කලින් ලියමන නවත්තපු තැනින් තමයි අද පටන් ගන්නේ. මම කලින් ලිපියේ කිව්වා නේ පැල් රකින්න යන්ඩ ඕන කරන කලමනා ටික මල්ලට දාගත්තයි කියලා. මම ඇත්තටම මල්ලට දාගත්තේ මේ ටික.
කලින් දවසක චාර්ජ් කරපු ලයිට් එකක්.
පොඩි බඩගින්නක් එහෙම ආවොත් කන්න කියලා බිස්කට් එකක්.
රෑ සීතල මැකෙන්න කියලා ජැකට් එකක්.
වතුර බෝතලයක්.
පරණ මදුරු දැලක්.
මදුරු කොයිල් ජෝඩුවක්.
චාර්ජ් කරන්න පුළුවං ජාතියේ පොඩි රේඩියෝ එකක්.
ඔය වගේ පොඩි පොඩි දේවල් ටිකක් තමයි මගේ මල්ලේ තිබුනේ. මම ඔය ටිකත් දාගෙන ලැහැස්ති උනා. ඊට පස්සේ අපේ මලයා බයික් එකකින් හේන තිබ්බ හරියටම ඇරලවලා යන්ඩ ගියා.
හේන තිබ්බ ඉසව්ව හරිම ලස්සනයි. එක පැත්තක බඩ ඉරිඟු හිටවලා තිබුණා. අනිත් පැත්තේ වම්බටු එහෙම දාලා තව පැත්තක ඔය වගේ වියළී කළාපයේ වැවෙන එළවලු ජාති කිහිපයක් තිබුණා. බඩ ඉරිඟු ටික නම් කිරි වදින කාලේ නිසා වල් ඌරන්ගෙන් එහෙම පරිස්සම් කරන්ඩ ඕන කියලා තමයි හේනේ අයිතිකාර මාමා කිව්වේ. හේන් බෝග ටික බලාගෙන අඩි පාර දිගේ මම පැල් කොටේ තිබ්බ හරියට ආවා.
ඔය පහලින් තියෙන ජාතියේ පැලකුයි ඒ පැලටම සම්බන්ධ කරපු දඬු ඉනිමඟකුයි තිබ්බා. මම පැලේ ගත්තු පින්තූර සේරම ටික ෆෝන් එකත්තෙක්කම නැති වෙච්ච නිසා එකම එක පින්තූරයක්වත් හොයාගන්ඩ නෑ. අපරාදේ... මේ පහලින් තියෙන පින්තූරේ ගත්තේ අන්තර්ජාලයෙන්.
මේ ඉහලින් තියෙන ජාතියේ ගහක් උඩක හදලා තිබ්බ පැලක් ඒක. පැලට නගින්න කෙලින් අතට ගියපු පොඩි ගහක කොටයක් පාවිච්චි කරලා ඉනිමගක් හදලා තියෙනවා. ඒත් ඒක පොඩ්ඩක් එහෙට මෙහෙට වැනෙන නිසා නගින්න පොඩි බයකුත් හිතේ නැති උනාම නෙමේ. ඕන නං ගහ දිගේ බඩගාලාත් පැලට නගින්න පුලුවන්. ඒත් බඩයි ඇට දෙකයි ගහේ පොතු වලට හූර ගන්ඩ ඕන නැති නිසා අමාරුවෙන් හරි ලී ඉනිමං දිගේ පැලට ගොඩ උනා. ඒ කරලා මං ගෙනාපු මල්ල පැල උඩින් තියලා ආයෙම පහල බැස්සා.
