14 December 2016

නිමක් නැති අහසේ

නිමක් නැති අහසේ
රුවක් ඇත රහසේ
අදත් නුඹ රිසිසේ
පායපන් පුන් සඳසේ....

රෑ මැඳිරි එලි අතරේ
මල් සුවද දසත පැතිරේ
මට ලගම ඇති පඳුරේ
හින හියන් නුඹ සොඳුරේ...

ප. ලි. - දනාගේ කවි සිතුවිල්ලක්.

13 December 2016

ලංකාවේ ලොකුම නත්තල් ගහ

ලංකාවේ ලොකුම නත්තල් ගහක් හදන්න යනවා කියලා පහුගිය දවස් ටිකේම කතා උනා. ඊට පස්සේ කාදිනල් තුමා මැදිහත් වෙලා ඒ නත්තල් ගහ හදන වැඩේ නතර උනා. ඒ සල්ලි දුප්පතුන් අතරේ බෙදා දෙන්නයි කියලා.

නමුත් සමහරු නම් මේකට කැමති උනේ නෑ.

ඒ අය කිව්වේ මේ නත්තල් ගහ නිසා ඒක බලන්න එන අයට කඩල විකුණන අයිස් ක්‍රීම් විකුණන මිනිස්සුන්ට එයාලගේ ආදායම් මාර්ගය අහිමි වෙනවලු. ඒ වගේම ත්‍රීවිල් මල්ලිලාගේ ආදායමටත් තට්ටු වෙනවලු. ඔය වගේ නානාප්‍රකාර දේවල් පහුගිය දවස් ටිකේම ඇහුනා.

ඔන්න මේ ළඟදි බස් එකේ ගෝල්ෆේස් පාරෙන් යනකොට තමා දැක්කේ ආයේ නත්තල් ගහ හදනවයි කියලා.

පස්සේ පස්සේ බලනකොට තමා දනගත්තේ අගමැතිතුමා මැදිහත් වෙලා කාදිනල් තුමාගෙන් අවසර අරගෙන කියලා... අනේ කාලේ වනේ වාසේ.. !

මේක බාගෙට හදලා ඉවර උනාට පස්සේ නැතුව කලින් කිව්වා නම් සල්ලි වියදම්  වෙන්නේ නැතුව වැඩේ නවත්ත ගන්න තිබ්බා. අනික වැඩේ බාගෙට කරගෙන එනකොට නවත්තනවට වඩා හොඳයි ඉතුරු ටිකත් හදලා ඉවර කරන එක !

අනේ මන්දා.... !

පරාවර්තන

අද පෝය දවසේ ගෙදරට වෙලා කම්මැලිකමේ උන්නා. එතකොට තමා මතක් උනේ කලින් දවසේ පෙන් එකට දාගෙන ආපු සිංහල චිත්‍රපටියක් තියෙනවා නේද කියලා. කම්මලිකම යන්නත්ත්තෙක්ක ඒක දාගෙන බලනකොට අපේ උන්දැත් සෙට් උනා ඒක බලන්ඩ.

දෙන්නත් එක්ක චිත්‍රපටිය බැලුවා.

කතාවේ නම තමයි "පරාවර්තන"!

කාලයකට උඩදී තිරගත වෙච්ච කතාවක්. මට ඊයේ පෙරේදා තමයි චිත්‍රපටිය හම්බ උනේ.

ගොඩක් සම්භාව්‍ය කතාවක් නොවුනට මේක කම්මැලිකමක් නැතුව බලන්ඩ පුලුවන් කතාවක්.

07 December 2016

අද එතැයි හෙට එතැයි

මද නළයි
සුව දැනෙයි
මට බයයි
නුඹ හඩයි.....

අද එතැයි
හෙට එතැයි
මග බලයි
කලබලයි....

හිත පිරෙයි
කළු වරයි
සිසිලසයි
වැහි පොදයි....


ප. ලි. - කාව්‍ය සංකල්පනාව දනාගෙනි.

05 December 2016

පළවෙනි සිතුවිල්ලයි අන්තිම සිතුවිල්ලයි

රෑ නින්දට යනවිට සිතට එන අන්තිම සිතුවිල්ලත් උදේ අවදි වන විට සිතට එන පළමු සිතුවිල්ලත්  ඔබේ ජීවිතයේ දුක හෝ සතුට තීරණය කරයි.

ඔය කියමන මම කොහේදී හරි කියවලා තියෙනවා. ඒ කියමන නම් සහතික ඇත්ත. මට නම් අනන්ත වාර හිතිලා තියෙනවා ඔය කියමන ඇත්තයි කියලා.

සතුට කෙසේ වෙතත් මොකක් හරි හිතේ ප්‍රශ්නයක් තියෙන දවස් වල නම් රෑ නිදා ගන්න යනකොටයි උදේ ඇහැරෙනකොටයි හිතෙන්නෙම ඒ ප්‍රශ්නයමයි.

ඒක අපේ හිතේ ස්වභාවය වෙන්ඩ ඇති.

04 December 2016

මං කැමතිම ලේඛකයා

මීට අවුරුදු කිහිපයකට උඩදී හරියටම කියනවා නම් 2002 - 2003 අවුරුදු වල. එතකොට මම දහයේ පංතියේ හිටියේ. ඒ දවස්වල මායි අපේ මල්ලියි හරි හරියට පොත් කියෙව්වා.

කියවපු පොත් වලින් ගොඩක් පොත්, පරිවර්තන !

ඒ පරිවර්තන වලිනුත් වැඩි හරියක් පරිවර්තනය කරලා තිබුණේ කේ. ජී. කරුණාතිලක මහත්මයා. එතුමාගේ පරිවර්තන කාර්යය ගැන නම් කියලා වැඩක් නෑ.. !

හැම පොතකම වාගේ තියෙන්නේ "අසංක්ෂිප්ත සිංහල පරිවර්තනය" කියලා.

ඔය දවස්වල අපේ මල්ලිලෑ පංතියේ හිටියා චතුරිකා කියලා ගෑල්ලමේක්. එයත් අපි එක්කම වාගේ හරි හරියට පොත් කියෙව්වා. එය ළඟ තිබ්බා "බඹරවිලේ හොල්මන" කියලා පොතක්.

ඒක ලියලා තිබුණේ භද්‍රජී මහින්ද ජයතිලක කියලා මහත්මයෙක්.

පොතේ නමයි කතුවරයාගේ නමයි ටිකක් කටට හුරු මදී. ඒත් ඒ පොත කියවන්න මොකද්දෝ පෙළඹවීමක් මගේ හිතෑතුලෙන් ආපු නිසා මම චතුරිකාගෙන් පොත ඉල්ලගත්තා.

ගෙදර ආපු හැටියෙම වාගේ පොත කියවන්න ගත්තා. අම්මෝ පොත ඉවර වෙනකන් කියවලා මිසක් නතර කරන්න හිතෙන්නේ නෑ. ඒ තරමටම ඒ පොතේ ගලා යෑම මරු.

අනික හැම පරිච්ඡේදයෙන් පරිච්ඡේදයටම මොකක් හරි කුතුහලයක් ඉතුරු වෙනවා. ඒ නිසා එක හුස්මටම පොත කියෙව්වා.

මම පොත කියවලා ඉවර වෙච්ච ගමන් මල්ලිත් ඒ පොත කියෙව්වා. ඔන්න ඔහොම තමා මගේ ජනප්‍රියතම ලේඛකයාව හම්බ උනේ.

03 December 2016

යාළුවෝ

කතාවට නං කියන්නේ "මිතුරු තුමෝ දුක සැප දෙකෙහිම පැවතී, බිතු සිතුවම් රූ මෙන් පිටු නොපාවිතී" කියලා කිව්වට එහෙම යාළුවෝ හම්බ වෙන්නේ අතලොස්සයි. අපරාදේ කියන්ඩ බෑ ඒ අතලොස්ස නම් ඉහටත් උඩින්. සැපේදි වගේම දුකේදිත් ඉන්නවා.

හැබැයි ඉතින් වැඩිමනත් ඉන්නේ අපිටත් නොදැනි අපේ සාක්කුවටත් විදලා මාරු වෙන එවුං !

යාළුවෝ කියන ජාතිය කොච්ච්රවත් උන්නට සමහර යාළුවෝ නං හිටියත් වැඩක් නෑ. උන්ට යාළුවෝ කියනවට වඩා හොඳයි වෙන නමක් කිව්වා නං. ඒ තරමටම එපා කරපු එවුං.

මං මෙහෙම කියන්නේ අපේ සමහර යාළුවෝ ඉන්නවා උන් ඉඳලා ඉදලා කතා කලොත් අනිවාර්යෙන්ම මොකක් නමුත් උදව්වක් බලාපොරොත්තුවෙන් කතා කරන්නේ කියලා  ඉහිං කනිං තේරුම් ගන්ඩ පුලුවන්. ඒ වගේ යාළුවෙක් ඉදලා ඉදලා එකපාරට කතා කරන නිසා ඉල්ල ගන්ඩ ඉන්න උදව්ව කෙලින්ම අහන්ඩත් බෑ බෑ වගේ ඉන්නවා.

ඊට පස්සේ රටේ නැති වර්ණනාවක් දාලා සෑහෙන බටර් ගොඩක් ගාලා ආපු කාරණාවට බහිනවා. ඒ විතරක් යෑ මුන් ඉඳලා ඉඳලා ඉල්ලන උදව්වත් එසේ මෙසේ එකක් නෙමේ. එක්කෝ බරපතල උදව්වක් එහෙමත් නැත්නං බෙල්ල ගහලා යන වැඩක් !

ඒ හන්දා ඒ වගේ එවුන් කතා කරන වෙලාවට ෆෝන් එක කට් කරලා නිකා ඉන්න එක කොයිකටත් හොඳයි.. මේ මම ඉන්නේ !
අන්න ඒවගේ ඉන්ඩ තියෙන්නේ.... :)

බස් වර්ජනය හා අද

දෙසැම්බර් දෙවෙනිදා පටන් ගත්තු බස් වර්ජනය තවමත් හරිහැටි නතර වෙලා නෑ වාගේ. පාරට බැස්සහම වෙනදා දුවන පුද්ගලික බස් දකින්න ලැබෙන්නේ නැති එකෙන්ම ඒ බව තේරුම් ගන්න පුලුවන්.

පුද්ගලික බස් අඩු උනාට ඒ අඩුව යාන්තමින් හරි පුරවන්න ලංගම බස් සේවක සංගමය ලොකු වෙහෙසක් දරනවා. පානදුර ඩිපෝවට අයිති දුර ගමන් සේවා බසුත් කෙටි දුර ධාවනයේ යොදවලා තියෙන්නේ.

ඒ කියන්නේ දුර ගමන් සේවාව නැවතිලා කියන එක නෙමේ. දුර ගමන් සේවා වාර දෙකක් අතර පවතින කාල පරතරය අතරතුර කෙටි දුර ධාවනයකුත් සිදු කරනවා.

