24 January 2011

විනාසයක් අත ලඟ !!!!!


ඉදලා ඉදලා මාසයකට විතර පස්සේ ගෙදර යන්න ලැබුනා. කැම්පස් එකේ වැඩ අස්සේ ගෙදර යන්න වෙලාවක් ලැබුනේ නෑ . අම්මත් හැමදාම කෝල් දිදී අහනවා කවද්ද එන්නේ කියලා.

" මොනා කරන්නද අම්මේ වැඩ ගොඩ ගැහිලනේ. ඒවා ටික එකලාසයක් කරලා එපැයි ගෙදර එන්න. ''

ගෙදර යන්න කියලා බැලුවට යන පාර හරියටම නිච්චි නෑ.ලඟ පාත එකෙක්ගෙන්වත් අහලා බලන්න ඕනේ කියලා හිතලා පොඩ්ඩක් අහලා බැලුවා.

'' මේ අයියා මම මේ දන්නේ නැති හින්දමයි අහන්නේ, අපේ ගෙදර යන පාර පොඩ්ඩක් කියන්න පුලුවන් ද ? ''

'' මල්ලී, 155 හේ ගියා නම් හොස්පිට්ල් එක ගාවින්ම බැහැ ගන්න පුලුවන්. ''

'' පලයන් බං යන්න මට ඕනේ නැති හොස්පිට්ල් එකක් නෑ. ''


බලාගෙන ගියාම උට කොයිල් !!!. 155 බස් එක මුල්ලේරියාව ටවුම පැත්තේ වත් යන්නේ නෑ. අඩුමගානේ 177වත් කියපන්කෝ. කොහොමහරි මග හම්බවෙන හම්බ වෙන හැම එකාගෙන්ම අහලා ගමට ආවා.

ගමට එනකොට ගමේ එකාලා එලියට බැහැන් බලන් ඉන්නවා අමුතු සත්වයෙක් දැකලා වගේ. මොනා කරන්නද කාලයක් දැක්කේ නැහැනේ.

'' ඕන් මධුරංග අයියා අපි නැති ටිකට හරහට උස ගිහින්. " ඒ අපේ ගමේ ගෑනු ළමයි ටික. ඇත්තටම දැන් ඉන්නවට වඩා ටිකක් මහත්වෙලා මොකද කියන්න නම් දන්නේ නෑ. මොන උනත් ඒ නංගිගේ කටට බට්ටෙක් දාලා පත්තු කරන්න වටිනවා කියපු කතාවට.

ගෙට ගොඩ වෙන්න ලැබුනෙත් නෑ. මී හරකෙක් වගේ එකෙක් ඇගට පැන්නේ නැතෑ. ඒ අපේ මල්ලි. මට සහෝදරයෙකුට කියලා ඉන්නේ ඔච්චරයි. ඒකත් මං ආපු එකේ සන්තෝෂෙට මාව බිම පෙරලගෙන බඩ උඩ නැගලා පිලිගත්තා. පෙරලපු පාර ඔලුව දඩස් ගාලා සිමෙන්ති පොලවේ වැදුනා. අවුලක් නෑ හොද වෙලාවට මගේ මොලය, ඔලු ගෙඩිය ඇතුලේ තිබ්බේ නැත්තේ. තිබ්බනම් මෙලහකට තැලිලා !!!

අපේ අම්මටත් හෙනම සන්තෝශයි මම ආපු එකට. අම්මා රටේ නැති කෑම හදලා තිබ්බා. මම ආසම කතුරුමුරුංගා මැල්ලුමක් හදලා තිබ්බා. අපේ අම්මත් හට්ටියෙන්ම බාගයක් විතර මට බෙදලා තිබ්බා.කෑවට පස්සේ දවසක් විතර ටොයිලැට් එක කුලියට ගත්තා. ඒ අපේ අම්මගේ කෑම රස නැති හන්දා නෙමෙයි. කතුරුමුරුංගා කෑවම මගේ සරීර කූඩුව දක්වන ප්‍රතික්‍රියා හන්දා.

'' මොකෝ අම්මා පල නොකියා පලා බෙදනවා වත් ද ? ''

'' නෑ ඉතින් පුතා ආස හින්දා හැදුවේ. ''

'' ඕන් මායි අප්පච්චියි පුතාට මනමාලියෙක් බැලුවා. !!! ''

'' මල ගෙවල් හතයි !!! ඇයි අම්මා මම මොකද්ද කරපු වරද ඔය තරම් ලොකු දඩුවමක් දෙන්න ? මේ බලන්න බත් එකේ අයින් කරලා තිබ්බ කුරුදු පොත්තයි රම්පේ කොල කෑල්ලයි කැවුනා අම්මා කියපු දේ අහලා. ''

'' ඈ බොල ..... දීග යනවා කියන්නේ උඹට දඩුවමක් ද ? අපිට ඕනේ අපේ ඇස් පියවෙන්න කලින් උඹලා දෙන්නට යන කල දවසක් බලන්න. ඉස්සෙල්ලම ලොක්කගේ වගකීම් වලින් නිදහස් වෙලා පස්සේ පොඩි එකා ගැන බලන්න ඕනේ. ''


එක අතකට දීග යනවා කියන්නේ හිරේට නියම උන වගේ දෙයක් තමයි. අපේ ජීවිතත් එන්න එන්න හෙනම සංකීර්ණ වෙනවා. කවදාවත් සරල වෙන්නේ නෑ. ඉස්සර වගේ බරපතලකමක් නැතුව ඔහේ ඉන්නන්වාලේ ඉන්න බෑ. රස්සාවක් කරන්න ඕනේ. ගෙවල් දොරවල් හදන්න ඕනේ. වයිෆ්ට කන්න අඳින්න දෙන්න ඕනේ. තව ඉස්සරහට තව තවත්....

මේ ඔක්කොම දේවල් බලාගෙන යනකොට ඉස්සර ඉස්කෝලෙ යන කාලෙට ආයෙත් යන්න තියෙනවනම් එක පයින්ම යන්න කැමතියි. මොකද ඔය දේවල් ඉස්සර අපිට අම්මලාගෙන් නොමිලේම ලැබුනනේ. එතකොට කිසිම අගයක් නෑ. කොහොමත් කතාවටත් කියනවනේ නොමිලේ දෙන දේ අගයක් නෑ කියලා. ඒ උනාට කවදාහරි ඔය දේවල් වලට අපි මුහුන දෙන්න වෙනවා.

