31 March 2014

බෞද්ධ පාසලට හිජාබයක් ?

අද උදේ අපේ කන්තෝරුවේ අය වැඩට එනකොට නාවල ජනාධිපති බාලිකාව ලඟ ලොකු උද්ඝෝෂණයක් තිබුනලු... ඒ නිසාම පාරේ ට්‍රැෆික් එකකුත් ඇතිවෙලයි කිව්වා.

උද්ඝෝෂණය කරපු තවත් කට්ටිය බස් වලට යන අයට කොළ වගයක් බෙදුවලු. අපේ යාළුවාටත් එයින් එකක් ලැබුන නිසා මං ඒක කියවලා බැලුවා. එතකොට තමා උද්ඝෝෂණයට හේතු බූත වෙච්ච කාරණාව දැනගත්තේ.

මේ උද්ඝෝෂණයට හේතු වෙලා තියෙන්නේ  නාවල ජනාධිපති විද්‍යාලයේ විදුහල්පතිනිය, මුස්ලිම් ශිෂ්‍යාවකට පාසල තුලදී හිජාබය ඇඳීම තහනම් කිරීම. මේ තහනම් කිරීම නිසා ඒ සිසුවියගේ පියා විසින් ඇයගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් බව සඳහන් කරලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරලා.

මේ සිද්ධියට විරුද්ධවයි අද නාවල ජනාධිපති බාලිකාව ලඟ උද්ඝෝෂණය කරන්නේ. 

මගේ පුද්ගලික අදහස මේ පාසල ඇතුලේ කිසිම ශිෂ්‍යාවකට හිජාබය ඇදීමට නොදිය යුතුයි කියලා. මොකද මේ ඉස්කෝලට අනන්‍ය වෙච්ච නිළ ඇඳුමක් තියෙන නිසා ඕනම සිසුවියක් ඒ නීතී රීති වලට යටත් වෙලා ඒ නිළ ඇඳුම අඳින්ඩ ඕන. 

ඒ ඇරෙන්ඩ මේ වගේ ගොන් තර්ක ඉදිරිපත් කරලා තම තමන්ට ඕන විදිහට නීති රීති වෙනස් කරන එක යුතු නෑ..  මෙතන තියෙන්නේ මූලික අයිතිවාසිකම් කඩවීමට වඩා පාසලේ විනය නීති රීති වලට විරුද්ධව තම තමන්ගේ අභිමතයන් මුදුනත් කරගැනීමක් !

අනිත්තෙක කවදාවත් පිරිමි මුස්ලිම් පාසලක තොප්පිය නොදා පාසල ඇතුලට එන්ඩ අවසර දෙන්නේ නෑ නේ... ඒ ඉස්කෝල වල ඒ නීති අකුරට පිලිපදිනවා නං මේ ඉස්කෝලෙත් මේ නීතිය පිළිපදින්ඩ ඉඩ දෙන්ඩෝන.

මුස්ලිම් අයට හිජාබ් අදින්ඩ දෙනවා නං දෙමල ළමයින්ට එයාලගේ ඇඳුම ඇදලා මොට්ටු තියන්ඩත් දෙන්ඩ ඕන. මොකද ඒක ඒ අයගේ මූලික අයිතිවාසිකමක් නෙහ්.... !

අවසානෙට කියන්ඩ ඕන එකම දේ තමා පාසලක් හෝ වේවා ආයතනයක් හෝ වේවා ඒ ඒ තැනට අදාල නීති රීති තියෙනවා නං අපි ඉන්නේ ඒ ආයතන පරිපාලනයට යටතේ නං ඒ නීති ඒ ආකාරයෙන්ම පිලිපදින්ඩ අපි බැඳිලා ඉන්නවා.   එහෙම ඒ නීති වලට යටත් වෙන්ඩ බැරි නං කරන්ඩ තියෙන හොඳම දේ ඒ තැනින් පිටවෙලා යන එක !

මං කිව්වේ මගේ අදහස....මොකද මේ ගැන ඔය කට්ටිය කියන්නේ .... අදහසක් දාමුද පහලින් ?

27 March 2014

ටීක් ටීක් සූත්තරේ

මේ ලඟදි මට කොම්පීතරයක් හදන්ඩ හම්බ උනා. මම නෙට්වර්කින් කරන කෙනෙක් හන්දා සාමාන්‍යයෙන් කොම්පීතර් හදන්ඩ ලැබෙන්නේ නෑ.. ජාලයේ මොකක් හරි අවුලක් ආවොත් තමයි මට වැඩ තියෙන්නේ.

මේ කොම්පීතරේ හැදිල්ල මට ආපු විශේෂ ඉල්ලීමක්... ඒ ඉල්ලිම ආවේ අපේ සුදු නෝනගෙන්.. !

ඒ නිසා ඒ ඉල්ලීම අහක දාන්ඩ බෑ නේ.

මම සුදු නෝනලාගේ ගෙදර ගියා ඒයැයිගේ කොම්පීතරේ හදන්ඩ. කෝල් කරලා කිව්ව විදිහට නං ප්‍රශ්නේ උනේ කොම්පීතරේ ඔන් උනාට කළු පාට ස්ක්‍රීන් එකෙන් පස්සේ වින්ඩෝස් ඔන් වෙන්නේ නෑයි කියලා. ටීක් ටීක් සද්දෙකුත් එනවයි කිව්වා.

මම නිවාඩු දවසක ඒයැයිගේ ගෙදර ගියා. ගෙදර ගිහින් කොම්පීතරේට කරන්ට් එක දීලා බැලුවා මොකද වෙන්නේ කියලා.. ඔන් කරපු හැටියෙම ටීක් ටීක් ටීක් කියලා කෑ ගහනවා. පුරුද්දට වගේ දන්නවා ඒක නං එන්නේ රැම් එක ගහලා තියෙන තැන බුරුල් වෙලා කියලා.

අපේ එක්කෙනාගෙන් ස්කුරුප්පු නියනක් ඉල්ලන්  කොම්පීතරේ ගලවලා රැම් එක ගැලෙව්වා. කොයිකටත් කියලා මක්කයකුත් ඉල්ලන් රැම් එකේ තඹ තහඩු හරිය මක්කෙන් මැකුවා. ඊට පස්සේ රැම් එක හයි කලා.

ඔන්න දැං යාන්තන් ටීක් ටීක් සද්දේ නෑ..

ඔය ටීක් ටීක් සද්දේ කියන්නේ සූත්තරයක්... ඒකෙන් කොම්පීතර් වල ලෙඩ හොයතෑකි.

කොම්පීතරේ ඔන් කරද්දිම එක පාරක් ටීක් ගෑවොත් කොම්පීතරේ හරියට වැඩ කරනවා. කිසි අවුලක් නෑ..

දෙපාරක් ටීක් ගෑවොත්  ඔන් වෙන එකේ අවුලක්. ඒක විසදගන්න මොනිටරේ තියෙන විස්තරේ කියවගන්ඩ ඕන. ඒකේ දෝශය ලියැවිලා තියෙනවා.

දිගටෝම ටීක් ටීක් ටීක් ගානවා නං මොකක් හරි කාඩ් එකක් බුරුල් වෙලා. සාමාන්‍යයෙන් රැම් කාඩ් එක වගේ බුරුල් වෙලා තියෙන්න පුලුවන්. ඒ නිසා ඒ වගේ කාඩ් ගලවලා ආයෙම හයි කරන්ඩ.

දිග ටීක් එකකුයි කෙටි ටීක් එකකුයි දිගටම ඇහෙනවා නං මදර්බෝඩ් අවුලක්.

එක දිග ටීක් එහෙකුයි කෙටි ටීක් දෙකකුයි දිගටම ඇහෙනවා නං වීඩියෝ වල අවුලක්.. ඒ කියන්නේ වී.ජී.ඒ. කාඩ් එකේ අවුලක්.. ඒක බලවන්ඩ ඕන.

ඔය වගේ එක එක කොම්පීතර් වල එක එක ටීක් සූත්තර තියෙනවා. වැඩිදුරට මෙතනින් කියවන්ඩ.. දන්න ඈයොත් ඇති නොදන්න  අයට වටියි කියලයි මේක දැම්මේ.

