27 May 2011

මෙහෙමත් හීන ටිකක්


කලින් පෝස්ට් එකකදී මම නින්දෙන් ඇවිදින අපේ මල්ලි කෙනෙක් ගැන ලිව්වා. ඒ ලිපිය ලියාගෙන යද්දි මට සමහර කට්ටිය නින්දෙදි කරන වැඩ ටිකක් මතක් උනා.නින්දෙදි නිදා ගන්නවා ඇරෙන්න වෙන මොනවැ‍යි කරන්නේ කියලා සමහර අයට හිතෙන්න පුලුවන්. නෑ එහෙම නෙමෙයි. නින්ද ගියාට පස්සේ අපි හීනෙන් කරන දේවල්, සමහර විට හැබැහින් සිද්ධ වෙනවා.

උදාහරණයක් විදිහට දවසක් මම් දවසක් යාලුවෙක්ගේ ගෙදර ගිහින් රෑ නිදාගෙන ඉන්නැද්දි මාරම හීනයක් පෙනුනා. හීනේ මේකයි. මාරම ලස්සන කෙල්ලෙක් මගේ ලගට ඇවිත් කෑම බන්දේසියක තිබ්බ කෑම එකින් එක මට කවන්න ගත්තා. මමත් ඉතින් කෙල්ලෙක් නේ කවන්නේ කියලා පෙරේතකමට කනවා. ඒ කෑම ලස්සනට වගේ පෙනුනට මාරම තිත්තක් තියෙන්නේ. කෙල්ලෙක් කවන නිසා නොකා ඉන්නත් බෑ.මාත් කනවා. කෙල්ලට නොපෙනෙන්න කෙලත් ගහනවා. ඒකිත් අත අරින්නේ නෑ. මුලු බන්දේසියම මට කවනවා. මාත් හපලා කෙල ගහනවා.

කොහොමහරි උදේ වෙලා බලද්දි කෙල වලින් පිරිච්ච කොට්ටයක් උඩ මම ඔලුව තියාගෙන නිදි.හීනෙන් ගහපු කෙල හැබහින් කොට්ටේ උඩ. මාර හිරිකිතයි. ඊට පස්සේ කොට්ට උරය හෝදන්නත් උනා. අන්තිමේදී හීනෙන් කෑම කාපු හින්දා මට සතියක් යනකන් බඩේ අජීර්ණයකුත් හැදුනා.හිනෙන් කෑම කන්න හොද නෑ.

මේ වගේම වැඩක් මගේ යාලුවෙකුටත් උනා. මේකත් කොහෙද මන්දා යාලුවෙක්ගේ ගෙදර ගිහින් රෑ නිදාගෙන ඉන්නැද්දි මාරම ලස්සන බාත් රූම් එකක් හීනෙන් දැකලා. බාත් රූම් එක බිමට ටයිල් කරලා රත්තරන් වලින් කරාම දාලා රත්තරනින්ම බාත් ටබ් එකත් තියෙනවලු. මෙච්චර ලස්සන නාන කාමරයකට ආයෙම එන්න වෙන්නේ නැති හන්දා මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඕනේ කියල හිතුන නිසා හිතේ හැටියට චූ කලා ලු. අන්තිමේ යාලුවා නැගිටින්නත් කලින්ම බෙඩ් ශීට් එක හෝදලා දැම්මලු.ඔන්න ආයෙත් කියන්නේ මේක මට වෙච්චි එකක් නෙමේ.

අපේ මල්ලි පොඩි දවස්වල අපේ අම්මා හීනෙන් මල්ලිව කොහෙන්ද මන්දා වැටෙනවා දැකලා දුවගෙන ගිහින් වැටෙන්න නොදී අතින් අල්ලගෙන ඉන්නවලු.මල්ලි අඩනවලු. ඒත් අම්මා වැටෙන්න නොදී අල්ලගෙන ඉන්නවලු. අම්මා අත තදකරගෙන අල්ලගෙන ඉදිද්දි මල්ලිට ඇහැරුනා ලු.කොහොමහරි මල්ලි අම්මව ඇහැරෙව්වට පස්සේ තමයි අපේ අම්මා මල්ලිව අතැරලා තියෙන්නේ.

මල්ලි ටිකක් විතර ලොකු උනාට පස්සේ මට තමයි මල්ලි එක්ක නිදා ගන්න උනේ.මල්ලිත් එක්ක ඉන්න එක ලේසි නෑ. ඒකා අංශක 180ක් විතර කරකැවිලා කනට පයින් ගහනවා. නිදාගෙන ඉන්න එකා උඩ ගිහින් ඇහැරෙන්නේ. මට හැමදාම මල්ලිගෙන් ගුටි කන්න බැරි නිසා ඒකත් එක්ක ඉන්න එක අතෑරලා දැම්මා.

ඔය වගේ සමහර දාට නින්දෙදි දුක හිතෙන වැඩ සිද්ධ වෙනවා. ඔහොම දවසක් මටත් මොකකට හරි දුක හිතිලා පොලොවේ පස් කකා ඇඩුවා. අනිතිමේ ඇහැරිලා බලද්දි ඇත්තටම අඩපු කදුලුත් තියෙනවා.

ඔය කවුරු එක්ක හිටියත් අපේ අප්පච්චිත් එක්ක ඉන්න එක ලේසි නෑ. අපේ අප්පච්චි මුනින් අතට නිදා ගත්තොත් එදාට යකෙක් ඇවිත් පිට උඩ නැගලා හිර කරනවලු. අප්පච්චි මර ලතෝනි තියනවා. ඔහොම දවසක් රෑක ලතෝනි තියලා අහල පහල ගෙවල් වල මිනිස්සුත් දුවගෙන ආවා. අම්මෝ එහෙමත් කෑගැහිල්ලක්. ඒ කෑගැහිල්ල අහගෙන හිටියාම ඇගේ ලේ වතුර වෙනවා. ඒ නිසා අප්පච්චිව පන්සිල් වල පිහිටුවලා නිදා ගන්න දෙනවා.එතකොට මේ කිසිම එකක් නෑ.