හේනේ මාමා පොඩ්ඩක් එහාට මෙහාට ගිහිං දර අතු ටිකක් කඩාගෙන ගිනිමැලය ගහපු තැන ගොඩ ගැහුවා. මමත් ඒකට පොඩි උදව්වක් දුන්නා. සමහර අතු කෑලි නිකං කඩන්න අමාරුයි කබර හං කෑලි වගේ. ඒවා ටික මන්නෙන් කපන්ඩ ඉතුරු කරලා අනිත් ඉපල් කෑලි ටික දනිහ නවලා කඩලා කලින් දා ගිනි මැලය ගහපු තැනට එකතු කලා. ගිනි මැලය අවුලවන්ඩ ලෙහෙසි වෙන්ඩ කියලා වේලපු ගොං බෙටි දෙක තුනකුත් මාමා හොයලා ගෙනත් තිබුනා. ඒත් එක්කම කොළරොඩු ටිහිකුත් තැනින් තැන තිබුනා.
ඒ ටික ගොඩ ගහලා ඉවර වෙලා මායි මාමයි හේනේ පැත්තක හරහා දාලා තිබුන වේලිච්ච කොට කෑල්ලක් උඩ වාඩි වෙලා පොඩි කයියක් දැම්මා. හේන් පැල හදලා තිබ්බ ගහට අමතරව ඈතින් ඈත තව ගස් දෙක තුනක් තිබ්බා. එක එක්කෙනාගේ හේන් වෙන් වෙලා තිබ්බේ කැලෑවෙන්ම හොයාගත්තු දඩුවලින් හදාපු දඩු වැටවල් වලින්. මේ පැල වගේම තවත් පැල් කිහිපයක් මේ හරියේ තියෙනවයි කියලා මාමා කිව්වා. ඉන් එක පැලක් බලන්ඩත් මාමා මාව එක්කං ගියා. ඉන් එක හේනක පහලිනුත් ගේ කෑල්ලක් හදාගෙන තියෙනවා. හේන් කරන කාළයට ඒ ගේ කෑල්ලේ ඒ හේන් අයිතිකාරයාගේ මුළු පවුලම ජීවත් වෙනවයි කියලා තමා අපේ හේන් මාමා කිව්වේ.
“මේ අපේ ඉස්පිරිතාලෙට අළුතිං ආපු දොස්තර මහත්තයාගේ අයියා “
කියලා අපේ හේන් මාමා හම්බවෙන හම්බවෙන හැමෝටම මාව හදුන්වලා දුන්නා. හැදින්වීමෙන් පස්සේ ඒ මිනිස්සූ පොඩ්ඩක් උරහිස්ස පාත් කරලා බුලත් කහට ගැහුනු දත් පෙන්නලා හීන් හිනාවක් දැම්මා. ඔය හදුන්වලා දීම මුලදි මුලදි මට පිනවීමක් උනත් පස්සේ නම් මල වදයක් උනා. මිනිස්සු දොස්තරලට මෙච්චරම බය පක්ෂපාතීව ඉන්නේ මොන කෙහෙල්මලකටද කියලා මට හිතුනා. එයාලත් අනිත් මිනිස්සු වගේම රැකියාවක් නේ කරන්නේ.
ඉර අවරට යාගෙන බිං කළුවර වැටෙනකොට අපි හේනට ආවා. කළුවර උනහම හේන් වල උනත් පයින් ඇවිදින එක නුවණට හුරු නෑ ලූ.. ඒ නයි පොළොංගු එහෙම බිම බඩගාගෙන යන නිසා ලූ. ඒ නිසා රෑක ඇවිදිනවා නං පොළොවේ සද්ද නගලා අඩි තිය තියා ඇවිදින එක හොදයි ලූ. එතකොට ඒ සත්තු මිනිස්සුන්ගේ අඩි සද්ද මග හැරලා ගමන් කරන්ඩ උත්සහ කරනවයි කියලා තමා ඒ මාමා කිව්වේ. මාමාගේ හේනට ආවට පස්සේ මම ආයේ හරහා දාලා තිබ්බ ලී කොටේ උඩ වාඩි උනා. වාඩිවෙලා පැල් කොටේ තිබ්බ ගහ දිහා බැළුවා. වට අඩි එකහමාරක් විතර ලොකු ගහල හරහට අතු බෙදුන අත්තක් උදව් කරගෙන තමයි මේ පැල්කොටේ අටවලා තිබ්බේ. මේ ගහේම කඳේ තිබ්බ පොඩි අතු කෑල්ලක පරණ යකඩ කේතලයක් කම්බි කෑල්ලක ආධාරයෙන් එල්ලලා තිබ්බා. තව තැනක බුලත් කහට වගේම කහට ගැහුනු ප්ලාස්ටික් කෝප්පයක් එල්ලලා තිබුණා. ඒ මාමා හේන් රාජකාරි කරනකොට තේ කහට බොන කෝප්පේ වෙන්ඩ ඕන කියලා මම හිතින් හිතුවා. තව පැත්තක කිලෝ පහේ පොලිසැක් බෑගයක් එල්ලා වැටුනා. ඒ මාමෑ බුලත් මල්ල වෙන්ඩෝන… මම හිතුවා.
