Showing posts with label ජන කතා. Show all posts
Showing posts with label ජන කතා. Show all posts

04 April 2020

පැටි පස් පරාණය

ඔන්න මම කාළයකට පස්සෙ මොනවහරි ලියලා දාන්න ආවා. පහුගිය මාස කිහිපයේම මම අපේ කන්තෝරුවේ එක ව්‍යාපෘතියකට හිර වෙලා හිටියා. හුස්මක් කටක් ගන්නවත් විවේකයක් තිබ්බේ නෑ. කොටින්ම සතියේ දින හතම වැඩ කළා. (අතිකාළ දීමනා එහෙම ගෙව්වා ඉතිං) උදේ 8 වෙද්දි වැඩට ගියහම ආයේ ගෙදර එන්නේ රෑ 10-11 වගේ වෙලාවට.

ඔහොම රා වෙලා ගෙදර ආපු ගමන් ඇඟපත සෝදගෙන තේකක් කාරිය හදාගෙන රේඩියෝ එකත් දාගෙන පුටුවකට වෙලා හාන්සි උනා. මම රේඩියෝ එක දැම්මොත් ගොඩක් වෙලාවට අහන්නේ ගුවන් විදුලි සේවය විතරයි. එකේ නිවේදක/නිවේදිකාවෝ භාශාව හසුරවන විදිහ නියමයි. තනි සිංහලෙන්ම නිවේදනය කරන්නේ.

පුද්ගලික නාලිකා වගේ සිංහල මැදට ඉංග්‍රීසි අමුණගෙන කතා කරන්නේ නෑ.

10 May 2019

හෙරලි

එක දිගටම චාරිකා සටහන් ලියපු නිසා වෙනස් දෙයක් ලියන්න ඕන කියලා හිතුනා. අපේ ගේ ඉස්සරහා තියෙනවා කොස් ගහක්. අපේ අම්මා කියන්නේ ගෙයක් ඉස්සරහා කිරි ගහක් තියෙන එක හොදයි කියලා. නමුත් කොස් ගහකට වඩා ගේ ඉස්සරහා බෙලි ගහක් තියෙන එක ගොඩක් හොඳයි ලූ. බෙලි ගහක් තියෙනකොට ගෙට සිරියාකාන්තාව වඩිනවා ලූ. (එක ගෑනු කෙනෙක් ඇති. තව කෙනෙක් නං ඕන නෑ.)

ඒත් බෙලි ගහක් ගේ ඉස්සරහා තියෙන එක හෙන අවදානම් වාහනයක් එහෙම නවත්තල තිබ්බොත් බෙලි ගැට වැටෙන්ඩ පුලුවන්. එතකොට නම් ඉතින් සොරි ඩොට් කොම්.

කතාවට කියනවා නෙව යන යකා කොස් අත්තත් බිදගෙන යනවයි කියලා. අන්න ඒ වගේ අපේ ගෙදර යකා ගේ ඉසරහා කොස් අත්තක් කඩාගෙන යයි. :)

පානදුරේ ජීවත් වෙන අපිට වත්තේ කොස් ගහක් නෑ කියලා කියන්නේ ඒක අඩුවක් වගේ. මොකද කොස් මාමා කියලා විරුදාවලිය ලබපු ආතර් වී. දියෙස් මහහ්මයාත් පානදුරේ කෙනෙක් නෙව.

21 March 2019

ඒක කන්දෝ මේක කන්දෝ

මම කලින් ලිපියේදී රොටි ගැන කියලා මේ කතාව කියන්න අමතක උනා නෙව. ඔන්න එහෙනම් මේ ජන කතාව අහ ගම්මු.

මේක මං පොඩි කාලේ අපේ අම්මා මට කියලා දීපු කතාවක්.සමහර ඈයෝ දන්නවත් ඇති. නොදන්න පිරිසක් ඇති ය කියලා හිතලාමයි මේ කතාව ලියලා දාන්නේ.

එහෙනං තුන් හතර පොලකින්ම වාඩි උනා නං.

ඔන්න එකෝමත් එක රටක අම්මා කෙනෙකුයි පුතෙකුයි ජීවත් උනා. මේ අම්මයි පුතයි හරි දුප්පත්. ඒ වගේම තමා මේ පුතාගේ තාත්තා ජීවත් වෙලා උන්නේ නෑ. පවුලේ එකම කොල්ලා නිසා මේකා සෙල්ලක්කාර කමට හැදිලා අම්මා උයා පිහා දෙන දෙයක් කාලා පැත්ත වැටිලා නිදියන්ඩ පුරුදු වෙලා උන්නේ.

මේ අම්මටත් මේ කොල්ලගේ කල් කිරියාව ගැන ඒ තරම් පහැදීමක් නෑ. ඔන්න ඒ නිසා දවසක් මේ අම්මා උදෙම්ම නැගිටලා පොල් රොටියක් හදවලා කොල්ලෑ අතට දුන්නා.

ඒ දෙන ගමන්,

"මේ රොටිය අරං ගිහින් රස්සාවක් හොයාගෙන මිසක් ආයෙම ගෙදර එන්නේ නෑ" කියලා කිව්වා.

07 July 2017

බැමිණිතියාසාය

මේ දවස්වල රූපවාහිනී නාලිකාවල වැඩිමනක්ම සදහන් වෙන්නේ රටේ දැනට පවතින කාළගුණික විපර්යාස ගැන සහ ඒ විපර්යාස නිසා කෘෂිකර්මාන්තයට සිදුවෙලා තියෙන හානි ගැනයි.

කොටින්ම ඉදිරි කාළය තුළ නියඟයක ලකුණු පහල වෙලා තියෙන බවයි ප්‍රවෘත්ති වල සදහන් වෙන්නේ. උදේට ඇට මිදුළු වලටම කාවදින සීතලකුයි, දවාලට දැඩි රස්නයකුයි විඳින්න වෙලා තියෙනවා.

මේ කාළගුණික විපර්යාස නිසා ජල හිඟයක් ඇති ඇතිවෙන බවට සලකුණු තියෙනවයි කියනවා.  මේ නිසාම වගා පාළුවෙලා ආහාර හිඟයකුත් ඇති වෙන නිසාම කෘෂි කර්ම දෙපාර්තමේන්තුවෙන් කියලා තියෙනවා ක්‍රෝටන් කොළ, කොස් දළු එහෙම කන්නයි කියලා.හොදි මාළු නං මොනාහරි කරගන්ඩ පුලුවන් ඒත් හාල් එහෙම නැති උනොත් අයේ කොස් කොළ කන්ඩ කියලා යෑ... :(

මේ අල්ල පනල්ලෙම "ආලෝකෝ උදපාදි" කියල චිත්‍රපටියකුත් තිරගත වෙන්ඩ තියෙනවා.ඒකේ පෙන්නන්නේ වලගම්බා රජතුමාගේ කතාව. වලගම්බා රජතුමාගේ කාලෙත් ඔය ජාතියේම සාගතයක් ඇති උනා කියනවා නෙව.

ඒකට ලස්සන නමකුත් තියෙනවා. "බැමිණිතියාසාය" කියලා. සමහරු ඕකට "බැමිනිටියාසාය" කියලත් කියනවා.

කවුරුත් දන්න දුටුගමුණු රජතුමාගෙන් පස්සෙ සද්ධාතිස්ස රජතුමා රජ වෙනවා. මේ රජතුමාට දරුවෝ හතර දෙනෙක් උන්නා. ඒ දරුවෝ හතර දෙනාම සද්ධාතිස්ස රජතුමාගෙන් පස්සේ රටේ රජකම ගන්න සටන් කළා. මේ නිසාමේ ඒ කාලේ රටේ තිබ්බේ එච්චර හොඳ පාළන ක්‍රමයක් නෙමේ. මේ නිසාම තීය කියලා බ්‍රාහ්මණයෙක් රටේ බලය ගන්න සටන් කලා. මේ සටන ටිකක් ප්‍රබල එකක්.

ඒ නිසාම රටේ කෘෂිකර්මාන්තය අඩාල උනා. ඒ නිසාම මිනිස්සුන්ට කන්න නැති උනා. රටේ රජතුමා පැනලා ගිහින් වන ගත උනා. රජතුමා හිටපු හිටපු තැන් තැන් වල පස්සේ කාලේ විහාර ඉදි උනා.

තීය කියන බමුණා නිසා ඇතිවෙච්ච සාගත නිසා බමුණුතියාසාය නැත්නම් බැමිණිටියාසාය කියලා නමක් පට බැඳුණා.

මේ කාලෙදි රජතුම සේනා සංවිධානය කරනවට අමතරව එතුමා දැක්කා ත්‍රිපිටකය කට පාඩමේ තියාගෙන උන්නු රහතන්නාන්සේලා එක්කෙනා දෙන්නා අපවත් වෙනවා කියලා.

මේ නිසාම රජතුමාගේ මැදිහත්වීමෙන් ත්‍රිපිටකය ග්‍රන්ඨාරූඩ කෙරුනා. එදා ඒ විදිහට ත්‍රිපිටකය ලියැවුනේ නැත්නම් අද වෙනකොට අපට ත්‍රිපිටකය කියලා දෙයක් සදහටම නැති වෙන්ඩ තිබුණා.

මම කලින් කියපු සාගතය සෑහෙන ලොකු කාළයක් තිබ්බා.

මේ දවස්වල රටෙත් අපෙත් ප්‍රාර්ථනාව ඉක්මනින් වැහි ලැබෙන්ඩ කියලා. සමහර පැති වල වැස්ස ලැබෙන්ඩ කියලා වැහි පිරිතත් කියනවා. 

01 May 2017

බෝවෙල දෙවියෝ

අද ලෝක කම්කරු දිනය සමරන මැයි පළවෙනිදාවක්. ලංකාවේ අත්‍යවශ්‍ය සේවාවන් ඇරෙන්නට අනෙකුත් ආයතන වල නිවාඩු දිනයක් විදිහට අනුමත වෙච්ච දිනයක් අද. අපේ ආයතනයටත් අද නිවාඩු දිනයක් උනත් මම වැඩ කරන සේවාදායකයා අද ලංකාවට එන නිසා මට අද නිවාඩුව ගන්ඩ උනේ නෑ.

ඒ නිසා මම අද වැඩට එන්ඩ උදෙම්ම ගෙදරින් පිටත් වෙලා පොඩි පන්සල ලඟ බස් නැවතුමට ආවා. ඇවිදින් පෑ කාලක් යනකොටත් බස් එක ආවේ නෑ..

"අද මැයි පළවෙනිදා හින්දා බස් අඩු ඇති. අපි ඉස්කෝලේ හන්දියට පයින් ගිහිං එතනින් නිවුඩාව බස් එහෙකවත් යං" අපේ තාත්තා යෝජනා කලා.

වරු ගනං මෙතන බලං ඉන්නෙකේ තේරුමක් නැති හන්දා මං  තාත්තගේ යෝජනාවට කැමැත්ත පළ කරලා ඉස්කෝලේ හන්දියට ආවා.


