30 June 2012

දවසින් ට්‍රිප් යන්ඩ බෑ බං !

පහුගිය මාස හතරෙම මගේ ජීවිතය ගෙවුනේ වැඩපොලයි ගෙදරයි අතරේ. උදෙම්ම වැඩට යනවා හවස් වෙලා ගෙදර එනවා ! පහුවෙනිදා උදේට ආයෙමත් වැඩට යනවා ගෙදර එනවා ! ඕක නිකන් චක්‍රයක් වගේ එක දිගටම මාස හතරක් කැරකුනා !!!

සති අන්තයේ ගෙදර ඉන්නවා තමා. ඒත් මං ගෙදර ඉන්ඩ වැඩිය ආස නෑ. මට එහෙම හිතෙන්නේ පොඩි කාලේ ඉදන් ගෙදරින් පිට ආච්චි අම්මා ගාව හැදුන නිසා වෙන්ඩෑ. ඒ නිසාම මට ඕන උනේ ගෙදරින් පිට කොහේ හරි ගිහින් දවසක් දෙකක් නතර වෙලා ඉන්ඩ !

ට්‍රිප් එකක්වත් සෙට් උනේ නැති නිසා  අපේ මලයට අදහසක් දැම්මා කොහේ හරි ඇවිදින්ඩ යං කියලා. දවස් දෙක තුනක් ගෙදරින් පිට ඉදලා ඇවිදින්න යනවා කියලා කිව්වම මූ ගත් කටටම බෑහ් කිව්වා. මගේ අදහස ලත් තැන ම ලොප් උනා. !

යාළුවෝ කට්ටියක් උනත් සෙට් කරගෙන ට්‍රිප් එකක් යනවනම් සෙට් අඩුම තරමේ මාසෙකටවත් කලින් කියන්ඩ ඕනා. එක එකාට එක එක වැඩ. ඒ නිසා ගෙදර එකාත් එක්ක යන එක ගොඩක්ම ලේසියි. කොහොමින් කොහොමහරි දවස් දෙක තුනේ වැඩේ එක දවසකට අඩු කරලා ට්‍රිප් එක සෙට් කරගත්තා.

යන්ඩ සෙට් උනේ උතුරට !!!

උතුරට කිව්වේ යාල්දේවියෙන් ඕමන්තේ වෙනකන්.
වෙන විදිහකට කියනවනම් යාල්දේවි ගමන් කරන අන්තිම සිල්පර කොටය වෙනකන් ගමන් කරන්න. (එතනින් එහාට බස් එකේ යාපනේ දිහාවේ යන වැඩේ හරි ගියේ නෑ.)

උදෙම්ම කොළඹින් යාල්දේවියට ගොඩ උනා.ගමනට අවශ්‍ය කරන කෑම බීම සේරමත් එහෙම බෑග් වලට දාගෙනම කෝච්චියට නැග්ගා. වැදගත්ම දේ තමා ගමනේ සියළු වියහියදම් සේරම මං ගානේ ! අපේ මලයගෙන් සහභාගිත්වය විතරයි ලැබුනේ !

 යාල්දේවිය උදේ 10 විතර වෙනකොට අනුරාධපුරේ ස්ටේෂමට ආවා. අපෝ එතන සෑහෙන වෙලාවක් නවත්තන් හිටියා. එතකොටම වගේ අපේ බ්ලොග් ලියන අක්කා කෙනෙකුත් මට මතක් උනා. එයාලෑ ගෙදර යන්ඩත් හිතුනට වෙලාව මදි නිසා යන්ඩ උනේ නෑ. උන්දෑ මට කෝල් කලත් එක්ක !!!

 කොහොමින් කොහොමහරි දවල් දොලහාමාර වෙනකොට ඕමන්තේ ස්ටේශමට ආවා. වටේ පිටේ ඇවිද ඇවිද ෆොටෝ ටිකක් එහෙමත් ගත්තා.

පහලින් තියෙන්නේ ඒ පින්තූරු
වලින් ටිකක් !!!

ඔය පහලින් තියෙන්නේ යාල්දේවිය අන්තීමට නැවතිච්ච තැන !


අර ඉහලින් පේන රතුපාට වැට ගාවට ගියහම එතනින් එහාට රේල් පාර නෑ. ඔන්න ඔහොම තමා රේල් පාර දිස් වෙන්නේ.ඉක්මනින්ම රේල් පාර ඉදිවෙලා යාල් දේවිය යාපනේටම යන්ඩ වරම් ලැබෙන්න කියලා පතමු !


රේල් පාරේ කෙලවරේ ඉදලා ඕමන්තේ දුම්රිය ස්ථානය දිස් වෙන විදිහ තමා පහල පින්තූරේ තියෙන්නේ !


ඊට පස්සේ ස්ටේශන් එකෙන් ටිකක්  එළියට ඇවිදින් දන්න දෙමල ටික ඔක්කොම කියලා කඩේකින් බත් පැකට් දෙකක් ගත්තා !!! ඒක අරගෙන එනකොට යාල්දේවි ආයෙම කොළඹ යන්ඩ හදනවා. බත් දෙක අරගෙන ආයෙමත් ස්ටේශන් එකට දුවන් ඇවිදින් කෝච්චියේ එල්ලුනා.

