Showing posts with label වෙනත් කතා. Show all posts
Showing posts with label වෙනත් කතා. Show all posts

07 May 2025

ෂර්ලොක් හෝම්ස් කතා

 රහස් පරීක්ෂක කතා ගැන මතක් වෙනකොට අපට අමතක කරන්නම බැරි චරිතයක් තමයි ෂර්ලොක් හෝම්ස් කියන්නේ. ආතර් කොනන් ඩොයිල්ගේ හිතේ ඇඳුර රහස් පරීක්ෂක චරිතය, ලෝකය පුරාම පාඨකයින්ගේ හිත් වලට මේ තරම්ම කා වදීවී ය කියලා ඒ දවස්වල ආතර් කොනන් ඩොයිල්වත් හිතන්නට නැතිව ඇති.

පොඩිම පොඩි දෙයකින් ලොකු නිගමන වලට එළබීම මේ කතා වල තියෙන අපූරත්වය වැඩි කරන ප්‍රධානම සාධකයයි.

කෙටි කතා 56කින් හා දීර්ඝ කතා 4කින් යුක්ත කතා හැටක ප්‍රමාණයක් කොනන් ඩොයිල් මහත්මයා ලියලා තියෙනව.

මම ඔය කතා සේරම පොතෙන් කියවලා තියෙනවා. 

12 January 2017

හැරී පොටර් තුළින් මා දකින කුළ භේදයේ අරගලය - 2 වන කොටස

ලිපියේ පලමු කොටසට මෙතැනින් යන්න.

අද කතාව එතන් සිට...

මායාකරුවන් අතර පවතින මේ කුළ භේදය හොග්වර්ට්ස් පාසල තුළද ඇතිබව හොග්වර්ට්ස් පාසල් භාරකාරීත්වය දනී. හොග්වර්ට්ස් පාසලේ මුල්ගුරුවරයා වන මහාචාර්ය ඩම්බල්ඩෝර් ද සිතන්නේ මායාවන් කිරීමේ හැකියාව මිසා ඔවුන්ගේ කුළය පාසලට අනවශ්‍ය බවයි.

ඔහු සමවිටම සිතන්නේ කුලහීන කුළවත් සියල්ලන්ම මායා පාසලේ එකට අධ්‍යාපනය හැදෑරිය යුතු බවයි. ඔහු ඒ වෙනුවෙන් අරගලයක් කරයි. නමුත් මේ අරගලය ඔහුට තනිවම කළ නොහැකි බව කතුවරිය දනී.

වියපත් තැනැත්තෙක්ට ලොකු අරගලයක් තනිවම කළ නොහැකි බව කතුවරිය හොඳාකාරවම දන්නා නිසා  ඈ මේ අරගලයේ ප්‍රධානම අවිය ලෙස හැරී පොටර් ව යොදා ගනී.

තාරුණය තුළ ඇති විප්ලවීය අදහස්, විප්ලවකාරී හැසිරීම් හා නිර්භීතබව නො අඩුවම ඇති හැරී පොටර්ව මෙතැන් සිට ඈ  යොදා ගනු ලබන්නේ විප්ලවයේ නියමුවා ලෙසට ය.

නමුත් හැරී පොටර් ව මෙම විප්ලවයේ නියමුවා ලෙස යොදා ගැනීමට ප්‍රධානම හේතුව ලෙස මා දකින්නේ වෙන දෙයකි. ඒ හේතුව නම් මෙසේ ය.

මෙම කතා මාලාව තුළ අපිට රූපිකව දිස්වන හතුරා වොල්ඩර්මෝට් ය. නමුත් ඔහු රූපික හතුරෙක්ම පමණි. නියම හතුරා වන්නේ කුළ භේදය වේ. මන්දයත් වොල්ඩර්මෝට් ට වුවද අවශ්‍ය වන්නේ කුළහීනයින් හොග්වර්ට්ස් වලින් හා මායාකරුවන්ගේ ලෝකයෙන් අතුගා දැමිමයි.

ඔහු මායා බලයෙන් පරිපූර්ණ අයෙකි. බොහෝ දෙනා ඔහුගේ නමවත් කීමට මැලි වේ. ඒ ඔහු කෙරෙහි පවතින ප්‍රාණ හා සමාන බිය නිසා ය. නම කීමටවත් බියවන අයෙකු හා අරගල කර ඔහුව පරාජයට පත් කිරීමට නම් ඔහු කෙරෙහි වෛරයක් ඇති, අරගලය මගදී දමා නො යන අයෙක්ව මේ සදහා යෙදිය යුතු වේ.

ඔහු හා වෛරයක් හෝ පවතින අයෙකු ලෙස කතුවරිය දකින්නේ තරුණ වයසේ පසුවන හැරි පොටර් වය. !

හැරී පොටර් තුළින් මා දකින කුළ භේදයේ අරගලය

ජේ.කේ. රොව්ලින්ග් විසින් රචිත හැරි පොටර්  කතා මාලාව ඔබ කියවා හෝ චිත්‍රපටි මාලාව ඔබ විසින් නරඹා ඇතුවාට සැක නැත. ලොව පුරා වෙසෙන ලක්ෂ සංඛ්‍යාත දුවා දරුවන්ගේ නොමද ආදරයට පත් හැරි පොටර් කතා මාලාවට ඔබද කැමති බව මා දන්නා කරුණකි.

මේ කතා මාලාව  මා කියවන්නේ දෙවන වරට ය. පළමුවර කියවීමෙන් මා විඳි ආකර්ෂණීය  බව රස වින්දනය,  දෙවන වතාවටත් කියවීමට මා පෙළඹූ බව කීම අතිශයෝක්තියක් නොවේ.

පළමු වරට කියැවීමෙන් මා නොදුටු අපූර්ව පැති කිහිපයක් මෙවරදී මා දුටුවෙමි. ඒ සියල්ලම එකිනෙක ඔබ හමුවට ගෙන ඒම සදහා මේ ලිපිය සිතක සංකල්පනාවට ලියා තැබීමට සිතුනි.

හැරී පොටර් කතා මාලාවෙන් ඔබ හමුවට එන මායාලෝකයේ පවුල් සියල්ල කොටස් තුනකට වෙන් වේ. එනම්,

1. පවිත්‍ර ලේ (Pure Blood) - තම පියාත් මවත් යන දෙදෙනාම මායාකාර පවුල් වලින් පැවත එන අයවලුන්

2. අර්ධ ලේ (Half Blood) - තම මව හෝ පියා යන දෙදෙනාගෙන් එක් අයෙක් පමණක් මායාකර පවුලකින් පැවතෙන අයවලුන් ය. මායාකරුවන් නොවන අය ඔවුන් හඳුන්වන්නේ මගල්ස්වරුන් (Muggles) ලෙස ය.

3. කුණු ලේ (Mud Blood) - මවත් පියාත් යන දෙදෙනාගෙන් කිසිවෙකු මායාකාර පවුලකින් පැවත නො එන්නන්ගේ දරුවන් හැදින් වූයේ මේ නමිනි. එනම් තම මවත් පියාත් යන දෙදෙනාම මගල්ස්වරුන් වේ.

27 January 2015

ඇන්ඩ්‍රෝමීඩා

බටහිර රතු මුහුදත් ගිණිකොන මධ්‍යධරණී මුහුදත් අතර ලස්සන රාජ්‍යයක් තියෙනවා. ඒ රාජ්‍යයේ රජකම් කලේ සිපියුස් කියලා රජ කෙනෙක්. ඒ රජතුමාට කැසියෝපියා කියලා දේවියකුත් හිටියා. මේ දෙන්නා සතුටින් කාලය ගත කලා. ඒ කාලයේදි කැසියෝපියා දේවිය ලස්සන දූ කුමාරියක් බිහි කලා. ඒ දූ කුමාරිගේ නම තමයි ඇන්ඩ්‍රෝමිඩා කියන්නේ.