ඉස්කෝලේ හන්දියට ඇවිල්ලත් ටික වෙලාවක් යනකන්ම බස් එකක් ආවේ නෑ.  ඒ වෙනකොටත් බස් එකක් ආවේ නැති හන්දා බඩට මොනාහරි දාගෙනම එනවයි කියලා හිතලා මම ඒ ලඟ කඩේකට ගොඩ උනා.

ඒ කඩේ තිබ්බේ බනිස් ජාතිම විතරයි. මායි අපේ තාත්තයි මාලු බනිස් දෙකක් ගත්තා. කඩේ මුදලාලි ඒ බනිස් දෙක සිලි සිලි බෑග් එහෙක දාලා දෙන්න හැදුවා.

මම ඔය පොලිතින් වලට අකමැති හන්දා "බෑග් ඕන නෑ... අපට පත්තර කොලේක ඔතලා දෙන්න කියලා" ඉල්ලීමක් කලා.

මුදලාලිත් අතට ගත්තු සිලි සිලි බෑග් එක මේසේ උඩින් තියලා බනිස් දෙකක් ෂෝකේස් එකෙන් අරන් කොලේක ඔතලා දුන්නා. මම බනිස් වල ගාන ගෙවලා බෑග් එකට දාගත්තා.

ඉන් ටික වෙලාවකට පස්සේ නිවුඩාව බස් එකක් ආවා. අපි දෙන්නා ඒ බස් එකට ගොඩවෙලා පානදුරේට එන්ඩ පිටත් උනා. ඒ එන අතරමග බනිස් කෑවා.

ඊට පස්සේ මාලු බනිස් ඔතලා තිබ්බ කෝලේ ඒ පැත්ත මේ පැත්ත පෙරරලා බලනකොට අපූරු ජනප්‍රවාද කතාවක් තිබ්බා. මාත් ඔය ජනප්‍රවාද කතා ජන කතාවලට ආස කෙනෙක් නිසා මට ඒ පත්තර කෑල්ල රන් පතක් වාගේ වටිනවා කියලා ආයේ කියන්ඩ ඕනෑ නෑ නෙහ්.

මේ කතාව ලියලා තියෙන්නේ සඳරුවන් ලොකුහේවා කියලා මහත්තයෙක්.

ඒ කතාව තමා අද ලිපියේ මාතෘකාව. මං මෙච්චර වෙලාවක් පඳුර වටේ තල තලා උන්නෙත් ඔය කතාව කියන්ඩ. එහෙනං කතාව අහගම්මු.

25 September 2016

හිරු බට නිම්නය කොත්මලේ

සෑහෙන කාලයකට පස්සේ හොඳ පොතක් කියවන්න ලැබුණා. මේ පොත ලියලා තියෙන්නේ පේරාදෙණි සරසවියේ මහාචාර්ය වරයෙක්ව කටයුතු කරපු අනුරාධ සෙනෙවිරත්න මහත්මයා.

එතුමා කොත්මලේ ගැන කරපු පර්යේශණ වලින් තමයි මේ පොත ලියලා තියෙන්නේ. කොත්මලේජන ජීවිතය ගැන, කොත්මලේ ආගමික පසුබිම ගැන වගේ විවිධ පැති කිහිපයක් ගැන මේ පොතේ සදහන් වෙනවා.

පොතේ තිබුන ජනප්‍රවාද කතාවක පොඩි කොටසක් පහලින් ලියලා තියෙනවා.

07 November 2014

මොන පොල් බෑය ද

කාලෙකට කලින් ලියලා පල කරන්න බැරි වෙච්ච ලිපියක් ඩ්‍රාෆ්ට් එකේ තියෙනවා දැකලා මට හිතුනා ඒක ටිකක් සුද්ද බුද්ද කරලා පල කලා නං හොඳයි කියලා. මේක මේ මම පත්තරේක දැක්ක පොඩි තීරු ලිපියකින් උපුටා ගත්තු කෑල්ලක්. එහෙනං කියවලා බලමුකෝ.

වෙනදා වගේම අදත් බස් එකේ පෑ තුනක් විතර ගත කරලා ගෙදර ආවා. ඇවිදින් ඇදුම් මාරු කරලා ඇඟපතකාරිය හෝදගෙන උනු උනු ප්ලේන්ටියකුත් හදාගත්තා. ප්ලේන්ටිය බොන ගමන් සාලේ ස්ටූල් එක උඩ තිබ්බ අම්මා බලන සිරිකත පත්තරේ දැකලා තේක පැත්තකින් තියලා පත්තරේ බලන්ඩ ගත්තා.

පත්තරේ මුල ඉදන් අගටම තියෙන්නේ  එක එක කෑම ජාති හදන හැටි මේකප් දාන එවුවා මෙව්වා ඇඳුම් මෝස්තර එහෙම.කියවන්ඩ කියලා එහෙමට දෙයක් ඇත්තෙම නෑ... බවලත් උදවියගෙම පත්තරයක් නෙව.

ඔහොම පත්තරේ පෙරල පෙරල ඉන්නකොට එක ලිපියක් මගේ ඇහැ ගැටුනා.

ඒ ලිපියේ තිබ්බේ මේකයි,


පොල් ගෙඩියක් බිඳපුවහම ඒ පොල් ගෙඩියේ මුලින්ම ගාන්ඩ ඕන පිරිමි බෑය ලූ. ගෑනු පොල් බෑය ඉස්සෙල්ලහම ගාන්ඩ හොඳ නෑලූ.
(ඇහි තුනක් තියෙන පැත්ත ගෑනු බෑය වන අතර අනෙක් බෑය පිරිමි බෑය වේ. )

එහෙම ඉස්සෙල්ලාම ගෑනු පොල් බෑය ගෑවොත් ගෙදර ස්වාමිපුරුෂයාට හොඳ නෑලූ.

ඔන්න ඔය කතාව මං පොඩි කාලේ අපේ ආච්චි අම්මත් කාටදෝ මන්දා කියනවා ඇහිලා තියෙනවා.
මොකද හිතෙන්නේ ඒක ඇත්තක් ද ?

නෑ.. ඒක මිත්‍යාවක් ලූ. !!!

එහෙම දෙයක් නෑලූ.පොල් ගෙඩිය බින්දහම ඉස්සෙල්ලම ගෑනු බෑය ගාන එක හොඳයි කියලා තම පත්තරේ ඒ ලිපියේ තිබ්බේ. ඒකට හේතු විදිහට දීලා තියෙන්නේ ගෑනු බෑයේ ඇහි තුනක් තියෙන නිසා ඉක්මනින්ම නරක් වෙන්ඩ පුලුවන් ලූ. ඒ නිසා ඒක මුලින්ම ගාලා ඉවර කරන එක හොඳයි ලූ.

මට ඒ ලිපිය කියෙව්වහම හිතුනේ අපි අතර මෙන්න මේ වගේ බැහැර කළ යුතු මිත්‍යාවන් කොච්චරක් නම් කියලා තියෙනවද ? 

03 June 2014

ජන කතාවක්

මට අපේ එක්කෙනාගේ ගෙදර පරණ පොත් ගොඩක තිබිලා ජන කතා පොතක් ලැබුනයි කියලා මම කලින් ලිපියක කිව්වා මතක ඇතිනේ. අද මම වැඩ ඇරිලා ඇවිල්ලා ඇඟපත හෝදගෙන ප්ලේන්ටියක් එහෙම හදාගෙන ඇවිදින් පොත කියවන්ඩ ගත්තා..

ශා.... අගේ ඇති පොතක් !

දන්නවානේ මම ජනකතා, ජනප්‍රවාද වලට ගොඩක් මනාපයි කියලා.  මේකත් එහෙම කතාවක්.

ඔන්න එකමත් එක ගමක උන්නා අම්මෙකුයි පුතෙකුයි. මේ අම්මයි පුතයි දෙන්නට දෙන්නා ගොඩක් ආදරෙන් ජීවත් උනා.නමුත් මේ අම්මගේ ලොකු කෑදර කමක් තියෙනවා මී මල් කන්ඩ.. ඔය මී මල් කනවයි කියන්නේ මී පැණිත්තෙක්ක අනාගෙන ලූ.

ලූ කියලා කිව්වේ මම උපන්තේකට මී මල් කාලා නැති හන්දා.

දවසක් මේ අම්මා මිදුලේ මාගලක මී මල් වේලෙන්ඩ ඇරලා කොහෙදෝ මන්දා ගමනක් ගියා ලු. ගිහින් එනකොට වෙලෙන්ඩ දාපු මී මල් වලින් බාගයක්කත් නෑ ලු.මේ අම්මා හිතුවලු තමන්ගේ පුතා මී මල් එකින් එක කන්ඩ ඇති ය කියලා.

අම්මට කේන්ති ගියා ලූ !

අම්මා කෝට්ටක් අරගෙන තමන්ගේ පුතාට හොඳටෝම තලන්ඩ ගත්තලු. මේ පුතාත් ගුටි කන ගමන් කියනවාලු "මම මී මල් කෑවේ නෑ" ය කියලා. අම්මා ඒත් අහන්නේ නෑ ලූ.

මී මල් කෑවා මදිවට බොරුත් කියන්ඩ එනවයි කියලා හිතපු මේ අම්මා, තමන්ගේ පුතාගේ කකුල් දෙකෙන් අල්ලලා පොලොවේ ගැහුවලූ. ඒ ගහපු පාරට කොලුවගේ ඔලු කට්ට පුපුරලා මැරුනලු.

තමන්ගේ දරුවාගේ මරණෙන් දවස් කීපයකට පස්සේ අම්මට හිතුනලු තමන්ගේ ළමයා මී මල් කෑවේ නෑයි කියලා අච්චරටම පරසක්වල ගැහුවා නං ඇත්තටම මී මල් වලට මොකද උනේ කියලා බලන්ඩ. එහෙම හිතපු මේ අම්මා දවසක් මී මල් වෙලෙන්ඩ දාලා එතනින් නැගිටින්නෙත් නැතුව මී මල් දිහා බලාගෙන හිටියලු.

මේ අම්මා දැක්කා ලු මී මල් වේලෙන්ඩ වෙලෙන්ඩ බර අඩුවෙනවා ය කියලා. එදත් මේකම වෙන්ඩ ඇති නේද කියලා අම්මට හිතුනාලු. මී මල් වලට තිබ්බ කෑදර කමටයි හදිසි කේන්තියයි හන්දා තමන්ගේ ආදර පුතාව මරා ගත්තා නේ කියලා හිතුන  අම්මට දුක වාවගන්ඩ බැරුව පපුව පැලිලා මැරුනා ලූ.

මේ අම්මා මලාට පස්සේ කොබෙයියෙක් වෙලා උපන්නාලු. ඒ කොබෙයියා තාමත් දුකෙන් නැති වෙච්ච තමන්ගේ පුතාව හොයනවාලූ.