හඳුන්කූරු වෙළෙන්දා හා විනෝද සමය

පහුගිය සතියේ ඉරිදා දවසක මායි අපේ තාත්තයි කොළඹ එන්න පානදුරෙන් කෝච්චියට ගොඩ උනා. පානදුරේ ඉදලා මරදාන දක්වා යන මන්දගාමී දුම්රියකටයි අපි ගොඩ උනේ.

ඔන්න ටික වෙලාවකට පස්සේ හඳුන් කූරු විකුණන මනුස්සයෙක් ගොඩ උනා. වෙන මනුස්සයෝ වගේ නෙමේ. මේ මනුස්සයා හඳුන් කූරු විකුණන ගමන් පොඩි පොඩි විනෝද කතා එහෙමත් කියනවා.

සරලව කියනවා නම් ජොලි පොරක් !

මේ මනුස්සයා කියපු එක කතාවක් බ්ලොගයේ අමුණන්න හිතුවා. මෙන්න මේකයි කතාව.

දැන් වගේ නෙමේ, ඒ කාලේ ටැක්සි එහෙම හිඟයි. ඔන්න දවසක් තුන් දෙනෙක් පාරට වෙලා ඉන්නවා ටැක්සියක් එනකන්. ටික වෙලාවකින් ටැක්සියක් ආවා. මේ තුන් දෙනා ටැක්සියට ගොඩ උනා.

ටික වෙලාවකින් ටැක්සි රියදුරාට ඇහෙනවා ලූ.

"මූගේ බෙල්ලට පිහියෙන් ඇනපන් !" කියලා.

තවත් ටික වෙලාවකින්,

"මූ මැරුනේ නැත්තන් බෙල්ල මිරිකපන් !" කියලා.

ඊටත් ටික වෙලාවකට පස්සේ අනිත් එකා කියනවා ලූ,

"අපි මූගේ සල්ලි හොරකම් කරමු. " කියලා.

ගුරුත්වාකර්ශණය හා උස

පහුගිය ටිකේම මම විම්පි කිඩ් පොත් ටික කියෙව්වා මතක ඇතිනේ. ඉතින් ඒ කතා මාලාවේ එක පොතක ග්‍රෙග් ගේ අයියා, ඒ කියන්නේ රොඩ්‍රික් පොඩි පරීක්ෂණයක් කරනවා.

ඒ පරීක්ෂණය කරන්නේ එයාගේ විද්‍යා විෂයේ එක ව්‍යාපෘතියකට.

ඒ පරීක්ෂණය තමා ගුරුත්වාකර්ශණයක් නැති අවකාශයක දී සාමාන්‍ය මනුෂ්‍යයෙකුගේ උස වැඩිවීමක් සිද්ධ වෙනවයි කියලා.

02 December 2016

රැළි නගන

රැළි නගන...
රළ අතර...
පෙණ නගින...
රළු වෙරල....

නුඹේ පයට පැගෙන්න...
රළ මතම ඇවිදින්න..
නිදහසක් විදගන්න...
නුඹේ සිනහ මට දෙන...





ප. ලි. - දනාගෙන් පින්තූරයට කවියක් විශේෂාංගය

බස් වර්ජනය

අද මුළු ලංකාවටම බලපාන විදිහේ පොදු ප්‍රවාහන සේවයේ වැඩ වර්ජනයක්. දන්න සිංහලෙන් තේරෙන විදිහට කිව්වොත් බස් ස්ට්‍රයික් එකක්.

මුලින්ම නම් තිබ්බේ බස් හා දුම්රිය වැඩ වර්ජනයක් කියලා. නමුත් දුම්රිය වර්ජනය තාවකාලිකවම නැවතිලා බස් රථ වර්ජනයක් සිද්ධ උනා.

ඒ නිසාම මටත් වැඩට යන්න සිද්ධ උනේ නෑ. මාත් නිවාඩුවක් දාලා ගෙදර නැවතුනා.

මේ බස් වර්ජනයට හේතු වෙච්ච කාරණය තමා මහාමාර්ග වැරදි 7කට ලබා දීපු අවම දඩය රු. 25,000ක් කිරීම.

මහාමාර්ග වැරදි හත මෙහෙමයි,

1. බීමත්ව රිය පැදවීම
2. වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය කිරීම
3. වලංගු රියදුරු බලපත්‍රයක් නොමැති පුද්ගලයකුට සිය රථය පැදවීමට අවසර දීම
4. අධික වේගය
5. වම් පසින් වාහන පසුකර යාම
6. නොසැලකිලිමත් අයුරින් දුම්රිය හරස් මාර්ග ඔස්සේ රිය පැදවීම
7. රක්ෂණ සහතිකයක් නොමැතිව රිය පැදවීම


ඔන්න ඔය වැරදි හතට තමයි අවම දඩ මුදල රු. 25,000ක් කලේ. මේක අසාධාරණයි කියලා තමා බස් හිමියෝ වැඩ වරන්නේ.

29 November 2016

තනි තරුව

හද පළුව තනි තරුව
නුඹ කොහොම මැව්වාද...

අද හවස එනු කැටුව
පෙර මඟම බැලුවාද...

තනි තරුව නුඹ නැතිව
හිත තවම තනියෙන්ද....

මල් මිටක් අත ඇතිව
හිත ලගම පිපුනේද.....

------------------------------------------------------------------------
ප.ලි. - දනාගේ කවි සංකල්පනාවක්.

27 November 2016

පළාත් වලියක්

මේ දවස්වල බුකිය පුරාම ඇහෙන්න තියෙන්නේ මාතර, නුවර සහ කොළඹ වලියක්. එක පළාතක ප්‍රාදේශීය ජන වහරේ එන වචන කිහිපයක් අල්ලගෙන අනිත් පළාත් වල අය ඒ පළාතට විහිලු කරනවා.. මේ විහිලු අතර අපි කවුරුත් දන්න කිඹුලා බනිස් ගෙඩියට හිමි වෙලා තියෙන්නේ සුවිශේෂි තැනක්.

මාතර අය කිඹුලා බනිසට කියන්නේ "සීනි කුරුල්ලා" කියලා ලු. කොළඹ අය නම් "කිඹුලා බනිස්" කියලා කියනවා ලු. මේ නම් දෙකට අමතරව මම අහලා තියෙනවා කිඹුලා බනිසට සමහර පැති වල අය "වියන් රෝල්" කියලත් කියනවා. ඒ කොයි පලාතෙද කියලා නම් දන්නේ නෑ.

මේ සුන්දර වලියෙන් අපිට එක එක පලාත්වල ප්‍රදේශීය ව්‍යවහාරයන් ටිකක් ඉගෙන ගන්නත් පුලුවන් වෙනවා. ඊටත් වඩා මුන් දාන පෝස්ට් වලට හිනා වෙලාම දවස ගෙවන්නත් පුලුවන්.

මේක සුන්දර වලියක් උනාට කමක් නෑ.. වැඩි දුර ගිහින් එක එක පලාත් වල එක එකා ඇන කොටා ගෙන විරසක වෙන්නේ නැතුව. 

සය වසරක මතක

මේ වෙනකොට මම බ්ලොග් අඩවිය පටන් අරගෙන අවුරුදු හයක් ගෙවිලා ඉවරයි... සෑහෙන ලොකු කාලයක්. එකදිගට මෙච්චර කාලයක් කරගෙන ආපු එකම වැඩේ ද මන්දා. එක දිගටමයි කියලා කිව්වට සමහර කාලවල් වල එකම එක ලිපියක්වත් ලියලා නෑ.

වැඩ වැඩි කම හරි කම්මැලිකම හරි වැඩි වෙච්ච නිසයි ලියන්න බැරි උනේ. ඒත් දැන් නම් පුලු පුලුවන් හැටියට මොන මොනවා හරි ලියන්නයි මගේ කල්පනාව.

බ්ලොග් අඩවියේ ලියවිච්ච තරමක් ලිව්වේ මගේ හිතේ තියෙන විකාර සහා මම ආගිය තැන් වල විස්තර. ඒ ඇරෙන්න දනාගේ කවි වලිනුත් බ්ලොග් අඩවිය අලංකාර උනා. දනා නිසා තමයි මම බ්ලොගයක් හදන්න හිතුවේ. මොකද උන්දෑ එක එක ජාතියේ කවි ලියනවා නෙව. ඒ කවි සේරම එක තැනකට දාන්න තමා මේ බ්ලොග් අඩවිය නිර්මාණය කලේ.

26 November 2016

නොසිතූ ඇබැද්දියකට මුහුණ දුනිමි

ඊයේ දිනය (නොවැම්බර් 25) අපට රාජකාරි නිවාඩු දිනයක් වූ නිසා මා ඇතුළු අපේ කාර්යාලයේ මගේ සගයන් කිහිප දෙනෙක් එකතුවී චාරිකාවක් ගියෙමු. අප ගියේ වැඩි ඈතකට නොවේ. කොළඹ දිස්ත්‍රික්කයේ සුන්දරම කොටස වන අවිස්සාවේල්ල ප්‍රදේශයට ය.

ඒ අවිස්සාවේල්ල ප්‍රදේශය කිට්ටුව ඇති සීතාවක තෙත් කළාපීය උද්භිද උද්‍යානය නැරඹීමට ය. ඒ විස්තර පසුව ඉදිරිපත් කිරීමට මා පොරොන්දු වෙමි. උද්භිද උද්‍යානය නැරභීමෙන් පසු අප සියළුම දෙනා රන්මුදු ඇල්ල නැරඹීමට ගියෙමු.

රබර් යායකට මැදිව සුන්දරව ගලායන රන්මුදු ඇල්ල අතිශයින්ම චමත්කාරජනක දර්ශනයක් අප ඉදිරියේ මවන්නේ ය. අප ඒ චමත්කාරජනක දර්ශනයට සුළු මොහොතක් වශී වී සිටියෙමු.

පිස්සු නාට්ටියක්

පහුගිය දවසක මම අපේ ආච්චි අම්මලෑ දිහෑ ගියා. සති අන්තයේ හවස් වරුවක තමයි එහේ ගියේ. ආච්චි අම්මා ඒ වෙනකොට "ප්‍රේම දඩයම" නාට්ටිය බලනවා. උන්දෑට ඉතින් කරන්න කියලා වැඩක් නැති එකේ ඇබ්බැහි වෙලා වගේ බලනවා.

මාත් ඉතින් ටික වෙලාවක් නාට්ටිය දිහා බලාගෙන හිටියා.

නාට්ටියේ එක් ජවනිකාවක ශිවන්‍යා කියන නාග කන්‍යාවගේ (කන්‍යාවක් කියලා කියන්න බෑ මහිතේ..) තාත්තට වෙඩි වදිනවා.

තාත්තා වෙඩි කාගෙන බිම දිගා වෙනවා. ඒ වෙනකොට මේ ශිවන්‍යා තාත්තා ගාවට ඇවිත් තාත්තව අල්ල ගන්නවා. ඊට පස්සේ මේ ලෝකේ කිසිමදාක නොවූ විරූ අපූරු සිදුවීමක් වෙනවා. ශිවන්‍යා එයාගේ දිව දික් කරලා තාත්තගේ පපුවේ හිර වෙලා තියෙන උණ්ඩය එලියට අරගෙන තාත්තව හොඳ කරනවා.