රැම් එක හරියාකාරව හයි කලත් කොම්පීතරේට පණ ආවේ නෑ.. වෙන අවුලක් වෙලා. ඒකත් දැනගෙන හිටියොත් හොඳ නිසා මම කියන්නම්...

ඒත් ඒක කියන්ඩ මේක වෙලාව නෙමේ. වෙන ලිපියකින් ඒ ප්‍රශ්නේ කියලා ඒ ප්‍රශ්නෙට මම දුන්න උත්තරේ  පැහැදිලි කරන්නම්.

මම එහෙනං ගියාවේ.... ජය වේවා !

25 March 2014

මනාපෙට ලක්ෂයක් !

අදත් සුපුරුදු විදිහට හවස වැඩ ඇරිලා බස් එකේ පෑ දෙකහමාරක් ගත කරලා ගෙදරට ඒ ගත්තා. ගෙදර ඇවිත් ඇඟපත සෝදගෙන ප්ලේන්ටියකුත් හදාගත්තා. මගදි ගත්තු රටකජු මුල කන ගමන් ප්ලේන්ටිය බිබී ජොලියේ ඉන්නකොට අපේ වත්තේ කඩුල්ලත් පැනගෙන කවුදෝ කට්ටියක් අපේ ගේ දිහෑවට එනවා දැක්කා.

මම තේක පැත්තකින් තියලා ඒ දිහෑ බලාගෙන හිටියා.

ඒ කට්ටිය ඉස්තෝප්පුවේ ලයිට් එලිය වැටෙන සීමාවට එනකොට තමා මම දැක්කේ ඒ අයගේ අතේ ටිකට් පොත් කීපයක් තියෙනවයි කියලා.

මලා... ! මාසේ අන්තිමට අතේ සතේ නැති වෙලාවේ ආධාරකාරයෝ වගේකුත් එනවා... !

මාව දැක්ක හන්දා ශේප් න්‍යාය දාන්න විදිහකුත් නෑ... කොයිකටත් කමන් නෑ කියලා මම ඒ අයත්තෙක්ක කතා කරන්ඩ ලෑස්ති උනා.

එතකොටම,

"පුතා අපි අහවල් අපේක්ෂකතුමාගේ ආධාරකාරයෝ...! " ඒ අය කතාව පටං ගත්තා. මම ඒ අයගේ මූනු දිහෑ බලන් හිටියා මිසක් මුකුත් කීවේ නෑ... ඒ අය ආයෙම කතා කලා

"අපි ටිකට් පොතක් ගෙනාවා..."

මං හිතුවා හරි. ඒ ගොල්ලෝ ටිකට් එකක් ගෙනල්ලා.

"කීයද ගාන..? " මං කතා කලා.

"මේ ටිකට් එකට සල්ලි ඕන්නෑ... නමයි ඇඩ්‍රස් එකයි ටැලිෆෝන් නොම්මරේයි අයිඩෙන්ටි කාඩ් නොම්මරේයි ලියලා දෙන්න. ඒත්තෙක්කම ඔයාලගේ මනාපෙත් එක්ක අපේ අපේක්ෂකතුමා මේ ඡන්දෙන් ගනියි කියලා හිතන සම්පූර්ණ මනාප ගානත් ඉලක්කමෙන් ලියලා දෙන්ඩ !"

"ගෙදර අනිත් අයටත් කියලා ඒ අයගේත් විස්තර මේ ටිකට් එකේ ලියලා දෙන්ඩ... " ඒ අයගෙන් තව එක්කෙනෙක් කටහඬ අවදි කළා.

"ඔයගොල්ලෝ සදහන් කරන මනාප ගාන අපේ අපේක්ෂකතුමා මෙදා ඡන්දෙන් ගත්තොත් ඔයාලට ලක්ෂයක් ලැබෙනවා.. ඒ වගේම ඔයාලා ලියන මනාප ගාන ආසන්න දාහ ඇතුලේ තිබ්බොත් එක්කෙනෙක්ට දහ දාහ ගානේ සැනසිලි තෑගි දහයකුත් දෙනවා.... !!!! "

කොහොමද වැඩේ... ඒ මනුස්සයා ගන්න මනාප ගාන ලියලා දීලා ඒ මනාප ගාන ඡන්දෙන් ගත්තොත් නිකන්ම ලක්ෂයක් අතේ....  ඒ විතරක් යෑ... අපේ ගාන උන්දෑ මනාප ගානට කිට්ටු වෙලා තිබ්බොත් දහ දාහකුත් ලැබෙනවා.. !

අනේ කාලේ... අපේ මනාපෙටත් ගිය කලක්... !!!

23 March 2014

අක්කපාන මල්

අක්කපාන කියන්නේ තෙතමනයට කැමති ගස් වර්ගයක්.. ඒ නිසා වතුර රැඳෙන තැන් වල ලේසියෙන්ම පැලකරන්ඩ පුලුවන්...

අපේ ගෙදර වතුර කරාමේ ගාවත්  අක්කපාන පැල ගොඩක් හිටෝලා තියෙනවා. හැබැයි ඉතිං අපේ තාත්තා අක්කපාන හිටෙව්වට අක්කපාන කොළ මැල්ලුමට නං මං එච්චර මනාප නෑ.. මනාප නැති උනත් අපේ තාත්තා ආස හන්දා අකමැත්තෙන් උනත් කන්ඩ වෙනවා.

අක්කපාන කොළ සම්බෝලය මුත්‍රා අමාරු වලට ගුණයි කියනවාලු නෙහ්..

අද මං උදේ කරාමේ ගාව දත් මැද මැද ඉන්නැද්දි තමා අපේ අක්කපාන ගස් වල මල් පිපිලා තියෙනවා දැක්කේ.. ඉතිං මට හිතුනා කට්ටියට බලන්ඩත්තෙක්ක අක්කපාන මල් වල පින්තූරු ටිකක් දාන්ඩ.

පහලින් තියෙන්නේ ඒ මල් වල පින්තූර... !

ඔය තියෙන්නේ අක්ක පාන පැළය... !
ඔය මල් වල පින්තූර තව ටිකක් ලං වෙලාම බලමු...
 මේ මල් දැක්කහම මට මතක් උනේ බාඳුරා ගොටු... ඒ වගේ හැඩයක් තියෙන්නේ...

ඔන්න ඕවා තමා අක්කපාන  මල්.. මම කලින් දවසක දුටු සතුටු මල් වල පින්තූරයකුත් දැම්මා මතක ඇතිනේ.. දැකපු නැති අය ඒකත් බලාගන්ඩලා..

මම එහෙනං ගියාවේ... ජය වේවා !!

20 March 2014

උතුවන්කන්ද තරණය

එදා (මාර්තු දෙවෙනිදා) අපි බතලේගල නැගලා ඒ සුන්දරත්වයත් විඳගෙනම ඉක්මන් ගමනින් පල්ලම් බැස්සා.  ඒ ලංකාවේ රොබින්හූඩ් කියලා විරුදාවලිය ලබපු උතුවන්කන්දේ සූර සරදියෙල් හැංගිලා උන්නු උතුවන්කන්ද නගින්ඩ.. !

කන්ද බැහැලා වාහනේට ගොඩ වෙලා පැයක් ඇතුලත අපි මාවනැල්ල ටවුමට ආවා. ඒ එනකොට දවල් දොළහා පහුවෙලා. සෑහෙන්ඩ ලොකු බඩගින්නක් තිබුනේ..ඒ නිසාම අපි වැඩි ඈතක යන්නේ නැතුව මා ඔය පේන මානෙක තිබුණු කෑම කඩයක් අල්ලගෙන කෑම පැකට් ගත්තා.කෑම අරගෙන වාහනේට නගින්ඩ හදනකොටම කට්ටිය කිව්වේ මහන්සිය යන්ඩත්තෙක්ක මාඔයෙන් නාලා බතුත් කාලාම යමුයි කියලා.

අපිත් ඒ යෝජනාව එක හෙලාම  ස්ථිර කරගෙන මා ඔයේ නාන්ඩ ලෑස්ති උනා. මා ඔයේ උන්නු අපිට මාවනැල්ල ගඩොල් පාළම පෙනුනේ මෙන්න මේ වගේ...


