28 September 2023

හවස් වෙද්දිවත් පායයිනේ

අද නිවාඩු දිනයකි.
මා වෙනදා මෙන් උදෑසන හයට පමණ අවදි වූවෙමි. කෙතරම් උත්සහ කලද නිවාඩු දිනවල පවා උදෑසන හයෙන් පසුව නිදා ගැනීම මා හට කළ නොහැක්කකි. එක් අතකට එය වාසියක් උවත් අනෙක් අතට මා විඳින කරුමයක් මැයි.  පෙරදා රාත්‍රියේ පටන් ගත් මුරුගසන් වරුසාවේ අඩුවක් තිබුණත් කළු වලාකුලින් බර අඳුරු අහසක් මිසෙක පායන හිරුගෙන් පිබිදෙන පැහැදිලි අහසක ඡායා මාත්‍රයකවත් සේයාවක් දිස් නොවිනි.

අද දින මා විසින් නිම කළ යුතු කාර්‍යයන් කිහිපයක් තිබුණත් ඒ සියල්ල කිරීමට මා තුල වූ උද්‍යෝගය අදුරු අහස විසින් උදුරාගෙන ඇති බව මට හැඟුණි. මා ගෙයි ඉදිරිපස දොර හැරගෙන එකක් පසුව එකක් වැටෙන වැහි බිඳු දිහා බලාපොරොත්තු සුන් වූ හැඟීමකින් බලා සිටියෙමි. මගේ උද්‍යෝගය සුන් වූවත් මුළු පරිසරයම ප්‍රබෝධමත් වූ සෙයක් දිස් වේ. ගහකොළ පවා ප්‍රබෝධමත් වූ සෙයක් දිස් වේ. පහුගිය දිනවල එකා සීරුවට වැටුණ චණ්ඩ හිරු රැසින් කහ ගැහී වියැලී ගිය මිදුලේ තිබෙන තණ පලසත් අළු ගසා නැගිටින ෆීනික්ස් කුරුල්ලෙක් සේ ලා දළු දමමින් නැගී සිටින්නේ මින් පෙර අත්විඳි නියඟය ගැන කිසිදු වග විභාගයක් නැති සේ ය.

27 September 2023

රුපියල

 මේ රුපියලේ කාසි නම් මහ සාපයක් වෙලා තියෙන්නේ දැන් නම් !

මේ කාළේ හැටියට රුපියලේ කාසියකින් කරන්න පුලුවන් කිසිම දෙයක් නෑ. අපි පොඩි දවස්වල නම් රුපියලක් කඩේට අරගෙන ගියොත් සත දහයේ ටාටා 10ක් ගන්ඩ පුලුවන්. එහෙම නැත්නම් සත පනහේ කිරිටොපි හරි පොල් ටොපි හරි දෙකක් ගන්ඩ පුලුවන්. එහෙමත් නැත්නම් රුපියලේ ටොපියක් හරි ගන්ඩ පුලුවන්.

දැන් මේ කිසිම දෙයක් කරන්ඩ බෑ. !

කොටින්ම රුපියලක් ඉතුරු හම්බ වෙනවා නම් ඒක අරගෙනත් වැඩක් නැති ගානයි (එහෙම ඉතුරු හම්බ වෙන එකකුත් නෑ මම හිතන්නේ...)

රුපියලේ කාසි නිකන් ගෙදර ගොඩ ගැහෙන එක විතරයි වෙන්නේ.

මොකද ඉතින් රුපියලේ කාසි වලින් 10ක් කඩේට දීලා මොනාහරි ගන්න ගියොත් කඩේ මුදලාලි එච්චර හිත හොඳින් නෙමෙයි ඒක ගන්නේ. බස් එකක කොන්දොස්තරට රුපියලේ කාසි වලින් දුන්නොත් හොඳවයින් කතාවක් අහ ගන්ඩ පුලුවන්.

Por Thozhil

 කාලෙකට පස්සේ දෙමල චිත්‍රපටයක් බලන්න සෙට් උනා. මම චිත්‍රපට වලින් ආදර කතා නම් බලන්න කැමතිම නෑ. මම බලන්නෙම අපරාද ගණයේ හරි ත්‍රිලර් ගණයේ චිත්‍රපට... ඒවායේ ටිකක් කම්මැලි නැතුව බලන්න පුලුවන් ගතියක් තියෙනවා.

ඒත් සමහර ත්‍රිලර් කතා වල මැද්දෙන් මැද්දෙන් ආදර කතා සිංදු වගේ ඒවා දාලා මුළු චිත්‍රපටයම චොර කර ගත්තු වෙලාවලුත් නැතුවම නෙමෙයි.

 ඒ ඇරෙන්න බහුතරයක් කතා නම් හොදයි.

මේකත් මම අර කියපු ජාතියේ ත්‍රිලර් කතාවක්. මේ කතාව ගෙතෙන්නේ  දාම ඝාතකයෙක්ව හබාගෙන යන පොලිසියක් වටායි. කුතුහලය නම් නොඅඩුවම තියෙනවයි කියලා කියන්න පුලුවන්.