පිස්සු හැදෙන සඳ කිව්වලු !

20 November 2016

කම්මැලි කොල්ලාගේ කතාව

ජනප්‍රිය කාර්ටූන් නිර්මාණ ශිල්පී Jef Kinney විසින් රචිත  Diary of Wimpy Kid කතා මාළාවේ පොත් දහයක් පහල සබැඳි මගින් බාගත කරගන්න.

පළමු පොත - ඩයර් ඔෆ් විම්පි කිඩ්

දෙවැනි පොත - රොඩ්‍රික් රූල්ස්

තුන්වෙනි පොත - ද ලාස්ට් ස්ට්‍රෝ

හතරවෙනි පොත - ඩෝග් ඩේස්

පස්වෙනි පොත - ද අග්ලි තෘත්

හයවෙනි පොත - කැබින් ෆීවර්

හත්වෙනි පොත - ද තර්ඩ් වීල්

අටවෙනි පොත - හාර්ඩ් ලක්

නමවෙනි පොත - ද ලෝන්ග් හෝල්

දහවෙනි පොත - ඕල්ඩ් ස්කූල්

එහෙනම් මම ගියාවේ... !

පොත් කියැවීම

හෝඩි පොත හැරුනකොට කුඩා කළ මා කියැවූ මතකයේ ඇති පොත වන්නේ "කඩමාලි" ය. කඩමාලි යනුවෙන් හැඳින්වෙන්නේ කුඩා දරුවෙකු විසින් පාසලේ ප්‍රදර්ශනයකට තැබීම සදහා ගෙදරින් ඉවත දමන  ලද රෙදි වලින් සෑදු බෝනික්කෙක් ය. මේ බෝනික්කා දුටු විනිසුරු මඩුල්ල ඒ දරුවාට තරඟයේ ප්‍රථම තෑග්ග ප්‍රධානය කරන ලදී.

කඩමාලිගෙන් පසුව මා විසින් අවුරුදු ඇඳුම, හොඳම පුතා, මඩොල් දූව, තුන් යහළු වික්‍රමය, බස්තියන්ගේ සොහොන ආදී වශයෙන් නොයෙක් සිංහලෙන් ලියවුණු පොත් කියෙව්වෙමි.

ඒ හැරුනු කොට ඉංග්‍රීසි මාධ්‍යයෙන් ලියැවී ඇති පොත් කියවා ඇත්තේ අතලොස්සකි. පාසල් අවධියේදි බ්‍රෑම් ස්ට්‍රෝකර් විසින් රචිත ඩ්‍රැකියුලා පොත කියෙව්වෙමි. එක් පසෙකින් ඉංග්‍රීසි ශබ්ද කෝෂයක් ලඟ තබාගෙන අමාරු වචන වල තේරුම් ශබ්ද කෝෂයෙන් බලමින් මා එම පොත කියෙව්වේ ඩ්‍රැකියුලා කතා මාලාවට ඇති ආශාව නිසාම ය. ඉංග්‍රීසි සාහිත්‍යය විෂය සඳහා මඩොල් දූව පොතේ ඉංග්‍රීසි පරිවර්තනයත් මා විසින් කියවා ඇති ඉංග්‍රීසි මාධ්‍යය පොත් වේ.

ඒ හැරෙන්නට මා විසින් ඉංග්‍රිසියෙන් ලියැවී ඇති කතා පොත් කියවා නැත. ඉංග්‍රීසි පොතක් ලැබුනද එහි ඇති "අමාරු වචන" නිසාම කියවීම සදහා මා තුළ කිසියම් අලස ගතියක් ජනිත කරවී ය.

නමුත් මා ඉංග්‍රීසි පොත පතද කියවිය යුතු ය.

19 November 2016

ඉන්දීය සිනමාව හා ලාංකීය ප්‍රේක්ශකයා

මා දන්නා පරිදි ශ්‍රි ලංකාවේ මුලින්ම විකාශන වූ ඉන්දියානු නාට්‍යය උනේ "ශාන්ති" නාට්‍යයයි. එහි  මන්දිරා බේඩි නම් වූ ඉන්දීය නිළිය ශාන්ති ලෙස රංගනයෙන් දායක විය.  ශාන්ති ටෙලි නාට්‍යයෙන් පටන් ගත් ඉන්දීය ටෙලි සිනමාව ශ්‍රී ලාංකීය රූපවාහිනිය තුළ දළු ලා වැඩුනා යැයි පැවසීම අතිශයෝක්තියක් නොවේ.

ඉන් පසුව කලින් කලට විවිධ ඉන්දීය නිර්මාණ ශ්‍රී ලාංකීය ප්‍රේක්ශකයා හමුවේ දිග හැරුණි. ඉන්දීය ටෙලි සිනමාව පිළිලයක් මෙන් ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂක සිත්තුල ලියැලීම දුටු එවකට තිබූ රජය විදේශීය සිනමා නිර්මාණ සදහා විකාශන බද්දක් පැනවීය. මේ නිසා බොහෝ නාලිකා විදේශීය නිර්මාණ විකාශනය කිරීම අත්හැර දමන ලදී. නමුත් සමහර නාළිකා මේ බද්ද ගෙවා විදේශීය නිර්මාණ විශේෂයෙන් ඉන්දීයානු නිර්මාණ විකාශනය කරන ලදී. තමන් විශාල බදු මුදලකට යටත්ව මේ නිර්මාණ පෙන්වන බව ප්‍රේක්ශකයාට දැන්වීම සදහා වරින් වර රූපවාහිනි තිරය මත "මේ නිර්මාණය සදහා මෙපමණ රජයේ බදු මුදලක් අප විසින් ගෙවා ඇත." යනුවෙන් දිස්වීමට සලස්වයි.

17 November 2016

කවි සංවාද

දනාගේ මිහිරි නද මැද කවි පන්තියට ඔහුගේ යෙහෙළියෝ පිළිතුරු කවි ලීවෝය. ඒ හැම කවි සිතුවිල්ලකටම දනා පිළිතුරු කවියක් ද ලීවේය. ඔහු හා ඔහුගේ යෙහෙළියන් අතර ඇතිවූ කවි දෙබස  පහතින් දක්වා ඇත.

දිනූෂා නවරත්නගේ කවිය.

නුවන් පෙම් බැඳි...
නදින් හඳ රැඳි....
හදේ රුව ඇඳි....
මල සොයනු සකි....


දිනූෂාගේ කවියට දනාගේ පිළිතුරු කවිය.

මලට පෙම් බැඳි..
බඹරු නෙක ඇති...
නමුත් නොදනිති
හිරුගේ නිමැවුම....

මිහිරි නද මැද

නුවන් පෙම් බැඳි
පිපුණු කුසුම ද
අදත් යන මග පිබිදුනේ

සවන් පිනවන
මිහිරි නද මැද
අදත් සවනත පිනවුයේ

මෙවන් මිහිරක්
ගෙනෙන කවියද
අදත් නුඹ මේ ගොතනුයේ

--------------------------------------------------------------------------------
ප. ලි. - ධනංජය චන්ද්‍රසේකරගේ (දනාගේ) කාව්‍ය සංකල්පනාවක්

16 November 2016

ගි කියන්න නුඹ නමින්

තරුත් නැති අහසේ
කලුවරයි අද රිසිසේ
සඳකි නුඹ අහසේ
පායා එන්න රිසිසේ

කවුලු පියන් හැර තබන්න
නුඹ අවුදින් අත වනන්න
මට රහසින් පියාඹන්න
පියා පතක් තබා යන්න

රැහැයි නඳත් එයි සැනින්
හමන සුළං සිසිලසින්
මටම මිහිරි පද වලින්
ගි කියන්න නුඹ නමින්

----------------------------------------------------------------------------------
ප.ලි. - දනාගේ කවි සිතුවිල්ලක්.

11 November 2016

ගෙවල් හැදිල්ල

ගෙවල් හදනවා කියන්නේ ලොකු වලක් කපලා ඒ වලට සල්ලි දානවා වගේ වැඩක්. කොච්චර සල්ලි වියදම් කලත් මදි.

මාත් පොඩිවට ගේ කෑල්ලක් හදන්න පටන් ගත්තා. මේ අවුරුද්දේ ජනවාරි 8 වෙනිදා තමා සුබ නකතින් ගෙපැල කපන්න පටන් ගත්තේ. මේ වෙනකොට ටිකෙන් ටික වැඩ කරලා ගෙයි සම්පූර්ණයෙන්ම වාගේ වැඩ ඉවරයි.

අන්තිමේදී ෆිනිෂින් වහලෙකුත් ගැහැව්වා.

අම්බෝ ඒකට තමා ලොකුම වියදම ගියේ. ලීවලට සෑහෙන ගානක් ගියා. ඉතුරු වියදම් සේරම ගියේ පේන්ට් බඩු වලටයි ෂීට් වලටයි.

ලී වලට යන වියදමයි ෂීට් වලට යන වියදමයි ඇරුනහම ලොකුම වියදම ගියේ බාස් කුලියට. අපේ පැත්තේ බාස් කෙනෙක් වහලේ වර්ග අඩියකට රුපියල් 110ක් ගන්නවා.

ඔය වැඩ සේරම ටික ඉවර වෙනකොට මම පොඩි ණය කාරයෙක් වෙලා. ඒත් ඉතින් කමන් නෑ... ගෙයි වැඩ ගොඩක් කෙරුණා නෙව.

මගේ මහන්සියෙන්ම ගොඩනගපු ගේ නේද කියලා හිතෙනකොට හිතේ ලොකු සතුටක් දැනෙනවා.

මේ අවුරුද්ද ඉවර වෙන්ඩ කලියෙන්ම කාමර කෑල්ලක් හදාගෙන පදිංචියට යන්ඩ ඉන්නේ.

කුලී ගේක ඉන්නවට වඩා තමන්ගේම ගේක ඉන්න එක කොච්චර නම් සැපක් ද ?

බදු ගෙවමු රට හදමු

ටික දවසකට පස්සේ බ්ලොග් අඩවිය පැත්තේ එන්න හිතුනා. අළුත් තැනක රස්සාව පටන් ගත්තු නිසා පහුගිය දවස් ටිකේම අළුත් තැනට හුරු වෙන්න සිද්ද උනා. අළුත් පරිගණක භාෂාවක් එක්ක වැඩ කරන්න සිද්ධ වෙච්ච නිසා ඒකට හුරු වෙන්නත් පහුගිය දවස් ටිකේම ටිකක් මහන්සි වෙන්න සිද්ධ උනා.

දැන් නං ටිකක් නිදහස් !

කම්මැලිකම යන්නත්තෙක්ක මූණු පොතට ගොඩ උනාම තමා දැක්කේ මෙදා අයවැයේ රඟේ. ආයේ ඉතින් අන්තර්ජාලෙට ගොඩ වෙන්නත් ලොකු බද්ධක් ගෙවන්ඩ සිද්ද වෙනවා !