ඒකලු කොබෙයියන්,

මි පුප් ලදිම්.
දරු නොලදීම්.
රන්කැටි පුතා.
කෝ...කෝ... කියලා අඬලන්නේ.. !

මේ කතාව දිගාමඩුලු ප්‍රදේශයේ අය අතර තියෙන ජනප්‍රවාදයක්.
ඒ වගේම මේ කතාව පොඩි පොඩි වෙනස්කම් එක්ක සංස්කරණ කිහිපයක් තියෙනවා.

මෙන්න උදාහරණ වලින් දෙකක්.

1. සුවඳ කැකුළු අඩවියේ තිබ්බ කතාව.
2.  ජැක්සන් ඇන්තනී කියන කතාව.

16 May 2014

සමන් දෙවි පිළිරුව

මම බ්ලොග් කලාවට ආපුම දවස්වල සමන් දේවාලය ඉදිවීම ගැන ජනප්‍රවාද කතාවක් ලිව්වා. ඒක කියවන්ඩ බැරි උනා නම් මෙතනින් දුවලා ගිහින් කියවන්ඩ.

අද උදේ මම පොත් රාක්කය අස්කරනකොට අපේ මල්ලි ඉස්කෝලෙන් ගියපු සබරගමු චාරිකාවට ඕන කරන විස්තර ලියපු කොළයක් හම්බ උනා. ඒ කොළයේ තිබ්බ විස්තර වලින් තෝරගත්තු ටිකක් පහලින් ලිව්වා.

තව විස්තර තියෙනවා. ඒවා පුලු පුලුවන් වෙලාවල් වලදි ලියන්නම්.පහලින් තියෙන්නේ මලයාගේ ලිපියෙන් උපුටා ගත්තු කොටසක් (මේක පොතකින් ගත්තු කොටසක් වෙන්ඩ ඕන )

දැන් ඇත්තේ බලකොටුව මත අභිනවයෙන් ඉදි කරන ලද සමන් දෙවොලයි. ආර්යකාමගේ සමන් දෙවොල විනාශ කර ඇත.  (පසුකාලීනව පෘතුග්‍රීසින් විනාශ කර ඇත.) ආර්ය කාම එනවිට සමන් වෙහෙරේ පිළිමයක් තිබූ බව සඳහන් ය.

මේ පිළිබඳව අත්භූත ජනකතා පුවතක් ඇත. පසුබිම් වූ වර්ෂය ශක වර්ෂ 1158 හෙවත් ක්‍රි.ව. 1236යි.

සපරගමු විහාරයේ වැඩ සිටි සීලවංශ නැමති හිමියන් වන්දනා කරුවන් පිරිසක් සමග සමනොළ හිර නැග්ගාහ. ඒ පුර පසලොස්වක දිනයකි. සිරිපදලස (ශ්‍රී පාද ලාංඡනය) වැද පුදා ගත් සීලවංශ හිමි හා අනෙකුත් සංඝයා වහන්සේලා සමඟ සැතපුනෝ ය.

පාන්දර හීනයක් දුටුවේය.

දුටුවේ බමුණු වෙසක් මවාගත් සමන් දෙවියන් තමා අමතන බවය. ඒ සිහිනෙන් පෙනී ඔහු හිමියන්ට "සදහටම අපි තෙරිඳුන්ගේ වෙහෙරට වැඩ සිටියම්හ" කීහ.

පසුව සීලවංශ හිමියන් සමනොළ කන්ද වනය සිසාරා සෙනග යවා පරීක්ෂා කර බැලීය. එම වනයේ සරමින් සිටි අයට ගල්ලෙනක තිබු සමන් දෙවියන්ගේ රූපය දුටූහ.

මෙම සමන් දෙව් පිළිරුව යහනාවක තැන්පත් කර සබරගමු වෙහෙරට වැඩම වන ලදී.


-ඉතිරිය පසුවට-

15 January 2014

ඇයි ද කලූ පින් නොකලේ !

අද දවසම වාගේ කලේ අම්මා ගෙදර වැඩ කරනකන් කලිසම් වගයක් මහපු එක.ඊයේ නම් මම දඹාදෙණිය ටවුමේ කරක් ගැහුවා. අද ගෙදර...!

සාක්කු අල්ලලා තිබ්බ හන්දා වැඩේ ලේසියි.කලිසං විසි ගානක් පෑ හතරකින් විතර මහ ගත්තට පස්සේ යන්තං විවේකයක් ලැබුනා. ඒ විවේකයේදි කලේ කලින් ගෙනත් තිබුනු පොතක් කියවපු එක. ඒ පොතේ තිබුනු එක කතාවක් කියෙව්වට පස්සේ අපේ අම්මා අපි පොඩි දවස්වල කියලා දීපු කතාවක අග මුල ගැට ගහ ගන්ඩ පුලුවං උනා.

කතාව කෙටියෙන් කියනවා නං මේකයි !

දඹදෙණි රාජධානි කාළයේදී එක තරුණයෙක් දඹදෙණියයි කුරුණෑගලයි අතර ගමන් කරනවාලූ. ගමන් මහන්සියට මේ තරුණයා අම්බලමක නැවතුනාලූ. අම්බලමේ නැවතුනාට පස්සේ තවත් කට්ටියක් අම්බලමට ආවා ලු මේ ආපු කට්ටිය කතා වෙනවලු විජයබාහු රජතුමා මියෑදුනා ය. ඊට පස්සේ එයාගේ මරක්කල බිසවගේ කුමාරයාට රජකම ලැබුනා ය. නමුත් රජකම හම්බ වෙන්ඩ තිබුනේ අග බිසවගේ පුතාට ය. වත්හිමි කුමාරයා ඇමති මණ්ඩලය රවට්ටලා රජකම ලබා ගත්තා ය කියලා.

මේ කතාව අහපු තරුණයා බය උනාලු.මේ තරුණයා වෙන කවුරුවක්කත් නෙමේ ලූ අගබිසවගේ පුත් කුමාරයාලු. මොකද මේ දෙන්නා කතා වෙච්ච විදිහට තමන්ගේ ජීවිතයටත් තර්ජනයක් එල්ල වේගෙන නේ එන්නේ. !

ඊට පස්සේ කුමාරයා යන ගමන නවත්තලා ඒ පැත්තේ තිබුනු ගෙයකට ගොඩ උනා. ඒ බඩගින්නට මොනවාහරි හොයාගන්ඩ. මේ ගෙදර ගෑල්ලමයි දෙන්නෙක් ඉන්නවාලූ කළු එතනායි සිරිමල් එතනායි කියලා. ලොකු කෙලී කළු එතනාලූ. පොඩ්ඩි සිරිමල් එතනා ලූ. කළු එතනා මේ කොල්ලව දැක්කට පස්සේ හිඟන මල හෝන්තුවක් කියලා ගස්සගෙන යන්ඩ ගියා ලූ.

ඒත් සිරිමල් එතනාට දුක හිතිලා කන්ඩ කෑම ටිකක් ගෙනත් දුන්නා ලූ. මේ ගෙදර ගමරාල මේ තරුණයව දැකලා තමන්ගේ කුඹුරු වැඩවලට  උදව්වට ගෙදර නවත්ත ගත්තාලු. කොල්ලාත් හරි දස්සයා ලූ. කුඹුරු වැඩ හොඳින් කරගෙන උන්නා ලූ. මේ කොල්ලා නිසා ගමරාලගේ අත මිටත් සරු උනාලූ.

අන්තිමේදි ගමරාල තීරණය කලා ලූ මේ තරුණයාව තමන්ගේ දුවෙකුට විවහා කරලා දෙන්ඩ. අක්කා ගෙදර ඉන්නැද්දි නංගිව දෙන සිරිතක් නැති හන්දා කළු එතනාව ගෙන්නලා ඇහුවලූ මේ කොලුවට කැමති ද කියලා. උන්දෑ ගත් කටටම කීවේ මම කොහොමද අපේ ගෙදර හිටපු වැඩකාරයාව කසාද බඳින්නේ කියලා.

සිරිමල් එතනගෙන් මේ ගැන ඇහුවට පස්සේ ඒකි කැමති උනාලූ මේ තරුණයාව කසාද බඳින්ඩ. මේ තරුණයා සිරිමල් එතනව කසාද බැන්දට පස්සේ වී අමුණකුත් හම්බ උනාලු වගා කරගෙන ජීවත් වෙන්ඩ.

දවසක් මේ තරුණයා කුඹුරේ වැඩ කරලා දවල් බත කෑවට පස්සේ සිරිමල් එතනාගේ උකුලෙන් ඔලුව තියාගෙන උන්නාලූ. ඔහොම ඉන්නකොට නින්ද ගියා ලූ. නිදාගෙන ඉන්නකොට හීනයක් දැක්කා ලු.මේ තරුණයාගේ බඩවැල් බොකු කටින් එනවාලු හීනෙට දැක්කේ.

සිරිමල් එතනත් විහිලුවට වාගේ කිව්වා ලූ. එහෙනං ඔයාට රජකම හම්බෙන්ඩයි යන්නේ කියලා.

එතකොටම වාගේ රජතුමාගේ මඟුල් ඇතා පිරිවරත්තෙක්ක පාරේ යනවා දැක්කා ලූ.මේ තරුණයාත් දුවලා ගියාලු ඒ මගට. එතකොට මඟුල් ඇතා අසල තිබ්බ ගලකට හොඬවැලෙන් ඇනලා කුමාරයා ඉදිරියේ දන නැමුවාලු.

අන්තිමේදි රාජ පුරුෂයෝ කුමාරයාව අඳුනගෙන නාවලා පිරිසිඳු කරලා රාජකීය ඇඳුම් අන්දවලා සිරිමල් එතනාවත්  රාජකීය ඇඳුමින් සරසවලා රාජ මාලිගාවට එක්ක යන්න සූදානම් උනාලු. මේ දෙගොල්ලෝ යන්ඩ කලින් සිරිමල් එතනාගේ මහ ගෙදරට ගොඩ උනාලු සිරිමල් එතනාගේ තාත්තව මුන ගැහෙන්ඩ.

එතකොටම වාගේ කළු එතනාව දැක්කා ලූ මේ කුමාරයා. කුමාරයා ගත් කටටම වාගේ,

"ඇයි ද කලූ පින් නොකළේ !!" කියලා කිව්වා ලූ.

කළු එතනාට "පින් නොකලේ" කියලා කියපු ගම පස්සේ කාලේක පින්න පොලේ උනාලු. පස්සේ පින්නපොල උනා කියලා තමා කතාව.