මේ ඇන්ඩ්‍රෝමීඩා කුමරිය ගොඩාක් ලස්සන කුමාරිකාවක්. කුමාරිකාවගේ ලස්සන ගැන එතුමියගේ අන්ඩ්‍රෝමීඩාගේ ලස්සන මව් දේවිය සෑහෙන ආඩම්බරයෙන් උන්නේ. හැම වෙලේම ඇන්ඩ්‍රෝමීඩාගේ ලස්සන ගැන පුරසාරම් දෙඩෙව්වා.

08 January 2015

කෙටිකාලීන ජනාධිපති පදවිය

වරු නිවාඩුව ඉතුරු කරගන්ඩ ඕන හන්දම මම අද උදහැනෙක්කෙම ඡන්ද පොලට ගියා. මම ඡන්ද පොලට යනකොට ඡන්දෙ පටන් ගන්ඩ හිතලාවත් නෑ. ඒ නිසා මට ටික වෙලාවක් බලන් ඉන්ඩ සිද්ධ උනා.

හරියටම හත විතර වෙනකොට ඡන්දේ පටන් ගත්තා. මම ඉස්ස ඉස්සෙල්ලම වගේ ඡන්දේ ලකුණු කලා.ඊට පස්සේ බස් හෝල්ට් එකට දුවගෙන ඇවිත් බස් එකක එල්ලිලා ස්ටේශමට ආවා. ඒ එනකොට හතහමාරේ කෝච්චිය ගිහින් තිබුනේ නෑ.

ඒකේ නැගලා කොළඹට ඇවිත් එතනින් බස් එකට දුවලා නුගේගොඩට යාන්තන් අටයි තිස් හතර වෙනකොට ඒ ගත්තා.

විනාඩි හතරක ප්‍රමාදයක් විතරයි සිද්ධ උනේ !

02 January 2015

ටිකිරි කතා අංක 01: කපටි පර්සි

ඔන්න පුංචි දුවේ පුතේ එකමත් එක රටක පර්සි කියලා කපටි මනුස්සයෙක් හිටියා. මේ රටේ දුප්පත් ගම්මානෙකට හොරුන් රැලක් ගෙන් සැහෙන කරදර තිබුනා. කපටි පර්සි දිනක් මේ ගම මැදින් ගමනක් යද්දී මේ ගමේ මිනිසුන් සමඟ කතා කළා.කතා කරද්දී මේ මිනිසුන් ගේ ප්‍රශ්නය ගැන දැන ගත්තා. මෙහෙම කතා කර කර ඉද්දි මිනිස්සු ඇහුවා "ඔබට පුලුවන්ද අපිට උදව් කරන්න ?" කියා. පර්සි ගත් කටටම "ඔව් පුළුවන් හැබැයි මට ගමේ නායකයා වෙන්න ඕනේ නවාතැන් ඕනේ හොඳට කන්න බොන්න ඕනේ" කියලා උත්තර දුන්නා. ගමේ මිනිස්සුත් වැඩේට කැමති වෙලා පර්සිව ගමේ ගෙදරක නවත්තගෙන හොඳට කන්න බොන්න දීල සාත්තු සප්පායම් කළා.

පර්සි වැඩේ බාර ගත්තට මොකද හොරු රැල එලවන විදියක් ගැන හරි අදහසක් මුලින් තිබුනේ නෑ. ඔන්න ඉතිං දවසක් හොරු රැල පර්සි නැවතිලා හිටපු ගෙදරට පැන්නා. පර්සි මේ ගෙදර හිටපු ශක්තිමත් තරුණයෝ එක්ක එකතුවෙලා හොරු එක්ක සටන් කළා. පර්සි තොර තෝංචියක් නැතුව "ගහපල්ලා ගහපල්ලා!!!" කියලා කෑ ගහන්න පටන් ගත්තා.මේ ගාල ගෝට්ටිය ඇහුණාම ගමේ මිනිස්සුත් ඔක්කොම කැති පොලු අරගෙන උදව්වට ආව. වෙනදා නොතිබුණු ජවයකින් මිනිස්සු ඔක්කොම එකා වගේ සටන් කරද්දී හොරු ටික බයේ සී සී කඩ දිව්වා.

29 December 2014

වීදුරුව බිමින් තියන්න

වතුර ස්වල්පයක් පිරවූ වීදුරුවක් තම අත මත තබා ගත් මහාචාර්යය වරයා තම දේශනය ආරම්භ කළේය. සියල්ලන්ටම පෙනෙන ලෙස එය ඔසවා ගත් ඔහු මෙසේ ඇසීය.

 “මේක කොච්චර විතර බර ඇද්ද?

 “ග්‍රෑම් 50ක්”; “ග්‍රෑම් 100 ක්”; “ග්‍රෑම් 125 ක්” ලෙස සිසුන් පිළිතුරු දෙන ලදී.

 “මම හරියටම දන්නේ නැහැ. මම බර කිරන්න ඕනා. ඒත් මට හරියටම දැනගන්න ඕනා මේක මම මිනිත්තු කීපයක් මෙහෙම තියාගත්තොත් මොනා වෙයිද කියලයි.” මහාචාර්යය වරයා නැවතත් විමසීය.

 “මුකුත් වෙන එකක් නැහැ” සිසුන් පිළිතුරු දිනි.

10 December 2014

කෝපි සහ කෝප්පය

එක්තරා විශ්ව විද්‍යාලයක ආදි විද්‍යාර්ථින්ගේ හමුවක් පැවැත්වුනා ලු. තේරෙන විදිහට කියනවා නං ගෙට් ටුගෙදර් එකක් තිබ්බා ලු. මේ ගෙට්ටුවට එක එක බැච් වලින් අවුට් වෙච්ච අය වගේම සරසවියේ ඉන්න මහාචාර්යවරුත් ආවාලු.

මේ කට්ටිය එක එක දේවල් ගැන කතා කර කර හිටියාලු. පස්සේ පස්සේ මේ අයගේ කතා කලේ තම තමන්ගේ ජොබ් වල තියෙන ස්ට්‍රෙස් එක ගැනයි තමන්ට ජොබ් එකේ පැවරිලා තියෙන වැඩ ගැනයි ලූ.

මේ කතාව අහගෙන උන්නු මහාචාර්යවරයෙක් කුස්සියට ගිහින් ලොකු කෝපි ජෝග්ගුවකුයි විවිධ විවිධ කෝප්ප ගොඩකුයි ගෙනාවාලු. මේ කෝප්ප වලින් සමහරක් පෝසිලේන් කෝප්පලු. සමහරක් වීදුරු කෝප්පලු. සමහර ඒවා ප්ලාස්ටික් කෝප්පලු.

මේ මහාචාර්යවරයා කට්ටිය ඉස්සරහා මේසයක් තියලා කෝප්ප ටික ඒ මේසේ උඩ තිබ්බාලු. ඊට පස්සේ ඒ කෝප්ප වලට කෝපි වත්කලා ලූ.