වෙන රටවල් වල නං මිනිස්සුන්ව තාක්ෂණයට මුහු කරන්න ඕන කියලා ඒ වගේ දේවල් වලට ගහන බද්ද අඩු කරලා දෙනවා. ඒකට අපේ රටේ !

මේ ආණ්ඩුව බදු වලින්ම ගේම ගහන්න හදන බවක් තමා පේන්න තියෙන්නේ. රේඩියෝ එකේ ගුවන්විදුලි සංස්ථාවේ නාලිකා හැම එකකම වාගේ විඩින් විඩේ කියන්නෙම "බදු ගෙවමු රට හදමු " කියලා

මිනිස්සු නම් බදු ගෙවයි... රට හැදෙන එක ගැන තමා ප්‍රශ්නේ !

16 October 2016

සඳවතිය පායන්න

කළුවර ට අත වනන
දම්පාට හැන්දෑව
හිරු තවම හිඳිනවද ?
ළඟ පෙනෙන මානයක

කළුවරයි අද බෝම
තරු පිපුනේ නැතුවා ද ?
අද අහස අඳුරේම

කළුවරට තරු කුමකට
අඳුර දුරලන්ට
සඳවතිය පායන්න
තනිකමක් මට කොහි ද ?



කාව්‍ය සංකල්පනාව දනාගෙනි.


දනාගේ මේ කවි පංතිය කියෙව්වහම මට මතක් උනේ අලගියවැන්න මුකවැටි තුමාගේ සුභාෂිතයේ එන කවියක්. ඒකත් පහලින් ලියා තබන්නම්.

පින්මද පුතුන් සියයක් ලඳුවත් නිසරු
ගුණනැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු
එක පුන් සඳින් දුරු වෙල් ලොව ගණදුරු
නෙක තරු රැසින් එලෙසට නොම වේය දුරු

12 October 2016

සුදු නෙළුම

පිවිතුරු ය සුදු නෙළුම
මං ලගම පිපුනාම ...
බඹරුන් ට හිත බෝම
නුඹේ සිරිය දුටුවාම....

හිරු ඇවිත් හැමදාම
නුඹ සෙව්වා නොකියාම...
විල මතින් පිපුනේම
පුර සඳක් විලසින්ම ....

නුබඹ ඇවිත් ගියදාම
මුලු අහස අදුරේම ....
පැතුම් මල් පරවීම
හිරැ හඩයි හැමදාම....


---------------------------------------------------------------------------
ප.ලි. - දනාගේ කවි සිතුවිල්ලක්.


07 October 2016

වැහි ලිහිණි

මල හිරුට
පෙම් බඳින
වැහි ලිහිණි
දැක ගන්න

නුබ ඇවිත්
හිඳිනවද
දුර පෙනෙන
මානයක

සමුදි ම සමුගැන්ම
මට හොදින්
දැකගන්න
අද ඇවිත් ලඟ ඉන්න
තවමත්ම හිත කියන....

-------------------------------------------------------------------------
ප. ලි. - දනාගේ සංකල්පනාවක්.

30 September 2016

පුංචි සමනළී....

කන්නගී, ඇගේ ස්වාමි පුරුෂයා කෝවලන් සමග කාවේරි පටුනේ සතුටින් කාළය ගත කළා ය. ඔවුන් දෙදෙනාගේ ආලයට වසරක් ගතවන දින ම ඉන්ද්‍ර දෙවියන් සදහා පවත්වන උත්සවය ද යෙදී තිබුණි.

ඒ සමගම තවත් එක් විශේෂ සිදුවීමක් සිදුවුණි. ඒ චිත්‍රාපතියගේ දුව මාධවී කුමරිය රටේ නෘත්‍යරාජිනිය ලෙස කිරුළ පළඳ වීමේ උත්සවයත් එදිනම යෙදී තිබුණි.

මෙ උත්සවයට සහභාගී වීමට කෝවලන් ද රජ මැදුරට ගියේ ය. එහිදී මාධවීගේ නර්තනයන් දැක කෝවලන් ඈට වශී විය.

අභිශේක මංගල්ලයෙන් පසුව යෙදුනේ මාධවීගේ ස්වාමි පුරුෂයා තෝරා ගැනීමේ අවස්ථාවය්. අහඹු සිදුවීමකින් මාධවී, කෝවලන්ව තම ස්වාමි පුරුෂයා ලෙස තෝරා ගත්තා ය. ඈ ඔහු සමග මාස 7කුත් දින හතක දීර්ඝ මධුසමයක් ගත කළා ය.

ඉන් අනතුරුව නෘත්‍ය රාජනිය තම සේවාදායකයින් පිනවීමේ කර්තව්‍යය සදහා කල් ගත කළා ය. එය නොරිස්සූ කෝවලන් ඈව අමතක කර නැවතත් කන්නගී සොයා ආවේ ය. කන්නගී, තම ස්වාමි පුරුෂයා නැවත පැමිණීමේ සතුටින් ඉපිලී ඔහුව පිළි ගත්තා ය.

ඉන් අනතුරුව ඔවුන් කාවේරී පටුන අතහැර පඬි රටට ගමන් කිරීමට ඉටා ගත්තෝ ය. ඒ යන ගමනේ දී ඔවුන්ට මාධවී මුන ගැසිනි. මේ වන විට මාධවී ගැබිනියක් ව සිටි නිසා ඈව නෘත්‍ය රාජිනී පදවියෙන් නෙරපා හැර තිබුණා ය.

25 September 2016

අදුරු රැය

අදුරු රැය සොදුරු නැත
හිස් අහස එලිය වෙද
රැහැයි නද පිරුණු තැන
සවනතට මිහිරි නැත

මද පවන හමන විට
සිසිලසක් දැවටුන ද
එකද තරැවක් නැතිව
අදුරෙම අද අහස......


ප. ලි. - සාහිත්‍යය මාසය වෙනුවෙන් දනාගෙන් සංකල්පනාවක්.

හිරු බට නිම්නය කොත්මලේ

සෑහෙන කාලයකට පස්සේ හොඳ පොතක් කියවන්න ලැබුණා. මේ පොත ලියලා තියෙන්නේ පේරාදෙණි සරසවියේ මහාචාර්ය වරයෙක්ව කටයුතු කරපු අනුරාධ සෙනෙවිරත්න මහත්මයා.

එතුමා කොත්මලේ ගැන කරපු පර්යේශණ වලින් තමයි මේ පොත ලියලා තියෙන්නේ. කොත්මලේජන ජීවිතය ගැන, කොත්මලේ ආගමික පසුබිම ගැන වගේ විවිධ පැති කිහිපයක් ගැන මේ පොතේ සදහන් වෙනවා.

පොතේ තිබුන ජනප්‍රවාද කතාවක පොඩි කොටසක් පහලින් ලියලා තියෙනවා.

15 September 2016

තාත්තාගේ බයිසිකල් හීනය

මම දන්න කාලෙක ඉදලා අපේ තාත්තට තිබුනේ පුට් සයිකලයක්. උන්දෑ ඒ සයිකලෙන් තමා හම වැඩේටම ගියේ. හමදාම වැඩට යන්නෙත්, හන්දියට යන්නෙත් එහෙම නැත්තං යාළුවෙක් හම්බ වෙන්න යන්නෙත් ඔය බයිසිකලෙන්ම තමයි.

ඔහොම වැඩ කරගෙන කාලයක් යනකොට අපේ තාත්තට ආසාවක් ආවා මෝටර් සයිකලයක් ගන්න. කාලයක් තිස්සේ ඒ මෝටර් සයිකලය ගන්න සල්ලි එකතු කලා. ඒ විතරක් නම් මදෑ, උන්දෑ වැඩ ඇරිලා එනකොට පාරේ යන මෝටර් සයිකල් දිහෑ ගොඩ වෙලා බලාගෙන ඉන්නවා.

සමහරක් දාට ගෙදර ඇවිත් අපේ අම්මට කියනවා,

"බලනවකෝ ඒයි ! දැන් ගෑනුත් බයිසිකල් පදිනවා. මට විතරයි බයිසිකලයක් නැත්තේ !" කියලා.

එහෙම කිව්වහම,

"අපිත් බයිසිකලයක් ගම්මු." කියලා අපේ අම්මා කියනවා.

12 September 2016

නුබලාගේ වහල්භාවය

නුබලාගේ වහල්භාවය
නුබලාට ආඩම්බරයක් නම්,
නුබලාගේ ගෙලවලට
බැඳි දම්වැල්....
නුබලාට ලස්සන නම්,
ඒ නුබලා ආඩම්බරයෙන්
පළදින දම්වැල්....
ගලවා ඉවත් කිරීමට
උත්සහා කිරීම......
නුබලාගේ නොව
මගේ වරදකි...

-ඇන්ටන් චෙකොෆ්-

--------------------------------------------------------------------
ප.ලි. - බිත්තියේ එල්ලලා තිබුන කැලැන්ඩරයේ තිබුන සටහනක්.. හොදයි කියලා හිතුන නිසා බ්ලොග් එකේ පොඩි සටහනක් දැම්මා.

15 August 2016

නුඹ ඇවිත්

හිනැහෙන්න හිතෙනවා
මල මතම රැදෙනවා
රැහැයි නද මග හැරම
නුඹ ඇවිත් කොදුරනා....


- දනාගේ කාව්‍ය සංකල්පනාවක්

30 July 2016

අරුග්ගොඩ වෙල් යාය

මා පානදුර කුඩා අරුග්ගොඩට ආ දා පටන් මා සිත් ගත් ස්ථාන කිහිපයක් වෙයි. ඒ අතරින් බොල්ගොඩ ගඟේ රුක්ගහ තොටුපොළ ප්‍රධාන තැනක් ගනියි. ඒ ගැන මා පෙර ලිපියකින් සදහන් කර ඇත.

රුක් ගහ තොටුපොළ හැරුණ විට මා සිත් ගත් අනෙක් ස්ථානය වන්නේ අරුග්ගොඩ වෙල් යායයි. නිලට නිලේ දිස්වන වෙල්යාය දෙස කෙතරම් වෙලාවක් බලා සිටියත් මා සිතට මදි ය. ඒ තරම් මා සිත්ගත් ස්ථානයකි.

වෙල් යාය මැදින් කුඩා දිය පහරක් වෙති. එහි කුඩා තිත්තයින් ද පෙතියන් ද දණ්ඩි කොරලි වැනි කුඩා මත්සයින් ද වෙති. දොල පහරේ ඔහේ පිහිනන ඔවුන් දෙස මා බලා සිටින්නේ ඉමහත් ආශාවකිනි.

එසේම දොළ පහරට මදක් ඔබ්බෙන් කුඩා පැළක්ද වෙයි. දහවල් ගිනි රශ්මියේ වැඩ කරන ගොවීන්ගේ විඩාව මදක් සංසිදුවන තැනකි මේ, පැල. එසේම ඔවුන් දහවල් ඇඹුල භුක්ති විඳින ස්ථානය ද මෙයම වෙති. මේ පැලට ගොඩ වී මා ද මද වෙලාවක් ගත කරන්නත් අමතක නොකරමි.

