අද දවසම වාගේ කලේ අම්මා ගෙදර වැඩ කරනකන් කලිසම් වගයක් මහපු එක.ඊයේ නම් මම දඹාදෙණිය ටවුමේ කරක් ගැහුවා. අද ගෙදර...!
සාක්කු අල්ලලා තිබ්බ හන්දා වැඩේ ලේසියි.කලිසං විසි ගානක් පෑ හතරකින් විතර මහ ගත්තට පස්සේ යන්තං විවේකයක් ලැබුනා. ඒ විවේකයේදි කලේ කලින් ගෙනත් තිබුනු පොතක් කියවපු එක. ඒ පොතේ තිබුනු එක කතාවක් කියෙව්වට පස්සේ අපේ අම්මා අපි පොඩි දවස්වල කියලා දීපු කතාවක අග මුල ගැට ගහ ගන්ඩ පුලුවං උනා.
කතාව කෙටියෙන් කියනවා නං මේකයි !
දඹදෙණි රාජධානි කාළයේදී එක තරුණයෙක් දඹදෙණියයි කුරුණෑගලයි අතර ගමන් කරනවාලූ. ගමන් මහන්සියට මේ තරුණයා අම්බලමක නැවතුනාලූ. අම්බලමේ නැවතුනාට පස්සේ තවත් කට්ටියක් අම්බලමට ආවා ලු මේ ආපු කට්ටිය කතා වෙනවලු විජයබාහු රජතුමා මියෑදුනා ය. ඊට පස්සේ එයාගේ මරක්කල බිසවගේ කුමාරයාට රජකම ලැබුනා ය. නමුත් රජකම හම්බ වෙන්ඩ තිබුනේ අග බිසවගේ පුතාට ය. වත්හිමි කුමාරයා ඇමති මණ්ඩලය රවට්ටලා රජකම ලබා ගත්තා ය කියලා.
මේ කතාව අහපු තරුණයා බය උනාලු.මේ තරුණයා වෙන කවුරුවක්කත් නෙමේ ලූ අගබිසවගේ පුත් කුමාරයාලු. මොකද මේ දෙන්නා කතා වෙච්ච විදිහට තමන්ගේ ජීවිතයටත් තර්ජනයක් එල්ල වේගෙන නේ එන්නේ. !
ඊට පස්සේ කුමාරයා යන ගමන නවත්තලා ඒ පැත්තේ තිබුනු ගෙයකට ගොඩ උනා. ඒ බඩගින්නට මොනවාහරි හොයාගන්ඩ. මේ ගෙදර ගෑල්ලමයි දෙන්නෙක් ඉන්නවාලූ කළු එතනායි සිරිමල් එතනායි කියලා. ලොකු කෙලී කළු එතනාලූ. පොඩ්ඩි සිරිමල් එතනා ලූ. කළු එතනා මේ කොල්ලව දැක්කට පස්සේ හිඟන මල හෝන්තුවක් කියලා ගස්සගෙන යන්ඩ ගියා ලූ.
ඒත් සිරිමල් එතනාට දුක හිතිලා කන්ඩ කෑම ටිකක් ගෙනත් දුන්නා ලූ. මේ ගෙදර ගමරාල මේ තරුණයව දැකලා තමන්ගේ කුඹුරු වැඩවලට උදව්වට ගෙදර නවත්ත ගත්තාලු. කොල්ලාත් හරි දස්සයා ලූ. කුඹුරු වැඩ හොඳින් කරගෙන උන්නා ලූ. මේ කොල්ලා නිසා ගමරාලගේ අත මිටත් සරු උනාලූ.
අන්තිමේදි ගමරාල තීරණය කලා ලූ මේ තරුණයාව තමන්ගේ දුවෙකුට විවහා කරලා දෙන්ඩ. අක්කා ගෙදර ඉන්නැද්දි නංගිව දෙන සිරිතක් නැති හන්දා කළු එතනාව ගෙන්නලා ඇහුවලූ මේ කොලුවට කැමති ද කියලා. උන්දෑ ගත් කටටම කීවේ මම කොහොමද අපේ ගෙදර හිටපු වැඩකාරයාව කසාද බඳින්නේ කියලා.
සිරිමල් එතනගෙන් මේ ගැන ඇහුවට පස්සේ ඒකි කැමති උනාලූ මේ තරුණයාව කසාද බඳින්ඩ. මේ තරුණයා සිරිමල් එතනව කසාද බැන්දට පස්සේ වී අමුණකුත් හම්බ උනාලු වගා කරගෙන ජීවත් වෙන්ඩ.
