02 February 2023

රිවර්ස්ටර්න් සුළං කපොල්ල

 බඹරකිරි ඇල්ලට සමු දුන් අප නැවතත් ප්‍රධාන මාර්ගයට අවතීර්ණ වූවෙමු. මා 'ප්‍රධාන' යැයි විශේෂණ පදයකින් හැදින් වූවද මී මාර්ගය බොහෝ සෙයින් අබලන් වූවකි. අබලන් සේම මේ මාර්ගය බොහෝ සෙයින් පටු වූවකි. වාහන දෙකක් එකවරු මාරු වීමට ඉතාම අපහසු පටු වූ මාර්ගයක් බව මා කිව යුතු ය.

මෙලෙස අබලන් මාර්ගයක ගමනේ යෙදෙන්නේ නම් ඔබ භාවිතා කරන වාහනය යම් කිසි උසකින් යුක්ත වූවක් විය යුතු ය. කාර් රථයකට නම් මේ මාර්ගයේ යම් යම් තැන් වලින් ගමන් කිරීම මදක් අසීරු ය. එහෙත් අප ගමන් කළ ඩිෆෙන්ඩර් වර්ගයේ මෝටර් රථයට නම් මෙවැනි අබලන් මාර්ග වල යෑමට එතරම් අපහසු නැත.


මාර්ගය දුශ්කර වූව ද සුන්දරත්වය අඩු වූවක් නොවී ය. පෙනෙන පෙනෙන හැම අතින්ම හරිත පහැ ගත් වන වදුලු ය. තවත් වරක කඳු වල වවා ඇති තේ වගාවන් ය. තවත් වරෙක පයිනස් වර්ගයේ ගස් වලින් ගහණ වනාන්තර ය.





අප වන වදුළු අතරින් වැටුන මග දිගේ රිවර්ස්ටර්න් සුළං කපොල්ල පාමුලටම ආවෙමු. මෙතැන් සිට සුළං අපොල්ල නැරැඹීමට නම් ප්‍රවේශපත් මිලදී ගත යුතු ය.

ප්‍රවේශපත් මිලදී ගත් අප සුළං කපොල්ල නැරඹීමට ආවෙමු. සුළං කපොල්ල ඇති කඳු මුදුනේ සවි කර ඇති දුරකතන සන්නිවේදන කුළුණ අපේ ගමනාන්තය වී ය.

වරෙක මීදුමෙන් වැහෙන මේ කුළුණ අප ඉදිරියේ අපූර්ව චිත්‍රයක් මැවී ය. එය කැමරා කාචයට හසු කර ගැනීම මදක් අපහසු ය. දෑසින්ම දැකිය යුතු වූ දසුනකි..

ඉහත පින්තූරයෙන් පෙමෙන්නේ පළාතම මීදුමෙන් වැසී යාමට පෙර දසුනකි. සුළං කපොල්ල පිහිටි කඳු මුදුන ඉතාමත් තෙතමනයකින් යුතු බැවින් කූඩැල්ලන් ගහණය ඉතා වැඩි ය. මේ නිසාම එක තැන බොහෝ වේලාවක් රැඳී සිටිය නොහැකි ය. මේ නිසාම අප මද වේලාවක් එහි ගත කර නැවතත් කන්ද බැසීමට පටන් ගත්තෙමු.

රිවර්ස්ටර්න් සුළං කපොල්ල නැරබූ අප මීලඟට ආවේ රිවර්ස්ටර්න් වල ඉතාම ප්‍රසිද්ධ නාන තොටුපලකට ය. එතැනින් අප හොදහැටි නාගෙන දිවා ආහාරය භුක්ති වින්දෙමු. ඉන්පසු නැවතත් අපගේ ගමනාන්තය වූ වස්ගමුව දක්වා ගමන් කිරීමට පටන් ගත්තෙමු.

හවස 4 පමණ වන විට අපට වස්ගමුව කඳුරුපිටිය බංගලාව වෙත ඒමට හැකි විය. රෑ බෝ වීමට පෙර බංගලාවට ඒගත හැකි වීම අප කාගෙත් සතුටට කරුණක් විය.

ඊලඟ ලිපියේදි කඳුරුපිටිය බංගලාවේ සිට හමුවෙමු. ජය වේවා !

1 comment:

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.