03 December 2014

ආච්චිගේ මරණය හා අමුතු චාරිත්‍ර

මට මේ සතිය උදා උනේ කණගාටුදායක ආරංචියක් අහන්න ලැබීමත් එක්ක. මට වඩා මේ ආරංචියට දුක් උනේ අපේ නෝන. ඒ අපේ නෝනාව පොඩි කාලේ බලාකියා ගත්තු ආච්චි අම්මා අන්ත්‍රා වීමේ කනගාටුදායක ආරංචිය නිසා.

මේ ආරංචිය ඇහුවට පස්සේ මායි අපේ එක්කෙනායි එයාලගේ ගෙදර ගියා ආච්චි අම්මගේ අවමංගල්ලෙට සහභාගි වෙන්ඩ. ඒ ගිහිං අපි දෙන්නා ඒ කටයුතු වලට උදව් උනා. කාලයක් තිස්සේ ලෙඩ වෙලා හිටපු එක තමා මරණෙට හේතු වෙලා තිබුනේ.

ගමේ අය අසල්වැසියෝ ඒ වගේම නෑදෑ හිත්‍රමිත්‍රාදීන් අවමංගල්ලෙට සහභාගි වෙලා ගියා. ඔහොම ආපු ගියපු අය අතරේ එක්කෙනෙක් මිනිය දිහා ටික වෙලාවක් බලාගෙන ඉදලා පෙට්ටියට වඩා මිනිය ගොඩක් කොටයි. ඒ නිසා කකුල් තියෙන හරියට බිත්තර දෙකක් තියන්ඩ කියලා කිව්වා.

29 November 2014

රස්සාව ලැබෙනකන් ගේට්ටුව ළඟ

දවසක් අපේ සීයා මට කියපු කතාවක් මතක් උනා. ඒක කතාවක් කිව්වට මහ ලොකු කතාවක් නෙමේ. මනුස්සයෙක්ට රස්සාවක් ලැබුනු විදිහක්. සීයා කියපු විදිහට ඒ මනුස්සයා ජීවත් උනේ සීයලෑ ගමට අල්ලපු ගමේ ලූ.

ඒ මනුස්සයා එක වතාවක් කොහෙදෝ මන්දා තැනක රස්සාවකට සම්මුඛ පරීක්ෂණයක් තිබිලා තියෙනවා. ඉතින් ඒ මනුස්සයාට සුදුසුකම් තිබිලා තිබ්බත් ඒ වෙනකොට පුරප්පාඩු පිරවිලා තියෙන නිසා රස්සාවක් ලැබිලා නෑලු.

සීයා කියපු විදිහට ඒ කාලේ ඉන්ටර්විවු තියලා ඒ මොහොතෙම වගේ කියනවලු රස්සාවට එන්ඩ ඕන දවසත්. දැං නං කියන්නේ පස්සේ දන්වන්නම් කියලා නෙහ්. ඒ වගේම තමා ඉන්ටර්විවු තියලා පුරප්පාඩු වලට කට්ටිය තේරුනහම ඉතුරු කට්ටියව හරවලා යවනවලු.

ඉතිං මේ මනුස්සයා එදා අප්සැට් එකේම හැරිලා ආවලු.ඒ එන ගමන් මේ මනුස්සයා හිතා ගත්තාලු මම කොහොමහරි එතන රස්සාවට යනවමයි කියලා.

ඊට පස්සේ මොකද දන්නවද ඒ මනුස්සයා කරලා තියෙන්නේ ?

07 August 2014

නෝවාගේ නැව

මේ අවුරුද්දේ මාර්තු මාසේ 10වෙනිදා නෝවා කියලා ඉංග්‍රීසි චිත්තරපටියක් නිකුත් උනා. ඔන්න දැන් ඒ චිත්තරපටියෙම කොපියක් අන්තර්ජාලයෙන්ම බාගත කරගෙන බලන්ඩ අවස්ථාව උදා වෙලා තියෙන්නේ. චිත්‍රපටිය නිකුත් වෙලා මාස කිහිපයකින් බලන්ඩ තියෙන එකත් මරු වැඩේ.. !

 ඒවයින් කාරි නෑ... චිත්‍රපටිය බලන්ඩ තියෙනවා නෙව.

මේ චිත්‍රපටියෙන් කියැවෙන්නේ බයිබලයේ පුරාණ ගිවිසුම කාළයේ ජීවත් වෙච්ච නෝවා කියන මනුස්සයෙක් ගැන. නෝවාගේ කාළයේදි මිනිස්සු විවිධ දුරාචාර වලට අකටයුතුකම් වලට යොමු වෙලා බොහොම අධර්මිශ්ඨ ජීවිතයක් ගත කලා.

මේ මිනිස්සුන්ගේ අධර්මිශ්ඨ වැඩ නිසා දෙවියන් වහන්සේ කෝප වෙලයි උන්නේ. මේ නිසාම මේ මිනිස්සුන්ව මහපොලොවෙන් අතුගාලා දාන්න ගංවතුරක් එවන්න දෙවියන් වහන්සේ තීරණය කරලා තිබ්බා. මිනිස්සු කොච්චර අධාර්මිකව ජීවත් උනත් නෝවාගේ පවුලේ අය ධාර්මික ජීවිතයක් ගත කල නිසා ඒ අයව ගංවතුරෙන් මරණයට පත් කරන්නේ නෑ කියන මතයේ තමයි දෙවියන් වහන්සේ උන්නේ.

ඒ නිසා දෙවියන් වහන්සේ නෝවාට කතා කරලා ලොකු නැවක් හදන්ඩ කියලා අණ කරනවා.ඒ නැවට සෑම වර්ගයකම සත්තුන් දෙන්නා බැගින් දාන්න කියලත් අණ කරනවා. මොකද ජල ගැල්මට පස්සෙත් ආයේ මිහිපිය ජීවින් ජීවත් වෙන්ඩ එපැයි.

නෝවාට කියපු විදිහට නව හදලා සත්තුත් දැම්මා.ඊට පස්සේ ලොකු ගංවතුරක් ඇවිදින් අනිත් මිනිස්සුන්ව ගහගෙන යනවා. නෝවා ඇතුලු පිරිස උන්නු නැව පාවෙලා ගිහින් අරරත් කන්ද මුදුනේ නතර වෙනවා.

ඊට ටික දවසකට පස්සේ නෝවා පරවියෙක් යවලා බලනවා ඌ ආපහු එයිද කියලාමොකද පරවියාට ගොඩ බාන්න තැනක් නැත්නම් ඌ ආපහු හිටපු තැනටම එන්න එපැයි...ඔහොම යවපු පරෙවියා ආපහු එන්නේ නෑ.. ඒ කියන්නේ ගංවතුර බැහැලා ගිහින්...

ඔන්න ඕනයි නෝවගේ කතාව.

ඔය කතාව කිව්වට පස්සේ අපේ කන්තෝරුවේ එක්කෙනෙක් වාද කලා ඔය නැවේ කතාවට සාක්කි නෑයි කියලා. අනිත් කෙනා වාද කලා නෑ එහෙම නෑ... සාක්කි තියෙනවාය කියල. තාමත් ඒ වාදේ දිගටම යනවා.

ඊට පස්සේ සාක්කි හොයාගෙන යනකොට යන්තන් එක සබැඳියක් හම්බ උනා.

පහලින් තියෙන්නේ ඒ සබැඳිය !

ඒකට ගිහින් පින්තූරු ටික බලලා එන්නකො. එහෙනං මම ගියාවේ.!!

