කලින් ලියමන නවත්තපු තැනින් තමයි අද පටන් ගන්නේ. මම කලින් ලිපියේ කිව්වා නේ පැල් රකින්න යන්ඩ ඕන කරන කලමනා ටික මල්ලට දාගත්තයි කියලා. මම ඇත්තටම මල්ලට දාගත්තේ මේ ටික.
කලින් දවසක චාර්ජ් කරපු ලයිට් එකක්.
පොඩි බඩගින්නක් එහෙම ආවොත් කන්න කියලා බිස්කට් එකක්.
රෑ සීතල මැකෙන්න කියලා ජැකට් එකක්.
වතුර බෝතලයක්.
පරණ මදුරු දැලක්.
මදුරු කොයිල් ජෝඩුවක්.
චාර්ජ් කරන්න පුළුවං ජාතියේ පොඩි රේඩියෝ එකක්.
ඔය වගේ පොඩි පොඩි දේවල් ටිකක් තමයි මගේ මල්ලේ තිබුනේ. මම ඔය ටිකත් දාගෙන ලැහැස්ති උනා. ඊට පස්සේ අපේ මලයා බයික් එකකින් හේන තිබ්බ හරියටම ඇරලවලා යන්ඩ ගියා.
හේන තිබ්බ ඉසව්ව හරිම ලස්සනයි. එක පැත්තක බඩ ඉරිඟු හිටවලා තිබුණා. අනිත් පැත්තේ වම්බටු එහෙම දාලා තව පැත්තක ඔය වගේ වියළී කළාපයේ වැවෙන එළවලු ජාති කිහිපයක් තිබුණා. බඩ ඉරිඟු ටික නම් කිරි වදින කාලේ නිසා වල් ඌරන්ගෙන් එහෙම පරිස්සම් කරන්ඩ ඕන කියලා තමයි හේනේ අයිතිකාර මාමා කිව්වේ. හේන් බෝග ටික බලාගෙන අඩි පාර දිගේ මම පැල් කොටේ තිබ්බ හරියට ආවා.