'' මොකෝ ලොකු එකෝ,දාහට අරන් සීයට දීගන්නත් බැරුව වගේ මූන එල්ලන් ඉන්නේ ? ''

'' නෑ මං කල්පනා කලේ මාසයක් එන්නේ නැතුව ඉදලා මෙහෙම විනාසයක් සිද්ද වෙන්න යනවා නං මාස එකහමාරක් ඉදලා ආවානම් කොහොම දේවල් සිද්ධ වෙයිද කියලා !!!! ''

''කොහෙද ඉතින් කැමති කෙල්ලෙක් හොයා ගන්න කිව්වට හොයා ගන්න එකක් යෑ. අපිම හොයලා දෙනකන් ඉන්නවා මිසක් !!!! ''


මම කෙල්ලෝ හොයපු විදිහ දන්නේ මමයි උඩ ඉන්න දෙයියොයි බ්ලොග් කියවන අයයි විතරයි. මොනා කරන්නද ඉතින්, අම්මලා නපුරක් කරන්නේ නැනේ. පොඩ්ඩක් අම්මලාගේ ඉල්ලීමත් සලකලා බලනවා. මොනා උනත් අපේ අම්මලා මට බඳින්න කියලා බල කරන්නේ නෑ. මගේ හිත ගියොත් විතරයි තීන්දු කරනවා කිව්වේ.

හැබැයි 2012හේ ලෝක විනාසෙට කලින් මගේ විනාසේ සිද්ධ වෙන්න ඕනේ කියලා කිව්ව. ඒ කියන්නේ මට 2012 දී අකමැත්තෙන් උවද කසාද බඳින්නට සිදු වේ !!!

මේ නිවේදනය මගේ බ්ලොග් හිත මිත්‍රාදින් ඉතා සංවේගයෙන් යුතුව පිලිගනිත්වා !!!!

ආදර්ශය - සතියකට සැරයක්වත් ගෙදර ගීහින් ඒමෙන් මෙවන් විනාසයන් වලකා ගත හැක.

20 January 2011

කඩියන් ලෙන ඇල්ල


කලින් ලිපිය මාසයේ අන්තිම ලිපිය කියලා කිව්වට මොකද අපේ ව්‍යාපෘතිය කලින්ම ඉවර උන නිසා ආයෙමත් ලේඛන කලාවට ප්‍රවිශ්ට උනා. ලියන්න කියලා කිව්වට ලියනවා නෙමෙයි Draft එකේ තිබ්බ ලිපියක් පබ්ලිස් කරන එකයි කරන්නේ.

දෙවන වසරේ ඉගෙනුම් කටයුතු කරන අතරතුර සති අන්තයේ නිවාඩු දවසක් ගලබොඩ ඇල්ල බලන්න යන්න කියලා අපේ බැච් එකේ යාලුවෝ කට්ටියක් සෙට් උනා. මමත් ඒ සෙට් එකට එකතු උනා. මොකද ඇල්ලකින් නාන්න තියෙනවා නම් ආයෙ ඉතින් ලොවෙත් නෑ.

නමුත් කට්ටිය එකතු කරගෙන පේරාදෙණිය ස්ටේශන් එකට එනකොට කෝච්චිය ගිහිල්ල තිබුනා. ගලබොඩ ඇල්ල බලන්න ගලබොඩ දුම්රිය ස්ථානයට යන්න ඕනේ. එතන ඉදලා ටික දුරක් පයින් යන්නත් ඕනේ .ගලබොඩ ස්ටේශන් එකේ නවත්වන කෝච්චි හරි අඩුයි. මොකද ඒක පොඩි දුම්රිය ස්ථානයක් හන්දා.

බස් එකකින් ඇල්ල බලන්න යන්නත් බෑ. බස් නෑ ඒ හරියට. දැන් ඉතින් මොනා කරන්නද. නාවලපිටියටවත් ගිහින් එනවා කියලා හිතලා, ආපු කෝච්චියක එල්ලුනා. කොහොමහරි දහය එකොලහ වෙද්දි නාවල පිටියට ගියා. එහෙදී තේ බොන්න කියලා කඩේකට ගොඩ උනා.

'' අක්කා මේ හරියේ නාන්න පුලුවන් ඇල්ලක් තියෙන තැනක් තියෙනවද ? '' කියලා අපේ එකෙක් ඇහුවා.

'' මල්ලි මේ හරියෙම නම් නෑ. තලවකැලේ පාරෙ ගියාම නම් ඇල්ලක් හම්බ වෙනවා කඩි ඇල්ල කියලා. අන්න ඒකේ නම් නාන්න පුලුවන් ''

අක්කා දීපු ඔත්තුවට අනුව නාවල පිටිය බස් නැවතුමෙන් තලවකැලේ බස් එකක් නැගලා පැය බාගයක් යද්දි කඩි ඇල්ල ගාවට ආවා. ඇත්තටම ඒක ලස්සන ඇල්ලක්. නාන්න කියාපු ප්ලේස් එක. එතැන ඉදලා අපේ එවුන් බොන්න පටන් ගත්තා. මම ඉතින් අමධ්‍යප සංගමයේ හින්දා බිව්වේ නෑ.

බොන එවුන්ගේ බයිට් ටිකට නම් වැඩේ දුන්නා. බැරිම තැන බයිට් එක හංගලා තිබ්බා. කොහොමහරි ඇල්ලෙන් නාලා, ඇල්ල ලග වරුවක් ගත කරලා ආයේ හොස්ටල් එකට ආවා.

කඩි ඇල්ල පිහිටලා තියෙන්නේ නාවලපිටිය තලවකැලේ පාරේ (B317 ) කඩියන්ලෙන කියන ගමේ. ඒ ඇල්ල ප්‍රධාන පාරට මායිම් වෙලා තියෙන හින්දා ඇල්ල ලඟට එන්න ගොඩක්ම පහසුයි. නාලපිටියෙන් තිස්පනේ හරි තලවකැලේ හරි බස් එකකින් එන්න පුලුවන්. නමුත් හවස හය විතර වෙද්දි බස් නැහෑ ලූ. ඒ ඇරෙන්න වෙන දුශ්කරතාවයන් නම් නෑ.

පොඩි ෆන් එකක් ගන්න නම් කියාපු තැනක්. ඇල්ලට මායිම් වෙලා තමයි කැටබෝල වතු යාය තියෙන්නෙත්. ඒකත් මාරම දර්ශනයක් !!!!

හැබැයි එහෙම ෆන් ගන්න ආපු එවුන් ගෙනාපු අරක්කු බෝතල් බිදලා දාලා යන එකනම් හෙනම අපරාධයක් !!!!

ප.ලි.- ඒ දවස්වල ගත්ත ෆොටෝ හොයා ගන්න හම්බ උනේ නෑ. ඒ නිසා අන්තර්ජාලයේ තිබ්බ ෆොටෝ ටිකක් සර්ච් කරලා ගත්තා. තවත් සේයාරූ සදහා මෙතන ක්ලික් කරන්න.

