අද මම කෝච්චිය එනකන් ස්ටේශන් එකට වෙලා ඉන්නැද්දී මට ටිකක් ඈතින් මම දන්න කියන කෙනෙක් ඉන්නවා දැක්කා. මම ත් එයා ගාවට කිට්ටු කරලා බැලුවා. බැලින්නම් අපේ ඉස්කෝලේ අපට සිංහල උගන්වපු ප්‍රසන්න රණසිංහ සර් !!!
මට සර්ව දැක්ක ගමන් එකපාරටම මගේ අත කෙලින්ම ගියේ මගේ කම්මුල ලගට. සර්රුත් ඒක දැකලද මංදා යාන්තමට වගේ හිනා උනා. මම සර් ලඟට ගිහින්, ස්ටේසමේ උනත් කමක් නෑ කියලා දණගහලා වැන්දා.
දැන් කට්ටියම බලනවා ඇති එකපාරටම සර්ව දැක්ක ගමන් මගේ අත කම්මුල ගාවට ගියේ ඇයි කියලා. මෙකයි අතීත කතාව !!! (එහෙනම් කට්ටියම මමයි සර්රුයි ඉන්න රූපරාමුව ටිකක් බොද කර ගන්න. අතීත කතාවක් කියන්නයි යන්නේ )
මම ඉස්කෝලේ දහය වසරේ ඉන්නකොට අපේ ගෙවල් පැත්තේ මාත් එක්කම වගේ ඉස්කෝලේ ගිය නංගි බබෙක් ගැන පොඩි ආදරයක් ඇති උනා.ඉස්සර ඒවා ආදරය කියලා හිතුනට දැන් හිතෙනවා ඒවා මහ බොරු වැඩ කියලා. කොහොම කොහොමහරි මම මගේ අදහස ලියුමකින් කියනවා කියලා හිතලා කොටු රූල් පොතකින් කොලයක් කඩාගෙන ලියුමක් ලිව්වා.
ඉස්සර ඉතින් අන්තර්ජාලේ එස් එම් එස් , දුරකතන ඇමතුම් තිබ්බේ නෑනේ. ලියුම ලියලා කොහොම කොහොම හරි මගේ පුරුශ ශක්තිය අතට අරන් ඒ ලියුම ඒ නංගිගේ අතටම දුන්නා. නංගිත් හැමදාම කතා කරකර ඉස්කෝලේ යන අයියනේ කියලා ලියුම බාර ගත්තා.
ලියුම අරගෙන පැය බාගයක් යන්න හම්බුනේ නෑ. මට රිප්ලයි එක ආවා ප්‍රසන්න සර් හම්බවෙන්න එන්න කිව්වා කියලා. මමත් ඉතින් මරන්න ගෙන යන හරකා වගේ. (වගේ මොකො!!!! නැත්නම් ඔහොම දේවල් ඔය කාලේ කරයි යෑ ) සර් ලඟට ගියා. මම සර් ලඟට යනකොට, සර් මගේ ලියුමට පිලිතුරු ලිපියක් ලිය ලියා හිටියේ.
සර් මාව දැක්කට පස්සේ බොහොම කරුනාවෙන් '' තෝ මොකද යකෝ මගේ පංතියේ ඉන්න පොඩි කෙල්ලන්ට ලියුම් දෙන්නේ '' කියලා ඇහුවා.
මමත් '' සර් ඒ නංගි පොඩි නෑ '' කියලා කට ගන්න හම්බුනේ නෑ.සර් මගේ ෂර්ට් එකෙන් ඇදලා අරගෙන වම් කම්මුලට උම්මා දෙකක් දුන්නා. ඒ වෙලාවේ සර්ගේ පීතෘ සෙනෙහස උපරිමයෙන්ම මම අත්වින්ඳා.
''සර් මේ කම්මුලටත් උම්මා දෙකක් දෙන්නකෝ '' කියලා ඉල්ලන්නත් හදලා එක්කෝ ඕනේ නෑ කියලා හිතිච්ච හන්දා.ආයෙ පන්තියට ආවා.
කොහොමහරි ඉස්කෝලේ ඉවරවෙලා ගෙදර යද්දි මගේ වම් පැත්තේ කම්මුල සර්ගේ පිය සෙනෙහසේ ප්‍රථම හාද්ද හින්දා ඉදිමිලා තිබ්බේ. කොහොමහරි මම ගේ ලඟටම ආවයි කියමුකෝ.
