අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ තුන් බෑ ජටිලයන් දමනය කලායින් පස්සේ බිම්බිසාර මහ රජතුමාට වෙච්ච පොරොන්දුවක් ඉෂ්ඨ කරන්ඩ රජගහනුවර බිම්බිසාර රජමාලිගාවට වඩිනවා.
රජතුමා, බුදු හාමුදුරුවන්ට ඇප උපස්ථාන කලායින් පස්සේ දන් පැන් පූජා කරලා බුදුහාමුදුරුවන්ගේ ඕනෑකරන පහසුකම් හොයා බලන්ඩ කාලය ගත කරනවා. මේ නිසා රජතුමාට කිසිම කෙනෙකුට පින් දෙන්ඩ අමතක වෙනවා.
මේ අමතක වීම හන්දා රජ මාලිගයේ පිටත බිත්තියෙන් (පාලියෙන් තිරෝකුඩ්ඩ කියලා හඳුන්වනවා) එහා පැත්තේ පින් ගන්ඩ බලාපොරොත්තුවෙන් උන්නු ඥාති ප්‍රේතයෝ ටික උරණ වෙනවා.
මේ නිසාම රජතුමා නිදාගෙන ඉන්නැද්දි ඥාති ප්‍රේතයෝ ටික විවිධ අත්භූත සද්ද නිකුත් කරලා රජතුමාගේ නින්දට බාධා කරනවා. මේ ප්‍රේතයන්ගේ කෑ ගැහිලි නිසා රජතුමා බය වෙනවා. පහුවදාම බිම්බිසාර රජතුමා අපේ ගෞතම බුදුහාමුදුරුවෝ බැහැදැකලා මේ ගැන අහනවා.
උන්නාන්සේ මේ ප්‍රේතයන්ගේ කෑ ගැහිල්ලට හේතුවෙන අතීත කතාව බිම්බිසාර මහ රජතුමාට දේශනා කරනවා. ඒක තමා අද මම පෝය දවසේ බණ කතාවට මාතෘකා කරගත්තේ...
එහෙනම් නිස්සද්දව අහගෙන ඉම්මු.... !
මීට කල්ප අනූ දෙකකට මත්තෙන් කාසිපුර කියලා හදුන්වන නුවරක ජයසේන කියලා රජ කෙනෙක් රාජ්‍ය කරගෙන උන්නා. මේ රජතුමාට සිරිමා කියලා දේවියක් උන්නා. මේ දෙන්නට දාව ඵුස්ස කියලා දරුවෙක් උපන්නා.
මේ දරුවට පස්සේ සිරිමා දේවිය තවත් පිරිමි දරුවන් තුන් දෙනෙකුට මවක් උනා. මම කලින් කියපු ඵුස්ස කියන දරුවා තරුණ කාළයේදිම බුද්ධත්වය අත්පත් කරගත්තා. එදායින් පටන් උන්නාන්සේ ඵුස්ස බුදුන් කියලයි හැදින්නුවේ.
ඵුස්ස බුදුහාමුදුරුවෝ කියන්නේ අපේ ගෞතම බුදුහාමුදුරුවන් නියත විවරණ ලබපු බුදුවරුන්ගෙන් කෙනෙක් ! නියත විවරණ කියන්නේ මතු කාලයකදි නියත වශයෙන්ම බුදුබවට පත්වෙනවා කියලා දැන ගැනීමයි.
තමන්ගේම පුත්‍රයා බුදුබව ලබා ගත්තු නිසා තමන් විසින්ම උන්නාන්සේට සලකන්න ඕන කියලා ජයසේන මහ රජතුමා හිතපු නිසා වෙන කිසිම කෙනෙක්ට උන්නාන්සේට සලකන්න ඉඩ දුන්නේ නෑ..
මේ නිසා උන්නාන්සේගේ සහෝදරු තුන්දෙනා පිය රජතුමා කෙරෙහි උරණ වෙලයි උන්නේ. කොහොමහරි බුදුහාමුදුරුවන්ට සලකන්න අවස්ථාවක් ලබා ගන්නවාමයි කියලා හිතපු සහෝදරු තුන් දෙනා මේ රටේ එක ප්‍රදේශයක කැරැල්ලක් ඇති කරනවා.
