Showing posts with label චාරිකා. Show all posts
Showing posts with label චාරිකා. Show all posts

04 October 2025

හේන් පැලක රෑක් ගත කළෙමි - දෙවැනි කොටස

 කලින් ලියමන නවත්තපු තැනින් තමයි අද පටන් ගන්නේ. මම කලින් ලිපියේ කිව්වා නේ පැල් රකින්න යන්ඩ ඕන කරන කලමනා ටික මල්ලට දාගත්තයි කියලා. මම ඇත්තටම මල්ලට දාගත්තේ මේ ටික.

  1. කලින් දවසක චාර්ජ් කරපු ලයිට් එකක්.

  2. පොඩි බඩගින්නක් එහෙම ආවොත් කන්න කියලා බිස්කට් එකක්.

  3. රෑ සීතල මැකෙන්න කියලා ජැකට් එකක්.

  4. වතුර බෝතලයක්.

  5. පරණ මදුරු දැලක්.

  6. මදුරු කොයිල් ජෝඩුවක්.

  7. චාර්ජ් කරන්න පුළුවං ජාතියේ පොඩි රේඩියෝ එකක්.


ඔය වගේ පොඩි පොඩි දේවල් ටිකක් තමයි මගේ මල්ලේ තිබුනේ. මම ඔය ටිකත් දාගෙන ලැහැස්ති උනා. ඊට පස්සේ අපේ මලයා බයික් එකකින් හේන තිබ්බ හරියටම ඇරලවලා යන්ඩ ගියා. 


හේන තිබ්බ ඉසව්ව හරිම ලස්සනයි. එක පැත්තක බඩ ඉරිඟු හිටවලා තිබුණා. අනිත් පැත්තේ වම්බටු එහෙම දාලා තව පැත්තක ඔය වගේ වියළී කළාපයේ වැවෙන එළවලු ජාති කිහිපයක් තිබුණා. බඩ ඉරිඟු ටික නම් කිරි වදින කාලේ නිසා වල් ඌරන්ගෙන් එහෙම පරිස්සම් කරන්ඩ ඕන කියලා තමයි හේනේ අයිතිකාර මාමා කිව්වේ. හේන් බෝග ටික බලාගෙන අඩි පාර දිගේ මම පැල් කොටේ තිබ්බ හරියට ආවා. 

03 October 2025

හේන් පැලක රෑක් ගත කළෙමි

 ඉස්කෝලේ යන කාලේ සිංහල සාහිත්‍යය විශයයට ජන ගී එහෙම ඉගෙන ගන්නකොට අපිට නොයේක වර්ගවල ජන ගී හම්බ වෙලා තියෙනවා. පාරු කවි, පතල් කවි, කරත්ත කවි, ගොයම් කවි, පැල් කවි වගේ අටෝරාසියක් වර්ගවල කවි ඉගෙන ගෙන ඇති. ඒ කාලේ ඕවා උගන්නපු ටීචර් ඔය එකේක රාජකාරියේ තියෙන භයානක කමයි ඒ රාජකාරිය කරන කොට තියෙන කම්මැලිකම සාංකාව මග හැර ගන්න කවි කියන හැටි එහෙම පණ පිහිටුවලා රසට කියලා දුන්නා. ඔය හන්දම ඒ කාලේ මගේ හිතේ ලොකූ උණක් තිබුනා කවමදාක හරි ගහක් උඩ අටවපු පැලක රෑක් ගත කරලා ඒ අත්දැකීම කොහොමද කියලා රසවින්දනය කරන්ඩ ඕනයි කියලා.

ඒ දවස්වල මම ඕක අපේ තාත්තට කිව්වේ මේ පැති වල කුඹුරු තිබ්බට පැලක් අටවගෙන පරිස්සම් කරන්න ඕන තරම් සත්තුන්ගෙන් කරදර සිද්ද වෙන්නේ නැති හන්ද පැල් ගහගෙන ඉන්ඩ ඕන නෑයි කියලා. මේ පැති වල නම් රෑකට මීයෙක් දෙන්නෙක් පැනලා වක්කඩවල් වල ගුල් හාරන ඒවයි දවාලට මී හරක් පැනලා කුඹුරු කෑලි මඩ කරලා දාන ප්‍රශ්නයි ඇරුනහම වෙන සත්තුන්ගෙන් හාකි වෙනවා අඩුයි. අඩුයි කියන්නේ නැතිම තරම්.