එකම විදිහට සිදුවන කාන්තා මරණ කිහිපයක් සිදු කරන දාම මිනිමරුවෙක්ව කොටු කරගන්න දරන හරි අපූරු වෑයමක් මේ චිත්‍රපටය පුරාම දිගහැරෙනවා....

කතාවේ නම තමයි Por Thozhil !

26 September 2023

කොස් ගහට පර්මිට්

 පහුගිය ටිකේ ගේ ඉස්සරහ වැවිලා තිබ්බ කොස් ගහක් කපලා දාන්න උනා. ඒකට හේතු භූත උනේ කොස් ගහේ යට කොටහා දිරාගෙන ගිහින් තිබ්බා. දිරලා විතරක් යෑ බෙණයක් මතු වෙලා තිබ්බා. ඔය ගහ කඩාගෙන වැටුනොත් එහාපැත්තේ වත්තේ ස්ලැබ් එක උඩට තමා පත බෑ වෙන්නේ.

ඒ නිසා ඊට කලින්ම කපලා දාන්න ඕන කියලා තමයි සූදානම් උනේ.

වෙන ගස් වගේ නෙමෙයි කොස් ගහක් හෝ දෙල් ගහක් කපනවා නම් පර්මිට් ගන්න ඕන. එන්න ඒ ක්‍රියාපටිපාටිය ගැන පොඩි අදහසක් දෙන්නයි මම මේ පෝස්ට් එක දාන්නේ.

මෙහෙමයි වැඩේ වෙන්නේ.

මුලින්ම ඉඩමේ ඔප්පුවේ කොපියක් ගහගන්න ඕන. ඒකටම ඉඩමේ ග්‍රවුන්ඩ් ප්ලෑන් එකේ කොපියත් අමුණන්ඩ ඕන. ඊට පස්සේ ඉඩමේ පත් ඉරු අංකය හොයාගෙන ඉඩම් රෙජිස්ටාර් කාර්යාලයට යන්න ඕන. එතනදි ඉඩමේ පත් ඉරු ගන්න ඕන.

ඉඩමේ පත් ඉරු ගන්න එක වරුවක වගේ සුළු වැඩක් !

ඔන්න දැන් ලියකියවිලි වලින් ගොඩක් දුරට හරි.

ඊට පස්සේ ඉඩමේ පත් ඉරුවයි, ඔප්පුවේ කොපියකුයි, ඉඩමේ ග්‍රවුන්ඩ් ප්ලෑන් එකයි අරගෙන ගිහින් ග්‍රාම නිලධාරි තැනට දීලා කොස් ගහ කපාගන්න පර්මිට් එකක් ගන්න ඕන කියලා කිව්වහම එයා ෆෝරම් කොළයක් අරගෙන පුරවනවා.

ඒ පුරවලා දීපු පෝරම් කොළයයි මම ඉහත කියපු ලියවිලියි එකතු කරලා එකට අමුණලා අපට ආපහු දෙනවා. ඔය සෙට් එක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අරගෙන ගිහින් ඉඩම් අංශයට බාර දෙන්න ඕන.

18 September 2023

කන්ද උඩ ගින්දර

 සෑහෙන කාලෙකින් බ්ලොග් අඩවියේ ලිපියක් ලියලා දාන්න බැරි උන නිසා අද මොනවමහරි කොටනවයි කියලා හිතලා මේ පැත්තේ ආවා. මම පහුගිය සෙනසුරාදා පොඩි එක්කෙනාගේ මොන්ටිසෝරියට ඕන කරන පොතක් ගේන්න ගුණසේන එකට ආවා. ඒකෙන් පොඩි එක්කෙනාට ඕන කරන පොත තෝරගෙන ඊට පස්සේ නවකතා ටික අතරේ පොඩි රවුමක් දැම්මා.

මීට අවුරුදු දෙකකට උඩදි නම් මාසෙකට පොතක් දෙකක් ගන්න එක පුරුද්දක් වෙලා තිබ්බා. දැන් නම් පොත් ගන්නේ නැති තරම්. පොතුත් ගණන් තමයි ඉතින්. ඊට වඩා යූ ටියුබ් එකේ කරක් ගහන්න පුරුදු වෙලා පොත් කියවද්දි පොඩි කම්මැලිකමක් එනවා.

හරි ඒවයින් කාරි නෑ. මම ගුණසේන එකේ පොත් රාක්ක අතරේ හක්කලං කරනකොට දැක්කා අපේ ජැක්සන් ඇන්තනී ලියපු කන්ද උඩ ගින්දර කියන පොත. ඒක අතට අරගෙන පිටුවක් දෙකක් කියවගෙන යනකොට ඒක ලියැවිලා තියෙන භාෂා විලාශය නිසා පොත සම්පූර්ණයෙන්ම කියවලා බලන්න ආසාවක් ආවා.