රජතුමා, බුදුහාමුදුරුවන්ට සලකාගෙන ඉන්න නිසා කැරැල්ල මර්ධනයකරන්ඩ පුත් කුමාරවරු තුන් දෙනාට බාර දෙනවා. ඒ තුන් දෙනා කැරැල්ල මර්ධනය කරලා පිය රජතුමාට ඒ බව දන්වනවා.
කැරැල්ල මර්ධනය කරපු නිසා පිය රජතුමා කුමාරවරුන්ගෙන් අහනවා,
"කුමාරවරුනි කැමති වරයක් ඉල්ලන්න.." කියලා.
මේක අවස්ථාවක් කරගත්තු කුමාරවරු තුන්දෙනා ඵුස්ස බුදුන්ට පුද සත්කාර කරන්ඩ අවුරුදු හතක් ඉඩ ලබාදෙන්ඩ කියලා ඉල්ලනවා. නමුත් රජතුමා මේ ඉල්ලීමට කැමති වෙන්නේ නෑ. ඊට පස්සේ ඉල්ලනවා අවුරුදු තුනක කාලයක්.. !
ඒත් රජතුමා කැමති වෙන්නේ නෑ..
ඔහොම ගිහින් ගිහින් අන්තිමේදි තුන් මාසයක් උන්නාන්සේට සේවය කරන්ඩ ඉඩ ලබා දෙන්ඩ රජතුමා කැමති වෙනවා. මේ තුන්දෙනා තමන්ගේ ජනපද වාසීන් එක්ක එකතු වෙලා වෙහෙර විහාර කරවලා බුදුහාමුදුරුවන්ට උපස්ථාන කරගෙන ජනපද වාසීන්වත් බුදු දහම කෙරෙහි සිත් පහදවගෙන ජීවත් උනා.
බුදුන්ගේ කාලයේදි උනත් දහම කෙරෙහි යොමු වෙන්ඩ පින් නැති අයත් හිටියා. මේ අය බුදුහාමුදුරුවන්ට වෙන් කරලා තිබ්බ දන්වැට හොරෙන් කෑවා. දාන භාජන දන් සාලාව පුරාම පෙරලලා දැම්මා. ඒ වගේම දාන ශාලාත් ගිනි තියලා දැම්මා..
ඔහොම කාලයක් ගතවෙන කොට ඵුස්ස බුදුහාමුදුරුවෝ පිරිනිවන් වැඩියා. ඒ වගේම ජනපදවාසිනුත් මියෑදුනා. බුදු කෙනෙකුට ඇප උපස්ථාන කරපු පිනෙන් ඒ අය දිව්‍යලෝක වල සියළු සැප සම්පත් ඇතුව ඉපදුනා.
බුදු හාමුදුරුවන්ට වෙන් වෙලා තිබ්බ දන් හොරෙන් කාලා දාන ශාලා ගිනිබත් කරපු අය නිරයේ ඉපදුනා.
මේ අය දෙව්ලොවින් දෙව්ලොවටත්.. අනිත් අය එක් නිරයකින් තවත් නිරයකත් උත්පත්තිය ලැබුවා... ඔන්න ඔහොම කල්ප අනු දෙකක්ම ගතවෙලා මහා භද්‍ර කල්පය උදා උනා.
ඒ කාලේ වෙනකොට ඵුස්ස බුදුන්ට වෙන් කරලා තිබුනු දන්වැට හොරෙන් කාලා නිරයේ උන්නු අය ප්‍රේත ආත්ම වල ඉපදිලයි උන්නේ. මේ ප්‍රේතයෝ දැක්කා අපි වාගේම තවත් ප්‍රේත කොට්ඨාශයකට ආහාර පාන හිමිවෙලා තියෙනවා. තවත් කට්ටියකට ලස්සන ඇදුම් පැලදුම් ලැබිලා තියෙනවා.
තමන්ට විතරක් ආහාරපාන නැතුව නිරාහාරවත් ඇදුමක් පැලදුමක් නැතුව නිරුවස්ත්‍රවත් ජීවත් වෙලා ඉන්ඩ වෙලා තියෙන්නේ ඇයි කියලා මේ ප්‍රේතයෝ කල්පනා කරනවා.