10 January 2011

මේ මාසයේ අවසන් ලිපිය


මේ මාසයට මම ලිපි හයක් (මේකත් එක්ක නම් හතක් ) ලියලා තියෙනවා. මේ ලිපිය තමයි ජනවාරි මාසයටම මම ලියන අන්තිම බ්ලොග් ලිපිය. ඒකත් ලියන්නේ පාන්දර දෙකට විතර පඩුවන් බස්සා ඇඩලුවාටත් පස්සේ. මට මේ දවස් වල අවසන් වසරේ ව්‍යාපෘතිය ඉවර කරන්න යන්න වෙනවා.

මම ව්‍යාපෘතිය කරන්නේ නැතුව බ්ලොග් ලිය ලිය ඉන්නවා කියලා මගේ ගෘප් එකේ එවුන් මට මරණීය තර්ජන එල්ල කරනවා. කියන්න ලැජ්ජ වෙන්න ඕනේ නෑ මේ දැනුත් එකෙක් මං නිදාගෙන ඉන්නැද්දි බෙල්ල පාගලා ගියා. ඉතින් තව දුරටත් මුන්ගේ මේ කරදරය ඉවසන්න බැරි හන්දා මම බ්ලොග්කරණයට තාවකාලිකව සමු දෙන්න තීරණය කලා.

ඒ වගේම තමයි මම විභාග මානසිකත්වයෙන් ලියපු බ්ලොග් ලිපි ලස්සනයි කියලා සමහරු මට '' උඹට හැමදාම විභාග තියෙන්න ඕනේ !!!'' කියලා සාප කරලත් යනවා. ඉතින් මේ දුක් ගැහැට විඳ විඳ මට මේ බ්ලොග් ලිපි ලියන්න අමාරුයි.

ඒ විතරක් නම් මදෑ. මේ දවස්වල මට රෑට රෑට නිර්නාමික දුරකතන ඇමතුම් එක දිගට එනවා. එක ඇමතුමක තිබ්බා '' උඹ මේ මාසයට ආයේ බ්ලොග් ලිව්වොත් උඹවයි උඹේ ඩොංගල් එකයි හොස්ටල් එකේ හතරවෙනි තට්ටුවෙන් එලියට දානවා '' කියලා.

මම එලියට ගිහිනුත් බැලුවා. මාව හතරවෙනි තට්ටුවෙන් බිමට තල්ලු කලොත් වැටෙන්නේ කොහේටද කියලා. කිරි අම්මේ ....!!!! පල්ලෙහා තියෙන්නේ කොංක්‍රීට් තට්ටුවක් !!!
උඩ ඉදන් වැටුනොත් අනිවා යටියන්තොටින් කරවනැල්ලටම එන්න වෙන්නේ නෑ. එතනම සෙම හලාගෙන මැරෙන්නයි වෙන්නේ.

ඒ වගේම මේ සිද්ධිය පිටිපස්සේ අධිරාජ්‍යයවාදී කුමන්ත්‍රණත් තියෙනවා. මොකද මම එහෙම කියන්නේ මගේ කම්පියුටර් එකේ පවර් කේබල් වෙලාවකට අතුරුදහන් වෙනවා. ආයෙත් තිබ්බ තැනින් මතු වෙනවා. ඉතින් පවර් කේබල් නැතුව මට මගේ කොම්පියුටර් එක ඔන් කරගන්න වෙන්නෙත් නෑ.

එහෙනම් මම මෙතනින් නවතිනවා. මගේ සාර්ථකත්වයට ඔයාලා මට ආශිර්වාද කරනවා කියලා මං දන්නවා.ඒ උනාට සහෝදර/සහෝදරියෝ ලියන බ්ලොග් සටහන් කියවන්න මම අනිවා කොහොමහරි එනවා.
බ්ලොග් කියවන සියලු දෙනාට කන්ද උඩරට මුදුන් මල්කඩ බදු සිරි දලදා හමුදුරුවන්ගේ පිහිටයි !!!

යන්න කලින් මගේ ව්‍යාපෘතිය ගැන පොඩි සදහනක් දාලම යන්නම්. මේක සුනාමි , ගංවතුර , නාය යෑම් වැනි ආපදා SMS මාර්ගයෙන් කල් තියාම දැනුම් දෙන්න පුලුවන් සිස්ටම් එකක්. දැනට තියෙන සිස්ටම් එකෙන් කෙරෙන්නේ සුනාමි විපතක් ඇති උනාම මුලු රටටම ඒ වර්නින් එක SMS කරන එක නේ. නමුත් අපේ සිස්ටම් එකෙන් වෙරලා සන්නයේ ඉන්න අයව ටාර්ගට් කරලා තමයි මැසේජ් එවන්නේ.

එතකොට එයාලට එවයින් ආරක්ෂා වෙන්න කල් තියාම පුලුවන් නේ. ඔය වගේ අනිත් විපත් වලටත් ඒ අවට ඉන්න අයට දැනුවත් කිරීම් යවන්න සිස්ටම් එකක් හදන එක තමයි අපේ ව්‍යාපෘතිය.

ප. ලි. - පඩුවන් බස්සා කියන්නේ ලංකාවේ බොහෝම දුර්ලබ කුරුල්ලෙක්. උෟ කෑ ගහනවා කියන්නේ පට්ට පාන්දර. මූව දැකපු අය ඉන්නේ බොහොම අඩුයි.

08 January 2011

කියන කතා



මං මේ කලින් බ්ලොග් සටහනකත් කිව්වා වගේ මේ දවස්වල අපට එග්සැම්. අපේ හත්වෙනි සමාසිකයේ අවසන් වන විභාගය. කට්ටිය දිගට හරහට පාඩම් කරකර ඉන්නවා. මට නම් සබ්ජෙක්ට් දෙකක් ඉවරයි තව එක සබ්ජෙක්ට් එකයි තියෙන්නේ ඒකට පාඩම් කරන්න මට දවස් හතරක් තියෙනවා.

ඒ හින්දා ටිකක් නිදහසේ ඉන්න පුලුවන්. මේ ගෙවෙන්නේ අපේ අවසන් වසර හන්දා වැඩ ගොඩක් අඩුයි. මේ දවස්වල හොස්ටල් එක සොහොන් පිටියක් වගෙයි බලු බල්ලෙක් හොයා ගන්න නෑ. ඔක්කොම කාමර වලට වෙලා පාඩම් කරනවා ඒහින්දා කාමර උශ්නත්වය පරිසර උශ්නත්වට වඩා අංශක දෙක තුනකින් වැඩියි.

කොල්ලොත් නිකන් හරියට අලුත කැන්දන් ආපු මනමාලියෝ වගේ ප්‍රශ්නයක් අහපුවාම වචනයක් වත් කියන්නැතුව ඔහේ ඔලුව වනනවා. මේ දවස්වල කවුරුහරි කාමරයට ආපුවාම බලාගෙන ඉන්නේ කොයි වෙලාවෙද මූ යන්නේ කියලා.

ඔය අතරේ එක එකා පොඩි පොඩි හින්ට් පාස් කරගන්නෙත් නැත්තෙම නෑ. අන්න එහෙම ඒව ටිකක් ලියන්න හිතුනා.