29 July 2016

මා ආරාධිතයෙකු වූයෙමි

අදින් සති කිහිපයකට පෙර මගේ දුරකතනයට නුපුරුදු අංකයකින් ඇමතුමක් ලැබුණි. "මේ කාගේ අංකයද මන්දා" යන සිතුවිල්ලෙන් දුරකතන අමතුම ගත්තෙමි.

"හෙලෝ චින්තක, මම සෙබස්තියන් විද්‍යාලයේ විදුහල්පති තුමා කතා කරන්නේ...." යැයි එහා කෙලවරින් පිලිතුරු ලැබුණි.

ඈ..විදුහල්පතිතුමා !!!

සර් මොකෝ මට කතා කරන්නේ ? ඇරත් සර් කොහොමද මගේ අංකය දන්නේ ?  මා සිත තුල ප්‍රශ්ණයක් මතු වුණි.

"ඔවු සර්." මම පිලිතුරු දුණිමි.

"චින්තක, අපේ ඉස්කෝලේ තෑගි බෙදාදීමේ උත්සවයක් පවත්වනවා. ඒකට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මම ඔයාට ආරාධනා කරන්නයි කතා කලේ" ඔහු නැවතත් හඬ අවදි කළේ ය.

"කවදද සර් උත්සවේ තියෙන්නේ ?" මම පෙරලා ප්‍රශ්න කළෙමි.

"ජූලි 29 වෙනිදා.උදේ 10.30ට තියෙන්නේ. මම ආරාධනා ප්‍රත්‍රය එවන්නම්. ඔයාට එන්න පුලුවන් නේ ද ?" ඔහුත් මගෙන් පැණයක් විමසුවේ ය.

"ඔවු සර් පුලුවන්.. !" විදුහලේ විදුහල්පති තුමාගේ ඉල්ලීමට මම අවනත වුනිමි.

ශා. සෙබස්තියන් විද්‍යාලය කියන්නේ මා පුරා වසර එකොලහක් අධ්‍යාපනය ලද විද්‍යාලයයි. ඉතින් එවැනි විද්‍යාලයක උත්සවයක ආරාධිත අමුත්තාගේ තැන ලැබීම මා හීනෙකින්වත් සිතූවක් නොවේ.

නමුත් අද ඒ දේ සිදුවී ඇත ! ඒ දිනය අදයි !

මා සිතේ සියුම් චකිතයක් ද මතුවේ. ඒ මෙවැනි ආරාධනයක් මා ලද පළමු අවස්ථාව නිසා විය යුතු ය. මා ආරාධනා පත්‍රයේ සදහන් වේලාවටම විදුහලේ ප්‍රධාන ගේට්ටුව අසලට ගියෙමි.

පාසල් ළමුන්ගෙන් සැදුම්ලත් බෑන්ඩ් කණ්ඩායමක් මා ඉදිරියේ දිස් වූයේය. එසේම මා පිළිගැනීමට බුලත් අතක්ද අතැතිව තවත් ළමෝ දෙදෙනෙක් විය. ඔවුන්ගේ වැදුම් පිදුම් වලට අනතුරුව මා පෙරහැරින් උත්සව ශාලාව කරා ගියෙමි.

28 July 2016

ජයග්‍රහණය.......

ගසක් සරු ලෙස වැඩීමට...
පොහොර යොදන්නා සේ.....
ජයග්‍රහණය උදෙසා...
පරාජයන් උපයෝගී කර ගත යුතුය අප.....

පරාජයන් අභිමුවෙහි නොසැලෙමින්...
ජයග්‍රහණය ලැබීමට නම්.....
අවදානම් දරමින්...
සාර්ථකත්වය ලබා ගත යුතුය අප.....


කාව්‍ය සංකල්පනාව
 - ප්‍රියංජලී මංගලිකා

පියාණනි.......

හිරු සදිසි නිවසේ...
දුන් එළිය නිබඳේ...
සියලු දුක් සතොසේ...
දැරූ හැටි අප සැමට රහසේ.......

මහමෙරක් උසයි
දරු පෙම සිත පතුලේ...
රැකු හැටි අපව
දී හැම සැප සිත සතොසේ...
විඳිමින් සතුට දුක තනිවම
හද රහසේ...
හැඬුවා හිනැහුණා සැමටම
හොර රහසේ.......

දණ ගාමින් සිටි මට අත දුන් සැටි
මතකයි තාමත් පියාණනි....
ගුරු හරුකම් හැම දුන්නා නිබඳව
මතකයි තාමත් පියාණනි....
මහලුව බැරි උනදා ඔබ මා
රැකගමි සතුටින් පියාණනි....
පතනෙමි සැමදා නිරෝගි සම්පත
අාදරබර මගෙ පියාණනි....


කාව්‍ය සංකල්පනාව

 - ප්‍රියංජලී මංගලිකා

18 July 2016

මග බලමි මා

කුමකටද හිරු අහසට....
සද එලිය වැටුනාම...
කොහිද තනිකමක් තරුවට...
සදවතිය දුටුවාම....

පායන්න නුඹ නිතර....
මුලු අහස බබලන්න....
මග බලමි මා නිතර....
පිපි කුසුම දැක ගන්න...


දනාගේ කවි සංකල්පනාවක්.

13 July 2016

බොල්ගොඩ ගඟේ රුක්ගහ තොටුපොළ

කලින් ලියපු බ්ලොග් ලිපියක මම කියපු විදිහට පානදුර කියන්නේ මගේ ජීවිතේ ඉතුරු කාළය ගෙවන්න තෝරගත්තු නගරය කියලා. පානදුරේ කිව්වට පානදුරේ ටවුමෙම නෙමේ. පානදුරේ ටවුමේ ඉදලා හොරණ පානදුරේ පාරේ කිලෝ මීටර් 4ක් ගිය තැන කුරුස හන්දිය හම්බ වෙනවා.කුරුස හන්දියේ ඉදලා රුක්ගහ තොටුපොල පාරේ කුඩා අරුග්ගොඩ කියන ගමේ තමයි ඉදිරි කාලය මම ජීවත් වෙන්නේ.

මේ හන්දියට, කුරුස හන්දිය කියලා කියන්නේ පාර අයිනේ පිහිටවලා තියෙන කුරුසයක් නිසා. මේ කුරුසය පිහිටුවලා තියෙන්නේ තුම්මන් හන්දියක. මේ තුම්මන් හන්දියට සම්බන්ධ වෙන අනිත් පාර තමයි රුක් ගහ තොටුපොල පාර.


රුක්ගහ තොටුපොල පාරෙන් කිලෝ මීටරයක් විතර ගිය තැන හම්බ වෙනවා අරුග්ගොඩ පල්ලිය. මේ පල්ලියට යන පාර දන්වන්න තමා කුරුස හන්දියේ කුරුසය පිහිටුවලා තියෙන්නේ.

03 July 2016

කළු වර අහසේ

කළු වර අහසේ....
දිලිසෙන තරු එක පොකුරට....
තරු රහසේ...
තනි තනිවම දුර ඇතට.....

දනාගේ කවි සංකල්පනාවක්

30 June 2016

උත්සාහය......

දිරි වඩව්... දිරි වඩව්...
සාර්ථක දිවියකට......

දරුවනේ සිතාපන්...
මව්පියන්ගේ සුසුම්......
සිතට ගෙන...
මතු දිනෙක ජය ගන්න......

සිප් සතර ලැබගන්න...
උත්සාහ දරාපන්......
අලසකම් දුරලමින්...
ඉගෙනීම ජය ගන්න......

දිරි වඩව්... දිරි වඩව්...
සාර්ථක දිවියකට......

කාව්‍ය සංකල්පනාව ප්‍රියංජලී මංගලිකාගෙනි.

දුප්පත්කම....

මුදල අවැසිය මිනිසුනට...
සැබැවින් ම......
එනමුදු මිනිස්කම...
ඒ මුදල තරමටම අගනේය......

මුදල් හිඟ පමණින් ම මිනිසා...
දුප්පතකු වන්නේ නැත......
අැතැම් විට ඔහු නිරෝගී මිනිසකුය...
ඔහුට දිනිය හැකිය ජීවිතය......

කෙනෙකු දුප්පත් වූ පමණින් ම ඔහු...
අන්ත අසරණයෙකු ද නොවේ......
ඔහු සතුටින් දිවි ගෙවනවා විය නොහැකිද?...
සැබෑ ධනවතා අසතුටින් දිවි ගෙවනවා විය නොහැකිද?......

මිනිසුනේ... දිරි වඩව්...
අපට හිමි දෑතින් ජය ලබන්නට......
රට නඟන්නට...
දුප්පත්කම හමුවේ......

කාව්‍ය සංකල්පනාව ප්‍රියංජලී මංගලිකාගෙනි.

බලාපොරොත්තුව....

සැබැවින්ම...
අරමුණක් අවැසිය දිවියට....
නැතහොත්...
දිවිය ගලා යයි නොදැනීම....

නමුදු අපේක්‍ෂාව...
නව පණක් ලැබදේවි....
ඒ ජීවිතයට...
සාර්ථක වූ ජීවිතයක් උදෙසා....

අහස් මාළිගා තැනිය යුතුය අප...
නොපෙනෙනා අනාගතකට....
නමුදු උපේක්‍ෂාව අවැසිය...
ජය පරාජය අභිමුවේ...
නොසැලී සිටීමට නම්....

බලාපොරොත්තුව...
අප ඔබට සදා ණයගැතිය....

කාව්‍ය සංකල්පනාව ප්‍රියංජලී මංගලිකාගෙනි.

මල්ලියේ

කෝපි මල් හිනැහෙනා
හිමිදිරි පාන්දර
ඉරුණු කමිසය අැඳන්
පොත් මිටිය තුරුලු කර
අකුරු කරනට දුවන මල්ලියේ....

පා නුඹේ රිදෙන මුත්
සිතට නොගනින් එයද
අකුරු කර ජය ගන්න
මල්ලියේ වාසනා....

පාසල් ගොසින් නුඹ
ඉගෙන ගෙන මතු දාක
අක්කගේ පැතුම් හැම
ඉටු කරන්නට නුඹට
හැකි වේවි මලනුවනි....
දිරි ගනින් නුඹෙ සිතට....


කාව්‍ය සංකල්පනාව ප්‍රියංජලී මංගලිකාගෙනි.

නැඟණියනි

සුපිපෙනා පියුමකි නුඹ
සැමගෙ සිත් සනසනා....
දැයේ ජීවය නුඹයි
සැමගෙ දුක් දුරලනා....

පාසල් ගොසින් නුඹ
ඉගෙන ගෙන මතු දිනෙක
මව්පියන්ගෙ පැතුම්
ඉටු කරන්නට නැඟණියේ වාසනා....

ලොවෙන් ලැබුණු දේ නැවත
පෙරළා දිය යුතුය නුඹ....
සිනාමුසු මුවකමල
රැකගන්න සැමදාම....