මීයන්ට නියරවල් උඩින් අමු ගස්ලබු කෑල්ලක් හරි මීපාසානම් ටිකක් හරි තිබ්බොත් මී කරදරේ ඉවර කරගන්ඩ පුලුවන්. හරකුන්ගේ කරදරේට නම් හරක් අයිතිකාරයන්ට සද්දයක් දාලා ආවහම නිස්කාරනේ කුඹුරුවලට හරක් පනින කරදරේ අඩු කරගන්ඩ පුලුවන්.

14 September 2025

බෙලිහුල් ඔය තානායමේ දිනක්

 අප බෙලිහුල් ඔය තානායමට එනවිට වේලාව හවස 4ට ආසන්න වී තිබුණද දිවා ආහාරය සඳහා සූදානම් ව තිබූ බුෆේ එක අවසන් වී තිබුණේ නැත. අප කුසගිනි නිව්‍ර්න තෙක් බුෆේ එකෙන් දිවා ආහාරය ගත්තෙමු. දිවා ආහාරය අවසන් වනවත් සමගම තානායමේ පිළිගැනීමේ නිළධාරි තැන අපට සූදානම් කර තිබූ කාමරයේ යතුර ලබා දුනි.

අප නැවතී සිටින කාමරයේ බැල්කනියට අසලින් ගලා යන බෙලිහුල් ඔයේ වතුර ගලන හඩ ද කදුකර දර්ශනයන් ද මනාව දිස් වේ. වතුර ගලායන හඩ මුලදි මුලදි ඝෝෂාකාරී ලෙස සිතුන ද අපේ කන් ඒ හඩට ඉතා ඉක්මනින් අනුවර්තනය වී ය.එය අපට මහත් අස්වැසුමකි.  ගමනේ වෙහෙස නිසා අප කාමරයට වී මදක් විවේක ගත්තෙමු. හවස අප පහන්තුඩාවට යාමට කතිකා කර ගත්ත ද පුතුගේ බලවත් අකමැත්ත උඩ අප ඒ ගමන අමතක කර දැමී ය. ගමන් මහන්සිය නිසාම ඔහු ඒ ගමනට අකමැත්තක් දැක්වූ බව අපට සිතුණි.

11 September 2025

කල්තොට හා බෙලිහුල් ඔය

 දීර්ඝ සති අන්ත නිවාඩුවක් යෙදී තිබුණ සැප්තැම්බර් මාසයේදි මාත් අපේ ගෙදර සියළුම දෙනා පවුලේ චාරිකාවක නිරත වීය. මෙවර අපේ ගමනාන්තය වූයේ කල්තොට සංචාරය කිරීම ය. 

දිනය හරියටම කිවහොත් 2025 වසරේ සැප්තැම්බර් මස 5 වනදා ය. අප කලින් දවසේ ගමනට උවමනා කරන සියළුම දෑ ලක ලැහැස්ති කරගෙන එක තැනකට ගොඩ ගසා තැබීමු. එසේ කළේ කුමන හෝ අත්‍යවශ්‍ය දෙයක් මඟහැරීයාම අවම කිරීම පිණිසය. අවම කරනවා යැයි මා සදහන් කරන්නේ කොතරම් දේවල් කලින් ලැහැස්ති කළද ගමන යන දිනට කුමන හෝ දෙයක් අමතක වී යාමේ පුරුද්දක් මා ඇතුළු නිවැසියන්ට තිබෙන නිසා ය. 

