උන්නත් අවස්ථාව ලැබුනම කාටහරි වරද පටවලා පැදුරටත් නොකියා මාරු වෙන්න දස්ස ජාතියක් මිනිස්සු කියන්නේ.

එක අතකට බලාගෙන යනකොට මිනිස්සුන්ට වඩා වනේ සත සිව්පාවා හොඳයි.. මිනිස්සු වාගේ දෙබඩි චරිත රඟපාන්නේ නෑ..  !!

02 December 2013

දික්කසාද කේක් ගෙඩිය

අද අපේ කණ්ඩායමේ ඔක්කෝම අය නිවාඩු ගිහින්... මම විතරයි ඉන්නේ. දන්නවනං මාත් නිවාඩුවක් දාලා ගෙදර ඉන්නවා. කොහෙද ඉතිං මෙවුන් නිවාඩු දානවයි කියලා කලින් දන්න එකක් යෑ.. !

අද වැඩත් එච්චර නෑ... තිබ්බ වැඩ ටික උදෙම්ම ඉවර කර ගත්තා ... කතා කරන්නවත් කවුරුත් නෑ.. මේ පැත්තම පාළුයි.. ඒහින්දම කම්මැලියි ! කම්මැලිකම යන්ඩත්තෙක්ක බ්ලොග් ටික කියෙව්වා.. කමෙන්ට් කලා... ඒත් වෙලාව ඉතුරුයි..

ඉතුරු වෙලාව ගෙවා ගන්න මොනවහරි ලියනවා.. එහෙම හිතලා බ්ලොග් එකට ගොඩ උනා.. කලින් ලියපු පෝස්ට් එකක් එහෙ මෙහේ කරලා ගත්තා... :)

ඒක නෙමේ....අහලා තියෙනවද දික්කසාද කේක් ගැන ?  තවත් තේරෙන විදිහට කියනවා නං ඩිවෝස් කේක් !!

ඩිවෝස් කේක් අපට ආගන්තුක උනාට බටහිර රටවල් වල නම් මේ ජාතියේ කේක් භාවිතා වෙනවා ලූ.

පහලින් තියෙන්නේ ඒ කේක් ගෙඩි ටිකක පින්තූරු !

                         කේක් ගෙඩියෙන් පහලට තල්ලු කර මැරවීම...


                                   මෙහාට්ට වරෙං යන්ඩ.... !


                                    මං උබට වෙඩි තොයනවා යකෝව්... !!
 

                                මූව කුණු ගොඩටම දාන්ඩ ඕන !


                                  බෙල්ල ගලවලා අතට ගත්තා.... !


අන්තර්ජාලයේ හොයලා බැලුවොත් මේ ජාතියේ කේක් ආකෘති සෑහෙන ප්‍රමාණයක් හොයගත්තෑකි. මගේ එකම ප්‍රාර්ථනය වෙන්නේ මේ ජාතියේ කේක් හදන එක සදහටම නවතීවා කියන එක !!!

මොකද ඉතින් මෙහෙම කේක් හදන්න වෙන්නේ දික්කසාද වෙන එවුවොන්ටමනේ... !

01 December 2013

x වල අගය

අද දෙසැම්බර් පලවෙනිදා !
අවුරුද්දක් ගත වෙච්ච ඉක්මන.... මේ අවුරුද්ද ඉවර වෙන්ඩ තව මාසයක් විතරයි තියෙන්නේ... කාලය අපි හිතනවටත් ඉක්මනටම ගත වෙනවා. දෙසැම්බර් පලවෙනිදාම තමා ලෝක ප්‍රජාව, එඩ්ස් මර්ධන දිනය විදිහට ප්‍රකාශයට පත් කරලා තියෙන්නෙත් !


ඒවයිං කාරි නෑ...ඔන්න අද නිවාඩු දවසේ ගණිත ගැටලුවක් ගෙනාවා.

පල්ලෙහා තියෙන රූපේ බලන්ඩ... !


ගැටලුව තමා x වලට එන්න ඕන අගය හොයලා දෙන එක...


මං මේ ප්‍රශ්නේ මූනු පොතේ සාමාන්‍ය දැනුම කණ්ඩායමේත් දැම්මා.

එහෙනං මං ගියාවේ !

උත්තරය 37.5