දවසක් මේ තරුණයා කුඹුරේ වැඩ කරලා දවල් බත කෑවට පස්සේ සිරිමල් එතනාගේ උකුලෙන් ඔලුව තියාගෙන උන්නාලූ. ඔහොම ඉන්නකොට නින්ද ගියා ලූ. නිදාගෙන ඉන්නකොට හීනයක් දැක්කා ලු.මේ තරුණයාගේ බඩවැල් බොකු කටින් එනවාලු හීනෙට දැක්කේ.
සිරිමල් එතනත් විහිලුවට වාගේ කිව්වා ලූ. එහෙනං ඔයාට රජකම හම්බෙන්ඩයි යන්නේ කියලා.
එතකොටම වාගේ රජතුමාගේ මඟුල් ඇතා පිරිවරත්තෙක්ක පාරේ යනවා දැක්කා ලූ.මේ තරුණයාත් දුවලා ගියාලු ඒ මගට. එතකොට මඟුල් ඇතා අසල තිබ්බ ගලකට හොඬවැලෙන් ඇනලා කුමාරයා ඉදිරියේ දන නැමුවාලු.
අන්තිමේදි රාජ පුරුෂයෝ කුමාරයාව අඳුනගෙන නාවලා පිරිසිඳු කරලා රාජකීය ඇඳුම් අන්දවලා සිරිමල් එතනාවත් රාජකීය ඇඳුමින් සරසවලා රාජ මාලිගාවට එක්ක යන්න සූදානම් උනාලු. මේ දෙගොල්ලෝ යන්ඩ කලින් සිරිමල් එතනාගේ මහ ගෙදරට ගොඩ උනාලු සිරිමල් එතනාගේ තාත්තව මුන ගැහෙන්ඩ.
එතකොටම වාගේ කළු එතනාව දැක්කා ලූ මේ කුමාරයා. කුමාරයා ගත් කටටම වාගේ,
"ඇයි ද කලූ පින් නොකළේ !!" කියලා කිව්වා ලූ.
කළු එතනාට "පින් නොකලේ" කියලා කියපු ගම පස්සේ කාලේක පින්න පොලේ උනාලු. පස්සේ පින්නපොල උනා කියලා තමා කතාව.
මම ඔය කතාව කියෙව්වට පස්සේ අපේ අම්මගෙන් ඇහුවා අම්මා ඒ දවස්වල මෙහෙම කතාවක් කියලා දුන්නා නේද කියලා. :)
දැන් මේ කතාව කියෙව්වට පස්සේ ඕගොල්ලෝ දැන ගන්ඩ ආස ඇති මම කියෙව්ව පොත මොකද්ද කියලා. මේ පොත තමා ඩී.පී. වික්‍රමසිංහ මහත්තයා ලියපු "මගදිගට ජනකතා" පොතේ දෙවැනි කොටස. පළවෙනි කොටස කියවලා මම කුණ්ඩසාලේ ගැන ලිපියක් ලිව්වා මතකනේ.
මේ පොතේ මේ ජාතියේ කතා 26ක් තියෙනවා. පොතේ තියෙන අනිත් කතා ටික මම ලියන්ඩ යන්නේ නැති හන්දා පුලුවන් කමක් තිබ්බොත් හොයාගෙන කියවන්ඩ.
මේ පොත සූරිය ප්රකාශනයක්. මිල රු. 200/= ක් වෙන්නේ.
අපරාදේ ඇයි දැන් කාලේ මෙහෙම රාජ කුමාරයෝ වෙස්වළාගෙන ගෙවල් වල වැඩට එන්නේ නැත්තේ කියල මගේ ටිකිරි මොලේට හිතුණා.
ReplyDelete(මම ඒක අපේ එක්කෙනාට කිව්වම එයා කිව්වේ 'අපරාදේ එහෙම එකක්වත් උනා නම් මං ගොඩ' කියලා)
ඔයාට මහන්නත් පුලුවන්ද? හොඳ ළමයෙක්නේ !
ලස්සන කතාව . මටත් මතක තිබුනේ ඔයාට වගේ යාන්තමට තමයි.
ReplyDelete@ නිරෝෂනි ..ඔව් අනේ මේ අද කාලේ පිරිමි ළමයි හරි හොඳයි වගේ උයන්නයි මහන්නයි හැමදේම දන්නවනේ .
පොත ගැන විස්තර දුන්නට ස්තූතියි. කියවන්න වටින පොතක් මධූ. මාත් හරි ආසයි ඔය වගෙ ජනකතා එහෙම කියවන්න.