10 April 2023

ඉඳිගහ තොටුපොළ

 මේ දවස්වල පොඩි එක්කෙනාගේ මොන්ටිසෝරියේ නිවාඩු නිසා එයාට ටිකක් කම්මැලියි. මොන්ටිසෝරි දවස්වල නම් ඉතින් උදේ වරුවේ යාළුවෝ එක්ක සෙල්ලම් කරන්න, ටීචර් එක්ක එක එක ක්‍රියාකාරකම් එහෙම කරන නිසා පාළුවක් නෑ.  ආයේ ඉතින් මොන්ටිසෝරි ඇරෙන වෙලාවට එයාට හම්බ වෙන අයිස් ක්‍රීම් එක එහෙම මේ ටිකේ ලැබෙන්නේ නැති නිසා පුංචට පොඩ්ඩක් කම්මැලි ගතියකින් ගෙවෙන දවස් ටිකක් තමයි මේ ගෙවෙන්නේ.

කොලූගේ කම්මැලිකම නැති වෙන්නත් එක්ක බයිසිකලයේ දාගෙන පොඩි රවුමක් ගිහින් ආවා. කොලූ හරි ආසයි ගඟ බලන්න, ඒත්තෙක්කම මාළු බලන්න. ඉතින් අපි දෙන්න බයිසිකලයෙන් ගියා ඉඳිගහ තොටුපොළ බලන්න. 

ඉඳිගහ තොටුපොළ කියන්නේ බොල්ගොඩ ගඟට අයිති තවත් තොටුපොළක්. මීට කලින් බොල්ගොඩ ගඟේ රුක්ගහ තොටුපොළ, මහබෙල්ලන තොටුපොළ ගැන එහෙම මම පොඩි ලිපි ලීවා මතකැති නෙහ්.

10 March 2023

අපූරු පංකාවක්

 මාතර තානායමේදි අපි හරි අපූරු සුළං පංකාවක් දැක්කා. සාමාන්‍යයෙන්  අපි දැකලා තියෙන්නේ අවර පෙත්තක් විදුලි මෝටරයක ආධාරයෙන් කරකවලා සුළං ලබාගන්නා ආකාරයෙ විදුලි පංකා නෙහ්. මේක එහෙම එකක් නෙමෙයි.

මම කියනවට පොඩ්ඩක් මේ පහල වීඩියෝ එකේ තත්පර කිහිපය බලලා ඉන්ඩකෝ.


 මේක ටිකක් පැරණි තාලේ සුළං පංකාවක්. මේ පංකාව නිසාම මාතර තානායමේ තියෙන පෞරාණික ගතිය සෑහෙන්න වැඩි කරන්න සමත් වෙනවා. (මට ඒක වීඩියෝ එකකට හරියටම රෙකෝර්ඩ් කරගන්න බැරි උනා. මේක අන්තර්ජාලයෙන් හොයාගත්තු වීඩියෝ එකක්)


09 March 2023

මාතර කොටුව

 මාතර තානායමේදි උදේම නැගිට්ටා.කීයට නිදියෑවත් උදේ හය වෙද්දි වගේ අනිවාර්යෙන්ම මට ඇහැරෙනවා. එතනින් එහාට ඉතින් ආයේ නින්ද යන්නෙම නෑ. නැගිටලා උදේ තේ එකකුත් බීලා ඊට පස්සේ ටවුම පැත්තේ පොඩි රවුමක් දාලා එන්න ආවා. ඒ වෙනකොට පොඩි පහේ මීදුම් ගතියකුත් තිබුනා. ඒ මුහුද ළඟ හන්දා වෙන්ඩැති.

පන්ති යන්ඩ ආපු ළමයි කිහිපදෙනෙක් එහෙම බස් ස්ටෑන්ඩ් එකට වෙලා හිටියා. ඊට අමතරව ඉතින් දුර ගමන් සේවා වල සෙනග ලෝඩ් කරන බස් ටික පෙලට ස්ටෑන්ඩ් එකේ නතර කරලා තිබ්බා.

මම ස්ටෑන්ඩ් එකට ගිහින් අනිත් රවුම කොටුව පැත්තට ආවා. ගාලු කොටුව තරම්ම මාතර කොටුව ජනප්‍රිය නොවුනට මාතරත් ලන්දේසින් විසින් ගොඩනගපු කොටුවක් තියෙනවා. ඒ කොටුවේ ඔර්ලෝසු කණුවකුත් තියෙනවා.

