28 July 2011

ආයෙමත් කල් ගිහින් ලූ.

දැනට මාස තුනක් තිස්සේ විශ්ව විද්‍යාල ආචාර්යවරු වැඩ වර්ජනයක් කරපු හන්දා අපට මාස තුනක් විතර කැම්පස් වහලා තිබ්බා. ඊට පස්සේ සාකච්ඡා කරලා එයාලගේ ඉල්ලීම් ටික දීලා වැඩ වර්ජනය අත්හිටෙව්වා. කොහොමහරි ජූලි මාසේ 26 වෙනිදා ඉදන් අපේ කැම්පස් එකේ අධ්‍යයන කටයුතු සාමාන්‍ය විදිහට කෙරීගෙන ගියා කියලා කියමුකෝ.

අපිට අන්තිම විභාගේ (ෆයිනල්ස්) තියෙන්න තිබ්බේ අගෝස්තු මාසේ මැද සතියක. ඒ නිසා මේ දවස්වල පාඩම් කර කර හිටියා. ඊට පස්සේ ආයේ පීඨ කමිටුවෙන් ඊයේ (ජුලි 27) දැන්වීමක් දාලා අධ්‍යන කටයුතු විභාගත් එක්කම කල් ගියා කියලා.

හපෝ!!!! අපිටත් වෙන වැඩ!!! මදැයි ඉක්මනින් අවුට් වෙන්න කියලා හිටියා. දැන් ඉතින් තව කාලයක් ඉවසපන්කෝ!!!

අපේ අම්මා කොයි වෙලේත් කියන්නේ " පාඩම් කරපන් !!! පාඩම් කරපන් !!!" කියලා. ඇයි අප්පා විභාගයකුත් ලඟ නැතුව කොහොම පාඩම් කරන්නද. දැන් ඉතින් අවුට් වෙන එක කෙසේ වෙතත් රස්සාවක්වත් හොයා ගන්න වෙනවා.උපාධියක් ගන්නවා කියන එකත් හිතෙන තරම් ලේසි නෑ කියලා හිතෙන්නේ මේම වෙලාවල් වල තමයි !!!

එක වෙලාවක හිතෙනවා කැම්පස් ගිය මෝඩකම කියලා. නිරපරාදේ කල් ගතවීමක් තමයි සිද්ද වෙන්නේ.කෝමහරි උපාධි අරගෙන එලියට එනකොට ඊලඟ අවුරුද්දේ මැදක් හරියවත් වෙයි.

26 July 2011

වාසනාවන්ත මරණයක්

කාටහරි හිතෙන්න පුලුවන් මරණයක් වාසනාවන්ත වෙන්නේ කොහොමද කියලා. මරණයක් වාසනාවන්ත මරණයක් වෙන විදිහක් තියෙනවා. අපි හිතමු කෙනෙක් ගොඩාක් ලෙඩවෙලා එකතැන් වෙලා ඉන්නවා කියලා. හරියට කෑමක් බීමක්වත් කන්න බැරුව වැසිකිලි යන්නවත් දොට්ට පිලට යාගන්න බැරුව ඉන්නවා නම් ඒක ඒ කෙනට කොච්චර නම් දුකක්ද.

ඒක ගෙදර අයටත් කොච්චර දුකක්ද. එතකොට ඒ ලෙඩවෙලා ඉන්න කෙනා උනත් හිතන්නේ ඉක්මනට මැරෙනවා නම් හොදයි කියලා. මොකද හොද කරන්න බැරි ලෙඩක් හැදිලා එකතැන් වෙලා දුක් විඳිනවට වඩා මරණය සැපතක්.අන්න එහෙම ජරාවට පත්වෙලා මැරෙන එකට තමයි අවාසනාවන්ත මරණ කියලා කියන්නේ.

සමහරු මැරෙනවා ඒ මරණේ ගෙදර අය දන්නෙත් ඒ කෙනා මැරිලා ටික වෙලාවකට පස්සේ. උදාහරණෙකට අපේ අම්මැයි ආච්චිඅම්මා උදේ කෑම කාලා ගේ එහෙම අතුගාලා මහන්සියට පුටුවක හාන්සි උනා ලු. එහෙම්ම පණ ගිහින්. අතේ තිබ්බ කොස්ස බිමට වැටෙන සද්දෙට තමයි ගෙදර කට්ටිය ඇවිත් තියෙන්නේ. අන්න එහෙම ඒවා තමයි වාසනාවන්ත මරණ කියන්නේ. ගෙදර අයටවත් තමන්ටවත් කරදරයක් නෑ. එහෙම මැරෙන්න හැමෝටම බෑ. ඒකට පින් කරලා තියෙන්න ඕනේ.

ගිය ආත්මේ කරන පින් පවු අනුව ඒවගේම මේ ආත්මේ කරන කියන දේ අනුව දුක් විඳලා මැරෙනවද නැද්ද කියන එක තිරණය වෙනවා කියලා තමයි මට නම් හිතෙන්නේ.

මට මේ දේවල් ලියන්න හිතුනේ අපේ ගෙවල් ලඟ කෙනෙක් ඔහොම දුක් විඳලා මැරුනා.ඒ කෙනා මැරෙන්න කලින් ලෙඩ වෙලා එකතැන් වෙලා ඉන්නවා කියලා අපේ අම්මා කිව්වාම මම ගත් කටටම කිව්වේ "ඒ කෙනා මැරෙන එක හොදයි" කියලා. කාටවත් මෙහෙම කියන්න හොද නෑ. නමුත් ඒ කෙනා දුක් විඳින හැටියට මැරෙන එක සතුටක් කියලා මට හිතුනා.

අපි ඊලඟ ආත්මේ හොද තැනක ඉපදෙන්න කියලා පින් කරගන්න බැරිනම් අඩුම තරමේ මේ ආත්මේ ගෙදෙර උන්ට කරදරයක් නැතුව මැරෙන්නවත් පින් කරගමු !!!! මොකද මරණේ කියන්නේ කාටත් පොදු දෙයක්. කවුරුත් මැරෙනවා. මැරෙන්නේ නැති කෙනෙක් නෑ.

21 July 2011

නීතිය ඉගෙන ගැනීම

අපට උපාධියට ඉගෙන ගන්න තියෙන සාමාන්‍ය විශයන් වලට අමතරව ව්‍යාපාරික නීතිය, සිවිල් නීතිය වගේ විශයනුත් තියෙනවා. උපාධිය සම්පූර්ණ කරන්න නම් මේ විෂයයන් වලට අඩුම තරමේ C එකක්වත් තියෙන්න ඕනේ. මේ විෂයයන් උගන්වද්දි එක එක උදාහරණ පාවිච්චි කරනවා. පහලින් තියෙන්නේ එහෙම උගන්නද්දි පාවිච්චි කරපු උදාහරණ ටිකක්.

