04 April 2020

පැටි පස් පරාණය

ඔන්න මම කාළයකට පස්සෙ මොනවහරි ලියලා දාන්න ආවා. පහුගිය මාස කිහිපයේම මම අපේ කන්තෝරුවේ එක ව්‍යාපෘතියකට හිර වෙලා හිටියා. හුස්මක් කටක් ගන්නවත් විවේකයක් තිබ්බේ නෑ. කොටින්ම සතියේ දින හතම වැඩ කළා. (අතිකාළ දීමනා එහෙම ගෙව්වා ඉතිං) උදේ 8 වෙද්දි වැඩට ගියහම ආයේ ගෙදර එන්නේ රෑ 10-11 වගේ වෙලාවට.

ඔහොම රා වෙලා ගෙදර ආපු ගමන් ඇඟපත සෝදගෙන තේකක් කාරිය හදාගෙන රේඩියෝ එකත් දාගෙන පුටුවකට වෙලා හාන්සි උනා. මම රේඩියෝ එක දැම්මොත් ගොඩක් වෙලාවට අහන්නේ ගුවන් විදුලි සේවය විතරයි. එකේ නිවේදක/නිවේදිකාවෝ භාශාව හසුරවන විදිහ නියමයි. තනි සිංහලෙන්ම නිවේදනය කරන්නේ.

පුද්ගලික නාලිකා වගේ සිංහල මැදට ඉංග්‍රීසි අමුණගෙන කතා කරන්නේ නෑ.


එදා මම රේඩියෝ එක දාපු වෙලාවේ ගියේ රන්මසු වගේ නමක් තියෙන වැඩසටහනක්. ඒකේ නිවේදිකාව ප්‍රශ්නයක් ඇහුවා. ඒ ප්‍රශ්නය තමයි,

"පැටි පස් පරාණය කියන්නේ මොකද්ද?" කියලා.

අසන්නෝ එක එක උත්තර දුන්නා. ගොඩක් දෙනා කිව්වේ අත්තා, මුත්තා, කිරිකිත්තා,.... වගේ කට්ටියකගේ නම්.

හරි උත්තරේ කිව්වේ රෑ 12ට වගේ කිට්ටු වෙන්න මයේ හිතෙ... හරිම උත්තරේ කිව්වේ අපේ ගමට අල්ලපු ගමේ කෙනෙක්. අළුබෝමුල්ලේ කෙනෙක්. ඒ මනුස්සයා උත්තරේ කිව්වා විතරක්ම නෙමේ ලස්සන පැහැදිලි කිරීමකුත් කළා.

ඔයාලත් හිතන්න බලන්න මොකද්ද ඒ මනුස්සයා කියපු උත්තරේ කියලා.

මම උත්තරේ පැහැදිලි කරන්නම්.

පැටි පස් පරාණය කිව්වහම එතැන පරාණ 5ක් ගැන කියැවෙනවා කියලා ආයේ අමුතුවෙන් පැහැදිලි කරන්න ඕනැන්නේ නෑනේ. හරි... මොනාද ඒ පරාණ පහ ?

1. කොළු පැටියා - තමන්ගේ පරම්පරාව ඉදිරියට ගෙනියන්න.
2. බළු පැටියා - වත්තේ පිටියේ ආරක්ෂාව සදහා.
3. පූස් පැටියා - ගේ ඇතුළට එන සතුන්ගෙන් ගෙදර අයව ආරක්ෂා කරගැනීම සදහා.
4. වහු පැටියා - කිරි, දී කිරි, මෝරු, එඬරු, ගිතෙල් යන පස්ගෝරස වලින් පෝෂණය වීම සදහා.
5. කුකුල් පැටියා - වෙළාව දැනුම් දීම සදහා. අතීතයේ මිනිස්සු අවදි උනේ කුකුළාගේ ඇඬලීමෙන් නෙහ්.

ඔන්න ඔය පස් පරාණයම තියෙනවායි කියන්නේ ඒ මිනිස්සු යමක් කමක් තියෙන අය විදිහට අතීතයේ හැදින්නුවා ලූ. 

ඔන්න ඕකයි ඒ අසන්නා දීපු උත්තරෙයි, ඒ උත්තරේට දීපු පැහැදිලි කිරීමයි.

එහෙනං මං ගියාවේ.

1 comment:

  1. මේකට 'පැටි පස්' නොකියා 'පස් පැටි' කිව්වා නම් මීට වඩා පහසුවෙන් තේරුම් ගත හැකියි. පොතක පතක මේ යෙදුම තිබේනම් ඒ ගැන තොරතුරු ඇතොත් හරි අගෙයි.

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.