18 June 2014

හංසයෝ

දවස් කිහිපයකින් බ්ලොග් එකේ මුකුත් ලීවේ නැති නිසා  අද මොනවාහරි කුරුටු ගාන්ඩ ඕන කියලා හිතලා මේ පැත්තේ ආවා. මොනවද ලියන්නේ කියලා කල්පනා කරගෙන යනකොට තමා මට මූනුපොතේ තිබ්බ මේ පින්තූරේ හම්බ උනේ.

ඉතින් මට හිතුනා ඒ ගැන හොයලා බලන්න ඕන කියලා.

හංසයා  ගැන තියෙන ජනප්‍රියම කතාව වෙන්නේ දියෙන් කිරි වෙන් කරගන්න එකනේ. ඒක නම් ඇත්ත නෙමෙයි ලූ. හංසයාට ඒ හැකියාව නෑ ලු. හිංදු සාහිත්‍යයේලු එහෙම තියෙන්නේ.

හරි.... අපි ආයෙම අර කතාවට  එමු.

උඩ තියෙන පින්තූරේ කියන විදිහට හංසයෝ ජීවිත කාලය පුරාම ඉන්නේ එකම එක සහකාරයෙක් එක්ක විතරමයි ලූ. බැරි වෙලාවකවත් තමන්ගේ සහකාරයා මලොත් ඒ හංසයා සෑහෙන කාලයක් වැලපෙනවලු.

මේ නිසාම වැඩිකල් යන්න මත්තෙන් අනිත් හංසයාත් මියෑදෙනවා ලු. කමදාකවත් තවත් හංසයෙක් එක්ක සම්බන්ධතාවයක් පවත්වන්නේ නෑ. එහෙම සිදුවෙනවා නම් සිදුවෙන්නේ ඉතාමත් අල්ප වශයෙන් ලූ.

මෙන්න මේ කතාව විද්‍යාඥයින් තහවුරු කරලා තියෙන කතාවක් ලූ.

ඒ වගේම තමා හංසයන්ගේ පිහාටු වල කිසිම දෙයක් ගෑවෙන්නේ නෑලු. ඒකට හේතුව වෙන්නේ හංසයාගේ පිහාටු තෙල් ගතියකින් යුක්ත වීමලු.

ඔය කිසිම දෙයක් ගෑවෙන්නේ නැති කතාව නිසා හිංදු සාහිත්‍යයේ හංසයාව සලකන්නේ පිරිසිඳු බවේ සංකේතය කියලා ලු.  හිංදු සාහිත්‍යයේ එහෙම හඳුන්වන එකේ වරැද්දක් නෑ නේ ? :)

ඔය වගේ නානාප්‍රකාර කතා ටිකක් හංසයා ගැන කියවන්න හම්බ උනා. සිංහලයට පරිවර්තනය කරන්න කම්මැලියි. කැමති කෙනෙක් ඉන්නවා නං පහල සබැඳි වලින් කියවන්ඩ.

1. හංසයෝ...
2. හංසයෝ.. 

ගූගල් කලා නම් තව තව ලිපි ගොඩාක් හොයාගත්තෑකි.

එහෙනං මං ගියාවේ.. !

රණ හංස යුවල නිමල නිල් ජලාසේ
මන නන්දනීය දසුන් නංවනා
සිහින යහනේ දකින සිහිනේ
රතු රෝස මලක්‌ ලයට ලංවුනා


(අපි පොඩි දවස්වල ගාර්මන්ට් ගෑල්ලමයි අතර ගොඩක් ප්‍රසිද්ධ සිංදුවක්ලු ඕක.. )

04 June 2014

කොච්චර කාලයක් ගත වෙනවද ?

ඔන්න අද ලිපියෙන් කියන්න යන්නේ කතාවක් එහෙම නෙමේ. අද ලිපියෙන් දෙන්ඩ යන්නේ ගණිත ගැටලුවක්. මේ ගණිත ගැටලුව අපිට දුන්නේ අපිත්තෙක්ක වැඩ කරන යාළුවෙක්. අපේ කණ්ඩායමේ අය කොහොමහරි එක එක උත්තර දීලා අන්තිමේදි ප්‍රශ්ණය විසඳුවා.

ඔයාලත් උත්සහ කරලා බලමු !

බැරි වෙන එකක් නෑ....

මේකයි ප්‍රශ්නේ.

එක ගෙදරක ලොකු වතුර ටැංකියක් තියෙනවාලු. ඒ ටැංකියට බට දෙකක් සම්බන්ධ කරලා තියෙනවාලු. ආයේ ඒකේ අරුමයක් නෑ.. ඕනම ටැංකියක වතුර පුරවන්ඩයි වතුර පිටවෙන්ඩයි බට දෙකක් තියෙනවා නේ.

අපි ලේසියට ඒ බට දෙක A හා B කියලා නම් කරමු.

A නළයෙන් කරන කාර්යය වෙන්නේ ටැංකියට වතුර පුරවන එකලූ. A නළයෙන් ටැංකිය සම්පූර්ණයෙන්ම පුරවන්ඩ මිනිත්තු හතලිස්පහක් ගත වෙනවාලු (මිනිත්තු 45ක්)

B නළයෙන් කරන කාර්යය වෙන්නේ ටැංකිය හිස් කරන එකලු. B නළයෙන් ටැංකිය සම්පූර්යෙන්ම හිස් කරන්ඩ පෑ බාගයක් යනවලු (මිනිත්තු 30ක්)

එක්තරා වෙලාවක ටැංකිය සම්පූර්ණ‍යෙන්ම වතුරෙන් පිරිලා තියෙනවාලු. මේ වෙලාවේ එක පාරම A හා B කියන නළ දෙකම විවෘත කරනවාලු. දන්නවනේ A නළයෙන් වතුර පුරවනවා B නළයෙන් වතුර හිස් කරනවා කියලා.

ප්‍රශ්නය තමයි ටැංකිය සම්පූර්ණයෙන්ම පුරවලා A හා B කියන නළ දෙකත් විවෘත කරලා තියෙන වෙලාවක ටැංකිය සම්පූර්ණයෙන්ම හිස් වෙන්ඩ කොච්චර කාළයක් ගත වෙනවද කියන එක.

දන්න ඈයෝ ගාන හදලා උත්තරේ කියමු බලන්ඩ !
උත්තරේ මිනිත්තු වලින්ම කියමු. හදපු විදිහත් කියන්ඩ පුලුවන් නම් පංකාදුයි !

28 May 2014

2048

2048 කියලා කියන්නේ මේ දවස්වල අපේ යාළුවෝ ටික සෙල්ලම් කරන පරිගණක ක්‍රීඩාවක්.  මේ ක්‍රීඩාව නිර්මාණය කරලා තියෙන්නේ දහනම වයසැති ඉතාලි ජාතික ගේබ්‍රියල් සිරුලී...!

ගේබ්‍රියෙල් කියන්නේ ලාබාල වෙබ් අඩවි නිර්මාණකරුවෙක් !

මේ ක්‍රීඩාවේ නීති රීති හරි සරලයි.

සෙල්ලම් කරන්ඩ තියෙන්නේ පරිගණක යතුරු පුවරුවේ ඊ තල යතුරු වලින්. මෙහෙමයි සෙල්ලම කරන්න තියෙන්නේ යතුරු පුවරුවේ ඊතල යතුරු භාවිතා කරලා එකම ඉලක්කම තියෙන කොටු එක තැනකට ගේන්ඩ ඕන.

එකම ඉලක්කම තියෙන කොටු දෙකක්  එකට හැප්පුනාම ඒ කොටු දෙක එක කොටුවක් වෙලා ඒ කොටුවේ අගය දෙගුණ වෙනවා.

