01 May 2025

ප්‍රැට්‍රෝල් මැස් එක

 මළ ගෙවල් ගැන මම කලිනුත් මේ බ්ලොග් එකේම ලිපි කිහිපයක් ලියලා තියෙනවා. එක එක පළාත් වල අවමංගල්‍යය චාරිත්‍ර ගැන එහෙම මම ලිපියක් ලියලා තියෙනවා. මේ ලිපියත් අවමංගල්ල ගැනම ලියවෙන්න යන එකක්.

මළ ගෙවල් ගැනම ලියැවෙන්න හේතුව තමයි ඊයේ පෙරේදා අපේ ගෙවල් කිට්ටුව අයියා කෙනෙකුගේ තාත්තා හදීසියේම අන්ත්‍රා උනා. ඉතින් මමත් ගියා ඒ අවමඟුලට සහභාගි වෙන්න.

අවමඟුලක්, මගුල් ගෙයක් එහෙම කියන්නේ ඉතින් අහල පහල කට්ටිය එකතු වෙලා රටේ නැති වල් පල් කියවන්න හොඳ වේදිකාවක් තැනෙන අවස්ථාවක් නෙව. ඉතින් කට්ටිය එකේක දේ ගැන කතා කළා.

ඔය අතරේ ටිකක්  වයසක මාමා කෙනෙක් "දැං වගේ ලැයිට් තිබ්බට ඉස්සර නම් මළගේකට පැට්‍රෝල් මැස් එකක් නැතුවම බෑ. ප්‍රැට්‍රෝල් මැස් එකයි මළගෙයයි කියන්නේ ඉතිං අමුඩෙයි පුකයි වගේ. දෙන්නට දෙන්නා නැතිවම බෑ..." කියලා කිව්වා.

ඕන්න ඊට පස්සේ කතාව පැට්‍රෝල් මැස් එක පැත්තට හැරිලා ගලාගෙන ගියා. ඇත්තටම මම පොඩි කාලෙත් ඔය පැට්‍රෝල් මැස් ලාම්පු නොදකින මළ ගෙයක් හොයාගන්ඩ නෑ. දැන් ෆ්ලෑශර් ලයිට් වලින් කරපු රාජකාරියම පැට්‍රෝල් මැස් ලාම්පුවෙන් ඉටු උනා. මේකට කට්ටිය පැට්‍රෝල් මැස් කිව්වට හරිම නම තමයි පෙට්‍රෝමැක්ස් කියන එක.

ඉස්සර අපේ ගෙදරත් තිබුනා ඔය ජාතියේම පැට්‍රෝල් මැස් ලාම්පුවක්. ඒකට ගානට හුළං එහෙම ගහලා පත්තු කළහම ඉතාම දීප්තිමත් සුදු පාට ආලෝකයක් නිකුත් වෙනවා. හුළං ගැහිල්ලත් හරි පදමට කෙරෙන්ඩ ඕන. නැත්නම් පුපුරන්ඩ එහෙම බැරි නෑ.

ඔය ලාම්පුවක් හරියටම පත්තු කරලා ගොඩක් උඩට එල්ලුවහම ලොකු පදාසයකට එළිය ගන්ඩ පුලුවං. ඔය එළියෙන් තමයි කට්ටිය වට වෙලා කතා කර කර ඉන්නේ. ඒ විතරක් නෙමේ... මළ ගෙදර බූරූ ගැහිල්ල සිද්ධ වෙන්නෙත් මේ පැට්‍රෝල් මැස් එහෙක පිහිටෙන් තමයි. 

පැට්‍රෝල් මැස් එකක් යටට වෙලා මළ ගෙවල් වල පාළු කපන අයගේ කතා අහගෙන රෑ පහන් කිරිල්ල ඉස්සර අපේ ගම් වල සුළභවම කෙරුනා. කාළෙත් එක්කම පැට්‍රෝල් මැස් පාවිච්චිය අඩු වෙලා ගිහින් නැත්තටම නැති උනා.

අපේ සීයා නැති උනත් හරි අපේ ගෙදර තිබ්බ ලාම්පුව, එක එක මලගෙයින් මලගෙයට ගිහින් අන්තිමේදි ගෙදරට ආවේ නෑ. අපරාදේ ඉතින්.....

9 comments:

  1. අපේ ගෙදර තිබුනා ඇලඩින් ලාම්පුවක්. පැට්‍රල් මැක්ස් එකෙන් ගන්න වැඩ ඒකෙන් ගන්න බැරි උනත් එළිය නං ඒ වගේමයි.

    ReplyDelete
    Replies
    1. ඒකේ නම අහලා තිබ්බට දැකලා නම් නෑ.

      Delete
  2. පෙට්‍රොමැක්ස් කියන්නෙ බ්‍රෑන්ඩ් නේම් එකක්. වෙන කොම්පැනි වලිනුත් ඔය ගැජට් එක හදනව. ඒත් ඉතිං වතුර බටනං එස්ලෝන් වගේ සීන් එකක් තමයි වෙලා තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. සම්පීඩිත භූමිතෙල් ලාම්පුව කියල තමයි ඕකට කියන්න වෙන්නෙ.

      Delete
    2. ඒ නමත් කියන්න පුලුවන් බලාගෙන ගියහම. කාලෙකට පස්සේ හරි දෙමළ ණ යන්න ප්‍රසන්න අයියව දැකීමත් සතුටක්.

      Delete
  3. එළකිරි එකේත් මේ ලියුම සෙයා කරගන්ඩ සංකපාල මල්ලි.

    අපේ මහේෂ්වලතර මහත්මයාට බයේ නේද දැන් එන්නැත්තේලා කිරි එකට

    මම එළකිරි එකේ ගයාන් කල්හාර

    ReplyDelete
    Replies
    1. ඔවු අනේ. වලතරයා එක්ක එපා වෙනවා නෙහ්

      Delete
  4. මතක් වුනේ අපේ අයියාගේ මළ ගෙදර... පැට්රෝල් ලාම්පු තිබ්බෙ නෑ වුනත්, ගෙදර ඉඳන් පාරට යනකන් ලයිට් එළිය නම් තිබ්බා.

    https://lokuakuru.blogspot.com/2020/01/blog-post_12.html

    ReplyDelete
    Replies
    1. ඒ ලිපියත් කියවලා බලන්ඩෝන....

      Delete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.