පාන්දරට දකින හීන හැබෑවෙන්න ලොකු ප්‍රවනතාවක් තියෙනවා. ඇයි කියලා නම් දන්නේ නෑ. හීනෙකින් තමන්ගේ දත් ගැලවෙනවා එහෙම දැක්කොත් එදාට තමන්ගේ නෑදෑ කෙනෙක් නැති වෙනවා ලු. මමත් දවසක් දැකලා එහෙම නෑදෑ කෙනෙක් නැති උනා.

24 May 2011

නින්දෙන් ඇවිදීම

මේ දවස්වල විශ්ව විද්‍යාල ආචාර්යවරු පඩි වැඩිවීමක් ඉල්ලලා අඛණ්ඩ වර්ජනයක් හින්දා අපට තියෙන්න තිබ්බ විභාග ඔක්කොම අවලංගු උනා. ඒ නිසා අවුරුදු හතරකට විතර පස්සේ වෙසක් එකට ගෙදර යන්න පොඩි නිවාඩුවක් ලැබුනා. ඒ නිසා පහුගිය දවස් ටිකේ ගෙදර ගිහින් ආවා. මේ වෙනකොටත් එයාලගේ ඉල්ලීම ලැබිලා නැති නිසා වර්ජනය නවතින පාටක් නම් නෑ. අපරාදේ මේ විභාගෙන් පස්සේ අවුට් වෙන්න තිබ්බ එකත් කල් ගියා.ගෙදර ගිහින් එද්දි ඉලංදාරියා අයියත් අපෙන් සදහටම සමු අරන් දුර ගමනක් යන්න ගිහින්.

ගෙදර ගිහින් ඉන්නැද්දි අපේ පුංචිගේ පුතාට අරුම පුදුම ලෙඩක් හැදිලා තිබ්බා. ඒක තමයි හීනෙන් ඇවිදින එක. මම හිතන් හිටියේ ඒ මල්ලි හීනෙන් ඇවිදින්නේ රෑට විතරයි කියලා. බැලින්නම් මූ දවල් නිදාගත්තත් ඇවිදිනවා. මම් ඉතින් ඒකව ලගට කතා කරලා පොඩ්ඩක් අහලා බැලුවා මොකද එහෙම ඇවිදින්නේ කියලා.

ඒ මල්ලි නම් කිව්වේ නිදාගෙන ඉන්නැද්දි එකපාරටම නැගිටින්න හිතෙනවා එහෙම්ම නැගිටලා යනවා. ඒක එයාවත් දන්නේ නෑ කියලා.මේ වැඩේ ඉස්සර ඉදන්ම තිබ්බේ නෑ. දවසක් අපේ බාප්පා මස් බැඳුම් තියෙන බත් එකක් කන්න ගෙනත් දීලා තියෙනවා. ඒක කාපූ දා ඉදන්ම මේකා හීනෙන් ඇවිදින්න අරගෙන. එදා ඒ කෑම එක කාපූ දවසේ රෑත් හීනෙන් ඇවිදලා දොර ඇරන් යන්න හදලා තියෙනවා. බාප්පා දැකලා තමයි නවත්තගෙන තියෙන්නේ.

අපේ මල්ලිලාට උගන්වලා තියෙන විදිහට අපේ නින්ද නොකඩවා නිදාගන්න එකක් නෙමේ ලු. ඒකට කියන්නේ sleep Cycle එකක් කියලලු. අපි නින්දට යද්දි මිනිත්තු 90ක sleep Cycle එකක් විදිහට ලු නිදා ගන්නේ. සාමාන්‍ය මනුෂ්‍යයෙක් දිනකට පැය හයක්වත් නිදා ගන්න ඕනෙලු. ඒ කියන්නේ sleep Cycle 4ක් විතර. මෙහෙම එක sleep Cycle එකක් තුලදී විනාඩි 65ක් හෝ 70ක් NREM (Non- Rapid Eye Movement) විදිහට නිදා ගන්නවලු. ඒ කියන්නේ හීන දකින්නේ නැති, හර්ද ස්පන්දනයයි හුස්මගැනීමේ වේගයයි සාමාන්‍යයෙන් අඩු නින්දකට.

ඊට පස්සේ තමයි REM (Rapid Eye Movement) එහෙමත් නැත්නම් අපි හීන දැක දැක නිදා ගන්නේ. එතකොට අපේ ඇස් ඉක්මනින් එහා මෙහා චලනය වෙනවා. ඉතාම වේගයෙන්. ඒකයි මේ නිදි චක්‍රයේ ඉතුරු මිනිත්තු කීපයට Rapid Eye Movement නින්දක් කියලා කියන්නේ. (මිනිත්තු 20ක් 25ක් විතර). ඒ කියන්නේ අපි නිදා ගන්නකොට හැම තිස්සෙම හීන දකින්නෙත් නෑ. නිදාගත්තු එකෙක්ගේ ඇස් ඉක්මනින් එහා මෙහා යනවනම් ඌ ඉන්නේ මේ අවස්ථාවේ.

කොහොමහරි නිදි චක්‍රයේ මොන කොටසකින් හරි අරූ නැගිටලා ඇවිදිනවා. එච්චරයි මං දන්නේ. දවසක් මම් පුංචිටත් කියලා මේකා නින්දෙන් ඇවිදින්නේ කොහෙද කියලා බලන්න, මූ නිදා ගත්තට පස්සේ කාමරේ දොර ලග මුර තියාගෙන හිටියා. මට දොර මුල්ලේ දි නින්ද ගියපු වෙලාවක මේකා නැගිටලා ගිහින්.

මෙහෙම නින්දෙන් ඇවිදින කෙනෙක්ට ගමන් කරන මාර්ගය හොයා ගන්න එක ප්‍රශ්නයක් නේද ? ඒකට එයාලා පාවිච්චි කරන්නේ දවල් කාලයේ මතකය. දවල් කාලයේ එයා ඇවිදින කොට ගමන් කරන තැන් හරියට චිත්‍රයක් වගේ මතකයට නැගෙනවා. කාමරේ දොර තියෙන තැන, දොරේ අගුල තියෙන්නේ කොච්චර උසකින්ද කියන එක එහෙම දවල් කාලයේදි දැකලා දැකලම මතකයේ තියෙනවා.ඒ නිසා ඉතාම පහසුවෙන් නැගිටලා යන්න පුලුවන්.

