16 November 2022

අනේ මුංගේ බිස්නස් කෙරුවාව !

 අපේ සිංහල මිනිස්සුන්ට බිස්නස් එකක් හරියට කරගෙන යන්න තේරෙන්නේ නෑ. කොටින්ම තේරුනත් ඒක ඒ විදිහට කරගෙන යන්න කමති නෑ. මොකද කළු සිංහලු කියන්නේ අවුරුදු 2500ක මෙව්වා එකක් තියෙන හරි ගාම්භීර මහ ජාතියක් නෙහ්. අනේ මුංගේ ... !

ඒකටත් එක්ක දෙමල මිනිස්සුයි මුස්ලිම් මිනිස්සුයි නියමෙටම බිස්නස් කරගෙන යනවා. කොටින්ම පානදුරේ ටවුමේ ගොඩක් කඩ තියෙන්නේ මුස්ලිම් මිනිස්සුන්ට. ඒ වගේම එයාලට බිස්නසුත් තියෙනවා.

කලින් පෝස්ට් එක ලිව්වේ කෑමක් ගැනනේ. මේකත් මේ කෑම සම්භන්ධ බෝස්ට් එකක්ම තමා.

මම ඉන්නේ හොරණ පානදුර පාරේ ඉදලා කිලෝමීටර් 2-3ක් විතර ඇතුලකට වෙන්න. මේ හරියේ ඉතින් කෑම කඩ ගොඩක් නෑ. තියෙන්නෙත් කඩ දෙක තුනක් විතරයි. ඒ නිසා හවසකට කඩෙන් කන්න හිතුනොත් ඉතින් නෑ බෑ නොකියා හන්දියටම දුවන්න වෙනවා. එහෙම නැත්නම් ලඟ පාත තියෙන කඩෙන් මොනාහරි ගන්න වෙනවා.

මේ කඩේ කරන්නේ සිංහල ජෝඩුවක්. මේ දෙන්නගෙ මනුස්සය කොත්තු, බිත්තර රොටි පරාට වගේ දේවල් හදනවා. ගෑනු මනුස්සයා ආප්ප හදනවා.

පරාටායි බිත්තර රොටියි

 මගේ ආසම කෑමක් තමයි පරාටායි බිත්තර රොටියි කියන්නේ. පරාටා දෙකකුයි බිත්තර රොටියකුයි කපලා ඒක උඩට පරිප්පු හොදියි මිරිස් හොද්දකුයි යහමින් වත් කරලා අරගෙන කන්න තිබ්බා නම් ආයේ ඉතින් කියලා වැඩක් නෑ. ඔය සෙට් එක කන ගමන් අඩු සීනි ඉඟුරු දාපු ප්ලේන්ටියක් බොන්න තියෙනවා නම් ඉතිං නාග සලං ! කිව්වාලු.



කෝවිඩ් ඉවර වෙන්න කිට්ටුව පරාට දෙකයි බිත්තර රොටියකුයි කන්න රුපියල් 130ක් වගේ තිබ්බා නම් හොදටම ඇති. පරාටයක් 20යි බිත්තර රොටිය 50යි හොදි දානවට 40ක් වගේ ගත්තා. ඒ ගාන ශේප් !

පහුගිය දවසක මම මොරටුව පැත්තේ ඉඳලා එනකොට පානදුරෙන් පරාට දෙකටයි බිත්තර රොටියටයි රුපියල් 310ක් ගියා කියහන්කො !

කොටින්ම ඒ දවස්වල චිකන් රයිස් එකක් හරි චිකන් කොත්තුවක් හරි කන්න යන ගානත් ඕකමයි ! අනේ කාලේ !

ඉස්සරහා කාළ වලදි අපට කන්න බොන්න වෙන්නේ නං නෑ මේ විදිහට ගියොත් ! බඩු මිල ගණන් යමර වැඩිවීමක් වැඩි වෙන්නේ.

වාහනේ A/C රෙපයාර් එක

 කාර් එකක් ගන්නවා වගේ නෙමෙයි ඒවෑ එන නඩත්තු වියදම් දරන්න වෙනකොට. මගේ කාර් එකේ කාලයක ඉදන් ඒසී එක වැඩ කරන්නේ නැතුව තිබ්බා. A/C එක දැම්මහම කම්ප්‍රෙශර් එකෙන් මහ කඨෝර සද්දයක් ඇහෙනවා. ඒක නිකන් හරියට වී මෝලක් ස්ටාර්ට් කලා වගේ සද්දයක් ඇහෙන්නේ.

දවසක් නිවාඩු දාලා මම ඔටෝ A/C රෙපයාර් කරන තැනකට ගියා. එහෙන් වාහනේ බෆර් එක එහෙම ගලවලා බලලා කිව්වා කම්ප්‍රෙශර් එක ගන්නම දෙයක් නෑ. ඒක රිප්ලේස් කරන්න ඕන කියලා කිව්වා. ඒ විතරක් යෑ. කම්ප්‍රෙශර් එක කැපිලා කළුපාට කුඩක් කන්ඩෙන්සර් එකටත් ගිහින්. ඒකත් සුද්ද කරන්න ඕන කිව්වා.

මට ඉවෙන් වගේ තේරුනා සෑහෙන ගානකට කෙල වෙන පොටක් ය කියලා. මොකද මේ කාලේ වාහන වල ස්පෙයාර් පාර්ට්ස් හරිම ගණන්. පොඩි සර්විස් එකක් කලත් පන්දාහකින් මෙහා ගොඩ ඒමක් නෑ.

ඒ වෙලාවේ ලොකු මුදලක් අතේ තිබුනේ නැති නිසා මම සර්විස් එක නොකරම කාර් එක අරගෙන ආවා.


                                                  ඩෑශ් බෝර්ඩ් ගලවපු වාහනේ


පස්සේ දවසක මම රත්මලානේ ස්පෙයාර් පාර්ට්ස් කඩේකින් අළුත්ම කම්ප්‍රෙශර් එකකුයි කන්ඩෙන්සර් එකකුයි ගෙනාවා. දෙකටම රුපියල් 57,000ක් ගියා. කම්‍රෙශර් එක 40,000ක් !

ඉතින් හිතාගත්තෑකිනේ ස්පෙයාර් පාර්ට්ස් ගනන් ගිය හැටි ගැන !