හිරි ඔතප් බිඳ නොගෙන
දැයේ මිණි කිරුල වී
සැමගෙ සිත් සනසන්න
නැඟණියේ වාසනා.....

කාව්‍ය සංකල්පනාව ප්‍රියංජලී මංගලිකාගෙනි.


25 June 2016

නුඹ පිපුනාම

අඳුරුයි අහස...
අමාවක දාට....
සුවදයි බෝම....
මල් පිපුනාම....

හසරැලි තාම....
ගෙන එයි නිතර..
නුඹ පිපුනාම...
හැම උදයේම...








දමිත් ධනංජයගේ (දනාගේ) කාව්‍ය සංකල්පනාවකි.

20 June 2016

සබඳේ.....

මසිත විඩාව නිවමින
මා සොඳුරු විමනකට ගෙන යන....
මා ප්‍රිය සබඳේ.....
මහද දුක නිවාලමින
මා සිත සතුටින් තබන
මා ප‍්‍රිය සබඳේ.....

විටෙක ඔබ මට ගුරුවරයෙකි;
මා දැනුම් පිපාසය නිවාලන....
තව විටෙක ඔබ මට මවකි;
මසිත සෙනෙහසින් සතපන....
පියෙකි ඔබ මට නිබඳ;
මසිත සවිමත් කරන....

සොඳුරු මං සොයා යන ඔබ;
මා එහි තනි කරලයි....
විටෙක ඔබ මා අතීතයේ සඟවාලයි....
සැබෑ මිතුරෙකි ඔබ මට නිබඳ....
පෙම් කරමි සබඳ ඔබට මම
ඔබගේ මිත්‍රත්වයේ නාමයෙන්......



කාව්‍ය සංකල්පනාව ප්‍රියංජලී මංගලිකා ගෙනි.

19 June 2016

පොසොන් පෝය අදයි

අනුබුදු මිහිදු හිමි ලක්දිවට ස්පැමිණි පොසොන් පෝය අදයි.

සමනාමයං මහාරාජ
ධමිම රාජස්ස සාවකා
තමෙව අනුකමිපාය
ජමිබුද්වීපා ඉධාගතා


2016 පොසොන් දිනය වෙනුවෙන් ලහිරු සමීර මල්ලි (පයාගල මල්ලි ) විසින් නිර්මාණය කරන ලද කාටූන් වීඩියෝව පහතින් දැක්වේ.


මගේ සඳ

සද ආපු හැමදාම
හිත පිරැන නොදැනිම
කළු වරයි අද තාම
පැයුවද නොපෙනිම....



දනාගේ කවි සිතුවිල්ලක්.

11 June 2016

හොරොව්පොතානේ පළවෙනි ඩීයාරෝ

හරියටම කිව්වොත් 1973 අවුරුද්දේ ඔක්තෝම්බර් මාසයේ 1 වෙනිදා හොරොව්පොතානට අළුතින්ම ඩියාරෝ කෙනෙක් පත් වෙලා එනවා. ඩියාරෝ මහත්තයාගේ උපන් ගම වෙලා තියෙන්නේ අම්බලන්ගොඩ බලපිටිය පැත්තේ.

එහේ ඉදලා අනුරාධපුරේට කෝච්චියේ ඇවිදින් අනුරාධපුරේ කච්චේරියට මේ ඩියාරෝ මහත්තයා එනවා. එයත්තෙක්ක තව යාළුවෝ දෙන්නෙක්ට කාර්යාල වල පත්වීම් හම්බ උනා.

මේ ඩියාරෝ මහත්තයාත් හිතුවේ එයාටම කියලා වෙන් කරපු කාර්යාලයක වැඩ කටයුතු කරගෙන යන්න. නමුත් ඒ මහත්තයාගේ හීනේ බිඳිලා යනවා. ඒ හොරොව්පොතාන ප්‍රදේශයට ඩීයාරෝ කන්තෝරුවක් නැති වෙච්ච එක. අළුතින්ම වෙන් කරපු ප්‍රදේශයක් නිසා තාම ඒ පැත්තට ඩීයාරෝ කන්තෝරුවක් හදලා නෑ..

ඒ නිසා තාවකාලිකව කහටගස්දිගීලියේ කන්තෝරුවේ ඉදලා හොරොව්පොතාන ප්‍රදේශයේ වැඩ කටයුතු බලන්න මේ ඩීයාරෝ මහත්තයාට සිදු වෙනවා.

නිවාස සැලැස්ම අනුමත කර ගැනීම

කලින් ලිපියෙදි මම ඉඩම ප්‍රාදේශීය සභාවෙන් අනුමත කරගන්න විදිහ කියලා දුන්නා මතක ඇති නේ. දැන් කියන්න තියෙන්නේ අපේ ගෙයි සැලැස්ම අනුමත කරගන්න විදිහ.

මේක තමා අත්‍යවශ්‍යම දේ. !!

මුලින්ම කරන්න ඕන තමන්ගේ ඉඩම අයත් ප්‍රාදේශීය සභාවට හරි නගර සභාවට හරි ගිහින් ගොඩනැගිලි සැලැස්ම අනුමත කරගන්න ඕන ඇප්ලිකේශන් එකක් දෙන්න කියලා ඉල්ලන්න.

ඒක ෆෝර්ම් එකක් කියලා කිව්වට පොතක් !

ඇප්ලිකේෂන් එකට රුපියල් 300ක් වගේ මුදලක් වැය වෙනවා. ඒ මුදල ප්‍රාදේශිය සභාවෙන් සභාවට වෙනස් මයේ හිතේ. මම ඉඩම අනුමත කර ගත්තේ බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවෙන් නිසා මට ෆෝරම් පොතට ගියේ රුපියල් 300යි.

ඒ පොත ගෙදර ගෙනල්ලා හිමිහිට කියවලා බලන්න. එතකොට හීන් දාඩියත් දානවා. ඒකේ තියෙන්නේ අමුතු අමුතු ඒවා. ඒවා පුරවන එක තමයි ගේම... !

10 June 2016

ගොඩනැගිලි සැලැස්ම අනුමත කරගැනීමට පෙර

කලින් ලිපියෙදි කිව්වා වගේ ඉඩමේ සැලැස්ම අනුමත කර ගන්න ඇතිනේ. ගොඩක් වෙලාවට වෙන්දේසි ඉඩම් ගන්නකොට නම් ඉඩම අනුමත කරගන්න ඕන නෑ.. මොකද ඉඩම් වෙන්දේසි කරන සමාගම්, ලොකු ඉඩමක් කෑලි කරලා ඒ එක එක කෑල්ල අනුමත කරගන්නවා.

එහෙම අනුමත කරගන්නේ නැතුව ඉඩම් විකුණන්න බෑ.. ඒ නිසා ඒ ගොල්ලෝ ඉඩම් විකුණන්න කලින් මුලින්ම කරන්නේ ඒ එක එක කෑල්ල ප්‍රාදේශිය සභාවෙන් (එහෙම නැත්නම් නගර සභාවෙන්) අනුමත කරගෙන ඉන්න එක.

ඒ ඇරෙන්න ඕගොල්ලෝ දන්න අදුරන කෙනෙක්ගෙන් හරි එහෙමත් නැත්නම් වෙන්දේසි සමාගමකින් නොවන කිසියම් කෙනෙක්ගෙන් ඉඩමක් ගන්නවා නම් ඔයලා ඉඩම අනුමත කරගන්න ඕන.

ඒ විසා වෙන්න ඕන ගොඩක් අය කාගෙන්හරි ඉඩමක් ගත්තම දාහකුත් එකක් දේවල් හොයන්නේ. මොකද මහන්සියෙන් ගත්තු ඉඩමේ ගෙයක් හදන්න ප්‍රාදේශිය සභාවෙන් අනුමැතිය දුන්නේ නැත්නම්.... ඒක කේස් එකක් නෙහ්...

ඉඩමේ සැලැස්ම අනුමත කර ගැනීම

තමන්ගෙම කියලා ඉඩමක් ගත්තහම එක පාරටම ගේ හදන්න බෑ.. ගේ හදන්න කලින් කරන්ඩ ඕන වැඩ කටයුතු ටිකක් තියෙනවා. ඒ ටික කලාට පස්සෙයි ගේ හදන්න පුලුවන් වෙන්නේ.

මේ ටික ලියලා තියෙන එක කාට උනත් අනාගතේදි වටියි කියලා හිතුන නිසා බ්ලොග් එකේ සටහනක් පොඩිවට දානවා.

දාහකුත් එකක් කරුණු කාරණා බලලා බලලා තමන් හොදයි කියලා ඉඩමක් තෝරා ගන්නවා නෙහ්.. ඉඩම ගත්තට පස්සේ මුලින්ම කරන්න තියෙන්නේ බිම් කට්ටි සැලැස්ම අනුමත කර ගැනීම.

බිම් කට්ටි සැලැස්ම කියන්නේ සර්වේ ප්ලෑන් එක. ඒ කියන්නේ ඉඩමේ පිඹුර අනුමත කරගන්න එක.

ඒක තමා මුලින්ම කරන්න ඕන.

මුලින්ම කරන්න ඕන ඉඩම අයිති ප්‍රාදේශීය සභාවට හරි එහෙමත් නැත්නම් නගර සභාවට හරි ගිහින් බිම් කට්ටි අයදුම්පතක් ගේන්න ඕන. ඒකටම ඒටී ෆොර්ම් කියලත් කියනවා.

ඒටි ෆොර්ම් එකක් සාමාන්‍යයෙන් රුපියල් 25ක් විතර වෙනවා. ඒක ගෙවලා ගන්න පුලුවන්.

05 June 2016

නිදි යහන

නුබ ට නිදියන්න
නිදි යහන කුමකටද....
තරැ අහසෙ දිදුලන්න
හිරැ එන්නෙ කුමකටද....
සිසිලසින් දැවටෙන්න
උනුසුමක් කුමකටද ....
තව ටිකෙන් නිදියන්න
නැලවිලිත් කුමකටද ....







------------------------------------------------------------------------
කාව්‍ය සංකල්පනාව දනාගෙනි.

04 June 2016

පුරන් කෙතට

පුරන් කෙතට....
නිල් දියවර නැතු වාද....
අහස් කුසට...
හිරැ ඇවිදින් නැතු වාද...
නෙතේ අගට....
නෙතු කදුලැලි පිරිලාද....
එරන් ලන්දු....
නුබ තාමත් තනියෙන්ද....



-----------------------------------------------------------------
කාව්‍ය සංකල්පනාව දනාගෙනි.

31 May 2016

ශුභවාදී අැස....

