29 November 2016

තනි තරුව

හද පළුව තනි තරුව
නුඹ කොහොම මැව්වාද...

අද හවස එනු කැටුව
පෙර මඟම බැලුවාද...

තනි තරුව නුඹ නැතිව
හිත තවම තනියෙන්ද....

මල් මිටක් අත ඇතිව
හිත ලගම පිපුනේද.....

------------------------------------------------------------------------
ප.ලි. - දනාගේ කවි සංකල්පනාවක්.

27 November 2016

පළාත් වලියක්

මේ දවස්වල බුකිය පුරාම ඇහෙන්න තියෙන්නේ මාතර, නුවර සහ කොළඹ වලියක්. එක පළාතක ප්‍රාදේශීය ජන වහරේ එන වචන කිහිපයක් අල්ලගෙන අනිත් පළාත් වල අය ඒ පළාතට විහිලු කරනවා.. මේ විහිලු අතර අපි කවුරුත් දන්න කිඹුලා බනිස් ගෙඩියට හිමි වෙලා තියෙන්නේ සුවිශේෂි තැනක්.

මාතර අය කිඹුලා බනිසට කියන්නේ "සීනි කුරුල්ලා" කියලා ලු. කොළඹ අය නම් "කිඹුලා බනිස්" කියලා කියනවා ලු. මේ නම් දෙකට අමතරව මම අහලා තියෙනවා කිඹුලා බනිසට සමහර පැති වල අය "වියන් රෝල්" කියලත් කියනවා. ඒ කොයි පලාතෙද කියලා නම් දන්නේ නෑ.

මේ සුන්දර වලියෙන් අපිට එක එක පලාත්වල ප්‍රදේශීය ව්‍යවහාරයන් ටිකක් ඉගෙන ගන්නත් පුලුවන් වෙනවා. ඊටත් වඩා මුන් දාන පෝස්ට් වලට හිනා වෙලාම දවස ගෙවන්නත් පුලුවන්.

මේක සුන්දර වලියක් උනාට කමක් නෑ.. වැඩි දුර ගිහින් එක එක පලාත් වල එක එකා ඇන කොටා ගෙන විරසක වෙන්නේ නැතුව. 

සය වසරක මතක

මේ වෙනකොට මම බ්ලොග් අඩවිය පටන් අරගෙන අවුරුදු හයක් ගෙවිලා ඉවරයි... සෑහෙන ලොකු කාලයක්. එකදිගට මෙච්චර කාලයක් කරගෙන ආපු එකම වැඩේ ද මන්දා. එක දිගටමයි කියලා කිව්වට සමහර කාලවල් වල එකම එක ලිපියක්වත් ලියලා නෑ.

වැඩ වැඩි කම හරි කම්මැලිකම හරි වැඩි වෙච්ච නිසයි ලියන්න බැරි උනේ. ඒත් දැන් නම් පුලු පුලුවන් හැටියට මොන මොනවා හරි ලියන්නයි මගේ කල්පනාව.

බ්ලොග් අඩවියේ ලියවිච්ච තරමක් ලිව්වේ මගේ හිතේ තියෙන විකාර සහා මම ආගිය තැන් වල විස්තර. ඒ ඇරෙන්න දනාගේ කවි වලිනුත් බ්ලොග් අඩවිය අලංකාර උනා. දනා නිසා තමයි මම බ්ලොගයක් හදන්න හිතුවේ. මොකද උන්දෑ එක එක ජාතියේ කවි ලියනවා නෙව. ඒ කවි සේරම එක තැනකට දාන්න තමා මේ බ්ලොග් අඩවිය නිර්මාණය කලේ.

26 November 2016

නොසිතූ ඇබැද්දියකට මුහුණ දුනිමි

ඊයේ දිනය (නොවැම්බර් 25) අපට රාජකාරි නිවාඩු දිනයක් වූ නිසා මා ඇතුළු අපේ කාර්යාලයේ මගේ සගයන් කිහිප දෙනෙක් එකතුවී චාරිකාවක් ගියෙමු. අප ගියේ වැඩි ඈතකට නොවේ. කොළඹ දිස්ත්‍රික්කයේ සුන්දරම කොටස වන අවිස්සාවේල්ල ප්‍රදේශයට ය.

ඒ අවිස්සාවේල්ල ප්‍රදේශය කිට්ටුව ඇති සීතාවක තෙත් කළාපීය උද්භිද උද්‍යානය නැරඹීමට ය. ඒ විස්තර පසුව ඉදිරිපත් කිරීමට මා පොරොන්දු වෙමි. උද්භිද උද්‍යානය නැරභීමෙන් පසු අප සියළුම දෙනා රන්මුදු ඇල්ල නැරඹීමට ගියෙමු.