මෙහෙම හිතමු. ඔයවගේ නින්දෙන් නැගිටින කෙනෙක්ව වෙන ගේක නිදි කෙරෙව්වොත් (තමන්ට හුරු පුරුදු නැති) එයාට එච්චර දුරක් ඇවිදින්න බෑ.අඩුමගානේ බිත්තියක හැප්පිලා හරි ඇහැරෙනවා. ඒක වෙන්නේ අදාල කෙනාගේ දවල් කාලේ මතකයේ ඒ තැන නැති නිසා. (ඒ මල්ලිගේ ගෙදර නිදා ගත්තොත් යස අගේට නැගිටලා ඇවිදිනවා. අපේ ගෙදර හිටියොත් එහෙම නැගිටලා ඇවිදින්න බෑ. මොකද අපේ ගෙදර එච්චර හුරු නෑ. මල්ලිගේ මතකයේ නෑ)

ඒ නිසා මුන් නිදා ගත්තට පස්සේ දොරට පුටුවක් හරි හරස් කරලා මාර්ගය අහුරලා තියන්න ඕනේ. මේක ලෙඩක්. මේකට බෙහෙත් එහෙමත් තියෙනවා. ඒ නිසා දොස්තර කෙනෙකුට පෙන්වන එක තමයි කරන්න ඕනේ.

කොහොමින් කොහොමහරි මේ මල්ලි දැන් නිදා ගන්න පුදුම බයක් තියෙන්නේ. දවල්ට නිදා ගන්නවා තියා ඇදක් දැක්කත් හෙනම බයක් තියෙන්නේ.මට නම් හිතෙන්නේ මේක ලෙඩකට වඩා අමනුශ්‍ය බැල්මක් වගේ එකක් කියලා.

----------------------------------------------
ප.ලි - මේ මලයව මනෝ වෛද්‍යවරයෙක්ට පෙන්වන්න වැඩ මේ දවස්වල කෙරීගෙන යනවා. මම කියපු ඒවයින් නොතේරෙන තැනක් තියෙනවනම් පහලින් කමෙන්ට් කරන්න. මාත් හොයලා කියන්නම්.මේ කතාව ලියන්න හිතුනේ නදී අක්කගේ හීනෙන් පාවෙන කතාව කියෙව්වට පස්සේ.

23 May 2011

25වෙනි සංවත්සරය අදයි.


අද දවස අපේ ගෙදර අයට නම් විෂේශ දවසක්. විෂේශත්වය තමයි අපේ අම්මගෙයි අප්පච්චිගෙයි 25වෙනි විවහා සංවත්සරය යෙදිලා තියෙන්නේ අද. 25වෙනි විවහා සංවත්සරයට රිදී ජුබිලිය කියලත් කියනවලු. මම නම් ඒක හරියටම දන්නේ නෑ. මේ දවස්වල කැම්පස් එකේ විභාගේ නිසා ගෙදර යන්න නම් උනේ නෑ. නමුත් මම අම්මට දුරකතන ඇමතුමක් අරන් සුභ පැතුවා. සුභ පතලා ඉවරවෙලා අපේ අම්මගෙන් පොඩි සම්මුඛ සාකච්චාවක් ගත්තා අවුරුදු විසි පහක් ආ ගමන් මග පිලිබද අහගන්න.

අම්මා කිව්වේ, අපේ අප්පච්චි හරි සරල සරල මනුස්සයෙක්. වැඩිය අනන් මනන් හොයන්නේ නෑ.කාටත් කරදරයක් නැතුව තමන්ගේ පාඩුවේ වැඩ ටික කරගෙන ඔහේ ඉන්නවා. ඒවගේ මනුස්සයෙක් එක්ක ජීවත් වෙන්න හරිම ලේසියි. ඔන්න ඔය ටික තමා අම්මා කිව්වේ. ඒ කතාව නම් ඇත්ත. අපේ අප්පච්චි අලුත් ඇදුමක් උනත් ගන්නේ එක්කෝ අලුත් අවුරුද්දට නැත්නම් නත්තල් කාලෙට. ඒකත් අපි බලෙන්ම වගේ අරන් දුන්නොත් තමා. එයාට ඒවා ඕනේ නති උනාට අනිවාර්යෙන්ම අපිට ඇදුම් මහලා දෙනවා. ඔයවගේ ගොඩක් දේවල් තියෙනවා අප්පච්චි ගැන කියන්න.

අපේ අම්මා කියන විදිහට අපේ අප්පච්චි අවුරුදු 16 ඉදන්ම පොහොර සංස්ථාවක වැඩ කරලා තියෙනවා.මොකද අපේ අප්පච්චි තමයි දරුවෝ හත් දෙනෙක් හිටපු එයාලගේ පවුලේ වැඩිමලා. පවුලේ අගහිගකම් පිරිමහන්න එයා අවුරුදු 16 ඉදන්ම රස්සාවක් කරලා තියෙනවා.අපේ අම්මව කසාද බදින දවස් වලත් ඔය රස්සාවමලු කරගෙන ඉදලා තියෙන්නේ.

අම්මයි අප්පච්චියි කසාද බැදලා තියෙන්නේ විවහා යෝජනාවකින්. මොකද අපේ අප්පච්චිට ඒ වෙනකනුත් කෙල්ලෙක් ගැන හිතිලා නෑ. (හරියට මට වගේ.තාම කෙල්ලෙක් ගැන හිතිලා නෑ. :)) ඒ වෙනකොට අපේ අම්මා ගාමන්ට් එකක රස්සාවක් කරනවා.ගොඩක් දවස්වල අපේ අප්පච්චි වැඩ ඇරිලා අම්මා වැඩ කරපු ගාමන්ට් එක ලගට එනවාලු අම්මව බලන්න.ඊට පස්සේ දෙන්නා කතා කර කර එනවාලු අම්මාලෑ ගෙදෙට්ට හැරෙන පාර වෙනකන්. ඒ වෙනකොට අපේ අප්පච්චිගේ දවසේ පඩිය රු. 180ක් විතර වෙච්චි හන්දා මොනවාවත් අරන් එන්න වෙන්නේ නෑලු. මොකද ඉතින් ගෙදරට කීයක් හරි දීලා අතට ඉතුරු වෙන්නේ පොඩි ගානක් හන්දා.