තමන්ට ඇති වෙච්ච මේ ප්‍රශ්නය ඒ කාලයේ බුදුබව ලබාගෙන උන්නු කාෂ්‍යප බුදු හාමුදුරුවන්ගෙන් විමසනවා...
උන්නාන්සේ මේ ප්‍රේතයන්ට වදාළනවා මතු කාලයේදි ගෞතම නමින් බුදු කෙනෙක් පහල වෙනවා ය ඒ කාලෙදි රජකම් කරන්නේ බිම්බිසාර කියලා මහ රජතුමෙක් ය ඒ කාළයේදි බිම්බිසාර මහරතුමාගෙන් පින් ලැබිලා ආහාර පාන වස්ත්‍ර ලැබෙවි ය කියලා.
බුදු හාමුදුරුවන්ගේ මේ වදන් ඇහුන ප්‍රේතයන්ගේ සතුට ඉහවහා යනවා. ගෞතම බුදු සමයෙදි සැප සම්පත් ලබන බලාපොරොත්තුව පිට සියළුම දුක්ඛ දෝමනස්සයන් ඉවසාගෙන දුකින් ජීවත් වෙනවා.
බුද්ධාන්තර ගෙවිලා ගෞතම බුද්ධ රාජ්‍යය උදා උනා.
මේ බුදු සමයෙදි එදා ඵුස්ස බුදුහාමුදුරුවන්ට උපස්ථාන කල සහෝදරවරු තුන් දෙනා ගයා කාෂ්‍යප, නදී කාෂ්‍යප, උරුවෙල කාෂ්‍යප කියන තුන් බෑ ජටිලයෝ වෙලා උපදිනවා.එදා උන්නු ජයසේන මහ රජතුමා ගෞතම බුදු සමයෙදි බිම්බිසාර රජතුමා වෙලා උපදිනවා.
ගෞතම බුදු සමය එලබුනායින් පස්සේ එදා ඥාති ප්‍රේතයෝ බිම්බිසාර මහ රජතුමාගේ මාලිගාවේ බිත්තියෙන් පිටතට වෙලා බලාගෙන ඉන්නවා පින් ලැබෙනකන්. එදා ඒ අරමුණ ඉටු උනේ නැති නිසයි බිම්බිසාර රජතුමාව ඥාති ප්‍රේතයෝ විවිධ ශබ්ද නගලා බය කලේ.
ඥාති ප්‍රේතයන්ගේ බය කිරීම් ගැන බිම්බිසාර රජතුමා ගෞතම බුදු හාමුදුරුවන්ගෙන් අහපු නිසයි උන්නාන්සේ මේ අතීත කතාව දේශනා කළේ.
ඊට පස්සේ බිම්බිසාර මහ රජතුමා බුදු හාමුදුරුවන්ට පැන් පූජා කරලා ඒ පින ඥාති ප්‍රේතයන්ට අනුමෝදන් කරනවා. පින් ලැබුනායින් පස්සේ ඥාති ප්‍රේතයන්ට පැන් පොකුණු පහල වෙනවා. බුදු හාමුදුරුවන්ට ආහාරපාන, වස්ත්‍ර පූජා කරලා ඒ පිනත් ඥාති ප්‍රේතයන්ට අනුමෝදන් කරනවා. ඒ පිනෙන් ඥාති ප්‍රේතයන්ට ආහාර, වස්ත්‍ර පහල වෙනවා.
ඊට පස්සේ බිම්බිසාර මහ රජතුමාගේ ඥති ප්‍රේතයන් සුවපත් කිරීම පිණිස තිරෝකුඩ්ඩ සූත්‍රය දෙශනා කර වදාළ බවයි ඛුද්දක නිකායේ ප්‍රේත වත්ථු පාලියේ සදහන් වෙන්නේ.
ඕකයි තිරෝකුඩ්ඩ සූත්‍ර දේශනාවේ අතීත කතාව සරලව...
සාදු !!! සාදු !!! සාදු !!!