වෙලාව හම් හරියට වැඩ කරන්නේ නෑ. :)

මේ පින්තූරය අන්තර්ජාලයෙනි.

08 March 2023

මාතර තානායමේ ගෙවු දිනක්

 කුශ්ඨරාජගල බලලා ආයෙම ගාළු පාරට එනකොට වෙලාව හැන්දෑවේ දෙක විතර වෙලා තිබුණා. ඊට පස්සේ අපි ගාළු පාරේ මාතර දිහාවට එනකොට පාර අයිනේම තිබ්බ පොඩි කඩේකින් දවල්ට කෑවා. දැන් ඉස්සර වගේ නෙමේ කඩේකින් පොඩි දෙයක් කෑවත් රුපියල් 500ට එහා ගානක් යනවා.

දවල්ට කාලා අපි කෙලින්ම ආවේ මාතර තානායමට. මාතර තානායම තියෙන්නේ ටවුන් එකේමයි. හරියටම මාතර - කොළඹ හයිවේ බස් නැවතුම්පොළ කිට්ටුවෙන් තියෙන්නේ. තානායම මුහුද කිට්ටුවෙන්ම තියෙන නිසා මුහුදෙන් නැගෙන අතොරක් නැති රල හඬ හැම වෙලේම ඇහෙනවා. ඒත් එක්කම මුහුදු හුළඟ නිසා කොච්චර රස්නයක් තිබ්බත් ඒක වැඩිය දැනෙන්නේ නෑ. ටවුන් එක කිට්ටුවෙන්ම තිබ්බත් ටවුන් එකේ තියෙන ලොකු ඝෝෂාවක් නම් මේ තානායමට ඇහෙන්නේ නෑ.


 

07 March 2023

කුශ්ඨරාජගල

 අපි මාතර යන ගමනේදි මට ඕනකමක් තිබුණා වැලිගම හරියේ තියෙන කුශ්ඨරාජගල බලලා එන්ඩ. ඒක තියෙන්නේ ගාල්ල - මාතර පරණ පාරේ. ගාල්ල පැත්තේ ඉදලා එනකොට කුඹල්ගම දුම්රිය ස්ථානය පහු කරල ටික දුරක් වැලිගම පැත්තට එන්ඩ ඕන.

මේ ගල ට කුශ්ඨරාජගල කියලා නම වැටිලා තියෙන්නේ හතරවන අග්බෝ රජතුමාට වැළදුන කුශ්ඨ රෝගයක් සුව වෙන්න කියලා මේ ආසන්නයේම තිබ්බ අග්‍රබෝධියට බාරයක් වෙලා තියෙනවා. ඒ බාරය වෙලා තියෙන්නේ තමාට වැළදුන කුශ්ඨ රෝගය සුව උනොත් මේ පර්වතයේ නාථ දෙවියන්ගේ පින්තූරයක් කරවනවයි කියලා. කොහොමහරි රජතුමාගේ රෝගය සුව උනාට පස්සේ දැන් තියෙන ගලේ නාථ දෙවියන්ගේ පින්තූරයක් ඇඹෙව්වාලු.


 

කුශ්ඨය හැදුන රජතුමා බාර වූ ගල පස්සේ කාලෙක කුශ්ඨරාජගල උනා ලූ. මේ කුශ්ඨරාජගලේ තියෙන්නේ මහායාන බුදු දහමට අදාල අවලෝකිතේශ්වර බෝසත් පිළිමයක් ලූ.

06 March 2023

මාතර යන ගමන් ගාළු කොටුවේදී

 සෑහෙන කාළයකට පස්සේ සති අන්තයේ දීර්ග නිවාඩුවක් ලැබුන නිසා පොඩි ට්‍රිප් එකක් යන්න ප්ලෑන් කලා. එක එක තැන් ටිකක් යෝජනා කරගෙන එයිනුත් අන්තිමේදි තීරණය කර ගත්තේ දකුණු රටට ගිහින් එනවයි කියලා. දකුණු රටේ මාතරට ගිහින් දවසක් එහේ ඉඳලා එන්න තමයි අන්තිම අදහස උනේ.