ඊට පස්සේ කෝච්චියේ ඉදන්ම බත් දෙක කාලා දැම්මා !!! ආයෙමත් පුරුදු විදිහට කෝච්චියේ කවුළුවෙන් එලිය බලාගෙන ආවා. ඒ එන ගමන්...

"මෙහෙම ගමන් ගිහින් වැඩක් නෑ බං ! පේනවනේ උදෙම්ම ගියා අනෙක් අතට ආවා !අනිත් පාර දවස් දෙකක්වත් ඉන්ඩ ඕනා ! " මං අපේ මලයට කිව්වා.

ඌත් තේරුං ගත්තා මෙහෙම ට්‍රිප් යන්ඩ බෑ ය කියලා. ඊලඟ මාසේ ත්‍රිකුණාමලේ යන්ඩ ඌව සෙට් කරගන්ඩත් පුලුවන් උනා !!!

 මොනා උනත් ගමන නම් මරු !
ඊටත් වැඩියෙන් දවසක් ගෙදරින් පිට ඉන්ඩ පුලුවන් උන එක නම් මරු !!!! මරේ මරු !!!

26 June 2012

අම්මා කියපු කතාව - අන්තිම කොටස

කතාවේ පළවෙනි කොටස කියෙව්වේ නැත්නම් මෙතන කොටලා කතාව කියවන්න.  

මෙහෙම ගර්භනී කාලය ගත කරන දේවියට දොළදුකක් ඇති වෙනවා. ඒ තමයි රියන් සියයක් දිග මීවදයක් හොයලා ඒ මීවදේ දොලොස් දහසක් භික්ෂුන් වහන්සේලාට දන් දීලා ඉතුරු ටික දේවියට වලඳන්න !

මේ රජතුමාත් දේවියගේ දොළදුක සංසිඳවන්න රියන් සියයක් දිග මීවදයක් ගේනවා. ඒ මීවදය හොයාගන්නේ මීගමුව ප්‍රදේශයෙන් ලූ. (ඒකලූ ඒ ගමට මීගමුව කියලා නම වැටුනේ !)

ඊට පස්සේ දේවිය කැමති විදිහට හාමුදුරුවරු දොලොස් දහසකට දන් දීලා ඉතුරු ටික දේවියත් අනුභව කරලා දේවියගේ දොළ දුක සංසිඳවනවා.

(දොළදුක් කිව්වම මතක් උනේ. ඔය ගෑනු කට්ටියට දොළදුක් ඇති උනාම ඒවා අනිවාර්යෙන්ම සංසිඳවන්න ඕන ලූ. නැත්නම් උපදින ළමයගේ කන් පෙති වණ වෙනවයි කියලා අපේ ගම්වල ගොඩක් කට්ටිය කියනවා මම් අහලා තියෙනවා.)


ඔහොම ටික කාළයක් ගතවෙනකොට විහාරමහා දේවියට තව දොළදුකක් උපන්නාලූ. ඒක කලින් එකට වඩා සංසිඳවන්න ටිකක් අමාරු දොළක් ලූ.  කලින් එකත් ලේසි නෑ තමා. මේක ඊට වඩා අමාරු දොළදුකක් !!

මේකයි දොළදුක !!
ඒ කාලේ ද්‍රවිඩ පාලකයෙක් වෙලා හිටපු එළාර රජතුමාගේ ප්‍රධාන යෝධයා වෙච්ච සාරතීගේ හිස සිඳපු කඩුව උඩ වාඩිවෙලා තිසාවැවෙන් ගෙනාපු නෙළුම් මල් පැළදගෙන තිසා වැවෙන් ස්නානය කරන්ඩ ආසාවක් උපන්නා ලූ.
කොහොමද වැඩේ ??? ලේසි නෑ නේ? රජතුමාත් දහ අතේ කල්පනා කලාලු දේවියගේ මේ දොළ සංසිඳවන්නේ කොහොමෙයි කියලා.
එතකොටම වේළුසුමන යෝධයා මේ වැඩේ බාර ගත්තා ලූ.

බාරගත් විදිහට සාරතීගේ හිස කඩුපාරකින් බිම දාලා ඒ කඩුව ගෙනත් රජතුමාට දුන්නා ලු.ඊට පස්සේ දේවිය කමති වෙච්ච විදිහට දොළදුක සංසිඳෙව්වාලූ. මේ දොළදුක් ගැන නැකැත් කරුවන්ට ආරංචි වෙලා ඒ අය කිව්වාලු මේ දේවියට උපදින්න ඉන්නේ බලසම්පන්න පින්වත් පුත් කුමාරයෙක් ය කියලා.

 එතකොටම විහාරමහාදේවියට මීට කාලෙකට ඉහද අපවත් වෙච්ච සාමණේර නමව සිහිපත් උනා ලූ.ඒත් එක්කම දේවියට හිතුනා ලූ "මේ උපදින්න ඉන්නේ අර සාමණේර නමම තමයි" කියලා.

 දසමාසයකට විතර පස්සේ විහාරමහා දේවිය, පසුකාලීනව සොලීන්ගෙන් රට මුදාගෙන ලංකාව එක්සේසත් කරපු දුටුගැමුණු කියන පුත් කුමාරයාව බිහි කළාලූ !!!