'' මොකද ලොකු පුතේ වම් කම්මුල ඉදිමිලා. හිටින්න මම අලි හක්ක ටිකක් දෙහි ඇඹුලෙන් උරච්චි කරලා අරන් එන්නම් '' කියලා අපේ අම්ම කිව්වේ නැතෑ. මට අලි හක්ක කන්න තරම් කේන්තියි.
'' අම්මේ අයියට දෙහි ඇඹුල් ඕනේ නෑ. දෙහි ඇබුල් ඇතුව හම්බ උනා. '' කියලා මල්ලි කාමරේ ඉදන් කෑ ගැහුවේ නැතෑ. අම්මත් දැන ගත්තා මොකක් හරි දෙයක් හින්දා මම ගුටිකාලා කියලා. ඒනිසා අම්මා ඒ ගැන හාර හාර ඇවිස්සුවේ නෑ. කොහොමහරි දවස් දෙකක් විතර යනකන් ඉදිමුම තිබ්බා. ලැජ්ජාවෙන් උනත් කියන්න ඕනේ මේක තමයි මගේ ගොඩ යෑමේ පලමු ප්‍රයත්නය කියලා.මාස දෙකක් යනකන් සිංහල පීරියඩ් එක වෙනකොට මම හිටියේ පෝක් සමුද සංධියෙනුත් එහා ඩෙල්ෆ්ට් දූපත් වල.
මං කැම්පස් තේරුනා කියලා සර්ට කියන්න දවසක ඉස්කෝලේ යද්දි ආයෙත් ඔය සිද්ධිය මතක් කරලා එදා සර් එහෙම මට ගැහුවේ කුලි වැඩ කරලා අපිට උගන්වන අපේ අප්පච්චිගේ බලාපොරොත්තු මං නැති කරලා දායි කියන බයටලු. සර් දැනගෙන ඉදලා තියෙනවා අපේ අප්පච්චි කරන රස්සාව මොකද්ද කියලා. සර් මට එහෙම දඩුවම් කලත් මං තුන් හිතකින්වත් සර් ට වෛර කරන්නෙ නෑ.
සර් එදා ගැහුවෙ නැත්නම් මං අර නංගිත් එක්ක යාලුවෙලා අධ්‍යාපනය කඩා කප්පල් කරගෙන ගොඩක් කල්. එහෙනම් මධුරංග, ඉන්ජිනේරුවෙක් වෙන එක සැබෑ නොවන හිනයක් වෙලා ගොඩක් කල්. මම තවමත් සර්ට කට පුරා ස්තුති කරනවා එදා දඩුවම් කරපු එකට. ඉස්සර සර් හරි දරුනුයි කියලා හිතුනට දැන් නම් මගේ හොදම යාලුවා වගේ .මේ වගේ ආදරනීය ගුරුවරයෙක් ලබන්න මම ගිය ආත්මේ ලොකු පිනක් කරලා තියෙනවා ඇති.
ප්‍රසන්න සර්ට දලදා සමිදු පිහිට පතමින් මේ ලිපිය නිමා කරනවා !!!!
--------------මේ පිටුව මෙතනින් නමන්න---------------------
ප. ලි.- පස්සේ දවසක් ආරංච් උනා සර්ට මං ගැන ඔත්තුව දීලා තිබුනේ මල්ලි යාලුවෙලා හිටපු ගෑනු ළමයා කියලා. නැත්නම් අර නංගි මට කැමැත්තෙන් හිටියා කියලාත් ආරංචි උනා. කොටින්ම අපි දෙන්නව බිඳවලා තියෙන්නේ මල්ලිගේ කෑල්ල !!!
හැබැයි ආයෙත් ඇහුවොත් නම් ඒ නංගි කැමතියි කියලා කියයි. නමුත් මට දැන් ඒ නංගි මගේම නංගි කෙනෙක් ගානයි. පාරෙදි දැක්කත් හිනා වෙලා කට පුරා නංගියේ කියලා කතා කරනවා.
ආහ් තව පොඩ්ඩෙන් අමතක වෙනවා.අලි හක්ක කියන්නේ කම්මුල් වල අමාරු හැදුනාම ගාන බේතක්.ඒක අලියෙක්ගේ හකු අස්ථියමද කියලා කියන්න දන්නෙ නෑ.නමුත් පැත්තේ හැටියට අලි, හක්ක ගලවලා තියලා මැරෙනවද දන්නෑ. සමහර වෙලාවට කම්මුල්ගාය හැදිච්ච අයටත් ඔය අලි හක්ක උරච්චි කරලා ගානවා