රබර් යායකට මැදිව සුන්දරව ගලායන රන්මුදු ඇල්ල අතිශයින්ම චමත්කාරජනක දර්ශනයක් අප ඉදිරියේ මවන්නේ ය. අප ඒ චමත්කාරජනක දර්ශනයට සුළු මොහොතක් වශී වී සිටියෙමු.

පිස්සු නාට්ටියක්

පහුගිය දවසක මම අපේ ආච්චි අම්මලෑ දිහෑ ගියා. සති අන්තයේ හවස් වරුවක තමයි එහේ ගියේ. ආච්චි අම්මා ඒ වෙනකොට "ප්‍රේම දඩයම" නාට්ටිය බලනවා. උන්දෑට ඉතින් කරන්න කියලා වැඩක් නැති එකේ ඇබ්බැහි වෙලා වගේ බලනවා.

මාත් ඉතින් ටික වෙලාවක් නාට්ටිය දිහා බලාගෙන හිටියා.

නාට්ටියේ එක් ජවනිකාවක ශිවන්‍යා කියන නාග කන්‍යාවගේ (කන්‍යාවක් කියලා කියන්න බෑ මහිතේ..) තාත්තට වෙඩි වදිනවා.

තාත්තා වෙඩි කාගෙන බිම දිගා වෙනවා. ඒ වෙනකොට මේ ශිවන්‍යා තාත්තා ගාවට ඇවිත් තාත්තව අල්ල ගන්නවා. ඊට පස්සේ මේ ලෝකේ කිසිමදාක නොවූ විරූ අපූරු සිදුවීමක් වෙනවා. ශිවන්‍යා එයාගේ දිව දික් කරලා තාත්තගේ පපුවේ හිර වෙලා තියෙන උණ්ඩය එලියට අරගෙන තාත්තව හොඳ කරනවා.

පිස්සු හැදෙන සඳ කිව්වලු !

20 November 2016

කම්මැලි කොල්ලාගේ කතාව

ජනප්‍රිය කාර්ටූන් නිර්මාණ ශිල්පී Jef Kinney විසින් රචිත  Diary of Wimpy Kid කතා මාළාවේ පොත් දහයක් පහල සබැඳි මගින් බාගත කරගන්න.

පළමු පොත - ඩයර් ඔෆ් විම්පි කිඩ්

දෙවැනි පොත - රොඩ්‍රික් රූල්ස්

තුන්වෙනි පොත - ද ලාස්ට් ස්ට්‍රෝ

හතරවෙනි පොත - ඩෝග් ඩේස්

පස්වෙනි පොත - ද අග්ලි තෘත්

හයවෙනි පොත - කැබින් ෆීවර්

හත්වෙනි පොත - ද තර්ඩ් වීල්

අටවෙනි පොත - හාර්ඩ් ලක්

නමවෙනි පොත - ද ලෝන්ග් හෝල්

දහවෙනි පොත - ඕල්ඩ් ස්කූල්

එහෙනම් මම ගියාවේ... !

පොත් කියැවීම

හෝඩි පොත හැරුනකොට කුඩා කළ මා කියැවූ මතකයේ ඇති පොත වන්නේ "කඩමාලි" ය. කඩමාලි යනුවෙන් හැඳින්වෙන්නේ කුඩා දරුවෙකු විසින් පාසලේ ප්‍රදර්ශනයකට තැබීම සදහා ගෙදරින් ඉවත දමන  ලද රෙදි වලින් සෑදු බෝනික්කෙක් ය. මේ බෝනික්කා දුටු විනිසුරු මඩුල්ල ඒ දරුවාට තරඟයේ ප්‍රථම තෑග්ග ප්‍රධානය කරන ලදී.

කඩමාලිගෙන් පසුව මා විසින් අවුරුදු ඇඳුම, හොඳම පුතා, මඩොල් දූව, තුන් යහළු වික්‍රමය, බස්තියන්ගේ සොහොන ආදී වශයෙන් නොයෙක් සිංහලෙන් ලියවුණු පොත් කියෙව්වෙමි.

