27 May 2012

කන්ද පිරිමැද පිරිමැද

පාසල් යන වයසේ ආදර සම්බන්ධතා ඇතිවීම ගොඩක් සුලභ සිදුවීමක්. ඔන්න පාසල් යන වයසේ ගෑනු ළමයෙක් තමන් නිතර දෙවේලේ දකින පිරිමි ළමයෙක් එක්ක ආදර සම්බන්ධයක් පටන් ගත්තා.කාලයත් එක්කම මේ ආදර සම්බන්ධය දළු ලා වැඩෙන්න ගත්තා.

ඉතින් මේ ගෑල්ලමයට ආස හිතුනා තමන් ආදරේ කරන කෙනා ලඟටම වෙලා ඉන්න. ඒ කියන්නේ එයාව කසාද බඳින්න. කොයි ගෑල්ලමයද අකමැති තමන් ආදරේ කරන කෙනාගේ ලඟටම වෙලා ඉන්ඩ. ඉතින් මේ ගෑල්ලමයා තමන්ගේ හිතේ තිබ්බ අදහස තමන්ගේ ආදරවන්තයාට ඉදිරිපත් කලා.

ඉතින් මේ ආදරවන්තයා ගෑල්ලමයා වගේ නෙමෙයි ටිකක් දැනුම් තේරුම් ඇති කෙනෙක්.ඒ පිරිමි ළමයා, තමන්ගේ ආදරවන්තියට මෙහෙම කිව්වා.


කන්ද පිරිමැද පිරිමැද පිරිමැද
ලන්ද මුදුනට මුදුනට මුදුනට
ඒවි හද පායලා
වන්දනාවක යන්නෙ කොහොමද
නංගියේ අපි දැන්ම මග බැහැලා

හිමින් හිමින් කඳ මුදුනට හඳ පායගෙන එනවා වගේ ටික ටික කල් ගත වෙලා ඔයාගේ කල වයස එලබේවි. ඒත් ඔයා තාම කල වයසට එළබිලා නැති නිසා අපි කසාදයක් ගැන හිතන්නේ කොහොමද කියලා මේ පිරිමි ළමයා තමන්ගේ ආදර වන්තියගෙන් අහනවා.

තවදුරටත් මේ පිරිමි ළමයා තමන්ගේ ආදරවන්තියට මෙන්න මේ විදිහට කරුණු පැහැදිලි කරනවා.

අරලියා මල් ඔහේ පිපුනට
පෝය නෑ ඇවිදින්...//
ගෙවා අටවක වැඩෙයි පුරසඳ
නොවී ඉමු ඉක්මන්...

මේ වයසට හැඟීම් ඇති වෙන එක සුලබ දෙයක්. ඒත් ඒ හැඟිම් ඉශ්ඨ සිද්ධ කරගන්න හොද කාළයක් නෙමෙයි. ඒකට තව ටික කාලයක් ඉවසන්න සිද්ධ වෙනවා. හරියට අටවක ගෙවිලා පසලොස්වකට හඳ වැඩෙනවා වගේ ඔයාගෙත් කල වයස එළබෙයි ! ඒ නිසා අපි ඉක්මන් නොවී ඉමු !  කියලා ඒ ආදරවන්තයා තමන්ගේ පෙම්වතියට කියනවා.


ඊට පස්සේ මේ ආදරවන්තයා තමන්ගේ ආදරවන්තියගේ හිත හැදෙන්නත් එක්කලා අවසන් වශයෙන් මෙහෙම කරුණු පැහැදිලි කරනවා.

ගෙදර බුදුනගේ ඇල්ම බැල්මේ 
අමාවක ගෙවපන්
පුරාපෝයට මලුත් අරගෙන
අපිත් යමු පන්සල්.

මේ ටික කාලයත් හිටියා වගේ දෙමව්පියන්ගේ සෙවනේ ඉන්න. කල වයස එළබුනාම දෙමවුපියන්ගේ ආශිර්වාදයනුත් එක්ක කසාද බඳිමු කියලා මේ ආදරවන්තයා තමන්ගේ පෙම්වතියට කියනවා.