ඔන්න ඕකයි කතාව !!!

-----ඉවරයි-----

ප.ලි. - කතාව දිග වැඩියි කියලා හිතුන නිසා කෑලි කඩලා මම අහගත්ත තරමක් !!! අම්බෝ ආයේ නම් පත හෑල්ලක් හරි ඔහේ ලියලා දානවා.  කෑලි නම් කඩන්නේ නෑ.

25 June 2012

අම්මා කියපු කතාව - පළවෙනි කොටස

අදත් මොනවහරි ලියන්ඩ ඕනේ කියලා හිතුනා. ලියන්නේ මොනවද කියලා කල්පනා කරගෙන යනකොට අපේ අම්මා අපට පොඩි කාලේ කියපු කතාවක් මතක් උනා.

කතාව මේකයි !!

දන්නවනේ විහාරමහා දේවිය. ඔවු ඔවු දුටුගැමුණු රජතුමාගේ අම්මා තමා.මේ කියන්න යන කතාවත් විහාර මහා දේවිය ගැනම තමයි. ඉතින් කාවන්තිස්ස රජතුමා විහාරමහාදේවියව සරණපාවාගෙන ගොඩක් කල් ගත උනත් දේවියට දරුවෝ හිටියේ නෑ ලූ.

ඒ හන්දම මේ දේවිය ගොඩක් දුකෙන්ලු හිටියේ.දවසක් විහාරමහා දේවිය විහාරයට ගියාලු මල් පූජ කරන්ඩ. මල් පූජ කරලා එනකොට මේ දේවියට හාමුදුරු නමක් මුන ගැහුනා ලු. හාමුදුරුවන්ට දන ගහලා වැන්දලු. වැඳලා ඉවර වෙලා මේ හාමුදුරුවොත් එක්ක කතාවට වැටුනාලූ.

"දේවිය ගොඩක් කනගාටුවෙන් වගේ
පේනවා. ඒ මොකද ?" කියලා හාමුදුරුවෝ, දේවියගෙන් අහනවා.

"මට රජ සැප ලැබුනත් වැඩක් නෑ
හාමුදුරුවනේ. මට තාම දරුවෝ නැති එක ගැන කනගාටුවෙන් ජීවත් වෙන්නේ." මේ දේවියත් උත්තර දුන්නා.

ඉතින් මේ හාමුදුරු නම ජෝතිෂ්‍යය ගැන පරතෙරටම ගිය හාමුදුරු නමක් ලූ.  මේ හාමුදුරු නම දේවිය දිහා බලලා කියනවා දේවියට දරු පල තියෙනවැයි සතුටින් ජීවත් වෙන්ඩ කියලා. විහාරමහා දේවියත් මේ කාරණාව අහලා ගොඩක් සතුටු වෙනවා.

 ඊට පස්සේ මේ විහාරමහා දේවිය විහාර ගෙයට ගොඩවෙනකොටම දැක්කාලූ ගොඩාක් අසාධ්‍ය තත්වයේ හිටපු සාමනේර නමක් ! ඉතින් මේ දේවිය සාමනේර නම ලඟට කිට්ටු වෙලා
දන නමලා වැදලා එහෙම,

"ඔබ වහන්සේට ගොඩක් අසාධ්‍ය බව පේනවා !" කියලා කිව්වා.

"මම මගේ සංසාර ගමනේ එක ආත්මයක් අවසාන කරන්ඩ යනවා !" කියලා ඒ සාමනේර නමත් උත්තර දුන්නාලු. මෙන්න මේ වෙලාවේ දේවියට නුවණක් පහල වෙනවා. මේ දේවිය සාමනේර නමගෙන් ඉල්ලීමක් කරනවා තමන්ගේ කුසයේ ඉපදෙන්ඩ කියලා.

දන්නවනේ ජීවයක් හට ගන්ඩ ගන්ධබ්බයෙකුත් ඕනෙයි කියලා.

දේවිය මෙහෙම ඉල්ලුවාට සාමනේර නම එක පාරට කැමති වෙන්නේ නෑ. දේවියත් සෑහෙන වෙලා පෙරැත්ත කරලා අන්තිමේදි සාමනේර නමව කැමති කරව ගන්නවා. ඊට ටික වෙලාවකට පස්සේ මේ සාමනේර නම අපවත් උනා ලූ.

ඊට පස්සේ දේවියත් සතුටින් මාලිගාවට එනවා.කොහොමහරි කාළයක් ගත උනාට පස්සේ දේවිය ගර්භණී වෙනවා. (සතුටුයි නේ )

රජතුමාටත් මේ කාරණාව ඇහුවම ගොඩක් සතුටු හිතෙනවා.

ඊට පස්සේ මොකද උනේ ?? ඒක දැනගන්න නම් ඊලඟ පෝස්ට් එක වෙනකන් ඉන්ඩ වෙනවා.

