29 December 2012

උගුරැස්ස සාස්තරේ

මේ දවස්වල අපේ ගේ ඉස්සරහා උගුරැස්ස ගහේ ගෙඩි පිරිලා තියෙනවා. නත්තල් නිවාඩුව නිසා මගෙයි මලයගෙයි වැඩේම දවස් දෙකෙන් දෙකට උගුරැස්ස කඩන එක. ගොඩක් අය මේවට උගුරැස්ස කිව්වට අපි නම් කියන්නේ කටු ලොවි කියලා.සමහරු නම් කටු කුරුඳු කියලාත් කියනවා.

 පින්තූරය ගූගල්ගෙනි.

ඒ කොයි හැටි වෙතත් නියම පලතුරක් තමා මේක. ගෙඩිය තලලා කන තරමට රසය වැඩියි. අපේ උගුරැස්ස ගහ ගෙයි ඉස්සරහා පැලවෙලා අවුරුදූ 10ක් විතර උනත් ගෙඩි එන්ඩ පටන් අරන් තිබ්බේ මීට අවුරුදු දෙහෙකට විතර උඩදි. ඒ අපේ මල්ලි කරපු කෙමක් හන්දා. ඒ කෙම මොකද්ද කියලා මලයගෙන්ම අහලා බලමු.

"මලයෝ උබ මොකද්ද බං කටු ලොවි ගහට කරපු කෙම ?" මම් ඇහැව්වා.

"මේකයි කෙම ! උදේ පාන්දරම කතා නොකර කටු ලොවි ගහේ කඳේ  කටු ටික ඉහල ඉදලා පහලට රහින්න (කපන්න) ඕන. "

"ඊට පස්සේ " මම ඇහැව්වා.

"ඊට පස්සේ ඒ කටු ටික පාරකට හරි මිනිස්සුන්ට පෑගෙන හරියකට ගිහින් දාන්න ඕනා."

"යකෝ උබ කියන්නේ යකාගේ කතා නේ. එතකොට මිනිස්සුන්ගෙන් බැනුං අහන්ඩ එපැයි !" මම කිව්වා.

"අන්න හරි. අයියට තේරුනා. ඒ කටු පෑගිච්ච එකා අම්මා මෝ කියලා බැන්නහම තමා ගහේ ගෙඩි හැදෙන්නේ. කොටින්ම කටු ලොවි ගහේ පලවෙනි මුරේ ගෙඩි හැදුනේ එහෙමයි."

"ඉතින් උබ කොහාට්ටද ඔය කටු ගෙනිහින් දැම්මේ ?" මම ආයෙම ඇහැව්වා.

"කටු ටික පාරට දාන්න බැරි නිසා මම වත්ත පල්ලෙහාට දැම්මා

"ඉතින් කාටද ඒ කටු පෑගිලා තියෙන්නේ ?" මම ආයෙම ප්‍රශ්නයක් නැගුවා.

"අපේ තාත්තා උදේ දත් මැද මැද වත්ත පල්ලෙහාට්ට යනකොට ඒ කටු පෑගිලා නොසෑහෙන්න බැන්නා. ඒ නිසයි ගෙඩි ආවේ"

ඔන්න ඕක තමා අපේ මලයා කටු ලොවි ගහට (උගුරැස්ස) කරපු කෙම.කිව්වත් වගේ දැන් නම් ගහේ නොසෑහෙන්න ගෙඩි හැදෙනවා. :)
මේ කතාව ලියාගෙන යනකොට මට මතක් උනේ අපේ මලයා වත්තේ තිබ්බ ගෙඩි හැදිච්ච නැති අඹ ගහකට කරපු කෙමක්.

ඒකත් මේ පහලින්ම ලියන්නම්. ඒ කෙම තමා,

උදේට උදේට ලොකු පොල් පිත්තක් අරගෙන  , ඒ පොල් පිත්තෙන් අඹ ගහේ කඳට හත් වතාවක් ගහන්න ඕනා. එහෙම සතියක් දෙකක් කරන කොට ගහේ ගෙඩි හැදෙනවා.

ඔය කෙම කලා විතරක් නෙමේ ඌ ඒක විද්‍යාත්මකව පැහැදිලිත් කලා.

"මෙහෙමයි අයියේ, දවසගානේ ගහට පොල් පිත්තෙන් තඩිබානකොට ගහ හිතනවා තමන්ගේ පැවැත්මට තර්ජනයක් ඇවිල්ලා කියලා. ඒ නිසා ඉක්මනින්ම වර්ගයා බෝ කරන්න උත්සහ කරනවා.ඒ නිසයි ඉක්මනින්ම ගෙඩි හට ගන්නේ."

ඔන්න ඕන තමා උගේ පැහැදිලි කිරිම.

24 December 2012

සුබ නත්තලක් වේවා !

පහුගිය දවස් ටිකේම සෑහෙන්න කොම්පීතරෙන් ඈත් වෙලා ජීවත් උනේ. ඒ නිසා බ්ලොග් එකේ කිසිම ලිපියක් ලියන්න උනේ නෑ. නොලිව්වට මොකෝ මම බ්ලොග් කියවන එක නම් අතෑරලා නෑ. පුලු පුලුවන් වෙලාවට කට්ටියගේ බ්ලොග් වලට ගොඩ වැදිලා පෝස්ට් ටික කියෝලා කමෙන්ට් එහෙමත් දැම්මා.

ඔන්න අද නම් මුකුත් ලියන්න කියලා අදහසක් නෑ. 

අද මම මගේ බ්ලොග් අඩවියට ගොඩ උනේ සුබ පතන්ඩ. ඔන්න එහෙනම් මගේ සුබ පැතුම් පණිවිඩය !

ලෝ වැසි සියල්ලන්ට සාමය සතුට සපිරුන සුබම සුබ නත්තලක් වේවා !

ප.ලි. - ආයේ පුලුවන් වෙච්ච වෙලාවකට බ්ලොග් අඩවියේ මොනවහරි ලියන්න එන්නම්.

05 December 2012

පොතක් අහමු.

ඉස්සරම පොත් ආවේ කොළ වල මුද්‍රණය කරලා. ඊට ටික කාලෙකට පස්සේ කොළ වල මුද්‍රණය කරන පොත් වලට අමතරව pdf විදිහට පොත් ප්‍රකාශනයට පත් උනා. කොළ වල මුද්‍රණය කරපු පොත් වගේ නෙමෙයි. මේ පොත් අඩුක් කරලා තියන්න ලොකු රාක්ක ඕනැන්නේ නෑ. ඒ වගේම තමා මුද්‍රණ වියදමකුත් නෑ. වැඩි බරකුත් නැතුව යන යන තැන අරගෙනත් ගියෑකි.

ඒ උනාට මෘදු පිටපත් විදිහට තියෙන පොත් වල ඇති එකම අවාසිය තමයි ඇස් රිදෙනකන් කොම්පීතරයක් ඉස්සරහට වෙලා කියවන්න සිද්ධ වෙන එක.ඊට අමතරව ඕන ඕන වෙලාවට කියවන්නත් බෑ. මොකද ඒ හැම වෙලාවකම කොම්පීතරේ ඔන් කරන්න එපැයි.

දැන් නම් මෘදු පිටපත් විදිහට ප්‍රකාශනයට පත් වෙච්ච පොත් වලට අමතරව ඕඩියෝ පොතුත් තියෙනවා. ගුවන් විදුලි නාට්ටියක් අහන විදිහට පැත්තකට වෙලා ඔහේ පාඩුවේ පොත අහන්න පුලුවන්. තාක්ෂණයත් එක්කම පොත් කියවිල්ලත් කොච්චර සරල වෙලාද ?

මේ ටිකේ වැඩපොලේදි කරන්න තියෙන වැඩ අඩු නිසා මම අන්තර්ජාලේ පීරලා හෙවුවා ෂර්ලොක් හෝම්ස් ඕඩියෝ පොත් ටිකක්. එහෙම හොයාගෙන හොයාගෙන යනකොට ෂර්ලොක් හෝම්ස් සිංහල නාට්ටි කොටස් කිහිපයක් හම්බ උනා.

ටික කාලයකට ඉහතදී සිරස ගුවන් විදුලියේ ඉරිදා 9.30ට සිරස රඟ මඩලෙන් විකාශනය වෙච්ච කොටස් කිහිපයක්. සිරස රඟ මඩල වැඩසටහන තාම විකාශනය වෙනවද කියලා නම් දන්නේ නෑ.

පහතින් තියෙන්නේ ඩවුන්ලෝඩ් ලින්ක් ටික. කැමති අය ඉන්නවා නම් බාගෙන අහලා බලන්න. :)

සබ්මැරීනයේ සැනසුම

අවසන් ගැටළුව

 අතුරුදහන් වූ ක්‍රීඩකයා

 ලිපිකරුගේ අභිරහස

රහස් ගිවිසුම 

අතීත අභිරහස

සම්භාවනීය ප්‍රේමවන්තයා 

ඔන්න ඔය ටික තමා හම්බ උනේ. මීට අමතරව පහතින් තියෙන ෂර්ලොක් හෝම්ස් නාට්ටි වල කොටසුත් හම්බ උනා. නමුත් ඒවෑ ඉතුරු කොටස් ටික නෑ.

The Cardboard Box දෙවෙනි කොටස නෑ..


04 December 2012

මේ ලෝක විනාසය සිදුවන මාසයයි

මේ ගෙවෙන්නේ දෙසැම්බර් මාසයයි. එසේත් නැත්නම් සුවහසක් ජනී ජනයා ලෝක විනාශය සියැසින් දැකීමට පුල පුලා බලා සිටින මාසයයි. බලන බලන හැම අතම සියල්ලන්ගේම කතා බහට ලක් වන්නේ දෙසැම්බර් 21වනදා සිදුවන්නට නියමිත ලෝක විනාශය වේ.

 දිනක් මා වැඩ ඇරි ගෙට ගොඩ වන විටම "ඕං අයියේ දෙසැම්බර් 21 වෙනිදා ඉදලා දවස් තුනක් ඉර පායන් නෑ." යැයි අපේ මලයා කෑ ගසා කීය.

"උබ කොහොමද එහෙම කියන්නේ ? උබට කවුරුහරි එහෙම කිව්වද ?" යැයි මා ඇසීමි.

"නෑ යකෝ මම වෙබ් සයිට් එහෙක දැක්කා. !!" අපේ මලයා නැවතත් කීවේය.

ගෙට ගොඩවී කරේ තිබු මල්ල ද ඇඳ උඩට විසි කර ක්‍රියාවිරහිතව තිබූ කොම්පීතරය පණ ගැන්වුවෙමි. ඉන් පසු අපේ මලය දුන් සබැඳිය ඔස්සේ ගොස් බලන විට කතාව ඇත්ත ය. වෙබ් අඩවියක එහෙම පල වී තිබේ.

අපේ මලයාගේ කතාව අමතක කර දමා පසුවදා මා වැඩට ගියෙමි.

 "ඕං මහත්තයෝ අපේ ගේ හදන්න ආපු බාසුන්නැහේ කෙනෙක් ලෝක විනාශය වෙන විදිහ ඇස් දෙකෙන්ම දැකලා !"

දවල් කෑම පැයේදි අපේ වැඩපොලේ කෙනෙකු ලෝක විනාශය ගැන කතාවක් පටන් ගත්තේය.

"නෑඃ" තවෙකෙක් හූ මිටි තිවුවේය.

" ඒ බාසුන්නැහේ එහෙම කියන්නේ කොහොමද? " මේ කතාවට එකතු වූ මගේ මිතුරා ඇසීය.

"මෙහෙමනේ මහත්තයෝ. ඒ බාසුන්නැහේ දවසක් පාන්දර හතරට විතර කළු කන්නාඩියකින් ඉර දිහෑ බලලා. එතකොටම ඉර කෙලින්ම ලොකු ගල් කෑල්ලක් තියෙනවා දැක්කා ලූ. බාසුන්නැහේ කියපු විදිහට ඒ ගල් කෑල්ල ඉර පත්තට වැටුනොත් ඉර ඉවරයි ! පොලොව පැත්තට වැටුනොත් පොලව ඉවරයි ! ඒ ගල හරියටම දෙසැම්බර් 21 වෙනිදට පොලවට වැටෙන්න එනවාලූ."

"අනේ නිකා ඉදින් මාමේ. පාන්දර හතරට කොයින්ද ඉර පායන්නේ !"

"ඒක නං මන් දන් නෑ මහත්තයෝ. මම කිව්වේ උන්දෑ කියපු දේ !"

මා මුවඟට නැගුනු හිනහව නවතා ගත්තේ ඉතාමත් අසීරුවෙනි.

ඔය කෙහෙල්මක් ලෝක විනාශේ වෙනවනම් ඒකත් එකක් !!

27 November 2012

ශ්‍රී රාවණ්ණා පුවත

සුපර්ණිකා නම් වූ රාවණගේ අක්කණ්ඩිය, රාමගේ සහෝදරයෙක් වෙච්ච ලක්ෂ්මණට ආදරය කිරීමට පටන්  ගන්නවා. නමුත් මේ ආදරය තේරුම් නොගත් ලක්ෂ්මණ, සුපර්ණිකාට අඩත්තේට්ටම් කරනවා.කොටින්ම සුපර්ණිකාගේ නහයයි කන් දෙකයි කපා දමනවා.

ඊට පස්සේ සුපර්ණිකා මේ සිද්ධය රාවණට සැල කරනවා.තමන්ගේ අක්කට ලක්ෂ්මණගෙන් වෙච්ච අතවරය දැකලා රාවණ කෝප වෙනවා. ලක්ෂ්මණ ලංකාද්වීපයට ඇවිදින් සුපර්ණිකාගෙන් වැඳලා සමාව ගන්න ඕන. රාවණා එහෙම හිතනවා.

මේ නිසා රාවණ රජතුමා සීතාව දඩුමොනරයෙන් ලක්දිව අශෝක උයනට ගේනවා. ඊට පස්සේ රාවණා, දාසියන්ව යොදවනවා සීතාට සත්කාර කරන්නෙයි කියලා. කොටින්ම සීතාට කිසිම අඩුපාඩුවක් සිද්ධ නොවෙන්න සලකන්න කියලා රාවණ රජතුමා දාසියන්ට අණ කරනවා.

අශෝක උයනේ ජීවත් වෙච්ච කාළයේදි රාවණ රජතුමා සීතාට ගිනි සිසිල කියන මායා ධර්ම උගන්වනවා.

රාමා, තමන්ගේ සේනාවත් එක්ක ඇවිදින්  ලංකාපුරයට සෑහෙන විනාශයක් සිද්ධ කරලා සීතාව ඉන්දු දේශයට අරගෙන යනවා. නමුත් ලංකා රාජ්‍යයේ සෑහෙන කාලයක් ජීවත් වෙච්ච සීතාගේ පතිවෘතාව ගැන රාමට සැකයක් පැන නගිනවා.

මේ සැකය නිසාම සීතා ගිනි මැලයකට පනින්න සූදානම් වෙනවා. "මා පතිවෘතාව රැක්කා නම් මේ ගින්නෙන් නොපිලිස්සේවි" කියලා අධිෂ්ඨානයෙන් යුක්තව ගිනිමැලයට බිලි වෙනවා. නමුත් සීතාව ගින්නෙන් පිලිස්සෙන්නේ නෑ. ඒ වෙනකක් හන්දා නෙමේ. රාවණා උගන්නපු ගිනි සිසිල කියන මායා ධර්ම නිසා. !

 මේ සියළුම කතාව තියෙන්නේ මම ලඟදි කියවපු පොතේ. පොතේ නම තමා මේ ලිපියේ හෙඩිම. පොත ලියලා තියෙන්නේ අපි කවුරුත් හඳුනන භද්‍රජි මහින්ද ජයතිලක මහත්තයා. පහුගිය පොත් ප්‍රදර්ශනයේදි මම ගත්ත පොත් වලින් අන්තිමටම කියවලා ඉවර කලේ මේ පොත. ඒ වගේම ආයේ ආයේ කියවන්න ආස හිතෙන පොතක්.

මේ තියෙන්නේ පොතේ කවරය

සමන්ති පොත් ප්‍රකාශකයයෝ තමයි පොත මුද්‍රණය කරලා තියෙන්නේ. පුලුවන් වෙලාවක පොත හොයාගෙන කියවලා බලන්න.

09 November 2012

ඊයේ අහපු බණ පදයක්

සෑහෙන කාලයකට පස්සේ මොනවාම හරි ලියන්න ඕන කියලා හිතුනා. ඒත් ලියන්න මාතෘකා වල හිඟයක් තිබ්බ නිසා ඔන්නොහේ බ්ලොග් ටික කියෝලා විතරක්  හිටියා. ඔහොම ඉන්නකොට තමා ඊයේ වැඩ ඇරිලා ගෙදර යනකොට රේඩියෝ එක අහන්ඩ හිතුනේ.

මුලින්ම සේරම රේඩියෝ චැනල් ටික සුසර කරගෙන මම හැමදාම අහන්ඩ ආස බෞද්ධයා චැනල් එක දාගත්තේ. හැමදාම වගේ ඒකේ දායකත්ව ධර්ම දේශනාව අහගෙන ආවා. ඊයේ නම් කිව්වේ රූප වේදනා සංඥා සංකාර විඥාන යන උපාධාන ස්කන්ධ ගැන දේවල් ටිකක්.

කොහොමහරි බණ පටන් අරන් අවසාන හරියට එනකොට  උත්පලවණ්නා තෙරණිය ගැන පුංචි බණ කතාවකුත් කිව්වා. නොදන්න අයට දැනගන්ඩත් එක්ක පහලින් ලියන්නම්.

ඔන්න එක්තරා සිටු පවුලකට ලස්සන දූ කුමාරියක් ඉපදුනා. දූ හරියට නිල් මහනෙල් මලක් වගේ ලස්සන නිසා ඒ දූ කුමරියට උත්පලවණ්නා කියලා නම් තිබ්බා. කාලයක් ගතවෙනකොට මේ දූ කුමරිය වැඩිවියට පත් උනා. කුමාරවරු මේ දූ කුමාරියව සරණපාවා ගන්න කැමති උනත් මේ දූ කුමරිය ඒ කිසි කෙනෙකුට කැමැත්තක් දැක්කුවේ නෑ.

දවසක් මේ දූ කුමාරියගේ තාත්තා, මේ කුමාරියව කැදවලා පැවිදි වෙන්න කැමැත්තක් තියෙනවද කියලා ඇහුවා.දූ කුමරියත් තමන් පැවිදි වෙන්න කැමති බව කිව්වා.ඉතින් මේ දූ කුමාරියව මෙහෙනි ආරාමයක මහන කෙරෙව්වා.

පස්සේ කාලෙක මේ දූ කුමාරිය විදර්ශනා වඩලා රහත් භාවයට පත්වෙනවා. 

ඔන්න දවසක් මේ කුමාරියට ගිහි කාලයේදි ආස කරපු එක්තරා කුමාරයෙක් උත්පලවණ්නා තෙරණිය සැවැත් නුවර පිඬු සිගා වඩිනවා දැක්කා.ඒ දැක්ක හැටියෙම මේ කුමාරයාට තෙරණිය ගැන හිතක් පහල වෙනවා. ඊට පස්සේ උත්පලවණ්නා තෙරණිය එන්නත් කලියෙන්ම මේ කුමාරයා තෙරණියගේ කුටියේ ඇඳ යට හැංගෙනවා.

මේ කිසිම දෙයක් නොදන්න තෙරණිය මහන්සියටත් එක්ක ඇඳේ හාන්සි වෙනවා. මේ ක්ෂණයෙම අර කුමාරයා උත්පලවණ්නා තෙරණියට අතවර කරනවා. ඊට පස්සේ මේ කුමාරයා තමන්ගේ සිතැඟි ඉටු කරගත්තා කියන ජයග්‍රාහි හැඟීමෙන් කුටියෙන් එලියට එනවා.

නමුත් රහත් ඵලයට පත් වෙච්ච තෙරණියකට අතවර කරපු වැරැද්දට මේ කුමාරයාව පොලෝ පලාගෙන  අවීචි මහා නරකාදියේ උපදිනවා.