 ඊට පස්සේ මොකද උනේ කියලා මම දන්නේ නෑ. මේ ගීය බාගත කරගන්න මෙතන ක්ලික් කරන්න.

18 May 2012

ආයෙත් ලෙඩක්

මීට මාසෙකට උඩදි මගේ කොම්පීතරේ කැඩිලා හදන්න දුන්නා. ඒ කරලා ඕන් නම් වැඩිම උනොත් සති දෙකක් හොදට වැඩ කරන්න ඇති. ඕං දැන් ආයෙමත් ලෙඩක් ඇවිදින්. දැන් තියෙන්නේ කොම්පීතරේ ඔන් කරලා ටික වෙලාවකින් කොටු කොටු වැටෙනවා.

මම් ආයෙමත් කොම්පීතරේ ඕෆ් කරලා ඔන් කලාම අර විදිහටම ටික වෙලාවක් හොඳට වැඩ කරලා ඊට පස්සේ කොටු කොටු පේන්ඩ ගන්නවා. මට පෙනුන විදිහට මෙදාපාර VGA කාඩ් එකේ ප්‍රශ්නයක් වෙන්ඩ ඇති කියලා කොම්පියුටර් කඩේකට දුන්නා හදන්නෙයි කියලා.

 ඔය ප්‍රශ්නේ නිසා මේ ටිකේම බ්ලොග් කියවන්ඩ එන්ඩ බැරි උනා.

මේ අල්ල පනල්ලේ තමා අපේ ඔබා මාමත් අන්ත්‍රා වෙලා කියලා දැනගන්ඩ ලැබුනේ. ඒ ආරංචිය දැන ගත්තෙත් කිරිපුතා මල්ලි දීපු කෝල් එහෙකින්.

ඊට පහුවෙනිදා මම් වැඩට යනකොට මගේ ඩොංගල් එකත් අරගෙනම ගියා. බ්ලොග් වල මේ පිළිබඳ තියෙන ආරංචි මොනවද කියලා බලන්ඩ. ඊට පස්සේ තමා සම්පූර්ණ විස්තරේ දැනගත්තේ. මොනා උනත් ඔබා මාමා කියලා කියන්නේ ආදරනීය මනුස්සයෙක් !
ඔබා මාමට නිවන් සුව අත්වේවා !

ඉක්මනින්ම කොම්පීතරේ හදාගෙන බ්ලොග් කියවන්ඩ එන්නම්.
ජය වේවා !!!
රැඳි සිටියාට ස්තුතියි.


07 May 2012

ඉතුරු රුපියල කෝ ?

දැන් මේකයි කතාව !
යාළුවෝ තුන් දෙනෙක් කෑම කන්න කඩේකට ගියා ලු. ගිහින් හොදටම කාලා වේටර් ට බිල ගේන්ඩ කිව්වා ලු.වේටර් බිල ගෙනාවලු. ගාන රුපියල් 25යි ලූ !!!

එක්කෙනා රුපියල් 10 ගානේ රුපියල් තිහක් බිල ගෙනාපු දීසියට දැම්මා ලු.වේටර් ඒ බිලත් එක්ක සල්ලි අරගෙන ගිහින් ඉතුරු සල්ලි ගෙනාවලු.

කවුරුත් දන්නවා නේ ඉතුරු රුපියල් 5ක් කියලා.  මේ ඉතුරු සල්ලි රුපියල් පහ ගෙනාවේ රුපියලේ කාසි 5කින් ලූ. ඉතින් මේ ඉතුරු සල්ලි වලින් වේටර්ට රුපියල් 2ක් දුන්නලු ටිප් එක විදිහට. තව රුපියල් 3ක් ඉතුරුයි නේ. අන්න ඒ රුපියල් තුන, රුපියල ගානේ තුන් දෙනා බෙදා ගත්තා ලු.