අපි ගියේ වැස්ස අඩු කාලෙක හන්දා මාඔයේ වතුර සෑහෙන අඩුවෙන් තිබ්බේ. ඒත් අපට නාගන්ඩ පුලුවන් තරමට වතුර නං තිබ්බා.

අපි මා ඔයෙන් නාලා ගල්තලාවක් උඩ බත්පත දිගෑරලා කන්න ගත්තා. එදා බත් එකේ තිබ්බේ පරිප්පුයි පොල් සම්බෝලයි තලනබටු මාළුවයි... මදි පාඩුවට අම්මා හදා දීපු සීනි සම්බෝලයෙන් ටිකකුත් තිබ්බා. සෑහෙන බඩගින්නේ උන්නු හන්දමද මන්දා ඒ බත්ටික සෑහෙන රහක් දැනුනා.

බඩ පුරා බත් කෑවට පස්සේ අපි කොළඹ නුවර පාරේ කොළඹ පැත්තට පල්ලම් බැස්සා.

පාරේ බස් එහෙකින් උතුවන්කන්ද නගින්ඩ එනවා නං කොළඹ-නුවර බස් එහෙක හරි කොළඹ-මාවනැල්ල බස් එහෙක හරි ඇවිදින් උතුවන්කන්ද ඔර්ලෝසු කණුව ගාව හෝල්ටෙකන් බැහැගන්ඩ.. හෝල්ටෙකෙන් බැහැලා කොළඹ පැත්තට ටික දුරක් පයින් ආවහම දකුණත පැත්තේ කොංක්‍රීට් පාරක් හම්බ වෙනවා. ඒ පාරේ කිලෝමීටරේක දුරක් පයින් එන්ඩෝන කන්ද නගින තැනට එන්ඩ.

එහෙම ආවහම උතුවන්කන්ද නගින තැනටයි සරදියෙල් ගම්මානයටයි ඒ ගත්තෑකි. බෝඩ් ගහලා තියෙන හන්දා පාර වරදින්නේ නෑ.

අපි උතුවන්කන්ද ගාවට එනකොට ඉරත් හැරිලා පෑ තුනක් විතර ගිහින්. ඒ වෙනකොට අපේ රජා මල්ලිත් ඇවිදින් උන්නා.අපි ඒයැයිත්තෙක්ක කන්ද නගින්ඩ පටං ගත්තා.


කන්ද නගින්ඩ පටන් ගන්න තැනට උතුවන්කන්ද පේන්නේ මෙන්න මේ වාගේ.
 


 උතුවන්කන්ද ගැන කියනවා නං ඒ තරම්ම ලොකු කන්දක් නෙමේ. පැයක් විතර යනකොට කන්ද නැගලා ඉවර කරතෑකී.මුහුදු මට්ටමේ ඉදලා මීටර් 400කටත් වඩා අඩු උසක් තියෙන්නේ. පහල ඉන්නැද්දි කන්දේ මුදුන පේන්නේ මෙන්න මේ වගේ.



 අපි කඳු පාමුල තිබ්බ පාර දිගේ  ගමන පටන් අරගත්තා.පේනවා නේ..? වැහැපු පාටක්වත් නෑ... !

මේ පාර කෙළවර උනේ ගේකින්.. ඊට පස්සේ තියෙන්නේ අඩිපාරක් දිගේ කන්ද මුදුනට යන්ඩ..

මේ පේන පාරත් මගක් දුරකදි ඉවර වෙලා අඩිපාරක් විතරයි තිබුණේ.. ඒ අඩිපාර දිගේ කන්ද මුදුනට නැග්ගා.


සමහර තැන් වලදි කන්ද නගින්ඩ අමාරු උනා. නැග්ම ටිකක් දරුණු තැන් නැතුවමත් නෙමේ. ලොකුම හේතුව තමා පොලොව ලිස්සන එක.
මේ ටිකත් නැගගෙනතව ඉහලට ගියහම කන්ද මුදුන ලස්සනට පේනවා. ඒක හරියට අතක ඇඟිලි දිග ඇරගෙන ඉන්නවා වාගේ. මේ දැක්ක ද ?

අපි ඒ කිට්ටුවට ගියා. ඒක නං සෑහෙන බය හිතෙන ගමනක්. අපි ගස් බදාගෙන තමා ඉතුරු ටික බඩගෑවේ.. බැරිවෙලාවකවත් අත ලිස්සුවා නං ගලපල්ලේ.... !!!

මේ ටිකත් නැගගෙන අපි තව ඉහලට නැග්ගහම පලාතම ලස්සනට පේනවා.ඒත්තෙක්කම අපි එදා නැගපු අලගල්ල කඳුවැටියත් ලස්සනට පේනවා. ඒක නං ඇහින් විඳින්ඩම ඕන සුන්දර දර්ශනයක් !
මේ පේනවා නේද අපේ පරා කන්දේ එක පැත්තක ඉන්න අපූරුව..


කන්දේ සුන්දරත්වයත් විඳගෙන ගිමන් නිවාගෙන අපි ටික වෙලාවකින් පල්ලම් බහින්ඩ ගත්තා.අපි පල්ලම් බැහැලා නුවර පාරට එනකොට වෙලාව හයට කිට්ටු වෙලා. නුවර පාරෙදි මමයි අපේ මලයයි තාත්තයි පරා ලෑ වෑන් එකෙන් බැහැලා.. උතුවන්කන්ද බස් නැවතුමට ආවා කොළඹ නුවර බස් එක එල්ල ගන්ඩ..

අපි ඒ බස් එකේ පෑ දෙකහමාරක් විතර යනකොට කිරිබත්ගොඩට ආවා. එතන ඉදලා අපේ ගමට පයින් ගෑටුවා. ගෙදර එනකොට සෑහෙන මහන්සියි...

ඔන්න ඔහොමයි කඳු නැගපු මාඔයෙන් නාපු සුන්දර දවසක් ගෙවුනේ.. මේ සුන්දරත්වයයි රස කතායි සතියක් යනකන් අපේ කන්තෝරුවේ අය කිය කියා රසවින්දා..... !

--------------------------------------------------------------------
ප.ලි. - මේ දවස්වල බෝගම්බර හිරගේ මහජන ප්‍රදර්ශනයට විවෘත කරලා හන්දා ඒක බලන්ඩ යන්ඩ මායි අපේ අප්පොච්චයි ලක ලෑස්ති වෙනවා. හෙට (සිකුරාදා) තමයි යන්ඩ ඉන්නේ.. ගිහිං ඇවිත් ඒ විස්තරත් කියන්නං කෝ !

18 March 2014

අමතක වෙනවාද ???

පෝය දවසේ බණ කතාවක් ලිව්වට පස්සේ මොනවමහරි ලියන්ඩ ඕන කියලා හිත හිතා ඉන්නකොට තමයි අපේ තේ වෙලාවේ සාකච්ඡාව පටන් ගත්තේ. අපේ මාතෘකාව උනේ ඉස්කෝලේ දවස්වල එක එක පාඩම් මතක තියාගන්ඩ පාවිච්චි කරපු කෙටි ක්‍රම ගැන !

පාඩම් කරනවා කිව්වහම සමහර එවුවා කොච්චර පාඩම් කලත් මතක හිටින්නේ නෑ..එහෙම උනහම ඒ ටික මතක තියාගන්ඩ කවියක්, වාක්‍යයක් වගේ කෙටි ක්‍රමයක් පාවිච්චි කරලා ඇති

උදාහරණයක් විදිහට...

ලංකාවේ රාජධානි අනුපිළිවෙල මතක තියාගන්ඩ පාවිච්චි කලේ

අපෝ දයා කුග කෝම

කියන වාක්‍යය.. ඕකේ එක අකුරට එක රාජධානිය ගණනේ තියෙනවා. :)

ඒ වගේම තමා ඒ දවස්වල දේදුන්නේ පාට හත මතක තියාගන්ඩ අපි පාවිච්චි කලේ එකම එක වාක්‍යයක් !

කුණු න්දියාවේ නීකොබෙයියෝ න්නේ තැලිච්ච ඹුටන්ලු

ඔය උඩ තියෙන වාක්‍යයේ හැම වචනයකම මුල් අකුරින් දේදුන්නේ පාට කියවෙන නිසා ඒ දවස්වල දෙදුන්නේ පාට මතක තියාගන්ඩ ඒ හැටි ගේමක් නෑ.. !