අපි මේ බණ අහන වෙලාවෙත් ඒ කුමාරයා අපායේ දුක් විඳිනවා කියලයි බණ දේශනා කරපු හාමුදුරුවෝ කිව්වේ. මේ බණ කතාව ඇහුවට පස්සේ මට හිතුන දේ තමා සුළු මොහොතක සැනසීමකට මිනිස්සු කොයි තරම් නම් ජරා වැඩ කරනවද කියලා.

එහෙනම් ගිහින් එන්නම්.
ආයෙමත් ලියන්ඩ හිතක් පහල වෙච්ච වෙලාවට මේ පැත්තේ ඇවිදින් යන්ඩ එන්නම්. :)

31 October 2012

චොකලට් ප්‍රශ්නයක්

පහුගිය දවස් ටිකේ විභාගයක් හන්දා අතුරුදහන් වෙලා හිටපු නිසා හුඟ දවසකින් බ්ලොග් එක දිහෑ ඇහැක් ඇරලා බැලුවේ නෑ. විභාගේ නම් ඉවරයි. ඒත් කම්මැලිකම ඉහටත් උඩින් තිබ්බ නිසා කිසිම දෙයක් ලියන්න හිතුනේ නෑ..

ඊයේ සෑමා මතක් කරපු නිසා ආයෙම මොනාහරි බ්ලොග් එකේ කුරුටු ගාන්න ඕන කියලා හිතුනා. ඒත් ලියන්න කිසිම දෙයක් හිතේ නෑ. ඔන්න එතකොට තමා අපේ වැඩපොලේ කට්ටියක් චොක්ලට් ප්‍රශ්නයක් ඇදලා ගත්තේ.

ප්‍රශ්නය කෙටියෙන්ම මේකයි. !

ඔන්න එකෝමත් එක පොඩි කොල්ලෙක් රුපියල් 15කුත් අරගෙන කඩේකට යනවා චොක්ලට් ගේන්ඩ. චොක්ලට් එකක් රුපියලයි ලූ.
(අර ඊයම් කොළ වල ඔතපු හින්නිකිතර චොකලට් කෑලි කියලා හිතමු.)
ඉතින් මේ කොල්ලා චොක්ලට් ගේන්ඩ ගිය දවසේ ඒ චොක්ලට් වර්ගය ජනප්‍රිය කරවීමේ අරමුණෙන් චොක්ලට් කොළ 3කට එක චොක්ලට් එකක් නොමිලේ දෙන ප්‍රචාරණ වැඩසටහනකුත් තිබ්බ දවසක් ලූ.

රුපියල් 15ක් අරගෙන කඩේට ගිය කොල්ලට කොච්චර චොක්ලට් ප්‍රමාණයක් ගන්න පුලුවන් උනාද ?


එහෙනම් දන්න දන්න කට්ටිය පහලින් උත්තරේ කොටලා යන්න. උත්තරේත් එක්කම ක්‍රමේත් ලියලා යනවා නම් තමා හොඳ.

කට්ටියටම සුබ දවසක් !

ප.ලි. - හැමෝටම අවස්ථාවක් දෙන්ඩ ඕන නිසා කමෙන්ට් මොඩරේට් කරලා තියෙන්නේ.. :)

10 October 2012

skype වෛරසයක්

මේ දවස්වල මම ලොවෙත් අන්තරස්ධාන වෙලා ඉන්නේ. ඒ නිසා බ්ලොග් කියවන්නයි ලියන්නයි එන්නම උනේ නෑ. ඒත් අද අපිට මුහුන දෙන්න වෙච්ච සිදුවීමක් නිසා යන්තම් අකුරු තුන හතරක් ලියලා දාන්න හිතුවා.

වෙනදා වගේම ස්කයිප් ලොග් වෙලා මගේ පාඩුවේ මම වැඩ කරගෙන ගියා. ස්කයිප් එකෙන් තමයි මෙහෙ වැඩ කරන අය අදහස් හුවමාරු කරන්නේ. ඒ නිසා ස්කයිප් ලොග්වෙන එක අනිවාර්යයයි.

ටික වෙලාවක් මම වැඩකරගෙන යනකොට මෙන්න බොලේ ස්කයිප් චැට් තොගයක් එකපාරටම ආවා. හැම චැට් එකේම තිබ්බේ පහල තියෙන මැසේජ් එක.

  lol is this your new profile pic?
 http://goo.gl/Ya6Se?image= මගේ ස්කයිප් අයි ඩී එක

මම අදාල ලින්ක් එක ක්ලික් කලා. ඊට පස්සේ එකපාරටම සිප් ෆයිල් එකක් ඩවුන්ලෝඩ් වෙන්න ඇහුවා. ඒකත් ඩවුන්ලෝඩ් කරලා ඩබල් ක්ලික් කරල ඕපන් කලා.  එතකොට සිප් ෆයිල් එක ඇතුලේ ඇප්ලිකේශන් එකක් තියෙනවා දැක්කා.

 ඊට පස්සේ කොයිකටත් කියලා චැට් එක එවපු කෙනාගෙන්ම අහලා බැලුවා මොකද්ද ඒ ෆයිල් එක කියලා. බැලින්නම් ඒක වෛරස් එකක් !!!! අම්මෝ යන්තන් බේරුනා ! ඇප්ලිකේශන් එක රන් කලා නම් ඉවරයි !

 මේ වෛරස් එකේ භයානක කම කියන්නේ විඩින් විඩේ  චැට් මැසේජස් යාළුවෝ ලිස්ට් එකටම යවන එක ! මේ නිසා ලොකු නෙට්වර්ක් ට්‍රැෆික් එකක් හදන්න පුලුවන් ! අතින් එක තමා සමහර ස්කෑනින් වලට මේක අහු වෙන්නෙත් නෑ !

ඒ නිසා කියන්න තියෙන්නේ මේ වගේ ලින්ක් ක්ලික් කරන්න එපා කියන එක !  අපි නම් දවසම පට්ට ෆන් එකක් ගත්තා මේ ස්කයිප් වෛරස් එකෙන් !!

ප.ලි. - ආරක්ෂක හේතුන් මත ඉවත් කරන ලදි..

26 September 2012

බිරිඳ, සැමියට කියන බොරු

ගිය සති අන්තේ නොසිතූ විරූ කරදරයකට මුහුන දෙන්ඩ වෙච්ච නිසා කට්ටියත් එක්ක පොත් බලන්ඩ යන්න උනේ නෑ. ඒ නිසා සඳුදා දවසේ මමයි අපේ මලයයි පොත් ප්‍රදර්ශනය බලන්ඩ ගියා. ඒ ගිය ගමනෙදි නියම පොතක් හම්බ උනා. ඒ පොතේ නම තමයි බිරිඳ, සැමියට කියන බොරු !

ඒක පිටු හාරසීයක විතර ලොකු පොතක් ! මලයයි මායි පොත ගත්තේ නෑ. පොතේ තිබ්බ බොරු ටික ෆොටෝ ගහගෙන ආවා.  පහලින් තියෙන්නේ ඒ පොතේ තිබ්බ බොරු ටික !

පළවෙනි බොරුව
"මම ඔයාට ආදරේ කරන්නේ ඔයා හැසිරෙන තාලයට කැමති නිසා "

දෙවෙනි බොරුව
"මම ඔයාට සැමවිටම ගරු කරනවා, හැබැයි ඔය ඒකට සුදුසු වෙනකල් විතරයි"

තුන්වෙනි බොරුව
"ඔයා දුප්පත් උනත් පොහොසත් උනත් මම ඔයාට ආදරෙයි"

හතරවෙනි බොරුව
"ඔයා මගේ ප්‍රධානියා නෙමෙයි නේ.."

පස්වෙනි බොරුව
"මම ඔයාගේ විස්වාසය කිසිදාක බිඳින්නේ නෑ.. !"

හයවෙනි බොරුව
"කිසිවරදක් නෑ මම හොඳින් ඉන්නවා."

හත්වෙනි බොරුව
"ඔයාගේ උදවු ඕන නෑ. මට ඒක තනියෙන් කරන්න පුලුවන්"

අටවෙනි බොරුව
"අපි දෙන්නා අතර තවදුරටත් පොදු දේවල් මොකවත් නෑ.."

නමවෙනි බොරුව
"මං මේ ඇඳුමට ලස්සනයි ද ? ඇත්තටම මට ඒක ඔයාගේ කටින්ම දැනගන්න ඕනේ."

දහවෙනි බොරුව
"ඔයා දැන් මගෙත් එක්ක කතා කරන්නේ නෑ නේ."

එකොලොස්වෙනි බොරුව
"අද රෑට බෑ... මට හිසේරදයක් තියෙනවා !"

දොලොස්වන බොරුව
"ඔහොම ඉදලා නම් බෑ. ඔයා වගකීම් දරන්න ඕනේ."

18 September 2012

එකකට ඔවු නම්, අනෙකට නෑ..

අදත් බ්ලොග් එකේමොනවා හරි කොටන්ඩ කියලා හිතුනා. ඒත් ලියන්ඩ කිසිම දෙයක් මතක් වෙන්නේ නෑ..  අපේ කතන්දරකාරයාට වගේ මාතෘකා 100ක වෙන්ඩ කතන්දර මුකුත් නෑ. කොටින්ම ලියන්ඩ කිසිම දෙයක් මතක් වෙන්නේ නැත්තේ මේ දවස්වල මම් කරන වැඩත් එක්ක මාර ස්ට්‍රෙස් එකෙන් ඉන්න හන්දා වෙන්ටෑ...

ඒ මදිවට ස්ට්‍රෙස් එකෙන් ඉන්නකොට කියන කරන දේ උනත් හරහට හිටින්නේ.. ඒකෙන් ආයෙම වෙන්නේ තවත් ස්ට්‍රෙස් එක වැඩි වෙන එක විතරයි.

ස්ට්‍රෙස් කියලත් කරන්ඩ දේකුත් නෑ... මේක කොම්පීතර් රස්සා වල හැටියක් නේ ! මේන් මේ වෙලාවට තමා කොම්පීතරේ බැඳගත්ත එකේ රඟේ තේරෙන්නේ.

ඔළුවේ තියෙන බර චුට්ටක් අඩු කරගන්ඩ කියලා මූනුපොතේ රවුමක් දානකොට  පහල පින්තූරය දකින්න ලැබුනා.

පහල රූපයේ තියෙන විදිහට පිරිමි ළමයෙක් ගෑල්ලමයෙක්ගෙන් ආදරේ ඉල්ලුවොත් කොහොමට හිටීද.ගෑල්ලමයට අනිවාර්යෙන්ම ආදරෙයි කියලා කියන්ඩ වෙනවාමයි !!!

මෙන්න පින්තූරේ...

 

ප්‍රශ්න දෙකක් තියෙනවා... උත්තර දෙනවද ?
දෙකටම ඔවු කියන්ඩත් බෑ..දෙකටම නෑ කියන්ඩත් නෑ.. එකකට ඔවු කිව්වොත් අනිකට නෑ කියන්ඩ ඕනේ.
1) ඔයා මට ආදරේ ද ?
2) ඉස්සෙල්ලා කිව්වේ බොරුවක් නේද ?

එක වතාවක් බ්ලොග් ටැංකියක ඉන්න හාදයෙකුත් ගෑල්ලමයෙක්ගෙන් ආදරේ ඉල්ලන්ඩ මේ වගේ අපූරු ක්‍රමයක් පාවිච්චි කලා. උන්දෑ පාවිච්චි කරලා තියෙන්නෙ ෆ්ලෑෂ් කෑල්ලක්.. මෙන්න ඒ ෆ්ලෑෂ් ගැජමැටික් එක
එහෙනම් ඉතින් ගිහින් එන්නම්...
ආයේ හිත නිදහස් වෙච්ච වෙලාවකට කතාවක් දෙකක් ලියන්ඩ බැරුව යෑ..

ජය වේවා !

13 September 2012

ඇඟිල්ලේ ගාපු තීන්ත

පහුගිය දවස් සතියේ ලංකාවේ පලාත් කීපයකට ඡන්දේ තිබ්බා. කට්ටියත් කිරි කිරි පාන්දරම ලැහැස්ති වෙලා ඡන්ද පොලවල් වලට ගිහින් ඡන්දේ දීලා එන්ඩ ඇති නේ.

ඉස්සර මම් පොඩි කාලේත් සෑහෙන්ඩ ආසයි අපේ අම්මෑ අතේ එල්ලිල ඡන්ද පොලට යන්ඩ..ඒ වෙන මොකවත් හන්දා නෙමේ ඡන්දේ දාන අයගේ ඇඟිල්ලේ ගාන දම් පාට තීන්ත එක හන්දා !

අපේ අම්මා මාවත් ඇඳගෙන ගිහින් ඡන්ද පොළට ගියහම,

"ඕකෙන් චුට්ටක් අපේ පුතාගෙත් ඇඟිල්ලේ ගාන්ඩ !" කියලා කියනවා. එතකොට එතන ඇඟිලි පාට කර කර ඉන්න කෙනා පෑන අරගෙන තීන්ත චුට්ටක් මගේ ඇඟිල්ලෙත් ගානවා. සමහර ගෑනු උදවිය නම් කියන්ඩත් කලින් මම් පොඩි එකාගේ අතේත් තීන්ත චුට්ටක් ගාලා එවනවා. එදාට ඉතින් ඊට වැඩි සතුටක් නෑ...

කාලයත් එක්කම වගේ ඔය තීන්ත වලට තියෙන ආසාව නැත්තටම නැති උනා. ඒ ආසාව නැතිම වෙලා ගියේ මටත් ඡන්ද බලය ලැබිලා හා හා පුරා කියලා ඡන්දේ දාන්ඩ ගියපු දවසේ !

 තීන්ත ගෑවා වගේ නෙමෙයි ඕක යවා ගන්ඩ ගියහම... !!!

ඉතින් අද මට හිතුනා මොනවද මේ ගාන මල ජරා තීන්ත ජාතිය කියලා හොයන්ඩ ! එතකොට තමා පහල විස්තර ටික හම්බ උනේ.. නිවාඩුවක් තිබ්බ නිසා ඔහේ කොටලා දැම්මා...

ලංකාව, ඉන්දියාව වගේ රටවල් වල ඡන්දේ දීපු බවට සලකුණු කරන්න පාවිච්චි කරන්නේ සැර අඩු කරපු සිල්වර් නයිට්‍රේට් කියන දියරයක් ! ඒ දියරය මාකර් පෙන් වලට පුරෝලා ඡන්දේ දාන්ඩ එන එකාගේ ඇඟිල්ලේ ගානවා.

ඊට පස්සේ  ඒ දියරය, ඇඟිල්ලේ හමත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. ගොඩක් වෙලාවට හමේ තියෙන ප්‍රෝටීනත් එක්ක තමා මේ දියරය ප්‍රතික්‍රියා කරන්නේ !!

එහෙම ප්‍රතික්‍රියා කලහම දම් පාටට හුරු පාටක් එනවා. ! තත්පර 30ක් විතර වෙනකොට දම් පාට පේන්ඩ ගන්නවා ! ඕං ඔය පාට නැති වෙලා යන්ඩ නම් උඩු හම ගැලවිලා යන්ඩ ඕන ලූ ! මොකද ඉතින් හමත් එක්කනේ ප්‍රතික්‍රියාව !

ඉන්දියාවේ නම් නියපොත්ත පාට කරනවලූ. එතකොට නම් නියපොත්ත කපනකන් පාට යන්නෑ ලූ....

මෙහෙම සලකුණක් තියෙන එකේ ලොකුම වාසිය තමා මිලි ලීටර් 5ක් වගේ පොඩි ප්‍රමාණයකින් ඡන්ද දායකයෝ 600ක් සලකුණු කරන්ඩ පුලුවන් වෙන එක ලූ.

----------------------------------------------------
ප.ලි - කට්ටිය දන්න දෙයක් නම් කරන්ඩ දෙයක් නෑ ඕං !

11 September 2012

මෙහෙමත් මිනිස්සු

මේ දවස්වල හැමදාම වගේ හවසට හවසට වහින්ඩ පටන් අරන්. වැස්ස නම් කමන් නෑ කියමු.. ඒත් කොළඹට පොඩ්ඩක් වැස්සත් පාරවල් වල යන්ඩ බැරි තරම් ට්‍රැෆික් ! ට්‍රැෆික් මදිවට පාර අයින් වල කාණුත් උතුරලා පාර පේන්නේත් නෑ...ඒ මදිවට පාරේ අයින් වෙලා ගියහම වහන හයියෙන් ගිහින් මඩ වතුරත් ඉහගෙන යනවා...

කොළඹට වහින වැස්සේ මෙලෝ ලස්සනක් නෑ...ඔහේ චිරි චිරි ගාලා වහිනවා විතරයි. මම් මගේ ජීවිතේටම ලස්සනට වහින වැස්සක් දැක්කේ හොස්ටල් එකේ ඉන්නැද්දි... හොස්ටල් එකේ මගේ කාමරේ දොර ඇරපු ගමන් පේන්නේ හන්තාන කඳු වැටිය ! තවත් පැත්තකින් ලස්සනට මල් පිපිච්ච රොබරෝසියා ගස් ! මේ සේරම එකතු වෙලා ලස්සන චිත්‍රයක් අපේ ඇස් ඉදිරියේ මැවෙනවා...

හ්ම්.... එහෙමත් කාලයක් !!!

"මචං උබ යන්නේ කීයටද ?"

ජනේලයෙන් පාර දිහා බලාගෙන කල්පනා කර කර හිටපු මම එකපාරටම යාළුවාගේ කටහඬින් ආයෙම පියවි සිහියට ආවා.

"තව ටිහිකින් යනවා බං... " මම් පාර දිහා බලාගෙනම කිව්වා.

"හරි එහෙනම් උබ ඕන වෙලාවක වරෙං... මං දැන් යනවා. !"

"හරි... එහෙනම් හෙට හම්බ වෙමු.."

යාළුවා ගියාට පස්සේ පාඩම නවත්තපු තැනින් ආයෙම පාඩම් කරන්න ගත්තා. ඕන් නම් පැය භාගයක් විතර පාඩම් කරන්ඩ ඇති. ආයෙම පරණ කම්මැලිකම ආවා. ඊට පස්සේ කොම්පීතරේ ඕෆ් වෙන්ඩ දාලා වැඩපොලේ දොරවල් ටිකත් වහලා ලයිටුත් ඕෆ් කරලා යතුර සිකියුරිටි එකට භාර දුන්නා. පාරට ඇවිත් ගෙදර යන්ඩ බස් එකක එල්ලුනා. බස් එක පැයක් විතර කොටලා කොටලා යන්තන් ආමර් වීදියට ආවා.ආමර් වීදියට එනකොට යන්තන් වැස්ස ටිකක් තුරල් වෙලා යන්තන් කුඩු පොදයක් විතරයි තිබ්බේ.මම් ආමර් වීදියෙන් බැහැලා ඊලඟ බස් එක එනකන් හිටියා.

එතකොටම,

"මල්ලි, මට පොඩි කරදරයක් වෙලා.. වාහනේ මග හිට්ටා..පෙට්‍රල් ටිකක් ගන්ඩත් ඕන. පුලුවන් නං රුපියල් දහයක් දෙන්ඩ" මා ලඟට මනුස්සයෙක් ඇවිත් කිව්වා.

මුන්දෑ අතේ සල්ලි ටිකකුත් තිබ්බා. ඌ කියපු විදිහට පොඩි ගානකුයි මදි වෙලා තිබ්බේ. කුඩයකුත් හෙවිල්ලගෙන පෙට්රල් ගන්ඩ ගෙනාවයි කියලා හිතෙන ජාතියේ ප්ලාස්ටික් මෙගා බෝතලයකුත් අරගෙන ආපු මේ මනුස්සයා දිහා ටික වෙලාවක් බලන් ඉදලා "පවු... " කියලා හිතලා රුපියල් දහයක් උන්දෑ අතේ තිබ්බා.

