28 June 2014

අපි ගැරඬි වගේ වෙලිලා ඉමු.

අද නිවාඩු දවසේ දවාලට කාලා චුට්ටක් ඇහැ පියවගන්ඩ ගියා විතරයි අපේ අම්මා ගේ දෙවනත් වෙන්ඩ කෑ ගහන්ඩ ගත්තා. අම්මා එකවතාවෙම කෑ ගහන්නේ මොකෑ කියලා බලන්ඩ මාත් ඒ පැත්තට දිව්වා.

බැලින්නම් ගැරඬි දෙන්නෙක් වෙලිලා ඉන්නවා. ඔය ආදරේ කරන අයත් කියන්නේ අපි දෙන්නා ගැරඬි වගේ වෙලිලා ඉමුයි කියලා. අන්න ඒ වගේ ගැරඬි දෙන්නා වෙලිලා උන්නා.

මම උන් දෙන්නා දිහෑ ටික වෙලාවක් බලාගෙන ඉදලා ටාර් ගාලා කාමරේට දුවලා කැමරාවට බැටරි දමාගෙන ආවා. ඇවිත් සට සට ගාලා පින්තූරු කෑලි දෙක තුනක් ගත්තා. ආයේ ඉතින් කවදා කියලා දකින්ඩ හම්බ වෙන දර්ශනයක් ද...
ඔය පහලින් තියෙන්නේ එහෙම ගත්තු පින්තූර කෑලි ටික.. පින්තූර ටික බලලා ඉමුකෝ..

අපි අම්මා විතරක් නෙමේ අහල පහල අයත් මේ දර්ශනේ බලන්ඩ ඇවිත් උන්නා. සමහරු නම් කීවේ ගැරඬි පිරිමි සතෙකුයි ගෑනු සතෙකුයි මෙව්වා වෙන දර්ශනයක් කියලා.

තවත් සමහරු කිව්වේ පිරිමි ගැරඬි දෙන්නෙක් වලියක් දාගෙන කියලා.

හැබැයි ඔය අතරේ අපේ ගෙවල් ගාව හිටපු අක්කා කෙනෙක් මරු කතාවක් කිව්වා.

ඔය වාගේ ගැරඬි දෙන්නෙක් වෙලිලා ඉන්නකොට සුදු රෙද්දක් එලන්ඩ ඕනලූ. එතකොට ගැරඬි දෙන්නා ලැජ්ජාවට යන්ඩ යනවලු. හැබැයි එහෙම යන්ඩ ගියත් ඒ ගෙදර අයට සල්ලි වලින් අඩුවක් වෙන්නේ නෑලු.

ගැරඬි දෙන්නෙක් මෙහෙම වෙලිලා ඉන්නකොට සුදු රෙද්දක් එලන එකෙන් සල්ලි ලැබෙන්නේ කොහොමද කියලා මට තාම හිතාගන්ඩ බෑ..

ඔය දර්ශනය බලාගෙන උන්නු අය කිව්වේ ඔය ගැරඬි දෙන්නා ගෙට ඒවිය ඒ හන්දා බූමිතෙල් ටිකක් දාන්ඩය කියලා. මම නම් ඒ වාගේ පවුකාර දේවල් කරන්ඩ ගියේ නෑ..

ඔය වගේ දේවල් වලට අකුල් හෙලුවහම ලබන ආත්මේ කම් සැප අහිමි වෙනවාය කියලා කතාවකුත් තියෙනවා නෙව. ඔවු ඔවු බලු පූට්ටු වලට ගල් ගැහුවා වාගේ තමා.. :)

එහෙනං අදට කතාව ඉවරයි. ඊලඟ ලිපියෙන් හමු වෙමු !

18 June 2014

හංසයෝ

දවස් කිහිපයකින් බ්ලොග් එකේ මුකුත් ලීවේ නැති නිසා  අද මොනවාහරි කුරුටු ගාන්ඩ ඕන කියලා හිතලා මේ පැත්තේ ආවා. මොනවද ලියන්නේ කියලා කල්පනා කරගෙන යනකොට තමා මට මූනුපොතේ තිබ්බ මේ පින්තූරේ හම්බ උනේ.

ඉතින් මට හිතුනා ඒ ගැන හොයලා බලන්න ඕන කියලා.

