29 September 2013

වතුර රොකට්ටුව

මම පහුගිය ටිකේ දනිස්සක් පන්නගෙන ගෙදර හිටියා කියලා මතකයි නේ. ඔන්න මේ සති අන්තය වෙනකොට යාන්තන් කෙලින් කටින් හිටගන්ඩ පුලුවන් උනා. ඒ සංතෝශයටත් එක්ක අපේ පොඩි රෑන මාවත් එක්කං වෝකිං පාක් යන්ඩයි කල්පනාව !

අම්මෝ එහේ ඇවිදින්ඩ ගියොත් ආයෙම බෙහෙත් බඳින්න වෙනවා සිකුරුයි ! ඒ නිසාම මේ අයත් එක්ක අපි පොඩි සෙල්ලමක් දැම්මා. මේක වතුර රොකට්ටුවක් !

මුලින්ම කියලා හිටින්නංකෝ ඕන කරන දේවල් ටික. ඔන්න එහෙනං ප්ලාස්ටික් මෙගා බෝතලයකුයි පරණ පුට් සයිකල් ටියුබ් එකකින් ගලවගත්ත වෑල් එකකුයි. සුපර් ග්ලූ හෝ මල්ටිබෝන්ඩ් වගේ තදින්ම ඇලවෙන ගම් ජාතියකුයි හොයා ගන්ඩ ! තව ඕන බයිසිකල් වලට හුලං ගහන පොම්පයක් !

ආ... තව ඕන විස්වාසවන්ත සහයකයෙක්ව ! සහයක ඩැනියෙක් !

මේකයි හදන විදිහ. මුලින්ම බයිසිකල් ටියුබ් එකෙන් වෑල් එක පරිස්සමට ගලව ගන්ඩ. ඊට පස්සේ මෙගා බෝතලේ මූඩිය හිල් කරලා වෑල් එක ඒ හිල ඇතුලින් පරිස්සමට රිංගවා ගන්න. වෑල් එක එහා මෙහා නොයන විදිහට නට් වලින් වෑල් එක සවි කරගන්න.

තේරුනේ නැත්නං පහල පින්තූරේ බලන්ඩ.



දැන් වෑල් එක මූඩියට සවි වෙලා ඉවරයි.ඊට පස්සේ සුපර් ග්ලූ ගම් ටිකක් අරගෙන වෑල් එක මූඩියට හයි වෙලා තියෙන හරියේ ගාන්න. එහෙම කරන්නේ වෑල් එක හයි වෙලා තියෙන හරියෙං හුලං ලීක් වෙන එක වලක්වා ගන්ඩ.

ඔන්න දැන් වැඩේ සෑහෙන දුරට ඉවරයි !

ඊට පස්සේ බෝතලේ බාගයකටම වෙනකන් වතුර පුරවන්න වෑල් එක හයි කරාගත්ත මූඩියෙන් බෝතලේ කට හොඳින් වහන්න. පල්ලෙහා පින්තූරෙන් තියෙන්නේ හුලං ගහන්ඩ ලෑස්ති වෙච්ච රොකට්ටුව !


ඊට පස්සේ තමන් හුලං ගහනකන් තමන්ගේ සහයකයාට කියන්න බෝතලේ අල්ලගෙන ඉන්ඩ කියලා. මම සහයකයට ගත්තේ සුදු පුතාව ! පෙනේද හැඟීමෙන්ම බෝතලේ අල්ලං ඉන්න අපූරුව !


ඊට පස්සේ තද වෙනකන් හුලං ගහපු බෝතලය අරගෙන ගිහින් කට පහලට වෙන විදිහට අල්ලගෙන මූඩිය එක පාරට ගලවන්න. පල්ලෙහා පින්තූරේ බලන්ඩ. මේ ක්ෂණයෙම බෝතලය ගුවන් ගත වෙන නිසා බෝතලය පරිස්සමට අතාරින්න.


පල්ලෙහා පින්තූරෙන් පේන්නේ ගුවන් ගත වෙච්ච වතුර රොකට්ටුවේ වතුර පාර !
කොහොමද වැඩේ !


ඔය ගොල්ලොත් වතුර රොකට්ටුවක් හදලා ඊලඟ සති අන්තේ යාලුවොත් විනෝදෙන් ගත කරන්ඩ.
එහෙනම් මං ගිහින් එන්නම් !

28 September 2013

පුංචි පහේ ප්‍රශ්නයක්... !

මාස ගානක් නොලිය හිටිය නිසා මම නම් හිතුවේ මාව සිංඩි වලිනුත් විසික්කා වෙලාය කියලා. වාසනාවට එහෙම වෙලා නෑ. බැරිවෙලාවකවත් එහෙම උනා නම් ආයෙම ඇප්ලයි කරන්න වෙනවා.

අද ලියන්න යන්නේ මේ මාසෙට නියමිත දෙවෙනි පෝස්ටුව. පෝස්ටු හතරක්වත් ලියන්ඩ ඕන කියලා හිතුනට කල් මදි. අවුලක් නෑ. ඊලඟ මාසේ ඉදන්ම ලියන්න බැරුව යෑ. ලියනවා වගේම බ්ලොග් කියවන්නත් ඊලඟ මාසේ ඉදන්ම එන්න ඉන්නේ.