  ප.ලි. - අදත් කතාව සෑහෙන්ඩ දිග උනා. ඉතුරු ටික ඊලඟ ලිපියෙන් ලියන්නම්. එතකන් රැඳී ඉන්න. කතාව මීට කලින් අහලා තියෙන අය ඉන්නවනම් සද්ද නොකර ඉන්ඩ !!! නැත්නම් ඊළඟ කොටස ලියලත් වැඩක් නැති වෙයි. :)

21 June 2012

කැමති අකමැති

තමන් කැමති දේවල් කරන්නට ඕනෑම කෙනෙක් කැමති ය. එහෙත් හැමවිටම කැමති දේ කරන්නට ලැබෙන්නේ නැත. කැමති දේවල් කිරීමට ලැබීම සතුටක් වන අතර අකමැති දේ කිරීම අකමැති දේ අහන්නට ලැබීම දුකකි.

 එසේම,

 අපි කැමති දේවල් කිරීමට සිද්ධ වෙන කාල සීමාවට වඩා අපි අකමැති දෙයක නිරත වීමට ලැබෙන කාළය වැඩි ය.  දැන් කැමති දෙයක් කරන්නට ලැබුනොත් වැඩි කල් නොගොස් අකමැති දේක නිරත වීමට ලැබේ....

අපි කැමති දේ ලැබෙන්නේ නැත්නම් ලැබෙන දේට කැමති වීම මගේ න්‍යාය වන අතර ඊට හිත හදා ගැනීම ලේසි පහසු කටයුත්තක් නොවේ. අකමැත්තෙන් උවද හිත හදාගන්නට සිදුවී ඇත.

මා කළ රස්සාවද එසේම ය. ආසාවෙන් වැඩ කළ අළුත් අළුත් දේ ඉගෙන ගැනීමට තිබූ කාළය නිම වී ඇත. දැන් ඇත්තේ අකමැතිම දේවල් කිරීමේ කාළයයි. එක රාමුවක කොටු වී වැඩ කිරීමට සිදුවී තිබෙන කාළයයි !!!

සරලව කියනවනම්, මේ දවස්වල රස්සාවට යනවා කියන්නේ මරන්න ගෙනියනවා වගේ. එකම දේ හැමදාම කරන්ඩ වෙලා.ඉගෙන ගන්න දේකුත් නෑ. ආසාවෙන් කරපු කිසිම දෙයක් ආයේ කරන්ඩ ලැබෙන්නේ නෑ. කොටින්ම ඔර්ලෝසුවේ පොඩි කට්ට පහගාවට එනකන් විනාඩි ගැන ගැන ඉන්නේ.



ප.ලි. - ඕක කියන්ඩ තමා මෙච්චර වෙලා වටේ තැලුවේ !!!

17 June 2012

ශබ්දය

 පහුගිය දවසක ගුවන් විදුලි නාලිකා වැඩසටහනක 'ශබ්දය' ගැන කරුණු ටිකක් කිව්වා. ඉතින් මට හිතුනා ඒ ටික පෝස්ට් කරන්න !!

අපට දිවයි තොල් දෙකයි හොලවන්නේ නැතුව මොන භාෂාවකින් කතා කලත් පිටවෙන්නේ එකම ශබ්දයක් ලු. පොඩ්ඩක් උත්සහා කරලා බලන්න !

සුළං හමන දිසාවේ බාධකයක් නැත් නම් සුළඟෙන් කිසිම ශබ්දයක් පිට වෙන්නේ නෑ ලූ.  සුළං හමන ශබ්දයක් ඇහෙනවා නම් අනිවාර්යෙන්ම සුළඟ, බාධකයක ගැටෙන්ඩ ඕන ලූ. (ඇත්ත නේ.)

පූසෙක්ට පුලුවන් ලූ හුස්ම ඉහල පහල දාන ගමන් 'ඥාව් ඥාව්' ගාන්ඩ !!!
(පූසෙක්ගෙන්ම අහලා බලන්ඩ ඕනා)

ඩොල්පීන්ට පුලුවන් ලූ වතුර යටදි කිලෝමීටර් 27ක් දුර තියෙන ශබ්දයක් උනත් අහන්න !!

මට මතක විදිහට ඔය ටික තමා කිව්වේ !

16 June 2012

යෝජිත විවාහ - අවසානය

මුල් කොටස් දෙකම කියවන්ඩ බැරි උනා නම් මෙතන ක්ලික් කරලා කියවන්න. මෙන්න පළවෙනි කොටස ! මෙන්න දෙවෙනි කොටස !

ගෑල්ලමයා රැගත් කාර් එක ප්‍රධාන පාරට හරවනවත් එක්කම වගේ අපිත් බස් හෝල්ට් එකට ආවා.කට්ටියම වැඩිය හාවක් හූවක් නැතුව ගෙදර ආවා.

"ගෑල්ලමයාගේ නම් කිසි වරදක් මට පෙනුන් නෑ. සිරියාවන්ත කෙලි පොඩ්ඩ !!!" මහන්සියට පුටුවේ හාන්සි වෙනගමන් අම්මා කිව්වා.

"මොකද ලොක්කෝ කියන්නේ ?? ගෑල්ලමයට කැමතියි ද ?" එහෙම කියපු අම්මා, මගේ පැත්තට හැරුනා.