මම ඔය කතාව කියෙව්වට පස්සේ අපේ අම්මගෙන් ඇහුවා අම්මා ඒ දවස්වල මෙහෙම කතාවක් කියලා දුන්නා නේද කියලා. :)

දැන් මේ කතාව කියෙව්වට පස්සේ ඕගොල්ලෝ දැන ගන්ඩ ආස ඇති මම කියෙව්ව පොත මොකද්ද කියලා. මේ පොත තමා ඩී.පී. වික්‍රමසිංහ මහත්තයා ලියපු "මගදිගට ජනකතා" පොතේ දෙවැනි කොටස. පළවෙනි කොටස කියවලා මම කුණ්ඩසාලේ ගැන ලිපියක් ලිව්වා මතකනේ.

මේ පොතේ මේ ජාතියේ කතා 26ක් තියෙනවා. පොතේ තියෙන අනිත් කතා ටික මම ලියන්ඩ යන්නේ නැති හන්දා පුලුවන් කමක් තිබ්බොත් හොයාගෙන කියවන්ඩ.

මේ පොත සූරිය ප්‍රකාශනයක්. මිල රු. 200/= ක් වෙන්නේ.


05 October 2013

කුණ්ඩසාලේ

"ඔන්න මෙහෙමයි පුතේ... ඒ දවස්වල ඉන්දියාවේ බ්‍රාහ්මණයෙක් ජෝතීර්ෂ වැඩක් කර කර ඉන්නකොට ශනී ගුරු කියන ග්‍රහ දෙයියෝ අතර යුද්ධයක් ඇති වෙනවයි කියලා හොයා ගත්තාලූ.ඒ යුද්දෙදි ශනීගේ කුණ්ඩලාභරණයකින් කෑල්ලක් කැඩිලා පොලවට වැටෙන බවත් දැනගත්තලු.

ඉතින් මේ  බමුණා හිතුවලු කොහොමහරි මේ කුණ්ඩලාභරණය හොයා ගන්නවමයි කියලා. එහෙම හිතපු මේ බමුණා නැවු නැගලා ලංකාවට එනවලූ. ඇවිදින් මහනුවර කිට්ටුව ගුරුදෙනිය ගමේ පන්සලේ නවාතැන් ගත්තලු."

"ඉතින් අම්මේ මොකෝ ගුරුදෙනියෙම නැවතුනේ ?"

 "ඔය බමුණා ගණනය කිරීම් කරලා බලපුවාම ඒ කුණ්ඩලාභරණය වැටෙන්නේ ගුරුදෙණිය කිට්ටුව පැත්තකට කියලා හොයාගත්තා ලු. ඒ නිසයි ගුරුදෙනිය කිට්ටුව පන්සලේ නැවතුනේ !

ඉතින් මේ බමුණා රෑ දවල් මහන්සිවෙලා ගණනය කිරීම් කරනවලු හරියටම කොහේටද මේ කුණ්ඩලාභරණය වැටෙන්නේ කියලා හොයන්ඩ. මෙහෙම දවස පුරාම ගණන් හදන බමුණාව දැක්ක පන්සලේ හාමුදුරුවෝ මේ මනුස්සයාගෙන් අහනවලු මොනවද ඔය තරම් ගණන් හදලා හොයන්නේ කියලා.

මේ බමුණත් හාමුදුරුවන්ට සම්පූර්ණ විස්තරේ කිව්වාලු. නමුත් මේ බමුණා දන්නේ නෑලු හාමුදුරුවොත් දක්ශ නක්ෂත්‍රකාරයෙක් කියලා. බමුණා හාමුදුරුවන්ට විස්තරේ කිව්වට පස්සේ හාමුදුරුවොත් බමුණට හොරෙන් හිටු කියලා ගණන් හදනවලු."

"හාමුදුරුවෝ ගනන් හදන්නේ මොහොකටද ?"

"හාමුදුරුවෝ ගනන් හදන්නේ  අර කිව්ව කුණ්ඩලාභරණය වැටිලා එතනම හිටිනවද එහෙම නැත්තං කොහාට්ට හරි විසික්කා වෙනවද කියලා හොයන්ඩ ! හාමුදුරුවෝ ඔහොම ගණන් හදාගෙන යනකොට තේරුනාලු කුණ්ඩලාභරණය ගල් තලාවේ වැදිලා ගඟෙන් එහා පැත්තට විසික්කා වෙනවයි කියලා.

ඔන්න ග්‍රහ යුද්දේ තිබ්බ දවස ආවයි කියමුකෝ. එදා කුණ්ඩලාභරණය වැටෙනකන් බමුණා ගල් තලාවේ කූඩරම් ගහගෙන හිටියලූ. නමුත් බමුණා දන්නේ නෑ ගඟෙන් එහාපැත්තේ හාමුදුරුවෝ කූඩාරම් ගහගෙන ඉන්නවයි කියලා !

දෙන්නගෙම ගණනය කිරීම් වලට අනුව කුණ්ඩලාභරණය ගුරුදෙනිය කන්දට වැටුනලු. ඒ වැටිච්ච හැටියෙම ගලේ හැප්පිලා ගඟෙන් එහා පැත්තට විසික්කා උනාලු. මේ බමුණා කුණ්ඩලාභරණය වැටිලා විසික්කා වෙච්ච තැන හොයාගෙන ගඟෙනුත් එගොඩහට යනකොට දැක්කලු එතනත් කූඩාරමක් ගහගෙන කෙනෙක් ඉදලා තියෙනවයි කියලා.තමන් කුණ්ඩලාභරණය වැටිච්ච තැන හොයාගත්තට වැටිලා විසික්කා වෙන තැන හොයාගන්න බැරි වෙච්ච ලැජ්ජාවටයි තමන්ගේ උත්සහය වතුරේ ගිය දුකටයි මුන්දෑ ගඟට පැනලා දිවි නහ ගත්තලු.

හාමුදුරුවෝ කුණ්ඩලාභරණයත් අරගෙන ගියාලු."

"ඊට පස්සේ ඒ කුණ්ඩලාභරණයට මොකද උනේ අම්මේ ?"

"හාමුදුරුවෝ ඒ කුණ්ඩලාභරණය රජතුමාට භාර දුන්නාලු. රජතුමා ඒ කුණ්ඩලාභරණයේ රත්තරන් ටික උනු කරලා දලදා වහන්සේ තැන්පත් කරන්න නෙළුම් පෙත්තක් හැදුවලු. තාමත් ඒ නෙළුම් පෙත්ත උඩලු දලදා වහන්සේ තැන්පත් කරලා තියෙන්නේ !

එදා ඒ කුණ්ඩලාභරණය වැටිච්ච තැන පස්සේ කාලෙක කුණ්ඩසාලේ උනාලු !"

--------------------------------------------------------------
ප.ලි. - පොඩි කාලේ අම්මා කියා දුන් කතාවක් පොතක තිබිලා ආයෙම කියවන්න ලැබුනා. එදා අම්මා කියපු කතාවේ තිබ්බ අඩුපාඩු ටික පොතෙන් සම්පූර්ණ උනා. අපේ අම්මා කතාව කියලා දීපු ඉට්ටැයිල් එකටම ලියලා දැම්මා. ඒ දවස්වල නං මං අහපු ප්‍රශ්න මීට වඩා වෙනස්. ඒ වගේම සෑහෙන ප්‍රශ්න ගොඩක් ඇහුවා !

 අම්මගේ කතාවේ නම් ඔය බමුණගේ නම බරණ ගණිතයා කියලා තමයි කිව්වේ !!!! නමුත් පොතේ නම් ඒ බමුණගේ නම තිවුන් නෑ !

ප.ප.ලි. -  මම කියවපු පොතේ නම තමා ඩී.පී. වික්‍රමසිංහ මහත්මයා ලියපු මඟ දිගට ජන කතා පොත. මේ පොතේ මේ වගේ එකිනෙකට වෙනස් ජනකතා 50ක් තියෙනවා. පුලුවන් කමක් තිබ්බොත් හොයාගෙන කියවන්න. මොකද මම ඒ පොතේ තියෙන ඔක්කොම කතා පෝස්ට් කරන්න යන්නේ නෑ :)




මේ පොත සූරිය ප්‍රකාශනයක් !  ශා... මරු ! අගේ ඇති පොතක් !

08 September 2012

කබලෑව දෙවියෝ

මාර කම්මැලි හවස්වරුවක් !

අම්මයි මල්ලියි හවස් අතේ ගමනක් ගිහින්. වෙද මහත්තයාගේ වැඩකට ගියපු අප්පච්චිත් දැන්ම එන පාටක් නෑ...  ගෙදර මං විතරක් තනියම.. කරන්ඩ කිසිම දෙයක් නෑ. ටීවි එකක් කියලා තිබ්බට එකේත් හරි හමන් දෙයක් බලන්ඩ නැති හන්දා ටීවි බලන ඒ අතෑරලා දාලා ගොඩක් කල් !

ප්ලේන්ටියක් හදාගෙන පුටුවට වෙලා කල්පනා කර කර ඉන්නකොට අපේ අම්මා යන්ඩ කලින් කලිසම් දහයක සාක්කු මහලා තියන්ඩ කියපු ගිය විත්තිය මතක් උනා. මැසිමත් ඔන් කරගෙන අමාරුවෙන් එක කලිසමක සාක්කු ටික මහගත්තා. ඊට පස්සේ අනිත් එක අතට ගත්තා. කලිසම හරෝ හරෝ සාක්කු මහන එක තරම් එපා කරපු වැඩක් වෙන නෑ...  මොකද අනිත් මැෂින් වගේ නෙමෙයි ජුකි මැෂින් ! ඒවා මාර ස්පීඩ්. කන්ටෝල් කර ගන්ඩ සෑහෙන ගේමක් දෙන්ඩ ඕනා !
ඔන්න අනිත් මැසින් වල නම් අස් දෙක පියාගෙන උනත් මහතෑකි...ජුකිය අළුත් හන්දද මන්ද තාම කන්ටෝල් කරගන්ඩ අමාරුයි.

දෙවෙනි කලිසම මහගෙන යනකොට ඉඳිකට්ටත් ඇඟිල්ලේ ඇනුනා. !

ඕන මඟුලක් වෙච්චදෙන් කියලා මැසිමත් ඕෆ් කරලා ලේ ගලන ඇඟිල්ලත් කටේ තියාගෙන තේ බීපු කෝප්පේ හෝදන්ඩ ගියා. කෝප්පය හෝදනකොට අපේ අම්මා බත් ඔතන්ඩ ගෙනාපු පරණ පත්තර ටික දැක්කා. ඒකෙන් එක පත්තරයක් තෝරගෙන සාලයේ පුටුවක් උඩට පැනලා තව පුටුවක් කකුල් දෙකට තියාගෙන පත්තරේ පෙරලන්න ගත්තා.

මේක ජෝතීර්ෂ‍ය පත්තරයක් ! ඒ පත්තරේ ලස්සන කතාවක් තිබ්බා !