මිනිසා ගෙන යාවි කඳුලු නිම්නය වෙත...
මක් නිසාද යත්....
නිබඳවම සිත වැලපී අැත අසතුටින්....
අන්ධකාරය ඔහු වෙලා ගත් සඳ;
ඔහු කෙසේ ඉන් මිදෙන්නද?
ඔහුට නොපෙනෙන අාලෝකයට
මැසිවිලි නඟනු අැත එවිට....
එහි අරුත ඔහු නොදත්තද
එසේ කිරීමෙන් හදට සැනසුම් සුසුම්
ගෙන දෙන්නට අැත....
      නමුත් එය සිහින් නිමේෂයකට පමණී...
    නැවත ඔහු වෙත කඳුලක සෙවණැලි
    ගලා එන්නට අැත....
    අැයි මසිතට මෙසේ දුක උරුම වූයේ...
    ඔහුට සිතෙන්නට අැත.
    එවිට ඔහු පමාවී හමාරය;
    ශුභවාදීව දකින්නට තරම්වත්...
    ඔහුට හිමි ශුභවාදී දෙනෙතින්.......




----------------------------------------------------------------
කාව්‍ය සංකල්පනාව
ප්‍රියංජලී මංගලිකා ගෙනි.

ගොවි රජාණෙනි.....

සැමට බත දෙවන නුඹ
සැමට පෙර පිබිදිලා...
කහට උගුරින් සෑහී;
කුඹුර වෙත පිය නඟයි....

අරුණලු සමඟින් ම
පා නඟන ඔබේ සිරුර...
සිසිල් මඳ නලින් පණ ලබයි.
දිරි ලබයි....


අව් වැසි නොබලා වෙහෙසෙමින්
තම ‍ශ්‍රමය යොදවමින්...
රට සරුසාර කරන
ගොවි රජ ඔබ සැබෑ රජෙකි....

සැම දිනම වෙහෙසිලා,
මෙබිම සරුසාර කරන...
ගොවි රජාණෙනි ඔබට
පතන්නම් දීඝායු...

සිතාපන් මිනිසුනේ....
ඔබ බුදින බත් අැටයක් පුරා
පැතිර අැති ඔහුගේ ශ්‍රමය....
තක්සේරු කළ හැකිද ඔබට?

----------------------------------------------------------------
කාව්‍ය සංකල්පනාව
ප්‍රියංජලී මංගලිකා ගෙනි.

උදෑසන....

විශ්වයම අවදි වූවා වැනිය....
ලහිරු කිරණින් විකසිත වන
මෙදියත සෑම දිනයක්ම
අැරඹෙයි උදා සිරියත් සමඟින් ම......

කෝපි මල් හිනැහෙමින්
ළමා කැළ දෙස බලයි....
සියොත් කැළ ගී ගයා
මුලු ලොවම පුබුදවයි......


කුකුලා ද අවදි වී
මුලු ලොවම පුබුදවයි....
විශ්වයම පිබිදිලා
තම මෙහෙය වෙත දුවයි......

පිණි බිංදු වැටීලා
තණ පළස දිදුලවයි....
හිරු කුමරු අැවිල්ලා
මුලු ලොවම පුබුදවයි......

-------------------------------------------------------
කාව්‍ය සංකල්පනාව
ප්‍රියංජලී මංගලිකා ගෙනි.

25 May 2016

සිතිවිලි අතරේ....

නිබඳ කිමිදෙමි;
සිතිවිලි සයුරේ....
සැඩ රැල්ලට හසුව
වැනසෙන මගේ අහිංසක සිතිවිලි
සිහින් පෙණ පිඬුවක් වැන්න.
ගතට යා නොහැකි දුර
සිතින් මා රැගෙන යයි.
සිතිවිල්ලක විරාමය.....
සයුරේ මා තනි කරලයි.
යළි කෙසේ කිමිදෙම්ද? මා;
සැලෙන රළ පෙළ හමුවේ.....
වෙර ගතිමි රැක ගන්නට පණ නල;
සිතිවිලි සයුරෙන් මිඳී....
සිතිවිල්ලක දෝංකාරය යළි හදට ලං වෙයි....
සුපුරුදු හදේ නැමියාව ඒ කරා පියනගයි..........



--------------------------------------------------
කාව්‍ය සංකල්පනාව
ප්‍රියංජලී මංගලිකා ගෙනි.

24 May 2016

මාතෘත්වයේ නාමයෙන්.......

දස මසක් කුස දරා
සියලු දුක් සිත දරා
මිහිකත සේ උසුලමින්
අප මෙලොව ජනිත කළ
මෑණියනි.....

හැඳින ගතිමි කිමක් දැයි
මාතෘ ස්නේහය....
මවක් වෙසින් අප වෙත විත්
කඳුල සිනහවක් බවට පත් කරන්නාවූ
ඒ උත්තරීතර මාතෘත්වයට;
කෙසේ ණය ගෙවන්නදැයි නොදනිමි.....


නමුදු ඔබ අප වෙනුවෙන්
විඳි දුක් කම්කටොලු
හදේ රැඳෙනා වාරයක් පාසා
ඔබ වෙනුවෙන් උපන් පහන් සිතිවිලි සමුදාය
පොදි බැඳගෙන පණ පොවමි;
ඒ නිසංසල සිතිවිලිවලට......
මාතෘත්වය වෙනුවෙන් උපහාර පුදන්නට...
මාතෘත්වයේ නාමයෙන්.......

------------------------------------------------------------------------
මැයි 8 වනදාට යෙදුනු මවුවරුන්ගේ දිනය වෙනුවෙන් ප්‍රියංජලී මංගලිකා විසින් රචිත කවි සංකල්පනාවක්.

බුදු පියාණනේ....

 වාසනාවන්ත වීමි මම
උපත ලබනට මේ උතුම් පින් බිමේ...
නිසල බුදු රුව දෙස බලා
සසල සිත නිවා ගන්නට තරම්...
අප පින් කර අැත...
බුදු පියාණනේ.....


හිමි දෙසූ දම් සුවඳ
මිහිමඩල පුබුදුවාලයි...
සත්‍යයේ දම් මිහිර
සිත් දුකින් මුදාලයි...
බුදු පියාණනේ.....


සම්බුදු තෙමඟුල සිදු වූ මේ උතුම් වෙසක් පුන් පොහෝ දින...
සුපින්බර වෙසක් මංගල්‍යයක් වේවා !


-----------------------------------------------------
ප්‍රියංජලී මංගලිකාගේ කවි සංකල්පනාවක්.

20 May 2016

කැලණි ගං කොමළියේ.....

බුදු පහස ලැබූ බුදු සිරිපතුළින් හැඩ වුනු..
කැලණි ගං කොමළියේ....
සංසුන් කරගනු මැනව ඔබගේ ගමන් ලතාව..
උතුම් බුදු සමිඳුගේ නාමයෙන්වත්....


මේ උතුම් වෙසඟේ....
සැම සිත් දුකින් මුඳවනු මැනව...
සන්සුන්කමින් යුතුව..
සිල් ගත් සිතින් යුතුවු කත සේ........


------------------------
ප්‍රියංජලී මංගලිකාගේ කවි සංකල්පනාවක්


වැසි දෙවිඳුනේ....

අහිංසක මිනිස් ජීවිත බිලි නොගෙන..
දැන්වත් නවතනු මැනව ඔබගේ අඳෝනාව....
විපතටපත් මිනිසුන් උදෙසාවත් පිහිටවුව මැන....
හිරු දෙවිඳුන් හා මිතුරුව සනසාපන් මේ උතුම් සිරිලක....



ප්‍රියංජලී මංගලිකාගේ කවි සංකල්පනාවක්

19 May 2016

හිරු දෙවිඳේ...

පායා එන්න.. පායා එන්න..
මේ දුක් අහසට....
විකසිත කරන්න.. විකසිත කරන්න..
මගේ මේ මිහිකත....
සියලු දන හද සනසා..
පායා එන්න.. පායා එන්න..
විගසින්ම.. විගසින්ම..

පුබුදු කරනු මැන.. පුබුදු කරනු මැන..
මගේ ලක් මාතාව..
ඔබේ උණුසුම් රැස් දහරින්......
රැක ගනු මැනව.. රැක ගනු මැනව..
මගේ ලක් මාතාව..
පෙර රැකූ ලෙසටත් වඩා..
මහත් අදරින්.. මහත් අදරින්.......


ප්‍රියංජලී මංගලිකාගේ කවි සංකල්පනාවක්

09 April 2016

නුබ හරිම නපුරුයී...

අද හරිම අදුරැයි.....
සද තවම නොපෙනෙයි.....
කළු වරට පිපෙන කල.....
මල් හරිම සුවදයි......
රෑ මැදිරි එලියයී......
රැහැයි නද කටුකයි...
හද නිතර කකියයි.....
නුබ හරිම නපුරුයී....

ප.ලි. - මේ කවි සංකල්පනාවත් අපේ දනාගෙන්.  දනා මේවා දුකට ලියන කවි ද මන්දා..

30 March 2016

කාර්යබහුල වීම හා අමතක වීම

මීට අවුරුදු කීපයක ඉදලා ලියාගෙන එන බ්ලොගයක් තියෙනවා කියලා මට ඊයේ පෙරේදා ඉදලා හිතීගෙන ආවා. නිකමට වාගේ බ්ලොගයට ගොඩවෙලා බලනකොට තමා ගිය අවුරුද්දේ නොවම්බර් මාසේ ඉදලා එකම එක ලිපියක්වත් බ්ලොගයේ ලියලා නෑ..

ගිය අවුරුද්දේ ඔක්තෝම්බර් මාසේ වෙනකොට  අපි දෙන්නා පානදුරේට සංක්‍රමණය උනා. පානදුරේ කියන්නේ මගේ ජීවිතේ ඉතුරු කාලෙම ගෙවන්න හිතාගෙන ඉන්න තැන.

අපි දෙන්නා පානදුරේ පදිංචියට ආවේ කුලියට ගෙයක් අරගෙන. ඒ කුලී ගෙයි ඉදලා අපේ ඉඩමේ ගේ හදන්නයි මං හිතාගෙන ඉන්නේ. ඒ නිසාම ටිකක් ටිකක් අමතර වැඩ අරගෙන අමතර ආදායමක් හොයනවා. ඒ නිසා මම සෑහෙන්න කාර්ය බහුල උනා.

ඔන්න ඔය නිසයි බ්ලොගය අමතක උනේ.

පානදුරේ ඉදලා හොරණ පාරේ කිලෝමීටර් 5ක් ගියහම කුරුස හන්දියට එන්ඩ පුලුවන්. එතනින් රුක් ගහ පාරට හැරුණහම තමා මං ගත්තු ඉඩම තියෙන්නේ.

25 February 2016

අද ඈගේ අවසන් දිනයයි

කාලෙකට උඩදි ඉන්දියාවේ ජනාධිපති වෙලා හිටපු මහාචාර්ය අබ්දුල් කලාම් මහත්මයා කියලා තියෙනවා මෙහෙම කතාවක්.

"ඔබ, ඔබේ රැකියාවට ආදරය කරන්න. නමුත් ඔබ රැකියාව කරන ආයතනයට ආදරය නොකරන්න.ඒ මන්දයත් ඔබ රැකියාව කරන ආයතනය, ඔබට දක්වන ආදරය නවත්වන දින ඔබවත් නොදන්නා බැවිනි."