'' මචං බලාගෙන පුටුවේ වේවැල් ටික පිච්චෙයි '' එහෙම කිව්වේ කොයි වෙලාවෙත් පුටුවෙම ඇලිලා හිටපු එකෙක්ට. කොල්ලො නම් කියන්නේ ඒකා නැගිටිනකොට පුටුවත් අඟල් තුන හතරක් විතර ඉස්සෙනවලු.

'' මචං කැන්ටිමේ බත් ඉවරවෙයි ඉක්මනට පලයන් හොදද ? ඊයෙ දවල්ටත් සීනි බනිස් ගෙඩියයි ප්ලේන්ටියයි නේ. අදවත් දෙයියනේ කියලා දවල්ට බත් ටිකක් කාපන්. ''

'' අනේ පලයන් යන්න. මම හැමදාම නාලා කාලා ඉන්නේ. '' ඕන් ඔහොම කිව්වේ කවදාවත් දවල්ට බත් කනවා උපන්තේකට දැකලා නැති කොල්ලෙක්ට. ඒක කිව්වට පස්සේ මිනිහට අසූ හාරදාස් පන්සියයට තද උනා. ඇයි දෙයියනේ මේ ලෝකේ ඇත්ත කියන්න බැරි !!!

තවත් එකෙක්ගේ මූන දැක්කම දුකේ බෑ. මාස තුන හතරකින් මූන ලඟින් රේසරයක් ගිහින් නෑ. අපි නම් හිතුවේ ඒකාට මොකක් හරි ප්‍රශ්නයක් කියලා. පස්සේ මිනිහ ම තමයි කිව්වේ පාඩම් කරන වෙලාව අනවශ්‍ය දේවල් වලට යොදවන්න හොද නෑ කියලා.

මේ දවස්වල හොස්ටල් එකේ වතුර බිල එහෙම සියයට අසූවකින් අඩුවෙනවා. ඇයි කියලා නම් තාම හොයා ගන්න බැරිවෙලා තියෙනවා. ශාලාධිපති උනත් හොස්ටල් එකේ කොල්ලන්ට එග්සෑම් කියලා දැන් ගන්නෙත් වතුර බිල බලලා.

'' අපරාදේනේ මචං මේ කාමරයට ඇඳක් දාලා තියෙන්නේ !!! ''

'' ඇයි ඒ ?? ''

'' නෑ ඉතින් උඹ නිදියන්නේ නැති එකේ මේක වෙන එකෙක්ට දෙන්න තිබ්බනේ. ඒකයි ''

නිදා ගන්නවා කියලා නාමයක් දන්නේ නැති එකෙක්ට ඔහොම කිව්වා මතකයි. යාලුවෝ නම් කියන්නේ උන්ගේ ගෙදර කාමරේත් ඇඳක් නෑ කියලා.

ඉහලින් තියෙන පින්තූරේ ඉන්නෙත් අපේ යාලුවෙක්. මනුස්සයා පාඩම් කරද්දි ඔහොම රෙද්දත් පොරෝගෙන තමයි පාඩම් කරන්නේ. ඇයි කියලා නම් දන්නෙ නෑ. ඔය ෆොටෝ එකත් ගත්තේ බොගොම අමාරුවෙන්. ෆොටෝ එකට පෙනී හිටින්න බෑ ම කිව්වා. ඊට පස්සේ බොහොම අමාරුවෙන් ලැපේ වෙබ් කැම් එක ෆෝකස් කරලා ගත්තේ.

හැබැයි මිත්‍රවරුනේ මේ ඉන්නේ මම නම් නෙමෙයි. ඒකා කැල් දෙකක් පාවිච්චි කරන්නේ නෑ. අනිත් එකාගේ උත්තරේ, ඒකගේ උත්තරේට සමානයිද කියලා බලනවා. අර පොත උඩ තියෙන කැල්කියුලේටර් එක නම් මගේ.

මේ සියලු දේ මා විසින් මගේ අතිජාත මිත්‍රවරුන්ට කියූ දේවල් හෝ මිත්‍රවරුන් මාහට පවසන ලද දේවල් ද නොවන බව ඉතා කාරුනීකව දැනුම් දෙමි. සියලු ඥාති හිත මිත්‍රාදීන් පිලිගනිත්වා !!!!

07 January 2011

ආදරයෙන් හෙම්බත් වූ පෙම්වතෙක්.


ඉස්සර මා ලඟ තිබ්බ නිදහස දැන් පොඩ්ඩක්වත් නෑ. ඉස්සර නම් ලෙක්චර්ස් ඉවර වෙච්ච ගමන් රූම් එකට ඇවිල්ලා කොල්ලොත් එක්ක කයියක් දාලා ඕමියක් බලලා ෆුල් රිලැක්ස් එකේ හිටියේ.ඒකට දැන් !!! ලෙක්චර්ස් ඉවර වෙච්ච ගමන් ගෑනු ළමයව ගිහින් දාන්න ගර්ල්ස් හොස්ටල් එකට යන්න ඕනේ.

හවස එයාව කැම්පස් එක වටේ ඇවිද්දවන්න එක්ක යන්න ඕනේ. ඒ විතරක් නම් මදෑ කන්න අරන් දෙන්නත් ඕනේ. ඉස්සර නම් ලස්සන ගෑනු ළමයෙක් ලඟින් ගියාම හැරිලා බලලා පොඩි හිනාවක් දාලා විසිල් එකක් ගහලා ඉන්නවා. දැන් එහෙම, වෙන කෙල්ලෙක් දිහා ඇහැක් ඇරලා බැලුවොත් කුඩ පාරක් කන්න වෙනවා.

එයාට ඇවිදලා මහන්සි උනාම කොහේ හරි තියෙන ගහක් යට වාඩිවෙලා පැය ගනන් ඉන්නත් ඕනේ. වාඩි වෙලා නම් ඉන්න පුලුවන් කිති කවන එක තමයි ඉවසන්න බැරි.

'' මොකද සුදූ ඔයා අද ආපු වෙලාවේ ඉදන් මූන එල්ලන් ඉන්නේ. මාත් එක්ක ඇවිදින්න යන්න ඔයා කැමති නැද්ද ? මූනත් නිකන් මහන්සි පාටයි ඔයාට අසනීපයක් වත් ද ? ''

'' අනේ නෑ පැටියෝ මට ඔයත් එක්ක ඇවිදින්න තියෙනවා නම් ඊට වැඩිය දෙයක් නෑ. මං මේ ඔයාලගේ අම්මව මතක් කර කර හිටියේ. ''

ඊයෙත් මල් කඩලා නිදියද්දි පාන්දර දෙක විතර උනා. ඉතින් ඉහෙව් එකේ ලෙඩ නොවී තියේ යෑ. හැමදාම නන් ස්ටොප් ඔය වැඩේ නේ.බැරි වෙලාවකවත් කෝල් කර කර ඉද්දී පොඩ්ඩක් ඇහැ පිය උනොත් ඉතින් එකම මල ගෙයයි.