දෙන්නා කසාද බැන්දට පස්සෙත් අම්මා මේ ගාමන්ට් රස්සාවට ගිහින් තියෙනවා. කොටින්ම මාව ලබෙන්න ඉන්නැද්දිත් අම්මා ගාමන්ට් එකක ඇදුම් මහනවා.මල්ලිව ලැබෙන්න ඉන්න දවස්වල තමා අපේ අප්පච්චිගේ රස්සාව උනත් ස්ථිර උනේ.ඒ උනාට මං ඉස්කෝලේ තුන වසරට විතර යනකන් අම්මා රස්සාවට ගියා. අන්තිමේදි මාවයි මල්ලි ගැනයි බලන්න වෙන්නේ නැති හන්දා අම්මා රස්සාව නැවැත්තුවා.

ඊට පස්සේ අම්මයි අප්පච්චියි දෙන්නම ගොඩක් උත්සහ කලේ මටයි මල්ලිටයි හොදට උගන්වන්න. අද වෙනකොට ඒ දෙන්නගේ හීන ගොඩක් ඉශ්ට වෙලා තියෙනවා. ඒ හින්දා අවුරුදු 25ක් ගෙවෙන මේ මොහොතේ ඒ දෙන්නට තියෙන ලොකුම සතුටත් ඒකයි.

අපේ අම්මටයි අප්පච්චිටයි නිදුක් නිරෝගි සුව පතමින් මේ ලිපිය නිමා කරනවා. !!!!!


මේ ඉන්නේ අපි කට්ටිය.වම් පැත්තේ තියෙන්නේ අපේ අම්මාගෙයි අප්පච්චිගෙයි වෙඩින් ෆෝටෝ එක. දකුණු පැත්තේ ඉන්නේ මමයි මල්ලියි. උසට උසේ ඉන්නේ අපේ මලයා. නිල් පාට ශර්ට් එකක් ඇදලා ඉන්නේ මං.

12 May 2011

පාඩම් කිරීම හා මතක තබා ගැනීම


ඉස්සර ඉදලම පාඩම් කරන්න, පාඩම් කරපු දෙයක් මතක තියා ගන්න පුදුම විදිහේ ක්‍රම තමයි පාවිච්චි කරලා තියෙන්නේ. සමහරුන්ට නම් කොච්චර පාඩම් කලත් මතක හිටින්නේ නෑ. ඒත් සමහර අයට නම් එකපාරක් පාඩම් කරපු ගමන් මතක හිටිනවා. එහෙම වෙන්නේ පෙර පිනකට වෙන්න ඇති. මටනම් කවදාවත් අහගෙන ඉන්න දෙයක් මතක හිටින්නේ නෑ. එහෙම මතක හිටියොත් ඒ කලාතුරකින්. මට පාඩම් හිටින්නේ කොලයක ලියපු දෙයක් මම ආයෙම ලිව්වොත් විතරයි.

ඉස්සර අපේ අම්මලා අප්පච්චිලාගේ කාලවලදී පාඩම් කරනකොට නින්ද යනවනම් වතුර බේසමක කකුල් ඔබාගෙන තමයි පාඩම් කරන්නේ. එතකොට නින්ද යන්නේ නෑ.ඔහොම වතුර බේසම් වල බැහැලා පාඩම් කරන එක ඇස්වලට හොද නෑලු.

අපේ අප්පච්චිලාගේ ගමේ මිනිස්සු ළමයින්ට පාඩම් අමතක වෙනවට එහෙමත් නැත්නම් අමතක වීමේ ලෙඩේට තලගොයින්ගේ දිව කපලා දෙනවා කන්න. කන්න කිව්වේ කන්නම නෙමෙයි ගිලින්න. තලගොයි මස් නම් මිනිස්සු උයලා කනවා. මේක උයන්නෙත් නැතුව කට ඇරලා එකපාරටම ගිලින්න ඕනෙලු. එහෙම ගිල්ලම පාඩම් කරනදෙයක් උනත් හොදට මතක හිටිනවලු. කොහොමහරි ඔය වැඩේ හින්දා අප්පච්චිලාගේ ගමේ බේතකටවත් තලගොයෙක්ව හොයාගන්න බෑලු. පොඩි එකෙක්ට උනත් තලගොයෙක්ව බලන්න වෙන්නේ රූපයකින් ලු.ඒ තරමටම තලගොයි වද උනාලු.මෙවුන් කොහොම ගිලිනවද මන්දා මටනම් අහද්දිත් හිරිකිතයි.

අපේ ගෙවල් පැත්තේ නම් සමහරු කරන්නේ පාඩම් කරන ඒවා මතක හිටින්න සරස්වතී යන්ත්‍රය හදලා ඒක කරේ එල්ලගන්නවා. එතකොට මතක හිටිනවලු.කොච්චර මතක හිටින්න වැඩ කලත් පාඩම් කරන්නේ නැත්නම් වැඩක් තියේ යෑ.

සමහරවෙලාවට පාඩම් කරලත් මතක හිටින්නේ නැත්නම් "ඥාන පටි" කියලා බස් ටිකට් එකක් සයිස් හින්නිකිතර කොලේක කූබි අඩු සයිස් අකුරුවලින් ලියලා ඒක විභාගෙට අරන් යන සිරිතකුත් තියෙනවා. අරන් ගියාට ඕක බලද්දි මාට්ටු උනොත් තමයි වැඩේ.

මම නම් හිතන් හිටියේ උසස් පෙලින් පස්සේ මේ විදිහට පාඩම් කරන එක නම් අඩු ඇති කියලා. නමුත් කැම්පස් ආවට පස්සේ තමයි දන්නේ ඒකේ අඩුවක් නෑ කියලා.මම අදුරන මෙඩිකල් ෆැකල්ටි වල යාලුවෝ නින්ද යන එක වලක්වන්න පෙති හිටන් ගන්නවා.

