29 December 2012

උගුරැස්ස සාස්තරේ

මේ දවස්වල අපේ ගේ ඉස්සරහා උගුරැස්ස ගහේ ගෙඩි පිරිලා තියෙනවා. නත්තල් නිවාඩුව නිසා මගෙයි මලයගෙයි වැඩේම දවස් දෙකෙන් දෙකට උගුරැස්ස කඩන එක. ගොඩක් අය මේවට උගුරැස්ස කිව්වට අපි නම් කියන්නේ කටු ලොවි කියලා.සමහරු නම් කටු කුරුඳු කියලාත් කියනවා.

 පින්තූරය ගූගල්ගෙනි.

ඒ කොයි හැටි වෙතත් නියම පලතුරක් තමා මේක. ගෙඩිය තලලා කන තරමට රසය වැඩියි. අපේ උගුරැස්ස ගහ ගෙයි ඉස්සරහා පැලවෙලා අවුරුදූ 10ක් විතර උනත් ගෙඩි එන්ඩ පටන් අරන් තිබ්බේ මීට අවුරුදු දෙහෙකට විතර උඩදි. ඒ අපේ මල්ලි කරපු කෙමක් හන්දා. ඒ කෙම මොකද්ද කියලා මලයගෙන්ම අහලා බලමු.

"මලයෝ උබ මොකද්ද බං කටු ලොවි ගහට කරපු කෙම ?" මම් ඇහැව්වා.

"මේකයි කෙම ! උදේ පාන්දරම කතා නොකර කටු ලොවි ගහේ කඳේ  කටු ටික ඉහල ඉදලා පහලට රහින්න (කපන්න) ඕන. "

"ඊට පස්සේ " මම ඇහැව්වා.

"ඊට පස්සේ ඒ කටු ටික පාරකට හරි මිනිස්සුන්ට පෑගෙන හරියකට ගිහින් දාන්න ඕනා."

"යකෝ උබ කියන්නේ යකාගේ කතා නේ. එතකොට මිනිස්සුන්ගෙන් බැනුං අහන්ඩ එපැයි !" මම කිව්වා.

"අන්න හරි. අයියට තේරුනා. ඒ කටු පෑගිච්ච එකා අම්මා මෝ කියලා බැන්නහම තමා ගහේ ගෙඩි හැදෙන්නේ. කොටින්ම කටු ලොවි ගහේ පලවෙනි මුරේ ගෙඩි හැදුනේ එහෙමයි."

"ඉතින් උබ කොහාට්ටද ඔය කටු ගෙනිහින් දැම්මේ ?" මම ආයෙම ඇහැව්වා.

"කටු ටික පාරට දාන්න බැරි නිසා මම වත්ත පල්ලෙහාට දැම්මා

"ඉතින් කාටද ඒ කටු පෑගිලා තියෙන්නේ ?" මම ආයෙම ප්‍රශ්නයක් නැගුවා.

"අපේ තාත්තා උදේ දත් මැද මැද වත්ත පල්ලෙහාට්ට යනකොට ඒ කටු පෑගිලා නොසෑහෙන්න බැන්නා. ඒ නිසයි ගෙඩි ආවේ"

ඔන්න ඕක තමා අපේ මලයා කටු ලොවි ගහට (උගුරැස්ස) කරපු කෙම.කිව්වත් වගේ දැන් නම් ගහේ නොසෑහෙන්න ගෙඩි හැදෙනවා. :)
මේ කතාව ලියාගෙන යනකොට මට මතක් උනේ අපේ මලයා වත්තේ තිබ්බ ගෙඩි හැදිච්ච නැති අඹ ගහකට කරපු කෙමක්.

ඒකත් මේ පහලින්ම ලියන්නම්. ඒ කෙම තමා,

උදේට උදේට ලොකු පොල් පිත්තක් අරගෙන  , ඒ පොල් පිත්තෙන් අඹ ගහේ කඳට හත් වතාවක් ගහන්න ඕනා. එහෙම සතියක් දෙකක් කරන කොට ගහේ ගෙඩි හැදෙනවා.

ඔය කෙම කලා විතරක් නෙමේ ඌ ඒක විද්‍යාත්මකව පැහැදිලිත් කලා.