මූත් "තෑන්ක්ස් මල්ලි !" කියලා රුපියල් දහයත් අරගෙන ගියා.

මාත් මේ මනුස්සයාට යන්ඩ ඇරලා ටික වෙලාවක් ඒකා ගිය පාර දිහෑ බලන් හිටියා. එතකොටම මේ මනුස්සයා අර විදිහටම ඊලඟට හම්බ වෙච්ච එකාගෙනුත් සල්ලි ගන්නවා මම් ඈත ඉදන්ම දැක්කා.

"අරූ හැමදාම වගේ පෙට්‍රෝල් කතාව කිය කියා එක එකාගෙන් සල්ලි ඉල්ලනවා. මං නං සල්ලි දෙන්ඩ ගියේ නෑ !!!!" කියලා ඊට ටික වෙලාවකට පස්සේ ආපු තවත් මනුස්සයෝ දෙන්නෙක් කතා උනා ඇහුනා.

අන්තිමේදි මට හිතුනේ මෙහෙම බොරු කරන මිනිස්සු නිසා ඇත්තටම වාහනයක් මග හිටලා කරදරයක් වෙච්ච එකෙක්ට කවුරුවත් උදවු කරන එකක් නෑ කියලා. කෙනෙක්ගේ අනුකම්පාවෙන් අයුතු ප්‍රයෝජන ගන්න මිනිස්සු !!!!

08 September 2012

කබලෑව දෙවියෝ

මාර කම්මැලි හවස්වරුවක් !

අම්මයි මල්ලියි හවස් අතේ ගමනක් ගිහින්. වෙද මහත්තයාගේ වැඩකට ගියපු අප්පච්චිත් දැන්ම එන පාටක් නෑ...  ගෙදර මං විතරක් තනියම.. කරන්ඩ කිසිම දෙයක් නෑ. ටීවි එකක් කියලා තිබ්බට එකේත් හරි හමන් දෙයක් බලන්ඩ නැති හන්දා ටීවි බලන ඒ අතෑරලා දාලා ගොඩක් කල් !

ප්ලේන්ටියක් හදාගෙන පුටුවට වෙලා කල්පනා කර කර ඉන්නකොට අපේ අම්මා යන්ඩ කලින් කලිසම් දහයක සාක්කු මහලා තියන්ඩ කියපු ගිය විත්තිය මතක් උනා. මැසිමත් ඔන් කරගෙන අමාරුවෙන් එක කලිසමක සාක්කු ටික මහගත්තා. ඊට පස්සේ අනිත් එක අතට ගත්තා. කලිසම හරෝ හරෝ සාක්කු මහන එක තරම් එපා කරපු වැඩක් වෙන නෑ...  මොකද අනිත් මැෂින් වගේ නෙමෙයි ජුකි මැෂින් ! ඒවා මාර ස්පීඩ්. කන්ටෝල් කර ගන්ඩ සෑහෙන ගේමක් දෙන්ඩ ඕනා !
ඔන්න අනිත් මැසින් වල නම් අස් දෙක පියාගෙන උනත් මහතෑකි...ජුකිය අළුත් හන්දද මන්ද තාම කන්ටෝල් කරගන්ඩ අමාරුයි.

දෙවෙනි කලිසම මහගෙන යනකොට ඉඳිකට්ටත් ඇඟිල්ලේ ඇනුනා. !

ඕන මඟුලක් වෙච්චදෙන් කියලා මැසිමත් ඕෆ් කරලා ලේ ගලන ඇඟිල්ලත් කටේ තියාගෙන තේ බීපු කෝප්පේ හෝදන්ඩ ගියා. කෝප්පය හෝදනකොට අපේ අම්මා බත් ඔතන්ඩ ගෙනාපු පරණ පත්තර ටික දැක්කා. ඒකෙන් එක පත්තරයක් තෝරගෙන සාලයේ පුටුවක් උඩට පැනලා තව පුටුවක් කකුල් දෙකට තියාගෙන පත්තරේ පෙරලන්න ගත්තා.

මේක ජෝතීර්ෂ‍ය පත්තරයක් ! ඒ පත්තරේ ලස්සන කතාවක් තිබ්බා !

ඒ කතාව තමා, 

අතීතයේ ඉන්දියාවේ එක ප්‍රදේශයක යක්ෂ වසංගත උවදුරක් ඇති වෙනවා. ඒ වසංගතය නවත්වන්ඩ තෙලිඟු රටෙන් කට්ටඩියෙක් ගෙන්වනවා. මේ කට්ටඬියා, වසංගතයට හේතු වෙච්ච යකාව අල්ලලා යන්ත්‍ර මන්ත්‍ර තියෙන පුස්කොළ පොතක හිර කරනවා ! පස්සේ ඒ පුස්කොළ පොත ලංකාවේ මාතර පැත්තට ගේනවා. පස්සේ පස්සේ ඔය කතාව කට්ටියට අමතක වෙලා යනවා.

එක්වා දහසකි සකරජ වරු                   සේ
දෙසීය අසූ හතරකි බක්                    මාසේ
පුර පසලොස්වක ගුරුදින                 දවසේ 
රැගෙන මෙපොත මෙපුරට ගොඩ  බැස්සේ

දවසක් කුරුණෑගල පැත්තේ දීගල්ල ගමේ හිටපු මනුස්සයෙක් පයින්ම මාතර වෙනකන් වන්දනාවේ යන්ඩ පිටත් වෙනවා. මේ මනුස්සයා මාතර පැත්තේ තිබ්බ ගැමි ගේක රෑ නවාතැන් ගන්නවා. නවාතැන් ගත්ත මගියට මේ ගෙදර මිනිස්සු කවදාවත් නොලිහන පොරොන්දුව පිට පුස්කොළ පොතක් තෑගි දෙනවා.

මේ මනුස්සයත් තෑගි ලැබිච්ච පුස්කොළ පොතත් අරගෙන තමන්ගේ ගමරට බලා පිටත් වෙනවා. ඊට පස්සේ ඒ පුස්කොළ පොත සුදු රෙද්දකින් ඔතලා තමන්ගේ පෙට්ටගමේ තැන්පත් කරනවා. ඔන්න ටික දවසකට පස්සේ දෙඩම්පාමුල ගමේ මනුස්සයෙක් මේ පුස්කොල පොත හොරකම් කරලා ඒ පුස්කොළ පොත දිග අරිනවා.

එතකොටම පොතේ හිර වෙලා හිටපු යකා එළියට පනිනවා !!!

එළියට පැනපු මේ යකා  ගමේ මිනිස්සුන්ට කරදර කරන්ඩ ගන්නවා. කොහොමින් කොහොමහරි කබලෑව ගමේ හිටපු කට්ටඬියෙක් නවගුණ මන්ත්‍රය ලක්ෂවාරයක් නූල් හත්පොටකට මතුරලා මේ යකාගේ බෙල්ලේ බඳිනවා. එතකොට මිනිස්සුන්ට කරදර කරපු මේ යකා, මනුස්සයන්ට සේවය කරන්ඩ ගන්නවා !!!

කබලෑව ගමේ කට්ටඬියා විසින් මෙල්ල කරපු මේ යකාව, 'කබලෑව දෙවියන්' කියලා දේවත්වයෙන් අදහන්ඩත් මේ මිනිස්සු පෙලඹෙනවා !!

 වතුපිටි යාන වාහන හරකබාන ආරක්ෂා කරලා දෙන්ඩත් රෝග වසංගත දුරු කරලා දෙන්ඩත් විවහා සාර්ථක කරලා දෙන්ඩත් දරුපල ප්‍රමාදය නැති කරලා දරු සම්පත් ලබා දෙන්ඩත් කායික මානසික පීඩා දුරු කිරීම යන කරුණු කාරණා වලට කබලෑව දෙවියන්ට පුද පූජා පවත්වන්ඩ මේ ගැමියෝ අමතක කරන්නේ නෑ.. !

ඔන්න ඕකයි කතාව !
පෝස්ට් එක දැනටම සෑහෙන්ඩ දිග වෙලා මම් ලියපු ලොකුම පෝස්ට් එක මේකද කොහෙද !

එහෙනම් ගිහින් එන්නම්....
සුබ රාත්‍රියක් වේවා !

07 September 2012

අළු මතින් බලයට....

අතීත රජ දවස මතට ලොල් වෙච්ච සල්ලාල රජෙක් ලක්දිව පාලනය කරපු යුගයක් තිබුනා. දවස පුරාම මධුවිතෙන් මත් වෙච්ච මේ රජතුමා ගැන රටවැසියන් හිටියේ බලවත් කනස්සල්ලකින් ! කොටින්ම මේ රජතුමා රට පාලනය කළ විදිහ ගැන රසවැසියෝ ජීවත් උනේ එච්චර හිත හොඳකමකින් නම් නෙමෙයි !

රටවැසියෝ උනත් මේ රජතුමාව හැඳින්වුවේ රූකඩ රජෙක් හැටියට !

මේ රූකඩ රජාව බලයෙන් පහ කරලා ධාර්මිෂ්ට පාලනයක් ඇති කරන්ඩ මාන බලාගෙන හිටපු, රූකඩ රජතුමාගේ රූපයට හැම අතින්ම සමාන දොරටුපාලකයෙක් මේ රජතුමාට හිටියා. ඉතින් මේ දොරටුපාලකයා තමන්ගේ සේනා සංවිධානය කලා රූකඩ රජා ගේ පාලනයට එරෙහිව !

නමුත් එක දවසක් මේ රූකඩ රජාට හිතුනා දොරටුපාලකයා වෙලා බලන්ඩ. ඉතින් මේ රූකඩ රජා දොරටු පාලකයාව කැදවලා දෙන්නගේම රාජකාරි මාරු කරගන්නවා. රජා දොරටුපාලකයා වෙනවා ! දොරටුපාලකයා රජ වෙනවා !

දොරටු පාලකයා රජ වෙච්ච හැටියෙම රූකඩ රජාගේ හිස ගසා දමනවා. !!!

ඊට පස්සේ ඉබේටම වගේ දොරටුපාලකයාට රජකම හිමි වෙනවා. නමුත් ධාර්මිකව රට පාලනය කරන්න හිතාගෙන හිටපු දොරටු පාලකයා කාලය ගත වෙනවත් එක්කම රූකඩ රජා වගේ මතට ලොල් වෙච්ච සල්ලාල රජෙක් බවට පත් වෙනවා !!!!

මේ රූකඩ රජායි දොරටුපාලකයයි හිටියේ සයිමන් නවගත්තේගම මහත්තයාගේ සුබ සහ යස වේදිකා නාට්ටියේ !

අද උදෙන්ම මේ කතාව මතක් වෙන්ඩ ප්‍රධානම හේතුව උනේ තමන්ගේ පියාට වෙච්ච අයුක්තියට අසාධාරණයට එරෙහිව සටන් කරන්ඩ නැගී හිටපු වීර දියණිය
ක් පියාගේ අළු මතින් රජකමට යන්ඩ සූදානම් වෙච්ච සතුටුදායක ප්‍රවෘත්තිය ඇහුනමත් එක්කම !

එදා අයුක්තියට
රෙහිව කතා කරපු දූ කුමාරිය අද  හිටු කියලා කියලා දෑත් ශක්තිමත් කරනවා.... ඉතින් ඒ දුවට (මට නම් නංගි වෙන්ටෑ) වගේම රටවැසියෝ වෙච්ච අපටත් මතක් වෙන්ඩ කියලා මේ කතාව පෝස්ට් කරන්න හිතුනා.

කමක් නෑ දූ..... උබ උබේ ගමන යමන් !  උබලෑ තාත්තා අහිතක් හිතන එකක් නෑ.. ඉන්න තැනකින් උබට සුබ පතාවි....මොකද දෙමවුපියෝ කවදත් බලන්නේ තමන්ගේ දරුවන්ට හොදක් කරන්ඩම නේ !!! ඒ නිසා උබ, උබේ ඉදිරි ගමන පලයන් !

තාත්තගේ අළු ටික කෑ ගහලා උබගේ ජයග්‍රහණයට සුබ පතාවි !!!!
සුභ අනාගතයක් !

--------------------------------------------------------------------
ප.ලි. - ඔච්චර දවස් ගානක් අළුත් කඩේ බඩගා
ලා තටමපු එකේ චුට්ටක් අපිට (රටවැසියන්ට) කිව්වා නම් මෙලහට්ටත් රජ වෙලා නෙව.... :)

05 September 2012

රුබික්ගේ ඝණකය

හන්ගේරියානු ජාතික අර්නෝ රුබික් කියන වාස්තු විද්‍යාව පිළිබඳ මහාචාර්ය 1974 අවුරුද්දේ අපූරු සිතුවිල්ලක් පහල වෙනවා. ඒ තමයි "කඩා වැටෙන්නේ නැතුව කුඩා ඝණක සමූහයකට එක මත එක නිදහසේ චලනය විය හැකි ද" කියන සිතුවිල්ල !


ඒ සිතුවිල්ල ඔස්සේ හිතපු මහාචාර්යවරයා ඒ අවුරුද්දෙම කුඩා ඝණක විසි හයක් එකතු වෙලා හැදිච්ච ලොකු ඝණකයක් නිර්මාණය කරනවා. ඒ තමා රූබික්ගේ ඝණකය (Rubik's Cube) !!!

මේ කියන්නේ මොකද්ද කියලා තාමත් තේරුනේ නැත්නම් පහල පින්තූරෙ බලන්ඩ !





පහලින් තියෙන්නේ සරලම එක !!!



 පහලින් තියෙන්නේ 12x12x12 රුබික් ඝණකයක්... සංකීර්ණත්වය හිතාගත්තෑකි නේ !




රූබික් මහාචාර්යවරයා මේ ඝණකය හැදුවට පස්සේ පොඩි පොඩි ඝණක ටික එහා මෙහා කරලා රටාව වෙනස් කරලා ආයේ තිබුන තත්වයට ගන්ඩ පුලුවන්ද කියලා උත්සහ කරනවා. ටික වෙලාවක් සෙල්ලම් දදා හිටපු මහාචාර්යවරයටම තේරුම් යනවා මේක හිතන තරම් ලේසි නෑ කියලා.

නමුත් මහාචාර්යවරයා ගේම අතාරින්නේ නෑ... කෑලි ටික එහා මෙහා කරලා ඝණකයේ කෙලවරවල් (මුළු) අට හරියට හරියටම හදාගන්නවා.

ඊට පස්සේ ඔය විදිහටම ටික ටික වෙනස් කරලා සම්පූර්ණම ඝණකය තිබ්බ විදිහට හදනවා.ඒකට මේ මහාචාර්යවරයට මාසයක්ම ගත වෙනවා !!!

 රූබික් මහාචාර්ය වරයා තමන්ගේ මේ අපූරු නිර්මාණයට 1975 අවුරුද්දේදි පේටන්ට් අයිතිය පවා ලබා ගන්ඩ අමතක කරන්නේ නෑ.. ඒ වගේම තමයි මේ නිර්මාණය නිසා රුබික් මහාචාර්යතුමාට දස ලක්ෂපතියෙක් වෙන්ඩත් වාසනාව උදා වෙනවා....

-----------------------------------------------------
ප.ලි. - රූබික් ඝණකය කියන නමින් දන්නේ නැති උනාට මටත් පොඩි කාලෙදි මේ ඝණකයක් තිබිලා තියෙනවා. ඒ උනාට මට නම් ඕක හරියටම හදාගන්ඩ බැරි උනා.

ඔය ඝණකය එහා මෙහා කරලා ආයෙම තිබ්බ විදිහට හදන්ඩ පුලුවන් සිස්ටෙක් (සිස්ටම් ඉංජිනේරුවෙක්) අපේ වැඩපොලේ ඉන්නවා... මිනිහා වැඩ කරලා එපා වෙච්ච වෙලාවට ඕක හද හද ඉන්නවා දැක්කහමයි මට මේ කතාව හොයන්ඩ හිතුනේ...
 
ප.ප.ලි. - මේකේ ක්‍රමේ අල්ලගත්තම වැඩේ සෑහෙන ලේසියි. එච්චර ගේමක් නෑ... !!! ක්‍රමේ ඉගෙන ගන්ඩ කැමති කෙනෙක් ඉන්නවනම් මෙන්න මේ වීඩියෝ එක බලන්ඩ !

03 September 2012

සම්ප්‍රදාය

කාලෙකට පස්සේ පුංචි පහේ දේශනයක් අහන්ඩ ලැබුනා. ඒ දේශනයේ කියවුනේ සම්ප්‍රදායන් ගැන. දේශකයා තමන්ගේ දේශනය මුලින්ම පටන් ගත්තේ ප්‍රශ්න කිහිපයකින්.

ඒ ප්‍රශ්න තමයි,

ඇයි අඟහරුවාදයි සිකුරාදයි මිනි වළලන්ඩ හොඳ නැත්තේ ?
ඇයි ඒ දවස්වලට නාන්ඩත් හොඳ නැත්තේ ?
ඇයි අඩු මාස වල (පෙබරවාරි හෝ දින තිහක් තියෙන මාස) වල විවහා උත්සව ගන්නේ නැත්තේ ?

ඔය වගේ ප්‍රශ්න කිහිපයකින් තමයි දේශනය පටන් ගත්තේ...

ගොඩක් වෙලාවට අපට මේ ප්‍රශ්න වලට හරියාකාර උත්තරයක් නෑ.. ඒ කියන්නේ මේ දේවල් තේරුමක් ඇතිව අපි දැනගෙන කරනවාට වඩා සම්ප්‍රදායිකව කරගෙන එන දේවල් නිසා අපිත් ඒවම කරනවා. ඒත් අපි හිතලා බලන්ඩ ඕනා ඒ සම්ප්‍රදායන් රැකීමෙන් අපටත් සමාජයටත් වැඩක් වෙනවද කියලා.

ඕකට හොඳම උදාහරනේ තමයි ඉන්දියාවේ තිබ්බ සතිපූජාව කියන චාරිත්‍රය... තමන්ගේ ස්වාමිපුරුෂයා මලහම බිරිඳත් ඒ සෑයටම පැනලා මැරෙන්න ඕන කියන චාරිත්‍රය.. ඇත්තටම මේ වගේ චාරිත්‍රයක් උවමනාද ? පොඩ්ඩක් හිතලා බැලුවොත් එහෙම දෙයකින් වැඩක් නෑ නේ ද ? ඒක නිකන්ම නිකන් සියදිවි හානිකරගැනීමක් නේද ?

 ඒ උනාට ඉන්දියාවේ වැන්දඹු කාන්තාවන්ට අත්වෙන ඉරණම දිහා බලනකොට නම් මේ සතිපූජාව කියන චාරිත්‍රය තියෙන එක දාහෙන් සම්පතක් කියලා හිතෙන්ඩ පුලුවන්...

තව උදාහරණයක් තමයි එක්තරා නබිවරයෙක්ව හිරේට නියම වෙනවා. ඊට පස්සේ ටික කාලයකින් මේ නබිවරයාගේ සිරුරේ ජලය හිඟ වීමේ රෝගී තත්වයකට පත් වෙනවා. (ඩි හයිඩ්‍රේශන්). නමුත් හිරකරුවන්ට ප්‍රමාණවත් වෙන විදිහට සීමිත ජල ප්‍රමාණයක් ලබා දෙන නිසා එහෙම වෙන්ඩ හේතුවක් ඇත්තෙම නැහැයි කියලා පාලකවරු හිතනවා.

නමුත් ඇත්තටම වෙලා තියෙන්නේ ඒ නබිවරයා තමන්ට බොන්ඩ ලබා දෙන ජලය ටිකෙන් ආගමික වතාවත් ඉෂ්ඨ කරන එක !!! තමන්ට දීපු වතුර ටික මේ දේවල් වලට පාවිච්චි කලහම ආයේ බොන්ඩ කියලා වතුර ඉතුරු වෙයි යෑ..

 ඔය වගේම තමා සමහර මිනිස්සු සම්ප්‍රදායන්ටත් ගරු කරගෙන සාමාන්‍ය විදිහට ජීවත් වෙච්ච මිනිස්සුත් අතීතයේ හිටියා. දේශකවරයා කියපු විදිහට ඒ වගේ කෙනෙක් තමයි 'මුල්ලා නස්රුදින් ' කියන්නේ.