හයිවේ එකේ නිකන්ම මාතරට ගිහින් එනවට වඩා ගාල්ලේ ගිහින් ගාළු කොටුවත් බලලා එතනත් ටික වෙලාවක් ඉඳලා මාතර එමුයි කියලා මම යෝජනා කළා. ඒකට අපේ උන්දැත් කැමති උන නිසා අපි උදෙන්ම හයිවේ එකට දාලා පින්නදූවෙන් ගාල්ලට ආවා.

ඒ එනකොට උදේ හත හමාර වගේ උනා. ඒ වෙලාවට නම් අවුව අඩු නිසා ගාළු කොටුවේ ඇවිදින එකේ අමුතු ගතියකුත් තියෙනවා. ගාළු කොටු බැම්මේ ඉඳලා ඈත මුහුද බලාගෙන ඉන්න එකත් මරු හැබැයි. ඒත් ගාළු කොටුව ඇතුලේ තියෙන පාරවල් වල ඇවිදින කොට නම් හිතෙන්නේ වෙනම රටකට ගියා වගේ. හැම පාරකම තියෙන ගොඩනැගිලි පැරණි ඕලන්ද සම්ප්‍රදායට හදපුවා.

ඒ වගේම තමා පාරවලුත්  ඇතිරුම් ගල් අල්ලලා වෙනස්ම ක්‍රමයකට හදලා තියෙන්නේ. සාහිත්‍ය පොත් වල තියෙන විදිහේ අපූරු සැලැස්මක් තමයි ගාළු කොටුව ඇතුලේ තියෙන්නේ. මේ කාලෙට සංචාරකයෝ අඩුවෙන් එන කාළයක් නිසාද මන්දා ඒ තරම්ම කට්ටියක් අපිට දකින්න හම්බ උනේ නෑ.

04 February 2023

වස්ගමු වන අසිරිය

 කදුරුපිටිය බංගලාවේ කාමරයක නින්දට වැටුන අප පසුදින සතුන්ගේ හා නානාවිධ පක්ෂීන්ගේ කූජනයන්ගේ හඬින් අවදි වූවෙමු. මා අවදි වන වේලාවටම වාගේ තව යහළුවෙක් අවදි වී තිබුණි. මා ඔහු සමග මදක් ඉදිරියට ඇවිද ගියෙමි.

අපට වැඩි දුරක් යාමට අවසර නැත.

ඊට හේතුව වන්නේ නිදහසේ ජීවත්වන වන සතුන්ගෙන් අපට හානියක් වීම වලකාලීම සදහා ය. සමහර දින වලදී වන අලින් කදුරුපිටිය ඉසව්වටම එන බව බංගලාවේ ඉවුම් පිහුම් කරන කෙනෙකුගෙන් අසා දැන ගත්තෙමි. එය ඇත්තක් යැයි අපටත් වැටහුනේ මඩ ගොඩවල් වල තිබූ අලින්ගේ අඩි සටහන් හා ඔවුන් දැමූ වසුරු ගොඩවල් නිසා ය.

අප කදුරුපිටිය බංගලාවේදී උදෑසන ආහාරය ලබා ගතිමු. ඉන් පසු අප රෑ පාටියට අවශ්‍ය කෑම බීම පිළියෙල කිරීමට සූදානම් වූවෙමු. පාටියක් ය කීවාට කෑකෝ ගැසීම් හා උස් හඬින් වැයෙන සංගීත රාවයන්ට මෙහිදී අවසර නැත. එය වන සතුන්ගේ නිදහසට බාධාවකි.

ඔවුන්ගේ නිදහසට බාධා නොවන අයුරින් අපට සාද පැවැත්විය හැක. මදුවිතෙන් මත් වීමට ද කිසිදු බාධාවක් නැත. එහෙත් වටපිටාවේ කිසිදු අපද්‍රව්‍යයක් දැමීමට අවසර නැත.

