අද තරමක කාර්ය බහුල දිනයකි.
වෙනදා අවදිවන වේළාවට වඩා අළුයම අවදි වූ ඈ උදෑසන තේක පිළියෙල කර මේසය මත තබා මාව ද අවදි කළාය. මාද නිදිගැට කඩමින් අවදිව තේක අතට ගෙන වෙනදා මා හිදගන්නා අසුනට බර උනෙමි.
“ඔන්න අද නං ඉක්මනට තේක බීලා ලෑස්ති වෙන්ඩෝන ඈ… නැත්නම් වෙලාවට යා ගන්න බැරි වෙයි” යැයි ඈ කුස්සියේ සිටම කීවාය.
“හරි හරි…. මං ඉක්මනට තේක බීලා ලෑස්ති වෙන්ඩ පටන් ගන්නංකෝ. ඔයා ගිහින් පුතාව කූද්දන්නකෝ” යැයි පිළිතුරු දුන් මා උගුරට දෙකට තේක බී හිස් කෝප්පිය කුස්සියේ මේසය මත තැබුවෙමි.
ඉන්පසු මා නානකාමරයට වැදී දතකට මැද මුහුණ සෝදා ගත්තෙමි. ඒ වන විටත් පුතා අවදිව සාලයේ සැටිය මත දිගෑදෙමින් සිටියේය. කොයි වේලාවක අවදි වූවත් සැටිය මත ටික වේලාවක් හෝ නිදාගෙන සිටීම ඔහුගේ දින චර්යාවේ කොටසකි. අවදි වූ පසු ඔහුට ලැබන උදේ කිරි එකත් සැටියේ සිටම බී එහෙට මෙහෙට පෙරළෙමින් සිටීම ද ඒ දින චර්යාවේම තවත් කොටසක් බවට ඔහු පත් කරගෙන තිබේ.
කිරි එක බී අවසන්වූ පසු පුතුව ද කැටුව මා නැවතත් නානකාමරයට පැමිණියේ ඔහුගේ දතකට මැද මුහුණ සේදීම සදහා ය. මේ කාර්යය බොහෝ විට සිදුවන්නේ මා අතිනි. ඔහුව සෝදා පිස දැමීමෙන් පසු කලින් දා ස්තිරික්ක කර තිබූ සුදු කළිසමත් කමිසයත් ඇන්දවීමු.මා ද කලින් දවසේම බිරිඳ විසින් සූදානම් කර තිබු කලිසමත් කමීසයත් හැද සූදානම් වූවෙමි.
අද ඔහුගේ පාසල් ගමනේ පළමු දිනයයි !!!
මා පුතුව ලැහැස්ති කරන අතරතුර බිරිද විසින් ඔහුගේ උදෑසන ආහාරය ඔහුගේ කෑම පෙට්ටියට දමා තිබිණ. මා ඔහුගේ කෑම පෙට්ටිය පොත් බැගයට දමා එය සූදානම් කරන කාළය තුළ බිරිඳ ද ලැහැස්ති වීමට ගියා ය.
කාන්තාවක් ලැහැස්තිවීමට ගන්නා කාළය, හයේ හතරේ වලක් අඩි හයක ගැඹුරකට කැණීමට ගතවන කාළයට සම වන බැව් අත්දැකීමෙන්ම මා දන්නා නිසාම මගේ ජංගම දුරකතනයද රැගෙන පුටුවක් මතට බර වූයේ දුරකතනයෙන් කුමක් හෝ වීඩීයෝවක් නරඹනු රිසියෙනි. සැළකිය යුතු කාළයකට පසු ඈ ලැහැස්ති වී සිටියා ය.
ඉන් අනතුරුව අප සියල්ලෝම වාහනයට ගොඩවී පාසල කරා ගමන් ඇරඹීය. උදෑසන කලඹලකාරී පරිසරයත් සමග විනාඩි 45ක ගමන් කාළයකට පසුව අප පාසලේ ප්රධාන ගේට්ටුව අසලට පැමිණියෙමු. ප්රධාන ගේට්ටුව අසලට රැස්වූ සියළුම දෙමාපියන්ව හා කුඩා දරුවන්ව උත්සවශ්රීයෙන් ප්රධාන ශාලාව කරා ගෙන ගියෝ ය. පෙරහැරින් ආ අවසන් දරුවාද ශාලාවට ඇතුළු වූ පසු උත්සවයේ කටයුතු ඇරඹිණි.
උත්සවයෙන් අනතුරුව දරුවන්ව පේලියට පන්තිකාමර කරාගෙන ගියෝ ය. අප දෙදෙනා ද ඔහු සිය පන්තිකාමරයට යන අයුරු ඈත සිටම බළා සිටියේ උතුරා යන දාරක ප්රේමයෙනි. ඔවුන් පන්ති වලට යන වේලාවටම පසුබිමෙන් සුජාතා අත්තනායකගේ ගීයක් වාදනය කරවිය.
පුංචි පුතා මගේ ඉස්කෝලේ ගිය
මුල්ම දවස අද වේ.. //
බුලත් අතක් දී ගුරුතුමියට වැඳ
මා තනිකළ මොහොතේ.. //
ඒ ගීය සේම අද ඔහුගේ පාසල් ගමන ඇරඹිණ.අද මගේ බ්ලොග් සටහන වෙන් වන්නේ ඔහුගේ පාසල් ගමනේ පළමු දිනය වෙනුවෙනි.
ජය හා සතුට !
No comments:
කමෙන්ට් එකක් දාලම යමු ද ?
ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.