02 December 2016

බස් වර්ජනය

අද මුළු ලංකාවටම බලපාන විදිහේ පොදු ප්‍රවාහන සේවයේ වැඩ වර්ජනයක්. දන්න සිංහලෙන් තේරෙන විදිහට කිව්වොත් බස් ස්ට්‍රයික් එකක්.

මුලින්ම නම් තිබ්බේ බස් හා දුම්රිය වැඩ වර්ජනයක් කියලා. නමුත් දුම්රිය වර්ජනය තාවකාලිකවම නැවතිලා බස් රථ වර්ජනයක් සිද්ධ උනා.

ඒ නිසාම මටත් වැඩට යන්න සිද්ධ උනේ නෑ. මාත් නිවාඩුවක් දාලා ගෙදර නැවතුනා.

මේ බස් වර්ජනයට හේතු වෙච්ච කාරණය තමා මහාමාර්ග වැරදි 7කට ලබා දීපු අවම දඩය රු. 25,000ක් කිරීම.

මහාමාර්ග වැරදි හත මෙහෙමයි,

1. බීමත්ව රිය පැදවීම
2. වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය කිරීම
3. වලංගු රියදුරු බලපත්‍රයක් නොමැති පුද්ගලයකුට සිය රථය පැදවීමට අවසර දීම
4. අධික වේගය
5. වම් පසින් වාහන පසුකර යාම
6. නොසැලකිලිමත් අයුරින් දුම්රිය හරස් මාර්ග ඔස්සේ රිය පැදවීම
7. රක්ෂණ සහතිකයක් නොමැතිව රිය පැදවීම


ඔන්න ඔය වැරදි හතට තමයි අවම දඩ මුදල රු. 25,000ක් කලේ. මේක අසාධාරණයි කියලා තමා බස් හිමියෝ වැඩ වරන්නේ.
මට මේ 6 වෙනි වැරැද්ද කියෙව්වහම මතක් වෙන්නේ කලකට ඉහත දී යාංගල් මෝදර දුම්රිය හරස් මාර්ගයේ සිද්ධ වෙච්ච අනතුර. තදියම් වෙච්ච බස් රියදුරෙක් වහපු දුම්රිය ගේට්ටුවක් හරහා බස් රථය ධාවන කිරීම හන්දා බස් එකේ හිටපු සෑහෙන දෙනෙක් මිය ගියා.

අන්න ඒ වගේ සිද්ධිත් එක්ක සසදලා බලනකොට නම් මේ දඩ මුදල වැඩි කිරීම වැරදි නෑ...


මේ පුද්ගලික බස් වර්ජනය නිසා ලංගම බස් කරළියට ඒමකුත් සිදු වෙනවා. ඒකත් එක අතකට හොඳයි. අමතර ලංගම බස් 6000ක් සේවයට යෙදෙව්වයි කියනවනේ. කොහොමින් හරි කමන් නෑ ලංගමය පණ ගැන්විලා කරලියට එනවා නම් මිනිස්සුන්ට සෑහෙන සේවයක් සිදු වේවි.

කොයි හැටි වෙතත් අද දවස නම් ත්‍රී වීල් රියදුරන්ට නම් වාසිදායක දවසක්. එවුන් එකට එකක් ගණන් තියාගෙන තමයි අද හයර් යන්නේ..

වල් ඌරන් කැකුණ තලද්දි හබන් කුකුළන්ට මඟුල් කියලා කියන්නේ නිකන් යෑ.. !

No comments:

කමෙන්ට් එකක් දාලම යමු ද ?

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.