අර පොත් වල කියවනවා වගේ දැන් පොල්කටු වල තේ බොන රතු පන් වලින් රටා දමපු පන් මළු වල බුලත් දාගෙන එන හේන් ගොවියෝ අඩු ඇති. කාළයත්තෙක්කම මේ දේවලුත් පුළු පුලුවං හැටියට වෙනස් වෙන්ඩ ඇති. ඔය බුලත් මල්ලේ කඩදහි කොළයක ඔතලා බීඩී කිහිපයකුත් තිබුනා.
හොදටම ඇඳිරි වැටීගෙන ආපු හන්දා මාමා ගිනි පෙට්ටියෙන් ගිනි කූරක් ගහලා ගිනි මැළය පත්තු කලා. ලොකුත් නැති පොඩිත් නැති ගිනි දැල් වලින් පොඩි වපසරියක් එළිය කලා. අපි ඒ ගිනි දැල්ලේ එළියෙන් පැල්කොටයට ගොඩ උනා. රෑ අන්ධකාරයත් එක්ක ලී ඉනිමගේ ඉහලට නගිනකොට මම සෑහෙන කල්පනාවෙන් තමයි ගොඩ උනේ. මොකද බැරි වෙලාවකවත් දනිහ පැන්නොත් එහෙම ජබොග් ගාලා බිම පත බෑවෙන්නත් බැරි නෑ.. කොහොමින් කොහොමහරි පැලට ගොඩ වෙලා අපි දෙන්නම අදුර දිහාත් වරින් වර දැල්වෙමින් නිවෙන ගිනි මැළය දිහාත් බලාගෙන කතාවට වැටුනා. මේ පැල්කොටය තනි මනුස්සයෙක්ට නම් ටිකක් සුව පහසුව ඉන්ඩ පුළුවන්. දෙන්නෙක්ට නම් ඉන්ඩ පොඩ්ඩක් අමාරුයි. ඒත් ඉතින් මේක සැප ගන්ඩ ආපු ගමනක් නොවන නිසා අමාරුවෙන් හරි කාගෙන ඉන්නවා.
මේ වෙනකොට හොඳටෝම කළුවර වැටුන නිසා හේනේ මාමා එනකොට ගෙනාපු චාර්ජ් ලයිට් එක පත්තු කලා. ඒ ලයිට් එකෙන් ආපු පාණ්ඩු පාට එළියෙන් අවට අඳුර යන්තමින් හරි අඩු කර ගත්තා. හේන් වල තිබෙන එලි කිහිපය ඇරෙන්න අවට පරිසරම කුට්ටි කපත හැකි තරමේ ගණ අන්ධකාරයකින් වෙලිලා තිබ්බා. ඒ විතරක් නම් මදෑ… හීනියට මදුරුවෙක් දෙන්නෙක් කන ළග කූ කූ කූ ගාන්න ගත්තා…රෑ අට විතර පහු වෙනකොට ආපු බඩගින්න නිසාම ගෙදරින් ගෙනාපු බත් එක කන්න ගත්තා. කාල ඉවර වෙලා පැල උඩ ඉදගෙනම ගෙදරින් ගෙනාපු වතුර බෝතලයෙන් අත හෝදගත්තා.