ඒ හැරුනු කොට ඉංග්‍රීසි මාධ්‍යයෙන් ලියැවී ඇති පොත් කියවා ඇත්තේ අතලොස්සකි. පාසල් අවධියේදි බ්‍රෑම් ස්ට්‍රෝකර් විසින් රචිත ඩ්‍රැකියුලා පොත කියෙව්වෙමි. එක් පසෙකින් ඉංග්‍රීසි ශබ්ද කෝෂයක් ලඟ තබාගෙන අමාරු වචන වල තේරුම් ශබ්ද කෝෂයෙන් බලමින් මා එම පොත කියෙව්වේ ඩ්‍රැකියුලා කතා මාලාවට ඇති ආශාව නිසාම ය. ඉංග්‍රීසි සාහිත්‍යය විෂය සඳහා මඩොල් දූව පොතේ ඉංග්‍රීසි පරිවර්තනයත් මා විසින් කියවා ඇති ඉංග්‍රීසි මාධ්‍යය පොත් වේ.

ඒ හැරෙන්නට මා විසින් ඉංග්‍රිසියෙන් ලියැවී ඇති කතා පොත් කියවා නැත. ඉංග්‍රීසි පොතක් ලැබුනද එහි ඇති "අමාරු වචන" නිසාම කියවීම සදහා මා තුළ කිසියම් අලස ගතියක් ජනිත කරවී ය.

නමුත් මා ඉංග්‍රීසි පොත පතද කියවිය යුතු ය.

19 November 2016

ඉන්දීය සිනමාව හා ලාංකීය ප්‍රේක්ශකයා

මා දන්නා පරිදි ශ්‍රි ලංකාවේ මුලින්ම විකාශන වූ ඉන්දියානු නාට්‍යය උනේ "ශාන්ති" නාට්‍යයයි. එහි  මන්දිරා බේඩි නම් වූ ඉන්දීය නිළිය ශාන්ති ලෙස රංගනයෙන් දායක විය.  ශාන්ති ටෙලි නාට්‍යයෙන් පටන් ගත් ඉන්දීය ටෙලි සිනමාව ශ්‍රී ලාංකීය රූපවාහිනිය තුළ දළු ලා වැඩුනා යැයි පැවසීම අතිශයෝක්තියක් නොවේ.

ඉන් පසුව කලින් කලට විවිධ ඉන්දීය නිර්මාණ ශ්‍රී ලාංකීය ප්‍රේක්ශකයා හමුවේ දිග හැරුණි. ඉන්දීය ටෙලි සිනමාව පිළිලයක් මෙන් ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂක සිත්තුල ලියැලීම දුටු එවකට තිබූ රජය විදේශීය සිනමා නිර්මාණ සදහා විකාශන බද්දක් පැනවීය. මේ නිසා බොහෝ නාලිකා විදේශීය නිර්මාණ විකාශනය කිරීම අත්හැර දමන ලදී. නමුත් සමහර නාළිකා මේ බද්ද ගෙවා විදේශීය නිර්මාණ විශේෂයෙන් ඉන්දීයානු නිර්මාණ විකාශනය කරන ලදී. තමන් විශාල බදු මුදලකට යටත්ව මේ නිර්මාණ පෙන්වන බව ප්‍රේක්ශකයාට දැන්වීම සදහා වරින් වර රූපවාහිනි තිරය මත "මේ නිර්මාණය සදහා මෙපමණ රජයේ බදු මුදලක් අප විසින් ගෙවා ඇත." යනුවෙන් දිස්වීමට සලස්වයි.

17 November 2016

කවි සංවාද

දනාගේ මිහිරි නද මැද කවි පන්තියට ඔහුගේ යෙහෙළියෝ පිළිතුරු කවි ලීවෝය. ඒ හැම කවි සිතුවිල්ලකටම දනා පිළිතුරු කවියක් ද ලීවේය. ඔහු හා ඔහුගේ යෙහෙළියන් අතර ඇතිවූ කවි දෙබස  පහතින් දක්වා ඇත.

දිනූෂා නවරත්නගේ කවිය.

නුවන් පෙම් බැඳි...
නදින් හඳ රැඳි....
හදේ රුව ඇඳි....
මල සොයනු සකි....


දිනූෂාගේ කවියට දනාගේ පිළිතුරු කවිය.

මලට පෙම් බැඳි..
බඹරු නෙක ඇති...
නමුත් නොදනිති
හිරුගේ නිමැවුම....