 ඉර හැරී දෙහෝරාවක් ගිය තැන අප වන අසිරිය නැරඹීමට ගියෙමු. එහිදී අපට නොයෙක් වන සතුන් දැක ගත හැකි වූවත් ඔවුන්ව කැමරා කාචයක සටහන් කර ගැනීමට නොහැකි විය. එයිනුත් මා ලබා ගත් පින්තූර කිහිපයක් පහලින් පළ කරමි. 

03 February 2023

කදුරුපිටිය බංගලාව

 වස්ගමුව ජාතික වනෝද්‍යානය තුල ප්‍රධාන සංචාරක නැවතුම් ස්ථාන දෙකක් වෙයි. එකක් අප ගිය කඳුරුපිටිය වන නිවහන හා වවුල් ඇඹේ වන නිවහන වේ. මෙයින් කඳුරුපිටිය බංගලාව වනෝද්‍යානයේ පිවිසුම් ස්ථානය ආසන්නයේම පිහිටා ඇති අතර වවුල් ඇබේ නැවතුම් ස්ථානය, වනෝද්‍යානය ඇතුලට වන්නට මහවැලි ගඟ ආසන්නයේම පිහිටා ඇත.

02 February 2023

රිවර්ස්ටර්න් සුළං කපොල්ල

 බඹරකිරි ඇල්ලට සමු දුන් අප නැවතත් ප්‍රධාන මාර්ගයට අවතීර්ණ වූවෙමු. මා 'ප්‍රධාන' යැයි විශේෂණ පදයකින් හැදින් වූවද මී මාර්ගය බොහෝ සෙයින් අබලන් වූවකි. අබලන් සේම මේ මාර්ගය බොහෝ සෙයින් පටු වූවකි. වාහන දෙකක් එකවරු මාරු වීමට ඉතාම අපහසු පටු වූ මාර්ගයක් බව මා කිව යුතු ය.

මෙලෙස අබලන් මාර්ගයක ගමනේ යෙදෙන්නේ නම් ඔබ භාවිතා කරන වාහනය යම් කිසි උසකින් යුක්ත වූවක් විය යුතු ය. කාර් රථයකට නම් මේ මාර්ගයේ යම් යම් තැන් වලින් ගමන් කිරීම මදක් අසීරු ය. එහෙත් අප ගමන් කළ ඩිෆෙන්ඩර් වර්ගයේ මෝටර් රථයට නම් මෙවැනි අබලන් මාර්ග වල යෑමට එතරම් අපහසු නැත.


මාර්ගය දුශ්කර වූව ද සුන්දරත්වය අඩු වූවක් නොවී ය. පෙනෙන පෙනෙන හැම අතින්ම හරිත පහැ ගත් වන වදුලු ය. තවත් වරක කඳු වල වවා ඇති තේ වගාවන් ය. තවත් වරෙක පයිනස් වර්ගයේ ගස් වලින් ගහණ වනාන්තර ය.

01 February 2023

බඹරකිරි ඇල්ල

 2021 වර්ෂයේදී අපේ මිතුරන් පිරිසක් සමඟ මා වස්ගමුව නැරඹීමට ගියෙමි. සාමාන්‍යයෙන් වස්ගමු යන්නට නම් දඹුල්ලට ගොස් යෑම ලෙහෙසි පහසු වූවත් අප තීරණය කළේ රිවර්ස්ටර්න් හරහා වස්ගමුවට යෑම ගමනේ අගය තව තවත් වැඩි කරවන්නක් වන බව ය.අනෙක් අතට කෙලින්ම වස්ගමු යන්නේ නැතිව මගදිගට තව තවත් දේ දැකබලා ගමන යන්නට තිබේ නම් කොච්චර වටී දැයි අප කා තුලත් තිබූ අදහසක් විය. ගමනේ මහන්සියත් නිවාගෙන යාමට ද එය පිටිවහලකි.

 ඒ නිසාවෙන්ම අප රිවර්ස්ටර්න් හරහා වස්ගමු යන්නට එදින උදේ පිටත් වූවෙමු.

