12 January 2017

හැරී පොටර් තුළින් මා දකින කුළ භේදයේ අරගලය

ජේ.කේ. රොව්ලින්ග් විසින් රචිත හැරි පොටර්  කතා මාලාව ඔබ කියවා හෝ චිත්‍රපටි මාලාව ඔබ විසින් නරඹා ඇතුවාට සැක නැත. ලොව පුරා වෙසෙන ලක්ෂ සංඛ්‍යාත දුවා දරුවන්ගේ නොමද ආදරයට පත් හැරි පොටර් කතා මාලාවට ඔබද කැමති බව මා දන්නා කරුණකි.

මේ කතා මාලාව  මා කියවන්නේ දෙවන වරට ය. පළමුවර කියවීමෙන් මා විඳි ආකර්ෂණීය  බව රස වින්දනය,  දෙවන වතාවටත් කියවීමට මා පෙළඹූ බව කීම අතිශයෝක්තියක් නොවේ.

පළමු වරට කියැවීමෙන් මා නොදුටු අපූර්ව පැති කිහිපයක් මෙවරදී මා දුටුවෙමි. ඒ සියල්ලම එකිනෙක ඔබ හමුවට ගෙන ඒම සදහා මේ ලිපිය සිතක සංකල්පනාවට ලියා තැබීමට සිතුනි.

හැරී පොටර් කතා මාලාවෙන් ඔබ හමුවට එන මායාලෝකයේ පවුල් සියල්ල කොටස් තුනකට වෙන් වේ. එනම්,

1. පවිත්‍ර ලේ (Pure Blood) - තම පියාත් මවත් යන දෙදෙනාම මායාකාර පවුල් වලින් පැවත එන අයවලුන්

2. අර්ධ ලේ (Half Blood) - තම මව හෝ පියා යන දෙදෙනාගෙන් එක් අයෙක් පමණක් මායාකර පවුලකින් පැවතෙන අයවලුන් ය. මායාකරුවන් නොවන අය ඔවුන් හඳුන්වන්නේ මගල්ස්වරුන් (Muggles) ලෙස ය.

3. කුණු ලේ (Mud Blood) - මවත් පියාත් යන දෙදෙනාගෙන් කිසිවෙකු මායාකාර පවුලකින් පැවත නො එන්නන්ගේ දරුවන් හැදින් වූයේ මේ නමිනි. එනම් තම මවත් පියාත් යන දෙදෙනාම මගල්ස්වරුන් වේ.

පිරිසිදු ලේ ඇති අයවලුන් මායාකරුවන් අතර වංශවත් අයවලුන් වේ. ඔවුන් කිසිවිටෙක  අපිරිසිදු ලේ ඇති අයවලුන්ව හෝ අර්ධ ලේ ඇති අයවලුන්ව උසස් කොට සැලකුවේ නැත. ඔවුන් හැමවිටම සිතුවේ මායාවන් කිරීමේ හැකියාව ඔවුන් සතු පරවේණී අයිතියක් යැයි කියා ය.

ඒ නිසා ඔවුන් හැමවිටෙම කුළයෙන් අඩු (අර්ධ ලේ හා කුණු ලේ ) අයවළුන්ව හාස්‍යයට ලක් කළේ ය.

හැරී පොටර් කතා මාලාව දෙසට අප යළිත් වරක් හැරුණහොත් මෙම කතා මාලාවේ ප්‍රධාන චරිත තුනක් වෙයි.එනම්,

1. හැරි පොටර්
2. හමයිනි ග්‍රේන්ජර්
3. රොන් වීස්ලී

හැරී පොටර්ගේ මව  ලිලී පොටර්, මායා පවුලකින් පැවතෙන තැනැත්තියක් නොවේ. ඈ මගල්වරුන්ගෙන් පැවතෙන අයෙකි. සරලව කිවහොත් කුණු ලේ ඇති තැනැත්තියකි. පියා මායාකාරී පවුලකින් පැවතෙන පිරිසිදු ලේ ඇති අයෙකි.

ඔහුගේ පුත් හැරී පොටර් අර්ධ ලේ ඇති අයෙකි.


හමයිනි ග්‍රේන්ජර්ගේ පවුලේ කිසිවෙකු මායාකාරී පවුලකින් පැවතෙන අය නැත. ඒ නිසාම ඈ කුණු ලේ ඇති තැනැත්තියකි.