කට්ට්ටියට මතකද දන්නේ නෑ කාලයක් මුලු ලංකාවටම සීත කාලගුණයක් තිබ්බේ. අන්න ඒ දවස්වල අපේ හොස්ටල් එකක් යාලුවෙක් නින්ද යන එක වලක්වන්න අපූරු වැඩක් කලා.ඒ දවස්වල සීතල හින්දා ඇහැරන් ඉන්න මාරම අමාරුයි. මේ යාලුවා හිටපු හොස්ටල් එකේ මැද මිදුලක් තියෙන එකක්. මැද මිදුලක් තියෙන හන්දා බැල්කනි එකක් තියෙනවා ඒ බැල්කනියට යකඩ බට වලින් හදපු අත්වැටක් තියෙනවා. පාන්දර කිට්ටුවට පින්න වැටිලා මේ අත්වැට අල්ලන්න බැරි තරම් සීතලයි. අපේ යාලුවා කරන්නේ නින්ද යාගෙන වගේ එනකොට මේ අත්වැට ගාවට එනවා. ඇවිත් වටපිට බලලා කවුරුත් ලග පාතක ඉන්නවද කියලා බලනවා. කවුරුත් නැත්නම් ඒකගේ සරම උස්සලා එකපාරටම පස්ස පැත්ත අර අත්වැටේ ගාවන
වා.

එකපාර
ම පස්ස පැත්තට සීතල දැනෙන හන්දා ආයේ පැයකට දෙකකට නින්ද යන්නේ නෑලු. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයයි. ඇහින් දුටුවයි !!!!!
ඒකා නිකන් මේ වැඩේ කරන්නේ කෙමක් කරනවා වගේ. කතානොකරම හොරෙන්ම වගේ ඇවිත් මේ වැඩේ කරන්නේ.
(සීතල වෙච්ච යකඩ බට හොයාගන්න බැරි නම් අයිස් කැට පුරවපු බෑග් එකක් උනත් අවුලක් නෑ. :))

11 May 2011

අඩුවියදම් ගුවන් ගමනකට

මම් තුන්වෙනි වසරේ ඉන්න දවස්වල අපේ බැච් එකේ යාලුවෙක් ගේ මලගමකට ගියා. නැති උනේ ආච්චිද සීයාද කියලා මතක නෑ. කොහොමහරි මලගෙදර ගියා. යාලුවාගේ ගෙවල් තිබ්බේ ගලේවෙල පැත්තේ. අපි සේරම බස් එකක තමයි මලගෙදර ගියේ. මල ගෙදරින් රෑට කෑමත් ලැබුනා. මම දැකපු දෙයක් තමයි ගම් වල මල ගෙයක් උනාම මලගෙදරට එන අයට කන්න බොන්න දෙනවා. අපේ පැත්තේ එහෙම දෙන්නේ නෑ. කොටින්ම මල ගෙදරට එන අයට බීම එකක් බිස්කට් එකක් වගේ තමා දෙන්නේ. ඒ හොද පුරුද්ද ගම්වල තාම තියෙන එක නම් වටිනවා.

කොහොමහරි අපිත් මලගෙදරින් එහෙම කාලා, කාපු ගමන් එන එක හරි නැති හන්දා ටික වෙලාවක් හිටියා. එහෙම ඉදිද්දි කට්ටිය පොඩි පොඩි සෙට් හැදිලා තැන් තැන් වල එක එක කතා කියනවා. තවත් සමහරු කාඩ් ගහනවා. තවත් කට්ටිය කැරම් දාම් වගේ සෙල්ලම් කරනවා. මමත් නිකන් ඉන්න එකේ කතාවක් අහන්න කියලා එක සෙට් එකකට කිට්ටු උනා. එතන හෙනම තර්කයක් ගිහින් කට්ටිය උඩ බිම බල බල ඉන්නවා. මොකෙක්වත් කතා නෑ.

කතාව මේකයි. ෆ්ලේන් එකක් උදේම ගුවන් ගත කරලා අහසේ එකම තැන නවත්වලා තියනවා.හවස් වෙද්දි ආයෙම පොලවට බානකොට පෘථුවිය කරකැවෙන නිසා වෙන රටකට ගොඩ බානවාලු. මෙහෙම හිතමුකෝ ෆ්ලේන් එකක් උදෙන්ම කටුනායක ගුවන් තොටුපොලෙන් ගුවන්ගත කරලා අහසේ එකම තැන නවත්වලා තියාගෙන ඉන්නවා.පෘතුවිය කැරකෙන හින්දා හවස් වෙද්දි ඒ ෆ්ලේන් එක තියෙන්නේ ඇමරිකාව වගේ වෙන රටකට උඩින්ලු. ඊට පස්සේ ෆ්ලේන් එක ඇමරිකාවට ගොඩ බානවා ලු. මෙහෙම කරද්දි ඉන්ධන වැයවීම ගොඩක් අඩුයි ලු. කොටින්ම ෆ්ලේන් එක උඩ නවත්වගෙන ඉන්න එකට විතරයි නේ තෙල් පිච්චෙන්නේ. කොහොමද ඒකගේ ටිකිරි මොලේ !!!!!

ඔන්න ඕකයි කතාව. එක කට්ටියක් ඔය තර්කේ වැරදියි කියනවා. තව කට්ටියක් හරියි කියලා කියනවා.ඔය කතාව කියපු එකාගේ බාප්පා කෙනෙක් අපේ ෆැකල්ටියේ අචාර්යවරයෙක්. ඌ ටක්ගාලා බාප්පට කෝල් එකක් අරන් මේ කතාව ඇහුවා. බාප්පා දන්නවානේ මිනිහගේ හැටි. ඒ නිසා උත්තරයක් නොදී මග ඇරියා.

ඔයවගේ තව කතාවක් මතක් උනා. ඒකත් මලගෙදරකදි කවුරුහරි කියපු හෙනම බොරුවක්. මේ කතාව කියපු එකා ඉන්නේ ටිකක් කලෑ බද පැත්තක. දවසක් මේකාගේ ගෙවල් ලග කැලෑවට හෙලිකොප්ටර් එකක් කඩාගෙන වැටිලා. මාරම සද්දයක් එනවාලු. මූත් ගිහින් බලලා මොකෙන්ද මේ සද්දේ එන්නේ කියලා. බලද්දි හෙලිකොප්ටර් එක කැලෑවකට කඩාගෙන වැටිලා හෙලිකොප්ටරේ ෆෑන් එක ගස්වල හිරවෙලා ලු.හෙලිකොප්ටර් එකේ එන්ජිම ඒත් වැඩ කරනවලු. හෙලිකොප්ටර් එකේ ෆෑන් පෙති ගස්වල හිරවෙලා තියෙන හන්දා හෙලිකොප්ටර් එක, පෙති කැරකෙන පැත්තට විරුද්ධ පැත්තට කැරකැවෙනවලු. ඒකෙන්ලු අර සද්දේ ආවේ.පට්ට පල් බොරුවක් නේ !!!!!!