යාළුවෝ දෙන්නෙක් කඩේකට ගිහින් බීම බෝතලයක් ගන්නවා. අඳුරු පාට වීදුරු බෝතලයක දාලා තියෙන බීම එකක්. එක යාලුවෙක් භාගයක් බීලා දෙනවා අනිත් එකාට. ඒකා බොද්දි බෝතලය ඇතුලේ ගොළුබෙලි කට්ටක් තියෙනවා දකිනවා. අන්තිමේ මේ කේස් එක උසාවි ගෙනියනවා. බීම එක දෙන්නම බිව්වට බීම සමාගමේ වන්දි ගෙවන්නේ බීම බෝතලය සල්ලි දීලා ගත්තු එකාට විතරයි. අනිත් එකාට වන්දියක් නෑ.

ඔය වගේ තව සීන් එකක්. එක ළමයෙක් පාරක සෙල්ලම් කර කර ඉන්නැද්දි වේගයෙන් ආපු ලොරියක් මේ ළමයව යට කරගෙන යන්න හදනවා කියලා ඒ ළමයගේ අම්මට පේනවා. අම්මා දුවලා එන්න හදනවා. ඒත් දුර වැඩි නිසා ඒක කරන්න වෙන්නේ නෑ. අන්තිමේදි දරුවා හැප්පෙන්න යනවා දැකලා ඒ අම්මට පිස්සු හැදෙනවා. වාසනාවකට දරුවව හැප්පෙන්නේ නෑ. නමුත් මේ දරුවගෙයි අම්මගෙයි තියෙන නෑදෑකම නිසා අර අම්මට පිස්සු හැදුන එකට ලොරි කාරයා වන්දි ගෙවන්න ඕනේ.

එක සමාගමක් කැනුලා කියන ගස් වර්ගය වගා කරනවා. මේ ගස් ජාන වෙනස් කරලා හදපු ජාතියක්. ඒ නිසා මේ සමාගම මේ ගස් ජාතියට පේටන්ට් බලපත්‍රය අරගෙන තියෙන්නේ. ඔය සමාගම එක පාරක් අස්වැන්න නෙලලා ඒවා නගරයට අරන් යනකොට හුලගට මේ ගහේ බීජ ගහගෙන යනවා. ගිහින් එක ගොවියෙක්ගේ ගොවිපළේ සරුවට පැලවෙනවා. ගොවියා මේ ගස් වලින් අස්වැන්න අරගෙන විකුනන්න යද්දි බුද්ධිමය දේපල පනත යටතේ උසාවි යන්න සිද්ධ වෙනවා. හේතුව වෙන්නේ නිකරුනේ පැළ උනාට ඒ පැළ ටිකට අස්වැන්න ලැබෙනකන් පැළවෙන්න ඉඩ දුන්න එකයි.

මේ විශයයන් අපි කළේ දෙවෙනි වසරේ ඉන්නැද්දි. ඒ නිසා මට මතකයට තියෙන්නේ ඔච්චරයි.ඔයවගේ උදාහරණ නිසා ඒ විශයයන් ඉගෙන ගන්න ආසාවක් ඇති වෙනවා. ඇත්තටම මෙහෙම උදාහරණ දාලා අනිත් විෂයයනුත් උගන් වන්න පුලුවන් නම් ඒක කොච්චර හොදයි ද?

19 July 2011

සම්මුඛ පරීක්ෂණ වල බුද්ධි පරීක්ෂණ ප්‍රශ්ණ (IQ) - 2වන කොටස

ලඟදි දවසකත් මට කොළඹ යන්න සිද්ද උනා. ඒකත් සුපුරුදු පරිදි ඉන්ටර්විව් එකකට. කලින් එකට වඩා දැන් බුද්ධි පරීක්ෂණ ප්‍රශ්න වලට මුහුණ දෙන්න ප්‍රශ්නයක් නෑ. ඒ තරමටම පුරුදු වෙලා තියෙන්නේ. මෙදාපාර ලැබුන ප්‍රශ්න ටික එච්චර අමාරු නෑ. ලියන්න තමා තිබ්බේ. ප්‍රශ්න 20ක් විතර තිබ්බා. වැඩි කතා ඕනේ නෑ ප්‍රශ්න වලට බහිමු !!!!

ඔන්න මට මතක ටික පහලින් දැම්මා.

(1) ළමුන් පේලියක වාඩිවී සිටී. එම පේළියේ දකුණු පැත්තේ සිට 8 වෙනියාට කමල් වාඩි වී සිටී. එම පේළියේ වම් පැත්තේ සිට 12වෙනියාට නිමල් ද සිටී. නිමල්ව හා කමල්ව එකිනෙක මාරු කල විට වම්පැත්තේ සිට 21වෙනි තැනට නිමල්ව පත්වේ. දකුණු පැත්තේ සිට බලන විට කමල්ගේ ස්ථානය කුමක්ද ?

(2) එක්තරා මං සංධියක සංඥා කුළුණක (ට්‍රැෆික් ලයිට්) කොළ පැහැති බල්බය දැවී ගොස් (බල්බ් එක පිච්චිලා/ ගහලා ගිහින්)ඇත. එම මං සංධිය හරහා වාහනයකට ආරක්ෂිතව ගමන් කිරීම සදහා සංඥා කුළුණේ දැල්වී හා නිවී තිබිය යුතු බල්බ කුමක්ද ?

(3) නිමල් පොත් සාප්පුවකට ගොස් රුපියල් 80ක් වටිනා පොතක් මිලදී ගනි. ඔහු පොත් සාප්පු හිමියාට රු. 100යේ නෝට්ටුවක් ලබා දුනි. මාරු කාසි නොමැති කම නිසා සාප්පු හිමියා එම 100යේ නෝට්ටුව මාරුකරගෙන එන ලෙස ඉල්ලයි. ඔහු පොත් සාප්පුව අසලම පිහිටි රෙදි සාප්පුවකින් රු 100යේ නෝට්ටුව රුපියල් 10යේ නොට්ටූවලට (දහයේ කොළ දහයක්) මාරු කරගගෙන පොතේ වටිනාකම ගෙවා පොත් සාප්පුවෙන් පිටවී යයි.නිමල් විසින් රෙදි සාප්පු හිමියාගෙන් මාරු කරගත් රුපියල් 100යේ නෝට්ටුව හොර එකක් බව පොත් සාප්පු හිමියාට පවසයි. රෙදි සාප්පු හිමියා හා පොත් සාප්පු හිමියා දිගු කලක සිටන් මිතුරන් වන නිසා රෙදි සාප්පු හිමියාට සිදුවූ අලාභය ගෙවීමට පොත් සාප්පු හිමියා පොරොන්දු විය. පොත් සාප්පු හිමියාට සිදුවූ අලාභය කීයද ?