රොන් වීස්ලිගේ පවුලේ සියල්ලම මායාකාරී පවුල් වලින් පැවතෙන අය නිසා ඔහු පිරිසිදු ලේ ඇති අයෙකි.

මොවුන් තුන්දෙනාම ඉතාම හොඳ යහළුවන් ය. ඔවුන් අතර මායාවරුන් තුළ පවතින කුළ භේදය නැත. ඔවුන් ඒ පිළිබඳව අංශු මාත්‍රයක් හෝ සිතන්නේද නැත.

මේ චරිත තුනට අමතරව තවත් ප්‍රධාන චරිතයක් වේ. ඒ ඩ්‍රේකෝ මල්ෆෝයි ය. ඔහු මායාකාරී පවුල් වලින්ම පවතෙන පිරිසිදු ලේ ඇති අයෙකි.

හැරී පොටර් කතා මාලාවේ කතුවරිය ඩ්‍රේකෝව භාවිතා කරන්නේ කුලවත් මායාකරුවන් හා කුළයෙන් අඩු මායාකරුවන් අතර පවතින පන්ති පරතරය කැපී පෙන්වීම සදහා ය. ඩ්‍රේකෝ තුළ කුළවත් මායාකරුවන් තුළ පවතින අධි මානයෙන් පිම්බී සිටින අයෙකි. ඔහු ඇතුලාන්තයෙන් ඉතාම අහිංසකයෙක් වුවත්, ඔහු හැදී වැඩුනු පරිසරය නිසාම ඔහු තුළත් කුළවත් මායා කරුවන් අතර ඇති මාන්නය නො අඩුවම පවතී.

මේ නිසාම අනෙක් කිසිදු කුලහීන මායාකරුවන්ව කිසිදු තැකීමකට ලක් නොකලේ ය. හැකි හැමවිටම ඔවුන්ව සමච්චලයට ලක් කළේ ය. විටෙක රොන් ද තවත් විටෙක හමයිනි ද ඔහුගේ සමච්චලයට ලක් විය.

මා කලින් සදහන් කළ පරිදී කුලවත් මායාකරුවන් හැමවිටම සිතන්නේ මායාවන් කිරීමේ හැකියාව ඔවුන්ගේ පරවේණි අයිතියක් කියා ය. ඒ නිසාම කුළ හීන අයවළුන්ගේ දරුවන් මායා පාසලට එනම් හොග්වර්ට්ස් පාසලට පැමිණෙනවාට ඔවුන් කැමති නැත.

ඔවුන් හැමවිටකම උත්සහ කරන්නේ ඔවුන් පාසලේ ඉගෙනීමෙන් ඈත් කරවීමට ය. කුළහීන අයෙකු පාසල තුළ මියගියත් ඔවුන් ඒ ගන වැඩි දුර තකන්නේ නැත.

මීට අමතරව  හැරී පොටර් දෙවෙනි කතාවේදී ඔබ හමුවට එන "මෝනින් මාර්ටල්" ද කුණු ලේ ඇති තැනැත්තියකි.

පාසල තුළ ඇති රහස් කුටියක බැසිලස් නම් වූ පිඹුරෙකු ජීවත් වන බව ටොම් රිඩ්ල් දැන ගනී. ඔහු පසු කලෙක ස්ලිදරින් හී උරුමක්කාරය වන නිසා පාසල තුළ සිටින සියළුම කුණු ලේ ඇති අයවලුන් ව මරා හෝ එලවා දැමීමට ඔහුට අවශ්‍යවී තිබුණි.

මේ නිසා ඔහු රහස් කුටිය විවෘත කර බැසිලස්ට හොග්වර්ට්ස් පාසල වෙත ඒමට ඉඩ හසර වෙන් කර දුනී. මේ නිසාම බැසිලස් විසින් කුණු ලේ ඇති "මෝනින් මාර්ටල්" ව මරා තිබුණි. ඇගේ මරණයත් සමග පසු කලෙක හොග්වර්ට්ස් පාසල් භාරකාරීත්වය විසින් රහස් කුටිය සදහටම වසා දැමීමට තීරණය කර තිබුණි.

හැරී පොටර් කතා මාලාවේ එන "කුළ භේදය" ඉන් නතර වන්නේ ද නැත... එය දිගින් දිගටම ක්‍රියාත්මක වේ.

මතු සබැඳි....

දෙවන කොටසට මෙතැනින් යන්න.

No comments:

කමෙන්ට් එකක් දාලම යමු ද ?

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.