හංසයා  ගැන තියෙන ජනප්‍රියම කතාව වෙන්නේ දියෙන් කිරි වෙන් කරගන්න එකනේ. ඒක නම් ඇත්ත නෙමෙයි ලූ. හංසයාට ඒ හැකියාව නෑ ලු. හිංදු සාහිත්‍යයේලු එහෙම තියෙන්නේ.

හරි.... අපි ආයෙම අර කතාවට  එමු.

උඩ තියෙන පින්තූරේ කියන විදිහට හංසයෝ ජීවිත කාලය පුරාම ඉන්නේ එකම එක සහකාරයෙක් එක්ක විතරමයි ලූ. බැරි වෙලාවකවත් තමන්ගේ සහකාරයා මලොත් ඒ හංසයා සෑහෙන කාලයක් වැලපෙනවලු.

මේ නිසාම වැඩිකල් යන්න මත්තෙන් අනිත් හංසයාත් මියෑදෙනවා ලු. කමදාකවත් තවත් හංසයෙක් එක්ක සම්බන්ධතාවයක් පවත්වන්නේ නෑ. එහෙම සිදුවෙනවා නම් සිදුවෙන්නේ ඉතාමත් අල්ප වශයෙන් ලූ.

මෙන්න මේ කතාව විද්‍යාඥයින් තහවුරු කරලා තියෙන කතාවක් ලූ.

ඒ වගේම තමා හංසයන්ගේ පිහාටු වල කිසිම දෙයක් ගෑවෙන්නේ නෑලු. ඒකට හේතුව වෙන්නේ හංසයාගේ පිහාටු තෙල් ගතියකින් යුක්ත වීමලු.

ඔය කිසිම දෙයක් ගෑවෙන්නේ නැති කතාව නිසා හිංදු සාහිත්‍යයේ හංසයාව සලකන්නේ පිරිසිඳු බවේ සංකේතය කියලා ලු.  හිංදු සාහිත්‍යයේ එහෙම හඳුන්වන එකේ වරැද්දක් නෑ නේ ? :)

ඔය වගේ නානාප්‍රකාර කතා ටිකක් හංසයා ගැන කියවන්න හම්බ උනා. සිංහලයට පරිවර්තනය කරන්න කම්මැලියි. කැමති කෙනෙක් ඉන්නවා නං පහල සබැඳි වලින් කියවන්ඩ.

1. හංසයෝ...
2. හංසයෝ.. 

ගූගල් කලා නම් තව තව ලිපි ගොඩාක් හොයාගත්තෑකි.

එහෙනං මං ගියාවේ.. !

රණ හංස යුවල නිමල නිල් ජලාසේ
මන නන්දනීය දසුන් නංවනා
සිහින යහනේ දකින සිහිනේ
රතු රෝස මලක්‌ ලයට ලංවුනා


(අපි පොඩි දවස්වල ගාර්මන්ට් ගෑල්ලමයි අතර ගොඩක් ප්‍රසිද්ධ සිංදුවක්ලු ඕක.. )

13 June 2014

මගේ දන්සැල් වන්දනාව

ගණිත ගැටලුව දැම්මට පස්සේ එක ලිපියක්වත් ලියන්ඩ හම්බ උනේ නෑ. ඒකට මූලිකවම හේතුව උනේ වෙලාව මදිකම. කන්තෝරුවේ කරන්ඩ තිඋනු වැඩ ගොඩක් තිබ්බ නිසා බ්ලොග් ලියවිල්ලයි කියවිල්ලටයි දෙකටම තිත තියන්ඩ උනා.

පොසොන් පෝයටවත් මොනවාහරි ලියන්ඩ ඕන කියලා හිතුනත් උදෙ හිටන්ම දන්සල් වලට දුව දුවා හිටියා මිසක්කා අකුරක් කොටන්ඩ බ්ලොග් පැත්ත පලාතේ ආවේ නෑ..

ඔය දන්සල් දිවිල්ලෙදි මට අපේ ගමේදී අපූරු දන්සල් දෙකක් හම්බ උනා. එක දන්සැලක් තමයි කොණ්ඩේ කපන දන්සැලක්.

ඒ දන්සලේ කරන්නේ උදේ හිටන් හවස් වෙනකන්ම දන්සැලට එන අයගේ කොණ්ඩෙයි රැවුලයි කපලා දෙන එක. මාත් කොණ්ඩේ කපාගන්ඩ පෝලිමේ උන්නට කොණ්ඩේ කපන්ඩ උනේ නෑ.. සෑහෙන දිග පෝලිමක්...