කොහොමහරි එදා රෑ වෙලා අපි ආයෙම හොස්ටල් එකට ආවා. මොකද ඒ දවස්වල විභාග තිබුන හන්දා.නැත්නම් උදේ වෙලා තමයි එන්න හිතාගෙන හිටියේ. හොස්ටල් එකට ඇවිල්ලත් කට්ටිය කතා කරේ අරූගේ ගුවන් ගමන ගැනයි. ඇත්තටම ඒකා කියන විදිහට කරන්න පුලුවන් නම් හොදයි.
මේකා පාඩම් කරද්දි කරපු කෙමක් තියෙනවා. ඒක ඊලග පෝස්ට් එකේ දාන්නම්.

10 May 2011

බිරින්දෑවරු හතරදෙනෙක්

මේ වෙසක් මාසය. ඒ නිසා මටත් හිතුනා වෙසක් හින්දා ධර්ම දානයක් වශයෙන් මොනවහරි ලියන්න කියලා. නමුත් ලියන්න කියලා කිව්වට මොනවා ලියන්නද කියලා හිතාගන්න බෑ. ඔහොම ඉද්දි මට ලස්සන ඊ මෙල් එකක් කියවන්න ලැබුනා. ඒක මට ගොඩක් අල්ලලා ගියපු හන්දා ඒක බ්ලොග් එකේ ලියන්න ඕනේ කියලා හිතුනා.මේකයි කතාව.

ඔන්න දුවේ පුතේ එකමත් එක රටක පොහොසත් වෙලෙන්දෙක් හිටියා ලු. එයාට බිරින්දෑවරු හතරදෙනෙක් හිටියලු. මේ වෙලෙන්දා තමන්ගේ බිරින්දෑවරුන්ට සැලකුවේ එක එක ප්‍රමාණ වලින්. ඒ කියන්නේ හැමෝටම සමානව ආදරය කලේ නෑ.බිරින්දෑවරු හතරදෙනා එක දෙක තුන හතර ආදි වශයෙන් නම් කරමු.

එයා වැඩියෙන්ම ආදරය කලේ හතරවන බිරිදට.එයා ගැන හොදට හොයලා බැලුවා.එයාට හොදට සැලකුවාලු.

දෙවෙනියාට ආදරේ කළේ තුන්වෙනි බිරින්දටලු.මේ වෙලෙන්දා එයාව හැමෝටම පෙන්වන්න මාරම කැමතියි ලු. ඒ කියන්නේ ඕනම කෙනෙක්ට එයා පෙන්වන්නේ ඒ බිරිදවලු. නමුත් මේ වෙලෙන්දට ඒ බිරිද වෙන කෙනෙක් එක්ක යයි කියලා පොඩි බයකුත් තිබ්බා ලු.

තුන්වෙනියට ආදරේ කළේ දෙවෙනි බිරිදට ලු. වෙලෙන්දායි ඒ බිරිදයි අතර ලොකු මිත්‍රත්වයක් තිබ්බාලු. ඕනම කරදරයකදි එයා ලගට ලු යන්නේ ඒ කියන්නේ ලෙඩක් දුකකදි උනත් එයා කෙලින්ම ගියේ දෙවෙනි බිරිද ලගට ලු.

හතරවෙනියට ආදරේ කලේ පලවෙනි බිරිදට ලු.නමුත් ඒ බිරිද ගැන එයා එච්චර තැකීමක් නෑ. නමුත් ගොඩක් ආදරේ කලා.

ඔන්න දවසක් මේ වෙලෙන්දා ලෙඩ උනා. ලෙඩේ උග්‍ර වෙලා මැරෙන්න ඔන්න මෙන්න ලු ඉන්නේ.එයා තමන්ගේ බිරින්දෑවරු හතර දෙනාව ගෙන්නුවා.

මුලින්ම හතරවෙනි බිරිදගෙන් ඇහුවලු මාත් එක්ක මේ ගමන එහෙමත් නැත්නම් මැරෙන්න සූදානම් ද කියලා. ඒ බිරිද ගත් කටටම "කොහොමටවත් එන්න බෑ" කියලා කිව්වලු. ඊලගට තුන්වෙනි බිරිදට කතා කරලා එයත් එක්ක මේ ගමන යන්න එනවද කියලා ඇහුවලු. ඒ බිරිදත් කිව්වේ "මම නම් කවදාවත් ඔයත් එක්ක එන්නේ නෑ. ඔයා මලාම මම වෙන එක්කෙනෙක් එක්ක යනවා" කියලා කිව්වලු. වෙලෙන්දට නිකන් කරකවලා අතෑරියා වගේ ලු.ඊට පස්සේ දෙවෙනේ බිරිදගෙනුත් අර ප්‍රශ්නෙම ඇහුවා. එයා කිව්වේ "මට කරන්න පුලුවන් උපරිම දේ ඔයාව මිනිවලට ගෙනිහින් දාන එක විතරයි " කියලා.

දැන් වෙලෙන්දට තමන්ගේ ගෑනු හතර දෙනාගෙන් තුන්දෙනෙක් ගැන කලකිරිල ලු හිටියේ. කමක් නෑ කියලා හිත හදාගෙන පලමුවෙනි බිරිදගෙනුත් අර ප්‍රශ්නෙම ඇහුවා. ඒ බිරිද කිව්වේ " ඔයා කොහේ ගියත් මම ඔයත් එක්කම ඉන්නවා" කියලා ලු.අපරාදේ මට ඔයා ගැන මීට වඩා හොයලා බලන්න තිබ්බා කියලා වෙලෙන්දට හිතුනලු.එහෙම කියලා වෙලෙන්දා මැරුනා ලු.

ආදර්ශය

(01) හතරවන බිරිද කියන්නේ අපේ ශරීරය. අපි කොච්චරවත් ඉන්නකම් සැලකුවත් අපි මලාම අපේ ශරීරය දාලා යන්න වෙනවා.
(02) තුන්වෙනි බිරිද කියලා කියන්නේ අපි ජීවිත කාලය තුලදී රැස්කරගන්න ධනය හා තත්වයයි. අපි මැරෙද්දි ඒක අපිව දාලා වෙනෙ කෙනෙක් ලගට යනවා.
(03) දෙවෙනි බිරිද කියන්නේ අපේ නෑදෑයන්, සහෝදර සහෝදරියන්. අපි මැරුනම මිනිවල ලගටම වෙනකන් එනවා.
(04) පළමුවෙනි බිරිද කියලා කියන්නේ අපේ හිත.අපි නිවන් අවබෝධ කරගන්න තාක් අපිත් එක්කම ඉන්නවා.