මං ඔයාට කතා කරනවට ඔයා කැමති නැද්ද කියලා අහයි. ඔයාට වෙන කෙනෙක් ඉන්නවද කියලා අහයි. එක විකාරයයි. ඕවා අහලා පාඩම් කරන්න වාඩි උනාම ඒක කරගන්නත් අමාරුයි. ඔහොම පාඩම් කරලා චුට්ටක් නිදා ගෙන උදේ පහට විතර ආයේ ඇහැරෙන්නත් ඕනේ. ඇයි ඉතින් අරයව එක්කගෙන එන්න හොස්ටල් එකේ දොර ලගට වෙලා ලැග ගෙන ඉන්න එපැයි.

එහෙම ලැග ගෙන හරි ඉන්නත් පුලුවන්. ඒ උනාට හොස්ටල් එකේ මුරකාරයාගේ කට කැඩිච්ච කතා අහගෙන ඉන්න තමයි අමාරු. හොස්ටල් එකේ දොර අරින්නත් කලින්ම ආවද කියලා අහයි. ඊයේ රෑ හොස්ටල් එකේ දොර මුල්ලෙද නිදිය ගත්තේ කියලා අහයි.අනේ ඇත්තමයි එක එකාගේ කුණු කතා අහන්න මමත් ගොඩ ගියානේ දෙයියනේ !!!!!

හරි ඕන කට්ටක් කාලා උදෙන්ම හොස්ටල් එක ලගට ආවයි කියමු. කෙල්ල ඇඳෙන් නැගිටින්නේ මම හොස්ටල් එක ගාවටම ආවටත් පස්සේ. ලැහැස්ති වෙන්න පැයකටත් වැඩිය ගන්නවා !!!

ඉස්සර නම් ඉදලා හිටලා යාලුවෝ සෙට් උනාම හීනියට ටිකක් අනුමත වෙවී හිටියා දැන් ඒකත් නෑ. බෝතලයක මූඩියක් පෑගුනත් ඇති දෙස් දෙවොල් තියන්න.

මගේ කේන්දරේ බලපු එකා කිව්වේ මට සෙනසුරු ඒරාශ්ටක තියෙනවා කියලා. ඒකද දන් නෑ මේ ලබලා තියෙන්නේ .ඒ උනාට ඕකාගේ කේන්දර මට විස්වාස නෑ. කේන්දරේ නම් තියෙන්නේ ලග්නය සිංහ කියලා . නමුත් මට හිතෙන්නේම මගේ ලග්නය කන්‍යා හරි වෘශභ හරි කියලා.

මදැයි ඉදලා ඉදලා මමත් කෙල්ලෙක්ගෙන් ගොඩ ගියා !!! දැන් ඉතින් ගෙවල් වලිනුත් දන්න හන්දා වෙන කරන්න දෙයකුත් නෑ බැදගත්ත බෙරෙ පැලෙනකන් ගහනවා මිසක්.

'' මචං මධුරංග, උඹ මේ කතාව උඹේ බ්ලොග් එකට දාලා මගේ කතාව ආදර්ශයට අරන් මේ සම්මජ්ජාතියට කැම්පස් එකෙන් ගොඩ යන්න එපා කියලා කියපං. ඒක ලොකු පිනක් !!!! උඹට පිං සිද්ධ වෙනවා මචං ''

'' හරි හරි මචෝ බය වෙන්න එපා මම මේ කතාව අනිවා බ්ලොග් එකේ ලියනවා. ''

'' මං යනවා මචං. කෙල්ලගේ ලෙක්චර්ස් ඉවර වෙන්නත් ලඟයි වෙලාවට ගියේ නැත්තම් අද විසුමක් වෙන් නෑ ''

'' හරි හරි යමං යමං නැත්නම් මං උඹව තියා ගත්තා කියලා කෙල්ල මටත් බනියි ''

ප. ලි - අම්මෝ මේකාගේ කතාව අහලා හීන් දාඩියත් දැම්මා. ඔටු ජීවිතය දාහෙන් සම්පතක් ගොඩ යනවට වඩා.

06 January 2011

ඔටුවෙක්ගේ අඳෝනාව


අදත් වෙනදා වගේම ලෙක්චර්ස් ඉවරවෙලා අපි වගේ එවුන්ටම හදපු අපේ ඔටු බංකුවට වෙලා පාර දිහා බලාගෙන ඉන්න ආවා. වැඩ ඉවරවෙලා ගෑනු ළමයි එක පෙලට හොස්ටල් වලට යනවා. ඒත් එකෙක්වත් මං දිහා හැරිලා බලන් නෑනේ. එක පැත්තකින් හන්තාන කන්ද අනිත් පැත්තෙන් නුවර ගම්පොල පාර ඒ දෙකටම මැදිවෙලා පාර දිහා බලාගෙන, මම මෙතන හූල්ල හූල්ල ඉන්නවා.

කැම්පස් එන්න කලින් නම් කට්ටිය කිව්වේ, කැම්පස් නම් පේරාදෙණි තමයි යන්න ඕනේ. එහෙ පරිසරයත් ලස්සනයි නුවර මැණිකේලත් ගොඩක් ඉන්නවා අහන්න විතරයි ඕනේ පටස් ගාලා යාලු වෙන්න පුලුවන් කියලා. මොන පිස්සුද !!! මම කාගෙවත් බොරු බහකට රැවටිලාද කොහෙද?

නැත්නම් මම ගෑනු ළමයින්ගෙන් අහපු විදිහට කැම්පස් එකෙන් භාගයක් ම කෙල්ලෝ මාත් එක්ක යාලු වෙලා ඉන්න එපැයි. අහන අහන එකා එක්කො කැම්පස් එකෙන් ගොඩ ගිහින් එක්කො පිටින් ගොඩ ගිහින් එන්නේ. ඉතින් එහෙව් එකේ මං කොහොමද ගොඩ නොගියපු කෙල්ලෙක්ව හොයන්නේ.

ගොඩ නොගියපු එවුන්ට කියලා ඉතුරු වෙලා ඉන්නේ යක්කු ටික විතරයි. එවුන්ගෙන් ඇහුවොත් නම් කෙලින්ම හා කියයි. එහෙම එවුන්ව බැන්දට පස්සේ ගමේ එවුන් අහයි '' උඹ බැන්දේ ගමේ එකාලව බය කරන්නද" කියලා.