(4) ලංකාවේ සිටින අයෙක් ප.ව 7.00 ට එංගලන්තයේ තම සේවාදායකයාව අමතයි. ලංකාවේ සිටින කෙනා විසින් එංගලන්තයේ තම සේවාදායකයාට සුබ පතන්නේ කෙසේ ද ? (ඉංග්‍රිසියෙන්)
(ගුඩ් මෝර්නින්, ගුඩ් ඊවිනින්, ගුඩ් නයිට් යනාදි වශයෙන්.... )

(5)ලංකාවෙන් 0940h වලින් පිටත් වෙන ගුවන් යානයක් ලන්ඩන් වලින් 2210h ට ලඟා වේ. ගුවන්යානයේ ගමන් කාලය කොපමණද ?

(6) X = (1+1)+(1+1)+(1+1)

(7) Quarter of 40 ?

6, 7 වගේ සරල ප්‍රශ්නත් ඒ අතර තිබ්බා.

-----------------------------------------------------------------------------------
ප.ලි. - ප්‍රශ්න පැහැදිලි නැත්නම් ඒ බව පහලින් කමෙන්ට් කරන්න. සදුදා යන්න තිබ්බ ඉන්ටර්විවු එකට නම් යන්න උනේ නෑ. දනිහ පැනලනේ. :(

16 July 2011

නොසිතූ ඇබැද්දියකට මුහුණ දුනිමි

මේ දවස් ටිකේ ඉන්ටර්විවු ගිහින් චාටර් වෙවී ගෙදර ඉන්නකොට අද නොසිතූ විරූ ඇබැද්දියක් සිද්ද උනා. මම් උදෙම්ම මූන හෝදන් එනකොට එකපාරට කකුල පැටලිලා වැටුනා. කොච්චර සනීපෙට වැටුනද කියලා කියනවනම් වැටිච්ච පාර මගේ දනිහ අස්ථාන ගත උනා. සරලව කියනවනම් දනිහ පැන්නා.

අම්මෝ ඒකේ තියෙන අමාරුවක් !!! පොඩ්ඩකට හිතන්න තමන්ගේ දනිස් කටුව එකපාරටම එක පැත්තකට විසික්කා වෙලා ආයෙම තිබිච්ච තැනට වැටෙනවා කියලා. කොහොම සනීපයක් තියේද ? අම්මෝ කාටවත් එහෙම වේදනාවක් නම් එන්න එපා. ඒ තරමටම අමාරුයි.

මිදුලේ තිබ්බ බොරලු හූරගෙන වැටිච්ච සද්දෙට අපේ අම්මත් ආවා. කොහොමහරි අම්මගේ වාරුවෙන් බිම වාඩි උනා.වාඩි උනාට පස්සේ තුම්මුනින් දාඩිය දාලා කලන්තේ හැදුනා.මේක මුලින්ම උනේ මම් උසස් පෙළ කරන දවස්වල කෝච්චියේ ගම්පහ යද්දි. එදා කෝච්චියේ ගොඩක් සෙනග හිටපු දවසක්. කෝච්චිය රාගමට ආවට පස්සේ මම් සෙනගට බහින්න ඉඩ දෙන්න ඕන නිසා කෝච්චියෙන් බහිනකොට එකපාරට කකුල නොපිටට ගියා.එදා වැටුන පාර මගේ ටිෂූ වලට හිටන් හානි උනා.ඒ නිසා මාස තුනක් විතර ඇඳේ හිටියා. අද වැටුන එකෙන් ටිෂූ වලට නම් මුකුත් උන් නෑ. ඒ නිසා හොද වෙන්න වැඩි කාලයක් යන එකක් නෑ.

දැන් තනියම ඇවිදගන්න බෑ. කොහාට්ට හරි යන්න ඕන උනාම මල්ලිගේ කරපිටින් තමා යන්නේ. ඇඟ හෝදන්නත් උනත් මලයා තමා එක්ක යන්නේ.

"අද අපි කියලා දෙන්න යන්නේ මරන්න ගෙනියන ඌරෙක්ව කොහොමද නිසි ආකාරයෙන් නාවන්නේ කියලා. ඒ සදහා හොද හැටි කපාගත් පොල් ලෙල්ලක්, අඩි දහයක් දිග හෝස් බට කෑල්ලක්, උස පනිට්ටුවක් වගේ දේවල් අවශ්‍ය කරනවා.... "

ඔහොම කියකිය තමයි මූ මාව එක්ක යන්නේ ඇයි වදේ මම් හිතලා වැටුනා යෑ.
දැන් ඉතින් කරන්න තියෙන වැඩ ගොඩක් කරන්න වෙන්නේ නෑ.සදුදට තියෙන ඉන්ටර්වු එක කල් දාගන්නත් වෙනවා.මේ දවස්වල සිංහල බේත් වල බලෙන් තමා ඉන්නේ. අද තමයි ඉස් ඉස්සෙල්ලාම කකුලට බේත් දාගෙන ආවේ.

මටත් ඉදලා ඉදලා වෙන්නේ පුදුම දේවල් තමයි !!!!!! දැන් ඉතින් සති දෙකක් විතර ඇඳේ හිටපන්කෝ !!!!

15 July 2011

සර්ප විෂ ගැනයි මේ ලිපිය.

මගේ පලමුවෙනි ලිපියට කමෙන්ට් ගොඩක් තිබ්බ හන්දා දෙවෙනි ලිපියත් ලියන්න හිතුනා. මේකත් මගේ සායනික අත්දැකීමක් ගැන තමයි ලියන්න හිතුනේ. වැඩි කතා මොකටද කෙලින්ම කතාවට බහිමු.

කාලයකට කලින් මම රාගම රෝහලේ දහතුනේ වාට්ටුවේ ඉන්නැද්දි උදේ නමයට විතර ලෙඩෙක් ගෙනාවා.ඒ ලෙඩාට සර්පයෙක් දෂ්ට කරලා.දෂ්ට කරලා තියෙන්නේ අතට. ගෙදර අය කොහොමහරි සර්පයාව අල්ලලා බෝතලයකට දාලා ගෙනල්ලා තිබ්බා. ඒ නිසා බෙහෙත් කරන්න ගොඩක්ම ලේසි උනා. ඒ ලෙඩාට දෂ්ට කරලා තියෙන්නේ කුණකටුවෙක් !!!

මේ ලෙඩාට බෙහෙත් කරන්න යද්දි වාට්ටුවේ තිබ්බ සර්පයෝ ගැනයි විවිධ විෂ වර්ග ගැනයි තිබ්බ පොතක් බැලුවා.ඒකේ තිබ්බ කරුණු ටිකක් පෝස්ට් කරන්න හිතුනා. ඒවා සමහරවිට ඔයගොල්ලන්ට වැදගත් වෙයි.