ඒ කතාව තමා, 

අතීතයේ ඉන්දියාවේ එක ප්‍රදේශයක යක්ෂ වසංගත උවදුරක් ඇති වෙනවා. ඒ වසංගතය නවත්වන්ඩ තෙලිඟු රටෙන් කට්ටඩියෙක් ගෙන්වනවා. මේ කට්ටඬියා, වසංගතයට හේතු වෙච්ච යකාව අල්ලලා යන්ත්‍ර මන්ත්‍ර තියෙන පුස්කොළ පොතක හිර කරනවා ! පස්සේ ඒ පුස්කොළ පොත ලංකාවේ මාතර පැත්තට ගේනවා. පස්සේ පස්සේ ඔය කතාව කට්ටියට අමතක වෙලා යනවා.

එක්වා දහසකි සකරජ වරු                   සේ
දෙසීය අසූ හතරකි බක්                    මාසේ
පුර පසලොස්වක ගුරුදින                 දවසේ 
රැගෙන මෙපොත මෙපුරට ගොඩ  බැස්සේ

දවසක් කුරුණෑගල පැත්තේ දීගල්ල ගමේ හිටපු මනුස්සයෙක් පයින්ම මාතර වෙනකන් වන්දනාවේ යන්ඩ පිටත් වෙනවා. මේ මනුස්සයා මාතර පැත්තේ තිබ්බ ගැමි ගේක රෑ නවාතැන් ගන්නවා. නවාතැන් ගත්ත මගියට මේ ගෙදර මිනිස්සු කවදාවත් නොලිහන පොරොන්දුව පිට පුස්කොළ පොතක් තෑගි දෙනවා.

මේ මනුස්සයත් තෑගි ලැබිච්ච පුස්කොළ පොතත් අරගෙන තමන්ගේ ගමරට බලා පිටත් වෙනවා. ඊට පස්සේ ඒ පුස්කොළ පොත සුදු රෙද්දකින් ඔතලා තමන්ගේ පෙට්ටගමේ තැන්පත් කරනවා. ඔන්න ටික දවසකට පස්සේ දෙඩම්පාමුල ගමේ මනුස්සයෙක් මේ පුස්කොල පොත හොරකම් කරලා ඒ පුස්කොළ පොත දිග අරිනවා.

එතකොටම පොතේ හිර වෙලා හිටපු යකා එළියට පනිනවා !!!

එළියට පැනපු මේ යකා  ගමේ මිනිස්සුන්ට කරදර කරන්ඩ ගන්නවා. කොහොමින් කොහොමහරි කබලෑව ගමේ හිටපු කට්ටඬියෙක් නවගුණ මන්ත්‍රය ලක්ෂවාරයක් නූල් හත්පොටකට මතුරලා මේ යකාගේ බෙල්ලේ බඳිනවා. එතකොට මිනිස්සුන්ට කරදර කරපු මේ යකා, මනුස්සයන්ට සේවය කරන්ඩ ගන්නවා !!!

කබලෑව ගමේ කට්ටඬියා විසින් මෙල්ල කරපු මේ යකාව, 'කබලෑව දෙවියන්' කියලා දේවත්වයෙන් අදහන්ඩත් මේ මිනිස්සු පෙලඹෙනවා !!

 වතුපිටි යාන වාහන හරකබාන ආරක්ෂා කරලා දෙන්ඩත් රෝග වසංගත දුරු කරලා දෙන්ඩත් විවහා සාර්ථක කරලා දෙන්ඩත් දරුපල ප්‍රමාදය නැති කරලා දරු සම්පත් ලබා දෙන්ඩත් කායික මානසික පීඩා දුරු කිරීම යන කරුණු කාරණා වලට කබලෑව දෙවියන්ට පුද පූජා පවත්වන්ඩ මේ ගැමියෝ අමතක කරන්නේ නෑ.. !

ඔන්න ඕකයි කතාව !
පෝස්ට් එක දැනටම සෑහෙන්ඩ දිග වෙලා මම් ලියපු ලොකුම පෝස්ට් එක මේකද කොහෙද !

එහෙනම් ගිහින් එන්නම්....
සුබ රාත්‍රියක් වේවා !

17 August 2012

මවුන්ට් ලැවීනියා

අද කතාව මේකයි !

1805 අවුරුද්දේදි තෝමස් මේට්ලන්ඩ් කියන එංගලන්ත හමුදා ජෙනරාල්වරයා ලංකාවට ගොඩ බහිනවා. මේට්ලන්ඩ් ජෙනරාල්වරයා , ලංකාවට එන්නේ ලංකාවේ ආණ්ඩුකාරවරයා බවට පත් වෙන්න.

ඉතින් මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයට නවාතැන් ගන්ඩ ලැබෙන්නේ එච්චර සුවපහසු නවාතැනක නෙමෙයි. මේ නිසා මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයාගේ පුද්ගලික පරිහරණයට සුවපහසු මන්දිරයක් ඉදි කරනවා. 1806 අවුරුද්ද වෙනකොට මේ මන්දිරයේ වැඩ කටයුතු නිමවෙලා ආණ්ඩුකාරවරයා මන්දිරයේ පදිංචියට යනවා.

මන්දිරයේ ජීවත් වෙන මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයා, තමන්ගේ මන්දිරයට mestizo නැටුං කණ්ඩායමක් ගෙන්වනවා. මේ අයගේ නැටුම් බලලා ආණ්ඩුකාරවරයා සතුටු වෙනවා. ඒත් එක්කම නැටුම් කණ්ඩායමේ හිටපු ලැවීනියා අපෝන්සුවා කියන ලස්සන තරුණියකට මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයාගේ ඇහැ ගැටෙනවා.

 mestizo නැට්ටුක්කාරියෝ

ලැවීනියා අපෝන්සුවා කියලා කියන්නේ අර්ධ සිංහල අර්ධ පෘතුගීසි රොඩී කුළයේ තරුණියක්. කුළයෙන් හීන තරුණියක් !

 මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයට මේ තරුණියගේ නැටුම් හිතට අල්ලනවා.කොච්චර හිතට ඇල්ලුවාද කියනවනම් ආණ්ඩුකාරවරයට මේ තරුණිය කෙරෙහි ආලවන්ත හිතක් පහල වෙනවා. මේ වෙනකොටත් අවුරුදු 46ක් වෙච්ච ආණ්ඩුකාරවරයා කසාඳ බැඳලත් හිටියේ නෑ ලූ.

ඉතින් මේ තරුණිය ගැන කරුණු කාරණා හොයලා බලනකොට ඒ කෙනත් පදිංචි වෙලා ඉන්නේ ආණ්ඩුකාරවරයගේ මන්දිරයට ගොඩක් ලඟින්.

නමුත් මේ තරුණිය කුළයෙන් අඩු කෙනෙක් නිසා කෙලින්ම ගෑල්ලමයගේ ගෙදරට ගිහින් හම්බ වෙන්ඩ බෑ. ආණ්ඩුකාරවරයාට මේ ගෑල්ලමයව හම්බ වෙන්න ක්‍රමයක් කල්පනා කරනකොට හොද අදහසක් පහල උනා ලූ.

ඒ තමයි තමන්ගේ මන්දිරයේ බිම් මහලේ ඉදන් ඒ ගෑල්ලමයගේ ගෙදරට උමඟක් හාරන එක !. උමඟේ වැඩ ඉවර උනාට පස්සේ ආණ්ඩුකාරවරයා, තමන්ගේ පෙම්වතියව හම්බ වෙන්ඩ යනවා.

අවුරුදු හයක් තිස්සේ ආණ්ඩුකාරවරයා මේ උමඟ දිගේ ගිහින් ලැවීනියව හම්බ වෙලා එනවා.ලෝකයාට හොරෙන් මේ දෙන්නගේ ආදර කතාව උමඟ දිගේ හොර රහසෙම ගලාගෙන යනවා. ඔහොම කාලය ගත වෙනකොට මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයාගේ ශරීර සෞඛ්‍යය දුර්වල වෙනවා.

මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයට තමන්ගේ මවු රටට යන්ඩ වෙනවා.

තමන්ගේ අදරයයි ඒ ආදරයට උදවු කරපු උමඟයි ඉතුරු කරලා මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයා තමන්ගේ මවු රටට යනවා. ඒ යන්ඩ කලින් පොඩි කඳු මුදුනක් උඩ ඉදිවෙච්ච මේ මන්දිරයට "මවුන්ට් ලැවීනියා" කියලා නම් කරනවා.
 ගල්කිස්ස හෝටලය 

ගල්කිස්ස මුහුදු වෙරළේ ආසන්නයේම දිස් වෙන හෝටලය, මේ දෙන්නගේ ආදර කතාවට අදටත් සාක්ෂි දරනවා !

මේ සති අන්තයේ ගල්කිස්ස මුහුදු වෙරලට යනවා නම් මේ කතාව මතක තියාගෙන යන්ඩ හොදේ.. තමන්ගේ ආදරවන්තියට / ආදරවන්තයාට කියලා දෙන්ඩ බැරි යෑ... :)

හැමෝටම විනෝදයෙන් පිරුණ සති අන්තයක් !!!
-----------------------------------------------------------------

 ප.ලි. - මේ කතාව මතක් කරලා දීපු අමානිට (අමා ට) ස්තුතියි !

ප.ප.ලි - කතාව කලින් අහලා තියෙනවා නම් කොරන්ඩ දෙයක් නෑ.. කම්මැලිකමට ලියන්ඩත් දෙයක් තියෙන්ඩ එපායෑ... :)

15 July 2012

කොළඹ නටපු දහ අට සන්නිය

මීට සති දෙහෙකට විතර උඩදි අපේ ජනියා මලයා එයාලෑ විශ්ව විද්‍යාලයේ පවත්වන්න යන දහ අට සන්නි ශාන්තිකර්මයක් ගැන ලියලා තිබ්බා. ඉතින් මේ ලිපිය කියවපු වෙලේ ඉදන් ඒ ශාන්තිකර්මය බලන්ඩ යන්න මට මාර ආසාවක් තිබ්බේ. ඒ නිසාම ජනියා මලයට බුකියෙන් පණිවිඩේකුත් තිබ්බා අපට එන්න බෑ ද කියලා අහලා.

අවුලක් නෑ එන්ඩ පුලුවන් කියලා ප්‍රතිචාරයක් දාලා තිබ්බ නිසා ගිය සිකුරාදා සන්නි බලන්ඩ යන්න ලක ලෑස්ති වෙලා හිටියා. පොඩිම කාලේ අපේ අප්පච්චිත්තෙක්ක සන්නි බලන්ඩ ගිහින් තිබ්බට කවදාවත් ඉවර වෙනකන්ම බලලා තිබ්බේ නෑ. රෑ මැදක් වෙනකොට "දැන් ඉතින් ඔය මදෑ. යං !" කියලා එක්ක යනවා.

සිකුරාදා හවස වැඩ ඇරිලා එහෙම්ම ගියා නුගේගොඩ යාළුවෙක්ගේ බෝඩිමකට. ගිහින් ඇඟපත හෝදගෙන රෑ කෑමත් කාලා  සන්නි භූමියට ආවා. හොද වෙලාවට මම් එනකොට සන්නි පටන් අරන් නෑ.

