27 November 2012

ශ්‍රී රාවණ්ණා පුවත

සුපර්ණිකා නම් වූ රාවණගේ අක්කණ්ඩිය, රාමගේ සහෝදරයෙක් වෙච්ච ලක්ෂ්මණට ආදරය කිරීමට පටන්  ගන්නවා. නමුත් මේ ආදරය තේරුම් නොගත් ලක්ෂ්මණ, සුපර්ණිකාට අඩත්තේට්ටම් කරනවා.කොටින්ම සුපර්ණිකාගේ නහයයි කන් දෙකයි කපා දමනවා.

ඊට පස්සේ සුපර්ණිකා මේ සිද්ධය රාවණට සැල කරනවා.තමන්ගේ අක්කට ලක්ෂ්මණගෙන් වෙච්ච අතවරය දැකලා රාවණ කෝප වෙනවා. ලක්ෂ්මණ ලංකාද්වීපයට ඇවිදින් සුපර්ණිකාගෙන් වැඳලා සමාව ගන්න ඕන. රාවණා එහෙම හිතනවා.

මේ නිසා රාවණ රජතුමා සීතාව දඩුමොනරයෙන් ලක්දිව අශෝක උයනට ගේනවා. ඊට පස්සේ රාවණා, දාසියන්ව යොදවනවා සීතාට සත්කාර කරන්නෙයි කියලා. කොටින්ම සීතාට කිසිම අඩුපාඩුවක් සිද්ධ නොවෙන්න සලකන්න කියලා රාවණ රජතුමා දාසියන්ට අණ කරනවා.

අශෝක උයනේ ජීවත් වෙච්ච කාළයේදි රාවණ රජතුමා සීතාට ගිනි සිසිල කියන මායා ධර්ම උගන්වනවා.

රාමා, තමන්ගේ සේනාවත් එක්ක ඇවිදින්  ලංකාපුරයට සෑහෙන විනාශයක් සිද්ධ කරලා සීතාව ඉන්දු දේශයට අරගෙන යනවා. නමුත් ලංකා රාජ්‍යයේ සෑහෙන කාලයක් ජීවත් වෙච්ච සීතාගේ පතිවෘතාව ගැන රාමට සැකයක් පැන නගිනවා.

මේ සැකය නිසාම සීතා ගිනි මැලයකට පනින්න සූදානම් වෙනවා. "මා පතිවෘතාව රැක්කා නම් මේ ගින්නෙන් නොපිලිස්සේවි" කියලා අධිෂ්ඨානයෙන් යුක්තව ගිනිමැලයට බිලි වෙනවා. නමුත් සීතාව ගින්නෙන් පිලිස්සෙන්නේ නෑ. ඒ වෙනකක් හන්දා නෙමේ. රාවණා උගන්නපු ගිනි සිසිල කියන මායා ධර්ම නිසා. !

 මේ සියළුම කතාව තියෙන්නේ මම ලඟදි කියවපු පොතේ. පොතේ නම තමා මේ ලිපියේ හෙඩිම. පොත ලියලා තියෙන්නේ අපි කවුරුත් හඳුනන භද්‍රජි මහින්ද ජයතිලක මහත්තයා. පහුගිය පොත් ප්‍රදර්ශනයේදි මම ගත්ත පොත් වලින් අන්තිමටම කියවලා ඉවර කලේ මේ පොත. ඒ වගේම ආයේ ආයේ කියවන්න ආස හිතෙන පොතක්.

මේ තියෙන්නේ පොතේ කවරය

සමන්ති පොත් ප්‍රකාශකයයෝ තමයි පොත මුද්‍රණය කරලා තියෙන්නේ. පුලුවන් වෙලාවක පොත හොයාගෙන කියවලා බලන්න.

09 November 2012

ඊයේ අහපු බණ පදයක්

සෑහෙන කාලයකට පස්සේ මොනවාම හරි ලියන්න ඕන කියලා හිතුනා. ඒත් ලියන්න මාතෘකා වල හිඟයක් තිබ්බ නිසා ඔන්නොහේ බ්ලොග් ටික කියෝලා විතරක්  හිටියා. ඔහොම ඉන්නකොට තමා ඊයේ වැඩ ඇරිලා ගෙදර යනකොට රේඩියෝ එක අහන්ඩ හිතුනේ.