---------------------------------------------------------------------
ලංකාවේ සර්ප විෂේශ 93ක් විතර ඉන්නවා. ඒ උනාට මාරක උග්‍ර විශ තියෙන්නේ 5කට විතරයි.
එනම්,
(1) නයා (විද්‍යාත්මක නාමය - Naja Naja Naja - නජා නජා නජා )
(2) තෙල් කරවලා - මග මරුවා (විද්‍යාත්මක නාමය - common Krait)
(3) දුනු කරවලා - පොළොන් කරවලා
(4) තිත් පොළඟා - දාර පොළඟා
(5) වැලි පොළඟා

ගොඩක් මරණ සිද්ධ වෙන්නේ පොළගාගෙනුයි තෙල් කරවලාගෙනුයි ඇතිවෙන දෂ්ට කිරීමෙන් කියලා තමයි පොතේ තිබ්බේ. කුණකටුවා, මූකලන් මුණකටුවා, පලා පොළඟා වගේ සර්පයෝ මද විෂ තියෙන සර්පයෝ විදිහට තමා හදුන්වලා තියෙන්නේ.
මේ සර්පයෝ දෂ්ට කිරීමෙන් වෙන හානිය සර්පයා මත හා ශරීරයට ඇතුලුවෙන විෂ ප්‍රමාණය මත රදා පවතිනවා.

සර්පයෙක් දෂ්ට කරපු ස්ථානයේ වේදනාව ඉදිමීම සිදුවෙනවා.සර්පයා අතකට කකුලකට දෂ්ට කලා නම්, එතන ඇතිවෙන ඉදිමුම සාමන්‍ය අතක එහෙමත් නැත්නම් කකුලක ප්‍රමාණයෙන් බාගෙකට වඩා ඉදිමිලා නම් ගොඩක් විෂ ඇතුල් වෙලා තියෙනවා.

සර්ප දෂ්ට කිරීමකින් පස්සේ එන රෝග ලක්ෂණ සර්පයාගෙන් සර්පයාට වෙනස් වෙනවා.

- නයි විශ හරි කරවලාගේ විශ ස්නායු පද්ධතියට ගොඩක්ම බලපෑම් ඇති කරනවා.ඒ හින්දා ඇසි පිය බාගෙට වැහිම, මුහුනේ පේශි දුර්වල වීම, මුහුන විකෘති වීම, ගිලීමේ අපහසුතා, ප්‍රතීක ක්‍රියා දුර්වල වීම, කල්පනාව නැති වීම, ස්වසන පේශි දුර්වල වීම වගේ දේවල් සිද්ධ වෙන්න පුලුවන්.

- පොළගෙක් කෑවොත් ඒක ගොඩක් වෙලාවට රුධිරයට තමා බලපාන්නේ.ඊට අමතරව ලේ කටි ගැසීම ප්‍රමාද වෙන්න පුලුවන් ඒ නිසා ගොඩක් ලේ යන්න පුලුවන්.හම මතුපිටට ලේ ගලනවා.ඒ නිසා හම මතුපිට රතු ලප, ඇහැ වටේ නිල් වීම, ලේ වමනය, ගුද මාර්ගයේ ලේ ගැලීම් වෙන්නත් පුලුවන්.

ඊට අමතරව ඒ විශ ස්නායු පද්දතියට බලපාලා පෙනීම අඩු වීම, ඇස් චලනය කිරීමේ අපහසුතා වෙන්න පුලුවන්. මීට අමතරව මුත්‍රා ප්‍රමාණය අඩු වීම, මුත්‍රා සමග ප්‍රේටීන් පිටවී, රතු පාටට මුත්‍රා පිටවීමත් සිද්ධ වෙන්න පුලුවන්.
------------------------------------------------------------------

ඔය ටික තමයි මට ඒ පොතෙන් ඉගෙන ගන්න ලබුනේ. සර්පයෙක් දෂ්ට කලොත් කරන්න තියෙන හොදම වැඩේ තමා ලගම තියෙන රෝහලකට අදාල රෝගියාව අරගෙන යන එක. ඊට අමතරව අදාල කෙනාට දෂ්ට කරපු සතාව බෝතලයකට වගේ එකකට දාගෙන එන්න පුලුවන් නම් ගොඩක්ම හොදයි.ඒක ප්‍රතිකාර වලටත් ගොඩක්ම පහසුයි.සතා දෂ්ට කරපු ස්ථානය හොලවන්නේ නැතුව අරගෙන එන්න පුලුවන් නම් විශ ගමනාගමනය අඩු කරගන්න පුලුවන්.

ලිව්වේ....
මධුසංක

13 July 2011

සිය දිවි නසා ගැනීම

මැරෙන්න එහෙමත් නැත්නම් සියදිවි හානි කරගන්න මිනිස්සු මොන මොන දේවල් අනුගමනය කරනවද.ප්‍රශ්න නිසා මැරෙන්න හිතුනත් මැරි මැරි හරි ජීවත් වෙන එක තමයි කරන්න ඕනේ. ප්‍රශ්න ඉතින් කාටද නැත්තේ.

මට මෙහෙම කියන්න හිතුනේ මම් අදුනන යාලුවෙකුත් දිවි නහ ගන්න කියලා පැනඩෝල් 28ක් බිව්වා. උට තිබ්බේ කෙල්ලෙක්ගේ ප්‍රශ්නයක්. කෙල්ලට ගෙදරින් කැමති නෑ ඒ නිසා පැනඩෝල් බිව්වා කියලා තමා මූ කිව්වේ. ඇත්තටම මැරෙන්න කියලා මූ බිව්වේ පැනඩෝල් 26යි. ඒ පැනඩෝල් ටික බිව්වට පස්සේ හැදිච්ච ඔලුවේ කැක්කුම හොද වෙන්න කියලා තමා අනිත් පැනඩෝල් දෙක බිව්වේ.

කොහොමහරි අන්තීමට පැනඩෝල් 28ක්ම බීලා. පේරාදෙනි ඉස්පිරිතාලේ නැවැත්තුවා. බෙහෙත් දීලා ඊට පස්සේ මනෝ වෛද්‍ය උපදෙස් එහෙමත් දීලා එව්වා.මෙහෙම ලෙඩ්ඩු ගෙනාවම එච්චර තැකීමක් කරන්නේ නෑ. මොකද මෙවුන් මැරෙන්නම ගියපු නිසා.බේත් හේත් දෙනවා. ඒත් අම්බානකට බැනුම් අහන්නත් වෙනවා.

ඒ නිසා කවදාවත්ම සියදිවි නසා ගන්න හිතන්නවත් හොද නෑ. ඒක එලොවත් මෙලොවත් නැති වෙන දෙයක්.