මිහිරි නද මැද

නුවන් පෙම් බැඳි
පිපුණු කුසුම ද
අදත් යන මග පිබිදුනේ

සවන් පිනවන
මිහිරි නද මැද
අදත් සවනත පිනවුයේ

මෙවන් මිහිරක්
ගෙනෙන කවියද
අදත් නුඹ මේ ගොතනුයේ

--------------------------------------------------------------------------------
ප. ලි. - ධනංජය චන්ද්‍රසේකරගේ (දනාගේ) කාව්‍ය සංකල්පනාවක්

16 November 2016

ගි කියන්න නුඹ නමින්

තරුත් නැති අහසේ
කලුවරයි අද රිසිසේ
සඳකි නුඹ අහසේ
පායා එන්න රිසිසේ

කවුලු පියන් හැර තබන්න
නුඹ අවුදින් අත වනන්න
මට රහසින් පියාඹන්න
පියා පතක් තබා යන්න

රැහැයි නඳත් එයි සැනින්
හමන සුළං සිසිලසින්
මටම මිහිරි පද වලින්
ගි කියන්න නුඹ නමින්

----------------------------------------------------------------------------------
ප.ලි. - දනාගේ කවි සිතුවිල්ලක්.

11 November 2016

ගෙවල් හැදිල්ල

ගෙවල් හදනවා කියන්නේ ලොකු වලක් කපලා ඒ වලට සල්ලි දානවා වගේ වැඩක්. කොච්චර සල්ලි වියදම් කලත් මදි.

මාත් පොඩිවට ගේ කෑල්ලක් හදන්න පටන් ගත්තා. මේ අවුරුද්දේ ජනවාරි 8 වෙනිදා තමා සුබ නකතින් ගෙපැල කපන්න පටන් ගත්තේ. මේ වෙනකොට ටිකෙන් ටික වැඩ කරලා ගෙයි සම්පූර්ණයෙන්ම වාගේ වැඩ ඉවරයි.

අන්තිමේදී ෆිනිෂින් වහලෙකුත් ගැහැව්වා.

අම්බෝ ඒකට තමා ලොකුම වියදම ගියේ. ලීවලට සෑහෙන ගානක් ගියා. ඉතුරු වියදම් සේරම ගියේ පේන්ට් බඩු වලටයි ෂීට් වලටයි.

ලී වලට යන වියදමයි ෂීට් වලට යන වියදමයි ඇරුනහම ලොකුම වියදම ගියේ බාස් කුලියට. අපේ පැත්තේ බාස් කෙනෙක් වහලේ වර්ග අඩියකට රුපියල් 110ක් ගන්නවා.

ඔය වැඩ සේරම ටික ඉවර වෙනකොට මම පොඩි ණය කාරයෙක් වෙලා. ඒත් ඉතින් කමන් නෑ... ගෙයි වැඩ ගොඩක් කෙරුණා නෙව.

මගේ මහන්සියෙන්ම ගොඩනගපු ගේ නේද කියලා හිතෙනකොට හිතේ ලොකු සතුටක් දැනෙනවා.

මේ අවුරුද්ද ඉවර වෙන්ඩ කලියෙන්ම කාමර කෑල්ලක් හදාගෙන පදිංචියට යන්ඩ ඉන්නේ.

කුලී ගේක ඉන්නවට වඩා තමන්ගේම ගේක ඉන්න එක කොච්චර නම් සැපක් ද ?

බදු ගෙවමු රට හදමු

ටික දවසකට පස්සේ බ්ලොග් අඩවිය පැත්තේ එන්න හිතුනා. අළුත් තැනක රස්සාව පටන් ගත්තු නිසා පහුගිය දවස් ටිකේම අළුත් තැනට හුරු වෙන්න සිද්ද උනා. අළුත් පරිගණක භාෂාවක් එක්ක වැඩ කරන්න සිද්ධ වෙච්ච නිසා ඒකට හුරු වෙන්නත් පහුගිය දවස් ටිකේම ටිකක් මහන්සි වෙන්න සිද්ධ උනා.

දැන් නං ටිකක් නිදහස් !

කම්මැලිකම යන්නත්තෙක්ක මූණු පොතට ගොඩ උනාම තමා දැක්කේ මෙදා අයවැයේ රඟේ. ආයේ ඉතින් අන්තර්ජාලෙට ගොඩ වෙන්නත් ලොකු බද්ධක් ගෙවන්ඩ සිද්ද වෙනවා !

වෙන රටවල් වල නං මිනිස්සුන්ව තාක්ෂණයට මුහු කරන්න ඕන කියලා ඒ වගේ දේවල් වලට ගහන බද්ද අඩු කරලා දෙනවා. ඒකට අපේ රටේ !

මේ ආණ්ඩුව බදු වලින්ම ගේම ගහන්න හදන බවක් තමා පේන්න තියෙන්නේ. රේඩියෝ එකේ ගුවන්විදුලි සංස්ථාවේ නාලිකා හැම එකකම වාගේ විඩින් විඩේ කියන්නෙම "බදු ගෙවමු රට හදමු " කියලා

මිනිස්සු නම් බදු ගෙවයි... රට හැදෙන එක ගැන තමා ප්‍රශ්නේ !