ඔහොම ඊතල යතුරු වලින් සෙල්ලම් කරලා 2048 කියන වටිනාකම තියෙන කොටුවක් හදන්ඩ ඕන. අවුට් නොවී 2048 කියන කොටුව හදන කෙනා තමයි මේ තරඟයෙන් දිනන්නේ. හිතනවාට වඩා ගොඩක් අමාරු ක්‍රීඩාවක් මේක.

උඩ කියපු නීතිරිති තේරුනේ නැතිවට කමන් නෑ එක වතාවක් සෙල්ලම් කරලා බලමු.

සෙල්ලම් කරනවා නං මෙතන ක්ලික් කරන්ඩ.

අපේ යාළුවෙක් සෙල්ලම් කරලා දිනුවා.පහල තියෙන්නේ ඔහුගේ ජයග්‍රහණයට පෙර අවස්ථාවක පින්තූරයක්. !
 සුබ රාත්‍රියක් වේවා !

26 May 2014

ඔය ගෙදර කොප්පේ නේ !

අද කියන්ඩ යන කතාව සිද්ධ උනේ මම සිරිපා කරුණා කරපු දවස් වල. අපි උදේම්ම පරණ පාරේ යන මොණරාගල බස් එකක නැගලා රත්නපුරේට ඇවිදින් එතැනින් පලාබද්දල බස් එකක එල්ලිලා සිරිපා කරුණා කරන්ඩ පලාබද්දල ආවයි කියමු.

පලාබද්දලින් බැහැලා උදේ කෑම කන්න ලෑස්ති උනා.

අපි උදේ කෑමට ගෙදරින් එනකොට හදාගෙන ආපු සීනි සම්බෝලයත්තෙක්ක පාන් කෑවා. කාලා ඉවර වෙලා මම යෝජනා කළා ලඟ තිබ්බ කඩෙන් ප්ලේන්ටි බොමුයි කියල. ඒ යෝජනාව අපේ අප්පොච්චයි මලයයි ස්ථිර කරලා තුන්දෙනත්තෙක්ක ප්ලේන්ටි බොන්ඩ ගියා.

අපි ප්ලේන්ටි බිබී ඉන්නැද්දි තව කට්ටියක් ඒ කඩේට ආවා. ඒ ආවේ ප්ලාස්ටික් කෝප්පයක් ගන්ඩ. වතුර බොන ලොකු කෝප්පයක් ගන්ඩයි ඒ අයට ඕන උනේ. ප්ලාස්ටික් කෝප්ප ගොඩ එහාට්ට මෙහාට්ට කරලා බැලුවත් ඒ කට්ටියට ඕන කරන ප්‍රමාණයේ ලොකු කෝප්පයක් තිබුනේ නෑ.

ඒ කට්ටිය වෙන කඩයකට යන්ඩ හැරෙනකොටම,

"ආං අර කෝප්පේ කීයද ?"  කියලා ඒ අයගෙන් එක්කෙනෙක් ඇහුවා.

"මේ සයිස් එකේ කෝප්පයක් නම් හොදයි... කීයද ගාන ?" තව එක්කෙනෙක් කිව්වා.

"රුපියක් හැටක් දෙන්ඩකෝ.." කඩේ මනුස්සයා කිව්වා.

"කෝප්පේ නම් හොඳයි.. හැබැයි ඉතින් මේ කෝප්පේ තියෙන කහට ටික යවාගන්ඩ නං අමාරු වෙයි.." කෝප්පය දිහා බලාගෙන උන්නු තවත් එක්කෙනෙක් කිව්වා.

"නෑ මහත්තයා ඔය කහට ටික හෝදලා දාපුවහම යයි." කඩේ මනුස්සයා ආයෙම කිව්වා.

ඔය අල්ල පනල්ලේ මාත් ඉස්සිලා බැලුවා කෝප්පේ මොන කහටද තියෙන්නේ කියලා. ඒ කෝප්පේ නං කාලයක් තිස්සේ තේ වත් කරලා තියෙන පාටයි. තේ කහට වගේ තිබුනේ.

කඩේ මනුස්සයයි කෝප්පේ ගන්ඩ ආපු කට්ටියයි කතා වෙලා කෝප්පේ සල්ලි දීලා ගන්න තැනට ආවයි කියමු. ඔන්න මේ වෙලාවෙදි කඩේ මනුස්සයාගේ බිරින්දෑ කොහෙද මන්ද ඉදලා ආවේ නැතෑ..

ඇවිත් එක පාරටම,

"මේ මනුස්සයාට පිස්සුද මන්දා.. ඔය ගෙදර තේ හදන කෝප්පේ නේ. ඕක විකුණන්ඩ හදන්නේ !!!" කියලා කිව්වේ නැතෑ..

කඩේ මනුස්සයාට රෙදි නෑ.. කට්ටියම එක හඩින් හිනා.  මාත් හිනාව තදකරගෙන උන්නා. :)

20 May 2014

වතුර දඩුවම

අපිත්තෙක්ක කන්තෝරුවේ වැඩ කරන කෙනෙක් කියපු කතාවකින් තමා අද පෝස්ට් එකට ඕන කරන මාතෘකාව හැදුනේ.

උන්දෑ කිව්වේ මේකයි...

එකපාරක් සිරිපාදේ වඳින්ඩ බීලා ගියපු සෙට් එකක් කන්ද උඩදි වතුරෙන් නාවලා එවලා ලූ.සිරිපාදේ තියෙන සීතලත්තෙක්ක සීතලම සීතල වතුරෙන් නාවන එක කොච්චර වදයක් ද ? එකදිගට වතුර හලලා නාවනවා නං ටිකක් හරි ඉවසලා හිටියෑකි.ඒත් කඩින් කඩ නාවනකොට පුදුම අමාරුවක් දැනෙනවා ඇති.

ඔය ගැන එක එක මත ඉදිරිපත් උනහම අපේ කමල් අයියා තමා මතක් කලේ ඔය ජාතියේම චීන දඩුවමක් තියෙනවා ය කියලා.ඉංග්‍රීසියෙන් කියනවා නං "ස්ලෝ වෝටර් ටෝච(ර්)" කියලා හඳුන්වන්න පුලුවන් !

 ඔය දඩුවමේදි වෙන්නේ අදාල වරදකාරයාව හෙලවෙන්න බැරි වෙන්ඩ ගැට ගහලා ඒ මනුස්සයාගේ නළලට වතුර බිංදුව බිංදුව වෑස්සෙන්ඩ සලස්වන එක. එක දිගටම නෙමේ කඩින් කඩ වැටෙන්ඩ සලස්වන්නේ.ඒකත් අහඹු කාලාන්ර වලදි. අපි කියමුකෝ පළවෙනි බිංදුව වැටිලා තත්පර දහයකින් අනිත් බිංදුව වැටුනා කියලා.  ඊට පස්සේ බිංදුව වැටෙන්නේ තත්පර විස්සකින් හරි තත්පර පහකින් හරි.

ඔය වගේ අහඹු කාලාන්තර වලදි තමයි වතුර බිංදු වැටෙන්නේ.

අපි කල්පනා කලේ වතුර බිංදුවක් වැටෙන්ඩ සලස්වන එක කොහොමද දඩුවමක් වෙන්නේ කියලා.
එතනදි වෙන්නේ මේකයි.