 මගෙත් කිසි අකමැත්තක් මේ ගෑල්ලමයා ගැන තිබ්බේ නෑ. මොකද මේ ගෑල්ලමයා රූපයෙන් වගේම කතා බහෙනුත් ගොඩක් තැන්පත් කෙනෙක් නිසා. මුලින්ම කියන්ඩෝන මේ අපේ ගෙදරින් බලපු පළවෙනිම විවහා යෝජනාව නෙමෙයි. ඒ සේරම ගැන ලිව්වා නම් මෙගාවක් ලියතෑකි.

තව දෙයක් තමයි මෙහෙම යෝජනා වලින් බලන හැම කෙල්ලම ගොඩා...ක් ලස්සන අය නෙමෙයි. මම් වගේ දෙකක් මහත ගෑල්ලමයිනුත් ඒ අතර හිටියා !

කොහොමහරි ටික ටික කාලේ ගත උනා. අපිටත් මේ ගමන, තවත් එක ගමනක්ම වෙලා තිබුනා. ඒ අතර එක දවසක් උදේක අම්මට කෝල් එකක් ඇවිත් තිබුනා ඒ ගෙදරින් ඒ ගොල්ලන්ගෙන් අකමැත්තක් නෑ ය කියලා.

 ඒ අවසරයත් එක්ක ටික කාළයක් ගත උනා. ඒ කාලේ නම් කොල්ලට ගොඩක් ෆන් කාළයක් ලු.

ඔන්න ටික දවසකට පස්සේ ඒ ගෙදරින් කෝල් එකක් එනවා.

"අපි අර අහවල් කට්ටිය ! මේ මඟුල කෙරෙන්නෑ.... ඒ ගැන කියන්නයි අපි කතා කලේ ! " කියලා කිව්වා.

ගෙදර කට්ටියටත් හරි පුදුමයි එකපාරට මොකද මේ උනේ කියලා. කෝල් එකෙන් ඇහුවට වැඩි යමකුත් කියලත් නෑ.

"ඔන්න ඕක අල්ලලා දාලා වෙන එකක් බලන්ඩ ඒයි !" අප්පච්චි එහෙම කිව්වා. අප්පච්චි එහෙම කිව්වත් කොල්ලටත් හරි පුදුමයි මොකෑ උනේ කියලා. ටික දවසකට පස්සේ අම්මට පුදුම ආරංචියක් ලැබුනා.

අර ගෑල්ලමයගේ ගෙදරින් අපි ගැන හොයලා තියෙනවා.ඒ අහලා තියෙන්නේ ඒ දවස්වල වැඩ කරපු ගෙදරක කට්ටියක් ගෙන් !!!

"ඒ ගොල්ලන්ගේ තාත්තා අපේ වත්තෙත් වැඩ කරලා තියෙනවා. කොල්ලා නම් ඉගෙන ගෙන ඇති. ඒ උනාට උන් හෙන දුප්පත් කට්ටියක් ! ඔයාලෑ තත්ත්වෙට නම් කොහෙත්ම ගැලපෙන්නේ නෑ .... !" කියලා කියලා තියෙනවාලු.

ඔන්න ඕකයි කතාව !!!

ආදරේ කරලා කසාද බඳිනවා තරම් මේ වැඩ ලේසි නෑ. ආදරේ කරලා කසාද බඳිනකොට  අඩුම තරමේ කෙල්ලගේ කැමැත්ත හරි තියෙනවා. යෝජිත විවාහ වලදී ඒ වාසිය නෑ !!

---  ඉවරයි  ---

11 June 2012

යෝජිත විවාහ - බලන්නට යෑම

මේ කතාවේ පලවෙනි කොටස කට්ටියම බලන්ඩ ඇති නේ.

 ඊට පස්සේ ඒ කොල්ලයි එයාගේ මලයයි පොරකකා ෆොටෝස් බැලුවට පස්සේ දෙන්නම හිතන්නේ අයියට හොයලා තියෙන්නේ මාර ලස්සන කෙල්ලෙක් ය කියලා. උන් දෙන්නම දන්නේ නෑ මේ ඉන්නේ ෆොටෝ සෝප් ගාපු කෙල්ලෙක් ය කියලා සහා මේ ප්‍රොෆයිල් එක කලින් මනාව සකස් කරන ලද ප්‍රොෆයිල් එකක් කියලා !!!

ඒ වෙලාවට තමයි ෆොටෝ සෝප් මෘදුකාංගය හදපු එකාව අමුවෙන්ම කන්ඩ හිතෙන්නේ !!!!

.කලින් කතා කරගත්ත විදිහට අම්මයි අප්පච්චියි ආච්චිඅම්මයි එක්ක මේ කොල්ලත් ජැන්ඩියට ලෑස්ති වෙලා අදාල තැනට කලින්ම යනවා.

මොකද බස් එකේම යන්ඩ එපැයි යාන වාහන තියෙනවයි කියලා එකක් යෑ !! අම්මා නම් කියන්නේ නැති යානවාහන පෙන්නලා කට්ටියට මවාපෑම් කරනවට වඩා තමන්ට තියෙන විදිහෙන්ම එන එක හොදයි කියලා!! මොකද ඔවුවා මාට්ටු උනාට පස්සේ වස නෝන්ඩිය නේ !