දවසක් මේ මුල්ලා නස්රුදින්ට පාරේ වැටිලා තිබිලා මුද්දක් හම්බ වෙනවා. ඒ කාලයේ හැටියට තමන්ගේ නොවන දෙයක් කොහෙදිහරි හම්බ උනොත් කඩමණ්ඩියට ඇවිත් තුන් පාරක් කියන්න ඕනේ "මට මෙහෙම දෙයක් ලැබුනා. අයිතිකාරයෙක් ඉන්නවා නම් ඉදිරිපත් වෙන්න" කියලා. තුන්වෙනිපාර කිව්වටත් පස්සේ අයිතිකාරයෙක් නැත්නම් ඒ අදාල දේ ඔහුට අතියිකරගන්ඩ පුලුවන්.

නමුත් මේ නස්රුදින් ටිකක් විතර කපටි පහේ චරිතයක්... මේකාට මුද්ද අයිතිකරගන්ඩත් ඕන නමුත් සම්ප්‍රදාය කඩන්නත් බෑ..   ඉතින් මේකා කරන්නේ මහ රෑක කවුරුත් නැති වෙලාවක කඩමණ්ඩියට ඇවිත් ඇහෙන නෑහෙන ගානට 'මට මුද්දක් වැටිලා තිබිලා ලැබුනා. අයිතිකාරයෙක් ඉන්නවා නම් ඉදිරිපත් වෙන්න' කියලා කිව්වා.

 නමුත් ඈත ගෙයක ජනේලයෙන් මනුස්සයෙක් මේක දකිනවා.මේ මනුස්සයා කඩමණ්ඩියට ඇවිත් නසෘදීන්ගෙන් අහනවා "තමන් මොකද මේ මහ රෑ කඩමණ්ඩියේ කරන්නේ ?" කියලා. ඉතින් මේ නස්රුදීනුත් තමන් අතේ මුද්දක් තියෙන බව නොකියා "සම්ප්‍රදාය ඉෂ්ඨ කරන්ඩ ආවා" කියල මුද්දත් අරගෙන යන්ඩ යනවා.

 තමන්ට වැඩකට නැති සම්ප්‍රදායන් බැහැර කරන්ඩත් අවශ්‍ය කරන ම සම්ප්‍රදායන් තිබේ නම් ඒවා පිලිපදින එකත් ඔබට බාරයි.

ඔය වගේ ගොඩක් දේවල් කිව්වා... මට මතක ඔච්චරයි... :)

28 August 2012

මෙහෙම ට්‍රේනින් නම් එපා

මේ දවස්වල මට වැඩට යන එක එපා වෙලා තියෙන්නේ. ඒකට ප්‍රධානම හේතුව වෙලා තියෙන්නේ මට අපේ වැඩපොලෙන් දීලා තියෙන ට්‍රේනින් එක !

උපන්තේකට අහලා නැති ප්‍රෝග්‍රැමින් ලැංවේජ් එකක් තමයි මේ දවස් වල ඉගෙන ගන්ඩ තියෙන්නේ. අළුත් දෙයක් ඉගෙන ගන්ඩ තියෙන එක හොද දෙයක් උනාට මේ ට්‍රේනින් එක දෙන්න ඇවිත් තියෙන්නේ රැජිනගේ රටේ කෙනෙක් !

රැජිනගේ රටේ මිනිස්සු ගැන ආයේ අමුතුවෙන් කියන්ඩ ඕනේ නැහැනේ. මෙවුන්ට තියෙන්නේ සුපිරිම කඩ්ඩක් ! කඩ්ඩ විතරක් යෑ... උච්ඡාරණයත් හෙනම අමුතුයි !

මට කඩ්ඩෙන් තියෙන මොනවහරි දෙයක් අහලා තේරුම් ගන්නවාට වඩා ඒ දේ කියවලා තේරුම් ගන්නකොට ඉක්මනින් ධාරණය වෙනවා.මොනවහරි අළුත් දෙයක් අහලා තේරුම් ගන්නවා නම් සරලව කියන්ඩ ඕනේ.

ඒත් ඉතින් මුන්ගේ සරල පැහැදිලි කිරීමක් උනත් උච්ඡාරණයේ තියෙන වෙනස් කම හන්දම සෑහෙන අමුතුවට ඇහෙන්නේ. ඒ හින්දා උගන්වන දේට අමතරව භාශාවත් එක්කත් සෑහෙන සටනක් දෙන්ඩ සිද්ධ වෙලා තියෙනවා.කොටින්ම මේකෑ කටින් පිටවෙන ඉංග්‍රීසි වචනයක් අල්ලගන්ඩ මම් සෑහෙන ගේමක් දෙනවා.

හොඳම වැඩේ තමයි කට්ටිය ටික දෙනෙක් විතරක් ඉන්න හන්දා එපා වෙච්ච වෙලාවට නිදි කිරා වැටෙන්ඩත් බෑ... අන්තර්ජාලය පාවිච්චි කරන්ඩත් බෑ. අතරින් පතර විවේක කාලයකුත් නෑ.. කෑම පැයත් වෙලාවට හම්බවෙන් නෑ...

කොටින්ම උදේ අටේ ඉදලා පහ වෙනකන්ම මෙලෝ හසරක් තේරුම් ගන්ඩ බැරි දේවල් අහගෙන ඉදලා හවස් වෙනකොට ඔලුව පුපුරන්ඩ තරම් රිදෙන්ඩ ගන්නවා. මේ දවස් ටික ඉක්මනට ඉවර වෙනවනම් දාහෙන් සම්පතයි !!!

ඔන්න ඕක තමයි මේ දවස්වල මට මුහුන දෙන්ඩ වෙලා තියෙන කරදරේ !!! ඉතින් වැඩට යන එක එපා වෙන එක අහන්ඩත් දෙයක් යෑ.. !!!

24 August 2012

නාට්ටි දහයක් !

අද සිකුරාද දවසක් !
ඒ වගේම අපේ පැත්තට උදේ ඉඳන්ම සෑහෙන්ඩ වහිනවා. අද වැඩට යන්ඩ මාරම කම්මැලිකමේ හිටියේ... ඒත් ලෙඩ නිවාඩු ඇරෙන්ඩ වෙන නිවාඩු ඉතුරු වෙලා නැති හින්දා අකමැත්තෙන්ම හරි ගෙදරින් පිටත් වෙලා ආවා.

ගෙදරින් අකමැත්තෙන් ආවට මොකෝ වැඩපොලට ආවට පස්සේ වැඩ කරන්ඩ සෑහෙන උද්යෝගයක් තියෙන්නේ. ඇයි ඉතින් හෙට සෙනසුරාදා නෙව.

ඒ උනාට මම් කියන්ඩ ආව කාරණේ ඒක නෙමෙයි !

ඔන්න මේ සති අන්තයේ විවේකයක් තියෙනවා නම් බොරැල්ල YMBA ශාලාවට ආවොත් එදිරිවීර සරත්චන්ද්‍රයන්ගේ නාට්ටි වගයක් බලාගත්තෑකි.. සරත්චන්ද්‍රයන්ගේ 16 වෙනි ගුණ සමරුව වෙනුවෙන් තමයි මේ නාට්ටි පෙන්වන්නේ.

18 වෙනිදා ඉඳන් දවස් දහයක් එක දිගට නාට්ටි 10ක් පෙන්වනවා. දැන් නම් නාට්ටි උලෙලේ අන්තිම හරිය යන්නේ. ඊයේ 'කපුවා කපෝති ' නාට්ටිය තිබ්බා. යාන්තන් ඊයේ නාට්ටිය නම් බලාගත්තා. කට්ටියත් එක්ක සෙට් වෙලා අදත් යන්ඩ හිතන් ඉන්නේ.

ඉදිරි දවස් ටිකේ නාට්ටි පෙල ගැස්ම මෙහෙමයි.

අගෝ. 24 - කදා වළලු, එලොව ගිහින් මෙලොව ආවා 
අගෝ 25 - හස්තිකාන්ත මන්තරේ
අගෝ. 26 - සිංහබාහු
අගෝ. 27 - මනමේ

නාට්ටි පටන් ගන්නේ හවස 6.30ට.   ඒ උනාට ටිකක් වේලපහ එන එක තමයි හොඳ. මොකද සීට් ගාන සෑහෙන සීමිතයි. (ටිකට් එක රුපියල් 100ක් වෙනවා).

එහෙනම් සියළු දෙනාට විනෝදයෙන් පිරුණු සති අන්තයක් !

23 August 2012

හා හොඳයි හොඳයි

අපට මේ දවස්වල පෑ තුනකට වඩා වැඩි කරන්ට් කැපිල්ලක් තියෙනවා. කරන‍්ට් කපපු ගමන් යූ. පි. එස්. එකෙන් විනාඩි තිහක් විතර අල්ලගෙන ඉන්නවා. ඊට පස්සේ ඒකත් පන ඇදලා මැරිලා යනවා.

ඉතින් යූ.පී.එස් එකත් මලහම කරන්ඩ කිසිම වැඩක් නැති නිසා ඔහේ කියව කියව ඉන්නවා.

අපේ වැඩපොලේ ඉන්නවා ලංකාවට කම්පියුටර් ආපුම කාලේ ඉදන් වැඩ කරපු මනුස්සයෙක්.ඒ මනුසයා කියන විදිහට කම්පියුටර් ආපුම කාලේ කියන්නේ ඩොස් වල වැඩ කරන කාලේ ලූ .ඒ මනුස්සයා මුලින්ම වැඩ කරලා තියෙන්නේ ඩොස් වල ලූ (අර කළුපාට ස්ක්‍රීන් එක).

පස්සේ පස්සෙලූ වින්ඩෝස් වගේ ඔපරේටින් සිස්ටම් ආවේ.ඒ දවස්වල කම්පියුටර් ගැන කතා කරන්ඩ ඕනැන්නේ නෑනේ.. පෙන්ටියම් I,II වගේ කම්පියුටර් නේ තිබිලා තියෙන්නේ. අන්තර්ජාල පහසුකම ගැනත් කියන්ඩ ඕනැන්නේ නෑනේ.. 56K වගේ හයි ස්පීඩ් කනෙක්ශන් තමයි ලූ තිබිලා තියෙන්නේ.

ඉතින් මේ මනුස්සයා කලින් වැඩ කරපු තැන තරුණ පහේ හාදයෙක් ඉඳලා තියෙනවා කුමාර කියලා (හරිම නම මතක නෑ..)

දවසක් මේ කුමාරට යාළුවෙක්ගෙන් වැල සීඩී එකක් ලැබිලා. මූ සීඩී එකත් බෑග් එකට දාගෙන වැඩකරන තැනට ඇවිල්ලා. සීඩි එක බෑග් එකේ තිබ්බට මොකද ඒකේ මොනවද තියෙන්නේ කියලා දැනගන්නකන් මූට ඉන්ඩම බෑලූ.

ඉන්ඩම බැරි තැන මූ කරලා තියෙන්නේ බොසා එළියට ගියපු ගමන්  සීඩි එක එලියට අරගෙන ඒක කොම්පීතරේට දාලා බලාගෙන ඉන්නවලූ.  කවුරුහරි එයි කියන බයට මූ ෆුල් ස්ක්‍රීන් නොදා හිටියලූ.

වීඩියෝ එකත් නැගලා යනවලූ. කෙල්ලයි කොල්ලයි ඇවිත් වැඩේට එන්ටර් වෙලා ටික වෙලාවකින් කෙල්ල ඇඳුම් ගලවන්ඩ පටන් ගත්තලූ. කෙල්ලට හැට්ටේ විතරයිලූ ගලවන්ඩ ලැබුනේ එකපාරටම එලියට ගියපු බොසා තකහනියෙම කුමාර ගාවට ආවලූ මොකද්ද වැඩකට !

කුමාරට කර කියා ගන්ඩ දෙයක් නැති උනාලූ. හදිස්සියට ප්ලේයර් එක ක්ලෝස් කලාට ක්ලෝස් නොවී ෆුල් ස්ක්‍රීන් මොඩ් එකෙන් වීඩියෝ එක ප්ලේ උනාලූ ! ඊට පස්සේ කී බෝඩ් එකේ දන්න දන්න කී ඔක්කොම ඔබපු හන්දා වීඩියෝ එකත් ස්ට්‍රක් වෙලා ලූ !

 වැඩේ කියන්නේ කෙල්ලගේ පපු ප්‍රදේශය මුළු ස්ක්‍රීන් එක පුරා තියෙන විදිහටලූ වීඩියෝ එකත් නැවතිලා තියෙන්නේ !

මූට කර කියා ගන්ඩ දෙයක් නැති වෙච්ච තැන අත් දෙකෙන් කෙල්ලගේ අහවල් මෙවුවා කවර් කරගෙනම "හරි හරි සර් ! මං එන්නං" කියලා කිව්වලූ.

මොනිටරේ පැත්තක් අත් දෙකෙන් වහගෙන හිටපු කුමාරව දැකපු බොසාත් "හා හොඳයි හොඳයි කරගෙන යන්ඩකෝ !" කියලා කට කොනකින් හිනා වෙලා යන්ඩ ගියා ලූ.
--------------------------------------------------------------------
ප.ලි. - මේ දවස්වල දිගට හරහට පාඩම් කරන නිසා ග්‍රීක කතා කියවන්ඩ උනේ නෑ..

19 August 2012

මෙඩූසා

ඔන්න එකෝමත් එක කාලෙක දෙවිවරුයි යක්ෂයොයි මහපොලව උඩ ජීවත් උනා. මෙන්න මේ කාලයේදි මහපොලවට අධිපති දෙවියගේ දුවයි මුහුදු වලට අධිපතියා දෙවියගේ පුතයි කසද බැඳලා ඒ දෙන්නට ලස්සන දූ කුමාරියක් ලැබුනා.

ඒ දූ කුමාරියට මේ දෙන්නා 'මෙඩූසා' කියලා ලස්සන නමකුත් දැම්මා. මෙඩූසා කියන්නේ ගොඩාක්ම ලස්සන දූ කුමාරියක්..



දෙමවුපියනුත් මේ දූ කුමාරියගේ ලස්සන ගැන වර්ණනා කලා. ඒ තරම් මේ දූ කුමරියත් සෑහෙන්ඩ ලස්සනයි. ටික ටික කල් ගත වෙලා මේ කුමාරිය වැඩිවියට පත් වෙනවා. ඒත් එක්කම එයැයිගේ ලස්සනත් බලාගෙන ඉන්නැද්දිම වැඩිවෙනවා.

දන්නවනේ කාන්තාවන් ගොඩක් ලස්සන උනහම ආඩම්බරකම ඉබේටම වගේ එනවා කියලා. මේ දූ කුමාරියටත් ආඩම්බරකම ඕනාවටත් වඩා තිබ්බා. මේයැයි හැමතිස්සෙම තමන්ගේ ලස්සන ගැන ආඩම්බර උනා. තමන්ගේ ලස්සන වර්ණනා කරන්ඩත් මේ මෙඩූසා කුමාරිය අමතක කලේ නෑ..

දවසක් මේ දූ කුමාරිය "මම තමයි මේ ලෝකේ ලස්සනම කුමාරිය ! මම ඇප්‍රොඩයිට්ටත් වඩා ලස්සනයි !" කියලා පුරසාරම් දෙඩෙව්වා. ඇප්‍රොඩයිට් කියලා කියන්නේ සුන්දරත්වයේ හා ආදරයේ දෙව්දුව !

මෙඩූසාගේ පුරසාරම් දෙඩවිල්ල ඇප්‍රොඩයිට් දෙවඟනටත් ඇහුනා.

ඉතින් මේ ඇප්‍රොඩයිට් දෙවඟන, මෙඩූසා කුමාරියට යෝජනාවක් කරනවා.

"අපි දෙන්නා මේ ලෝකේ ඉන්න කඩවසම් ම ආදරවන්තයෝ එක්ක යාළුවෙමු. ගොඩක්ම කඩවසම් ආදරවන්තයෝ වැඩියෙන්ම ඉන්න කෙනාට දිනුම ලැබෙනවා. බැරිවෙලවකවත් ඔයා දින්නොත් ඔයා ආදරයේ දෙවඟන වෙන්න මම මරණයට පත් වෙන්නම්... හැබැයි මම දින්නොත් ඔයාට මැරෙන්ඩ සිද්ද වෙනවා !!!! "

ඇප්‍රොඩයිට් දෙවඟනගේ මේ යෝජනාවට  මෙඩූසා එකපයින්ම කැමති වෙනවා.

දෙන්නම එක වගේ ලස්සන නිසා තරඟය සෑහෙන්ඩ තියුණු වෙනවා. දෙන්නගේම පලවෙනි බැල්මට කසවසම් කුමාරවරු වශී වෙනවා. නමුත් මෙඩූසාගේ තියෙන අහංකාරකමත් එක්ක ජීවත් වෙන්ඩ කිසිම කුමාරයෙක් කැමති වෙන්නේ නෑ..

නමුත් ඇප්‍රොඩයිට් දෙවඟන ලස්සන වගේම ඒයැයිගේ ආදරේට වශී වෙච්ච කුමාරවරු ගනන දවසෙන් දවස වැඩි එනවා.

කොහොමහරි අන්තිමේදි තරඟය අවසාන දවසට ලං උනහම ඇප්‍රොඩයිට් කුමාරියට  කසවසම් ආදරවන්තයෝ සිය ගාණක් ඉන්නවා. ඒත් මෙඩුසට හිටියේ එකම එක ආදරවන්තයෙක් විතරයි.... (කවුද දන් නෑ ඒ මෝඩයා...)

 මේ තරඟයෙන් ඇප්‍රොඩයිට් දෙවඟන දිනන නිසා මෙඩූසට මැරෙන්ඩ සිද්ධ වෙනවා.... ඒත් ඇප්‍රොඩයිට් දෙවඟනගේ තියෙන හොඳ හිත නිසා මෙඩූසව මරණයට පත් කරන්නේ නෑ.. ඒ වෙනුවට ජීවිත කාළයටම බලපාන විදිහේ සාප කරනවා.

ඒ සාපය තමයි මෙඩූසා දිහා බලන හැම එකාම ගල්වෙලා යන එකයි මෙඩූසට තිබ්බ ලස්සන කොණ්ඩය විශඝෝර නයි බවට පත් කරන එක !!

ඔන්න ඔහොම තමයි මෙඩූසගේ කොණ්ඩේ නයි බවට පත් උනේ.පහල පින්තූරේ ඉන්නේ සාපයට අහු වෙච්ච මෙඩූසා...


 මෙඩූසා

 -------------------------------------------------------------------
ප.ලි. - මේ කතාවේම ඇතීනා දෙවඟන සම්බන්ධ වෙච්ච කතාවකුත් තියෙනවා. නමුත් මම ආස මේ කතාවට නිසා ඒක පරිවර්තනය කලා.

17 August 2012

මවුන්ට් ලැවීනියා

අද කතාව මේකයි !

1805 අවුරුද්දේදි තෝමස් මේට්ලන්ඩ් කියන එංගලන්ත හමුදා ජෙනරාල්වරයා ලංකාවට ගොඩ බහිනවා. මේට්ලන්ඩ් ජෙනරාල්වරයා , ලංකාවට එන්නේ ලංකාවේ ආණ්ඩුකාරවරයා බවට පත් වෙන්න.

ඉතින් මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයට නවාතැන් ගන්ඩ ලැබෙන්නේ එච්චර සුවපහසු නවාතැනක නෙමෙයි. මේ නිසා මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයාගේ පුද්ගලික පරිහරණයට සුවපහසු මන්දිරයක් ඉදි කරනවා. 1806 අවුරුද්ද වෙනකොට මේ මන්දිරයේ වැඩ කටයුතු නිමවෙලා ආණ්ඩුකාරවරයා මන්දිරයේ පදිංචියට යනවා.