මේ හින්දා අපි වැඩියෙන්ම ආදරේ කරන්න ඕන මොන බිරිදට ද කියලා අපිම හිතලා තීරණයක් ගන්න එක වටිනවා. මට මේ ධර්ම කාරණාව ඊ මේල් එකකින් ආපු එකක් හින්දා මේකේ නියම අයිතිකාරයා කවුද කියලා දන්නේ නෑ. නමුත් වටිනවා කියලා හිතුන හන්දා පෝස්ට් කරන්නේ. සමහරු මේ කතාව කියවලත් ඇති.

04 May 2011

ආදරය දුකක්ද සතුටක්ද

දවස් දෙක තුනකට උඩදි සිද්ධ වෙච්චි පුංචි සිදුවීමක් මට බ්ලොග් එකේ ලියන්නට හොද මාතෘකාවක් උනා.මේකයි සිද්ධිය. මම හවස්වරුවක (5ට විතර) තේකක් බොන්න ගිහින් එද්දි ෆෝන් එකේ මාරම මිස් කෝල් ගොඩක් තිබ්බා. ඒ වගේම මැසේජ් දෙක තුනකුත් තිබ්බා. මං ෆෝන් එක අරගෙන කාගෙන්ද මේ මිස් කෝල් ආවේ කියලා බැලුවා. දන්න නම්බර් එකකින් නම් නෙමෙයි.

මැසේජ් ටික බලන්න හදද්දිම වගේ ආයෙම අර නම්බර් එකෙන් කෝල් එකක්. මම 'හලෝ' කියලා කියන්න හදනකොටම එහා පැත්තෙන් ලපටි කටහඩකින් "හලෝ" කියලා කිව්වා.ඊට පස්සේ එයාම කිව්වා " මම සමන්ගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් " කියලා.මමත් ඉතින් මට කෝල් කරපු කාරණය මොකද්ද කියලා ඇහුවම කිව්වේ "සමන්ගේ ෆෝන් එක වැඩ නෑ. එයාට කියන්න මට (ගර්ල් ෆ්‍රෙන්ඩ් ට) කෝල් කරන්න කියලා".

මමත් ඉතින් හදිස්සියක් ද දන්නේ නෑ කියලා හිතලා වහාම මේ ආරංචිය අපේ සමන්ගේ කනේ තිබ්බා. මේකා ඒ වෙනකොට නිදාගෙන හිටියේ. ආරංචිය කිව්වා විතරයි වැලේ වනලා තිබ්බ දාඩිය ගද ෂර්ට් එක, සෙන්ට් බාල්දියක ඔබලා එහෙම්ම ඇදගෙන විනාඩි දහයක් යද්දි කාමරෙන් පිටත් උනා. සමන්ගේ කාමරේ හිටපු අනිත් එකා කිව්වේ, සමන් තුනට විතර ගෑනු ළමයා හම්බවෙලා ඇවිල්ලා මහන්සියි කියලා නිදා ගත්තා විතරයි කියලා.ඔන්න ඕකයි වර්තමාන තත්ත්වේ.

මට මතකයි මේකා ඒ කෙල්ලත් එක්ක යාලු උනේ තුන්වෙනි වසරේ ඉන්නැද්දි. එදා ඉදන් උදේ 6.30 වෙද්දි ගර්ල්ස් හොස්ටල් එකේ දොර අරින වෙලාවට ඒකා කෙල්ලව බලන්න හොස්ටල් එකට යනවා. ආයෙම 7.30 වෙද්දි ලෙක්චර්ස් යන්න හොස්ටල් එකෙන් එනවා. ඊට පස්සේ කෑම පැයට (12.00-1.00) ආයෙම කෙල්ලගේ ෆැකල්ටියට දුවලා කෙල්ලත් එක්කම දවල් කෑම කාලා 1.00ට තියෙන ලෙක්චර් එකට ෆැකල්ටියට එනවා.

ඊට පස්සේ හතරට විතර ලෙක්චර්ස් ඉවරවෙලා ආයෙම ගර්ල්ස් හොස්ටල් එකට යනවා.ඒ ගිහින් එන්නේ 7.30 ට 'ලැජ්ජ බෙල් ' එක ගැහුවටත් පස්සේ.ලැජ්ජ බෙල් එක කියලා කියන්නේ ගර්ල්ස් හොස්ටල් එකට එන කොල්ලන්ට, හොස්ටල් එකෙන් එලියට යන්න වෙලාව හරි කියලා අගවන බෙල් එක.සමන්ගේ උපන්දින දිනයටයි ඒකා යාළු වෙලා ඉන්න කෙල්ලගේ උපන්දිනයටයි කේක් ගේන්න ඕනේ සමන්මයි.

තමන්ගේ උපන්දිනයට යාලුවෙලා ඉන්න කෙල්ලට කේක් දුන්නට කමක් නෑ. ඒ උනාට කෙල්ලගේ උපන්දිනයටත් කොල්ලා ම කේක් දෙන සිරිතක් තියෙනවා යෑ. ඒ විතරක් නම් මදෑ කෙල්ලගේ රිපෝර්ට් එහෙමත් ටයිප් කරන්නේ මේකා. ඉස්සර තනියම ගෙදර ගිය කෙල්ලට දැන් තනියම ගෙදර යන්නත් බෑ. ගිහින් ඇරලන්න ඕනේ.

අපෝ මෙහෙමත් ආදරයක්. මේකගේ ආදරය දැක්කම මට නම් හිතෙන්නෙම ආදරය කියලා කියන්නේ දුකක් කියලා. කොටින්ම අදරය කියලා කියන්නේ වහල් සේවයක් වගේ නේ.

ඔයාලගේ ආදර කතාවත් මේ වගේ දුකක් ද ? නැහැ නේ !!!!!

----------------------------------------------------------
ප. ලි. - නම් ගම් මනඃකල්පිත බව සලකන්න.