 ගෑල්ලමයා එන්ඩ ටික වෙලාවකට කලින්ම මේ කොල්ලයි එයාගේ ගෙදර කට්ටියයි අදාල තැනට එනවා. ඇවිදින් කෙල්ලගේ ගෙදරින් දැන් එයි දැන් එයි කිය කියා බලන් ඉන්නවා. කොල්ලෑ අම්මා නම් මෙලහකට මාපට ඇඟිල්ලෙන් බිම ලොකු වලකුත් හාරලා !!!

ඔන්න එකපාරටම  ටොයොටා යාරිස් වගේ එහෙමත් නැත්නම් මර්සිඩීස් වගේ වාහනයක් මිදුලෙන් නවත්තනවා !!!

ඒ වාහනෙන් මැදිවයසේ ගෑනු කෙනෙකුයි ඒ වයසෙම ඉන්න පිරිමි කෙනෙකුයි ඊටත් පස්සේ පට්ටම සුපිරි ගෑල්ලමයෙකුයි බහිනවා !!!  අපරාදේ කියන්ඩ බෑ ගෑල්ලමයා ඉටිරූපේ වගේ ! මාර ගති !එක පාරක් බැලුවොත් ආයෙම වතාවක් බලන ජාතියේ කෙල්ලෙක් ! හරි චාම් පාට කෙල්ලෙක් !

මේ තුන්දෙනාම එක පෙලට එනකොට කොල්ලට එකපාරටම මතක් වෙන්නේ 'ඩූම් ටූ' චිත්‍රපටියෙ ඓශ්වර්යාත් එක්ක නළුවෝ දෙන්නා එක පෙලට එනවා වගේ !! පසුබිමෙන් අර මියුසික් එකත් ඇහෙනවා ඇහෙනවා වගේ !!!

 "ලොකු පුතේ.... මේ නම් එන්නේ කෙල්ල තමයි !!" කියලා කොල්ලෑ අම්මත් රහසින්ම වගේ කොල්ලට කියනවා. එතකොටම කොල්ලත් යාන්තමට කෙල්ලගේ පාදාන්තයේ ඉදලා කේශාන්තය වෙනකන් බලාගෙන බලාගෙන බලාගෙන එනවා !!

 ඊට පස්සේ කට්ටිය එක එක දේවල් කතා වෙනවා ! කොල්ලගේ රස්සාව ගැන නම් අනිවාර්යෙන්ම අහනවා !!! (ඒකනේ වැදගත්ම දේ )

ඊට පස්සේ කෙල්ලගේ අම්මා "අපි තීරණේ දන්නලා කෝල් එකක් දෙන්නම් !" කියලා යනවා.කොල්ලට නම් ඔය වචන සෙට් එක අහලා පුරුදුයි.මොකද හැම ජොබ් ඉන්ටර්විව් එකකටම පස්සේ ඔය විදිහටම ඔය වචන සෙට් එක කඩ්ඩෙන් කියන නිසා !!!

ඊට පස්සේ කට්ටිය සතුටින් විසිරී යනවා !!

කෙල්ලගේ අම්මා  කැමැත්ත දෙයි ද ? කෙල්ල කැමති වෙයිද ? ඊලඟ ලිපිය සමග රැඳී සිටින්න !!!

09 June 2012

යෝජිත විවාහ

"හෙලෝ.... අපි අහවල් පත්තරේ මංගල දැන්වීමක් දැකලා කතා කරන්නේ...."  කියලා දුරකතන ඇමතුම පටන් ගත්තම ඇමතුමේ එහා පැත්තේ ඉදන් උත්තර දෙන කෙනා "ඔවු අපි තමයි ඒ දැන්වීම දැම්මේ..." කියලා උත්තර දෙනවා.

එතනින් එහාට තමයි කතාවේ හොදම හරිය !!

 ඇමතුම දුන්න කෙනාට මුලින්ම තමන් ඉන්නේ කොහේ ද, පවුලේ කී දෙනා ද, වාසගම මොකද්ද යන ඔය වගේ ඉතාමත් කෙටි අතුරු ප්‍රශ්න පත්තරයකට උත්තර දෙන්ඩ සිද්ධ වෙනවා !!

ඔය වාසගම අහන්නේ නම් තමන් මොන කුලයෙද කියලා දනගන්න ලූ. ලංකාවේ කුල කිහිපයක් තියෙනවා කියලා අපේ අම්මා මට කියලා තියෙනවා. ගොවි, රදා, රදල, කරාව, හාලි, හැල වගේ නානප්‍රකාර කුල තියෙනවා.ඕවා රජකාලේ ඉදන්ම පැවතෙන කුල ලූ. දැන් නම් ඕවෑ වැදගත්කම මොකද්ද කියලා මට නම් තේරෙන්නේ නෑ.


ඊට පස්සේ තමා හරි ප්‍රශ්න පත්තරේට එන්නේ. ඊට පස්සේ අහන්නේ,පුතාගේ නම මොකද්ද, පුතා ඉගෙන ගත්තේ කොහේද,සාමාන්‍ය පෙළ උසස් පෙළ ප්‍රථිපල මොනවද, කොහේ විස්ව විද්යාලයටද ගියේ, මොකද්ද කරපු උපාධිය වගේ ප්‍රශ්න !!