'' උඹ අදත් පාර දිහා බලාගෙන ඉන්නේ. තාම වැඩක් සෙට් උනේ නැද්ද? ''

මොකෙද්ද මන්දා එකෙක් නක්කලේට වගේ අහගෙන ගියා. අනේ අම්මාපල්ල !!! ඕකාට දෙකක් අනින්න ඇත්නම්. ඇයි යකෝ වැඩක් හරි ගියානම් ඔටු බංකුවේ ඉන්නවැයි. මූට ඒක තෙරෙන්නෙත් නැද්ද . මදැයි ෆස්ට් ඉයර් එකේ හොදට වැඩ කරලා රිසල්ට් දාලා දෙවනි අවුරුද්දේ කෑල්ලක් ගොඩ දාන්න හිටියා. මට තිබ්බේ ෆස්ට් ඉයර් එකේම කෙල්ලෙක්ගෙන් අහන්න එතකොට වැඩේ හරි යන්නත් තිබ්බා. දැන් මොනා කරන්නද ගිය නුවණ ආයෙ ගන්න කියලා යෑ.

වැඩක් නෑ ලවර්ස් ලේන් කියන්නේ හීනයක් විතරයි. මේ කපේදි යන්න ලැබෙන් නෑ. ගියෙත් එකම එක වතාවයි ඒකත් සාහිත්‍ය උලෙලට ස්ටේජ් එක ගහන්න බට ගහක් කපන්න. හොද වෙලාවට බට ගහ උස්සන් මුලු ලේන් එක පුරාම ගියේ නැත්නම් ලවර්ස් ලේන් එක රවුම් ද හතරැස් ද කියලවත් දන්නෙ නෑ නේ.

අවුරුදු හතරම නිකන් ඔහේ ගෙවුනා. කරපු දේකුත් නෑ වෙච්ච වැඩකුත් නෑ . ඔලුවෙ තිබ්බ කෙස් ගස් ටිකත් පොත් වලටම ගිහින් ද කොහෙද. අවුලක් නෑ අවුලක් නෑ ඉදලා ඉදලා වහින්නේ හද්ද වැහි කියලා කතාවක් තියෙනවනේ. ඒවගේ මටත් කවදහරි හොද කලක් යයිනේ. එදාට ජොලි කරන්න බැරුව යෑ.

දන්නෙම නැතුව රෑත් උනා. දැන් ඉතින් මෙතන ඉදලා මෙලෝ වැඩක් නෑ. නිකන් පින්නට අහුවෙලා ලෙඩ වෙන්න වෙන්නේ. කොණ්ඩෙත් නැති හන්දා පින්නේ ඉදලා පීනසේ හැදෙන්නත් බැරි නෑ.

අදට වැඩිය හෙට හොද වෙයි කියලා කතාවක් තියෙනවනේ. මටත් එහෙම උනොත් හොදයි. හැබැයි ඉතින් ඔය කතාව ගැන මගේ ලොකු විස්වාසෙකුත් නෑ. නැත්නම් හරියන්න අවුරුදු හතරක් ඉන්න ඕන යෑ.

සිරි යහනේ ලනු ඉහිරි... සුසුම් හෙලන රෑ...
මකුලු දැලෙන් සිරි සිරියේ වියන් බදින රෑ..
යට ලීයෙන් නාරි ලතා මල් පූදින්නේ ..
යට ලීයෙන් නාරි ලතා මල් පූදින්නේ ..

අවුරුදු හතරක්ම ඔය සිංදුව කිව්වා නම් මේ මාස දෙක තුන ඕක කියන එක මහ ලොකු දෙයක් යෑ.

05 January 2011

සල්ලි මත ජීවිතය ගොඩ නැගීම


'' මචං උඹ බ්ලොග් ලියනවා නේද ? ඒකෙන් උඹට ලාබයි ද බං ? ''

'' ආහ් ඔව්. ඉස්සර නම් මම විතරයි කියවන්නේ. දැන් නම් පෝස්ට් එකක් දැම්මම කමෙන්ට් දහයක් පහලොවක් විතර වැටෙනවා. ඇයි උඹට එක පාරටම බ්ලොග් එක මතක් උනේ ?''

'' නෑ මමත් බ්ලොග් එකක් ලියන්න කියලා. යකෝ, මම ඇහුවේ කමෙන්ට් ගැන නෙමෙයි සල්ලි කීයල් ලැබෙනවද ඇඩ් වලින් ? ''

'' මම සල්ලි හොයන්න බ්ලොග් ලියන්නේ නෑ බං. ''

'' වැඩක් නෑ නේ බං අතට ගානක් එනවනම් බ්ලොග් ලිව්වට පාඩු නෑ. ''

'' එහෙම සල්ලි හොයන්න ලියන එවුනුත් ඇති. නමුත් මට බ්ලොග් ලියලා සල්ලි හොයන්න ඕනේ නැ. අනික උඹයි මමයි කවදාහරි කැම්පස් එකෙන් අවුට් උනාම ඉන්ජිනේරුවෝ වෙනවා ඉතින් අපිට හොද ජොබ් එකක් කරලා සල්ලි හොයන්න පුලුවන් නේ. ඉතින් එහෙව් එකේ බ්ලොග් පෝස්ට් එකක් දාලා ක්ලික් එකක් වැටෙනකන් කට බලිය ඉන්න ඕන යෑ. මම නම් මචං බ්ලොග් ලියන්නේ සිංහල ලියන්නයි කියවන්නයි තියෙන ආසාවට මිසක් උඹට වගේ සල්ලි හොයන්න තියෙන කෑදර කමට නෙමෙයි. බ්ලොග් ලියලා මට ලැබෙන ලාබය තමයි කමෙන්ට් කියන්නේ.මට ඒක විතරයි ඕනේ ''

'' උබට නම් පිස්සු !!! ඊට වැඩිය හොද නැද්ද ඔය කාලයම අතට සල්ලි එන වැඩකට යෙදෙව්වා නම් ? ''

'' මචං, මිනිස්සු සල්ලි මත්තෙන් ම නැහෙනකොට වහල්ලු වගේ වැඩ කරන්න වෙනවා. එතකොට හිතේ සැනසිම කියන එක නැති වෙලා යනවා. සල්ලි උනත් ගානකට තියෙන්න ඕනේ.ඕනම දෙයක් ඕනවට වඩා ඕනෙම නෑ කියලා කතාවක් තියෙනවනේ බං ''

'' ඉතින් එහෙනම් උබ ජොබ් එකක් කරන්නේ සල්ලි හොයන්න නේ.ඒකත් ඉතින් කෑදර කම නේ නැත්නම් ජොබ් එකක් නොකර ඉන්න තිබ්බා නේ. ''