මන්දිරයේ ජීවත් වෙන මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයා, තමන්ගේ මන්දිරයට mestizo නැටුං කණ්ඩායමක් ගෙන්වනවා. මේ අයගේ නැටුම් බලලා ආණ්ඩුකාරවරයා සතුටු වෙනවා. ඒත් එක්කම නැටුම් කණ්ඩායමේ හිටපු ලැවීනියා අපෝන්සුවා කියන ලස්සන තරුණියකට මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයාගේ ඇහැ ගැටෙනවා.

 mestizo නැට්ටුක්කාරියෝ

ලැවීනියා අපෝන්සුවා කියලා කියන්නේ අර්ධ සිංහල අර්ධ පෘතුගීසි රොඩී කුළයේ තරුණියක්. කුළයෙන් හීන තරුණියක් !

 මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයට මේ තරුණියගේ නැටුම් හිතට අල්ලනවා.කොච්චර හිතට ඇල්ලුවාද කියනවනම් ආණ්ඩුකාරවරයට මේ තරුණිය කෙරෙහි ආලවන්ත හිතක් පහල වෙනවා. මේ වෙනකොටත් අවුරුදු 46ක් වෙච්ච ආණ්ඩුකාරවරයා කසාඳ බැඳලත් හිටියේ නෑ ලූ.

ඉතින් මේ තරුණිය ගැන කරුණු කාරණා හොයලා බලනකොට ඒ කෙනත් පදිංචි වෙලා ඉන්නේ ආණ්ඩුකාරවරයගේ මන්දිරයට ගොඩක් ලඟින්.

නමුත් මේ තරුණිය කුළයෙන් අඩු කෙනෙක් නිසා කෙලින්ම ගෑල්ලමයගේ ගෙදරට ගිහින් හම්බ වෙන්ඩ බෑ. ආණ්ඩුකාරවරයාට මේ ගෑල්ලමයව හම්බ වෙන්න ක්‍රමයක් කල්පනා කරනකොට හොද අදහසක් පහල උනා ලූ.

ඒ තමයි තමන්ගේ මන්දිරයේ බිම් මහලේ ඉදන් ඒ ගෑල්ලමයගේ ගෙදරට උමඟක් හාරන එක !. උමඟේ වැඩ ඉවර උනාට පස්සේ ආණ්ඩුකාරවරයා, තමන්ගේ පෙම්වතියව හම්බ වෙන්ඩ යනවා.

අවුරුදු හයක් තිස්සේ ආණ්ඩුකාරවරයා මේ උමඟ දිගේ ගිහින් ලැවීනියව හම්බ වෙලා එනවා.ලෝකයාට හොරෙන් මේ දෙන්නගේ ආදර කතාව උමඟ දිගේ හොර රහසෙම ගලාගෙන යනවා. ඔහොම කාලය ගත වෙනකොට මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයාගේ ශරීර සෞඛ්‍යය දුර්වල වෙනවා.

මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයට තමන්ගේ මවු රටට යන්ඩ වෙනවා.

තමන්ගේ අදරයයි ඒ ආදරයට උදවු කරපු උමඟයි ඉතුරු කරලා මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයා තමන්ගේ මවු රටට යනවා. ඒ යන්ඩ කලින් පොඩි කඳු මුදුනක් උඩ ඉදිවෙච්ච මේ මන්දිරයට "මවුන්ට් ලැවීනියා" කියලා නම් කරනවා.
 ගල්කිස්ස හෝටලය 

ගල්කිස්ස මුහුදු වෙරළේ ආසන්නයේම දිස් වෙන හෝටලය, මේ දෙන්නගේ ආදර කතාවට අදටත් සාක්ෂි දරනවා !

මේ සති අන්තයේ ගල්කිස්ස මුහුදු වෙරලට යනවා නම් මේ කතාව මතක තියාගෙන යන්ඩ හොදේ.. තමන්ගේ ආදරවන්තියට / ආදරවන්තයාට කියලා දෙන්ඩ බැරි යෑ... :)

හැමෝටම විනෝදයෙන් පිරුණ සති අන්තයක් !!!
-----------------------------------------------------------------

 ප.ලි. - මේ කතාව මතක් කරලා දීපු අමානිට (අමා ට) ස්තුතියි !

ප.ප.ලි - කතාව කලින් අහලා තියෙනවා නම් කොරන්ඩ දෙයක් නෑ.. කම්මැලිකමට ලියන්ඩත් දෙයක් තියෙන්ඩ එපායෑ... :)

14 August 2012

ඩාවින්සි දුටු අනාගතය

"මිනිසා විසින් නිෂ්පාදනය කළ සෑම නව නිර්මාණයක්ම මුලින්ම උපදින්නේ ඔහුගේ හිතේ ය. "

මම් ඉස්කෝලේ යන දවස්වල දවසේ ආදර්ශ පාඨය විදිහට පංතියේ කළු ලෑල්ලේ ඔහොම ලියලා තිබ්බා මතකයි. තමන්ගේ හිතේ උපදින සෑම සිතුවිල්ලක්ම නව නිර්මාණයක් කරගැනීම හැමකෙනාටම එකවිදිහට කරගන්න නම් බෑ. ඒකට උත්සහයත් කැපවීමත් ඕන කරනවා.

ඒ උනත් අඩුම තරමේ තමන්ගේ හිතේ උපදින හැම අළුත් සිතුවිල්ලක්ම චිත්‍රයට නගන්න පුලුවන් නම්, එතකොට කවදාහරි ඒ කෙනාට තමන්ගේ හිතේ මෙහෙම සිතුවිල්ලක් ඇති උනා ය කියලවත් සතුටු වෙන්ඩ පුලුවන්.

අපි නොදන්නවා උනාට තමන්ගේ හිතේ ඇති වෙච්ච හැම සිතුවිල්ලක්ම චිත්‍රයට නගපු මිනිස්සුත් ලෝකයේ ඉදලා තියෙනවා. එහෙම කෙනෙක් තමා ලියනාඩෝ ඩාවින්චි කියලා කියන්නේ.

ඔහු තමන්ගේ ජීවිත කාළයේදී හිතුන හැම දෙයක්ම වගේ චිත්‍රයට නගලා තියෙනවා. ඒත් ඒ හැම සිතුවිල්ලක්ම ඔහුගේ ජීවිත කාළය ඇතුලතදී නව නිර්මාණයක් වෙලා නම් නෑ...

 ඔහුගේ හිතේ ඇති වෙච්ච හොඳම සිතුවිලි දහයෙන් කීයක් නම් නිර්මාණයක් බවට පත්වෙලා තියෙනවද කියලා බලන්න.

1. බෝල බෙයාරිම් (Ball Bearing )










පහලින් තියෙන්නේ බෝල බෙයරිම් එකක පින්තූරයක්











2. පැරෂුට්( Parachute )












3. අහසින් පියාසර කළ හැකි ornithopter-(නූතන ගුවන් යානා වලට සමානය )










4. මැෂින් ගන් (Machine Gun)












5. කිමිදුම් ඇඳුම්


6. යුද්ධ ටැංකි











7. ස්වයංක්‍රීයව ක්‍රියා කරන කරත්ත












8.  අනාගත නගර සැලසුම්














9. වායුමය අවර පෙත්ත - නූතන හෙලිකොප්ටර් වලට සමානය











10. රොබෝ නයිට්වරු (රොබෝ මිනිසුන්)











එක අතකට ඩාවින්සි කියන්නේ නිකන්ම නිකන් චිත්‍ර ශිල්පියෙක් විතරක් නෙමෙයි වර්තමානයේදි අනාගතයේ ඇතිවිය හැකි දෑ නිර්මාණය කරපු නිර්මාණ ශිල්පියෙක් !

-------------------------------------------------
ප.ලි. - මේකත් අහම්බෙන් කියවන්න ලැබුන ලිපියක්. පරිවර්තනය කරන්න කම්මැලි නිසාම පින්තූර ටික විතරක් දැම්මා. :)

09 August 2012

ඇතෑන්ස්

කලින් ලිපියෙදි සියුස් දෙවියන්ගේ හිස දෙබෑ කරගෙන ඇතීනා දෙවඟන ඉපදුන කතාව කිව්වා මතක ඇති නේ. ඔන්න මේ දෙවඟන ටිකෙන් ටික තරුණ වියට එලඹෙනවා. මේ කාලෙදි පොසයිඩන් කියන මුහුදු වලට දෙවියයි ඇතීනයි  අතර අමුතු තරඟයක් ඇති වෙනවා.

ඒ තමයි තමන්ගේ නමින් නගරයකට නමක් දාන්න. !

කවුරුත් ආසයි නෙව තමන්ගේ නමින් නගරයක් තියෙනවා නම්.ඉතින් මේ පොසයිඩනුයි ඇතීනයි දෙන්නම කරට කර තරඟ කරනවා තමන්ගේ නමින් නගරය නම් කරගන්ඩ. ඉතින් මේ දෙන්නා අතර තියෙන තරඟය ගොඩක් උනුසුම් වෙනවා. කොටින්ම දේව සභාවෙත් මේ ගැන කතා වෙනවා.

අන්තිමේදි දෙවිවරු ඒක මතිකව තීරණය කරනවා මේ දෙන්නගෙන් කාට හරි දිනුම දීලා ඒ කෙනාගේ නමින් මේ නගරය නම් කරන්ඩ.

ඉතින් මේ දෙන්නටම කියනවා මිනිස්සුන්ට ප්‍රයෝජනවත් දෙයක් නිර්මාණය කරන්ඩ කියලා. මිනිස්සුන්ට ගොඩක්ම ප්‍රයෝජනවත් වෙන දේ නිර්මාණය කරන කෙනාගේ නමින් නගරය නම් වේවි කියලා දෙවිවරු තීරණය කරනවා.

 දෙන්නම අභියෝගය බාර ගන්නවා !

මුලින්ම අහියෝගයට මුහුණ දෙන්නේ පොසයිඩන්. මෙයා තමන්ගේ  ත්‍රිශූලය පර්වතයක හිර කරලා එතනින් ජල ධාරවක් නිකුත් වෙන්ඩ සලස්වනවා. මිනිස්සු මේ ජල ධාරාව දැකලා සෑහෙන්ඩ සතුටු වෙනවා. ඒගොල්ලෝ වතුර ටිකක් අරගෙන බොන්න හදනවා. ඒත් බොන්න බෑ ලුණු රසයි... පොසයිඩන් කියන්නේ මුහුදු වලට අධිපති දෙවියා නිසා මුහුදු වතුර තමයි එවලා තියෙන්නේ.ඉතින් මිනිස්සුන්ට මේ නිර්මාණය එපා වෙනවා.

පොසයිඩන්


ඊට පස්සේ ඇතීනගේ වාරේ.එයා තමන්ගේ යෂ්ටිය බිම හිටවලා එතනින් ඔලිව් ගහක් හටගන්න සලස්වනවා. ඔලිව් ගහ දැකපු මිනිස්සු ගොඩක් සතුටු වෙනවා.මිනිස්සු මේ ඔලිවු ගහෙන් එක එක කෑම ජාති හදා ගන්නවා, දර, තෙල් වගේ දේවල් ලබා ගන්නවා.
 ඇතීනා

ඉතින් මේ දෙන්නගේ නිර්මාණ වලින් මිනිස්සුන්ට වඩාත්ම ප්‍රයෝජනවත් වෙන්නේ ඇතීනගේ නිර්මාණය නිසා මේ නගරය ඇතෑන්ස් කියලා නම් කරනවා. අදටත් ග්‍රීසයේ අගනුවර වෙලා තියෙන්නේ මේ ඇතෑන්ස් නගරයම තමා !

පහුකාලීනව මේ ඇතෑන්ස් නගරයේ ඇතීනා දෙවඟනටම වෙන් වෙච්ච දේවාලයක් හැදෙනවා. ඒක තමයි පාතිනන් දේවාලය කියන්නේ. !

08 August 2012

ඇතීනා

ඔන්න එකෝමත් එක කාලෙක දෙවිවරුන්ගේ රජ්ජුරුවෝ විදිහට ඉන්න සියුස් දෙවියෝ මෙටිස් (Metis) කියලා කුමාරිකාවක් සරණ පාවා ගන්නවා. මෙටිස් කුමාරිය කියන්නේ සෑහෙන බුද්ධිමත් කුමාරිකාවක් !

ඉතින් මේ කුමාරියයි සියුස් රජතුමායි සතුටින් ජීවත් වෙනවා. ටික කාලයකට පස්සේ මේ කුමාරිය දරුවෙක් පිළිසිඳ ගන්නවා. මේ කුමාරිය දරුවෙක් පිලිසිඳ ගන්න ආරංචිය අහපු සියුස් රජතුමා ඒ තරම් සතුටු වෙන්නේ නෑ.රජතුමා කලබල වෙනවා.

එහෙම කලබල වෙන්නේ බැරිවෙලාවකවත් කුමාරිය පුතෙක් බිහි කලොත් සියුස් රජතුමාට පුතාගේ අතින් මැරුම් කන්න සිද්ධ වෙන්ඩ වෙන නිසා.නමුත් සියුස් රජතුමා දන්නේ නෑ තමන්ගේ ආදරනීය බිරින්දෑට දූ කුමාරියක් ලැබෙන්ඩ හිටපු විත්තිය.! ඉතින් මේ රජතුමා තමන්ගේ දේව බලය පාවිච්චි කරලා  මේ ආදරනීය බිරින්දෑව චූටි කෘමියෙක් බවට පත් කරනවා. ඊට පස්සේ මේ රජතුමා තමන්ගේ ආදර නීය බිරින්දෑව ගිලිනවා.

තමන්ගේ ආදරනීය බිරින්දෑව ගිල්ලට පස්සේ සියුස් රජතුමාට දරාගන්ඩ බැරි තරමේ දරුණු හිසේරදයක් හැදෙනවා. ග්‍රීසයේ හිටපු හැම වෙදෙක්වම ගෙන්නුවත් මේ හිසේ රදය හොද වෙන්නේ නෑ.. කොටින්ම වෙදකමට අධිපති ඇපලෝ කියන දෙවියන්ටවත් මේ හිසේරදය හොද කරන්ඩ නම් ලබෙන්නේ නෑ..

අන්තිමේදි සියුස් රජතුමාට කරකියා ගන්න දෙයක් නැතිවෙනවා.ඊට පස්සේ සියුස් රජතුමා, කම්මල්වැඩවලට අධිපති හිපාක්ටස් කියන දෙවියන්ව කැඳවනවා. ඊට පස්සේ හිපාක්ටස්ට අණ කරනවා එක පොරෝපාරකින් තමන්ගේ ඔළුව දෙපළු කරන්ඩ කියලා.

සියුස් දෙවියන්ගේ අණ පිළිපැදපු හිපාක්ටස්, තමන්ගේ පොරොවෙන් සියුස් රජතුමාගේ හිස දෙපළු කරනවා.හිස දෙපළු කලාට පස්සේ නළල පැළුන තැනින් යුධ ඇඳුම් වලින් සැරසුන කුමාරිකාවක් එලි‍යට එනවා.එහෙම එලියට එන කුමාරිය තමයි ඇතීනා දෙවඟන කියන්නේ.

නළල පැළුන තැනින් ඇතීනා දෙවගන පැමිණීම

මේ ඇතීනා දෙවඟනට තමන්ගේ අම්මගේ බුද්ධිමත් කම නො අඩුව ලැබෙනවා. මේ නිසාම කුමාරිය පසු කාලිනව බුද්ධියට අධිපති දෙවඟන බවට පත් වෙනවා. තව දෙයක් තමයි යුධ ඇඳුමින් සැරසිලා පැමිණි ඇතීනා දෙවඟන යුධ උපක්‍රමවලට අධිපති දෙවඟන කියලත් හඳුන්වනවා.කොටින්ම ඇතීනා දෙවඟන කියන්නේ රූ සම්පත්තියෙන් අගතැන්පත් දෙවඟනක් !
ඇතීනා දෙවඟන
ඒ වගේම සියුස් රජතුමාත් තමන්ගේ දූ කුමරියට සෑහෙන්ඩ ආදරේ කරනවා. කොටින්ම තමන්ගේ උපදේශිකාව හැටියට දූ කුමාරියව පත් කර ගන්නවා. :)

ඔන්න ඔහොම තමයි බුද්ධියට අධිපති ඇතීනා දෙවඟන උපදින්නේ..
---------------------------------------------------------------------
ප.ලි. - හිපාක්ටස් කියන නම පරිවර්ථනය කලා හරිද මන්දා. හරිම නම තිබ්බේ මේ විදිහට Hephaestus

06 August 2012

ප්‍රශ්න වලට පිලිතුරු

මතකනේ මම එක ලිපියක කිව්වා බැබිලෝනියානු එල්ලෙන උයනක් ගැන. අන්න ඒ ලිපිය කියවපු සමහර අය එක එක ප්‍රශ්නත් අහලා තිබ්බා. ඒ අහපු එක ප්‍රශ්නයක් තමයි ඇත්තටම ඒ උයන එල්ලෙනවද කියලා.

සරලම උත්තරේ තමයි 'නැහැ' කියන එක ! ඇත්තටම මේ උයන එහෙම කිසිම දෙයකින් එල්ලෙන උයනක් නෙමේ.ඒක වෙලා තියෙන්නේ kremastos කියන ග්‍රීක වචනේ පරිවර්ථනය කරන කොට වෙච්ච වැරැද්දක් ලූ.  මේ උයනට ඇත්තටම 'එල්ලෙන' කියන වචනයට වඩා ගැලපෙන්නේ 'ලම්බක' කියන වචනෙලු.

 එතකොට මේ උයන පුදුමයක් වෙන්නේ මේ හැම තට්ටුවකටම ජලය ගෙන ගියපු තාක්ෂණය ලූ. ඒකට පාවිච්චි කරලා තියෙන්නේ චේන් පොම්ප , ස්කුරුප්පු පොම්ප වගේ තාක්ෂණයන් ලූ.

 
ඊලඟ ප්‍රශ්නේ තමයි දැන් එහෙම උයනක් තියෙනවද කියන එක.ඇත්තටම දැන් එහෙම උයනක් කියලා නෑ ලූ.මුළු බැබිලෝනියානු නගරයම එකම සුන්බුන් ගොඩක් වෙලා තියෙනවා. අන්න ඒ සුන්බුන් ගොඩෙන් එල්ලෙන උයන තිබ්බ තැන මෙතනයි කියලා හොයාගන්න පුරාවිද්‍යාඥයෝ වාද හිටන් කරලා තියෙනවා ලූ.



නගරයම මෙහෙම සුන්බුන් වෙලා තියෙනකොට උයනක් හොයලා වැඩක් නෑ කියලා කාටත් තේරෙනවනේ..

සියල්ල අනිත්‍යයි... අවසාන වශයෙන් මට හිතුනේ එහෙමයි..

---------------------------------------------------------
ප.ලි. - මේ දවස්වල මම් ඇතීනා දෙවඟනට පිස්සු වැටිලා ඉන්නේ. ඒ ගැන ඉදිරියේදි ලියවෙයි. :)

04 August 2012

ජෙරුසලමේ බිඳවැටිම..

මම කලින් ලිපියක කිව්වනේ නෙබුකත්නසාර් කියන්නේ බැබිලෝනියානු එල්ලෙන උයන හදපු කපටි රජෙක් කියලා. ඉතින් මේ රජතුමාට සෑහෙන්ඩ ආසයි තමන්ගේ බැබිලෝනියනු රාජ්‍යය සෑහෙන විශාල රාජ්‍යයක් කරගන්ඩ. ඒ කියන්නේ අහල පහල රාජ්‍යයන් අල්ලගෙන තමන්ගේ බලය ව්‍යාප්ත කරන්ඩ.

 ඔහොම තමන්ගේ බලය ව්‍යාප්ත කරන ගමනෙදි මේ රජතුමාගේ ඊලඟ ඉලක්කය වෙලා තිබ්බේ ජෙරුසලම් රාජ්‍යය !