ඒ දන්සල ඇරුනහම අනිත් දන්සල තමයි යෝගට් දන්සැල... ඒ දන්සැල පටන් ගන්ඩත් කලින්ම නයා ගැහිච්ච ලොකු පෝලිමක් තිබුනා. මාත් සල්ලි සල්ලි කියලා බලන්නේ නැතුව යෝගට් එකක් කන්ඩ කියලා පෝලිමේ උන්නා.

හවස හතරට විතර දන්සැල පටන් ගත්තා. එතන ඉදන් යෝගට් දෙන්ඩ ගත්තා. කොච්චර යෝගට් දුන්නත් පෝලිමෙ ඉස්සරහට යන පාටක් තිබුනේ නෑ..  යෝගට් නැතුව හිස් අතින්ම ගෙදර යන්ඩ වෙයිද කියලා දෙතුන් විඩක්ම හිතූනත්තෙක්ක. ඒත්තෙක්කම ඔන්න ඔහේ හිටපු එකේ තව ටිකක් ඉන්නවයි කියලා හිටියා. බොහොම අමාරුවෙන් යෝගට් එකක් අරගෙන ගෙදර යන්ඩ ආවා. 

එතකොට කලින් යෝගට් ගත්තු අය එතනදිම යෝගට් කාලා යෝගට් කෝප්ප ටික එතන දාලා ගිහින්. අපේ මිනිස්සුන්ගේ හැටි නෙව. මේ වගේ දේවල් කලහම ආයේ ඊලඟ වතාවේ දන්සැල් දෙයිද කියලත් හිතෙනවා.

යෝගට් අරගෙන එනක්කොට කඩල දන්සලක් තිබිලා ඒකෙන් කඩල මුලකුත් අරගෙන ගෙදර ආවා.

ඊයේ දවසේ මට මිස් උනේ බීම දන්සැලක් විතරයි. බීම දන්සල් දෙන්ඩ එපාය කියලා තිබුන හන්දමද මන්දා බීම දන්සැල් තිබුනේ නෑ.

උදේ ඉදලා මම කඩල, සවු, අයිස්ක්‍රීම්, බත්, සීනි සම්බෝල පාන්, යෝගට් වගේ නානාප්‍රකාර දන්සල් ගොඩක් වැඳලා තිබුනා.ඉතින් බ්ලොග් ලියන්ඩ වෙලා තියේවි යෑ..

පෝය දවසට ලියන්ඩ ආපු බණ කතාව මම වෙන දවසක ලියන්නම්. එහෙනං මං ගියාවේ !

04 June 2014

කොච්චර කාලයක් ගත වෙනවද ?

ඔන්න අද ලිපියෙන් කියන්න යන්නේ කතාවක් එහෙම නෙමේ. අද ලිපියෙන් දෙන්ඩ යන්නේ ගණිත ගැටලුවක්. මේ ගණිත ගැටලුව අපිට දුන්නේ අපිත්තෙක්ක වැඩ කරන යාළුවෙක්. අපේ කණ්ඩායමේ අය කොහොමහරි එක එක උත්තර දීලා අන්තිමේදි ප්‍රශ්ණය විසඳුවා.

ඔයාලත් උත්සහ කරලා බලමු !

බැරි වෙන එකක් නෑ....

මේකයි ප්‍රශ්නේ.

එක ගෙදරක ලොකු වතුර ටැංකියක් තියෙනවාලු. ඒ ටැංකියට බට දෙකක් සම්බන්ධ කරලා තියෙනවාලු. ආයේ ඒකේ අරුමයක් නෑ.. ඕනම ටැංකියක වතුර පුරවන්ඩයි වතුර පිටවෙන්ඩයි බට දෙකක් තියෙනවා නේ.

අපි ලේසියට ඒ බට දෙක A හා B කියලා නම් කරමු.