පස්සේ කාලෙක දහය පන්තියට එහෙම ආවහම  ආවර්තිතා වගුවේ පළවෙනි මූලද්‍රව්‍ය විස්සම කට පාඩමිං දැනගෙන ඉන්ඩ උනා. ඒ ටික පාඩං කරගන්ඩ ඕන කියලා මතක් වෙනකොට සූස් ගෑවෙන හන්දා ඒකත් එක වාක්‍යකින් මතක තියාගන්ඩ උත්සහ කරලා ඇති..

යි හීයි ලිට්ල් බෙනී බොනකොට නකොට නානකොට යාගේ පොටෝස් නියමයි. නංගි ගේ ල්ල සි ප නසන කෙල්ල කොල්ලට කැමතිලූ 

මේකෙත් එක වචනයක එක අකුරකින් මූලද්‍රව්‍යයක නමක් කියවෙනවා. සි යන්නෙනුයි ප යන්නෙනුයි සිලිකන් පොස්පරස් කියන මූලද්‍රව්‍ය දෙක නිරූපණය කරනවා.

ඔය වාගෙම තමා උසස් පෙළට එනකොට මූලද්‍රව්‍ය ටිකට අමතරව සක්‍රියතා ශ්‍රේණියක් තිබුනා පාඩං කරගන්ඩ.. ඒකටත් ඔය වාගේ වාක්‍යයක් තිබ්බා.

පොට්ට සෝමෙගේ ලු මැගී …..  

ඒකේ නම් ඔච්චරමයි මතක.. සක්‍රියතා ශ්‍රේණිය මතකත් නෑ ඔය වාක්‍ය මතකත් නෑ..ඔය ජාතියේ එක එක දේවල් මතක තියාගන්ඩ පාවිච්චි කරපු ක්‍රම මතක නං පහලින් කමෙන්ට් කරන්ඩලා... !

----------------------------------------------------------------------
ප.ලි. - අදත් කෝමහරි පෝස්ට් කටුවක් ලියා ගත්තා ඈ.. :)

16 March 2014

තිරෝකුඩ්ඩ ප්‍රේත වස්තුව

අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ තුන් බෑ ජටිලයන් දමනය කලායින් පස්සේ බිම්බිසාර මහ රජතුමාට වෙච්ච පොරොන්දුවක් ඉෂ්ඨ කරන්ඩ රජගහනුවර බිම්බිසාර රජමාලිගාවට වඩිනවා.

රජතුමා, බුදු හාමුදුරුවන්ට ඇප උපස්ථාන කලායින් පස්සේ දන් පැන් පූජා කරලා බුදුහාමුදුරුවන්ගේ ඕනෑකරන පහසුකම් හොයා බලන්ඩ කාලය ගත කරනවා. මේ නිසා රජතුමාට කිසිම කෙනෙකුට පින් දෙන්ඩ අමතක වෙනවා.

මේ අමතක වීම හන්දා රජ මාලිගයේ පිටත බිත්තියෙන් (පාලියෙන් තිරෝකුඩ්ඩ කියලා හඳුන්වනවා) එහා පැත්තේ පින් ගන්ඩ බලාපොරොත්තුවෙන් උන්නු ඥාති ප්‍රේතයෝ ටික උරණ වෙනවා.

මේ නිසාම රජතුමා නිදාගෙන ඉන්නැද්දි ඥාති ප්‍රේතයෝ ටික විවිධ අත්භූත සද්ද නිකුත් කරලා රජතුමාගේ නින්දට බාධා කරනවා. මේ ප්‍රේතයන්ගේ කෑ ගැහිලි නිසා රජතුමා බය වෙනවා. පහුවදාම බිම්බිසාර රජතුමා අපේ ගෞතම බුදුහාමුදුරුවෝ බැහැදැකලා මේ ගැන අහනවා.

උන්නාන්සේ මේ ප්‍රේතයන්ගේ කෑ ගැහිල්ලට හේතුවෙන අතීත කතාව බිම්බිසාර මහ රජතුමාට දේශනා කරනවා. ඒක තමා අද මම පෝය දවසේ බණ කතාවට මාතෘකා කරගත්තේ...

එහෙනම් නිස්සද්දව අහගෙන ඉම්මු.... !

මීට කල්ප අනූ දෙකකට මත්තෙන් කාසිපුර කියලා හදුන්වන නුවරක ජයසේන කියලා රජ කෙනෙක් රාජ්‍ය කරගෙන උන්නා. මේ රජතුමාට සිරිමා කියලා දේවියක් උන්නා. මේ දෙන්නට දාව ඵුස්ස කියලා දරුවෙක් උපන්නා.

මේ දරුවට පස්සේ සිරිමා දේවිය තවත් පිරිමි දරුවන් තුන් දෙනෙකුට මවක් උනා. මම කලින් කියපු ඵුස්ස කියන දරුවා තරුණ කාළයේදිම බුද්ධත්වය අත්පත් කරගත්තා. එදායින් පටන් උන්නාන්සේ ඵුස්ස බුදුන් කියලයි හැදින්නුවේ.

ඵුස්ස බුදුහාමුදුරුවෝ කියන්නේ අපේ ගෞතම බුදුහාමුදුරුවන් නියත විවරණ ලබපු බුදුවරුන්ගෙන් කෙනෙක් ! නියත විවරණ කියන්නේ මතු කාලයකදි නියත වශයෙන්ම බුදුබවට පත්වෙනවා කියලා දැන ගැනීමයි.

තමන්ගේම පුත්‍රයා බුදුබව ලබා ගත්තු නිසා තමන් විසින්ම උන්නාන්සේට සලකන්න ඕන කියලා ජයසේන මහ රජතුමා හිතපු නිසා වෙන කිසිම කෙනෙක්ට උන්නාන්සේට සලකන්න ඉඩ දුන්නේ නෑ..

මේ නිසා උන්නාන්සේගේ සහෝදරු තුන්දෙනා පිය රජතුමා කෙරෙහි උරණ වෙලයි උන්නේ. කොහොමහරි බුදුහාමුදුරුවන්ට සලකන්න අවස්ථාවක් ලබා ගන්නවාමයි කියලා හිතපු සහෝදරු තුන් දෙනා මේ රටේ එක ප්‍රදේශයක කැරැල්ලක් ඇති කරනවා.

රජතුමා, බුදුහාමුදුරුවන්ට සලකාගෙන ඉන්න නිසා කැරැල්ල මර්ධනයකරන්ඩ පුත් කුමාරවරු තුන් දෙනාට බාර දෙනවා. ඒ තුන් දෙනා කැරැල්ල මර්ධනය කරලා පිය රජතුමාට ඒ බව දන්වනවා.

කැරැල්ල මර්ධනය කරපු නිසා පිය රජතුමා කුමාරවරුන්ගෙන් අහනවා,

"කුමාරවරුනි කැමති වරයක් ඉල්ලන්න.." කියලා.

මේක අවස්ථාවක් කරගත්තු කුමාරවරු තුන්දෙනා ඵුස්ස බුදුන්ට පුද සත්කාර කරන්ඩ අවුරුදු හතක් ඉඩ ලබාදෙන්ඩ කියලා ඉල්ලනවා. නමුත් රජතුමා මේ ඉල්ලීමට කැමති වෙන්නේ නෑ. ඊට පස්සේ ඉල්ලනවා අවුරුදු තුනක කාලයක්.. !

ඒත් රජතුමා කැමති වෙන්නේ නෑ..

ඔහොම ගිහින් ගිහින් අන්තිමේදි තුන් මාසයක් උන්නාන්සේට සේවය කරන්ඩ ඉඩ ලබා දෙන්ඩ රජතුමා කැමති වෙනවා. මේ තුන්දෙනා තමන්ගේ ජනපද වාසීන් එක්ක එකතු වෙලා වෙහෙර විහාර කරවලා බුදුහාමුදුරුවන්ට උපස්ථාන කරගෙන ජනපද වාසීන්වත් බුදු දහම කෙරෙහි සිත් පහදවගෙන ජීවත් උනා.