ඉස්සර පොත්පත් වල තිබෙන කතා වල වගේ ලබු කැටයක වතුර පුරවගෙන හේන් වල පැල් රකින්න එන හේන් ගොවියෝ දැන් නම් නැතිව ඇති. එන්න එන්න රෑ වේගෙන එනකොට මදුරුවෝ ගහණය එන්න එන්නම වැඩි වේගෙන ආවා. උඩට කමිසයක් වත් නැතිව හිටපු හේනේ මාමා, තමන්ගේ ඇඟේ ලේ ටික උරා බොන්න ආපු මදුරුවන්ට එහෙන් මෙහෙන් බැට දෙන්ඩ ගත්තා.
මේ මොන කරදරයක්දැයි හිතුන නිසා ගෙදරින් ගෙනාපු මදුරු දැල් කෑල්ල අපි දෙන්නවම වැහෙන්ඩ දාගත්තා. ඒකෙන් සෑහෙන්ඩ මදුරුවන්ගෙන් ආරක්ෂා උනා. ඒත් ඉතින් පැලේ බිමට දාලා තිබුණ ලී පොලු අතරිනුත් මදුරුවෝ ඇවිත් පුකට විදින්න ගන්න එක තමා ඉවසන්නම බැරි. ඒ විතරක් යෑ එහෙං මෙහෙන් මදුරුවෙක් දෙන්නෙක් කලිසම ඇතුලට ගිහින් ජනපද බෝල හරියෙත් විදින්න ගන්නවා. ඒ හරියේ වහපු මදුරුවන්ව ගහලා මරන්න යෑ… බැරිමතැන අතු දෙබලෙක ගහලා තිබුන පැදුරු කඩමල්ල අරගෙන බිමට එලා ගත්තා. ඕං මදුරු කරදරේ නං සමතයකට පත් උනා.
ඒකම මදෑ නේද…?
රෑ නමය දහය වගේ පහු වෙනකොට නං මාර කම්මැලිකමක් එන්න ගත්තා. ඒ වෙනකොට ආගිය තොරතුරු සේරම එහෙම කතා කරලා ඉවර වෙච්ච නිසා අහන්න කතා කරන්න ඒ හැටි ලොකු දෙයක් තිබුනේ නෑ… මමත් කතාවේ දස්සයෙක් නොවුන නිසා ලොකුවට කතාවක් නම් ඇදිලා ගියේ නෑ. හේනේ මාමා නම් විඩින් විඩේ බුලත් මල්ලට අත දාල බුලත් විටක් ඒදලා අරගෙන කටේ දමාගෙන හප හපා පඩික්කං බෙලෙක්කෙට කෙල ගගහා උන්නා. හේන් මාමා එක බුලත් විටක් පැයක් විතර ඒ හක්කෙන් මේ හක්කට මාරු අර කර කාර කාර හප හප උන්නා. මට නම් අප්පිරියත් එක්ක. මොකා ඔය දහජරාව හොයාගත්තද මන්දා.
ඉස්සර නම් සාහිත පොත් වල තියෙනවා කම්මැලිකමට පැල් කවි කියනවයි කියලා. දැන් එහෙම හේන් ගොවියෝ හොයන එක පඬුවන් බස්සා හොයනවටත් වඩා දුර්ලභ සංසිද්ධියක්. මම බැරිම තැන හේනේ මාමගේ කෑරිල්ලේ අපූල යන්ඩත් එක්ක ගෙදරින් ගෙනා රේඩියෝ එක දැම්මා. මීටරේ කරකවලා ශ්‍රී ලංකා ගුවන් විදුලි සේවය වගේ රජයේ නාලිකාවක් සුසර කළා.
අන්න රේඩියෝ චැනල්…. !