නළල කියන්නේ මිනිස්සුන්ගේ සියුම් ස්ථාන වලින් එකක් ලූ. ඒකට වතුර බිංදුවක් වැටෙන එක හොඳටම දැනෙනවාලු. ඔහොම කඩින් කඩ වතුර බිංදුවක් වැටෙනකොට අදාල අපරාදකාරයාට හරිහැටි නිදියගන්ඩත් බෑ ලු. ඇයි ඉතිං නළලට වතුර වැටෙන එක හොඳටම දැනෙන නිසා ඇහැරෙනවාලු.

ඒ වගේම තමා වතුර වැටෙන එක අමතක කරලා වෙන දෙයක් ගැන හිතන්ඩත් අමාරුයි ලූ. මොකද ආවර්ථිකව වතුර වැටෙන නිසා එක දිගට වෙන දෙයක් ගැන හිත යොමු කරන්ඩ බාධා වෙනවා. අනික තමා ගැට ගහලා තියෙන නිසා නැගිටලා වෙන තැනකට යන්ඩත් බෑ..

ටික වෙලාවකට පස්සේ අදාල අපරාධකාරයාගේ ඔලුවට මිටියකින් ගහනවා වගේ අමාරුවක් දැනෙනවාලු. ඒ අමාරුව ඇති වෙන්නේ මොළය උත්සහ කරනවාලු වතුර බිංදු වැටෙන පැටර්න් එක අඳුර ගන්ඩ... ඒකට මොළය වෙහෙසන නිසයි ඔය අමාරුව ඇති වෙන්නේ.

මේ නිසාම අදාල අපරාධකාරයාට ලොකු මානසික වදයක් ඇති වෙනවා. ඒ නිසාලු මේ දඩුවම ඒ කාලේ ඒ කියන්නේ 15 වෙනි සියවසේ චීන දඩුවම් වලට ඇතුලත් වෙලා තියෙන්නේ.

පොඩ්ඩක් හිතමු වැස්ස දවසක බස් එකේ ජනේලයක් ගාව ඉන්නැද්දි කඩින් කඩ වතුර බිංදුව ගානෙ වැටෙනකොට අපිට කොච්චර නං කේන්ති යනවද කියලා. අන්න ඒ වගේ දවස් දෙක තුන ඉන්න ගියහම කොයිතරම් නම් මානසික වදයක් ද ? 

---------------------------------------------------------------------
ප.ලී. - වැඩිදුර විස්තර කියවනවා නම් මෙන්න විකිපීඩියා සබැඳිය.

ප.ලි. - වෙසක් වලින් පස්සේ අද තමා බ්ලොග් පැත්තේ එන්ඩ විවේකයක් ලැබුනේ. කියවන්ඩ බැරි වෙච්ච බ්ලොග් ටික කියවන්ඩත් ඕන.. :)

11 April 2014

ඇඳුම් ටැග් එක

ඊයේ මං කිරිබත්ගොඩ ටවුම පැත්තේ කරක් ගැහුවා අවුරුද්දට ඇදුම් ගන්ඩ. මම කවදත් ඇඳුම් ගන්නේ තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් එකෙන් නිසා ඒ බිල්ඩින් එකට ගොඩ උනා. අප්පේ... සෙනග...!

සෙනඟ අස්සේ තෙරපිලා තෙරපිලා කොහොමහරි ටී ෂර්ට් කෑල්ලකුයි කලිසමකුයි ගත්තා...

ඒක ගත්තට පස්සේ බිල දාගන්න යන තෑන මාර පෝලිමක්.. බිල් කවුන්ටර්ම පහලොවක් දාලා තියෙනවා. ඒත් සෙනග.. තිලකවර්ධන මුදලාලිට අවුරුදු ජයයි වාගේ !

ඉතිං ඒ ගැන නෙමෙයි කියන්ඩ ආවේ.

බිල දාගන්න හිටපු තැන කොල්ලා මොකද්ද මන්දා යකඩ ගැජට් එකකට අල්ලලා ඇඳුමේ ටැග් ගැලෙව්වා. මටත් නිකමට වාගේ හිතුනා ඇඳුම් වල ටැග් එකෙන් මොකද්ද කෙරෙන සීන් එක කියලා බලන්ඩ. ඇඳුමේ ටැග් එකක් සම්පූර්ණයෙන්ම ගැලෙව්වහම තියෙන්නේ පල්ලෙහා තියෙන ගැජට් ටික..
ඔය ගැජට් ටික සෙට් වෙලා ආවහම ටැග් එක වැඩ කරන්නේ මෙහෙමයි. ඊට කලින් ටැග් එකේ හරස්කඩක් බලලා ඉමුකෝ.
ඔය පින්තූරේ නිල් පාටින් පේන පින් එක තමයි ඇඳුමට සෙට් වෙන්නේ.ඇඳුමට සෙට් වෙලා රෝස පාට බෝල හරහා ගිහින් පින් එක ටැග් එකට හයි වෙනවා. තේරුනානේ ?

කවුරුහරි පින් එකෙන් ඇදලා පින් එක ගලවන්ඩ හැදුවහම අර රෝස පාට බෝල ටික පහලට ඇවිත් පින් එක තවත් හිරකරවනවා.  ඒකට උදව් වෙන්නේ ස්ප්‍රීන් එක.ස්ප්‍රීන් එකෙන් තමා රෝස පාටට පේන බෝල ටික පහලට කරවලා තද කරලා අල්ලගෙන ඉන්නේ.

පින් එක චුට්ටක් හරි බුරුල් උනහම  ස්ප්‍රීන් එක ටිකක් දිගෑරිලා බෝල ටික පල්ලෙහාට තල්ලු කරනවා. බෝල පල්ලෙහාට තල්ලු කලහම ආයෙම බෝල ටික පින් එකට හිර වෙනවා.

ඔය අයිටම් සේරම තියෙන්නේ රතුපාට බාල්දියක් වගේ එකේ නිසා රෝස පාට බෝල ටිකට ඉහල පහල යනවා ඇරෙන්ඩ වෙන දිහාවල් වලට හෙල්ලෙන්ඩ බෑ..

එතකොට ටැග් ගලවන කෙනා කරන්නේ ඔය ටැග් එකට ඉහලින් කාන්දමක් අල්ලනවා.. කාන්දම අල්ලපුවහම රෝස පාටින් පේන බෝල ටික යකඩ නිසා ඉහලට යනවා.එතකොට පින් එක ලේසියෙන්ම ගලවලා ගත්තෑකි.....

ඔන්න ඕකයි ගැජට් එකෙන් වෙන්නේ...!

මෙන්න මේ වීඩියෝ එක බැලුවා නං වැඩේ මීටර් වෙනවා.

ඊළඟට තමා වැදගත්ම ප්‍රශ්නේ... කොහොමද ටැග් එකත්තෙක්ක ඇඳුමක් හොරෙන් අරගෙන ගියහම මාට්ටු වෙන්නේ ?

මෙහෙමයි.. අපි රෙදි සාප්පුවෙන් එලියට යන දොර දෙපැත්තේ අපිට නොපෙන්නෙන්න.. කණු දෙකක් තියෙනවා.ඒ කණු දෙක හැමතිස්සෙම කිරණ වගයක් නිකුත් කරනවා.මනුස්සයෙක් කණු අතරින් ගිහයම ඒ කිරණ ගමන් කරන්න බාධාවක් වෙන්නේ නෑ.

නමුත් මේ කිරණ වල ගමන් මාර්ගය මැද්දෙන් ටැග් එකක් තිබ්බහම බාධාවක් හට ගන්නවා.එතකොට රෙදි සාප්පුවේ එලාර්ම් එක වදිනවා.

එතකොට තමා රෙදි සාප්පුවේ උන් දුවගෙන ඇවිත් අල්ලගන්නේ !