මේ වෙනකොට ජෙරුසලම් රාජ්‍යය සෑහෙන්ඩ පිරිහිලා තියෙන්නේ. ඒ කියන්නේ දුශ්චරිතවත් සමාජයක් තමයි ඒ කාලේ ජෙරුසලමේ තිබිලා තියෙන්නේ.

ඉතින් මේ රජතුමා ජෙරුසලම යටත් කරගන්ඩ තමන්ගේ නෑදෑ කෙනෙක්ට බාර දෙනවා. මුන්දෑගේ නම ශෙදෙකියා ! එතකොට මේ ශෙදෙකියාට යන්තන් අවුරුදු 21ක් වෙනවා විතරයි.

මුන්දෑ මුලින්ම කරන්නේ ජෙරුසලම් රාජ්‍යය වටේ කඳවුරු බැදගන්න එක ! එතකොට ජෙරුසලම් රාජ්‍යයේ ජනතාවට එලි පහලියට බහින්න බැරි තත්වයක් උදා වෙනවා. මේ නිසාම ජෙරුසලමේ සාගතයක් ඇති වෙනවා. කොටින්ම යුද්ධ කරනවා තියා කඩුවක් උස්ස ගන්ඩ බැරි තරමටම මිනිස්සුන්ට කන්ඩ බොන්ඩ නැති වෙන්ඩම සාගතේ දරුණු වෙනවා.

මේ අල්ල පනල්ලේ නෙබුකත්නසාර් රජතුමා තමන්ගේ සේනාවත් කැටුව ජෙරුසලමට යනවා. ජෙරුසලම ගැන කිව්වොත් ඒක ලොකු පවුරකින් (තාප්පයකින්) වට වෙච්ච රාජ්‍යයක් ! ඉතින් මේ රජතුමා ජෙරුසලම් රාජ්‍යයේ පවුරක දුර්වල තැනකට පහර දීලා ඒක බිඳලා රාජ්‍යයට ඇතුල් වෙනවා !

 ඊට පස්සේ රජතුමාගේ සේනාව අහුවෙන අහුවෙන හැම එකාවම මරා දාලා වස්තුව කොල්ල කනවා. ඊට පස්සේ මුළු සෙරුසලම් රාජ්‍යයම ගිනිබත් කරනවා. ගින්නටයි බැබිලෝනියානු හේවායන්ගේ කඩුවටයි අහු වෙන්නේ නැතුව බේරිච්ච කට්ටිය ජෙරුසලම් රාජ්‍යයෙන් එලියට දුවනවා !

ඒත් මේ අය බැබිලෝනියානු හේවායන්ගෙන් බේරෙන තරම් වාසනාවන්ත වෙන්නේ නෑ.ඒ සේරම මිනිස්සු බැබිලෝනියානු දේශයට අරගෙන යනවා වහල්ලු හැටියට !

ඔන්න ඔය විදිහට තමයි ජෙරුසලම් රාජ්‍යය බිදවැටෙන්නේ... එවකට ජෙරුසලම් වැසියන්ගේ මුදුන් මල්කඩ වෙලා තිබ්බ සලමොන් රජතුමාගේ දේව මන්දිරයත් මේ ගින්නෙන් විනාශ වෙනවා.

ජෙරුසලම් ජනතාව බැබිලෝනියාවේ වහල්කමට ගෙනයන ගමනෙදි මහන්සියට බැබිලෝනියානු ගං තෙරේ වාඩි වෙනවා. මහන්සියෙනුයි බඩගින්නෙනුයි හෙම්බත් වෙලා ඉන්න ජෙරුසලම් ජනතාව බැබිලෝනිය රජතුමාට එක හඬින් සාප කරනවා.

බැබිලොනියාවේ ගං තෙරේ වාඩිවෙච්ච අපිට සියොන් කන්ද සිහි උනා ය.අපි හඬා වැලපුනා ය. අපිට බැබිලෝනියානුවන් පීඩා කලා ය. ජෙරුසලම් රාජ්‍යය අපට අමතක වෙන්නේ නෑ ය. අපට මේ කරපු දේට බැබිලෝනියාවට සාප වේවා ය.  කියලා එක හඬින් මොරගහන්න පටන් ගන්නවා.

අන්තිමේදි ජෙරුසලම් ජනතාව ගොවිතැන් කටයුතු වලටත්, මිදිවතු වල වැඩටත් යොදවනවා. ඊට පස්සේ මෙහෙම වහල්කම් වලින් දුක් විඳින ජනතාව තමන්ව ගලවගන්න දෙවියන් වහන්සේ කවුරුහරි කෙනෙක් ඒවයි කියන බලාපොරොත්තුවෙන් ජීවත් වෙනවා.

මෙන්න මේ සිද්ධිය  1970 ගනන් වලදී ආයෙමත් ලෝක ප්‍රජාවට මතක් වෙනවා. ඒ බොනියෙම් (boney M) කියන සංගීත කණ්ඩායම ගායනා කරන 'By the Rivers of Babylon' කියන ගීතයෙන්...

මේ ගීතයේ පද මාලාව මෙතනින් කියවන්න. ගීතය මෙතනින් බා ගන්න.

ප.ලි. - මගේ කලින් ලිපිය කියවපු අපේ මලයා තමයි මේ කතාව මතක් කරලා දුන්නේ. ඊට පස්සේ අන්තර්ජාලයෙනුයි මගේ කොල හැලිච්ච බයිබලයෙනුයි ඉතුරු විස්තර ටික හොයා ගත්තා.

ප.ප.ලි - කලින් පෝස්ට් එකේදි කට්ටිය අහපු ප්‍රශ්න වලට උත්තර ලඟදිම ලියන්නම්.

03 August 2012

කපටි රජෙක් හා බැබිලෝනියානු එල්ලෙන උයන

ක්‍රිස්තු පූර්ව 650 ගණන් වල බැබිලෝනියාවේ රජකමට පත් වෙනවා නෙබුකත්නසාර් කියලා රජ කෙනෙක්. රජෙක් කියලා කිව්වට නෙබුකත්නසාර් කියන්නේ අධිරා‍ජ්‍යයෙක් කියලා හැඳින්වුවාට වරදක් නෑ... ඉතිහාසය උනත් සාක්ෂි දරන්නේ යුද්ධ කරන්ඩ දස්කම් තියෙන රජෙක් හැටියට !!!

දවසක් මේ රජතුමාට හිතෙනවා තමන්ගේ බැබිලෝනියා රාජ්‍යයට උතුරින් තියෙන  'මෙඩ්ස්' (Medes) කියන රාජ්‍යය අල්ල ගන්ඩ.මෙඩ්ස් කියන රාජ්‍යය ගහ කොල පිරුණ කඳුවැටි වලින් ආරක්ෂිත රාජ්‍යයක්.  කොටින්ම බලන බලන හැම පැත්තම කොල පාටින් දිස් වෙච්ච රාජ්‍යයක් කිව්වොත් වරදක් නෑ.

ඉතින් නෙබුකත්නසාර් රජතුමා සුපුරුදු පරිදි මේ රාජ්‍යයත් එක්ක යුද්ධ කරන්ඩ යන්නේ නෑ. ඒ වෙනුවට රජතුමා අපූරු උපායක් පාවිච්චි කරනවා. ඒ තමයි,

මෙඩ්ස් කියන රාජ්‍යයේ රජතුමාට ඉන්නවා 'අමිටිස්' (Amytis) කියලා රූ සම්පත්තියෙන් අගතැන්පත් දූ කුමාරියක්. නෙබුකත්නසාර් රජතුමා මෙඩ්ස් කියන රාජ්‍යයේ රජතුමාත් එක්ක සාකච්ඡා කරනවා රාජ්‍යයන් දෙකේම සහයෝගිතාව වර්ධනය කරගන්ඩ මෙඩ්ස් රාජ්‍යයේ දූ කුමාරිය සරණපාවා ගන්ඩ කැමතියි කියලා. (කොහොමද මේකෑ මොලේ !!)

කොහොමහරි මෙඩ්ස් රාජ්‍යයේ රජතුමා ඒ යෝජනාවට කැමති වෙලා අමිටිස් කුමාරියව නෙබුකත්නසාර් රජතුමාට සරණපාවා දෙනවා.

කුමාරියත් මේ රජතුමා එක්ක බැබිලෝනියාවේ පදිංචියට යනවා.

බැබිලෝනියාව ගැන කිව්වොත් ඒක එහෙම් පිටින්ම කාන්තාරයක්. ගහ කොලක් නෑ පේන තෙක්මානයේ . තනිකරම වැලි ගොඩක් !!!

බැබිලෝනියාවේ ටික කාලයක් ජීවත් වෙනකොට කුමාරියට හෝම් සික් (HomeSick) එක හැදෙනවා. ඒ කියන්නේ සාංකාවක් වගේ හැදෙනවා. තමන්ට හුරු පුරුදු වනගත පරිසරයෙන් ඈත් වෙලා වැලිකතරක ජීවත් වෙන්ඩ ලැබිච්ච එක ගැන කුමාරිය සෑහෙන්ඩ දුක් වෙනවා. රජ සැප තිබ්බත් මොකෑ හිතේ සතුටක් නැත්තං !!!

මේ ගැන හිතලම කුමාරිය ටිකෙන් ටික කෘෂ වෙනවා. මේක රජතුමා දැකලා කරුණු කාරණා අහනවා.කුමාරියත් සේරම විස්තරේ රජතුමාට කියනවා.

ඊට පස්සේ රජතුමා කන්දක හැඩයට හිටින්න ගොඩනැඟිල්ලක් හදනවා. ඒකේ එක එක ගස් වර්ග පලතුරු ජාති වවලා කුමරියට හුරු පුරුදු වනගත පරිසරය ගොඩනගලා දෙනවා. අන්න ඒ ගොඩනැගිල්ල තමා පස්සේ කාලෙක ලෝක පුදුමයක් වෙච්ච බැබිලෝනියානු එල්ලෙන උයන කියන්නේ !!!



 බැබිලෝනියානු එල්ලෙන කුළුණ

ප.ලි. - මේ දවස්වල කරන්ඩ වැඩක් නැතිකමට බැබිලෝනියානු ඉතිහාසේ ගැන හෙවුවා. එතකොට තමයි මේ කතාව කියවන්ඩ ලැබුනේ.

30 July 2012

ශාන්ත එල්මෝගේ ගින්න

ඉස්සර නාවිකයෝ රට රටවල් වල සංචාරය කලේ රුවල් නැවු ආධාර කරගෙන කියලා කවුරුත් දන්නවා නේ. දැන් වගේ අධිතාක්ෂණයෙන් යුක්ත කන්ටේනර් පටවපු නැව් ඒ කාලේ තිබ්බේ නෑ.රුවල් නැවු වල බඩු පටවගෙන සුළඟ ආධාර කරගෙන තමයි ඒ කාළයේ නවිකයෝ රට රටවල සංචාරය කරන්නේ. ඔන්න ඔය රුවල් නැවු වල තියෙනවා කුඹ ගස් ! ඒවගේ කුඹ ගස් වල තමයි රුවල් එල්ලලා තියෙන්නේ.

අන්න ඒ කුඹ ගස් කෙලවර යකඩ වලින් හදපු තුඩක් (විල්ලක්) තියෙනවා.

දවසක් දීර්ග මුහුදු සංචාරයක යෙදෙන නාවිකයෝ වගයකට අහම්බෙන් වගේ මේ කුඹගහේ තුඩෙන් විදුලි කෙටීමක් දකින්න හම්බ වෙනවා. ඒක හරියට වහින්න යනකොට ගහන අකුණක් වගේ ලූ. පස්සේ පස්සේ ඒක ගින්දර පාටින් දිලිසෙන්න ගත්තාලු.

නමුත් ගිනි ගන්නවා වගේ පෙනුනට පිච්චිලා යන්නේ නෑ ලූ.ඉතින් මේ ආශ්චර්යය දැකපු නාවිකයෝ හිතුවලූ මේ දේවතා එළියක් ය කියලා. කොටින්ම එයාලා හිතුවලූ නාවිකයන්ට කැපවෙච්ච නාවිකයන්ට සරණය වෙන සාන්තුවර එල්මෝ තුමාගේ ගින්නක් ය කියලා. (St. Elmo's Fire)
ඉතින් මේ ගින්නට ඒ අය ශාන්ත එල්මෝ ගින්න කියලා නම් කලා ලූ.
(සාන්තුවරයෙක් කියන්නේ කතෝලික ආගමේ ආගමික නායකයෙක් වගේ කෙනෙක්.)

පහල තියෙන්නේ ශාන්ත එල්මෝ ගින්න (St. Elmo's Fire) දැක්වෙන සිතුවමක්!


(සාන්තුවර එල්මෝ කියලා කියන්නේ එවකට රෝමයේ කෲර අධිරා‍ජ්‍යයෙක් වෙච්ච දියොක්ලේසියානුගේ කාළයේ රෝමයේ Formiae කියන නගරයේ හිටපු බිෂොප් වරයෙක්. කතෝලික ආගම දේශනා කිරීමේ වරදට පසුකාලිනව මෙතුමාට දස වද දීලා අන්තිමේදි හිස ගසා දමනවා.)


මුහුදු ගමනෙන් හෙම්බත් වෙලා මුහුදු රළත් එක්ක ඔට්ටු වෙන නාවිකයන්ට පිළිසරණ වෙන්න සාන්තුවර එල්මෝ තුමා එයාලත් එක්ක ඉන්නවා කියලා මේ ගින්න දකින නාවිකයන්ට හිතුන ලු.ඒක ඒ අයගේ හෙම්බත් වෙච්ච හිත් වලට ලොකු සහනයක් උනා ලු. මේ සිද්ධියෙන් නාවිකයෝ තව තවත් ධෛර්යමත් උනා ලූ.

ඇත්තටම  විද්‍යාත්මක සිද්ධ වෙන සංසිද්ධිය වෙන්නේ අර නැව් වල තියෙන කුඹ ගස් වල ලෝහ තුඩු හමන සුළඟත් එක්ක වරින් වර ගැටිලා ආරෝපණය වෙනවා. එහෙම ආරෝපණය වෙච්ච ලෝඩ තුඩු වලින් ආරෝපණ පිටවෙන එකලූ වෙන්නේ. එහෙම ආරෝපණ පිටවෙනකොට පෙනෙන ආළෝක ධාරාවලූ නාවිකයෝ සාන්තුවර එල්මෝ ගින්න කියලා අඳුනා ගන්නේ.

මේ ආරෝපණ පිටවීම කොරානා විසර්ජනය කියලත් හඳුන්වනවා.
(අකුණු ගහනකොටත් වෙන්නේ මේ වගේම ආරෝපණ පිටවීමක්. ඒ වෙලාවෙදිත් අපට ආලෝකයක් දිස් වෙනවා දැකලා ඇති නේ.)

ඔන්න ඕකයි සාන්තුවර එල්මෝ ගින්නේ කතාව. එහෙනම් මං ගිහින් එන්නම්.
සියළුදෙනාට සුබ දවසක් !!

28 July 2012

බර වැඩි වෙයි ද ?

"අයියේ... ?"

"මොකෝ බං ?" පාඩම් කර කර හිටපු මම් පොතෙන් යාන්තමට ඔළුව උස්සලා මලයා දිහා බැලුවා.

"තේරවිල්ලක් අහන්නම් උත්තර දෙනවද ?"

"හා... කියහන්කෝ බලන්ඩ "

"ගෑම් 5ක සුදු පාට නෙළුම් මලකට ග්‍රෑම් 10ක පිණිබිඳුවක් වැටෙනවා.."

"ඉතින්... මට මොකෝ කරන්ඩ කියන්නේ ?"

"එතකොට දැන් ඒ මලේ බර කොච්චර ද ?"

ටික වෙලාවක් මලයගේ මූන දිහා බලන් හිටියා මූ එක පාරට මොකටද මේ නෙළුමක් ගැන අහන්නේ කියලා.ෂුවර් එකටම මුගේ ගැටයක් ද කොහෙද... ටික වෙලාවක් කල්පනා කර කර ඉඳලා,

"බරේ වෙනසක් වෙන්නේ නෑ..."

"උත්තරේ නම් හරි... ඒත් හේතුවත් එක්ක කියහන් අයියේ !!"

"ඔච්චර ලොකු පිණිබිංඳුවක් මලේ හිටින්නේ නෑ... ඒකයි."

"වැරදියි ... !!!"

දැන් මේ ලිපිය කියවන කට්ටිය මවුස් එකේ රෝදේ අතෑරලා හේතුව හිතන්න... ආහ්.. තව පොඩ්ඩෙන් අමතක වෙනවා.. ඊතල යතුරු ටිකත් අතාරින්න..

විනාඩියක් ගිහිල්ලත් උත්තරේ මතක් වෙන්නේ නැත්නම් පහල බලන්න.
 .
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

"ඇයි අයියේ අහලා නැද්ද මෙහෙම නියමයක්."

"කොහොම එකක් ද ?"

"පිණි වැටුනට සුදු නෙළුමට බර වැඩි වෙන් නෑ
මල පිපුනට පිණි බිඳු වල වෙනසක් වෙන්නෑ
ළඟ නොමැතිව දුර සිටියට අමතක වෙන් නෑ
ඔයාගේ ඔය පුංචි හිතට දුකක් දෙන්නේ නෑ "

-----------------------------------------------------------------
ප.ලි. - එහෙනම් මං ගිහින් එන්නම්..සියළු දෙනාට විනෝදයෙන් පිරුණ සති අන්තයක් !!

26 July 2012

පත්තර කියවීම

 ඉස්කෝලේ යන දවස්වල ඉදන් මගේ විනෝදාංශ අතර පත්තර කියවීම අංක එකටම වගේ තිබ්බා. මුලින්ම පත්තරේකට කියලා කියවන්න ලැබුනේ අපේ අම්මා හැම සතියකම වැඩ ඇරිලා එනකොට අරගෙන එන චූටි තරු පත්තරේ. ඊට පස්සේ කැකුළු පත්තරේ. ඊටත් පස්සේ බිංදු, හපනා, විජය වගේ පත්තර කිහිපයක් කියවන්ඩ ලැබුනා.

පස්සේ පස්සේ ලංකාදීප, දිවයින වගේ පත්තරත් කියෙව්වා. ඒත් දැන් නම් ඔය එක පත්තරයක්වත් කියවෙන්නේ නැති තරම්. පත්තර පිටුවක් කියවන්න ලැබුනොත් ඒක අනිවාර්යෙන්ම අම්මා බත් එක ඔතලා දීපු පත්තර පිටුව !

ඒ උනත් ඒ පිටුව කියලා බලන්නේ නෑ. ඒකත් කියවලා දානවා.

ඔන්න ඔය පත්තර පිටුවක ලිපියක් තිබ්බා. ඒක ඔය ධනාත්මක චින්තනය වගේ මාතෘකාවක් යටතේ ලියපු ලිපියක්. මම ආස නැති මාතෘකාවක් තමා ධනාත්මක චින්තනය කියන්නේ. ඒ උනත් කන ගමන් යන්තන් උඩින් පල්ලෙන් කියෙව්වා.

ඒ ලිපියේ එක තැනක තිබ්බා මෙහෙම දෙයක්.

ගොඩක් වෙලාවට අපි ලස්සනට ඇඳ පැලදගෙන ගමනක් බිමනක් යනකොට හරි එහෙම නැත්නම් පාර්ටියකට යනකොට අපේ යාළුවෙක්ව මඟදි හම්බ උනා කියමු. එතකොට ඒ යාළුවා,

"මචං ලස්සන ෂර්ට් එකක් නේ. ! මේ ෂර්ට් එක උබට මාර මැචින් !" වගේ දෙයක් කිව්වා කියමු.

එතකොට කවදාවත් "මේක මගේ නෙමේ බං යාළුවෙක් ගෙන් ඉල්ල ගත්තේ ..." වගේ දේවල් කියන්ඩ එපා ලු.  තමන් ඇඳන් ඉන්න කමිසය අනුන්ගේ උනාට එහෙම කිව්වම කවදා හරි ඔයිට වඩා ලස්සන, තමන්ගේ සල්ලි වලින් ගත්ත ඇඳුමක් ඇදගෙන යනවා ඒ යාළුවා දැක්කම හිතන්නේ ඒකත් කාගෙන් හරි ඉල්ල ගත්ත ඇඳුමක් කියලා ලූ.