මේවගේ ප්‍රශ්න වලදි නම් කොල්ලගේ අම්මා වනලා උත්තර දෙනවා රම්පෙට පොරි හැලෙන්ඩම !!!

සමහර වෙලාවට අම්මා අප්පච්චි කරන රස්සා ගැන ඇහුවම නම් ටිකක් විතර හිර වෙනවා.ඒ උනාට කොල්ලගේ අම්මා, ලඟ නවලා ගානට කවර් කරලා විකට්ටුව බේරගන්නවා.ඕන යෝකර් එකකට ෆෝවර්ඩ් ඩිෆෙන්ස් පාවිච්චි කරලා විකට්ටුව බේර ගන්ඩ කොල්ලෑ අම්මා දස්සයි.

 ඒවට හරියටම උත්තර දුන්නට පස්සේ අහන්නේ පුතා දැන් වැඩ කරන්නේ කොහේද, කොච්චර කාලයක ඉදන් එහේ වැඩ කරනවද, දැන් ස්ථිරයිද කියලා අහනවා. ඊට පස්සේ කොහොමහරි දත කන්නේ පඩිය කීයක් විතරද කියලා අහන්න. ඒකත් ඇහුවයි කියමුකෝ.

ඉදලා හිටලා සමහර අම්මලා "පුතා ලස්සනද ? සුදුද ? අපේ දුව නම් සුදුයි !!" කියලා කියන අයත් නැතුවම නෙමෙයි.  කොයි අම්මාවත් තමන්ගේ දරුවා කැතයි කියලා කියනවා මම නම් අහලා නෑ.

ඔය අතරේ තමයි ගෑල්ලමයා ගැන යන්තම් හරි විස්තර ටිකක් අහගන්ඩ වෙන්නේ.ඒකත් සමහර වෙලාවට කෑලි කෑලි තමා අහගන්ඩ වෙන්නේ. හරි හමන් විස්තරයක් නෑ.

හැබැයි මොක නැතත් අනිවාර්යෙන්ම කෙල්ලට දෙන දෑවැද්දට තාර බරත් එකතු කරලා කියන්ඩ නම් ඒ අය අමතක කරන්නේ නෑ.

අපේ හැමදේම මෙයාට තමයි ලියලා දෙන්නේ. ගොඩින් මෙතක් විතර මඩින් මේන් මෙතකට වඩා වැඩියෙන්. ගේ දොර ඉඩ කඩම් යාන වාහන ද අරකද මේකද යන විදිහේ යුගල පද සෙට් එකක් අනිවාර්යෙන්ම අහගන්ඩ පුලුවන්.

 ඊට පස්සේ ඒ කට්ටිය අහන ප්‍රශ්නයක් තමයි පුතා ෆේස්බුක් ඉන්නවද කියලා. ඉන්නවා නම්, නම මොකද්ද කියලත් අහනවා.කොල්ලෑ අම්මත් නිකා ඉන්නේ නෑ. පෙරලා අහනවා ඔයාලෑ දුවත් ෆේස්බුක් ඉන්නවද කියලා.

බැරිම වෙලාවකවත් ඉන්නවැයි කිව්වොත් කොල්ලෑ අම්මා කොල්ලට අතින් සංඥා කරනවා කොම්පීතරේ ඔන් කරහන් කියලා.ඊට පස්සේ කොල්ලෑ මල්ලි, කොල්ලට කලින් පුටුවත් පෙරලගෙන කොම්පීතරේ ඔන් කරනවා. උට ඕනේ තමන්ගේ අයියා බඳින්න යන කෙනා ලස්සනද කියලා දැනගන්ඩ.

ඊට පස්සේ දෙගොල්ලන්ට හම්බ වෙන්ඩ දිනයක්, තැනක් එහෙම දාගන්නවා.ඊට පස්සේ දුරකතන ඇමතුම එතනින් නිමා වෙනවා !!!

(කතෝලික කට්ටිය ගොඩක් වෙලාවට කෙලින්ම ගෙදරට එන්ඩ කියන්නේ නෑ. පල්ලියකට වගේ තමා එන්ඩ කියන්නේ. )

ඊට පස්සේ වෙන්නේ මොනවද කියලා ඊලඟ ලිපියෙන් දැන ගමු.  
--------------------------------------------------------------------

ප.ලි. - කතාව ටිකක් විතර දිග වැඩි උනා. මේකත් මැද්දෙන් කැඩුවොත් අපරාදේ නිසා එහෙම කලේ නෑ.

07 June 2012

නැතිවූ ඔරලෝසුව

ඔන්න එකෝමත් එක ගොවියෙක්, දවසක් තමන්ගේ ධාන්‍යාගාරයේ (අටුවේ) වැඩ කර කර ඉන්නකොට එයාගේ අත් ඔරලෝසුව නැති උනා. ඉතින් මේ ගොවියා තමන්ගේ නැති වෙච්ච ඔරලෝසුව හෙව්වා. කොච්චරවත් හෙව්වට ඔරලෝසුව හම්බ උනේ නෑ ලු.

