10 July 2022

බයිසිකල් මිල

 මම කලින් බ්ලොග් ලිපි  දෙක තුනකම කියලා තියෙනවනේ ෆුට් බයිසිකලයක් ගත්තයි කියලා. ඊට පස්සේ මට තියෙන ලොකුම කරදරේ බයිසිකලය පදින එක නෙමේ. බයිසිකලය පැදගෙන යනකොට පාරේදි හම්බවෙන මිනිස්සු බයිසිකලයේ මිල කීයද කියලා අහන එක. එක්කෙනෙක් දෙන්නෙක් නම් කමක් නෑ කියමුකෝ. සමහර වෙලාවට හය හත්දෙනා අහන වෙලාවලුත් සෙට් වෙනවා. ඒක නම් මහ කරුමයක් අප්පා.

ඔන්න මම බයිසිකලයේ  මිල කිව්වා කියමුකෝ. ඊට පස්සේ ඒ මිනිස්සු සැහෙන්න විස්සෝප වෙලා එක එක  කමෙන්ට් දෙනවා.

"අම්මෝ සෑහෙන ගණන් නෙහ්  දැන්  බයික්."

"අපරාදේ  ගත්තේ. අහවල් කඩේ නම් අහවල් ගානට බයික් තියෙනවා."

"ඔය ගානට ගියර් තියෙන එකක් ගත්තා නම් තමා  වටින්නේ."

"ඕක ජපන් ද ? ජපන් එකක් නම් ඔය ගානට ගත්තට පාඩු නෑ."

09 July 2022

බයිසිකලය ගෙදර ගෙනාපු හැටි

 බ්ලොග් එකට ආවහම ලියන්න මතක් වෙන්නෙම අරගලය අර්බුදය වගේ මාතෘකා වලට අදාල දේවල්. ඒ තරම්ම මේ දේවල් අපේ ජන ජීවිතයට සෑහෙන බද්ද වෙලා තියෙන්නේ. ඒ දවස්වල නම් ආතල් එකේ කතාවක් දෙකක් කොටාගෙන යූ ටියුබ් එකේ වීඩියෝ කෑල්ලක් බලාගෙන සරල විදිහට ජීවත් උනා. දැන් නම් අපේ ජීවිත එන්න එන්න සංකීර්ණ වෙනවා.

අපිට දැන් ගොඩක් වෙලාවට හිතන්න වෙලා තියෙන්නේ රස්සාව බේරගෙන කාලා බීලා නොමැරී ජීවත් වෙන්නේ කොහොමද කියලා. බැරි වෙලාවකවත් මගේ රස්සාව ගහලා ගියොත් ආයේ ඉතින් කන්න නෙමේ ලෙවකාලා ජීවත් වෙන්නවත් බැරි තත්වයකට රට පත් වෙලා තියෙන්නේ.

හරි ඒවයින් කාරි නෑ. කලින් ලිපියක මම කිව්වනේ තෙල් අර්බුදය නිසාම මමත් බයිසිකලයක් ගත්තා කියලා. හා හා පුරා කියලා ගත්තු බයිසිකලය ගෙදර ගෙන්නත් එපෑ. ඉතින් ඒක ගේන්න ත්‍රීවිල් එකක් හොයාගෙන දාගෙන ආවොත් තවත් රුපියල් 3000ක් විතර වියදම් වෙන වැඩක්. අනික මේ දවස්වල ත්‍රීවිල් හොයනවා කියන්නේ කළුනික හොයනවාටත් වඩා අන්ත දෙයක්.

ජන ගඟක් කොළඹට

 අද සෑහෙන ජන ගඟක් කොළබට ආවා.ඒ හැමෝගෙම සටන් පාඨය උනේ ගෝටා ගෙදර පල කියන එක. 


සිවිල් ජනතාව ජනාධිපති නිල නිවසත්, ජනාධිපති කාර්යාලයටත් වැටලුවා. මේ වන විටත් ඔවුන් එක් අවට කඳවුරු ලාගෙන ඉන්නවා.



අරගලයට ජය වේවා !!

08 July 2022

රටම කොළඹට

 රටේ අර්බුද වලට පිලියම් යෙදීමට අපොහොසත් වූ පාලකයින්ට එරෙහිව රටම හෙට කොළඹට ඒමට නියමිතයි.



රට තුල අර්බුද

 මේ දිනවල ශ්‍රී ලංකාවේ ජීවත් වන පුරවැසියෝ ගත කරන්නේ කරුමක්කාර ජීවිතයකි. අප එක අර්බුදයකින් නොව අර්බුද කිහිපයකින් පීඩා විඳී. මූලිකම අර්බුදය වන්නේ රට තුල ඩොලර් නොමැතිකමයි. මේ නිසා ආනයන සීමා වී ඇත. අද්‍යවශ්‍යම දෙයක් හැරුනකොට වෙනත් කිසිඳු දෙයක් ගෙන්වන්නට නොහැකි වී තිබේ. 

මේ නිසාම දුරකතන, ලැප්ටොප් පරිගණක, විදුලි උපාංග  ආදිය රටට ගෙන්වීම සීමා වි ඇත. දැනට මිලදී ගැනීමට තිබෙන දේවල් වල මිල ද සීග්‍රයෙන් ඉහල ගොස් ඇත.