A නළයෙන් කරන කාර්යය වෙන්නේ ටැංකියට වතුර පුරවන එකලූ. A නළයෙන් ටැංකිය සම්පූර්ණයෙන්ම පුරවන්ඩ මිනිත්තු හතලිස්පහක් ගත වෙනවාලු (මිනිත්තු 45ක්)

B නළයෙන් කරන කාර්යය වෙන්නේ ටැංකිය හිස් කරන එකලු. B නළයෙන් ටැංකිය සම්පූර්යෙන්ම හිස් කරන්ඩ පෑ බාගයක් යනවලු (මිනිත්තු 30ක්)

එක්තරා වෙලාවක ටැංකිය සම්පූර්ණ‍යෙන්ම වතුරෙන් පිරිලා තියෙනවාලු. මේ වෙලාවේ එක පාරම A හා B කියන නළ දෙකම විවෘත කරනවාලු. දන්නවනේ A නළයෙන් වතුර පුරවනවා B නළයෙන් වතුර හිස් කරනවා කියලා.

ප්‍රශ්නය තමයි ටැංකිය සම්පූර්ණයෙන්ම පුරවලා A හා B කියන නළ දෙකත් විවෘත කරලා තියෙන වෙලාවක ටැංකිය සම්පූර්ණයෙන්ම හිස් වෙන්ඩ කොච්චර කාළයක් ගත වෙනවද කියන එක.

දන්න ඈයෝ ගාන හදලා උත්තරේ කියමු බලන්ඩ !
උත්තරේ මිනිත්තු වලින්ම කියමු. හදපු විදිහත් කියන්ඩ පුලුවන් නම් පංකාදුයි !

03 June 2014

ජන කතාවක්

මට අපේ එක්කෙනාගේ ගෙදර පරණ පොත් ගොඩක තිබිලා ජන කතා පොතක් ලැබුනයි කියලා මම කලින් ලිපියක කිව්වා මතක ඇතිනේ. අද මම වැඩ ඇරිලා ඇවිල්ලා ඇඟපත හෝදගෙන ප්ලේන්ටියක් එහෙම හදාගෙන ඇවිදින් පොත කියවන්ඩ ගත්තා..

ශා.... අගේ ඇති පොතක් !

දන්නවානේ මම ජනකතා, ජනප්‍රවාද වලට ගොඩක් මනාපයි කියලා.  මේකත් එහෙම කතාවක්.

ඔන්න එකමත් එක ගමක උන්නා අම්මෙකුයි පුතෙකුයි. මේ අම්මයි පුතයි දෙන්නට දෙන්නා ගොඩක් ආදරෙන් ජීවත් උනා.නමුත් මේ අම්මගේ ලොකු කෑදර කමක් තියෙනවා මී මල් කන්ඩ.. ඔය මී මල් කනවයි කියන්නේ මී පැණිත්තෙක්ක අනාගෙන ලූ.

ලූ කියලා කිව්වේ මම උපන්තේකට මී මල් කාලා නැති හන්දා.

දවසක් මේ අම්මා මිදුලේ මාගලක මී මල් වේලෙන්ඩ ඇරලා කොහෙදෝ මන්දා ගමනක් ගියා ලු. ගිහින් එනකොට වෙලෙන්ඩ දාපු මී මල් වලින් බාගයක්කත් නෑ ලු.මේ අම්මා හිතුවලු තමන්ගේ පුතා මී මල් එකින් එක කන්ඩ ඇති ය කියලා.

අම්මට කේන්ති ගියා ලූ !

අම්මා කෝට්ටක් අරගෙන තමන්ගේ පුතාට හොඳටෝම තලන්ඩ ගත්තලු. මේ පුතාත් ගුටි කන ගමන් කියනවාලු "මම මී මල් කෑවේ නෑ" ය කියලා. අම්මා ඒත් අහන්නේ නෑ ලූ.

මී මල් කෑවා මදිවට බොරුත් කියන්ඩ එනවයි කියලා හිතපු මේ අම්මා, තමන්ගේ පුතාගේ කකුල් දෙකෙන් අල්ලලා පොලොවේ ගැහුවලූ. ඒ ගහපු පාරට කොලුවගේ ඔලු කට්ට පුපුරලා මැරුනලු.

තමන්ගේ දරුවාගේ මරණෙන් දවස් කීපයකට පස්සේ අම්මට හිතුනලු තමන්ගේ ළමයා මී මල් කෑවේ නෑයි කියලා අච්චරටම පරසක්වල ගැහුවා නං ඇත්තටම මී මල් වලට මොකද උනේ කියලා බලන්ඩ. එහෙම හිතපු මේ අම්මා දවසක් මී මල් වෙලෙන්ඩ දාලා එතනින් නැගිටින්නෙත් නැතුව මී මල් දිහා බලාගෙන හිටියලු.