ගිය මාසේ.. ඒ කියන්නේ අගෝස්තු මාසේ සති අන්තයේ මට සෑහෙන වැඩ තිබ්බා. මොකද අපේ ගෙවල් ගාව පොඩ්ඩෙක් මෙදා පාර පහේ ශිෂ්‍යත්ව විභාගේ ලිව්වා.   ඒ නිසා එක එක ප්‍රශ්න පත්තර වල ගැටලුයි, තනි පදයි, යුගල පදයි ඔය විදිහේ නානාප්‍රකාර ප්‍රශ්න ගොඩකට මට උත්තර දෙන්න සිද්ධ වෙච්ච කාලයක්.

සිංහල භාෂා ප්‍රශ්න නම් කොහොමහරි කියලා තේරුම් කරලා දෙතෑකි. ඒත් ගණිත ගැටලු තේරුම් ගන්න මේකා පොඩ්ඩක් පහු බහිනවා. ගණන් බැරි කමක් නන් දැක්කේ නෑ..

ඒත් ඉතින් බෑ කියලත් බැරි හන්දා මාත් වෙලාව අරගෙන කියලා දෙනවා.ඔය අතරේ එක ප්‍රශ්නයක් තිබ්බා මොක කරලවත් මේකාට තේරුම් කරවන්න බැරි වෙච්ච ප්‍රශ්නයක්.

මෙන්න මේකයි ප්‍රශ්නේ !

මිනිස්සු 3 දෙනෙක් එකතු වෙලා දවස් 12කදී ගඩොල් 1200ක් හදනවලු. මිනිස්සු 6 දෙනෙක්ට ගඩොල් 300ක් හදන්න කොච්චර කල් ගත වෙනවද ? 

උත්තරේ දින වලින්ම දුන්නහම ඇති. කියලා තමා තිබුනේ.

අන්තිමේදි මම කිව්වා මේ වගේ ප්‍රශ්න විභාගයට එන්නේ නෑ ඒ නිසා බය නොවී හිටු කියලා. එහෙම කියල ඒකාගේ හිත හදලා විභගයට යැව්වා.

මොකද කියන්නේ අර ගාන හදලා බලමුද ?  එහෙනං ගාන හදලා උත්තරේ පහලින් කොටන්න

23 September 2013

කලකට පසු...

මාස අටක් විතර පාලුවට ගිහින් තිබ්බ මගේ බ්ලොග් අඩවිය ආයෙම පටන් ගන්න ඕන කියලා කොච්චරවත් හිතුනට ලියන්න ගියහම කම්මැලිකමක් හිතෙනවා.එතකොට ලියන වැඩේ අතෑරලා දාලා නිකා ඉන්නවා. ආයෙම දවස් දෙකකට විතර පස්සේ ලියන්න ඕන කියලා හිතෙනවා. ඒත් දවසින් දවස ලියන වැඩේ කල් යනවා.

ඔන්න අද නම් මොනවම හරි ලියනවා කියලා හිතලා බ්ලොග් අඩවියට ගොඩ උනා.ඒ නිසාම වචන දහයක් පහලොවක් කොටලා දානවා. අද ඉදන් ලියන්න පටන් ගත්තා වගේ නෙමේ ආයෙමත් සින්ඩි වලට බ්ලොග් අඩවිය එකතු කරගන්න වෙනවා. මෙලහට්ට මාව සින්ඩි වලිනුත් එලවලා ඇති.

මේ සැප්තැම්බර් මාසේ. ඒ කියන්නේ සාහිත්‍ය මාසේ. ඒ ගැනත් මොනවමහරි ලියන්න ඕන. ලියපු කවි කෑලි දෙක තුනක් එහෙමත් ඇති.ඒකවත් බ්ලොග් එකේ ලියලා අතාරින්න ඕන. :)

ආහ්.... තව පොඩ්ඩෙන් අමතක වෙනවා.මට සෑහෙන කාලෙකට පස්සේ තෑග්ගක් හම්බ උනා. ඒක පොතක් !

මොහාන් රාජ් මඩවල මහත්තයා ලියපු "මාගම් සෝලිය" කියන පොත තමා ලැබුනේ. තාම නම් කියවන්න ලැබුනේ නෑ. ගොඩක් අය නම් කියන්නේ ඒ පොතේ එන කතා තේමාව ලිංගිකත්වයට බර කතාවක් කියලා. අවුලක් නෑ මට ඉතින් හම්බ වෙච්ච පොතනේ. ඔන්නොහේ කියවලා දානවා. :)

ඔය ඉහලින් තියෙන්නේ පොතේ පිටකවරේ !

පොත ලැබිච්ච සතුට වගේ තමා මං පඩිපෙලකින් බහින්ඩ යනකොට කකුල නුහුරට ගිහින් දනිහත් පැන්නා. මතකනේ කලින් වතාවකත් දනිහ පන්නගෙන මහ පොලවේ බොරලු හූරගෙන වැටුනා. මේ දවස්වල සිංහල බෙහෙත් කරන ගමන් ඉන්නේ. ඒ හන්දම අද වැඩට ගියෙත් නෑ.

අදට මේ ඇති වගේ. ! එහෙනම් ආයෙම මොනාහරි ලියන්න එන්නම්. ඔන්න අද ඉදන් මාත් බ්ලොග් ලියන්ඩ එකතු වෙනවා.