02 May 2011

අමුත්තෝ තුන්දෙනෙක්

මට ඊ මේල් එකකින් ආපු කතාවක් කියවන්න ලැබුනා. ඒක බ්ලොග් එකේ දැම්මොත් හොදයි කියල හිතුනා. මේ කතාව තියෙන්නේ ඉංග්‍රිසියෙන් ඒ නිසා කතාව පරිවර්තනය කරගන්න මාරම ගේමක් දෙන්න උනා. කතාරසයට අඩු පාඩුවක් උනා නම් සමාවෙන්න ඕනා. මගෙ ඉතින් සුපිරි කඩ්ඩක්නේ තියෙන්නේ. ඔන්න එහෙනම් කතාව. (කියවලා තියෙන අයට මේක රිපීට් ටෙලිකාස්ට් එකක් වෙයිද දන්නේ නෑ.)

එක්තරා කාන්තාවක් තමන්ගේ ගෙදරින් එලියට බහිද්දි ගේ ඉදිරිපිට මිනිස්සු තුන් දෙනෙක් ඉන්නවලු.නමුත් මේ ගෑනු කෙනා ඒ ඉන්න අයව අදුන ගත්තේ නෑ. නමුත් මෙයාලට බඩගිනි ඇති කියල හිතුන මේ ගෑනු කෙනා "මම ඔයාලව නම් අදුනන්නේ නෑ. ඒ උනාට ඔයාලට බඩගිනි ඇති. ඒ නිසා ගේ ඇතුලට ඇවිත් මොනවහරි කාලා ඉන්න." කියලා කෑමට ආරාදනා කරනවා.

මට නම් ඉතින් කෑමකට කතා කලොත් පැනලා එන්නේ. නමුත් මේ අය එහෙම එන්නේ නෑ.මේ කට්ටියගෙන් එක්කෙනෙක් අහනවා "තමන්ගේ ස්වාමිපුරුෂයා ගෙදර ඉන්නවද ?" කියලා.ඒ ගෑනු කෙනා කියනවා "එයා තාම වැඩ ඇරිලා ආවේ නෑ" කියලා.

"එහෙමනම් අපට ඇතුලට එන්න බෑ " කියලා අර ආපු තුන්දෙනාගෙන් එක්කෙනෙක් කියනවා. කොහොමින් කොහොම හරි මේ අල්ල පනල්ලේ ගෙදර මනුස්සයාත් වැඩ ඇරිලා එනවා.

ගෙදර මනුස්සයාම ගිහින් අර කට්ටියට ගේ ඇතුලට එන්න කියලා ආරාධනා කරනවා.නමුත් මේ අය කියනවා ඒ තුන්දෙනාටම එකපාර ගේ ඇතුලට එන්න බෑ කියලා.

" ඇයි ඒ තුන්දෙනාටම එකපාර එන්න බැරි ? " ගෙදර හිටපු ගෑනු කෙනා අහනවා.

"මෙයාගේ නම 'ධනය'. අනිත් එක්කෙනාගේ නම 'සාර්ථකත්වය'. මගේ නම 'ආදරය'." අමුත්තෝ තුන්දෙනාගෙන් එක්කෙනෙක් කිව්වා. ඊට පස්සේ "ගිහින් තමන්ගේ ස්වාමි පුරුෂයා එක්ක කතා කරලා අපි තුන්දෙනාගෙන් කැමති කෙනෙක්ට ගෙදෙට්ට ආරාධනා කරන්න" කියලා කිව්වා.

ගෑනු කෙනා ගේ ඇතුලට ගියා. ගේ ඇතුලේ එකම යුද්ධයයි. කට්ටියම සුපර් ස්ටාර් තෝරනවා වගේ සාකච්චා කරනවා.

" අපි ධනයට ගේ ඇතුලට එන්න කියමු. එතකොට ධනයෙන් මුලු ගේම පිරිලා යයි " කියලා ස්වාමි පුරුෂයා කිව්වා.

"නෑ නෑ ඒයි !! අපි සාර්ථකත්වයට එන්න කියමු. එතකොට අපිට සාර්ථක ජීවිතයක් ගත කරන්න පුලුවන් නේ." කියලා ගෑනු කෙනා කියනවා.

කොහොමහරි මේ කතාව මේ දෙන්නගේ ලේලි පොඩ්ඩ අහගෙන ඉන්නවා. එයත් මේ කතාව මැද්දට පැනලා "ඇයි අපි 'ආදරයට' මේ ගේ ඇතුලට එන්න කියන්නේ නැත්තේ. එතකොට ආදරයෙන් අපේ මේ මුලු ගේම පිරිලා යයි " කියලා අහනවා.ඊට පස්සේ මේ අදහස හොද එකක් කියලා ආදරයට ගේ ඇතුලට එන්න කියලා ආරාධනා කරනවා.

ආදරය ගේ ඇතුලට එද්දි ඊට පිටි පස්සෙන් සාර්ථකත්වයයි ඊටත් පිටි පස්සෙන් ධනයයි ගේ ඇතුලට එනවා.

ගෙදර කට්ටියට මේක හරි පුදුමයක්.මේ කට්ටිය කියනවා එයාලා ගේ ඇතුලට එන්න කතා කලේ ආදරයට විතරයි ඇයි මේ අනිත් දෙන්නත් එන්නේ කියලා අහනවා.

එතකොට එක අමුත්තෙක් කතා කතා කරලා කියනවා "ඔයා ධනයට හරි සාර්ථකත්වයට හරි ගේ ඇතුලට එන්න කිව්වා නම් අනිත් දෙන්නා එන්නේ නෑ. නමුත් ආදරයට එන්න කිව්ව හින්දා අනිත් දෙන්නත් එනවා. අපිට ආදරය තනි කරන්න බෑ. " කියලා.

------ආදර්ශය ------
ජීවිතයක් සාර්ථක වෙන්න ආදරය කියන සාධකය අත්‍යවශයයි. ආදරය තියෙන තැන සාර්ථකත්වය නියතයි.එතැනට ධනයත් නිතැතින්ම ගලාගෙන එනවා. ඒ නිසා තමන්ගේ ජිවිතයේ ආදරයට තැනක් දෙන්න. මේ පුංචි කතාවෙන් ගන්න පුලුවන් ආදර්ශයත් ඒකමයි. (එහෙම කියන මට නැත්තෙත් ආදරය විතරමයි )