මේ අම්මා දැක්කා ලු මී මල් වේලෙන්ඩ වෙලෙන්ඩ බර අඩුවෙනවා ය කියලා. එදත් මේකම වෙන්ඩ ඇති නේද කියලා අම්මට හිතුනාලු. මී මල් වලට තිබ්බ කෑදර කමටයි හදිසි කේන්තියයි හන්දා තමන්ගේ ආදර පුතාව මරා ගත්තා නේ කියලා හිතුන  අම්මට දුක වාවගන්ඩ බැරුව පපුව පැලිලා මැරුනා ලූ.

මේ අම්මා මලාට පස්සේ කොබෙයියෙක් වෙලා උපන්නාලු. ඒ කොබෙයියා තාමත් දුකෙන් නැති වෙච්ච තමන්ගේ පුතාව හොයනවාලූ.

ඒකලු කොබෙයියන්,

මි පුප් ලදිම්.
දරු නොලදීම්.
රන්කැටි පුතා.
කෝ...කෝ... කියලා අඬලන්නේ.. !

මේ කතාව දිගාමඩුලු ප්‍රදේශයේ අය අතර තියෙන ජනප්‍රවාදයක්.
ඒ වගේම මේ කතාව පොඩි පොඩි වෙනස්කම් එක්ක සංස්කරණ කිහිපයක් තියෙනවා.

මෙන්න උදාහරණ වලින් දෙකක්.

1. සුවඳ කැකුළු අඩවියේ තිබ්බ කතාව.
2.  ජැක්සන් ඇන්තනී කියන කතාව.

02 June 2014

අවුරුදු හතරක බ්ලොග් කෙරුවාව

 ඊයේ දවස, ඒ කියන්නේ ජුනි පළවෙනිදා.. එහෙනම් මීට අවුරුදු හතරකට කලින් ඊයේ වගේ දවසක තමයි මම සිතක සංකල්පනා කියන බ්ලොග් අඩවිය පටන් ගත්තේ.

මට බ්ලොග් අඩවියක් පටන් ගන්න ඕන කියන අදහස මුලින්ම ආවේ මම ට්‍රේනින් වෙච්ච තැන උන්නු අයගේ අදහසක් නිසා.ඒ අය නම් කිව්වේ තමන්ට හම්බවෙන තාක්ෂණික දේවල් ලියන්ඩ බ්ලොග් අඩව්යක් පටන් ගන්ඩ කියලා.

එහෙම බ්ලොග් අඩවියක් පටන් අරගෙන ටික දවසක් කරගෙන යනකොට කම්මැලි හිතෙන්ඩ ගත්තා. ඒ නිසා තාක්ෂණික දේවල් ලියවිල්ලට තිත තියලා මට හිතෙන නානාප්‍රකාර කතා ලියන්ඩ ගත්තා. ඒක තාක්ෂණික ලිපි ලියනවාට වඩා ආස හිතෙන වැඩක්..

හැබැයි ඉතින් බ්ලොග් අඩවියක් පටන් ගන්නවාට වඩා අමාරුයි ඒක එක දිගට යාවත්කාලීන කරගෙන එන එක... කොහොමින් කොහොමහරි අවුරුදු හතරක් කරගෙන ආවා වගේ තව දුරටත් ලියාගෙන යනවා.
මේ අවුරුදු හතර පුරාම මාත්තෙක්ක උන්නා වාගේම ඉදිරියටත් ඔයාලා රැඳී ඉදීවි කියලා හිතෙනවා.

 බ්ලොග් අඩවියට අවුරුදු හතරක් ගත උනා වගේ තමා ඊයේ දවසේ මගේ උපන්දිනේ. ඒ නිසා මට තෑගිබෝගත් ලැබුනා.තව පොඩ්ඩෙන් කියන්ඩ අමතක වෙනවා, මට අපේ උන්දැගේ ගෙදර පරණ පොත් රාක්කෙකක තිබිලා ජනකතා පොතක් හම්බ උනා.

ඒකේ ලස්සන ලස්සන කතා ගොඩක් තියෙනවා. වෙලාවක් හම්බ උනහම එයින් කතාවක් දෙකක් ලියන්නම්.

එහෙනම් මම ගියාවේ.. !

මටයි මගේ බ්ලොග් අඩවියටයි සුබම සුබ උපන්දිනයක් වේවා !!