බුදුන්ගේ කාලයේදි උනත් දහම කෙරෙහි යොමු වෙන්ඩ පින් නැති අයත් හිටියා. මේ අය බුදුහාමුදුරුවන්ට වෙන් කරලා තිබ්බ දන්වැට හොරෙන් කෑවා. දාන භාජන දන් සාලාව පුරාම පෙරලලා දැම්මා. ඒ වගේම දාන ශාලාත් ගිනි තියලා දැම්මා..

ඔහොම කාලයක් ගතවෙන කොට ඵුස්ස බුදුහාමුදුරුවෝ පිරිනිවන් වැඩියා. ඒ වගේම ජනපදවාසිනුත් මියෑදුනා. බුදු කෙනෙකුට ඇප උපස්ථාන කරපු පිනෙන් ඒ අය දිව්‍යලෝක වල සියළු සැප සම්පත් ඇතුව ඉපදුනා.

බුදු හාමුදුරුවන්ට වෙන් වෙලා තිබ්බ දන් හොරෙන් කාලා දාන ශාලා ගිනිබත් කරපු අය නිරයේ ඉපදුනා.

මේ අය දෙව්ලොවින් දෙව්ලොවටත්.. අනිත් අය එක් නිරයකින් තවත් නිරයකත් උත්පත්තිය ලැබුවා... ඔන්න ඔහොම කල්ප අනු දෙකක්ම ගතවෙලා මහා භද්‍ර කල්පය උදා උනා.

ඒ කාලේ වෙනකොට ඵුස්ස බුදුන්ට වෙන් කරලා තිබුනු දන්වැට හොරෙන් කාලා නිරයේ උන්නු අය ප්‍රේත ආත්ම වල ඉපදිලයි උන්නේ. මේ ප්‍රේතයෝ දැක්කා අපි වාගේම තවත් ප්‍රේත කොට්ඨාශයකට ආහාර පාන හිමිවෙලා තියෙනවා. තවත් කට්ටියකට ලස්සන ඇදුම් පැලදුම් ලැබිලා තියෙනවා.

තමන්ට විතරක් ආහාරපාන නැතුව නිරාහාරවත් ඇදුමක් පැලදුමක් නැතුව නිරුවස්ත්‍රවත් ජීවත් වෙලා ඉන්ඩ වෙලා තියෙන්නේ ඇයි කියලා මේ ප්‍රේතයෝ කල්පනා කරනවා.

තමන්ට ඇති වෙච්ච මේ ප්‍රශ්නය ඒ කාලයේ බුදුබව ලබාගෙන උන්නු කාෂ්‍යප බුදු හාමුදුරුවන්ගෙන් විමසනවා...

උන්නාන්සේ මේ ප්‍රේතයන්ට වදාළනවා මතු කාලයේදි ගෞතම නමින් බුදු කෙනෙක් පහල වෙනවා ය ඒ කාලෙදි රජකම් කරන්නේ බිම්බිසාර කියලා මහ රජතුමෙක් ය ඒ කාළයේදි බිම්බිසාර මහරතුමාගෙන් පින් ලැබිලා ආහාර පාන වස්ත්‍ර ලැබෙවි ය කියලා.

බුදු හාමුදුරුවන්ගේ මේ වදන් ඇහුන ප්‍රේතයන්ගේ සතුට ඉහවහා යනවා. ගෞතම බුදු සමයෙදි සැප සම්පත් ලබන බලාපොරොත්තුව පිට සියළුම දුක්ඛ දෝමනස්සයන් ඉවසාගෙන දුකින් ජීවත් වෙනවා.

බුද්ධාන්තර ගෙවිලා ගෞතම බුද්ධ රාජ්‍යය උදා උනා.

මේ  බුදු සමයෙදි එදා ඵුස්ස බුදුහාමුදුරුවන්ට උපස්ථාන කල සහෝදරවරු තුන් දෙනා ගයා කාෂ්‍යප, නදී කාෂ්‍යප, උරුවෙල කාෂ්‍යප කියන තුන් බෑ ජටිලයෝ වෙලා උපදිනවා.එදා උන්නු ජයසේන මහ රජතුමා ගෞතම බුදු සමයෙදි බිම්බිසාර රජතුමා වෙලා උපදිනවා.

ගෞතම බුදු සමය එලබුනායින් පස්සේ එදා ඥාති ප්‍රේතයෝ බිම්බිසාර මහ රජතුමාගේ මාලිගාවේ බිත්තියෙන් පිටතට වෙලා බලාගෙන ඉන්නවා පින් ලැබෙනකන්. එදා ඒ අරමුණ ඉටු උනේ නැති නිසයි බිම්බිසාර රජතුමාව ඥාති ප්‍රේතයෝ විවිධ ශබ්ද නගලා බය කලේ.

ඥාති ප්‍රේතයන්ගේ බය කිරීම් ගැන බිම්බිසාර රජතුමා ගෞතම බුදු හාමුදුරුවන්ගෙන් අහපු නිසයි උන්නාන්සේ මේ අතීත කතාව දේශනා කළේ.

ඊට පස්සේ බිම්බිසාර මහ රජතුමා  බුදු හාමුදුරුවන්ට පැන් පූජා කරලා ඒ පින ඥාති ප්‍රේතයන්ට අනුමෝදන් කරනවා. පින් ලැබුනායින් පස්සේ ඥාති ප්‍රේතයන්ට පැන් පොකුණු පහල වෙනවා. බුදු හාමුදුරුවන්ට ආහාරපාන, වස්ත්‍ර පූජා කරලා ඒ පිනත් ඥාති ප්‍රේතයන්ට අනුමෝදන් කරනවා. ඒ පිනෙන් ඥාති ප්‍රේතයන්ට ආහාර, වස්ත්‍ර පහල වෙනවා.

ඊට පස්සේ බිම්බිසාර මහ රජතුමාගේ ඥති ප්‍රේතයන්  සුවපත් කිරීම පිණිස තිරෝකුඩ්ඩ සූත්‍රය දෙශනා කර වදාළ බවයි ඛුද්දක නිකායේ ප්‍රේත වත්ථු පාලියේ සදහන් වෙන්නේ.

ඕකයි තිරෝකුඩ්ඩ සූත්‍ර දේශනාවේ අතීත කතාව සරලව...

සාදු !!! සාදු !!! සාදු !!!

14 March 2014

සමනළ වැව පුරවන්නට... බෙලිහුල් ඔය ගලා ඇවිත්...

මේ දවස් ටික මම ගෙවන්නේ සෑහෙන කම්මැලිකමකින්. කිසිම ගෝ එකක් නැති කම්මැලි දවස් ටිකක්..

මේ කම්මැලිකම යන්න කියලා මොනාහරි කරන්න ඕන...

පොත් කියවන එකත් දැන් අතෑරලා ගොඩක් කල්... කෝල් කරන්ඩයි පොත් කියවන්ඩයි දෙකම එකපාර කරන්න බැරි නිසා පොත් කියවිල්ලට නැවතීමේ තිත තිබ්බා.

ඔය අතරෙදි තමයි අපේ කන්තෝරුවේ අපිත්තෙක්ක වැඩ කරන පරා කිව්වේ ආදර කන්දක් ගැන.. ඔන්න එවේලේ ඉදන් මගේ ඔලුවේ කරකැවි තියෙන මාතෘකාව තමයි ආදර කඳු තරණය කරන එක. ඒකට මූලික අඩිතාලම හදාගෙන යන්න තමයි මේ දවස්වල මහන්සි වෙන්නේ.

ආදර කන්ද කියන්නේ පේරාදෙණියෙ අපට තියෙන හන්තාන වාගේ සබරගමුව සරසවියේ අය නගින කන්ද. පේරාදෙණියේ අපි කට්ටිය බැච් පිටින් හන්තාන නගිනවා වාගේ සබරගමුවේ අයත් බැච් පිටින් ආදර කන්ද තරණය කරනවා... !

මේ කන්දට ආදර කන්ද කියලා කියන්නේ කන්දේ සමහර පැති තරණය කරන්ඩ අත්වැල් අල්ලගෙන යන්ඩ ඕන හන්දාලු...  ඒක හරියටම ෂුවර් නෑ.. ගිහින් ඇවිත්ම කියන්නම්.

