09 July 2022

බයිසිකලය ගෙදර ගෙනාපු හැටි

 බ්ලොග් එකට ආවහම ලියන්න මතක් වෙන්නෙම අරගලය අර්බුදය වගේ මාතෘකා වලට අදාල දේවල්. ඒ තරම්ම මේ දේවල් අපේ ජන ජීවිතයට සෑහෙන බද්ද වෙලා තියෙන්නේ. ඒ දවස්වල නම් ආතල් එකේ කතාවක් දෙකක් කොටාගෙන යූ ටියුබ් එකේ වීඩියෝ කෑල්ලක් බලාගෙන සරල විදිහට ජීවත් උනා. දැන් නම් අපේ ජීවිත එන්න එන්න සංකීර්ණ වෙනවා.

අපිට දැන් ගොඩක් වෙලාවට හිතන්න වෙලා තියෙන්නේ රස්සාව බේරගෙන කාලා බීලා නොමැරී ජීවත් වෙන්නේ කොහොමද කියලා. බැරි වෙලාවකවත් මගේ රස්සාව ගහලා ගියොත් ආයේ ඉතින් කන්න නෙමේ ලෙවකාලා ජීවත් වෙන්නවත් බැරි තත්වයකට රට පත් වෙලා තියෙන්නේ.

හරි ඒවයින් කාරි නෑ. කලින් ලිපියක මම කිව්වනේ තෙල් අර්බුදය නිසාම මමත් බයිසිකලයක් ගත්තා කියලා. හා හා පුරා කියලා ගත්තු බයිසිකලය ගෙදර ගෙන්නත් එපෑ. ඉතින් ඒක ගේන්න ත්‍රීවිල් එකක් හොයාගෙන දාගෙන ආවොත් තවත් රුපියල් 3000ක් විතර වියදම් වෙන වැඩක්. අනික මේ දවස්වල ත්‍රීවිල් හොයනවා කියන්නේ කළුනික හොයනවාටත් වඩා අන්ත දෙයක්.

ඒ තරමටම ත්‍රීවිල් හිඟ කාළයක් මේක.

හරි කමන්නෑ කියලා හිතට හයිය අරගෙන බයිසිකලයේ නැගලා පාගන්න ගත්තා. කිලෝමීටර් 10ක් වගේ දුරක් පාගන්න ඕන. ඉස්ක්කෝලේ යන දවස් වලින් පස්සේ බයිකලයක් පාගපු කාලයක් මතක නෑ. ඔන්න ටික දුරක් අමාරුවෙන් සයිකලය වාංගු කරගෙන ආවා කියහන්කෝ.

මේං දිව එලියට දාගෙන බළු හතියක් ආවා.

මාර මහන්සියි. කකුල් වලට හොඳ ගණන්. අනිත් එක තමයි නුපුරුදු කෙනෙකුට එකසැරේම මහපාරක පදින එක හෙන ඩේන්ජරස් වැඩක්. එක වතාවක් මෝටර් සයිකල් කාරයෙකුත් මට බැනගෙන ගියා පාරේ නයා වගේ යනවයි කියලා.

ලංකාවේ අපිට බයිසිකලයකින් ගමනක් බිමනක් යන්න පාරේ බයිසිකල් මං තීරුවක් නෑ. ඒක හරි අපරාදයක්. වෙන රටවල් වල නම් මේ කරදරය නෑ. ඒගොල්ලන්ට වෙනම මංතීරුවක් හම පාරකම වගේ තියෙනවා.

මේ නිසාම කොච්චර දන්න පාරක උනත් බයිසිකලයක් පදින එක හරිම අවදානම් වැඩක්. ඒකට හොඳ හුරුවක් ඕන. අනිත් වාහන වල වගේ සයිඩ් කන්නාඩි එහෙම නැති නිසා දෙපැත්තෙන් එන වාහන ගැන කිසිම අවබෝදයක් ගන්න හම්බ වෙන්නේ නෑ.

මේවත් එක්කම හිමින් හිමින් පාගලා කොහොමහරි ගෙදරට ආවා. ඇවිල්ල පොඩි වෙලාවක් මහන්සි ඇරලා හොඳටම නා ගත්තා. අම්මෝ ඊට පස්සේ දැනෙන සනීපේ. නාලා ඇවිල්ලා තේකක් කාරිය එහෙම බීලා පුටුවක් උඩ පැයක් විතර වාඩිවෙලා ඔහේ කල්පනා කර කර උන්නා.

ඊට පස්සේ අපේ පුංචා මං ගාව දැවටි දැවටි උන්න නිසා එයාව පොඩ්ඩක් ඔඩොක්කෙට අරගෙන හුරතල් කර කර හිටියා. ඔහොම තමා බයිසිකලය ගෙදර ගෙනාපු කතාව සිද්ද උනේ. එහෙනම් මම ගියාවේ. 


ආයෙත් දවසක තව පෝස්ටුවකින් හම්බවෙමුකෝ.

1 comment:

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.