මැරෙන්නම අවශ්‍ය කට්ටියට

මැරෙනකන්ම පැනඩෝල් බොන්න බෑ.පැනඩෝල් පෙත්තක බර මිලිග්‍රැම් 500යි. මැරෙන්නම පැනඩෝල් බොන්න නම් ග්‍රෑම් 35ක්වත් බොන්න ඕනේ. ඒ කියන්නේ පෙති 70ක් විතර. ඒ ප්‍රමාණය බීගෙන බීගෙන එද්දි වමනේ යනවා. ඒ නිසා මේ ක්‍රමය හෙනම අසාර්ථකයි.
මැරෙන්නම බොන්නත් එක ක්‍රමයක් තියෙනවා කියලා එපේ මල්ලි මට කිව්වා. ඒක මෙතන ලියන්නේ නෑ. බැරි වෙලාවකවත් මුන් බීලා මලොත් එහෙම....

11 July 2011

මුචලින්ද නාගරාජයාගේ පුත්‍ර රාජයා හා වේලන්කන්නි හාස්කම්

මේ සිද්ධිය උනේ මම උසස් පෙළ කරපු දවස්වල. ඒ කියන්නේ 2006 අවුරුද්දේ විතර. මම දවසක් උදේ පංති යන්න කෝච්චියට ගොඩ උනා. උදේට ගම්පහ පැත්තට යන කෝච්චිවල ඒ හැටි සෙනගක් නැති නිසා හොද හැටි වාඩි වෙලා යන්න ඉඩ තිබුනා. කොහොමහරි කෝච්චියට ගොඩවෙලා ටික දුරක් ගියාට පස්සේ ටිකක් වයසක කෙනෙක් කොළ වගයක් බෙදාගෙන යනවා. කොළ කිව්වේ නිකන් හාෆ් ශීට් බාගෙක විතර සයිස් අත්පත්‍රිකාවක් වගේ එකක්.

නිකන් දෙනවනම් උදලු පාරක් හරි කනවා කියන මගේ ප්‍රතිපත්තිය නිසා මාත් ඒ කොළයක් ඉල්ලගෙන කියවන්න ගත්තා.ඒ කොළ සෙට් එකේ අකුරු යාන්තමට තමයි පේන්න තිබ්බේ. ඒකේ තිබ්බේ බුදුහාමුදුරුවන්ට හෙවන දීපු මුචලින්ද නාගරාජයාගේ එකම පුත්‍රරාජයාගේ හාස්කම් බලය හින්දා ධනවත් වෙච්ච අයගේ විස්තර ටිකක්. ඒවා වලට පස්සේ තිබ්බා අර දීපු කොළය මුද්‍රණය කරලා බෙදාහරින්න කියලා. ඊටත් පහලින් තිබ්බා ඒ හාස්කම් ගනන් ගන්නේ නැතුව එක එක පාඩු අලාභ විපාක වලට ලක් වෙච්ච අයගේ විස්තර.

මේ අත්පත්‍රිකාව දැක්ක ගමන් මගේ බොක්ක කූල් උනා. ඈ යකෝ සන්තකේටම තියෙන්නේ රුපියල් පනහයි. ඒකෙන් කොහොමද කොළ පනහක් ප්‍රින්ට් කරන්නේ ?. ඔහොම කල්පනා කර කර ඉන්නකොට මං මේ සිද්ධිය අපේ මලයට කිව්වා. එතකොට මල්ලියි මමයි දෙන්නම උසස්පෙළ පන්ති යනවා . (මම දහතුනේ මල්ලි දොලහේ)

"අයියේ ඔන්න ඔය මකබාව විසික් කරලා වරෙන් බං. නයෙක් කොහෙද යකෝ අවුරුදු 2000ක් ජීවත් වෙන්නේ ? ඔය නයා හිටියේ බුදුහාමුදුරුවෝ බුදු උන කාලේ."

මල්ලි එහෙම කිව්වට පස්සේ තමයි ඇගට ලේ ටිකක් ඉනුවේ. ඒ උනාට හිතෙන්නෙම මට මොනවහරි වෙයි කියලා. නමුත් ඒ සිද්ධිය වෙලා අවුරුදු පහක් විතර වෙනවා. තාම නම් කිසි කරදරයක් නෑ.

ඔය වගේ මට තව අත්පත්‍රිකාවක් ලැබුනා. ඒකේ තිබ්බේ වෙලන්කන්නි කියලා ඉන්දියාවේ පල්ලියක හාස්කම් ගැන. ඒකෙත් තිබ්බේ අර ක්‍රමයටමයි.ඉස්සෙල්ලා හාස්කම් ඊට පස්සේ ලාභ ලබපු අය අන්තීමට නොසලකා ඉදලා පාඩු ලබපු එවුන්ගේ විස්තර. ඒකෙත් කලින් එකේ වගේ කොළ පනහක් විතර මුද්‍රණය කරලා බෙදා හරින්න කියලා තිබ්බා.

මිනිස්සු මේ වගේ බොරු දේවල් කියලා තවත් කෙනෙක්ව බය කරලා මානසිකව වට්ටලා ලබන සතුට මොකද්ද කියලා හිතුනා. සමහරු මේවා වලට රැවටිලා ඒ කොළ මුද්‍රණය කරනවා. එහෙම කරගන්න හැකියාවක් නැති අය මානසිකව වැටෙනවා. මට කියන්න තියෙන්නේ මේ දේවල් වලට රැවටෙන්න එපා කියන එකයි.

09 July 2011

ආදර සීනුව

දේශන නිමවී මං රූමට ආවා
විනාඩියෙන් දනි පනි ගා හැඩ වූවා
ඈ දකින ආසාව හිත පිර වූවා
ග(ර්)ල්ස් හොස්ටල් එක ගාවට ආවා

අතරින් පතරේ ඉගිබිගි බස් ඇසෙයි මට
තව තවත් කෙල්ලෝ බලයි ඇරන් කට
අනේ ඉදලා ඉදලා උන දෙයක් මට
හිටු කියලා දිව්වේ මං කැන්ටිමට

මිස් එකක් දුන්නා ඈ එබව අගවන්නට
අනේ සුදෝ පමා නොවී මෙහෙ එන්ට
පිට වෙන්නට කියලා මෙහෙන් කොල්ලන්ට
ලගයි වගේ 'ලැජ්ජ බෙල්' එක වදින්නට

ට්‍රීන් හඩින් කන් අඩි දෙක පැලෙන්නට
පුරවා ලැජ්ජ බෙල් එක සද්දෙට
නද දුන්නා හෙටවත් යලී ඇය හමු වීමට
සිත සිතා දනි පනි ගා පැනගත්තා හනිකට

නාද වුනි දුරකතනය එකවරට
අනෙක් පසින් ඇමතුවේ ඇයයි මට
'හෙලෝ සුදූ' ආදරෙන් කිව්වත් මං ඇයට
දෙසුම් ගොඩක් ආවේ කන පලන්නට

-----------------------------------------------------------
අමාරු වචන :
ලැජ්ජ බෙල් එක කියන්නේ කාන්තා නේවාසිකාගාරයට එන කොල්ලන්ට නේවාසිකාගාරයෙන් පිටවෙන්න කියලා අගවන සීනු නාදයයි.