ක්ලෝත් සිකියුරිටි ටැග් කියලා සර්ච් කලහම නෙට් එක පුරාම තියෙන්නේ හොරෙන් ටැග් ගලවන ක්‍රම. ඕන කෙනෙක් ඉන්නවා නං එහෙම ක්‍රමයක් අත්හදා බලන්ඩ.. හැබැයි මම නම් ඒකේ වගකීම බාරගන්නේ නෑ..

27 March 2014

ටීක් ටීක් සූත්තරේ

මේ ලඟදි මට කොම්පීතරයක් හදන්ඩ හම්බ උනා. මම නෙට්වර්කින් කරන කෙනෙක් හන්දා සාමාන්‍යයෙන් කොම්පීතර් හදන්ඩ ලැබෙන්නේ නෑ.. ජාලයේ මොකක් හරි අවුලක් ආවොත් තමයි මට වැඩ තියෙන්නේ.

මේ කොම්පීතරේ හැදිල්ල මට ආපු විශේෂ ඉල්ලීමක්... ඒ ඉල්ලිම ආවේ අපේ සුදු නෝනගෙන්.. !

ඒ නිසා ඒ ඉල්ලීම අහක දාන්ඩ බෑ නේ.

මම සුදු නෝනලාගේ ගෙදර ගියා ඒයැයිගේ කොම්පීතරේ හදන්ඩ. කෝල් කරලා කිව්ව විදිහට නං ප්‍රශ්නේ උනේ කොම්පීතරේ ඔන් උනාට කළු පාට ස්ක්‍රීන් එකෙන් පස්සේ වින්ඩෝස් ඔන් වෙන්නේ නෑයි කියලා. ටීක් ටීක් සද්දෙකුත් එනවයි කිව්වා.

මම නිවාඩු දවසක ඒයැයිගේ ගෙදර ගියා. ගෙදර ගිහින් කොම්පීතරේට කරන්ට් එක දීලා බැලුවා මොකද වෙන්නේ කියලා.. ඔන් කරපු හැටියෙම ටීක් ටීක් ටීක් කියලා කෑ ගහනවා. පුරුද්දට වගේ දන්නවා ඒක නං එන්නේ රැම් එක ගහලා තියෙන තැන බුරුල් වෙලා කියලා.

අපේ එක්කෙනාගෙන් ස්කුරුප්පු නියනක් ඉල්ලන්  කොම්පීතරේ ගලවලා රැම් එක ගැලෙව්වා. කොයිකටත් කියලා මක්කයකුත් ඉල්ලන් රැම් එකේ තඹ තහඩු හරිය මක්කෙන් මැකුවා. ඊට පස්සේ රැම් එක හයි කලා.

ඔන්න දැං යාන්තන් ටීක් ටීක් සද්දේ නෑ..

ඔය ටීක් ටීක් සද්දේ කියන්නේ සූත්තරයක්... ඒකෙන් කොම්පීතර් වල ලෙඩ හොයතෑකි.

කොම්පීතරේ ඔන් කරද්දිම එක පාරක් ටීක් ගෑවොත් කොම්පීතරේ හරියට වැඩ කරනවා. කිසි අවුලක් නෑ..

දෙපාරක් ටීක් ගෑවොත්  ඔන් වෙන එකේ අවුලක්. ඒක විසදගන්න මොනිටරේ තියෙන විස්තරේ කියවගන්ඩ ඕන. ඒකේ දෝශය ලියැවිලා තියෙනවා.

දිගටෝම ටීක් ටීක් ටීක් ගානවා නං මොකක් හරි කාඩ් එකක් බුරුල් වෙලා. සාමාන්‍යයෙන් රැම් කාඩ් එක වගේ බුරුල් වෙලා තියෙන්න පුලුවන්. ඒ නිසා ඒ වගේ කාඩ් ගලවලා ආයෙම හයි කරන්ඩ.

දිග ටීක් එකකුයි කෙටි ටීක් එකකුයි දිගටම ඇහෙනවා නං මදර්බෝඩ් අවුලක්.

එක දිග ටීක් එහෙකුයි කෙටි ටීක් දෙකකුයි දිගටම ඇහෙනවා නං වීඩියෝ වල අවුලක්.. ඒ කියන්නේ වී.ජී.ඒ. කාඩ් එකේ අවුලක්.. ඒක බලවන්ඩ ඕන.

ඔය වගේ එක එක කොම්පීතර් වල එක එක ටීක් සූත්තර තියෙනවා. වැඩිදුරට මෙතනින් කියවන්ඩ.. දන්න ඈයොත් ඇති නොදන්න  අයට වටියි කියලයි මේක දැම්මේ.

රැම් එක හරියාකාරව හයි කලත් කොම්පීතරේට පණ ආවේ නෑ.. වෙන අවුලක් වෙලා. ඒකත් දැනගෙන හිටියොත් හොඳ නිසා මම කියන්නම්...

ඒත් ඒක කියන්ඩ මේක වෙලාව නෙමේ. වෙන ලිපියකින් ඒ ප්‍රශ්නේ කියලා ඒ ප්‍රශ්නෙට මම දුන්න උත්තරේ  පැහැදිලි කරන්නම්.

මම එහෙනං ගියාවේ.... ජය වේවා !

18 March 2014

අමතක වෙනවාද ???

පෝය දවසේ බණ කතාවක් ලිව්වට පස්සේ මොනවමහරි ලියන්ඩ ඕන කියලා හිත හිතා ඉන්නකොට තමයි අපේ තේ වෙලාවේ සාකච්ඡාව පටන් ගත්තේ. අපේ මාතෘකාව උනේ ඉස්කෝලේ දවස්වල එක එක පාඩම් මතක තියාගන්ඩ පාවිච්චි කරපු කෙටි ක්‍රම ගැන !

පාඩම් කරනවා කිව්වහම සමහර එවුවා කොච්චර පාඩම් කලත් මතක හිටින්නේ නෑ..එහෙම උනහම ඒ ටික මතක තියාගන්ඩ කවියක්, වාක්‍යයක් වගේ කෙටි ක්‍රමයක් පාවිච්චි කරලා ඇති

උදාහරණයක් විදිහට...

ලංකාවේ රාජධානි අනුපිළිවෙල මතක තියාගන්ඩ පාවිච්චි කලේ

අපෝ දයා කුග කෝම

කියන වාක්‍යය.. ඕකේ එක අකුරට එක රාජධානිය ගණනේ තියෙනවා. :)

ඒ වගේම තමා ඒ දවස්වල දේදුන්නේ පාට හත මතක තියාගන්ඩ අපි පාවිච්චි කලේ එකම එක වාක්‍යයක් !

කුණු න්දියාවේ නීකොබෙයියෝ න්නේ තැලිච්ච ඹුටන්ලු

ඔය උඩ තියෙන වාක්‍යයේ හැම වචනයකම මුල් අකුරින් දේදුන්නේ පාට කියවෙන නිසා ඒ දවස්වල දෙදුන්නේ පාට මතක තියාගන්ඩ ඒ හැටි ගේමක් නෑ.. !

පස්සේ කාලෙක දහය පන්තියට එහෙම ආවහම  ආවර්තිතා වගුවේ පළවෙනි මූලද්‍රව්‍ය විස්සම කට පාඩමිං දැනගෙන ඉන්ඩ උනා. ඒ ටික පාඩං කරගන්ඩ ඕන කියලා මතක් වෙනකොට සූස් ගෑවෙන හන්දා ඒකත් එක වාක්‍යකින් මතක තියාගන්ඩ උත්සහ කරලා ඇති..