 ටික වෙලාවකට පස්සේ මුලාසනයේ හිටපු සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ ආරියරත්න කළුආරච්චි මහත්තයා ආරාධිත කතාවෙන් සන්නි යකුම ශාන්තිකර්මයේ උත්පත්ති කතාව කිව්වා.

කතාව කෙටියෙන්ම මෙහෙමයි,

ලිච්චවි නුවර රජකම් කරපු සංඛපාල රජතුමාගේ බිරින්දෑ වෙච්චි අසූපාල කුමාරියට මී ඇඹ කන්න දොලදුකක් ඇති වෙනවා. සංඛපාල රජතුමා මේ දොළදුක තියා කුමරිය දරුවෙක් පිළිසිඳගෙන ඉන්න වගක්වත් දන්නෑ නෑ. ඔය අල්ල පනල්ලේ රජතුමාටත් යුද්ධයකට යන්ඩ වෙනවා. යුද්ධය ඉවර වෙන්ඩ දින සති ගෙවෙනවා.

කුමරිය දරුවා පිළිසිඳගත්ත කාලයේම කුමරියගේ මෙහෙකාරියත් දරුවෙක් පිළිසිඳගන්නවා.ඉතින් මේ දාසියටත් ඔය කියන දොළදුකම හැදෙනවා ලූ. ඉතින් මේ කුමරියගේ දොළ සංසිදවන්න රාජපුරුෂයෝ යවනවා මි අඹ ගේන්න. වැඩේ කියන්නේ ඒ කාලේ මී අඹ අවාරෙලු. තිබ්බෙත් එකම එක මී අඹයක් ලූ. රාජපුරුෂයෝ මේ මී අඹය කුමරියට ගෙනල්ලා දුන්නලු.කුමරිය මී අඹ කනවා දැකලා දාසියත් කෑල්ලක් ඉල්ලුවා ලු.

නමුත් කුමරිය කමති උනේ නෑ දාසියට අඹ කෑල්ලක් දෙන්න. මේ දාසිය, කුමරිය කෙරෙහි උපන් තරහව ඇති කරගෙන රජතුමාට කේලම් කිව්වා 'කුමරියට ලැබෙන්න ඉන්න දරුවා මහ ඇමතිට දාව උපදින දරුවෙක් !' ය කියලා. මේ කතාව විශ්වාස කරපු රජතුමා, කුමරියව අමු සොහොනක තිබ්බ කැබැල්ල ගහක එල්ලලා දෙකඩ කලා ලු.

කුමරියව දෙකඩ කලාට කුමරියගේ කුසේ හිටපු කුමාරයාට මුකුත් උනේ නෑලූ. දෙකඩ වෙච්ච කුමාරියගේ කුසෙන් කුමාරයෙක් බිහි උනා ලූ. තම මවගේ සිරුරේ ඕජස් බීලා මේ කුමාරයා හැදුනා ලු. පහලොස් වියට පැමිණිච්ච මේ කුමාරයා තම මව් මරපු පලිය ගන්න සියළු වස විස එකතු කරලා ගුලි දහ අටක් ඇඹරුවා ලු. ශක්‍රයා මේ ගුලි 18, යක්කු 18 දෙනෙක් කලා ලු.

පහු කාලිනව අර කුමාරයා මහ කෝල සන්නි යකා උනා ලූ. අර ගුලි දහ අටෙන් ඉපදුන කට්ටිය මහකෝල සන්නි යකාගේ පිරිවර උනා ලූ.ඉතින් මේ යක්ෂ සේනාව විශාලා මහනුවර තුන් බිය ඇති කරන්න සමත් උනාලූ. අප ගෞතම බුදුරජානන් වහන්සේ මේ තුන් බිය දුරු කරන්න රතන සූත්‍රය දේශනා කර වදාල බව කවුරුත් දන්නවා නේ ?

ඔන්න ඕකයි කතාව. නමුත් අපේ කළුආරච්චි මහත්තයා තව මතයක් ඉදිරිපත් කලා. මට මතක විදිහට ඔය සන්නි ටික සේරම ඉපදුනේ මහා කෝල සන්නි යකා 'හඃ' කියලා හෙලපු හුස්මකින් ඇති වෙච්ච දුර්ගන්ධවත් වායුවකින් කියලා.

කොහොමින් කොහොමහරි සන්නි යක්කු එනකොට යක්කු ගස් නගින වෙලාවත් පහු වෙලා. රෑ දොලහා උනා. යකෙක් ආවට පස්සේ උගේ නම ගම අහනවා අහලා ආතුරයාට සෙත් පදලා දොළපිදේනි අරන් යකා යන්ඩ යනවා. යක්කුත් එක්ක කතාව නම් මරු. හිනා වෙලාම පන යනවා.

(කතා බහෙන් නම් මුන් හෙන වලත්ත යක්කු ! දෙපැත්ත කැපෙන කතාමයි කියන්නේ. !)

පාන්දර දෙක විතර වෙනකොට මහාසෝන් සමයමත් පෙන්නුවා. ඒකට නම් පැයක් විතර ගියා.හොරණ ශ්‍රීපාලි මණ්ඩපයේ මලයෙක් තමා නැටුවේ. මුන්දෑ කුකුලා අල්ලපු විදිහට මට හිතුනේ කුකුලෑ කකුල් දෙකෙන් ඉරලා දාවි ය කියලා. උදේ හතරට විතර කෝපි පොල් කට්ටක් එහෙමත් ආවා. ඒ වෙනකොටත් මට එන්ඩ කියපු ජනියා මලයා පැත්ත වැටිලා නිදියෑවා.

සම්පූර්ණ වැඩේ ඉවර වෙනකොට උදේ හය විතර උනා.මුලු රෑක් ඇහැරන් හිටිය නිසා උදේ වෙනකොට මඥ්ඥං වෙලා වගේ. නොසෑහෙන්න වැනෙන්න ගත්තා.
(තාමත් මඥ්ඥංද මන්දා)

ගෙදර ඇවිත් වරු තුනක් නිදියෑවා. මේක ටයිප් කරන වෙලාවෙත් නිදිමතයි.අපේ අම්මා කියන විදිහට මට සිකුරිටි ජොබ් එකක් එහෙම ලැබුනොත් නිදියලා ඉවරයක් නැති වෙයි ලූ.

මොනා උනත් වැඩේ නම් පංකාදුයි !!

----------------------------------------------------------------

ප.ලි. - සන්නි ගැන වැඩිදුර කියවන්න ලංකාදීප පත්තරේ ලිපිය කියවන්න.

26 June 2012

අම්මා කියපු කතාව - අන්තිම කොටස

කතාවේ පළවෙනි කොටස කියෙව්වේ නැත්නම් මෙතන කොටලා කතාව කියවන්න.  

මෙහෙම ගර්භනී කාලය ගත කරන දේවියට දොළදුකක් ඇති වෙනවා. ඒ තමයි රියන් සියයක් දිග මීවදයක් හොයලා ඒ මීවදේ දොලොස් දහසක් භික්ෂුන් වහන්සේලාට දන් දීලා ඉතුරු ටික දේවියට වලඳන්න !

මේ රජතුමාත් දේවියගේ දොළදුක සංසිඳවන්න රියන් සියයක් දිග මීවදයක් ගේනවා. ඒ මීවදය හොයාගන්නේ මීගමුව ප්‍රදේශයෙන් ලූ. (ඒකලූ ඒ ගමට මීගමුව කියලා නම වැටුනේ !)

ඊට පස්සේ දේවිය කැමති විදිහට හාමුදුරුවරු දොලොස් දහසකට දන් දීලා ඉතුරු ටික දේවියත් අනුභව කරලා දේවියගේ දොළ දුක සංසිඳවනවා.

(දොළදුක් කිව්වම මතක් උනේ. ඔය ගෑනු කට්ටියට දොළදුක් ඇති උනාම ඒවා අනිවාර්යෙන්ම සංසිඳවන්න ඕන ලූ. නැත්නම් උපදින ළමයගේ කන් පෙති වණ වෙනවයි කියලා අපේ ගම්වල ගොඩක් කට්ටිය කියනවා මම් අහලා තියෙනවා.)


ඔහොම ටික කාළයක් ගතවෙනකොට විහාරමහා දේවියට තව දොළදුකක් උපන්නාලූ. ඒක කලින් එකට වඩා සංසිඳවන්න ටිකක් අමාරු දොළක් ලූ.  කලින් එකත් ලේසි නෑ තමා. මේක ඊට වඩා අමාරු දොළදුකක් !!

මේකයි දොළදුක !!
ඒ කාලේ ද්‍රවිඩ පාලකයෙක් වෙලා හිටපු එළාර රජතුමාගේ ප්‍රධාන යෝධයා වෙච්ච සාරතීගේ හිස සිඳපු කඩුව උඩ වාඩිවෙලා තිසාවැවෙන් ගෙනාපු නෙළුම් මල් පැළදගෙන තිසා වැවෙන් ස්නානය කරන්ඩ ආසාවක් උපන්නා ලූ.
කොහොමද වැඩේ ??? ලේසි නෑ නේ? රජතුමාත් දහ අතේ කල්පනා කලාලු දේවියගේ මේ දොළ සංසිඳවන්නේ කොහොමෙයි කියලා.
එතකොටම වේළුසුමන යෝධයා මේ වැඩේ බාර ගත්තා ලූ.

බාරගත් විදිහට සාරතීගේ හිස කඩුපාරකින් බිම දාලා ඒ කඩුව ගෙනත් රජතුමාට දුන්නා ලු.ඊට පස්සේ දේවිය කමති වෙච්ච විදිහට දොළදුක සංසිඳෙව්වාලූ. මේ දොළදුක් ගැන නැකැත් කරුවන්ට ආරංචි වෙලා ඒ අය කිව්වාලු මේ දේවියට උපදින්න ඉන්නේ බලසම්පන්න පින්වත් පුත් කුමාරයෙක් ය කියලා.

 එතකොටම විහාරමහාදේවියට මීට කාලෙකට ඉහද අපවත් වෙච්ච සාමණේර නමව සිහිපත් උනා ලූ.ඒත් එක්කම දේවියට හිතුනා ලූ "මේ උපදින්න ඉන්නේ අර සාමණේර නමම තමයි" කියලා.

 දසමාසයකට විතර පස්සේ විහාරමහා දේවිය, පසුකාලීනව සොලීන්ගෙන් රට මුදාගෙන ලංකාව එක්සේසත් කරපු දුටුගැමුණු කියන පුත් කුමාරයාව බිහි කළාලූ !!!

ඔන්න ඕකයි කතාව !!!

-----ඉවරයි-----

ප.ලි. - කතාව දිග වැඩියි කියලා හිතුන නිසා කෑලි කඩලා මම අහගත්ත තරමක් !!! අම්බෝ ආයේ නම් පත හෑල්ලක් හරි ඔහේ ලියලා දානවා.  කෑලි නම් කඩන්නේ නෑ.