තනි සිංහලෙන් නිවේදනය කරන සරල සුන්දර ගීත ප්‍රචාරය කරන, කනට රෙන්නේ නැති රේඩියෝ චැනල් එකක්. බාගෙට හඳ පායපු තරුත් තියෙන නිසංසල රෑකට අහන් ඉන්ඩ පුලුවං ජාතියේ සිංදු කිහිපයක් විතර ගුවන් ගත උනා. හරි අපූරු සරල ගීත…!
ගීත අහගෙන යන අතරතුරේ මං ගෙනාපු ලයිට් එකේ එළිය අඩුවේගෙන ආවා. චාර්ජ් ඉවර වේගෙන යනවා මයේ හිතේ.. දැන් මොනා කරන්නද ඉතිං..
“ මහත්තයා ඔය ලැයිට් එක ඉවර උනහම මේං මේක පත්තු කරලා ගන්ඩකෝ… මං පහලට ගිහිං හේනේ රවුමක් දෙකක් දාලා එන්නං”
කියලා හේනේ මාමා වහලේ ගහලා තිබුණු කෑලි හතරේ ටෝර්ච් එකත් අරං දඩු ඉනිමඟ දිගේ පහලට බඩ ගෑවා. හේනේ මාමා පහලට ගිහින් විනාඩි දහයක් ගත වෙන්ඩැති. මං ගෙනාපු ලැයිට් එකේ එළිය ලෙල්ලටම අඩු වෙලා නිමෙන්ඩ ගත්තා. ඊට පස්සේ මාමා ගෙදරින් ගෙනත් තිබුණු ලැයිට් එක අතට අරගෙන පත්තු කරලා පැල් කොටේ වහලේ එල්ලුවා. දැන් ආයෙම පැල, පෙර තිබ්බ විදිහටම එළිය උනා. රේඩියෝ එකෙත් සිංදු ටික නිස්කාරණේ පැලේ හුදකලා නිහඩ බව දුරලන්න තනියම සටනක යෙදෙනවා.
මේ අල්ල පනල්ලේ කම්මැලිකම යන්ඩත් එක්ක පහලට යන්ඩ හිතිලා මාත් දඬු ඉනිමඟ දිගේ පහලට බඩ ගෑවා. පහල ඇවිත් හේනේ මාමා ගියපු දිහෑ බලාගෙන උන්නා. මං අතේ එළියක් ගන්න පුළුවං කිසිම දෙයක් තිබුනේ නැති නිසා පාත්ති අතරින් ඇවිදින්න නං බැරි උනා. පහල තිබුණ කොටය උඩට වෙලා කකුල් දෙකත් උඩට අරගෙන මැළවීගෙන යන ගිනි මැළය දිහා ඔහේ බලාගෙන හිටියා. මේක නිවුනොත් මදුරු කරදරේ වැඩි වෙන්ඩත් බැරි නෑයි කියලා හිතුන නිසා හවස එකතු කරගෙන ආපු ඉපල් කෑලි දෙක තුනක් මැළයට ලං කරලා ආපහු ගිනි මැළය පණ ගහලා ගත්තා. ඊට ටික වෙලාවකට පස්සේ,
“ තාම නං වල්ලූරු රෑන මේ පැත්තට ඇවිත් නෑ… උන්ගෙන් තමයි බේරන්ඩම බැරි…”
කියාගෙන හේනේ මාමා පැල් කොටේ තිබ්බ ගහ ළගට ආවා.
“මහත්තෙයාට නම් මේවා පුරුදුත් නැතිවැති නෙහ්…මං අපි දෙන්නටම තේ කහට ටිකක් වත් කොරලා ගන්නං”
ඊට පස්සේ හේනේ මාමා පැලේ ගහේ ගහලා තිබුණ කේතලේ අරගෙන බූලියෙන් වතුර ටිකක් නවලා අරගෙන ගිනිමැලේ අයිනෙන් තිබ්බා. දරටිකකුයි එක එක ජාතිදාලා ගිනි මැලේ වැඩි කළා. ටික වේලාවක් යනකොට යකඩ කේතලයේ වතුර ටික ගොජ ගොජ ගාලා පැහෙන්ඩ ගත්තා.