ReplyDeleteඅහන්නකො අර ෆිල්ම් එකෙත් ඔය කතාවනේද තියෙන්නෙ ? මේ ලගදි තිබ්බ ෆිල්ම් එක මට නම මතකෙට එන්නෙ නෑ නේ. ජැක්සන් ඇන්තනිගෙ පුතා ඉන්නෙ, සිරි පැරකුම් එකේ අන්න හරි .ඒකෙත් ඔහොම කතාවක් යනව,. ඔයා ඒ ෆිල්ම් එක බැලුවද?
ReplyDeleteපින නෑ කියන්නෙ ඕකට තමා,.
දැන් කාලෙ ඔහොම කුමාර්වරු නැද්ද නේ :)
ReplyDeleteහරිම වටිනා තොරතුරක් මල්ලී! මාත් මේ පොත ගෙන්වා ගන්න ඕනෙ. අපි ඉගෙන ගන්න කාලේ ඉතිහාසයයි භූගෝලයයි වෙනුවට සමාජ අධ්‍යයනය කියලා විශයක් දාලා අපේ ඉතිහාසය ඉගෙන ගැනීම නැති කලා. අපි නොදන්න කොච්චර දේවල් අපේ ඉතිහාසෙ තියෙනවද? උඹට ජය මලේ!!!
ReplyDeleteඑක කථාවකින්ම පේනවා පොත බොහොම රසවත් එකක් බව...පොතේ කවරයට තමයි මගේ හිත වැඩිපුර ඇදුනෙ...
ReplyDeleteමම නම් මග දිගට ජන කතා පලවෙනි කොටස ගොඩක් සැරයක් කියවලා තියෙනවා ඉස්කෝලේ යන කාලේ. තාමත් පොත තියෙනවද මන්ද ගෙදර. . හරිම ලස්සන කතා ටික. දෙවෙනි එකත් කියවන්න ආසයි.
ReplyDeleteලස්සන පොතක් වගේ...මම කියවල නැහැ..ස්තුතිය ිමධුරංග ආසාවක් වැපිරුවට. හොයාගෙන කියවන්න ඕනි.
ReplyDeleteමගෙ ගාව තියෙනවා. රජ්ජුරුවරුන්ගේ මරු මරු වැඩ ගැන තියෙනවා ඔය පොතේ...
ReplyDeleteපින නැත්නම් ඉතින් මොනවා කරන්නද මධුරංග අයියේ..
ReplyDeleteමම මේ කතාව අහලා තියෙන්නේ ගැමුණු කුමාරයා ගැන. :(
ReplyDeleteආපහු අත්තම්මාගෙන් අහලා බලන්ට ඕනි.
අපරාදේ ඔයාට මහන්ට පුලුවන්බව මම කලින් දැනගෙන හිටියේ නෑනේ මධූ...:D
ReplyDeleteඅඩෙ මධු උඹේ මුණ දැක්කම හිතෙනවා මේ කතා වලට නියම සුදුස්සා උඹ කියලා... ලස්සන කතාව...
ReplyDeleteniroshini :
ReplyDeleteඒක නේන්නං එතකොට ඒ උන්දෑ ගොඩ නෙහ්. හික්ස් :)
ඕස්ට්‍රේලියාවේ නං කොහොමද දන්නේ නෑ ලංකාවට ආපු කාලෙක බලමු එහෙම කුමාරයෝ එනවද කියලා.
Bindi :
ඒකනේ.. මාත් අපේ අම්මගේ කතාවේ අග මුල ගලප ගත්තා.
Chathuranga Priyashad :
මේ පොතේ නැති අපේ අම්මා කියලා දීපු කතා එහෙම හම්බ උනොත් ලියලා දාන්නම්. මම නම් ඉස්සර ඉදන් තාම ආසයි ඔය වාගේ කතා කියවන්ඩ.
නදී :
මම චිත්‍රපටිය බලලා නෑ අපේ නෝනේ.
බලන්ඩ යන්ඩ ඕන. ඒත් කොයි ඉතින් ගෙදර කට්ටිය එන්නේ නෑ නේ. එහෙම කුමාරයෙක් දවසක් ආවා මතක නැද්ද ? ඇයි ඔයාට පොතුත් ගෙනත් දුන්නේ. ;)
Chandana Gunasekera :
ReplyDeleteඅපිටත් තිබ්බේ ඔය සමාජ අධ්‍යනය සහ ඉතිහාසය කියලා ක විෂයයක්. හැබැයි ඔන්න දැන් නම් ඉතිහාසය වෙනම විශයයක් කරලා තියෙනවා.