25 June 2012

අම්මා කියපු කතාව - පළවෙනි කොටස

අදත් මොනවහරි ලියන්ඩ ඕනේ කියලා හිතුනා. ලියන්නේ මොනවද කියලා කල්පනා කරගෙන යනකොට අපේ අම්මා අපට පොඩි කාලේ කියපු කතාවක් මතක් උනා.

කතාව මේකයි !!

දන්නවනේ විහාරමහා දේවිය. ඔවු ඔවු දුටුගැමුණු රජතුමාගේ අම්මා තමා.මේ කියන්න යන කතාවත් විහාර මහා දේවිය ගැනම තමයි. ඉතින් කාවන්තිස්ස රජතුමා විහාරමහාදේවියව සරණපාවාගෙන ගොඩක් කල් ගත උනත් දේවියට දරුවෝ හිටියේ නෑ ලූ.

ඒ හන්දම මේ දේවිය ගොඩක් දුකෙන්ලු හිටියේ.දවසක් විහාරමහා දේවිය විහාරයට ගියාලු මල් පූජ කරන්ඩ. මල් පූජ කරලා එනකොට මේ දේවියට හාමුදුරු නමක් මුන ගැහුනා ලු. හාමුදුරුවන්ට දන ගහලා වැන්දලු. වැඳලා ඉවර වෙලා මේ හාමුදුරුවොත් එක්ක කතාවට වැටුනාලූ.

"දේවිය ගොඩක් කනගාටුවෙන් වගේ
පේනවා. ඒ මොකද ?" කියලා හාමුදුරුවෝ, දේවියගෙන් අහනවා.

"මට රජ සැප ලැබුනත් වැඩක් නෑ
හාමුදුරුවනේ. මට තාම දරුවෝ නැති එක ගැන කනගාටුවෙන් ජීවත් වෙන්නේ." මේ දේවියත් උත්තර දුන්නා.

ඉතින් මේ හාමුදුරු නම ජෝතිෂ්‍යය ගැන පරතෙරටම ගිය හාමුදුරු නමක් ලූ.  මේ හාමුදුරු නම දේවිය දිහා බලලා කියනවා දේවියට දරු පල තියෙනවැයි සතුටින් ජීවත් වෙන්ඩ කියලා. විහාරමහා දේවියත් මේ කාරණාව අහලා ගොඩක් සතුටු වෙනවා.

 ඊට පස්සේ මේ විහාරමහා දේවිය විහාර ගෙයට ගොඩවෙනකොටම දැක්කාලූ ගොඩාක් අසාධ්‍ය තත්වයේ හිටපු සාමනේර නමක් ! ඉතින් මේ දේවිය සාමනේර නම ලඟට කිට්ටු වෙලා
දන නමලා වැදලා එහෙම,

"ඔබ වහන්සේට ගොඩක් අසාධ්‍ය බව පේනවා !" කියලා කිව්වා.

"මම මගේ සංසාර ගමනේ එක ආත්මයක් අවසාන කරන්ඩ යනවා !" කියලා ඒ සාමනේර නමත් උත්තර දුන්නාලු. මෙන්න මේ වෙලාවේ දේවියට නුවණක් පහල වෙනවා. මේ දේවිය සාමනේර නමගෙන් ඉල්ලීමක් කරනවා තමන්ගේ කුසයේ ඉපදෙන්ඩ කියලා.

දන්නවනේ ජීවයක් හට ගන්ඩ ගන්ධබ්බයෙකුත් ඕනෙයි කියලා.

දේවිය මෙහෙම ඉල්ලුවාට සාමනේර නම එක පාරට කැමති වෙන්නේ නෑ. දේවියත් සෑහෙන වෙලා පෙරැත්ත කරලා අන්තිමේදි සාමනේර නමව කැමති කරව ගන්නවා. ඊට ටික වෙලාවකට පස්සේ මේ සාමනේර නම අපවත් උනා ලූ.

ඊට පස්සේ දේවියත් සතුටින් මාලිගාවට එනවා.කොහොමහරි කාළයක් ගත උනාට පස්සේ දේවිය ගර්භණී වෙනවා. (සතුටුයි නේ )

රජතුමාටත් මේ කාරණාව ඇහුවම ගොඩක් සතුටු හිතෙනවා.

ඊට පස්සේ මොකද උනේ ?? ඒක දැනගන්න නම් ඊලඟ පෝස්ට් එක වෙනකන් ඉන්ඩ වෙනවා.

  ප.ලි. - අදත් කතාව සෑහෙන්ඩ දිග උනා. ඉතුරු ටික ඊලඟ ලිපියෙන් ලියන්නම්. එතකන් රැඳී ඉන්න. කතාව මීට කලින් අහලා තියෙන අය ඉන්නවනම් සද්ද නොකර ඉන්ඩ !!! නැත්නම් ඊළඟ කොටස ලියලත් වැඩක් නැති වෙයි. :)

10 March 2012

එකමත් එක කාලෙක

ඔන්න එකෝමත් එක කාලෙක රජ කෙනෙක් ජීවත් උනා ලූ. මේ රජතුමාට පුත්තු දෙන්නෙක් හිටියාලු. ඉතින් මේ රජතුමා වයසට යනකොට තමන්ගේ රාජ්‍යයේ පාලනය වැඩිමහල් පුත් කුමාරයාට භාර දුන්නලු. මෙන්න මේ අයියා කුමාරයාත් දැහැමින් රට පාලනය කරගෙන ජීවත් උනා ලූ.

ඔහොම කාලයක් ගත වෙනකොට මේ අයිය කුමාරයා, රාජ කුමාරිකාවක් සරණ පාවාගත්තාලු. මේ අයියා කුමාරයයි එයා සරණ පාවාගත්ත රාජකුමාරියයි මල්ලි කුමාරයයි සතුටින් මාලිගාවේ ජීවත් උනාලු.

ඔහොම ජීවත් වෙනකොට අයියා කුමාරයාගේ බිසවට මල්ලි කුමාරයා ගැන ආසාවක් ඇති උනා ලු.ඉතින් මේ බිසව තමන්ගේ හිතේ තියෙන අදහස අර අහිංසක මල්ලි කුමාරයාත් එක්ක කියලා එයත් එක්ක යාළු වෙන්න හදනවලු. මල්ලි කුමාරයා ඕකට කැමති නෑ ලූ.

අර බිසවත් බැරිම අයියා කුමාරයා ගාවට ගිහින් බොරුවක් කිව්වා "මල්ලි කුමාරයා තමන් එක්ක යාළු වෙන්න හදනවා !!" කියලා

ඉතින් මේ අයියා කුමාරයාට කේන්ති ගිය පාර මල්ලි කියලවත් බලන්නේ නැතුව තමන්ගේ මලයගේ අත් දෙක වැලමිට හරියෙනුයි කකුල් දෙක දනහිස් ගාවිනුයි කපා දැම්මලූ.

තව පොඩ්ඩෙන් අමතක වෙනවා.මල්ලි කුමාරයාට ලස්සනට සිංදු කියන්ඩ පුලුවන් ලූ.මල්ලි කුමාරයා සිංදු කියනකොට අහල පහල කඳු පන්තිවලත් ඒ සිංදු ලස්සනට දෝංකාර දෙනවලු. දවසක් මෙහෙම සිංදු කිය කිය ඉන්නකොට දිව්‍යලෝකේ ඉදලා ආපු දිව්‍යංගනාවෝ වගයකට ආස හිතුනලු මෙච්චර ලස්සනට සිංදු කියන කෙනා කවුද කියලා බලන්ඩ.

ඉතින් එයාලා යන්ඩ ගිය ගමන අතරමග නවත්තලා මේ කුමාරයා ඉන්න දිහාවට ආවලු.

"අපි ආවේ මෙච්චර ලස්සනට සිංදු කියන්නේ කවුද කියලා බලන්න !" කියලා එක දිව්‍යංගනාවක් කිව්වා.

"ඔයාලා කවුද ? මට ඔයාලව පේන්නේ නෑනේ !" මල්ලි කුමරයා කිව්වා.

"අපි දිව්‍යලෝකේ ඉදලා ආපු දිව්‍යංගනාවෝ. ඒකයි ඔයාට අපිව පේන්නේ නැත්තේ !" කියලා තවත් දිව්‍යංගනාවක් කිව්වා.

"මට ඔයාලව බලන්ඩ ඕනා !" මල්ලි කුමාරයා පෙරැත්ත කලා.

ඉතින් මේ මල්ලි කුමාරයා පෙරැත්ත කරපු නිසාම අර දිව්‍යංගනාවෝ, තමන් ඇඳන් හිටපු උතුරු සළුව ගලවලා බිමට දැම්මා ලූ. (නෑ නෑ මල්ලි කුමාරයා ඇස් වහ ගත්තේ නෑ. !)

ඉතින් මේ කුමාරයා විජහට අර දිව්‍යංගනාවන්ගේ උතුරු සළු ටික එකතු කරගත්තාලු. එහෙම එකතු කරගත්තට පස්සේ දිව්‍යංගනාවෝ අර මල්ලි කුමාරයා ඉදිරියේ වැඳ වැටෙනවලු තමන්ගේ උතුරු සළුව දෙන්න කියලා. මොකද එයාලට ඒක නැතුව දිව්‍යලෝකයට ආපහු යන්ඩ බෑ ලූ.

ඉතින් මේ මල්ලි කුමාරයා කියනවලු "ඔයගොල්ලෝ යන්නේ කොහාටද කියලා කියනකන් මේ සළු ටීක දෙන්නේ නෑ !" කියලා.

"අපි මේ මල් කඩාගෙන සිරිපාදේ වඳින්න යනවා !" මේ දිව්‍යංගනාවෝ කිව්වා.

මල්ලි කුමාරයාටත් ආසාවක් හිතුනලු සිරිපදේ වඳින්න යන්න.

"අපි මේ මල් එකින් එක සිරිපාදෙට යන පාර දිගේ හලාගෙන යන්නම්. එතකොට ඔයාට ඒ මල් පාර දිගේ සිරිපාදේ වඳින්න එන්න පුලුවන් !" දිව්‍යංගනාවෝ ආයෙමත් කිව්වා.

ඔන්න ඔහොමලු කාලයක් කැලෑවෙන් වැහිලා තිබුන සිරිපාදෙට යන පාර හොයාගත්තේ.
-----------------------------------------------------------------
ප.ලි. - අපේ අම්මා අපට පොඩි කාලේ කියලා දීපු කතාවක්. පත්තරේක සිරිපාදේ ගැන තිබ්බ ලිපියක් දැකලා ආයෙම ඒ කතාව මතක් උනා. මේ කතාව කලින් අහලා තියෙන අය ඉන්නවනම් සමා වෙන සේක්වා !

