26 January 2016

බලෙන් ආගමට ගැනීම

මේ සිද්ධිය උනේ මම උසස් පෙළ කරන දවස්වල.එදා මහා ධාරානිපාත වැස්සක් තිබ්බ දවසක්.මම ඉස්කෝලේ යන්න කියලා බස් හෝල්ට් එකට ආවා.ඊට අප්පේ ආපු පළමුවෙනි බස් එකේ නැඟලා ඉස්කෝලේ කිට්ටුවම තිබ්බ හෝල්ට් එක ලඟට ආවා.ඉතුරු ටික යන්න තියෙන්නේ පයින් තමා.වැස්ස නිසා කොහාට්ටවත් යන්න විදියක් තිබුනේ නෑ. මා ලඟ කුඩයක් තිබ්බෙත් නෑ.

බස් එකෙන් බැහැපු හැටියෙම ලඟම තිබ්බ කඩයකට දුවලා ගියා වැස්ස පායනකල් ඉදලා ඉස්කෝලෙට යනවා කියලා. ටික වෙලාවක් හිටියා ඒත් වැස්ස නවතින පාටක් නෑ.ඒත් එක්කම පොත් මිටියකුත් අරගෙන ටිකක් වයසක පහේ මනුස්සයෙක් මා ලඟට ආවා. ඇවිත් මම යන්නේ මොන ඉස්කෝලෙටද කීය වසරෙද ඉන්නේ පවුලේ කීදෙනාද ඔය විදිහේ නානාප්‍රකාර ප්‍රශ්න ගොඩක් ඇහුවා. මාත් ගොඩක් ඒවා වලට උත්තර දුන්නා.

ඊට පස්සේ තමයි ඒ මනුස්සයා සබ්ජෙක්ට් බැස්සේ. ඒ මනුස්සයාගේ ආගම ගැනයි ඒ ආගමේ ආගමික නායකයා ගැනයි මාරම දේශනයක් දුන්නා. මට ඉතින් බේරෙන්නම බැරි තැන අහගෙන හිටියා. වැස්ස පායලා තිබ්බේ නැති හින්දා යන්න විදිහකුත් නෑ. ඊට පස්සේ මේ මනුස්සයා කියනවා "පුතාගේ ඉගෙනීමට උදව්වක් ඕන නම් අපි කරන්නම්." කියලා කිව්වා. මට ඇඩ්‍රස් එකක් ලියපු කොළ කෑල්ලකුත් දුන්නා. ඒ ඇඩ්‍රස් එකට ලියුමක් ලියන්න කියලා.

මට තේරුනා මිනිහා එන පොට හොද නෑ කියලා. කොහොමහරි මාව ආගමට ගන්න හදනවා කියලා. වැස්සේ උනත් කමක් නෑ කියලා මම එතනින් ආවා. මම මේ සීන් එක යාළුවෙක්ටත් කිව්වා. උන් කිව්වේ උන්ගේ ගම්වල සමහර දුප්පත් පවුල් වලට සල්ලි දීලා ගෙවල් හදලා දීලා ඒ අයව ආගමට බඳවා ගත්තා කියලා.

මිනිස්සුන්ගේ අසරණ කමෙන් අයුතු ප්‍රයෝජන අරගෙන මෙහෙම ආගම් වලට ගන්න එක ලොකු අපරාදයක්. ඒවා වලට රැවටෙන මිනිස්සු අදත් ඉන්නවා.

14 January 2016

ගුරුවරියගේ සමු ගැන්ම

සිසුන් සියලු දෙනා විභාග ශාලාවේ අසුන් ගෙන සිටී.විභාගය පටන් ගන්මට ආසන්නව තිබූ බැවින් විභාග ශාලාව තුල පැවතියේ දැඩි නිහඩතාවයකි.දෙසිය පහනක් පමණ සිටි විභාග ශාලාවේ මා අසුන් ගෙන තිබුනේ පිටුපසම ඩෙස්කයේ ය.එදින ගුරුවරුන්ගේ පැමිණීම බෝහෝ සෙයින් අඩුවූ දවසකි. ප්‍රමිතා වෙලගෙදර ගුරුතුමිය ශාලාවේ එහා කෙලවරේ සිට ප්‍රශ්න පත්තර බෙදමින් පැමිණේ.