කේතලයේ පියන ඇරලා ඒකටම තේ කොළ ටිකක් දාලා ඒකටම බුලත් මල්ලෙන් ගත්තු ඉඟුරු අලයකින් කෑල්ලක් කපලා කේතල් පියන වහලා දැම්මා. ඊට ටික වේලාවකට පස්සේ රෙදි කඩමාල්ලකින් අල්ලලා කේතලය ගිණි මැළයෙන් අහක් කරලා කෝප්ප වලට තේ වත් කළා.
“සීනි නං අතට කාලා තමා තේ කහටෙ බොන්ඩ වෙන්නේ මහත්තෙයා. කමන් නෑනේ..?”
කියලා හේනේ මාමා තේ පුරවපු කෝප්පය මා දිහෑට දික් කළා. ඒත්තෙක්කම සීනී දාපු වීදුරු බෝතලෙත් මා අතේ තිබ්බා. මං සීනි පරිභෝජනය කපාහැරලා තියෙන නිසා සීනි බෝතලේ පෙරලා මාමා අතේ තිබ්බා. දුං දම දමා තිබුණ තේ කෝප්පය අරගෙන තේ ටිකක් බීවා. ඉඟුරු රහත් එක්කම තද කහට රසකින් තේ එක සමන්විත උනා. ඊට අමතරව ඒ රස දෙකම පරදවන්නට වගේ විටින් විට කොළ රහකුත් දැනෙන්න ගත්තා. ඒ කොළ රහ නිසා තේ එක නොබී ඉන්ඩ හිතුනත් වෙන කරන්න දෙයක් නැති හන්දම තේ එකේ අන්තිම උගුර වෙනකන් තේ බීලා කෝප්පය හෝදලා මාමා අතට දුන්නා. හෝදලා දීපු කෝප්පයටම කේතලයේ තිබ්බ තේ ටිකක් පෙරලා අරගෙන, සීනී බෝතලේ ඇරලා සීනි ටිකක් අල්ලට හලාගෙන තේ ටික ටික තොල ගාන්න ගත්තා. තේ ටික බොන ගමන්,
“හඳ අවරට යන දවස් හන්දා වැඩිය සත්තුන්ගේ කරදරේ නෑ.. හොදවයින් හඳ පායපු දවස්වලට නං සත්තුන්ගෙන් විසුමක් නෑ….” කියලා මගෙත්තෙක්ක කතාවට වැටුනා.
“මේ හේනට අලි එහෙම එන්නේ නැද්ද මාමේ…?” කියලා මාත් ප්‍රශ්නයක් නැඟුවා.
“නැත්තේ මොකෝ… සමහර දවස්වලට නං අහල හේන් වල ඉන්න කට්ටියත් ඇවිත් අලි එලවනවා. නැත්තං හේනක් ඉතුරු වෙන්නේ නෑ..” කියලා මාමා උත්තර දුන්නා.
අද නං අලි නාවොත් හොඳයි කියලා මං හිතින් හිත හිතා උන්නේ. මොකද ඉතින් පාර වැරදිලා හරි යන අලියෙක් එහෙම මේ පැත්තේ ආවොත් කාට කියන්න ද? මට අලිත්තෙක්ක දුවලා කරලා අත්දැකීම් තියෙන එකක් යෑ. ඇරත් උන් වල් අලි නෙහ්. හීල කරපු එවුන් නම් කමන් නෑයි කියමු. මුන් එහෙම යෑ. උගුරට දෙකට තේ ටික කටේ හලාගත්තු හේනේ මාමා, අල්ලේ ඉතිරි වෙලා තිබ්බ සීනි කැට ටිකත් දිව ගාලා ටෝර්ච් එකත් අරගෙන නැගිට්ටා.
