වෙනදා වගේම මම පුතාව ඉස්කෝලේට ඇරලවන්න ආවා. උදේ නිකන් වහින්න වගේ අහසේ කළු වලාකුළු තිබ්බ නිසා මම බයිසිකළය පනදුරෙන් දාලා බස් එකේම කළුතරට ආවා. උදෙන්ම හම්බ වෙච්ච මාතර බස් එක නිසා 6:30 වගේ වෙනකොට කළුතරට ඒ ගන්ඩ පුළුවන් උනා.
පුතාව ඉස්කෝලෙන් තියලා මම ආයෙම පානදුරේට එන්ඩ කළුතර ටවුම දිහාවට පයින් ආවා. කළුතර ස්ටේශන් එකට ඇවිත් ටිකට් ගන්නකොටම කළුතරින් පටන් ගන්න කෝච්චිය එන බව දැනුම් දුන්නා. මම ඒ කෝච්චියට නගින්ඩ පළමුවෙනි වේදිකාවට වෙලා ඉන්නකොට තමයි දෙවෙනි දැනුම්දීමක් ලැබුනේ. ඒ බෙලිඅත්තේ ඉදලා එන සාගරිකා කෝච්චිය දෙවෙනි වේදිකාවට එනවයි කියන එක. ඉතින් ස්ලෝ එහෙක යනවට වඩා එක්ස්ප්‍රස් එහෙක ඉක්මනට යන්ඩ පුලුවන් නිසා මාත් දෙවෙනි වේදිකාවට මාරු වෙලා සාගරිකා කෝච්චියට ගොඩ උනා.
උදේ ඔෆිස් ටයිම් එක නිසා ටිකක් සෙනග වැඩියෙන් හිටියා. මාත් බැහැගන්ඩ ලෙහෙසි නිසාම කෝච්චියේ ඇතුලට හිරවෙලා යන්නේ නැතිව දොර කිට්ටුවෙන්ම වගේ උන්නා.
ටික වෙලාවකින් කෝච්චිය කළුතරින් පිටත් උනා.මාත් ඔහේ මනෝපාරක් ගහගෙන හිටියේ. කෝච්චියත් සෑහෙන වේගයෙන් යනවා. හරියටම වාද්දූව ස්ටේශන් එක පහු උනා විතරයි. එක සැරේටම කෝච්චිය උඩ පැන්නා වගේ උනා. අර බස් එකක් ස්පීඩ් බම්ප් එකකින් හයියෙන් ගියහම උඩ යන්නේ.... ආන්න ඒ වගේ කෝච්චිය උඩ ගියා. ඊට පස්සේ මොකවත් හිතන්ඩ වේලාවක් උනේ නෑ. නොහිතන තරම් වේගයකින් කෝච්චිය දෙපැත්තට පැද්දෙන්ඩ ගත්තා.