ප.ලි. - කතාව දිග වැඩි නම් සොරි ඈ. දෙකට කඩලා ලිව්වම කට්ටිය මගේ බෙල්ල මිරිකන්න හදනවනේ කතාව කැඩුවා කියලා !!!

10 January 2012

ඔවුවා අලි ගිලපු දිවුල්

දිවුල් ගස් ගොඩක් වෙලාවට හැදෙන්නේ ශුෂ්ක පරිසරවල. ඒ නිසා දිවුල් කියන පලතුර අපේ පැතිවලට වඩා ඈත පලාත්වල සුලභ පලතුරක් ! මම් පොඩි කාලේ අපේ නෑදෑ ගෙවල්වල ගියහම මලු පිරෙන්න දිවුල් අරගෙන එනවා.

දිවුල් ගස් යට ඉදන් දිවුල් අහුලන එක පොලෙන් දිවුල් ගේනවට වඩා ජොලි වැඩක්. අනිත් එක තමයි පොලේ තියෙන කාබයිට් ගහලා ඉඳවපු දිවුල් වගේ යෑ. ගහේම ඉදිලා වැටෙන දිවුල් මාරම රහයි !

සමහර වෙලාවට මම් අහුලන දිවුල්, පුහු ගෙඩි ! පුහු කිව්වේ ඇතුලේ මුකුත් නෑ ! එවුවා අලි ගිලපු දිවුල් ලු !
'අලියෝ දිවුල් ගිල්ලම බඩේ රස්නෙට දිවුල් ගෙඩිය පුහු වෙනවා' සමහර වැඩිහිටියෝ මට එහෙමත් කියලා දුන්නා.

අලි කියන්නේ මහ පුදුම සතෙක් නෙව.උන්ට දිවුල් ගෙඩියේ කටුව බිඳින්නේ නැතුව දිවුල් කන්නත් පුලුවන් නේ කියලා මට ඒ දවස්වල හිතුනා.

නමුත් අපේ ඉස්කෝලේ පුස්තකාලේ තිබ්බ කතා පොතක් කියවනකොට ඒකේ තිබ්බ කතාවක් නිසා මම් එච්චර කාලයක් හිතන් හිටපු දේ බොරුයි කියලා ඔප්පු උනා.

කතාව මේකයි.

අලි ඇත්තුත් දිවුල් කන්න ආසයි ලූ. නමුත් උන් දිවුල්, ගෙඩිය පිටින්ම ගිලින්නේ නෑ ලූ.උන් දිවුල් වල ඇඹුල් රහත් එක්ක එන කිරි රහට ආසයි ලූ. ඒ නිසා දිවුල් ගෙඩියේ කටුව පොඩි වෙන්නම හපලා ගිලිනවා ලූ. ඔහොම දිවුල් කන්න ආපු වෙලාවට දිවුල් ගහ යටදි අලි බෙටි දැම්මහම ඒ අලි බෙට්ට උඩට වැටෙන දිවුල් ගෙඩියට අලි බෙට්ටෙන්ම හැදෙන කෝදුරුවෝ වගේ පුංචි සත්තු වහනවා.

ඒ පුංචි සත්තු දිවුල් කටුව විදගෙන ගිහින් දිවුල් මද කනවලු. සමහර පුංචි සත්තු දාන බිත්තර වලින් හැදෙන පණුවෝ වගේ සත්තු දිවුල් මද කන නිසා ලූ දිවුල් ගෙඩිය පුස්සක් වෙන්නේ !

ඔන්න ඔහොමයි ඒ පොතේ තිබ්බේ.ඒ කතාවේ පොඩි ඇත්තකුත් ඇති !

ඔය කොයික වෙතත් බත් කාපු වෙලාවක සීනී යහමින් දාපු දිවුල් කිරි වීදුරුවක් තියෙනවනම්......

10 September 2011

අසුබ පෙරනිමිති

අපි ගොඩක් වෙලාවට සුබ කටයුත්තකට ගෙදරින් පිටත් වෙනකොට රාහු කාලය, මරු සිටින දිශාව සුබ වෙලාවල් ඔය එකී මෙකී නොකී දේවල් බලලා එලියට බහින්නේ.එහෙම එලියට බැස්සත් පාරට එනකොට දකින කෙනා අනුව සුබ අසුබ පල තීරණය කරන්න උත්සහ ගන්නවා.

ගෙයින් එලියට බහින කොට හිස් බාල්දියක් අරගෙන වතුර ගන්න එක කෙනෙක් එහෙම දැක්කොත් එදා කරන්න යන වැඩේ අසාර්ථක වෙනවා කියලා හිතනවා. එතකොට ඉතින් කරන්න යන ලේසිම වැඩක් උනත් හරියට කරන්න බෑ. ඇයි කලින්ම හිතලනේ වැඩේ හරි යන්නේ නෑ. ඊට පස්සේ ගෙදර ඇවිත් අර උදෙම්ම දැකපු කෙනාට පලු යන්නම බනිනවා.

ඔය වගේම තමා වඳ ගෑනු කෙනෙක් එහෙමත් නැත්නම් ගමේ ඉන්න අසුබයි කියලා හිතන අස්වහ කටවහ කාරයෝ කියලා ලේබල් ඇලවිච්ච අය දැක්කත් අර කිව්වා වගේම තමයි හිතන්නේ. මට හිතෙන්නේ ඒ අයගෙන් අපට බලපෑමක් නැතුවැති. හැම දේටම වඩා මේ හිත කියලා කියන වස්තුවේ බලපෑම වැඩියි නේ.

අපි සුබයි කියලා හිතුවොත් එදාට දවසම සුබයි අසුබයි කියලා හිතුවොත් එදාට කැඳත් නෑ.

මෙහෙම කිව්වම තමයි මට මතක් උනේ. අපේ ගෙවල් ලඟ අංකල් කෙනෙක් ඉන්නවා. එයා හැමදාම වැඩට යනකොට එකපාරටම එලියට බහින්නේ නෑ. එයාගේ දුවෙක්ව (දූලා දෙන්නෙක් විතරයි ඉන්නේ.) කියනවා පාරට ගිහින් ආයෙමත් ගෙට එන්නෙයි කියලා. දුව ගෙට එන්න හදනකොට තමයි ඒ අංකල් ගෙදරින් එලියට බහින්නේ. මොකද එයාගේ මතේට අනුව තමන්ගේ දුව ගෙයින් එලියට බහිනකොට දකින එක සුබ කාරණාවක් ලූ.

එක අතකට එහෙම හිතන එකත් හරි දෙමවුපියන්ට තමන්ගේ දරුවෝ වාසනාවක් තමයි. ඔය අල්ල පනල්ලේ වෙන කවුරුහරි දක්කොත් (දුව ඇරෙන්න වෙන එකෙක්) ආයෙම ගෙට ගිහින් ටික වෙලාවකින් එනවා.

දවසක් මම් ඉස්කෝලේ යන්න පාරට එනකොට ඒ අංකල් ගෙයින් එලියට බහින්න හදනවා. එකපරම පාරට එනකොට මාව දැකලා අයෙම ගේ ඇතුලට ගියේ නැතෑ. ඒක දැකලා මට මාර අප්සට් !!!! මොකද මම් ඒ තරමටම අසුබ එකෙක් යෑ. ඔහොම සුබ කාරණා අසුබ කාරණා හිතපු ඒ අංකල්ට තමන්ගේ ජීවිතයේ අන්තිම කාලයේ ගොඩක් දුක් විඳින්න සිද්ද උනා. ලෙඩ වෙලා ඇඳේ එකතැන් වෙලා ඉදලා තමයි නැති උනේ.

මට හිතෙන විදිහට මේ ලෝකේ කවුරුත් වාසනාව කියන දේ අතේ ගුලි කරගෙන එන්නේ නෑ. ඒ නිසා වාසනාව අවාසනාව කියන එක සතුටින් විඳ දරා ගන්න ඕනේ.

03 August 2011

කොල්ලන්ට කොස්සෙන් ගහනවා එහෙම නෙමෙයි !!!

වෙනදා වගේ දවල් වෙනකම් ඉන්නේ නැතුව උදෙම්ම ඇහැරුනා.ඇත්තටම ඇහැරුනා නෙමෙයි ඇහැරුවා. එහා ගෙදර පොඩි කෙල්ල මල්ලිට කොස්සෙන් ගහලා. මලයා ලතෝනි තිය තියා අඬනවා. එකම ගාලගෝට්ටියයි. ඒ සද්දෙට කන තියාගෙන නිදියන්නේ කොහොමද. මම් ඇහැරුනා.

ඊට පස්සේ එවුන්ගේ අම්මා ඇවිත් අර පොඩි කෙලීට කෝටුවකින් පාරවල් දෙකක් ගහලා.

"චුටි දූ මොකද මල්ලිට කොස්සෙන් ගැහුවේ !!!! කොල්ලන්ට කොසු වලින් සෙරෙප්පු වලින් ගහන්න හොද නෑ කියලා දන්නැද්ද !!!!" කියලා කියපි. මටත් මේක හරි ප්‍රශ්නේ. ඇයි එහෙම කිව්වේ කියලා.පස්සේ අපේ ආච්චි අම්මගෙන් ඇහුවම තමා හරිම කතාව කිව්වේ.

ආච්චි කියපු දේ සාරංශ කරලා ගත්තම තියෙන්නේ මේම දෙයක්.

ගෑනු කෙනෙක්ට සමාජයේ තනියම ජීවත් වෙන්න බෑ. (පුලුවන් කියලා තමයි හිතාගෙන ඉන්නේ.)පිරිමි කෙනෙක්ගේ සහය අනිවාර්යෙන්ම ඕන කරනවා. ගෑනු කෙනෙක්ගේ ජීවිතයට පිරිමි කෙනෙක් විවිධ අකාර වලින් එනවා. වෙලාවකට පියෙක්, සහෝදරයෙක්, ස්වාමිපුරුෂයෙක්, පුතෙක් විදිහට.කොස්ස කියන්නේ අතුගාන්න ගන්න උපකරණය නේ. අන්න එහෙම කොස්සෙන් ගහනවා කියන්නේ තමන්ගේ ජීවිතයෙන් පිරිමි සංහතිය අතුගාලා දානවා වගේ වැඩක් !!!! කවදාවත් තමන්ගේ ජීවිතයට පිරිමි කෙනෙක් එන්නේ නැති වෙයි ලූ.

ප්‍රශ්නයකදි ගෙදර ඉන්න පිරිමියාට කොස්ස උස්සන් එන ගෑනු උන්දලා මේක කියවලාවත් හැදෙන්න. බඳින්න ඉන්න එහෙමත් නැත්නම් යාලුවෙලා ඉන්න බවලත් උදවිය මේ කාරණා හොදට හිතේ ධාරණය කරගන්න ඕනේ !!!!

---------------------------------------------------------------------

ප.ලි. - මේවා ලියලා මට පාරක බැහැලා යන්න බැරි වේද මන්දා.