ඔන්න ඔය කතාව කොච්චරක් දුරට නිවැරදිද කියලා තේරුම් ගත්ත දවසක් අද.ඒකට මූලිකවම හේතුව උනේ මීට අවුරුද්දකුත් මාස දහයකට කලින් අපේ ආයතනයට තේ හදන්න ආපු මැදිවයසේ ගෑනු කෙනාගේ රස්සවේ අන්තිම දවස අද වෙච්ච නිසා.

 ඒ ගෑනු කෙනාව මං ශාන්ති කියලා හඳුන්වන්නම්. ශාන්ති මැදිවියත් පසු කරපු අවිවාහක කාන්තාවක්.

ශාන්තිගේ පවුලේ හිටියේ එයයි එයාගේ අම්මයි තාත්තයි. මුළු ගෙදරටම රස්සාව කලේ ශාන්ති විතරක්ම නිසා පවුලේ තිබ්බ එකම ආදායම් මාර්ගය උනේ ශාන්තිගේ තේ හදන රස්සාව විතරයි.

17 February 2016

මගේ හොඳම යාළුවා - 2 වන කොටස

අසංක සංජීව කියන මගේ හොඳම යාළුවා ගැන ලියන ලිපියේ දෙවැන්න තමා මේ ලියන්නේ.

අපි දෙන්නම සිස්සත්තේ ෆේල් වෙච්ච නිසා ඒ ඉස්කෝලෙම රැඳෙන්ඩ උනා කියලා ආයේ අමුතුවෙං කියන්ඩ ඕන නෑ නේ.දැන් වගේ නෙමේ ඒ කාලේ සිස්සත්තේ ප්‍රතිපල එනකොට අපි හයේ පන්තියේ ඉගෙන ගන්නවා.

හයේ පංතියේ ඉගෙන ගන්න දවස්වලදි මගේ මතකයේ තිබ්බ සිද්ධිය තමා ඌයි මායි සරුංගල් අරින්ඩ ගියපු දවස්. දවසක් සරුංගල් අරින්ඩ ගිය වෙලේක මගේ අතින් උගේ සරුංගලේ වතුරට වැටුනා. ඊට පස්සේ ඌයි මායි වෙල මැද්දේ මරා ගත්තා.


හතේ පංතිය...  හතේදී සුමුදු වාසනා ලොකු ළමේක් උනා කියලා මතයක් ඇරෙන්ඩ අසංකයායි මායි කරපු දේවල් නං මතක නෑ. 

ඊට පස්සේ අටේ පංතිය... ආහ් හා... සෞම්‍යා නිර්මාණි ලොකු ළමේක් උනේ ඒ අවුරුද්දේ දි.. මායි අසංකයයි ඒකිට විහිලු කලා මතකයි. ඒක නං වෙනම පෝස්ට් එකකිං කියන්ඩ වටිනවා. :)

26 January 2016

බලෙන් ආගමට ගැනීම

මේ සිද්ධිය උනේ මම උසස් පෙළ කරන දවස්වල.එදා මහා ධාරානිපාත වැස්සක් තිබ්බ දවසක්.මම ඉස්කෝලේ යන්න කියලා බස් හෝල්ට් එකට ආවා.ඊට අප්පේ ආපු පළමුවෙනි බස් එකේ නැඟලා ඉස්කෝලේ කිට්ටුවම තිබ්බ හෝල්ට් එක ලඟට ආවා.ඉතුරු ටික යන්න තියෙන්නේ පයින් තමා.වැස්ස නිසා කොහාට්ටවත් යන්න විදියක් තිබුනේ නෑ. මා ලඟ කුඩයක් තිබ්බෙත් නෑ.

බස් එකෙන් බැහැපු හැටියෙම ලඟම තිබ්බ කඩයකට දුවලා ගියා වැස්ස පායනකල් ඉදලා ඉස්කෝලෙට යනවා කියලා. ටික වෙලාවක් හිටියා ඒත් වැස්ස නවතින පාටක් නෑ.ඒත් එක්කම පොත් මිටියකුත් අරගෙන ටිකක් වයසක පහේ මනුස්සයෙක් මා ලඟට ආවා. ඇවිත් මම යන්නේ මොන ඉස්කෝලෙටද කීය වසරෙද ඉන්නේ පවුලේ කීදෙනාද ඔය විදිහේ නානාප්‍රකාර ප්‍රශ්න ගොඩක් ඇහුවා. මාත් ගොඩක් ඒවා වලට උත්තර දුන්නා.

ඊට පස්සේ තමයි ඒ මනුස්සයා සබ්ජෙක්ට් බැස්සේ. ඒ මනුස්සයාගේ ආගම ගැනයි ඒ ආගමේ ආගමික නායකයා ගැනයි මාරම දේශනයක් දුන්නා. මට ඉතින් බේරෙන්නම බැරි තැන අහගෙන හිටියා. වැස්ස පායලා තිබ්බේ නැති හින්දා යන්න විදිහකුත් නෑ. ඊට පස්සේ මේ මනුස්සයා කියනවා "පුතාගේ ඉගෙනීමට උදව්වක් ඕන නම් අපි කරන්නම්." කියලා කිව්වා. මට ඇඩ්‍රස් එකක් ලියපු කොළ කෑල්ලකුත් දුන්නා. ඒ ඇඩ්‍රස් එකට ලියුමක් ලියන්න කියලා.

මට තේරුනා මිනිහා එන පොට හොද නෑ කියලා. කොහොමහරි මාව ආගමට ගන්න හදනවා කියලා. වැස්සේ උනත් කමක් නෑ කියලා මම එතනින් ආවා. මම මේ සීන් එක යාළුවෙක්ටත් කිව්වා. උන් කිව්වේ උන්ගේ ගම්වල සමහර දුප්පත් පවුල් වලට සල්ලි දීලා ගෙවල් හදලා දීලා ඒ අයව ආගමට බඳවා ගත්තා කියලා.

මිනිස්සුන්ගේ අසරණ කමෙන් අයුතු ප්‍රයෝජන අරගෙන මෙහෙම ආගම් වලට ගන්න එක ලොකු අපරාදයක්. ඒවා වලට රැවටෙන මිනිස්සු අදත් ඉන්නවා.

14 January 2016

ගුරුවරියගේ සමු ගැන්ම

සිසුන් සියලු දෙනා විභාග ශාලාවේ අසුන් ගෙන සිටී.විභාගය පටන් ගන්මට ආසන්නව තිබූ බැවින් විභාග ශාලාව තුල පැවතියේ දැඩි නිහඩතාවයකි.දෙසිය පහනක් පමණ සිටි විභාග ශාලාවේ මා අසුන් ගෙන තිබුනේ පිටුපසම ඩෙස්කයේ ය.එදින ගුරුවරුන්ගේ පැමිණීම බෝහෝ සෙයින් අඩුවූ දවසකි. ප්‍රමිතා වෙලගෙදර ගුරුතුමිය ශාලාවේ එහා කෙලවරේ සිට ප්‍රශ්න පත්තර බෙදමින් පැමිණේ.

ප්‍රශ්න පත්‍ර බෙදීමට සිටියේ ඈ පමණක්ම බැවින් ඉහින් කනින් දාඩිය දමමින් ඈ අපමණ වෙහෙසක් ගන්නීය. ඊලඟට ප්‍රශ්න පත්‍රය ලබීමට සිටියේ මා ය.

"හොද වෙලාවට හවස් වෙන්න කලින් පේපර් එක ලැබුනා !!!" මා කීවා නොවේ කියවුනා පමණි. ඈ මා දිහා රවා බැලීය. ඒ බැල්ම තුල වූයේ මා දවා අලු කරවන අන්දමේ බැල්මක්ය. එහෙත් දෑස් තුල වූයේ ශෝකී බැල්මක් ය.

"තමුසේ පේපර් එක ලියන හින්දා මුකුත් කියන්නේ නෑ. පස්සේ බලාගමුකෝ !!!!" එවදන් පවසා ඈ තමන්ට පැවරී ඇති රාජකාරියට යොමු විය.මාද මේ කිසිත් නොවූ ගානට ප්‍රශ්න වලට උත්තර ලියන්නට විණි.

ප්‍රශ්න පත්‍රයට හිමිව තිබූ කාළය අවසන් වූ හෙයින් මා ප්‍රශ්න පත්‍රය ගුරු මේසය මත වූ ප්‍රශ්න පත්‍ර ගොන්න මත තබා ශාලාවෙන් පිටවිය. ඉන්පසු මා ඉහත කී ගුරුතුමිය හමු වන්නට ගියෙමි. ඈ හිස්ව තිබූ පංති කාමරයක් තුල ප්‍රශ්න පත්‍ර ගනන් කරමින් සිටියාය. ඈ මා දුටු වනම තල් අත්තට බොරලු ගසන්නාක් මෙන් බැනුම් වර්ෂාවක් මා මත පතිත කරන්නට සමත් විය. බැනීම නතර විය.

"ටීචර්, මට සමා වෙන්න. මං ආයෙම අරහෙම කියන්නේ නෑ." එසේ කී මා අගේ දෙපා මුල මද වෙලාවකට නතර විය.

"හරි පුතේ, දැන් නැගිටින්න"

"ටීචර් මං එහෙනම් ගිහින් එන්නම්."

මා ඈ සිටි පංති කාමරයේ දොර ලඟට පැමිණ "ටීචර් අපේ අම්මට එහෙම කියන්නේ නෑ නේ ?" යැයි ඇසුවෙමි. ඈ සිනහා වී "අම්මට හරි බයයි නේ?" යැයි ඇසීය.

මෙවැන්නක් සිදුවූ විට දරුවන්ගෙන් පලිගන්නා ගුරුවරුන් ගැන මා කොතෙකුත් අසා තිබුණද ඈ එවැනි ගනයේ ලා නොහැකි ගුරු මවක් නොවීය.මට ලබාදිය හැකි උපරිම ලකුණු ලබා දී තිබුණි.

"අපරාදේ එහෙන් මෙහෙන් පොඩි පොඩි සුලු කිරීම් වරද්දලා නැත්නම් තව ලකුණු ටිකක් ගන්න තිබ්බා." දිනක් පාසලේ කොරිඩෝවෙදී හමු වී ඈ එසේ පැවසුවා මට අද මෙන් මතක තිබේ.

ඊට මාස කිහිපයකට පසු......
මගේ දෙවෙනි මව වූ ඈ වෙනත් පාසලකට මාරු වී ගොස් ඇති බව මගේ යාලුවෙක්ගෙන් දැන ගන්නට ලැබිණි. ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකකි. කියවලාත් තිබුනා අහලත් තිබුනා. ඒත්... ඒ බව දැනුනේ එදා ය.

-----------------------------------------------------------------
ප.ලි. - මම ලියන රටාව පොඩ්ඩක් විතර වෙනස් කළා. මෙහෙම ලියන්න මාරම අමාරුයි. ව්‍යාකරණ වැරදි තැන් තියෙනවනම් පෙන්නලා දෙන්න.