ගොවියටත් මේ ඔරලෝසුව සෑහෙන්ඩ වටිනවා ලු. (අපි හිතමු මේ ඔර්ලෝසුව තමන්ගේ බිරින්දෑ තෑගි දීපු එකක් ය කියලා).ඉතින් මේ ගොවියා අටුවෙන් එලියට ඇවිල්ලා අහල පහල සෙල්ලම් කරපු ළමයි ගාවට ඇවිදින්,

"මගේ ඔර්ලෝසුව අර පේන අටුවෙදි නැති උනා. ඒක හොයලා දෙන කෙනෙක්ට මම වටින තෑග්ගක් දෙනවා" කියලා කිව්වා.

ඉතින් අර සෙල්ලම් කර කර හිටපු ළමයි ටික මූනෙන් මූන බලාගෙන ඉදලා එකෝම එක පොඩි කොල්ලෙක් ඔර්ලෝසුව හොයලා දෙන වැඩේට ඉදිරිපත් උනා.මේ කොල්ලා හැමතැනම හෙව්වත් මේ ඔර්ලෝසුව හම්බ උනේ නෑ.

නමුත් කොල්ලා ගේම අතාරින්ඩ ලෑස්තිත් නෑ.(කොල්ලෝ ඉතින් කෝමත් එහෙමනේ.)

ආයෙත් වතාවක් උත්සහ කරලා බලන්ඩ අවස්ථාවක් ඉල්ලගත්තා. මේ අවස්ථාවෙදි මේ පොඩි කොල්ලා, ඔර්ලෝසුව හොයාගන්නවා. ගොවියටත් සෑහෙන්ඩ සතුටුයි !!!

ඉතින් මේ ගොවියා, තමන් දෙනවා කියපු තෑග්ගත් දීලා අර කොල්ලාගෙන් ඇහුවලු කොහොමද මේ වතාවේ ඔර්ලෝසුව හොයාගත්තේ කියලා.

"මෙදා සැරේ මම් කිසී දෙයක් කලේ නෑ.ටිකක් වෙලා ඔර්ලෝසුවේ ටික් ටික් හඬ අහගෙන ඉදලා ඒ සද්දේ එන පැත්ත හෙවුව එක විතරමයි කලේ !!!" කියලා ඒ පොඩි කොල්ලා උත්තර දුන්නාලු.

ආදර්ශය :

විඩාපත් මනසකට වඩා නිදහස් මනසකට සිතීමේ හැකියාව වැඩි ය. ඔබේ මනසට නිදහස් බව හුරු කරවන්න.

ප.ලි.- ඊ මේල් එකකින් ලැබුන කතාවක් !

02 June 2012

දන්නවද ?

යමෙක්, තමන් නොදන්නා බව නොදන්නේ නම් ඔහු මෝඩයෙකි.
ඔහුගෙන් ඈත් වී සිටින්න.

යමෙක්, තමන් නොදන්නා බව දන්නේ නම්  ඔහු දරුවෙකි.
ඔහුට උගන්වන්න.

යමෙක්, තමන් දන්නා බව නොදන්නේ නම් ඔහු නින්දේ පසු වෙන්නෙකි.
ඔහුව අවදි කරවන්න.

යමෙක්, තමන් දන්නා බව දන්නේ නම් ඔහු බුද්ධිමතෙකි.
ඔහු අනුගමනය කරන්න.


ප.ලි. - අන්තර්ජාලයේ සැරිසරනකොට අහම්බෙන් කියවන්ඩ ලැබුන සිතුවිල්ලක් සිංහලයට පරිවර්තන කලා.

01 June 2012

ගෙවී විසිපස් වසක්...

අදත් සුපුරුදු විදිහට අම්මා උදේ ඇහැරුවාට පස්සේ ඇස් වල නිදි ගැට කඩ කඩ අම්මා හදපු තේ එක බොන්න ආවා. අපේ අම්මා තේ එක දෙන ගමන්.

"සුබ උපන්දිනයක් වේවා ලොකු පුතේ... !!!" කාටත් කලින් ඉස්ස ඉස්සෙල්ලාම අම්මා මට උපන්දිනේට සුබ පැතුවා. එතකොට තමයි යන්තන් පියවි සිහියට ආවේ.

කාලය ගෙවෙන්නේ අපි හිතනවටත් වඩා මහා පුදුම වේගයකින්. මම තව අවුරුද්දකින් වයසට ගියා. හරියට කියනවා නම් අදට මට අවුරුදු විසි පහක් !!

ඒ වගේම තමා මම් මේ බ්ලොග් එක පටන් අරන් අදට අවුරුදු දෙකක් සම්පූර්ණ වෙනවා. ඉතින් මේ අවස්ථා දෙකම අල්ලලා පෝස්ට් එකක් දන්න හිතුනා. උදෙම්ම කරන්ඩ තියෙන වැඩ ටිකට පොඩි විරාමයක් දීලා පෝස්ට් එකක් දැම්මා.

එහෙනම් මම් වැඩ කරන්ඩ යනවා.

සියළු දෙනාට ජය වේවා. !!!


ප.ලි. - ඔන්න සුබ පතන්ඩ ආපු කට්ටියට කන්ඩ කේක් එකකුත් පහලිත් තියලා තියෙන්නේ. කට්ටිය පෝලිමේ ඇවිත් කෑල්ල කෑල්ල කන්ඩලා !!!