ප.ලි.- මේක අපේ මල්ලි ලියපු කවි ටිකක්. කවි ටික කියවලා ලස්සනද කියලා කියන්න.

07 July 2011

මගේ 100වෙනි ලිපිය

මම බ්ලොග් ලියන්න පටන් අරන් පහුගිය ජුනි මාසේ පලවෙනිදාට අවුරුද්දක් ගත උනත් අද තමයි මගේ 100වෙනි බ්ලොග් ලිපිය ලියන්නේ. අපේ නදී අක්කා නම් මාස 7ක් ඇතුලත ලිපි 101ක් ලිව්වා. මට නම් එහෙම ලියන්න අමාරුයි. ලියන්න ඕන දේවල් මතක් වෙන්නේ නෑ. මතක් වෙන වෙලාවට නෙට් එකට ලොග් වෙලා නෑ. නෙට් ලොග් වෙනකොට ලියන්න හිටපු දේ මතක නෑ.

ඒ හින්දා මම කරන්නේ මතක් වෙන වෙලාවට පොඩි හරි කොළ කෑල්ලක ලියලා මගේ කොම්පියුටර් එක ලඟ තියනවා.පස්සේ වෙලාවක නෙට් ලොග් උනාම ඒ ලිපිය ලියනවා. කොහොමින් කොහොමහරි ලිපි 100ක් ලියන්න පුලුවන් උනා.

මේ ලිපි 100 පුරාවට මගෙත් එක්ක රැඳී හිටපු ඔයාලට ගොඩක් ම පින්. ඔයාලගේ කමෙන්ට් එකක් එහෙමත් නැත්නම් හිට් එකක් තමයි මාව ලිපි 100ක් ලියන්න තරම් උනන්දු කලේ.නම් වශයෙන් ලියන්න ගිහින් එක්කෙනෙක් හරි මඟ ඇරුනොත් කියලා හිතලා නම් ලියන්න යන්නේ නෑ.අද මම ලබලා තියෙන පොඩි හරි සාර්ථකත්වය මම තනියෙන් ලබා ගත්තු එකක් නෙමේ.ඒකට ඔයාලා ගොඩක් උදව් කරලා තියෙනවා. ඒ උදව් වලට ගොඩක් ස්තුතියි !!!!

සියළු දෙනාටම කන්ද උඩරට මුදුන් මල්කඩ බදු සිරි දළදා සමිදු පිහිටයි !!!!

06 July 2011

'හොඳම ගෙඩිය පණුවාට' සංකල්පය

මේ සිද්ධිය වෙනකොට මම උසස් පෙළ කරනවා. ඉස්සර මම උසස්පෙළ පන්ති යන්න බස් හෝල්ට් එකට එනකොට හැමදාම උදේට දකින දෙන්නෙක් ඉන්නවා. ඒ අපේ ඉස්කෝලේ අයියා කෙනෙකුයි එයා යාලුවෙලා හිටපු අක්කා කෙනෙකුයි. එතකොට මම දොලහා වසරේ ඒ අයියා දහතුනේ.

කොහොමහරි ටික වෙලාවක් බස් එක එනකන් ඉදලා ගම්පහ කොළඹ බස් එකක් ආවම ඒකේ නැඟලා යනවා. මාත් ඒ බස් එකේම යනවා. නැත්නම් ගම්පහට යද්දි පංතිය පටන් අරන් තියෙන්නේ. කඩවත් එහෙම පාස් වෙද්දි බස් එකේ ඉන්න ගොඩක් අය බහිනවා. එතකොට යන්තන් වාඩිවෙලා යන්න ඉඩ ලැබෙනවා. නැත්නම් බස් එකේ යන්න හිතන්නවත් බෑ. උසස්පෙළ පංති වලට යන අයගෙන් බස් එක ෆුල් වෙනවා.

කොච්චර සීට් තිබ්බත් අරුන් දෙන්නා වාඩි වෙන්නේ නෑ.කොහොමහරි මඟ දුරක් යද්දි මගේ යාලුවෙකුත් සෙට් වෙනවා.ඒකාත් එක්ක තමා ඉතුරු ගමන යන්නේ. මම් උටත් මේ සීන් එක පෙන්නුවා.

ඇත්තටම මේ දෙන්නාගෙන් කොල්ලා කලුම කලුයි. එච්චර ලස්සනකුත් නෑ. කොච්චර කලුද කියලා කියනවනම් අඟුරු කෑල්ලකුයි මේ අයියවයි තිබ්බම අඟුරු කෑල්ල සුදුයි කියන්න පුලුවන් තරමේ කලුවක් තියෙන්නේ.

අක්කා ගැන කියනවනම් අක්කා මාරම ලස්සනයි. සුදුයි. පියකරුයි. සුකොමලයි. හුරුබුහුටියි. මට සිලිටුයි (උට කිලිටුයි) ඔයවගේ විෂේශණ පද ගොඩක් දාන්න පුලුවන් තරමේ ලස්සනයි.

ඇත්තටම මේ දෙන්නා දැක්කට පස්සේ මට හිතුනෙම ඇයි මෙච්චර ලස්සන කෙල්ලෝ කැත කොල්ලන්ට කැමති කියලා. මේක පිලිබඳව වැඩි දුර හොයන්න ඕනේ කියලා මායි මගේ යාළුවායි දවසක් මෙහෙයුමක් දියත් කරලා උදේ පාන්දරම පංතියට යන පාර ගාව මඟ රැකගෙන හිටියා. එතනින් එහාට්ට ගියපු ගොඩක් කපල් වල කෙල්ල ලස්සනයි කොල්ලා කලුයි කැතයි. අතරින් පතර දෙන්නම ලස්සන අයත්, කොල්ලා ලස්සන කෙල්ල ඒ තරම්ම ලස්සන නැති අයත් ගියා. හැබැයි ඒ බොහොම අඩුවෙන්.

මට තාම හේතුව නම් හොයාගන්න ලැබුනේ නෑ. අර කතාවටත් කියනවනේ හොදම ගෙඩිය කන්නේ පණුවාය කියලා. ඒ කියන්නේ තෙල් බෙහෙත් නොගහපු හොදට ඉදුනු ගෙඩි වලට අනිවා පනුවො ගහනවා. අන්න ඒ වගේ සීන් එකක්ද දන්නෙත් නෑ.