ඒ නිසා යාළුවා අරම දෙයක් කිව්වම "ස්තුතියි" කියලා විතරක් කියන්ඩ ලූ.

24 July 2012

බටර් ගෑම

බටර් යනු මේදය සහිත ආහාරයකි. මාජරින් යනු බටර් හා පෙනුමෙන් සමාන තවත් ආහාරයකි. බටර් වල මාජරීන් වලට වඩා මේද අම්ල වැඩිපුර ප්‍රමාණයක් ඇත. තවද බටර් වලට වඩා මාජරීන් වල ශරීරයට අහිතකර කොලෙස්ටරෝල් ප්‍රතිශතය ද වැඩි ය.

 සියළුම කරුණු සලකා බලන කල මාජරීන් වලට වඩා බටර් ගුණදායක වේ. එසේ උවත් ලංකාවේ ජනගහනයෙන් වැඩිපුර කොටසක් ආහරයට ගන්නේ බටර් නොව මාජරීන් ය.එහෙත් බටර් ද සුලභවම භාවිතා කරනු දක්නට ලැබේ. එසේ භාවිතා කරනුගේ කෑම සදහා නොව ගෑම සදහා ය.

බටර් ගෑම සියල්ලන්ටම එක හා සමානවම සිදු කල නොහැක්කකි. ඒ සදහා මනා පුහුණුවක් හා පල පුරුද්දක් අවශ්‍ය වේ. තවද එම පුහුණුව ලක් වැසියන්ට සහජයෙන් උරුම වේ.  මේ නිසා ඔවුන් ඉදිරියේ ඇති එකම අභියෝගය වන්නේ තම සහජ කුසලතාව වැඩිදියුණු කර ගැනීම පමණෙකි.

තවද කෙනෙක් ලවා කර ගත යුතු කාර්යය අනුව ගෑ යුතු අවම බටර් ප්‍රමාණය වෙනස් වේ. කාර්යයේ බරපතලකම හා කාර්යය නිම කිරීමට වැය වන කාලය හා ශ්‍රමය වැඩි නම් ගෑ යුතු බටර් ප්‍රමාණය ද වැඩිය. කාර්යය සුළු එකක් නම් කුඩා බටර් ප්‍රමාණයකින් වැඩේ කරවා ගත හැකිය... 

නමුත් කුඩා බටර් ප්‍රමාණයක් භාවිතා කර ලොකු කාර්යයක් ඉටු කරගන්නට දක්ෂතාව ඇති අයවළුන්ද අතරින් පතර දැකිය හැකි වන අතර වැඩිමනත් දක්නට ඇත්තේ නොසෑහෙන්න බටර් උලන ජනතාව වේ. මෙවැනි නොසෑහෙන්න බටර් තවරා රාජකාරි කර ගන්නා අයවළුන්ව ඉතාම පහසුවෙන් හඳුන ගත හැකි ය.

අවසන් වශයෙන් කිවයුත්තේ යමෙක් ඔබේ ලඟට පැමිණ හෝ දුරකතනයෙන් නොසෑහෙන්න බටර් තවරන්න උත්සහ කරන්නේ හෝ බටර් තවරන්නේ නම්, ඔහු හෝ ඇය ඔබෙන් යම් රාජකාරියක් ඉටු කර ගැනීම සදහා පැමිණි අයෙක් බව සිහි තබා ගන්න....

22 July 2012

ජෑම් ගොරකා

අපේ අප්පච්චිට ඒ කාලේ ඉදන් ආසාවක් තිබ්බා සාමාන්‍යයෙන් දකින්න ලැබෙන්නේ නැති එලවළුවක් පලතුරක් එහෙම දැක්කොත් ඒක ගෙදරත් පැලකරලා බලන්න. ඉතින් ඒ ආසාව නිසා ගොඩක් වෙලාවට සුලභව දකින්න ලැබෙන්නේ නැති එළවලු පලතුරු එහෙම අපේ වත්තේ පැල කරලා තියෙනවා.

මතකනේ එක වතාවක් අපේ අප්පච්චි ස්ටෝබෙරි වැවුවා. අන්න ඒ වගේ උන්දෑ එක වතාවක් බූල් ලොවේ ගහක් ගෙනත් පැල කලා. බූල් ලොවි අනිත් ලොවි වලින් වෙන් වෙන්නේ මේවායේ පොත්තේ බුල් ගතියක් තියෙන එකයි මදේ කහපාට ගතියක් තියෙන එක විතරයි. ඇඹුල් ගතිය නම් කියලා වැඩක් නෑ. මේ මතක් වෙනකොටත් මුළු ඇඟම හිරි වැටෙනවා !!!

අද කියන්න යන්නේ බූල් ලොවි ගැන නෙමෙයි. ඒ වගේ පලතුරක් ! ඒ තමා ජෑම් ගොරකා !

ජෑම් ගොරකා ???

ඔවු. ජෑම් ගොරකා තමා. ජෑම් ගොරකා ගෙඩි හරියට අපි අර හොද්දට දාන ගොරකා වගේ හැඩයක් ගන්නවා. නමුත් ඒ ගොරකා වලට වඩා ගෙඩි පොඩියි. ගෙඩි ඉදුනම තැඹිලි පාටත් රතු පාටත් අතර පාටක් ගන්නවා. ටිකක් විතර ඇඹුලයි !

ඔය ඇඹුල් ගතිය නිසා මම නම් ජෑම් ගොරකා කන්න ආස නෑ. එක ගෙඩියක් කෑවම ඊලඟ ගෙඩිය කන්න එපා වෙනවා.  නමුත් අපි ඇඹුලයි කියලා අහක දැම්මට බබාල හම්බෙන්න ඉන්න බවලත් උදවිය ජෑම් ගොරකා ගැට හිටන් හූරගෙන ගිහින් කනවා.

උන්දලා ජෑම් ගොරකා කනවා බලන් හිටියත් ඇඟ හිරි වැටෙනවා. ඒ කාලෙට කට්ටියට ඇඹුලක් දැනෙන්නේ නැතුවැති. ඒවා ඉතින් බබාලා හම්බ උන කට්ටියගෙන්ම තමා අහන්න ඕනා. :)

කට්ටියම දැන් අහයි කෝ ජෑම් ගොරකා වල ෆොටෝ එකක් නැද්ද කියලා. ඔන්න මම් පහලින් පින්තූර කෑලි දෙකක් දැම්මා බලන්ඩ !


 අපි මේවට ජෑම් ගොරකා කියලා කිව්වට එක එක පැතිවල එක එක නම් පාවිච්චි කරනවා ඇති. මේ කාලෙට ජෑම් ගොරකා අවාරේ. සමහර කාල වලට ගහ වටේට බලුප් පත්තු කලා වගේ ලස්සනේ බෑ.

------------------------------------------------------

ප.ලි.- අන්තර්ජාලය පීරලා බැළුවත් මේවෑ විස්තර ටිකක් හොයාගන්ඩ බැරි උනා.

20 July 2012

සති අන්තයේ ප්‍රශ්නය

අද ටිකක් විතර වැඩ අඩු දවසක්.ඒත් එක්කම කම්මැලි දවසක්. ගොඩක්ම කම්මැලියි කියලා හිතෙන්නේ සිකුරාදා දවසක් නිසා වෙන්ටෑ. කම්මැලි කම යන්නත් එක්ක අන්තර්ජාලය පීරලා එක එක කතා කියවන්න ගත්තා.

බ්ලොග් අඩවි බ්ලොක් කරලා නිසා ඒවට නම් යන්ඩ වෙන්නේ නෑ. ඔන්න බොස්ගේ නෙට්වර්ක් එකට වයර් එකක් අමුණ ගත්තා නම් බ්ලොග් කියවන්නත් ඇහැකි. 

කතා ටික කියවලා ඉවර වෙලා මේල් එකවුන්ට් එක පැත්තටත් ලොග් උනා. අපේ ඉන්දුල මලයා මට එවපු මේල් එකකුත් තිබ්බා.පහලින් තියෙන්නේ ඒ මේල් එක. සමහරු නම් මේක කියවලත් ඇති.
 
 මේක එක්තරා විදිහක තේරවිල්ලක් ! ඔය පහල තියෙන පින්තූරේ බලන්න. ඒ පින්තුරෙන් සිංදුවක් කියවෙනවා. ඒ සිංදුව මොකද්ද කියලා තමයි අහන්නේ ! පුලුවන් කට්ටිය තොරන්ඩ බලන්න.



ඔන්න මේ ප්‍රශ්නයට උත්තර දෙන්න ඔයාලට සති අන්තයක්ම තියෙනවා.

සියළුදෙනාටම  විනෝදයෙන් පිරුණ සති අන්තයක් වේවා !!!

18 July 2012

ඔබේ පෙම

දිය පොදක් නොමැති කතරක
                            දිය පොදක් සේ....
මගේ දිවියම ඔබෙන්
                            ආලෝකමත් උනා.....
කෙළවරක් නැති දිවි කතරේ
                            අතරමං වූ මා හට....
ඔබේ පෙම
                පහන්තරුවක් උනා.............

-------------------------------------------------------------------
ප.ලි. -  ෆෝන් එකට ගහපු හෙඩ්සෙට් එකේ වයර් එක හප හප ඉන්න දවස්වල අහම්බෙන් පොතක ලියවෙච්ච සිතුවිල්ලක්....

15 July 2012

කොළඹ නටපු දහ අට සන්නිය

මීට සති දෙහෙකට විතර උඩදි අපේ ජනියා මලයා එයාලෑ විශ්ව විද්‍යාලයේ පවත්වන්න යන දහ අට සන්නි ශාන්තිකර්මයක් ගැන ලියලා තිබ්බා. ඉතින් මේ ලිපිය කියවපු වෙලේ ඉදන් ඒ ශාන්තිකර්මය බලන්ඩ යන්න මට මාර ආසාවක් තිබ්බේ. ඒ නිසාම ජනියා මලයට බුකියෙන් පණිවිඩේකුත් තිබ්බා අපට එන්න බෑ ද කියලා අහලා.

අවුලක් නෑ එන්ඩ පුලුවන් කියලා ප්‍රතිචාරයක් දාලා තිබ්බ නිසා ගිය සිකුරාදා සන්නි බලන්ඩ යන්න ලක ලෑස්ති වෙලා හිටියා. පොඩිම කාලේ අපේ අප්පච්චිත්තෙක්ක සන්නි බලන්ඩ ගිහින් තිබ්බට කවදාවත් ඉවර වෙනකන්ම බලලා තිබ්බේ නෑ. රෑ මැදක් වෙනකොට "දැන් ඉතින් ඔය මදෑ. යං !" කියලා එක්ක යනවා.

සිකුරාදා හවස වැඩ ඇරිලා එහෙම්ම ගියා නුගේගොඩ යාළුවෙක්ගේ බෝඩිමකට. ගිහින් ඇඟපත හෝදගෙන රෑ කෑමත් කාලා  සන්නි භූමියට ආවා. හොද වෙලාවට මම් එනකොට සන්නි පටන් අරන් නෑ.

 ටික වෙලාවකට පස්සේ මුලාසනයේ හිටපු සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ ආරියරත්න කළුආරච්චි මහත්තයා ආරාධිත කතාවෙන් සන්නි යකුම ශාන්තිකර්මයේ උත්පත්ති කතාව කිව්වා.

කතාව කෙටියෙන්ම මෙහෙමයි,

ලිච්චවි නුවර රජකම් කරපු සංඛපාල රජතුමාගේ බිරින්දෑ වෙච්චි අසූපාල කුමාරියට මී ඇඹ කන්න දොලදුකක් ඇති වෙනවා. සංඛපාල රජතුමා මේ දොළදුක තියා කුමරිය දරුවෙක් පිළිසිඳගෙන ඉන්න වගක්වත් දන්නෑ නෑ. ඔය අල්ල පනල්ලේ රජතුමාටත් යුද්ධයකට යන්ඩ වෙනවා. යුද්ධය ඉවර වෙන්ඩ දින සති ගෙවෙනවා.

කුමරිය දරුවා පිළිසිඳගත්ත කාලයේම කුමරියගේ මෙහෙකාරියත් දරුවෙක් පිළිසිඳගන්නවා.ඉතින් මේ දාසියටත් ඔය කියන දොළදුකම හැදෙනවා ලූ. ඉතින් මේ කුමරියගේ දොළ සංසිදවන්න රාජපුරුෂයෝ යවනවා මි අඹ ගේන්න. වැඩේ කියන්නේ ඒ කාලේ මී අඹ අවාරෙලු. තිබ්බෙත් එකම එක මී අඹයක් ලූ. රාජපුරුෂයෝ මේ මී අඹය කුමරියට ගෙනල්ලා දුන්නලු.කුමරිය මී අඹ කනවා දැකලා දාසියත් කෑල්ලක් ඉල්ලුවා ලු.

නමුත් කුමරිය කමති උනේ නෑ දාසියට අඹ කෑල්ලක් දෙන්න. මේ දාසිය, කුමරිය කෙරෙහි උපන් තරහව ඇති කරගෙන රජතුමාට කේලම් කිව්වා 'කුමරියට ලැබෙන්න ඉන්න දරුවා මහ ඇමතිට දාව උපදින දරුවෙක් !' ය කියලා. මේ කතාව විශ්වාස කරපු රජතුමා, කුමරියව අමු සොහොනක තිබ්බ කැබැල්ල ගහක එල්ලලා දෙකඩ කලා ලු.

කුමරියව දෙකඩ කලාට කුමරියගේ කුසේ හිටපු කුමාරයාට මුකුත් උනේ නෑලූ. දෙකඩ වෙච්ච කුමාරියගේ කුසෙන් කුමාරයෙක් බිහි උනා ලූ. තම මවගේ සිරුරේ ඕජස් බීලා මේ කුමාරයා හැදුනා ලු. පහලොස් වියට පැමිණිච්ච මේ කුමාරයා තම මව් මරපු පලිය ගන්න සියළු වස විස එකතු කරලා ගුලි දහ අටක් ඇඹරුවා ලු. ශක්‍රයා මේ ගුලි 18, යක්කු 18 දෙනෙක් කලා ලු.

පහු කාලිනව අර කුමාරයා මහ කෝල සන්නි යකා උනා ලූ. අර ගුලි දහ අටෙන් ඉපදුන කට්ටිය මහකෝල සන්නි යකාගේ පිරිවර උනා ලූ.ඉතින් මේ යක්ෂ සේනාව විශාලා මහනුවර තුන් බිය ඇති කරන්න සමත් උනාලූ. අප ගෞතම බුදුරජානන් වහන්සේ මේ තුන් බිය දුරු කරන්න රතන සූත්‍රය දේශනා කර වදාල බව කවුරුත් දන්නවා නේ ?

ඔන්න ඕකයි කතාව. නමුත් අපේ කළුආරච්චි මහත්තයා තව මතයක් ඉදිරිපත් කලා. මට මතක විදිහට ඔය සන්නි ටික සේරම ඉපදුනේ මහා කෝල සන්නි යකා 'හඃ' කියලා හෙලපු හුස්මකින් ඇති වෙච්ච දුර්ගන්ධවත් වායුවකින් කියලා.

කොහොමින් කොහොමහරි සන්නි යක්කු එනකොට යක්කු ගස් නගින වෙලාවත් පහු වෙලා. රෑ දොලහා උනා. යකෙක් ආවට පස්සේ උගේ නම ගම අහනවා අහලා ආතුරයාට සෙත් පදලා දොළපිදේනි අරන් යකා යන්ඩ යනවා. යක්කුත් එක්ක කතාව නම් මරු. හිනා වෙලාම පන යනවා.

(කතා බහෙන් නම් මුන් හෙන වලත්ත යක්කු ! දෙපැත්ත කැපෙන කතාමයි කියන්නේ. !)

පාන්දර දෙක විතර වෙනකොට මහාසෝන් සමයමත් පෙන්නුවා. ඒකට නම් පැයක් විතර ගියා.හොරණ ශ්‍රීපාලි මණ්ඩපයේ මලයෙක් තමා නැටුවේ. මුන්දෑ කුකුලා අල්ලපු විදිහට මට හිතුනේ කුකුලෑ කකුල් දෙකෙන් ඉරලා දාවි ය කියලා. උදේ හතරට විතර කෝපි පොල් කට්ටක් එහෙමත් ආවා. ඒ වෙනකොටත් මට එන්ඩ කියපු ජනියා මලයා පැත්ත වැටිලා නිදියෑවා.

සම්පූර්ණ වැඩේ ඉවර වෙනකොට උදේ හය විතර උනා.මුලු රෑක් ඇහැරන් හිටිය නිසා උදේ වෙනකොට මඥ්ඥං වෙලා වගේ. නොසෑහෙන්න වැනෙන්න ගත්තා.
(තාමත් මඥ්ඥංද මන්දා)

ගෙදර ඇවිත් වරු තුනක් නිදියෑවා. මේක ටයිප් කරන වෙලාවෙත් නිදිමතයි.අපේ අම්මා කියන විදිහට මට සිකුරිටි ජොබ් එකක් එහෙම ලැබුනොත් නිදියලා ඉවරයක් නැති වෙයි ලූ.

මොනා උනත් වැඩේ නම් පංකාදුයි !!

----------------------------------------------------------------

ප.ලි. - සන්නි ගැන වැඩිදුර කියවන්න ලංකාදීප පත්තරේ ලිපිය කියවන්න.

12 July 2012

ඊයේ කීයටද ගියේ ?

"මචං උබ ඊයේ කීයටද ඔෆිස් එකෙන් ගියේ ?"

"අටට විතර බං! "

"ඇයි උබ ඊයේ දහය විතර වෙනකන් පාඩම් කරනවා කිව්වා නේ. මොකෝ අටට ගියේ ?"

"මේකයි මචං උනේ. මම ඊයේ දහය වෙනකන් පාඩම් කරන්නම් කියලා හිටියා. හය විතර වෙනකොට කට්ටිය තම තමන්ගේ සෙක්ශන් වල ලයිට් ඕෆ් කරලා ගෙවල් වලට ගිහින්. අන්තිමේදි මම් හිටපු සෙක්ෂන් එකේ ලයිට් එක විතරයි දාලා තිබ්බේ.

ඔහොම පාඩම් කර කර ඉන්නකොට එකපාර සීතල හුළඟක් හමාගෙන ගියා.ඒක පුදුම හීතල හුළඟක් !  මම් මොනිටරයෙන් ඔළුව උස්සලා බැළුවා ඒ.සී එක ඔන් කරලද කියලා. ම්හූ.... ඒ.සී. ඔක්කෝම ඕෆ් කරලා දාලා.ඊට පස්සේ මම් ආයෙම පාඩම් කරන්න ගත්තා. ඊට ටික වෙලාවකට පස්සේ වොෂ් රූම් එකේ දොර ඩාං ඩාං ගාලා දෙපාරක් උළුවස්සේ හැප්පුනා.

කවුරුහරි වොෂ් රූම් එකේ ජනේලේ ඇරලා එන්න ඇති කියලා හිතලා කළුවරේම අතපත ගාගෙන ලයිට් ටික දාලා වොෂ් රූම් එක ගාවට ගියා.  එතකොට දැක්කා වොෂ් රූම් එකේ ජනේලේ ඇරලා දාලා කියලා.මම් වොෂ් රූම් එක ඇතුලට ගියා !

ඊට පස්සේ කොමඩ් එක උඩට නැගලා ජනේලේ අගුල දැම්මා.අගුල දාලා ඉවර වෙලා කොමඩ් එකෙන් බහින්න හදනකොටම මගේ මේසේ උඩ තිබ්බ ඇළුමිනියම් බෝතලේ සලාං ගාලා බිමට වැටිලා මේසේ යටට රෝල් වෙලා ගියපු සද්දේ ඇහුනා.මම දාපු ලයිටුත් ඕෆ් කරගෙනම එන්න හදනකොට One Missed Call ෆිල්ම් එකේ මහා ම මහා මූසල ටෝන් එක ඇහෙන්න ගත්තා.