සමනළ වැව පුරවන්නට
බෙලිහුල් ඔය ගලා ඇවිත්
ආදර කඳු තරණය කර
දෙහදක් අද වෙන්ව ගිහින්
සුවඳ හදේ රඳවලා...යන්න ගිහිල්ලා..


දිවුල්ගනේ මහත්තයාගේ සමනළ වැව සිංදුව අහනකොට ආදර කන්ද යන එකේ ආසාව දෙගුණ තෙගුණ වෙනවා.  හැබැයි ඉතින් මේ ගීතයෙන් කියවෙන්නේ නං සබරගමුවෙදි හම්බ වෙලා වෙන් වෙලා යන ආදරවන්තයින් දෙන්නෙක් ගැන.. !

ඒක නෙමේ මොකෝ කියන්නේ අපිත්තෙක්ක ආදර කන්ද නගිමුද ? ආදර කන්ද ගැන පින්තූර ටිකක් ටීම් ට්‍රැවලර්ස් අඩවියේත් තියෙනවා. මෙතැන ක්ලික් කලා නම් බලාගත්තෑකි.

අපි යන්න කියලා හිතාගෙන ඉන්නේ මේ මාසේ 29-30 වගේ දවස්වල. :)

---------------------------------------------------------------------
ප.ලි. - දිවුල්ගනේ මහත්තයාගේ සමනළ වැව සිංදුව අහන්ඩ මෙතැන ක්ලික් කරන්ඩ.

11 March 2014

බතලේගල ගමන

පහුගිය පෙබරවාරි මාසේ අන්තිම සතියේ මගේ හිතේ තිබ්බ අදහසක් තමයි බතලේගලයි උතුවන්කන්දෙයි නගින එක. ඒ නිසා මායි තව දෙතුන් දෙනෙකුයි සූදානම් උනා මේ ගමන යන්ඩ.. කොයිකටත් කමන් නෑ කියලා අපේ කන්තෝරුවේ කීපදෙනෙක්ගෙන්ම අහලා බැලුවා මේ ගමන එනවද කියලා.

වෙනදා වගේම අහන අහන එකා හා කිව්වා.

ගමන යන්න කිට්ටු වෙනකොට ගොඩ දෙනෙක් හැලිලා අපේ කන්තෝරුවෙන් මාත් ඇතුලුව හතරදෙනෙක් ඉතුරු උනා. ඉතින් අපි හතරදෙනාවත් මේ ගමන යන්ඩ ඕන කියලා කතා උනා. අපි මුලදි හිතුවේ බස් එකේ ගිහින් එන්ඩ.. ඒත් අපේ කණ්ඩායමේ පරා ගේ වෑන් එක ගේන්ඩ පුලුවන් වෙයි කියලා කිව්ව නිසා ගමන තවත් පහසු උනා..

පරා කිව්වේ අපේ කන්තෝරුවේම වැඩ කරන පරාක්‍රමට... පරාක්‍රම අලව්වේ කොල්ලෙක් !

පරා වෑන් එක ගේන හන්දා අපි කට්ටිය පොල්හගවෙල ස්ටේශමට එන්නං කියලයි කතා උනේ. පොල්ගහවෙල ඉදලා පරාගේ වෑන් එකේ බතලේගල ඉසව්වට යන්ඩ තමා අපේ මූලිකම සැලැස්ම වෙලා තිබ්බේ... !

තව පොඩ්ඩෙන් කියන්ඩ අමතක වෙනවා.. අපේ ගෙදරින් අපේ මලයයි තාත්තයි පුංචිඅම්මලෑ පුතත් මේ ගමනට එකතු උනා.

එදා මාර්තු දෙවෙනිදා... අපි එදා තමයි ගමනට දින දාගෙන තිබ්බේ. එදා උදෙන්ම අපි කට්ටිය රාගම ස්ටේශමට ආවා. ඒ උදේ හයයි විස්සට රාගමින් පිටත් වෙන පොඩි මැණිකේ සීඝ්‍රගාමි කෝච්චිය අල්ලන්ඩ... !

කෝච්චිය හරි වෙලාවටම වාගේ රාගමට ආවා. අපි කට්ටිය කෝච්චිය ගොඩවෙලා අපේ අනිත් කට්ටිය හොයාගෙන ගියා. සෙනග මැද්දෙන් තෙරපිලා තෙරපිලා කොහොමහරි අපේ අනිත් අය ඉන්න තැනට යාගත්තා.

එතැන ඉදන් පොල්ගහවෙලට යනකංම වාගේ එක එක රස කතා කියව කියවා  ආවා. කතාවෙන් කතාවෙන් පොල්ගහවෙල ස්ටේශමටත් ආවයි කියමුකෝ... !

පොල්ගහවෙලින් බැහැලා  අපි ඒ කිට්ටුව තිබ්බ කඩේකිං පාං ගෙඩි හතරක් ගත්තා.. අපේ අම්මා කට්ටියත්තෙක්ක උදේට කන්න ලොකු සීනි සම්බෝලයක් හදා දුන්නා. පාං ටික අරගෙන පොල්ගහවෙල ඔර්ලෝසු කණුව ගාවට කට්ටියම එකතුවෙලා බලං උන්නේ පරාලෑ වෑන් එක එනකන්.. පෑ කාලක් යනකොට පරා ලෑ වෑන් එක ආවා. අපි වෑන් එකට ගොඩවෙලා ටික දුරක් යනකොට තමා මුන්දැට කැමරාව ගෙදර දාලා ඇවිත් කියලා මතක් උනේ..

අපි කෑගල්ල-පොල්ගහවෙල පාරේ කෝන්ගස් හන්දියෙන්  හැරෙව්වා අලව්ව පැත්තට... ඒ යනගමන් පරාලෑ අම්මට කිව්වා පරිප්පුවකුත් හදන්ඩෙයි කියලා. අපි පෑ බාගයක් යනකොට පරාලෑ ගෙදර ආවා. ඇවිත් ටික වෙලාවකින් පරිප්පුයි සීනි සම්බෝලයි එක්ක පාං කෑවා. තව හිටියොත් පරක්කු වෙන නිසා කෑම ගත්තු හැටියෙම අපි ආයෙම වෑන් එකට නැග්ගා බතලේගල යන්ඩ..

අපි මාවනැල්ල ගඩොල් පාලම ගාවට එනකොට උදේ නමයට කිට්ටු කරලා.. මාවනැල්ල පාලම ගාවින් අරණායක පාර පැත්තට වෑන් එක හැරෙව්වා.  බතලේගලට යනවා නං මාවනැල්ල- අරණායක පාරේ ගැවිලිපිටිය හන්දියට එන්ඩ ඕන..

මාවනැල්ල > උස්සාපිටිය හන්දිය > ගැවිලිපිටිය හන්දිය

ගැවිලිපිටිය හන්දියෙන්  දෙබත්ගම පාරේ කිලෝමීටර් 2ක් විතර එන්ඩ ඕන...එතකොට හම්බ වෙනවා හත්ගම්පොල හන්දිය.. හත්ගම්පොල හන්දියෙන් හත්ගම්පොල පන්සල පාරේ ගියහම කරදරයක් නැතුව බතලේගලට යාගත්තෑකි.

පාරේ බස් එහෙක එනවා නං....  නුවර කොළඹ බස් එහෙකින් මාවනැල්ල ටවුමට එන්ඩ ඕන.. මාවනැල්ල ටවුමේ ඉදන් මාර්ග අංක 659 මාවනැල්ල-අරණායක බස් එකෙන් ගැවිලිපිටිය හන්දියෙන් බැහැගන්ඩ.එතැන ඉදන් හත්ගම්පොලට ත්‍රීවිල් එහෙකින් ආවෑකි.

එහෙම නැත්නම් මාවනැල්ලේ ටවුමෙන්ම තියෙනවා මාර්ග අංක 690 මාවනැල්ල-දෙබත්ගම බස්. ඒවා නං පැයෙන් පැයට වාගේ තියෙන්නේ..ඒ බස් එකේ ආවා නං කරදරයක් නැතුව හත්ගම්පොල හන්දියෙන්ම බැහැගත්තෑකී.. !