ලස්සන කෙල්ලෙක් ඇයි මේ ජාතියේ කොල්ලන්ට කැමති කියන එක දන්න කට්ටිය ඉන්නවනම් පහලින් කමෙන්ට් කරන්න.

04 July 2011

මල් හිටවන අයට උපදෙස්

කලින් පෝස්ට් එකේ දුටු සතුටු මල් ගැන කිව්ව හන්දා මල් පැල හිටවන නංගිලා අක්කලාට උපදෙස් ටිකක් දෙන්න හිතුවා. නංගිලා අක්කලා විතරක් නෙමේ සමහර අයියලා මල්ලිලාත් මල් හිටවනවා. කොටින්ම අපේ බාප්පා කෙනෙකුත් ඔහොම මල් හිටවනවා. උන්දෑ ලඟ නැති මල් පැළයක් අපේ ගෙදර තියෙනවා එහෙම දැක්කොත් පෝච්චිය පිටින්ම උස්සන් යනවා කිසිම සාක්කියක් ඉතුරු නොවෙන්නම. ඒ හින්දා බාප්පා එනවා කියලා ආරංචි උනාම අපි මල් පැළ ටික කලු ඉටි රෙද්දකින් වහනවා. ඒකෙන් කමක් නෑ. අද කතාවට එමු.

මම අද පාඩමෙන් කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ අඩු වියදමකින් වටිනා මල් පැළ ලබා ගන්න විදිහයි. සමහරු නානාප්‍රකාර මල් පැළ ජාති වලට අස්ප ගනන් වියදම් කරනවා. මගේ ක්‍රමය අනුගමනය කලාම ඒ මුදල ඉතුරු කරගන්න පුලුවන්.ක්‍රමය මේකයි.

ඔය ගොඩක් මල් පැළ ජාති කඩෙන් ගෙනත් පැළකලාම පැලවෙන්නේ එහෙමත් එකක් විතරයි. ඒ කියන්නේ පැලවෙන ප්‍රතිශතය ගොඩක්ම අඩුයි. මල් උනත් එන්නේ කඩෙන් ගෙනාපු ගමන් විතරයි. ඊට පස්සේ එක මලක්වත් එන්නේ නෑ.නිකන් සාත්තු කරනවා විතරයි.කරන්න තියෙන්නේ මල් හිටවන්න ආස යාලුවන්ගේ ගෙවල් වලට යන්න. ගිහින් එයාලත් එක්ක ටිකක් කතා කරන්න. එලිමහනේ මිදුලේ කතා කරනවනම් වඩාත්ම හොදයි. තමන් ආස කරන මල් පැළයක් එහෙම දැක්කොත් කර කර හිටපු කතාව වෙනස් කරලා මල් ගැන කතා කරන්න පටන් ගන්න.

කොහොමහරි තමන් අස කරන මල් පැලය වර්ණනා කරන්න.තමනුත් මල් හිටවන බව ඒ අයට අගවන්න. සමහර විට මේ මල්ගහෙන් අතු කෑල්ලක් දෙන්න හිතේවි. එහෙම හිතෙන්නේ නැති යකඩ හිතක් නම්, මේ මල් පැලය පැලවෙන ක්‍රම ගැන අහන්න. ඊට පස්සේ අදාල යාලුවාව වතුර එකක් ගේන්න කියලා හරි ගේ ඇතුලට යවලා අර මල් පැලෙන් කෑල්ලක් කඩාගෙන තමන්ගේ බෑග් එකට දාගන්න. මේ සදහා ගෑනු අයගේ 64 මායම් ප්‍රයෝජනයට ගන්න.

තමන් ආස කරන මල් පැළය තියෙන ගෙදර අය උදේට වැඩට යනවා නම්, දවල් වරුවක වත්තට හොරෙන්ම පැනලා ගහ පිටින්ම උගුල්ලලා අරගෙන එන්න. තමන්ට රෙද්දක් ඇඳගෙන ඒ වැඩේ කරන්න අමාරුම නම් ගමේ ඉන්න නන්නත්තාරේ යන කොල්ලෙක්ට රුපියල් 20ක මුදලක් ගෙවා ඒ වැඩේ කරවගන්න.

තමන් ආස කරන මල් පැළ ටික වැටට හිටවලා තියෙනවනම්, යක්කු එලි බහින ගොම්මන් වෙලාවක කාටවත් නොපෙනෙන්නම ගිහින් ගහේ අතු ටික කපාගෙන එන්න. මේ සදහා තමන්ගේ ස්වාමි පුරුෂයන්ගේ සහය ලබා ගන්න. මේ වැඩේට තම ස්වාමි පුරුශයා අකැමති නම් "තෝ හෙට කඩෙන් කාපිය !!!!!! මම හෙට කෑම එක දෙන්නේ නෑ !!!!" කියලා තර්ජනය කරන්න. වැඩේ සුටුස් ගාලා කරලා දෙයි.

මේ ක්‍රම සියල්ලම සාර්ථකව අත්හදා බලා ඇති බැවින් සාර්ථකත්වය පිලිබද කිසිදු සැකයක් තබා නොගන්න.

-------------------------------------------------------------------------------------
ප.ලි. - මෙහෙම ලබා ගන්නා මල් පැළ ටික සිටවිය යුතු ආකාරය ඊලඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න.ඊලඟ ලිපිය ලියන තෙක් මල් පැළ ටික වියලී යාමෙන් වලක්වා ගැනීමට වතුර බේසමක ගිල්වා තබන්න.

02 July 2011

දුටු සතුටු මල් දැකලා තියෙනවද ?

දුටු සතුටු කියලා කියන්නේ කාලයකට පිපෙන ටිකක් විතර දුර්ලභ මල් ජාතියක්. මේ මල් ජාතිය පිපෙන්න වාරයක් කියලා නෑ. ඒ කියන්නේ මේ අවුරුද්දේ මල් පිපුනොත් ආයේ කොයි අවුරුද්දේ මල් පිපෙයි ද කියලා දන්නේ නෑ. 

සමහරවිට ඊලඟ අවුරුද්දේ පිපෙන්න පුලුවන් එහෙමත් නැත්නම් අවුරුදු දෙකකින් තුනකින් විතර තමා ආයෙම මල් පිපෙන්නේ. මේ මල් ජාතියට මේ නම වැටිලා තියෙන්නේ මේ මල් දැක්කම සතුටු හිතෙනවා කියන හේතුව නිසා. නමුත් අපේ අම්මට නම් මේ මල් පැළය දැක්කම දුකක් හිතෙන්නේ. ඒ කොච්චරවත් සාත්තු කලාට මල් අඩුවෙන් පිපෙන හන්දා. 