යි හීයි ලිට්ල් බෙනී බොනකොට නකොට නානකොට යාගේ පොටෝස් නියමයි. නංගි ගේ ල්ල සි ප නසන කෙල්ල කොල්ලට කැමතිලූ 

මේකෙත් එක වචනයක එක අකුරකින් මූලද්‍රව්‍යයක නමක් කියවෙනවා. සි යන්නෙනුයි ප යන්නෙනුයි සිලිකන් පොස්පරස් කියන මූලද්‍රව්‍ය දෙක නිරූපණය කරනවා.

ඔය වාගෙම තමා උසස් පෙළට එනකොට මූලද්‍රව්‍ය ටිකට අමතරව සක්‍රියතා ශ්‍රේණියක් තිබුනා පාඩං කරගන්ඩ.. ඒකටත් ඔය වාගේ වාක්‍යයක් තිබ්බා.

පොට්ට සෝමෙගේ ලු මැගී …..  

ඒකේ නම් ඔච්චරමයි මතක.. සක්‍රියතා ශ්‍රේණිය මතකත් නෑ ඔය වාක්‍ය මතකත් නෑ..ඔය ජාතියේ එක එක දේවල් මතක තියාගන්ඩ පාවිච්චි කරපු ක්‍රම මතක නං පහලින් කමෙන්ට් කරන්ඩලා... !

----------------------------------------------------------------------
ප.ලි. - අදත් කෝමහරි පෝස්ට් කටුවක් ලියා ගත්තා ඈ.. :)

06 March 2014

වල්ල පට්ට ගහක් !

මං පහුගිය සතියේ ඉරිදා (මාර්තු 3 වෙනිදා) අපේ කන්තෝරුවේ යාළුවෝ කට්ටියත්තෙක්ක බතලේගල සංචාරයේ යෙදුනා. (ඒ ගැන විස්තර පසුවට කියන්නම්.)

අපි කට්ටිය බතලේගල නගින්ඩ ගියේ වෑන් එකෙන්. අපි ගියපු වෑන් එක බතලේගල කඳු පාමුල කිට්ටුව තිබ්බ ගේක මිදුලේ නැවැත්තුවා. ඊට පස්සේ ඒ ගෙදරින්ම බෝතල් වලට වතුරත් පුරෝගෙන කන්ද නගින්ඩ සූදානම් උනා.

ටික දුරක් යනකොට බතලේගල පඩිපෙල් හරියට ආවා. ඒ හරියේ ආච්චි අම්මා කෙනෙක් වතුර බෝතල්, මුරුක්කු වර්ග, ටොපි චොකලට් විකුණ විකුණා උන්නා. අපි ඒයැයිවත් පහු කරගෙන ඉදිරියටම ගියා.

එතකොටම අපේ තාත්තා,

"මේං ලොක්කෝ වල්ල පට්ට ගහක් !" කියලා කිව්වා.

මාත් ඒ ඇහුන පමාවට තාත්තා පෙන්නාපු දිහාට්ට හැරිලා බැලුවා. ඔය පහලින් තියෙන්නේ එපි එදා දැකපු වල්ල පට්ට ගහ.. !

අපි එනකොටත් කලින් දවසක කවුදෝ මන්දා පට්ට ගහලා තිබ්බ බවක් නං පෙනුනා. ඔය පල්ලෙහා පින්තූරේ වල්ල පට්ට ගහ දිහෑ කෑදර බැල්මක් දාගෙන ඉන්නේ අපේ මලයා..


වල්ල පට්ට ගස් මම් පොඩිකාලේ දැක්කට පස්සේ දකින්න හම්බ උනේ අද. ඒ කාලේ නම් දැං වාගේ ඕවෑ එච්චර වටිනාකමක් නෑ.. අපි ඒ දවස්වල ඉස්කෝලේ වැඩ වලටත් වල්ල පට්ට අතු කපාගෙන සුද්ද කරලා පාට ගාලා එකේක සැරසිලි කරනවා.

වල්ල පට්ට කිව්වහම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පට්ට ගහන්ඩ පුලුවං ගහක් ! පොඩි කොනකින් පටං ගත්තහම කෙලවරට යනකන්ම පට්ටයක් ගහන්ඩ පුලුවං !

වල්ල පට්ට ගහ ගැන කියනවා නං මේ ගහේ විද්‍යාත්මක නාමය Gyrinops Walla .. ! ඒ වාගේම වල්ල පට්ට ශාකය Thymalaeaceae කියන පවුලටයි අයිති වෙන්නේ.

වල්ල පට්ට ගහේ වටිනාම කොටස පට්ටය නෙමේ. පට්ටයෙන් ලණු අඹරන්න, උගුලක් අටෝගන්ඩ ඕන කරන මන්දක් හදාගන්නෙක ඇරුනම ඒ හැටි වැඩක් නෑ..

වල්ල පට්ට වල වටිනාම කොටස වෙන්නේ ඒගාර්වුඩ් කියන රෙසීනය. ඒක AquilariaGyrinops කියන විශේෂ දෙකේම ගස් වල හැදෙන්න පුලුවන් සුවඳකින් යුක්ත රෙසීනයක් !

වල්ල පට්ට වගේ කුලයේ ශාක කල් ගතවෙනකොට Phaeoacremonium parasitica කියන පරපෝශී ඇසිටෝමයිකෝටා කියන දිලීර උවදුරට ලක් වෙනවා. මේ උවදුරෙන් මිදෙන්ඩ මේ වර්ගයේ ගස්, තමන් විසින්ම අධික වාශ්පශීලි කාබනික රෙසීනයක් (දුම්මල ) හදනවා. පස්සේ කාලෙක ඒ රෙසීනය ගහේ කඳේ ඇතුල් පැත්තේ තැන්පත් වෙනවා. මේක අදුරු වර්ණයකින් යුක්ත රෙසීනයක්.

ඔන්න ඕකයි වල්ල පට්ට ගහේ ඇතුලත සිද්ධ වෙන රසායනික ප්‍රතික්‍රියාව.

වල්ල පට්ට ගහේ වටිනාකම වැඩිවෙලා තියෙන්නේ ඔන්න ඔය රෙසීනය හන්දා කියලා කිව්වොත් මම නිවැරදියි... ! පහලින් තියෙන්නේ ඒ රෙසීනයේ පින්තූරයක්.


වල්ල පට්ට කියන්නේ තෙත් කලාපයේ හැදෙන ශාකයක්. ඒ වගේම මේ ශාකය අපේ රටට ආවේණික ගහක්. මේ ජාතියේම තවත් ප්‍රභේදයක් ඉන්දියාව වගේ ආසියාතික රටවල් වලත් හැදෙනවා.


වල්ල පට්ට ගස් වලින් ලැබෙන රෙසීනය, ඇල්කොහොලික් නොවන මිල අධික සුවඳ විලවුන් වලට ගන්න අමුද්‍රව්‍යයක් විදිහට භාවිතා කරන නිසයි මේ ගස් වලට මේ තරම් වටිනාකමක් ලැබිලා තියෙන්නේ.

අපේ රටේ මේ ගස් ටික හොරෙන් කප කපා විකුණනවා ඇරෙන්ඩ දීර්ඝ කාලීන වගාවක් හැටියට හඳුන්වලා දීලා අධික විදේශ විනිමයක් උපයන්න උත්සහ කරන්ඩ කොයි බලධාරියාටවත් උනන්දුවක් නෑ..