සිරාගෙ කාමරේ :
රසවත් පොතක් නේන්නම්. මම දවසට කතා දෙක තුනයි කියවන්නේ. වැඩ ඇරිලා ඇවිත් තේ එකකුත් හදාගෙන ඔයින් කතා දෙක තුනක් කියවනවා.
chaminda wickramasinghe :
දෙවෙනි එකත් අරගෙන බලන්න. පලවෙනි එකේ කතා පනහක් තිබ්බට මේ පොත සම්පූර්ණ කරන්න කලින් වික්‍රමසිංහ මහත්තයා නැති වෙච්ච හන්දා ගොඩක් කතා නෑ.
දිනිති දීපිකා :
අනිවාර්යෙන්ම හොයාගෙන කියවන්න. ලස්සන ජන කතා පොතක් !
ගෝල්ඩ් ෆිෂ් :
ReplyDeleteහ්ම්ම්... මරු මරු වැඩ නේන්නම්. කොටු පැනිලි එහෙමත් තියෙනවා.
Dinesh :
ඒකනේ.. මැණික් ගලක පය හැපුනත් අහුල ගන්ඩ පින නැත්නම් වැඩක් තියේ යෑ.. :)
Podi Kumarihami :
ගැමුණු කුමාරයාගෙත් මෙහෙම කතාවක් තියෙනවා. ඒ කතාවයි මේකයි වෙනයි පොඩ්ඩි. මහන්ඩ ඉගෙන ගත්තේ අපේ අම්මගෙන්. අපේ අම්මා ගාමන්ට් එකක වැඩ කරලා තියෙන කෙනෙක්. එයා තමා කියලා දුන්නේ.
ඔයත් ආස නං අම්මට කියලා උගන්වන්නම්. :)
දේශක යා :
කියපු කතාව තේරුනේ නෑ.. මම කොහොමද මේකට සුදුස්සා වෙන්නේ ? මොකද්ද මගේ පින්තූරේ දැක්කහම තිබ්බ සුදුසුකම ??
පැහැදිලි කර දෙන්න. ස්තූතියි :)
අපි කුඩා දරුවන් ලෙස ඇසූ මේ කතා පොත්වලට ගෙන සංරක්ෂණය කිරීම බොහොම වටිනවා. නැවත වතාවක් බලන්න රජතුමා අපවත් වුනා කියා යෙදීම හරිද කියා.
ReplyDeleteඑතකොට මධුරංග කැමති සිරිමල් එතනටද නැත්නම් කළු එතනටද?
ReplyDeleteWicharaka Asami Dakimi Soyami :
ReplyDeleteඔන්න හැදුවා මියෑදුනා කියලා... ස්තූතියි වැරැද්ද පෙන්නලා දුන්නට.
රජ වීදියේ උමේෂ් :
මම කැමති සිරිමල් එතනට.. ඒත් සිරිමල් එතනා මට කැමති නැති එකනේ පුරස්නේ..
මම කැමතියි නෑනට... නෑනා කැමති නෑ මට !
ඉස්කෝලෙ යන කාලේ ඔය පොත කියවලා තියනවා, මට මතක විදියට 8 හෝ 9 වසර සිංහල පොතේ ඔය පොතෙන් කතාවක් තිබුනා (රජතුමාට වෙන් කරපු වරකා ගෙඩියක් කාලා බෙරුන හැටි තිබුන කතාව) සිරාම පොතක් තමයි
ReplyDeleteAnonymous :
ReplyDeleteඔය කියන්නේ මේ පොතේ පලවෙනි කොටස.. ඔය වරකා කතාව තිබ්බේ අළුත් විශයය නිර්දේශයේ පොත් වල. අපි පරණ විශය නිර්දේශය ඉගෙන ගත්තු නිසා ඔය කතාව කියවන්න ලැබුනේ නෑ..
මමත් මේ කතාව අහල තියෙන්නෙ ගැමුණු කුමාරයා තාත්තට ගැණු ඇඳුම් යවල පැනල ගිහින් කොත්මලේ හැංගිලා ඉඳල රජ වෙද්දි වෙච්ච දෙයක් හැටියට .
ReplyDeleteඔය "මන්ද කලූ පින් නොකළේ " කියන කෑල්ල කවියක කොටසක් (කවිය මතක නැතුව ගියා) . කවිය කියල තියෙන්නෙ කොත්මලේ පුසල්පිටිය පන්සලේදිලු. පොතක් තියෙනෝ මායා රංජන් ලියපු කුමාරයා සහ රන්මැණිකා කියල. හොයන් කියවල බලන්නකො
දුලගාමිණී කුමරු කරනට කාර සුබ
Deleteකළුමැණිකෝ පිං නොකරේ මන්ද නුඹ
හෙළදිව කිරුළ මපියාගෙන් මෙදින ලැබ
රජකරනට රන්මැණිකෝ නගිනු ඔබ