"මෙහෙමයි අයියේ, දවසගානේ ගහට පොල් පිත්තෙන් තඩිබානකොට ගහ හිතනවා තමන්ගේ පැවැත්මට තර්ජනයක් ඇවිල්ලා කියලා. ඒ නිසා ඉක්මනින්ම වර්ගයා බෝ කරන්න උත්සහ කරනවා.ඒ නිසයි ඉක්මනින්ම ගෙඩි හට ගන්නේ."

ඔන්න ඕන තමා උගේ පැහැදිලි කිරිම.

24 December 2012

සුබ නත්තලක් වේවා !

පහුගිය දවස් ටිකේම සෑහෙන්න කොම්පීතරෙන් ඈත් වෙලා ජීවත් උනේ. ඒ නිසා බ්ලොග් එකේ කිසිම ලිපියක් ලියන්න උනේ නෑ. නොලිව්වට මොකෝ මම බ්ලොග් කියවන එක නම් අතෑරලා නෑ. පුලු පුලුවන් වෙලාවට කට්ටියගේ බ්ලොග් වලට ගොඩ වැදිලා පෝස්ට් ටික කියෝලා කමෙන්ට් එහෙමත් දැම්මා.

ඔන්න අද නම් මුකුත් ලියන්න කියලා අදහසක් නෑ. 

අද මම මගේ බ්ලොග් අඩවියට ගොඩ උනේ සුබ පතන්ඩ. ඔන්න එහෙනම් මගේ සුබ පැතුම් පණිවිඩය !

ලෝ වැසි සියල්ලන්ට සාමය සතුට සපිරුන සුබම සුබ නත්තලක් වේවා !

ප.ලි. - ආයේ පුලුවන් වෙච්ච වෙලාවකට බ්ලොග් අඩවියේ මොනවහරි ලියන්න එන්නම්.

05 December 2012

පොතක් අහමු.

ඉස්සරම පොත් ආවේ කොළ වල මුද්‍රණය කරලා. ඊට ටික කාලෙකට පස්සේ කොළ වල මුද්‍රණය කරන පොත් වලට අමතරව pdf විදිහට පොත් ප්‍රකාශනයට පත් උනා. කොළ වල මුද්‍රණය කරපු පොත් වගේ නෙමෙයි. මේ පොත් අඩුක් කරලා තියන්න ලොකු රාක්ක ඕනැන්නේ නෑ. ඒ වගේම තමා මුද්‍රණ වියදමකුත් නෑ. වැඩි බරකුත් නැතුව යන යන තැන අරගෙනත් ගියෑකි.

ඒ උනාට මෘදු පිටපත් විදිහට තියෙන පොත් වල ඇති එකම අවාසිය තමයි ඇස් රිදෙනකන් කොම්පීතරයක් ඉස්සරහට වෙලා කියවන්න සිද්ධ වෙන එක.ඊට අමතරව ඕන ඕන වෙලාවට කියවන්නත් බෑ. මොකද ඒ හැම වෙලාවකම කොම්පීතරේ ඔන් කරන්න එපැයි.

දැන් නම් මෘදු පිටපත් විදිහට ප්‍රකාශනයට පත් වෙච්ච පොත් වලට අමතරව ඕඩියෝ පොතුත් තියෙනවා. ගුවන් විදුලි නාට්ටියක් අහන විදිහට පැත්තකට වෙලා ඔහේ පාඩුවේ පොත අහන්න පුලුවන්. තාක්ෂණයත් එක්කම පොත් කියවිල්ලත් කොච්චර සරල වෙලාද ?

මේ ටිකේ වැඩපොලේදි කරන්න තියෙන වැඩ අඩු නිසා මම අන්තර්ජාලේ පීරලා හෙවුවා ෂර්ලොක් හෝම්ස් ඕඩියෝ පොත් ටිකක්. එහෙම හොයාගෙන හොයාගෙන යනකොට ෂර්ලොක් හෝම්ස් සිංහල නාට්ටි කොටස් කිහිපයක් හම්බ උනා.

ටික කාලයකට ඉහතදී සිරස ගුවන් විදුලියේ ඉරිදා 9.30ට සිරස රඟ මඩලෙන් විකාශනය වෙච්ච කොටස් කිහිපයක්. සිරස රඟ මඩල වැඩසටහන තාම විකාශනය වෙනවද කියලා නම් දන්නේ නෑ.