මුලින්ම සේරම රේඩියෝ චැනල් ටික සුසර කරගෙන මම හැමදාම අහන්ඩ ආස බෞද්ධයා චැනල් එක දාගත්තේ. හැමදාම වගේ ඒකේ දායකත්ව ධර්ම දේශනාව අහගෙන ආවා. ඊයේ නම් කිව්වේ රූප වේදනා සංඥා සංකාර විඥාන යන උපාධාන ස්කන්ධ ගැන දේවල් ටිකක්.

කොහොමහරි බණ පටන් අරන් අවසාන හරියට එනකොට  උත්පලවණ්නා තෙරණිය ගැන පුංචි බණ කතාවකුත් කිව්වා. නොදන්න අයට දැනගන්ඩත් එක්ක පහලින් ලියන්නම්.

ඔන්න එක්තරා සිටු පවුලකට ලස්සන දූ කුමාරියක් ඉපදුනා. දූ හරියට නිල් මහනෙල් මලක් වගේ ලස්සන නිසා ඒ දූ කුමරියට උත්පලවණ්නා කියලා නම් තිබ්බා. කාලයක් ගතවෙනකොට මේ දූ කුමරිය වැඩිවියට පත් උනා. කුමාරවරු මේ දූ කුමාරියව සරණපාවා ගන්න කැමති උනත් මේ දූ කුමරිය ඒ කිසි කෙනෙකුට කැමැත්තක් දැක්කුවේ නෑ.

දවසක් මේ දූ කුමාරියගේ තාත්තා, මේ කුමාරියව කැදවලා පැවිදි වෙන්න කැමැත්තක් තියෙනවද කියලා ඇහුවා.දූ කුමරියත් තමන් පැවිදි වෙන්න කැමති බව කිව්වා.ඉතින් මේ දූ කුමාරියව මෙහෙනි ආරාමයක මහන කෙරෙව්වා.

පස්සේ කාලෙක මේ දූ කුමාරිය විදර්ශනා වඩලා රහත් භාවයට පත්වෙනවා. 

ඔන්න දවසක් මේ කුමාරියට ගිහි කාලයේදි ආස කරපු එක්තරා කුමාරයෙක් උත්පලවණ්නා තෙරණිය සැවැත් නුවර පිඬු සිගා වඩිනවා දැක්කා.ඒ දැක්ක හැටියෙම මේ කුමාරයාට තෙරණිය ගැන හිතක් පහල වෙනවා. ඊට පස්සේ උත්පලවණ්නා තෙරණිය එන්නත් කලියෙන්ම මේ කුමාරයා තෙරණියගේ කුටියේ ඇඳ යට හැංගෙනවා.

මේ කිසිම දෙයක් නොදන්න තෙරණිය මහන්සියටත් එක්ක ඇඳේ හාන්සි වෙනවා. මේ ක්ෂණයෙම අර කුමාරයා උත්පලවණ්නා තෙරණියට අතවර කරනවා. ඊට පස්සේ මේ කුමාරයා තමන්ගේ සිතැඟි ඉටු කරගත්තා කියන ජයග්‍රාහි හැඟීමෙන් කුටියෙන් එලියට එනවා.

නමුත් රහත් ඵලයට පත් වෙච්ච තෙරණියකට අතවර කරපු වැරැද්දට මේ කුමාරයාව පොලෝ පලාගෙන  අවීචි මහා නරකාදියේ උපදිනවා.

අපි මේ බණ අහන වෙලාවෙත් ඒ කුමාරයා අපායේ දුක් විඳිනවා කියලයි බණ දේශනා කරපු හාමුදුරුවෝ කිව්වේ. මේ බණ කතාව ඇහුවට පස්සේ මට හිතුන දේ තමා සුළු මොහොතක සැනසීමකට මිනිස්සු කොයි තරම් නම් ජරා වැඩ කරනවද කියලා.

එහෙනම් ගිහින් එන්නම්.
ආයෙමත් ලියන්ඩ හිතක් පහල වෙච්ච වෙලාවට මේ පැත්තේ ඇවිදින් යන්ඩ එන්නම්. :)