“මහත්තෙයා අපි එහෙනං පැලට නගිමු නේද ? පල්ලෙහා නයි පොළොංගු එහෙම ඉන්න බැරි නෑ. මං තව වටයක් දෙකක් ගිහිං පැලට එන්නං” කියලා අඳුරේ නොපෙනී ගියා.
ටෝර්ච් එළියෙන් හේනේ රවුමක් ගහලා එන්න ආස උනත් මොකෙක් හරි සර්පයෙක් දශ්ඨ කරාවි ය කියන බය නිසාම කළුවරේ යන ගමන, මං අමතක කරලා දැම්මා. පැලට නගින දඩු ඉනිමඟේ මගක් දුරට නැගලා හේන දිහෑ බලනකොට යාන්තමින් ආපු හඳ එළියට හේනේ හිටවලා තිබ්බ සුදු කොඩි වැල් භූතයෝ වගේ ඒ මේ අත පැද්දෙමින් තිබෙනවා දකින්න හම්බ උනා. ඒ දිහා බලාගෙන මං ඉනිමඟේ ඉහලටම ගොඩ උනා.
බෑග් එකේ සිප් එක ඇරලා අත් ඔර්ලෝසුව එළියට අරගෙන වේලාව බැළුවා. වේලාව පාන්දර දෙකත් පහු වෙලා. නිදිමතකුත් පොඩියට ආපු නිසා බෑග් එකට ඔළුව තියාගෙන හේන් පැලේ හාන්සි උනා. කොච්චර නිදිමත උනත් නින්ද ගිහින් පහලට වැටෙයි කියලා බය නිසාම නිදාගන්න බයයි. ඒත් මට යාන්තමට වගේ නින්දක් ගිහින් තිබුනා. ඒ කෙටි නින්දෙන් ඇහැරෙනකොට හතර හමාරත් පහු වෙලා තිබුනා.
ගිණි මැලයත් නිමිලා තිබුණා. රේඩියෝවත් සෑහෙන වෙලාවක් වැඩ කරපු නිසා බැටරි හොදටෝම බැහැලා කුරු කුරු ගගා තිබුණා. රේඩියෝව අතට අරං ඒක ඕෆ් කරලා බෑග් එකට දාගෙන මම පහලට ගියා. උදේ පින්නත් එක්ක ආපු හීතල හුළඟ නිසාම මගේ නහයත් හෙම්බිරිස්සාවෙන් බර වේගෙන ආවා.
හචිං… හචිං… හචිං…
කිවිසුම් දෙක තුනක් එක වැලට යවන ගමන් සාක්කුවේ තිබ්බ හොටු ලේන්සුවෙන් නාහේ පිහිදා ගත්තා. මේ කරුම පීනසේ…. මම හිතින් හිත හිතා උන්නා. පහල තිබ්බ ගිණි මැලේ ආයෙම අවුලුවන්න හිතුනත් පින්නට අහු වෙච්ච දර අළු නිසා හිතපු තරම්ම ගිණි මැලේ පත්තු උනේ නෑ… ගිණිමැලේ පත්තු කිරිල්ල යකාට ගියාවේ කියලා හිතලා හරහා දාලා තිබ්බ ලී කොටේ උඩට වෙලා කකුල් දෙකත් උඩට අරගෙන ගුලි වෙලා හිටියා. මීදුමත්තෙක්කම වටින් ගොඩින් එළිය වැටීගෙන ආවා. ඒත් එක්කම මේ වෙනකන් නිදාගෙන උන්නු කුරුල්ලෝ එකා දෙන්න අළුත් දවසේ උදාවත්තෙක්කම කෑ ගහන්න පටන් අරන් තිබුණා.ඉදලා හිටලා ඈතින් මොණරෙක්ගේ දෙන්නෙක්ගේ කෑ ගෑමත් ඇහුනා. ඒත්තෙක්කම නම නොදන්න ගොඩක් කුරුළු හඩවල් ගොඩක් එකට මිශ්‍ර වෙලා උදා වෙච්ච දවස පිළිගන්න වගේ එක හඩින් කෑ ගෑවා. හරි අපූරුයි… !