එකෙක් රුපියල් 10ක් දාලා ආයෙම රුපියලක් ගත්තා. එතකොට එකෙක්ට කෑමට ගාන වෙන්නේ රුපියල් 9යි !!! හරි නේ ??

එකෙක්ගේ කෑමට ගාන =  රු. 9
තුන්දෙනාටම  =  රු. 9 x 3 = රු. 27
වේටර්ට දීපු ටිප් එක =  රු. 2

එකතුව = රු. 27 + රු. 2 = රු. 29

කෝ ඉතුරු රුපියල ??? 

මේක වෙන්නේ කොහොමද කියලා දන්න කෙනෙක් ඉන්නවනම් පහලින් කමෙන්ට් කරන්න. ඔන්න මම නම් දන්නේ නෑ.
----------------------------------------------------------------------
ප.ලි. - මේක හිතන්න ගියොත් මගේ රැම් එක ආයෙම ඕවර්ලෝඩ් වෙනවා !

05 May 2012

සසරේ තවමත් මග ගෙවමි

සඳ නැති කළුවර අහසක අරුමය
ජීවිතයේ දුක මට කිව්වා
ජීවිතයේ ගන අඳුර මකන්නට
පහනක් මා දසතම සෙව්වා

පහනක් සොයමින් මා යන කලදි
වෙසක් සඳේ ඔබ නැඟ ආවා
සඳ කිරණින් ඔපවත් වූ නගරයේ
මාවතකට මා ඇවිද ගියා

දෙවුරම් වෙහෙරේ ගාණ්ඨා නාදය
මගෙ සවන්පත් හා ගැටුනා
කිසිවක් නොසිතා කිසිවක් නොඳොඩා
මගේ දෙපා ඒ වෙත ඇදුනා

ගලන මදනල දෙවුරම් වෙහෙරේ
රාගයේ ගිනි නිව්වා මතකයි
නැති වූ දේ ගැන සිත පෙලමින් තිබු
සෝක සුසුම් නිව්වා මතකයි

බුදු හිමිගේ හඬ, දම් මණ්ඩපයෙන්
ඇසුනා මට ඇසුනා මතකයි
තවත් කලයක් මිනිස් වෙසක් ගෙන
සසර විඳින්නට පින් පිරුනා මතකයි

සසරේ දුක දැක, සසරේ අඳුරට
බිය උවත් මගෙ සිත හැඬුවා
තවත් කාලයක් ජීවිතයේ රස
විඳිය යුතු මගෙ සිත හැඬුවා

බුදු හිමියනි පෙර පින් නැති කම්දෝ
මම තව මත් මේ සසරෙ සිටී....
තවමත් ඔබගේ දහම් අසමි
සිත් තුල ගිනි දුක් නිවා ගනි....

---------------------------------------------------------------------

ප.ලි. - ධනූගේ කවි සංකල්පනාවක් !

01 May 2012

කවියක් මට දෙන්න

අකුරු වැලක් ගලපලා
ගී පදයක් මුමුණලා
සුන්දර මතකයන් පිරුනු
කවියක් මට දෙන්න
මගේ හිතේ රඳවගන්න
කවියක් මට දෙන්න

ජීවිතයට අරුතක් දුන්
ඔබේ වදන් ඔබේ හඬින්
කඳුලක් නැති ආදරයක්
කවියක් කර දෙන්න
මගේ  හිතේ රඳවගන්න
කවියක් මට දෙන්න

ඔබ යන බව මම දන්නවා
වෙන් වීමේ දුක දැනෙනවා
ඔබ ගිය කල මට බලන්න
කවියක් මට දෙන්න
කඳුළු වැලක අමුණලා
කවියක් මට දෙන්න

සිතේ ඇඳුන සිහින සිතුම්
බොඳ වූ වත් මැකී ගියත්
ඒ මතකය විඳගන්නට
කවියක් මට දෙන්න
ඔබ සිහිකර මුමුණන්නට
කවියක් මට දෙන්න


ප.ලි. - ධනූගේ කවි සංකල්පනාවක් !