අපේ චාරිකාව දින තුනක එකක් වූ අතර පළමු දින අපේ ගමනාන්තය වන්නේ වස්ගමුව වනයේ පිහිටුවා ඇති කඳුරුපිටිය වන නිවහනයි. දින දෙකක්ම වනය තුල වූ නිවහනක ගෙවා පසුදින නැවතත් ගම් රටවල් බලා ඒමට අප සැලසුම් කර තිබුණි.

අළුයම අප පිටත් වී පෑ කිහිපයක ගමනකින් අනතුරුව අපට රිවර්ස්ටන් දක්කා වූ මාර්ගයට අවතීර්ණ වීමට හැකි විය. රිවර්ස්ටර්න් එන ගමනේදී අපට මුලින්ම හමු වන්නේ බඹරකිරි ඇල්ලයි.

තරමක බිහිසුණු ගතියක් උසුලන ඇල්ල අතීශයින්ම චමත්කාරජනක ය. 

06 May 2021

ගැලනිගම අම්බලම

 ගැලනිගම අම්බලම කියන්නේ රයිගම් රාජධානියේ පුරාවස්තූ අතර තවත් එක ස්ථානයක්. ගැලනිගම අධිවේගී පිවිසුම් මාර්ගය  කිට්ටුවම තමයි මේ අම්බලම පිහිටා තියෙන්නේ.

දැනට පුරා විද්‍යා දෙපාර්තුමේන්තුවෙන් සංරක්ෂණය කරන ස්ථානයක් . !

04 May 2021

බණ්ඩාරගම උයන්වත්ත වැව

 මගේ යාළුවෙක්ගේ අදහසක් තියෙනවා යූ ටියුබ් චැනල් එකක් කරන්ඩ. ලංකාවේ වෙහෙර විහාර ටික ඉලක්ක කරලා තමයි ඒ චැනල් එක කරන්න ඉන්නේ. ඒ වෙහෙර විහාර වල ඉතිහාස පසුබිම, වර්තමාන තත්වය වගේ දේවල් තමයි ඒ චැනල් එකෙන් පෙන්වන්ඩ ඉන්නේ.

දවසක් මේකා මගෙන් ඇහුවා අපේ පැත්තේ ඓතිහාසික විහාර එහෙම නැද්ද කියලා. ආයේ ඉතින් රයිගම් රාජධානියේ එහෙම තන් නැති උනොත්නේ පුදුමේ. ආරම්භයක් වශයෙන් මම ඒකාව පතහාවත්ත රජමහා විහාරෙට එක්කගෙන ගියා.

ගිහින් එන ගමන් තමයි අපි දෙන්න උයන්වත්ත වැව පැත්තට හැරුනේ.

බඹ්ඩාරගම ඉඳලා කිලෝමීටර් 2-3ක් විතර හොරණ පැත්තට ගියහම ගැලනිගම අධිවේගී පිවිසුම් මාර්ගය හම්බ වෙනවා. ඒකත් පහු කරලා මීටර් 200ක් විතර ගියහම කොතලාවල හන්දිය හම්බ වෙනවා. කොතලාවල හන්දියෙන් වමට තියෙන පාරේ ටික දුරක් ගියහම තමයි උයන්වත්ත වැව හම්බ වෙන්නේ.

හරි ලස්සන පැත්තක්. !

ගෑල්ලමේක් එක්ක ඇවිත් ටික වෙලාවක් ඉඳලා යන්න එහෙම නියම තැනක්. පොඩි පොඩි ලඳු කලෑ එහෙමත් තියෙන නිසා කොටු පනින්නත් බැරි කමක් නෑ.

නාන්න එහෙම දෙන්නේ නෑ මම හිතන්නේ. ඒත් එක නාන මංකඩක් මම ඈතින් දැක්කා. එතනින් නම් කට්ටියක් නෑවා. ඒත් එතනට යන්නේ කොහොමද කියලා නම් දන්නේ නෑ.  එහෙනම් පින්තූර ටිකක් බලලා ඉම්මු.

03 February 2021

කඩුක්කම් පැළඳි ආඳා

 සෑහෙන කාළයකට පස්සෙ නිකමට වාගේ හිතුනා බ්ලොග් එකට මොනවමහරි ලියලා දාන්න ඕන කියලා. ආන්න ඒ නිසාම බ්ලොග් එකේ ලියන්න හිතාගෙන උන්නු මාතෘකා වලින් එකක් එළියට ඇද්දා.