කලින් දා රාත්‍රියේ නිදි වර්ජිතව උන්න නිසාම පාං කියාගන්න බැරි තරමේ නිදිමතක් ඇස් වලින් බේරෙමින් තිබුණා. එළිවෙනජාමේ හේන වටේ රවුමක් දාපු මාමාත් හේන් පැලට ආවා. ඒ ඇවිල්ලා ආයෙමත් කේතලේ අතට අරන් තේකක් හදන්නයි සූදානම. මම විජහට පැලට ගොඩ වෙලා බෑග් එකේ තිබ්බ බිස්කට් පැකැට් එක කඩලා මාමටත් දීලා බිස්කට් එකින් එක කන්න ගත්තා. මාමත් හප හපා උන්නු බුලත් හපේ ගහ මුලට විසික්කා කරලා කට හෝදගෙන බිස්කට් එකක් කන්න ගත්තා. ඊයේ රෑ වගේම ඉඟුරු දාපු තේකක් හදලා මටත් දීලා මාමත් තේකක් බීවා.
උදේ අට හෝ නමය වෙනකොට අපේ මලයත් ඇවිත් ඉදපු නිසා හේනේ මාමට සමු දීලා මං ආයෙම මලයලෑ ගෙදරට ගොඩ උනා. ඔන්න ඔහොමයි මගේ හේන් පැලේ අත්දැකීම ලබා ගත්තේ. ඊට පස්සෙ මල්ලිලෑ දිහෑවෙන් මුහුණකට හෝදගෙන උදේ කෑම කාලා නින්දකට වැටුනා. ඒ නින්ද දවල් දොළහා හෝ එක වෙනකන් නිදාගන්ඩ ඇති. හොඳ නින්දකට පස්සේ ආයෙම සුපුරුදු තත්වයට පත් උනා. අපි හිතුවට වඩා හේන් කිරිල්ල සෑහෙන අමාරුයි කියන වග ඒ වෙනකොට මට තේරුං ගිහින් තිබුණා. හේන් ගොවියෝ තමන්ගේ බෝග ආරක්ෂා කරගන්න කොච්චර නං කරදරයක් විඳිනවද කියලා මට මේ ගමනෙන් තේරුම් ගියා.
මේ ගමනත්තෙක්කම මගේ හිතේ තිබ්බ හේනේ පැල් රකින ආසාවත් නිට්ටාවටම හොඳ උනා.
එහෙනං මං ගියාවේ.
හැමෝටම ජය හා සතුට !
-----------------------------------------------------------------------------------
ප.ලි. - මම හේනේ මාමා, මාමා කියලා සදහන් කරලා තියෙන්නේ මේ හේන අයිති මාමගේ නම මට මතක නෑ. කොච්චර උත්සහ කලත් මතක් උනේම නෑ. අපේ මල්ලිගේ ඇඳුනුම්කම මත මල්ලිට අම්පාරේදි හම්බ වෙච්ච කෙනෙක්ගේ මාර්ගයෙන් තමා මේ ගමන ලෑස්ති කරලා දුන්නේ ඉතින් ඇඳුනුම්කම දුර වැඩි නිසා නම ගැන එච්චරම නිච්චියක් නෑ.
වැහි බලලා බිම් කොටලා කුරහන් වපුරඤ්ඤයි
ReplyDeleteරෑ හේනේ පැල් රැකලා ඒක බලා ගඤ්ඤයි
ඉරිද පොලේ එය විකුණා පනං දෙකක් ගඤ්ඤයි
හේනෙ මාම කිව්වෙ මොකෝ මං ගොයිගම සිංඤෝයි
හැබැයි අකුරක් අඩු නැතිව අත්දැකීම ලියලා තියනවා.
ReplyDelete