'' නෑ බං උඹට වැරදිලා. ජොබ් එකක් කරන්නේ ජීවත් වෙන්න කීයක්හරි හොයා ගන්න. නැතුව සල්ලිම හොයනවා කියන පරමාර්ථයෙන් නෙමෙයි. වැඩිපුර සල්ලි හොයනවා නම් වැඩිපුර වැඩ කරන්න ඕනේ.අපට කම්පැනි වලින් නිකන් ඉන්නවට සල්ලි දෙන්නෙ නෑ නේ. එතකොට රෑ එලිවෙනකන් හරි වැඩ කරන්න සිද්ධ වෙනවා. එතකොට කොහෙන්ද බං සැනසීමක් !!!! හරි උඹ ආස නැද්ද වේලාසන වැඩ ඇරිලා ගෙදර ඇවිත් තමන්ගේ වයිෆ් එක්ක ටිකක් කතා කරකර ඉන්න ? නිදහසේ පුටුවක වාඩිවෙලා පත්තරයක් බලන්න ? ගෙදර කට්ටිය ඔක්කෝම එක්ක එකතුවෙලා එකට කෑම ටිකක් ගන්න ? ''

'' හරි හරි උඹ උඹේ සැනසීම තියාගෙන හිටහන්. මං යනවා. ''

'' හරි හරි අපි පස්සෙ ඔය ගැන කතා කරමු. බලහන්කෝ බ්ලොග් ඇඩ් එකක් ගිය දුර.... දැන් උඹ කොහේ යන්න කියලාද නැගිට්ටේ ? ''

'' තේකක් බොන්න යන්න කියලා. ඇයි උඹත් එනවද ? ''

'' මෙ ටිකත් පාඩම් කරලම යන්. මාත් එන්නම් ''

( විභාගයට පාඩම් කරන අතරතුර ලියන ලද්දකි. )

---------------------------------------------

ප. ලි. - මොන දේ උනත් හිතේ සැනසීම කියන දේ සල්ලි වලට ගන්න බෑ. මට නම් සල්ලි වලට වඩා සැනසීම කියන දේ ගොඩක් ම වටිනවා. සල්ලි හොය හොයා කම්පැණිකාරයන්ව පොහොසත් කරනවට වඩා මට මගේ පවුලේ අයත් එක්ක ඉන්න එක තප්පරයක් උනත් වටිනවා.


04 January 2011

වැදුම් ගෙයි සන්නිය


දැනට මාස දෙකකට විතර උඩ දි සති අන්තයේ නිවාඩුවකට මම ගෙදර ආපු වෙලාවක සිද්ද වෙච්ච කතාවක්.මේක අපේ අම්මයි මමයි අතරේ ඇති වෙච්ච පොඩි දෙබසක්.

නමුත් මේ කතාවේ අපි හිතට ගත යුතු දෙයක් තියෙනවා කියලා හිතුනා. විභාගයට පාඩම් කරන ගමන් කම්මැලිකමක් හිතිච්ච හන්දා ලියන්න බ්ලොග් එක පැත්තේ ආවා.


'' පුතේ, අද හවස මොනවහරි වැඩක් තියෙනවද ? '' අම්මා ඇහුවා.

'' ම්... එහෙමට නම් වැඩක් නෑ. ඇයි අම්මා එහෙම ඇහුවේ ? '' මම උත්තර දුන්නා.

'' නෑ. පුතා දන්නවද අර *** ගෙදර **** අක්කව ? ''

'' ආහ් ඔව්. ඒ අක්කට බබෙක් ලැබෙන්න නේ ඉන්නේ. ඇයි
ඒ අක්කට ළමයා හම්බ වෙලාද ?
'' මමත් ඉතින් නොදන්න ගානට ඇහුවා.

'' ඔව්. ඒයැයිට ළමයා හම්බ උනේ ගිය සතියේ. ආන් දැන් ඒයැයිට වැදුම් ගෙයි සන්නිය හැදිලා ලු. මං හිතුවේ අද පුතත් එක්ක ගිහින් බලලා එන්න කියලා '' අම්මා කිවුවා.

'' මොකක් !!! වැදුම් ගෙයි සන්නිය !!! එහෙනම් අක්කා ගොම්මන් වෙලාවේ නාන්න කියලා ලිඳ ලගට යන්න ඇති. නැත්නම් තෙල් බැදුම් කාලා කොහෙ හරි යන්න ඇති. දැන් අද එහේ තොවිලයක් ද ? '' මං ඇහුවා.

ඇත්තටම මම හිතුවේ ඒ අක්කට යකෙක් වැහිලා එහෙමත් නැත්නම් හොල්මනක් දැකලා බයවෙලා ඉන්නේ කියලා. මොකද මං උපන්තේකට ඔය සන්නිය ගැන අහලා නෑ. මං හිතුවේ දහ අට සන්නියෙන් එකක් කියලා
මං එහෙම කිව්වා විතරයි ' මූට දෙයියන්ගේ හාල් කැවිලද ' වගේ බැල්මකින් මා දිහා බලාගෙන හිටියා.

(දේව දාන වලට වෙන් කරලා තියෙන හාල් වලට තමයි ඉස්සර 'දෙයියන්ගේ හාල් ' කියලා කියන්නේ. දෙයියන්ට වෙන් කරපු ඒ හාල් කාපුවාම පිස්සු හැදෙනවා කියලා තමයි මං අහලා තියෙන්නේ. )


'' මොන තොවිලයක් ද ? වැදුම් ගෙයි සන්නිය කියන්නේ ගැනු කෙනෙක්ට ළමයෙක් ලැබුනට පස්සේ හැදෙන පිස්සුවට. ඒක මානසික ලෙඩක්. තොවිල් පවිල් කරන්න ඕනේ නෑ. ඒවට බේත් තියෙනවා. ''

'' ඈ ඒ මොකෝ අම්මේ එහෙම බබාලා ලැබුනට පස්සේ පිස්සු හැදෙන්නේ. ''

'' ඔය සමහරුන්ට කුලුදුලේ ළමයා ලැබෙන්න යද්දි විලි රුදාව දරා ගන්න බැරුව ඔහොම වෙනවා. ''

අම්මා කිව්වත් වගේ මම නම් ඒ වෙනකන්ම ඔය ලෙඩේ ගැන අහලා තිබ්බේ නෑ.

'' ඒ කියන්නේ ඒ වේදනාව ගෑනු කෙනෙක්ට දරන්න එච්චරම අමාරුද ? '' මං මෝඩ ප්‍රශ්නයක් ඇහුවා.

'' ඔව් ළමයෙක් හම්බවෙද්දි අම්මා ට ගොඩක් අමාරු වෙනවා.ඒ උනාට අම්මලා එහෙම වද වේදනා විඳලා හදන දරුවෝ ම තමයි අන්තීමට අම්මලා වයසට ගියහම මහලු මඩම් වලට ගෙනිහින් දාන්නේ.
'' අම්මා කිව්වා.

අම්මගෙයි මගෙයි දෙබස නම් එතනින් ඉවර උනා. නමුත් අම්මා අන්තිමට කියපු කතාව නම් ඇත්ත කියලා මටත් හිතුනා. ගෑනු කෙනෙක්ට මේ ලෝකේ දරන්න වෙන ලොකුම වේදනාව දරලා හදන දරුවන් අන්තිමේදි තමන් වයසට ගියහම මහලු මඩම් වලට ගෙනිහින් දාන එකනම් ලොකු පාප කර්මයක්.