ප්‍රශ්න පත්‍ර බෙදීමට සිටියේ ඈ පමණක්ම බැවින් ඉහින් කනින් දාඩිය දමමින් ඈ අපමණ වෙහෙසක් ගන්නීය. ඊලඟට ප්‍රශ්න පත්‍රය ලබීමට සිටියේ මා ය.

"හොද වෙලාවට හවස් වෙන්න කලින් පේපර් එක ලැබුනා !!!" මා කීවා නොවේ කියවුනා පමණි. ඈ මා දිහා රවා බැලීය. ඒ බැල්ම තුල වූයේ මා දවා අලු කරවන අන්දමේ බැල්මක්ය. එහෙත් දෑස් තුල වූයේ ශෝකී බැල්මක් ය.

"තමුසේ පේපර් එක ලියන හින්දා මුකුත් කියන්නේ නෑ. පස්සේ බලාගමුකෝ !!!!" එවදන් පවසා ඈ තමන්ට පැවරී ඇති රාජකාරියට යොමු විය.මාද මේ කිසිත් නොවූ ගානට ප්‍රශ්න වලට උත්තර ලියන්නට විණි.

ප්‍රශ්න පත්‍රයට හිමිව තිබූ කාළය අවසන් වූ හෙයින් මා ප්‍රශ්න පත්‍රය ගුරු මේසය මත වූ ප්‍රශ්න පත්‍ර ගොන්න මත තබා ශාලාවෙන් පිටවිය. ඉන්පසු මා ඉහත කී ගුරුතුමිය හමු වන්නට ගියෙමි. ඈ හිස්ව තිබූ පංති කාමරයක් තුල ප්‍රශ්න පත්‍ර ගනන් කරමින් සිටියාය. ඈ මා දුටු වනම තල් අත්තට බොරලු ගසන්නාක් මෙන් බැනුම් වර්ෂාවක් මා මත පතිත කරන්නට සමත් විය. බැනීම නතර විය.

"ටීචර්, මට සමා වෙන්න. මං ආයෙම අරහෙම කියන්නේ නෑ." එසේ කී මා අගේ දෙපා මුල මද වෙලාවකට නතර විය.

"හරි පුතේ, දැන් නැගිටින්න"

"ටීචර් මං එහෙනම් ගිහින් එන්නම්."

මා ඈ සිටි පංති කාමරයේ දොර ලඟට පැමිණ "ටීචර් අපේ අම්මට එහෙම කියන්නේ නෑ නේ ?" යැයි ඇසුවෙමි. ඈ සිනහා වී "අම්මට හරි බයයි නේ?" යැයි ඇසීය.

මෙවැන්නක් සිදුවූ විට දරුවන්ගෙන් පලිගන්නා ගුරුවරුන් ගැන මා කොතෙකුත් අසා තිබුණද ඈ එවැනි ගනයේ ලා නොහැකි ගුරු මවක් නොවීය.මට ලබාදිය හැකි උපරිම ලකුණු ලබා දී තිබුණි.

"අපරාදේ එහෙන් මෙහෙන් පොඩි පොඩි සුලු කිරීම් වරද්දලා නැත්නම් තව ලකුණු ටිකක් ගන්න තිබ්බා." දිනක් පාසලේ කොරිඩෝවෙදී හමු වී ඈ එසේ පැවසුවා මට අද මෙන් මතක තිබේ.

ඊට මාස කිහිපයකට පසු......
මගේ දෙවෙනි මව වූ ඈ වෙනත් පාසලකට මාරු වී ගොස් ඇති බව මගේ යාලුවෙක්ගෙන් දැන ගන්නට ලැබිණි. ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකකි. කියවලාත් තිබුනා අහලත් තිබුනා. ඒත්... ඒ බව දැනුනේ එදා ය.

-----------------------------------------------------------------
ප.ලි. - මම ලියන රටාව පොඩ්ඩක් විතර වෙනස් කළා. මෙහෙම ලියන්න මාරම අමාරුයි. ව්‍යාකරණ වැරදි තැන් තියෙනවනම් පෙන්නලා දෙන්න.