මේ මල් පැලයේ මල් පිපෙන්නේ එක පොකුරයි. ඒකේ මල් තුන හතරක් විතර තියෙනවා. වරකට පිපෙන්නේ එක මලයි තව විශේශයක් තියෙනවා. ඒක තමයි මේ මලක් ලඟට මෝල් ගස් දෙකක් දෙපැත්තෙන් ඇල්ලුවාම ඒ මෝල් ගස් දෙක එකිනෙකට ලං වෙනවා. 

මෝල් ගස් දෙක ලාවට අල්ලගෙන කෙලවරවල් දෙක මල ලඟට ලං කලාම ඉබේම ඒ කෙලවරවල් දෙක ලං වෙනවා. ඒකට හේතු වෙන්නේ ස්ථිති විද්‍යුතය කියලා තමයි සමහර අය කියන්නේ. ඒ ගැන නම් වැඩිය දන්නේ නෑ. පහලින් තියෙන්නේ අපේ ගෙදර මල් ගහේ පිපිච්ච දුටු සතුටු මල් වල පින්තූර. පින්තූර ගත්තේ එච්චර හොද කැමරාවකින් නෙමේ හින්දා ෆෝටෝ එච්චර කොලිටි නෑ.

01 July 2011

නමක් හින්දා විඳින වදයක්

දවසක් මම අදුනන යාලුවෙක්ගේ මාමා කෙනෙක් එක්ක කතා කර කර හිටියා. ඒ මනුස්සයාට යමක් කමක් තියෙන හෙනම ශෝ එකට කැමති කෙනෙක් කියන එක කතාබහෙන්ම මට තේරුනා. ඒ නිසා ඒ මනුස්සයාව මුරුංගා අත්තෙ තියලා තමයි කතා කලේ. මොකද ඒ වගේ මිනිස්සු මාරම ආසයි සමාජයේ කැපී පෙනෙන්න. කොහොමහරි කතාව වෙනතක ගිහින් තමුන්ගේ ළමයි ගැන කතාවට ආවා.

ඒ මනුස්සයාත් හෙනම ආඩම්බරයෙන් කියනවා අපේ දූට නම තිබ්බේ අර ප්‍රසිද්ධ මනුස්සයා කියලා. මාත් ඉතින් දුවගේ නම මොකද්ද කියලා ඇහුවා. නම තමයි "විසූකී ජයනිමා". ඒ නම ඇහුවට පස්සේ මට හිතුනෙම ඒ අංකල් ඉල්ලගෙන මාමයිට් ගාගත්තා වගේ කියලා. කොටින්ම නෙගටිව් නමක් නේ.මම ඉතින් ඒ බවක් නොපෙන්නලා

"මාරම ලස්සන නමක් නේ අංකල්. අර ගාථාවකුත් තියෙන්නේ 'නච්ච ගීතවාදිත විසූක දස්සන මාලා ' කියලා" කිව්වා.ඒක කිව්වා විතරයි ඒ අංකල්ගේ මූන හතරැස් උනා. ඇයි යකෝ මං වැරැද්දක් කලායෑ.

"නෑ නෑ පුතා එහෙම නෙමෙයි. විසූකි කියන්නේ විශ්වය වගේ අදහසක්. ජයනිමා කියලා කියන්නේ ජයෙන් නිමා කරනවා කියන එකයි." මාමා කාරයා එහෙම කිව්වම තමයි මටත් වැටහුනේ. යකෝ නමක් දානකොට කියවපු ගමන් නමේ තේරුම පැහැදිලිවෙන විදිහට දාපිය. ඔය ගෙදරම තව දුවෙක් ඉන්නවා. එයා උපන් නැකතේ හැටියට අකුරු ලැබිලා තියෙන්නේ 'ලො' යන්න.

ඒ අංකල්ගේ ගෙදර එකෙක් ලෝ ලෝ ලෝ කියකිය ඉදලා එක පාරටම කියපි "දුවට අපි ලොවමිණි ලෝෂනා දිදුලානි කියලා දාමු " කියලා.නම නම් ලස්සනයි.ඒ උනාට දැන් එක එකා ලොවමි, ලෝ මනි, නෝ මනි, ලොවි කිය කිය විහිලු කරනවා කියලා හෙනම දෝස්මුරයක් දානවා. ඔය වගේ අපේ ගෙවල් පැත්තේ කොල්ලෙක්ගේ උපන් නැකතට නමේ අකුරු විදිහට ලැබිලා තියෙන්නේ "බු" යන්න. ඌ කෙලින්ම 'බුදත්' උනා.

ඔය විද්වතා ලගට අපේ ගෙවල් පැත්තේ කට්ටියක් චූටි ගෑනු ළමයෙක්ට නමක් දාන්න අරගෙන ගිහින් තිබුනා. නැකත් අනුව ලැබිච්ච අකුර 'සු' යන්න ලු. නම දැම්මේ සුනකී කියලාලු. ගෙදර කට්ටිය "මෙන්න මෙහේ වරෙන් ගෑනියේ... !!!" කියලා ගෑනිවත් ඇදගෙන එන්න ආවලු. ඒ නමේ තේරුම සූ + නකී එහෙමත් නැත්නම් ලස්සන නියපොතු වගේ අදහසක් ලු.

"අයියේ, අපේ ෆැකල්ටියේත් පට්ට නමක් තියෙන කෙල්ලෙක් ඉන්නවා බං. එයාගේ නම 'තඹර වර්ණ නයන දර්ශනී'. එල නේ ? කොටින්ම නම කියවපු ගමන් තේරුමත් ගෙඩිය පිටින්ම!!! නෙලුම් මලේ පාට ඇහැට ප්‍රිය දසුනක් !!!!" අපේ මල්ලිගේ කතාව ඇත්ත කියලා මටත් හිතුනා. නමත් සරලයි. තේරුමත් සරලයි.

සමහර දෙමල අයගේ නම් කියන්න ගියාම මාරම කට්ටක් කන්න ඕනේ. දවසක් මම ටියුට් එකක් භාරදෙන්න ගියා. ඒක භාර දෙන්න ඕන අක්කගේ නම කියන්න ගිහින් දිව හතරට පලාගත්තා. ඒ අක්කගේ නම තමයි "රත්නසභාපතිපිල්ලෙයි මතුරලයිනි". නමේ කොයි කෑල්ල කිව්වත් දිව උලුක් වෙනවා.අන්තිමේ මං "මතු අක්කා" ඉන්නවද කියලා තමයි ඇහුවේ. ඒ වෙද්දි දිවට වෙන්න ඕන හරිය වෙලා ඉවරයි.

නමක් උනාම සරල ඒ වගේම ලස්සන තේරුමක් තියෙන එකක් වෙන්න ඕනේ. ඒ වගේම නමේ ලස්සන තව වැඩි වෙන්න හොද දේවල් කරන්නත් අමතක කරන්න හොද නෑ.