එහෙම ගෙනිහින් දැම්මත් කවමදාවත් අම්මලා තමන්ගේ පුතාට/දුවට දොස් කියන්නේ නෑ. තව තවත් පුතාට/දුවට හොදක් වෙන්න යන්න කියලයි දෙයියන්ගෙන් උනත් ඉල්ලන්නේ. දරුවෙක් විදිහට අම්මා කෙනෙක්ට කවදාවත් ඒ වගේ පාප කර්මයක් නම් කරන්න එපා. කරන කියන වැඩක් හරි යන එකක් නෑ. ජාති ජාතිත් විඳවන්න සිද්ධ වෙන පවක් !!!


අම්මා කෙනෙක් ගේ ආදර කියන්නේ මහ සාගරය වගෙයි. කවදාවත්
හිදෙන්නේ නෑ තව තවත් වැඩි වෙනවා මිසක් !!!


ප. ලි. - හැන්දෑවේ අපි ඒ අක්කව බලන්න ගියා. අක්කා නම් ඔහේ කියව කියව ඉන්නවා. බලන්න බෑ දුකයි. අපි අක්කගේ චූටි දූ පොඩ්ඩවත් බැලුවා. එයා නම් මේ මුකුත් නොදන්න ගානට ඔහේ නිදාගෙන ඉන්නවා. ඇස්වහක් කටවහක් නෑ දූ පොඩ්ඩ නම් ලස්සනයි.

----------------------------------------------------
වැදුම් ගෙයි සන්නිය ගැන තව දුරටත්....

වැදුම් ගෙයි සන්නිය එහෙමත් නැත්නම් වෛද්‍ය විද්‍යාවෙන් කියනවා නම් postpartum depression or postpartum blues කියලා තමයි හදුන් වන්නේ. මේ ලෙඩේට හේතු වෙන්නේ post traumatic depression එකක් එහෙමත් නැත්නම් යම්කිසි ලොකු සිදුවීමට පස්සේ ඇතිවෙන මානසික අවපාතනය. දරුවෙක් ලැබෙන්න යද්දි අම්මා කෙනෙක්ට ලොකු වේදනාවක් දරන්න වෙනවනේ. අන්න එහෙම වේදනාව උහුලගෙන ඉන්නැද්දි ඒ අම්මාව මානසිකව කඩා වැටෙන්න පුලුවන්.

මේ ලෙඩේ රෝග ලක්ශණ තමයි දරුවා ව ප්‍රතික්ෂේප කිරීම, දරුවාට කිරි දීමට ඇති අකමැත්ත, වෙනදට වඩා ඉක්මනින් කේන්තියන ස්වභාවය හා මානසික අවපාතනය ඇති වීම.
----------------------------------------------------


මේ ලෙඩේ ගැන විස්තර හොයා දුන් තාරකා පිලපිටිය නංගිට මගේ ස්තුතිය. විභාගයට පාඩම් කරන ගමන් ලියන හන්දා පොඩි පොඩි අඩුපාඩු තියෙන්න පුලුවන්

01 January 2011

නව වසරක් !! බලාපොරොත්තු ගොඩක් !!


වසරකුත් ගෙවිලා ගිහින් නව වසරක් උදා උන මොහොතේ මුලින්ම සියලු දෙනාටම ලැබුවා වූ නව වසර සුබ ම සුබ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔයාලගේ හිත් වල තියෙන නැවුම් බලාපොරොත්තු මේ වසරේ සපල කර ගන්න ලැබේවා කියලත් පතනවා.

ගිවිලා ගිය වසර දිහා හැරිලා බලපුවාම අනිත් අවුරුදු වගේ නෙමෙයි 2010 අවුරුද්ද කියන්නේ වැඩ අධික වෙච්ච අවුරුද්දක්. ඒ වගේම තමයි ගිය වසරේ මැද භාගයේ තමයි මගේ උපාධි පාඨමාලාවේ තුන්වැනි වසරේ අධ්‍යයන කටයුතු තිබ්බේ. ඒ වගේම ටේ්‍රනින් යන්නත් තිබ්බේ ඔය පරණ අවුරුද්දෙම තමයි. සිංහල බ්ලොග් ලියන්නත් බ්ලොග් කියවන්නත් පටන් ගත්තේ ඔය අවුරුද්දෙම තමයි. එහෙම බ්ලොග් කියවන්න ගිහින් හොද යාලුවෝ ටිකකුත් එකතු කර ගන්න ලැබුනෙත් ඒ වසරෙදිම තමයි



ඒ ගිවිලා ගිය අවුරුද්ද....

2011 වසර කියන්නේ මගේ හිතේ බලාපොරොත්තු වැඩිම වසරක් . මේ වසරේ මුල් භාගය වෙද්දි මගේ උපාධිය සම්පූර්ණ කරලා වසර හතරක විශ්ව විද්‍යාල ජීවිතයට සමු දෙන වසරයි. ඒක ගැන හිතද්දිත් පොඩි දුකක් හිතේ නැතුවමත් නෙමෙයි. නමුත් අම්මගෙයි අප්පච්චිගෛ බලාපොරොත්තු ඉටු කරන්න ලැබෙන එක ගැන හිතද්දි නම් හිතට ලොකු සතුටක් ඒ වගේම ලොකු සැනසීමක් දැනෙනවා.

අප්පච්චි කුලි වැඩ කරලා මටයි මල්ලිටයි ඉගැන්නුවේ අපි ලොකු තැනක ඉන්නවා දකින්න නේ. අප්පච්චිගේ ඒ බලාපොරොත්තු වලින් කොටසක් ඉටුවෙන වසර. (තව අවුරුදු දෙකකින් මල්ලිත් වෛද්‍ය පීඨයෙන් උපාධිය අරන් අවුට් උනාම ඒ බලාපොරොත්තු ටික සම්පූර්ණ වෙනවා ) ඒ වගේම අප්පච්චි මෙච්චර දුරක් උහුලගෙන ආපු ජීවන බරෙන් කොටසකට හරි උර දෙන්න ලැබෙන්නෙත් මේ වසරෙදිමයි.

ඒ සියලුම බලාපොරොත්තු අතරේ තවත් පුංචි බලාපොරොත්තුවක් තියෙනවා. කලින් පෝස්ට් එක කියෙව්වා නම් දැනටමත් දන්නවා ඇති. ඔව් ඔව් ඒක තමයි. මේ වසරෙදිවත් ඔටු ජීවිතය සමුදෙන්න ලැබේවා කියන අහිංසක බලාපොරොත්තුවත් නැතුවම නෙමෙයි.

සියලු දෙනාට ජය වේවා !!!