මගේ යාළුවෙක් අළුතින් යූ ටියුබ් චැනල් එකක් පටන් ගන්ඩ යන්නේ. ඒ චැනල් එකෙන් කරන්න ඉන්නේ ලංකාවේ තියෙන අප්‍රකට රජමහා විහාර ගැන හා ඒවායේ තියෙන ඒතිහාසික පසුබිම ගැන.

ඒ චැනල් එකට මගේ දායකත්වය වෙන්නේ ඒතිහාසික කරුණු හොයලා දෙන එක සහා ඒ තැන්වලට යන විදිහ හොයන එක. අපි මේ ක්‍රියාදාමයේ පළවෙනිම අදියර විදිහට තෝරගත්තේ රයිගම් රාජධානියේ පතහාවත්ත පුශ්කරාරාම රජමාහා විහාරය. 

මේ රජමහා විහාරය ගන මම කලින් වතාවකත් ලිව්වා මතක ඇතිනේ. මෙන්න මේ සබැඳියෙන් ඒ ලිපිය කියවලා එන්ඩ.

18 April 2020

ඇල්ල ගමන - 3 කොටස (අවසානය)

ඇල්ලට තවත් දවසක් උදා උනා. අපිට වාගේ නෙමෙයි. හතරවටින්ම මීදුම ගලාපු හරි අපූරු දවසක් තමයි උදා උනේ.

අපි කට්ටියම උදේ තේක වත් නොබී අදත් උදෙන්ම හෝටලයෙන් පිටත් උනා. අද අපේ ගමනාන්තය උනේ ඇල්ල රොක් එක. ඒකට යන්න නම් කිතල් ඇල්ල දුම්රිය නැවතුම පහු කරගෙන කොළඹ දෙසට ටික දුරක් රේල් පාරේ යන්ඩ ඕන. එතැන ඉදලා කාගෙන් හරි අහගෙන තමයි ඇල්ල රොක් යන්ඩ වෙන්නේ.
කිතල් ඇල්ල කියන්නේ පොඩි ස්ටේශමක් නිසාද මන්දා එච්චර සෙනගක් දකින්න හම්බ උනේ නෑ.

17 April 2020

ඇල්ල ගමන - 2 කොටස

අපි පුංචි සිරිපාදේ යනකොට මහා මුරුගසන් වරුසාවකට අහු උනයි කියලා මම කලින් පෝස්ට් එකේදි කිව්වා මතක ඇති නේ.
අපි  හෝටලය කිට්ටුවට ආවට පස්සේ වැස්ස පෑව්වා. ඔන්න එතකොටම අපේ කට්ටිය ආපහු පුංචි සිරිපාදේ පැත්තට යං කියලා කිව්වා. ඒ ඇසිල්ලෙන්ම අපි ත්‍රීවීල් දෙකක් කතා කරගෙන පුංචි සිරිපාදේට ආවා. වැස්සක් වැහැලා පායපු නිසාද මන්දා හතර වටින්ම මීදුම් ගලලා. ලස්සනේ බෑ.

16 April 2020

ඇල්ල ගමන

ගිය අවුරුද්දේ අපේ කන්තෝරුවේ කට්ටිය ගියපු චාරිකාවක් ගැනයි අද ලියන්න යන්නේ. ගිය අවුරුද්දේම මේ ලිපිය ලියලා දානවා කියලා හිතාගෙන හිටියට ලියන්න උනේ නෑ. ඒකටත් එක්ක හරියන්න කියලා මේ නොරෝධායන කාළය ඇතුලේම ලියලා දානවා.

අපේ කන්තෝරුවේ වාර්ශික චාරිකාව යන්න මටත් පොට්ට චෑන්ස් එකක් වැදුනා. "පොට්ට චෑන්ස්" එකක් ය කියලා කිව්වේ. යන්න පුලුවන් වේද ? බැරිවේ ද ? කියලා දෙගිඩියාවෙන් හිටපු කාළයක් ඒක.