පහතින් තියෙන්නේ ඩවුන්ලෝඩ් ලින්ක් ටික. කැමති අය ඉන්නවා නම් බාගෙන අහලා බලන්න. :)

සබ්මැරීනයේ සැනසුම

අවසන් ගැටළුව

 අතුරුදහන් වූ ක්‍රීඩකයා

 ලිපිකරුගේ අභිරහස

රහස් ගිවිසුම 

අතීත අභිරහස

සම්භාවනීය ප්‍රේමවන්තයා 

ඔන්න ඔය ටික තමා හම්බ උනේ. මීට අමතරව පහතින් තියෙන ෂර්ලොක් හෝම්ස් නාට්ටි වල කොටසුත් හම්බ උනා. නමුත් ඒවෑ ඉතුරු කොටස් ටික නෑ.

The Cardboard Box දෙවෙනි කොටස නෑ..


04 December 2012

මේ ලෝක විනාසය සිදුවන මාසයයි

මේ ගෙවෙන්නේ දෙසැම්බර් මාසයයි. එසේත් නැත්නම් සුවහසක් ජනී ජනයා ලෝක විනාශය සියැසින් දැකීමට පුල පුලා බලා සිටින මාසයයි. බලන බලන හැම අතම සියල්ලන්ගේම කතා බහට ලක් වන්නේ දෙසැම්බර් 21වනදා සිදුවන්නට නියමිත ලෝක විනාශය වේ.

 දිනක් මා වැඩ ඇරි ගෙට ගොඩ වන විටම "ඕං අයියේ දෙසැම්බර් 21 වෙනිදා ඉදලා දවස් තුනක් ඉර පායන් නෑ." යැයි අපේ මලයා කෑ ගසා කීය.

"උබ කොහොමද එහෙම කියන්නේ ? උබට කවුරුහරි එහෙම කිව්වද ?" යැයි මා ඇසීමි.

"නෑ යකෝ මම වෙබ් සයිට් එහෙක දැක්කා. !!" අපේ මලයා නැවතත් කීවේය.

ගෙට ගොඩවී කරේ තිබු මල්ල ද ඇඳ උඩට විසි කර ක්‍රියාවිරහිතව තිබූ කොම්පීතරය පණ ගැන්වුවෙමි. ඉන් පසු අපේ මලය දුන් සබැඳිය ඔස්සේ ගොස් බලන විට කතාව ඇත්ත ය. වෙබ් අඩවියක එහෙම පල වී තිබේ.

අපේ මලයාගේ කතාව අමතක කර දමා පසුවදා මා වැඩට ගියෙමි.

 "ඕං මහත්තයෝ අපේ ගේ හදන්න ආපු බාසුන්නැහේ කෙනෙක් ලෝක විනාශය වෙන විදිහ ඇස් දෙකෙන්ම දැකලා !"

දවල් කෑම පැයේදි අපේ වැඩපොලේ කෙනෙකු ලෝක විනාශය ගැන කතාවක් පටන් ගත්තේය.

"නෑඃ" තවෙකෙක් හූ මිටි තිවුවේය.

" ඒ බාසුන්නැහේ එහෙම කියන්නේ කොහොමද? " මේ කතාවට එකතු වූ මගේ මිතුරා ඇසීය.

"මෙහෙමනේ මහත්තයෝ. ඒ බාසුන්නැහේ දවසක් පාන්දර හතරට විතර කළු කන්නාඩියකින් ඉර දිහෑ බලලා. එතකොටම ඉර කෙලින්ම ලොකු ගල් කෑල්ලක් තියෙනවා දැක්කා ලූ. බාසුන්නැහේ කියපු විදිහට ඒ ගල් කෑල්ල ඉර පත්තට වැටුනොත් ඉර ඉවරයි ! පොලොව පැත්තට වැටුනොත් පොලව ඉවරයි ! ඒ ගල හරියටම දෙසැම්බර් 21 වෙනිදට පොලවට වැටෙන්න එනවාලූ."

"අනේ නිකා ඉදින් මාමේ. පාන්දර හතරට කොයින්ද ඉර පායන්නේ !"

"ඒක නං මන් දන් නෑ මහත්තයෝ. මම කිව්වේ උන්දෑ කියපු දේ !"

මා මුවඟට නැගුනු හිනහව නවතා ගත්තේ ඉතාමත් අසීරුවෙනි.

ඔය කෙහෙල්මක් ලෝක විනාශේ වෙනවනම් ඒකත් එකක් !!