උබ බලලත් ඇති One Missed Call කියන හොල්මන් ෆිල්ම් එක.අර කට්ටිය එකා එකා මැරෙන්න කලින් ඇහෙන ටෝන් එක !! අන්න ඒක ඇහුනා. ඒ මගේ ෆෝන් එක ! කවුද කෝල් කරන්නේ කියලා බලන්න යනකොට කෝල් එක කට් උනා. ගොඩ වෙලාවක් රින්ග් වෙච්ච නිසා වෙන්ටෑ.

ඊට පස්සේ බෝතලේ අහුලන් මේසේ උඩින් තිබ්බා.අදට පාඩම් කලා ඇති කියලා හිතුන නිසා කොම්පියුටරේ ඕෆ් කලා. ඕෆ් කරලා පඩිපෙල දිගේ පහලට එනකොටම පල්ලෙහා තට්ටුවේ ලයිට් දාලා තියෙනවා දැක්කා. ඒත් කවුරුවත්ම පේන්න හිටියේ නැති නිසා පොඩ්ඩක් ඇතුලට ගිහින් බැලුවා.

වෙනදට රෑ වැඩමුරයට ඉන්න කට්ටිය පේන්න හිටියේ නෑ. කට්ටියම රෑ කෑමට යන්න ඇති කියලා හිතුනා....උබ දන්නවනේ පල්ලෙහා තට්ටු වල තියෙන ඔෆිස් ටික පහ විතර වෙනකොට වහලා දාලා යනවා කියලා. තට්ටු පහක බිල්ඩිම ඇතුලේ ඉන්න එකම එකා මම විතරයි කියලා මතක් වෙනකොටම ඉහින් කනින් දාඩිය දාන්න ගත්තා....මම පුලුවන් තරම් ඉක්මනින් පඩිපෙල බැහැගෙන බැහැගෙන ආවා.ආපු පළවෙනිම බස් එකේ එල්ලිලා කොළඹට ආවා."

"උබ බය උනාද මචං ??"

"පිස්සුද යකෝ !! බය වෙන්න ? මේ මම ? බය කියන වචනෙවත් මම දන් නෑ !"


ප.ලි. - මෙහි එන නම් ගම් මනඃකල්පිත වන අතර නිර්මාණය හා නිර්මාණකරු එකිනෙකට ස්වායත්ත (වෙනස්) පුද්ගලයක් දෙදෙනෙකු බව සලකන්න.

11 July 2012

කරන කලට පවු....

දවසක් හවස්වරුවක අපි කට්ටිය යාළුවෙක්ගේ කාමරේකට සෙට් වෙලා ඔහේ වල්පල් කියව කියව හිටියා.එහෙම හිටපු වෙලාවක අපේ එකෙක් පොඩි කතාවක් කිව්වා. මේකයි ඒ කතාව !

එක කැම්පස් එකක වෛද්‍ය පීඨයේ රැග් සීසන් එකේදි සින්නෝ එකතු වෙලා ජූනියර් බැච් එකේ කට්ටියට රැග් දෙනවා. ඔන්න එක වතාවකදි ගෑල්ලමයි සෙට් එකක් එකතු කරලා එක වරකට එකා බැගින් මෝචරිය ඇතුලට යවනවාලූ. ඒ යවන හැම ගෑල්ලමයෙක්ටම ටොපි පහ ගානේ දෙනවලු.

ටොපි දෙන්නේ ඒ ගෑල්ලමයට කන්න නෙමේ.මෝචරියේ ඇතුලට ගිහින් ට්‍රොලි වල දාලා තියෙන මිනියක කට ඇරලා උගේ කට ඇතුලට එක ටොපියක් දාන්න ඕන ලූ. ඔහොම මිනි පහක කට ඇතුලට ටොපි දැම්මට පස්සේ හය වෙනි මිනියට ඉන්නේ ෆැකල්ටියේම සින්නෙක් ලූ.

 අර කෙල්ල හයවෙනි මිනිය ගාවට ආවම "කෝ මට ටොපි !!! " කියලා අර සින්නා ගැඹුරු කටහඬින් අහනවලු. එතකොට ඒ ගෑල්ලමයා හිතන්නේ මෝචරියේ තිබ්බ මල මිනිය කතා කලා කියලා ලු.ඊට පස්සේ ලතෝනි තියාගෙන මෝචරියෙන් එලියට දුවනවා ලූ.

 ඔය වගේ ඇත්තද බොරුද කියලා හිතන්න අමාරු කතා කියව කියව ඉන්නකොට තවෙකෙක් ඔය වගේ මෝචරි කතාවක් පටන් ගත්තා. ඒ කතාව තමා,

ඔන්න එක අවුරුද්දක වෛද්‍ය පීඨයේ සින්නෙක් රැග් සීසන් එකේදි  එක ගෑල්ලමයෙක්ව බය කරන්න හිතාගෙන ටික වෙලාවකට මෝචරියට දාලා වැහුවලු. මේ ගෑල්ලමයා හොදටම බය වෙලා බය වැඩිකමටම මෝචරිය ඇතුලෙදිම මලා ලු.

කොහොමහරි කාලයත් එක්ක මේ සිද්ධිය අකා මකා වෙලා ගියාලු.අර ගෑල්ලමයව මෝචරියට දාලා දොර වහපු සින්නා හොදට විභාගේ පාස් වෙලා ඒ කැම්පස් එකේම දේශකවරයෙක් උනා ලූ. ඔහොම කාලයක් ගත උනාට පස්සේ මේ දේශකවරයාගේ දුවෙක්ව මේ කැම්පස් එකටම සිලෙක්ට් උනා ලූ.

තමන්ගේ දුව කැම්පස් එකට ගියපු පළවෙනි දවසෙම මේ දේශකවරයට කලකට ඉහතදි තමන් ගෑල්ලමයෙක්ව මෝචරියට දාලා වහපු කතාව මතක් උනා ලු. තමන්ගේ දුවටත් මේ ඉරණමම අත්වේවි ය කියලා හිතිලා ඒ දේශකවරයා, දුව ගෙදර එන්නත් කලියෙන්ම ගෙදර බාල්කයේ ලණුවක් දාගෙන එල්ලිලා සිය දිවි හානි කරගත්තා ලූ !!

මේ කතා දෙකම ඇත්තට සිද්ධ උන ඒවද නැති ඒවද කියලා මම නම් දන්නේ නෑ. යාළුවෝ කට්ටිය සෙට් උන වෙලාවක ඔහේ කියවපු කතා ටිකක් විතරයි. මේ කතා ඇත්තටම සිද්ධ උන ඒවා කියලා කැම්පස් යන්න ඉන්න දුවලා පුතාලා බය වෙන්ඩ කාරි නෑ. ඒ වගේම ලංකාවේ කැම්පස් වල මෙහෙම දේවල් වෙනවා කියලා රෙදි උස්සන් වලියට එන්න ඕනත් නෑ. :)

මට අද මේ කතා දෙකම මතක් උනේ ගොසිප් අඩවියක තිබ්බ තංගල්ලේ ප්‍රදේශයේ මංත්‍රීවරයෙක් අවුරුදු 14ක දැරියක්ව දූෂණය කලාය කියන ප්‍රවෘත්තියක් දැක්කට පස්සේ. දේශපාලන බලය නිසා මේ මන්ත්‍රීතුමා බේරේවි ඒ බේරුනත් කවදාවත් එයාට කර්මයෙන් නිදහස් වෙන්න නම් ලැබෙන්නේ නෑ...

කවමදාකහරි ඒ මන්ත්‍රීවරයට මේ කරපු පාපකර්මයට වන්දි ගෙවන්න සිද්ධ වෙනවාමයි !!
හරියට අර මම් කියපු දෙවෙනි කතාවේ හිටපු දේශකවරයට උනා වගේ සිද්ධියකින් හරි වන්දි ගෙවන්න සිද්ධ වෙනවා !  එදාට ඒ මන්ත්‍රීවරයාව බේරගන්න දේශපාලනයට තියා මොන ජගතාටවත් බැරි වේවි !

කරන කලට පවු මිහිරිය මී සේ...
විදින කලට දුක් දැඩි වෙයි ගිනිසේ...


09 July 2012

පුදුම බයක් නේ.

මේ ලඟදි දවසක මගේ යාළුවෙක් අපේ ගෙදර ආවා. උන්දෑව මට හම්බ උනේ මම් විශ්ව විද්‍යාලයේ ඉන්නැද්දි. මේකා අපේ ම බැච් එකෙක් එකෙක්. මේකාගේ නම විජිත ! හැබෑම දක්ශයෙක් ! කොටින්ම ඉගෙන ගන්න සෑහෙන පෙරේතකමක් තියෙන කොල්ලෙක් ! තමන් නොදන්න දෙයක් කවුරුහරි කියනවා ඇහුනොත් මූ එතෙන්ට වෙලා කටත් ඇරගෙන අහගෙන ඉන්නවා. අහගෙන ඉන්නවා විතරක් නම් මදෑ. මූ නොසෑහෙන්ඩ ප්‍රශ්නත් අහනවා.

විජිතව දැක්කම මට ඊලඟට මතක් වෙන්නේ මූ උඩ නඟින්න සෑහෙන්න බය කොල්ලෙක්. කොටින්ම අත්වැටක් නැති පඩිපෙලකවත් යන්නේ නෑ. ඒ තරමටම බය කොල්ලෙක්.

මට තාම මතකයි අපේ බැච් එකේ යාළුවෙක් නැති වෙලා අපි ඒ මලගෙදර ගියා. යාළුවාගේ ගෙවල් තිබ්බේ උලපනේ. උලපනේ කිව්වම මට ඊලඟට මතක් වෙන්නේ මෝඩයාගේ පාලම. උලපනේ මෝඩයාගේ පාලම ට මෙහා පැත්තෙන් තියෙන පරණ පාලම සෑහෙන්ඩ අබලන්. ඒකෙන් තමා වාහන එහා මෙහා යන්නේ.

වාහනයක් ගියහම පාලම දඩං බඩං ගාලා ගැස්සෙනවා. ඒ මදිවට පාලමේ කැඩිච්ච තැන් වලින් පහල මහවැලි ගඟත් පේනවා. එදා අපට මලගෙදර යන්ඩ තිබ්බෙත් ඔය පාලමෙන් එගොඩ වෙලා. කට්ටියම පාලම ගාවට ආවා විතරයි මේන් මේකෑ දනිස් දෙක සටපට ගාලා ගැහෙනවා. ඌ යන්ඩ බෑම කියලා කෑ ගහලා අන්තිමේදි එතනින් ගියපු දළු ලොරියක මූව පටෝලා පාලමෙන් එහා පැත්තට යැවුවා.එහෙම යැවුවේ නැත්නම් පාලම ගාව දාලා එන්ඩ වෙන්නේ. 

 අපේ කැම්පස් එකේ සමහර නේවාසිකාගාර වලට යන්න පාරවල් තිබ්බට පඩිපෙල් තියෙන කෙටි පාරවල් තියෙනවා. ඒවයින් ගියහම සෑහෙන ඉක්මනට හොස්ටල් එකට යතෑකි. ඒත් මේකා කොච්චර කෙටි පාරවල් තිබ්බත් පඩිපෙල් නගින්න තියෙන බයටම මලාට ඒ පාරවල් වල එන් නෑ.

 ඔය කොයිකෙන් ගැලවෙලා හිටියත් මූට බැච් ෆොටෝ එක ගහන අට්ටාලේ නගින්න සිද්ද උනා.මරන්න ගෙනියන එකෙක් වගේ පණ ගැහි ගැහි අට්ටාලේ උඩට නැගලා ෆොටෝ එක ගහනකන් බයේ හිටියා. ෆොටෝ එක ගහලා ඉවර උනාට පස්සේ ඔක්කොම බහිනකන් මේකා අට්ටාලේ ලෑල්ලක් බදාගෙන හිටියේ නැතෑ.

අපි කැම්පස් එකේ ඉන්නැද්දි සෑහෙන්ඩ කතා කලා මුගේ මේ බය නැති කරන්නේ කොහොමද කියලා. ඒත් ඒවයින් තාම වැඩක් උනේ නෑ. මේකා කියන විදිහට මූට තාමත් ඒ බය ඒ විදිහටම තියෙනවා ලු.

08 July 2012

ඔබේ හඬ ඇසෙනවිට ....

නිල් අහසේ මන්දාරම්
ගිනි අව්වේ මද පවනක්

අහස් ගැබ සිනාසෙයි
හිරු කිරණ ඉඟිමරයි
මිහිකත සිනාසෙයි
පිණිමුතු දිදුලවයි

මගේ හද පිනා යයි
හසරැල් ගලායයි
ඔබේ හඬ ඇසෙනවිට
ඔබේ රුව දකින විට
අසිරිමත් ජීවිතය,
සුන්දරයි... පියකරුයි...



..........................................................
ප.ලි. -ධනූගේ කවි සිතුවිල්ලක්..

02 July 2012

අද හරි සතුටු දවසක්

අපෝ.. ගිය මාසේ තිබ්බේ එකම එක නිවාඩුවයි. ඒකත් පෝය නිවාඩුවක් ! මේ මාසෙවත් නිවාඩු දෙක තුනක් තිබ්බා නම් පාඩම් කරන්ඩ තිබ්බා. මොකද මේ මාසේ විභාගේ කරන්ඩ එපැයි. ඔහොම හිත හිත සතියකට උඩදි කැලැන්ඩරේ ජූලි මාසයට තියෙන කොළේ පෙරලුවා.

ජූලි තුන්වෙනිදා නිවාඩුවක් තියෙනවා. ඒකත් අඟහරුවාදා දවසක්. දෙවෙනිදා බඩේගායක් හදාගත්තොත් දවස් හතරක නිවාඩුවක් තියෙනවා.

"ජූලි දෙවෙනිදා ! ජූලි දෙවෙනිදා !! ජූලි දෙක !! ජූලි දෙක !!!"

ඔහොම හිත හිත ඇඟිල්ලෙන් දෙකේ ඉලක්කමට තට්ටු කර කර ඉන්නකොට මට අතීතයේ එක දවසක් මතක් උනා.  ඒ තමා මගේ පරණ ගෑල්ලමයාගේ උපන්දිනේත් ජුලි දෙවෙනිදා. මට ඒ උපන්දිනේ හොදටම මතක තියෙන්නේ මම් ඒ ගෑල්ලමයට පණ වගේ ආදරේ කරපු නිසා වෙන්ටෑ.

එයාගේ උපන්දිනේට මොනාහරි පිස්සු වැඩක් කරන්ඩ ඕන..
ම්ම්ම්ම්... කාඩ් එකක්වත් ගෙදෙට්ට යවනවද ? මාත් එක්ක තියෙන තරහට කාඩ් එක ඉරලා දායි. දැනටමත් ඒයැයි පිරිමි ලමේක් එක්ක යාළුවෙලා ඉන්න නිසා එහෙම කරන එකත් හරි නෑ. අයියෝ සල්ලි !! ඒ වැඩේ හරි යන් නෑ.

එහෙනම් ඇඳුමක් පැළදුමක් අරන් දෙනවද ? මොකද එයා මාත්තෙක්ක හිටපු අවුරුදු තුනටම මම් වැඩිමනත් අරගෙන දීලා තියෙන්නේ ඇඳුම් පැළදුම්. මොකද ඒයැයි ලස්සන අඳින්න ආසයි. ඇඳුම් අරන් දෙන එක හරියන එකකුත් නෑ. මොකද කාලෙකින් දැක්කේ නැති නිසා මහත් වෙලාද කෙට්ටු වෙලාද කියලා දන්නේ නෑ.

 ම්ම්ම්ම්... එහෙනම් වෙන මොනාහරි අරන් දෙනවා !

මට තාමත් අද වගේ මතකයි මීට අවුරුද්දකට උඩදි ඒයැයිගේ උපන්දිනේ දවසේ කිසිම දෙයක් අරන් දෙන්න අතේ සතේ නැතුව හිගන්නෙක් වගේ හිටියා. මට මතක විදිහට කාගෙන්වත් ණයක් ඉල්ලගන්නවත් විදිහක් තිබ්බේ නැති මහ ජරා කාළයක්.

කොටින්ම ඒයැයිගේ උපන්දිනේට කැළණි පන්සල් ගියේ අපේ මලයගෙන් ඉල්ලගත්තු සල්ලි වලින්. මුකුත් ම අරන් දෙන්න උනේ නැති එකට මට මාර අප්සට් !!!

ඉතින් මම් එදා හිතා ගත්තා ඊලඟ උපන්දිනේට උපන්දින දෙකම අල්ලලා තෑග්ග ඩබල් කරලා ලොකු තෑග්ගක් අරන් දෙනවා කියලා.

ඒ මතකයත් හිතේ තියාගෙන පහුගිය සෙනසුරාදා උදෙන්ම කිරිබත්ගොඩ ටවුමට දිව්වා ලොකු තෑග්ගක් ගන්න කියලා හිතාගෙන. එදා මම් වියදම් කරන්න හිතන් උන්න ගාන ඩබල් කරලා ඒ ගානට හරියන්න කොපි පොත් ගත්තා. පොත් ගානටම හරියන්න පෑනුත් ගත්තා !!!

 කිරිබත්ගොඩ ටවුමේ අඩුවටම පොත් තිබ්බ තැනින් පොත් ගත්ත නිසා සෑහෙන පොත් ගොඩක් ගන්න පුලුවන් උනා.ඒ පොත් ටිකත් අරගෙන ගෙදර ආවා. ආපු හැටියෙම පොත් ටික ගොඩවල් දෙකකට වෙන් කරලා පාර්සල් දෙකක් හැදුවා.

පාර්සල් හදලා ඉවර වෙලා  ...

 "මලයෝ.... මට දුප්පත් ළමයි දෙන්නෙක් හොයලා දීපං !!"

" ඒ මොකටද උබට ළමයි දෙන්නෙක් !! " මං දිහා නෝක්කාඩු බැල්මක් හෙලන ගමන් මල්ලි ඇහුවා.

 "නෑ බං ! මට ළමයි දෙන්නෙක්ට පොත් ටිකක් දෙන්ඩ හිතුනා... ඒකයි !! හැබැයි සඳුදා වෙනකොට පොත් ටික දෙන්ඩ ඕනා !"

"එහෙම හදිස්සියේ හොයාගන්න නම් නෑ.. අපි එහෙනම් ළමා නිවාසෙකට ගිහින් දෙමු." මලයා යෝජනා කලා.

ඒකත් හොද අදහස නිසා මාත් ඒ වැඩේ අනුමත කලා. මේ වෙනකොට නම් අපේ මලයා පොත් ටික ගිහින් දීලත් ඇති. ඉතින් අද ඒ ගෑල්ලමයගේ උපන්දිනේට මම් ලොකු පිනක් කරගත්තා. ඒ පිනෙන් ඒයැයිගේ ජීවිතය සතුටින් පිරවෙන්ඩ කියලත් පැතුවා.

ඒ නිසා මාර සතුටු දවසක් අද !!!

 ඔන්න ඔය විදිහට තමා හදිස්සියේම මගේ හිතට ආපු පිස්සු අදහසක් ක්‍රියාත්මක කලේ.

අවසන් වශයෙන් ජීවනේ ගමනේ තවත් එක් කඩඉමක් පසු කරන ඔයාට, කරන කියන රැකි රක්ෂා සාර්ථක වෙලා ඔයාගේ ජීවිතය සතුටින් පිරුන වාසනාවන්ත එකක් වෙන්ඩ කියලා පතනවා. සුබ අනාගතයක් !
-------------------------------------------------------------------

 ප.ලි. - ඒයැයි ගැන බ්ලොග් එකේ ලියන්ඩ එපාම කියපු නිසා මම් මීට කලින් එයා ගැන ලියලම නෑ. ඒක නිසයි කවුරුත් ඒ ගැන දන්නේ නැත්තේ. දැන් ඉතින් ලිව්වට අවුලක් නෑ. :)