හත්ගම්පොල හන්දියේ මේං මේ වාගේ බෝඩ් එකක් හම්බ වෙනවා. අපි ඒ බෝඩ් එකේ පෙන්නපු දිහෑවට ගියා.
මේ පාරේ ටික දුරක් ගියහම හත්ගම්පල පන්සල හම්බු වෙනවා. අපි පන්සලත් පහුකරගෙන ඉදිරියට ගියා. එතකොට පාර බෙදෙන තැනක් හම්බ වෙනවා. ඒ හරියෙත් මේ වාගේ බෝඩ් ලෑල්ලක් තිබුනා.

ඕං ඔතැන ඉදන් සීග්‍ර නැග්මක් තියෙන පාරක් තියෙන්නේ.මගක් නගිනකොට සෑහෙන්ඩ හති වැටෙනවා.ඒ පාර දිගේ කිරෝමීටර් දෙකකට කිට්ටු දුරක් ආවහම බතලේගල කඳු පාමුලට ආවෑකි.

අපි කට්ටිය බතලේගල කඳු පාමුල තිබ්බ ගේකින් වතුරත් පුරෝගෙන කන්ද නගින්ඩ සූදානම් උනා. කඳු පාමුල ආච්චි අම්මා කෙනෙක් වතුර බෝතල්, මුරුක්කු වර්ග, ටොපි චොකලට් එහෙම විකුණ විකුණා උන්නා. අපි උන්දැවත් පහු කරගෙන එනකොට වල්ල පට්ට ගහ දැක්කේ..වල්ලපට්ට ගහත් පහු කරගෙන පඩිපේලි දිගේ අපි ඉහලටම නැග්ගා...

බතලේගල කන්ද ගැන කියනවා නං ඒක මීටර් 798ක් උස කන්දක්. නුවර කොළඹ පාරේ කඩුගන්නාව හරියට එනකොට සීගිරිය වාගේ පේන කන්ද තමා බතලේගල කියන්නේ.

මුලදි මුලදි අවු රශ්මියට අහු වෙලා "කර" උනාට පස්සේ අපි හෙවන හරියකට ආවා. මේ සේරම පඩිපෙල් කලින් දා හදලා තිබුනා. ඒකට හේතුව වෙලා තිබ්බේ බතලේගල කන්ද මුදුනේ සිරිපතුලක් පිහිටුවන්ඩ යන නිසා.

බතලේගල කඳු නැග්මෙදි අපි හෙවන හරියට එනකොට පුස් වැලකුත් දකින්ඩ ලැබුනා. පහලින් තියෙන්නේ ඒ පුස් වැලේ පින්තූරයක්..
අපි පුස් වැලත් පහු කරගෙන පඩි පෙලවල් දිගේ ඉහලටම ඇදුනා....

එතකොටම සෑතින් පෙනුනා අත්වැටකට කම්බියක් ගැටහලා තිබුනු පඩිපේලි වගයක්.. ඒ හරියේ පඩිපේලි ටිකක් ඈතයි. ඒ ටික පහු කරගෙන ආපුවහම තනි නැග්මක් තියෙන්නේ. ඒ නිසා පරිස්සමින් නගින්ඩ ඕන.
පේනවා නේ.. අපේ කට්ටිය ඉහලටම නැගලා ඉන්න අපූරුව...
ඔහොම කන්ද නැගලා ටික වෙලාවකට පස්සේ කඳු මුදුනට ලඟා උනා. කඳු මුදුනේදි කන්දක් නොතිබුනු ගානට තැන්නක් තිබ්බේ. මිනිස්සු ගිහින් ගිහින් හැදුනු පාරකුත් තිබුනා.

පහලින් තියෙන්නේ කඳු මුදුනේ තිබ්බ පන්සලේ පින්තූර ටිකක්..
පහලින් තියෙන්නේ පන්සලේ බෝධීන් වහන්සේ..

මේ සිරිපතුල පිහිටුවන්ඩ කලින් සර්වරාත්‍රික පිරිතකුත් තිබුනයි කියලා ගම්මු අපට කීවා. ඒ පිරිතට කනක හේරත් එහෙමත් ආවයි කිව්වා. ඒ අයට පිලිගන්න හදලා තිබුනු පොඩි තොරණ තමයි පහල පින්තූරේ තිබ්බේ.

අපි කට්ටිය කන්ද නැගලා පන්සලත් වැඳගෙන ටික වෙලාවක් ගිමන් හැරියා. ඊට පස්සේ අපි තකහනියෙම වාගේ කන්ද බැස්සා.. මොකද අපේ ඊලඟ ගමනාන්තය වෙලා තිබුනු උතුවන්කන්ද බලන්ඩ යන්ඩ වෙලාව ඉතුරු කරගන්ඩත් එපෑ..

උතුවන්කන්ද නැගපු හැටි ඊලඟ ලිපියෙන් කියන්නම්.. එහෙනම් මං ගියාවේ !
ජය වේවා ! හැමෝටම සුබ රාත්‍රියක් වේවා !

09 March 2014

සති අන්තයේ මගේ චාරිකාව

ගිය සති අන්තයේ අපි බතලේගලයි උතුවන්කන්දෙයි නැග්ග හන්දා එදා ගෑල්ලමයා හම්බ වෙන්ඩ යන්ඩ උනේ නෑ.. ඒ නිසා ඒයැයි මාත්තෙක්ක නෝක්කාඩු වෙලා උන්නේ.  යාන්තන් කෝල් එකක් දීලා නැවු ගනන් ටෝක් ඉෂූ කරලා ෂේප් කරගත්තා.

ෂේප් කර ගත්තේ මාත්තෙක්ක කොහේ හරි ඇවිදින්ඩ යමුයි කියලා.. එයාලෑ ගෙදර ගියහම මගේ නෑනන්ඩි අපි දෙන්නා මැද්දේ බාදකයක් වගේ ඉන්න හන්දා නිදහසේ කතා කරන්ඩ නෑ.. අනිත්තෙක නැන්දම්මා පොලෝසියෙන් වාගේ විඩින් විඩේ ඇවිත් ඇවිත් බලනවා අපේ සද්දේ අඩු උනේ මොකෝ කියලා... !

ඔය කරුණු කාරණා නිසා අපි සත්තු වත්ත බලන්ඩ යන්ඩ ලෑස්ති උනා..

ඊයේ කතා කරගත්තු විදිහට මම වෙලාවටත් කලින් දෙහිවල නෝලිමිට් එක ගාවට  ආවා. ඇවිත් කෝල් එකක් දුන්නා "ඔයා ඉන්නේ කොහේද ? " කියලා අහන්ඩ.

"මම තව විනාඩි දහයෙන් එන්නම් !" කියලා ඒයැයි කිව්වා.

මමත් විනාඩි දහය ගෙවෙනකන් බලාගෙන උන්නා. ඒක රබර් විනාඩි දහයක් ! ඒ විනාඩි දහය ගෙවෙන්ඩ විනාඩි 25ක් ගියා !

ඕං ඊට පස්සේ  ගෑල්ලමයා ආවා.

අපරාදේ කියන්ඩ බෑ කෑම ගොඩක්  අරගෙන ඇවිත් තිබුනා...

"ඔයාටයි මටයි උදේටයි දවාලටයි කෑම ගෙනාවා. කෑම ගේන්ඩ ෆුඩ් සිටි ගියා. ඒකයි පරක්කු උනේ." මට පවු කියලත් හිතුනා.

ඊට පස්සේ අපි දෙන්නා දෙහිවල නෝලිමිට් එක ලඟින් 176 බස් එකේ එල්ලුනා සත්තු වත්ත ගාවට යන්ඩ.. මම සත්තු වත්ත ලඟට ටිකට් ගත්තා. විනාඩි දහයකට විතර පස්සේ අපි සත්තු වත්ත හෝල්ට් එක ලඟින් බැස්සා. මම සත්තු වත්තේ ටිකට් ගත්තා.

දේශීය වැඩිහිටි ටිකට් එකක් රු. 100යි
දේශීය ළමා ටිකට් එකක් රු. 30 යි

අපි ටිකට් අරගෙන මුලින්ම ගියේ  මින් මැදුර බලන්ඩ. මින් මැදුරට ඇතුල් වෙන්න කලින් සියක්කාරයාවත් දැක්කා.
                                                                                                        සියක්කාරයා
එතැන ඉදන් සත්තු ටික දෙනෙක්ව බලලා  අපි හෙවන තැනක් අල්ලගෙන වාඩි වෙලා කතාවක් දාගෙන උන්නා. ඒ නිසා එතනින් එහාට්ට සත්තු වත්ත බැලුවේ නෑ කිව්වොත් මම හරි.. ! ඒයැයිටත් සත්තු වත්ත බලන්ඩ ඕනකමක් තිබුනේ නෑ..

පහලිං තියෙන පින්තූර මම කලින් දවසක ගෙදර කට්ටියත්තෙක්ක සත්තු වත්තේ ගිහින් ගත්තු පින්තූර.

එහෙනං අද සති අන්තේ නිදහස් දවසේ සත්තු බලමු !

                                                                                                       සීබ්‍රා
                                                                                                       පතිරණ සාලයා
                                                                                                        පැස්බරා
                                                                                                      වල් ඌරා
                                                                                                        වලහා
                                                                                                      මුන්ගේ නම නම් මතක නෑ..
                                                                                                       ලංකාවේ දිවියා
                                                                                                        අලියා
                                                                                                      හිපපොටේමස්
                                                                                                       වල් බළලා
                                                                                                        තිත් මුවා
                                                                                                      සිමිටහෝන් ඔරික්ස්
                                                                                                      රට මීයෝ
                                                                                                      රයිනෝසිරස්
                                                                                                       ජිරාෆ්
                                                                                                     හැඳි ආලාවා


පින්තූර නං තව අටෝරාසියක් තියෙනවා දාන්න.. ඒත් අයියෝ සුපියල් පහ වෙන නිසා දාන්නේ නෑ.. !

සත්තු වත්ත බැලුවට පස්සේ ඒයැයිව ගෙදෙට්ට ඇරලෙව්වා. මම උදේ හයට විතර ගෙදරින් පිට වෙලා ආපු ගමන ආයෙම ගෙදර එනකොට වෙලාව හැන්දෑ හය වෙලා. පෑ දොලහක් ! කොළඹ රටේ ඇවිදලා හොඳ පන ගිහින් මගේ... !

එහෙනං මං ගිහින් එන්නම්....
සියළු දෙනාටම සතුටින් පිරුණු සති අන්තයක් !

06 March 2014

වල්ල පට්ට ගහක් !

මං පහුගිය සතියේ ඉරිදා (මාර්තු 3 වෙනිදා) අපේ කන්තෝරුවේ යාළුවෝ කට්ටියත්තෙක්ක බතලේගල සංචාරයේ යෙදුනා. (ඒ ගැන විස්තර පසුවට කියන්නම්.)

අපි කට්ටිය බතලේගල නගින්ඩ ගියේ වෑන් එකෙන්. අපි ගියපු වෑන් එක බතලේගල කඳු පාමුල කිට්ටුව තිබ්බ ගේක මිදුලේ නැවැත්තුවා. ඊට පස්සේ ඒ ගෙදරින්ම බෝතල් වලට වතුරත් පුරෝගෙන කන්ද නගින්ඩ සූදානම් උනා.

ටික දුරක් යනකොට බතලේගල පඩිපෙල් හරියට ආවා. ඒ හරියේ ආච්චි අම්මා කෙනෙක් වතුර බෝතල්, මුරුක්කු වර්ග, ටොපි චොකලට් විකුණ විකුණා උන්නා. අපි ඒයැයිවත් පහු කරගෙන ඉදිරියටම ගියා.

එතකොටම අපේ තාත්තා,

"මේං ලොක්කෝ වල්ල පට්ට ගහක් !" කියලා කිව්වා.

මාත් ඒ ඇහුන පමාවට තාත්තා පෙන්නාපු දිහාට්ට හැරිලා බැලුවා. ඔය පහලින් තියෙන්නේ එපි එදා දැකපු වල්ල පට්ට ගහ.. !

අපි එනකොටත් කලින් දවසක කවුදෝ මන්දා පට්ට ගහලා තිබ්බ බවක් නං පෙනුනා. ඔය පල්ලෙහා පින්තූරේ වල්ල පට්ට ගහ දිහෑ කෑදර බැල්මක් දාගෙන ඉන්නේ අපේ මලයා..


වල්ල පට්ට ගස් මම් පොඩිකාලේ දැක්කට පස්සේ දකින්න හම්බ උනේ අද. ඒ කාලේ නම් දැං වාගේ ඕවෑ එච්චර වටිනාකමක් නෑ.. අපි ඒ දවස්වල ඉස්කෝලේ වැඩ වලටත් වල්ල පට්ට අතු කපාගෙන සුද්ද කරලා පාට ගාලා එකේක සැරසිලි කරනවා.

වල්ල පට්ට කිව්වහම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පට්ට ගහන්ඩ පුලුවං ගහක් ! පොඩි කොනකින් පටං ගත්තහම කෙලවරට යනකන්ම පට්ටයක් ගහන්ඩ පුලුවං !

වල්ල පට්ට ගහ ගැන කියනවා නං මේ ගහේ විද්‍යාත්මක නාමය Gyrinops Walla .. ! ඒ වාගේම වල්ල පට්ට ශාකය Thymalaeaceae කියන පවුලටයි අයිති වෙන්නේ.

වල්ල පට්ට ගහේ වටිනාම කොටස පට්ටය නෙමේ. පට්ටයෙන් ලණු අඹරන්න, උගුලක් අටෝගන්ඩ ඕන කරන මන්දක් හදාගන්නෙක ඇරුනම ඒ හැටි වැඩක් නෑ..

වල්ල පට්ට වල වටිනාම කොටස වෙන්නේ ඒගාර්වුඩ් කියන රෙසීනය. ඒක AquilariaGyrinops කියන විශේෂ දෙකේම ගස් වල හැදෙන්න පුලුවන් සුවඳකින් යුක්ත රෙසීනයක් !

වල්ල පට්ට වගේ කුලයේ ශාක කල් ගතවෙනකොට Phaeoacremonium parasitica කියන පරපෝශී ඇසිටෝමයිකෝටා කියන දිලීර උවදුරට ලක් වෙනවා. මේ උවදුරෙන් මිදෙන්ඩ මේ වර්ගයේ ගස්, තමන් විසින්ම අධික වාශ්පශීලි කාබනික රෙසීනයක් (දුම්මල ) හදනවා. පස්සේ කාලෙක ඒ රෙසීනය ගහේ කඳේ ඇතුල් පැත්තේ තැන්පත් වෙනවා. මේක අදුරු වර්ණයකින් යුක්ත රෙසීනයක්.

ඔන්න ඕකයි වල්ල පට්ට ගහේ ඇතුලත සිද්ධ වෙන රසායනික ප්‍රතික්‍රියාව.

වල්ල පට්ට ගහේ වටිනාකම වැඩිවෙලා තියෙන්නේ ඔන්න ඔය රෙසීනය හන්දා කියලා කිව්වොත් මම නිවැරදියි... ! පහලින් තියෙන්නේ ඒ රෙසීනයේ පින්තූරයක්.


වල්ල පට්ට කියන්නේ තෙත් කලාපයේ හැදෙන ශාකයක්. ඒ වගේම මේ ශාකය අපේ රටට ආවේණික ගහක්. මේ ජාතියේම තවත් ප්‍රභේදයක් ඉන්දියාව වගේ ආසියාතික රටවල් වලත් හැදෙනවා.


වල්ල පට්ට ගස් වලින් ලැබෙන රෙසීනය, ඇල්කොහොලික් නොවන මිල අධික සුවඳ විලවුන් වලට ගන්න අමුද්‍රව්‍යයක් විදිහට භාවිතා කරන නිසයි මේ ගස් වලට මේ තරම් වටිනාකමක් ලැබිලා තියෙන්නේ.

අපේ රටේ මේ ගස් ටික හොරෙන් කප කපා විකුණනවා ඇරෙන්ඩ දීර්ඝ කාලීන වගාවක් හැටියට හඳුන්වලා දීලා අධික විදේශ විනිමයක් උපයන්න උත්සහ කරන්ඩ කොයි බලධාරියාටවත් උනන්දුවක් නෑ..