04 February 2019

රුබික් කැටය හදමු - පෙරවදන

නිදහස් දවසේ නිදහසේ ඉන්න ගමන් මම අද කියලා දෙන්න යන්නේ අපි පොඩි කාලේ විසදන්න සෑහෙන්න උත්සහ කරපු දෙයක් ගැන. ඒ තමා රූබික් කැටය !!!

මම මුලින්ම රූබික් කැටයක් අර ගත්තේ ජනවාරි මාසයේ පල්ලියේ මංගල්ලයේ තිබ්බ මංගල්ල පොළෙන්. ඒක ඒ වෙනකොට රුපියක් 50ක් විතර මුදලක් උනේ.

ඒක අරගෙන මම මුලින්ම එහාට මෙහාට පෙරලලා පොඩ්ඩක් කලවං කරලා ගත්තා. පොඩ්ඩක් කලවං කරපු නිසා මම හිතුවේ ගේමක් නැතුවම හදාගන්න පුලුවන් වෙයි කියලා.



මොනඃ !! හදනවා තියා හිතා ගන්නවත් බෑ මොකෑ උනේ කියලා.

ටික ටික අතපත ගාලා එහෙට මෙහේට කරකවලා කාලයක් යනකොට මට එක පැත්තක් හරියටම හදාගන්න පුලුවන් උනා. ඒ නිසා මම හිතුවේ මට ඒ වගේම අනිත් පැතිත් හදන්න පුලුවන් වෙයි කියලා. එක පැත්තක් හදලා අනෙක් පැත්ත හදනකොට කලින් හදපු පැත්ත කැඩෙනවා.

ඔය කේස් එක හින්දම මම හිතුවේ මේක මේ විදිහට නැතුව හදන්න වෙන විදිහක් තියෙනවා ඇති කියලා. ඒත් ඒ දවස්වල මට ඉන්ටර්නෙට් තිබ්බේ නැති නිසා ඒ ගැන හොයලා බලන්න උනේ නෑ. අනික දන්න එකෙක් දෙන්නෙක් හිටියා උනුත් දන්නේ චුට්ටයි. ඒ කියපු ටිකෙන් මට ගොඩ එන්න පුලුවන් කමක් තිබ්බේ නෑ.

ඒ නිසා රුබික් කැටය කාමරේ මුල්ලකට විසි කරලා දැම්මා. අපේ මලයට ඕක අහුවෙලා, මලයා රූබික් කැටයේ තිබ්බ ඇණයක් ගලවලා ආයේ තිබ්බ විදිහටම එකලස් කලා. ඊට පස්සේ මාත් එක වතාවක් හරි දෙවතාවක් හරි ඔහොම හදලා දැම්මා ඒ නිසාම රුබික් කැටය ගන්න හසරක් ඉතුරු උනේ නෑ. ටික කාළයක් යනකොට රුබික් කැටයේ ඝණක ටික හැලෙන්න ගත්තා.

ඒ 2002-2003 වගේ අවුරුදු වලදී තමා මම එහෙම ට්‍රයි කලේ.

මට ආයෙම රුබික් කැටයක් හම්බ උනේ කැම්පස් එකේදි විභාගයට පාඩම් කරනකොට. ඒ කැටය තිබ්බේ අපේ සීනියර් බැච් එකක අයියා කෙනෙක් ගාව. උන්දෑ අපිත් එක්ක පාඩම් කරලා යද්දි ඔය කැටය දාලා ගිහින් තිබ්බා. මම ආයෙම කැටය අරන් ට්‍රයි කරන්න ගත්තා. එතකොට නම් උදව් ගන්න සෙට් එකක් හිටියා. උන් නම් කැටය කලින් හදලා තිබ්බා.

ඒත් විභාග දවස් නිසා මම ඒ ගැන වැඩිය උනන්දු උනේ නෑ. විභාගයෙන් පස්සේ කැටය හදනවයි කියලා හිතුවට විභාගයෙන් පස්සේ ඒ කැටය අතින් අත ගිහින් නැති වෙලා තිබ්බා. මට දෙවෙනි පාර කැටය හම්බ උනේ 2010 අවුරුද්දේ දී. ඔන්න එතකොට මට ඉන්ටර්නෙටුයි කැටයකුයි දන්න එවුනුයි ඔක්කොම තිබිලත් උවමනාවක් තිබ්බේ නැති නිසා හදාගන්න පුලුවන් උනේ නෑ.

තුන්වෙනි වතාවේදී කැටයක් මගේ අතට හම්බ උනේ  2012 අවුරුද්දේ දී. ඒ අපේ ආයතනයේ වැඩ කරපු සිස්ටෙක් (සිස්ටම් ඉංජිනේරුවෙක් ) ළඟ තිබිලා. ඒකා වැඩ කරලා මහන්සි වෙනකොට ඔය කැටය අරගෙන හදනවා. ඊට පස්සේ ටික වෙලාවකින් මහන්සි නිවුනහම ආයෙම වැඩ කරනවා. කොටින්ම ඒකා ඔය කැටය පාවිච්චි කරන්නේ ආතතිය අඩු කරගන්න.

මට නම් ඔය කැටය දකිනකොට ආතතිය අඩු වෙනවා කෙසේ වෙතත් ආතතිය වැඩි වෙන එක නම් සිද්ධ උනා.ඒ නිසා මම එක පාරක් දෙපාරක් ට්‍රයි කරලා බැරිම තැන වැඩේ අතෑරලා දැම්මා.

මම මේ කාලයේ බ්ලොග් එකේ ඔය රුබික් කැටය ගැන ලිපියකුත් ලිව්වා.

හතරවෙනි වතාවට මට කැටය හම්බ උනේ 2018 අවුරුද්දේ අග හරියෙදි. අටේ පන්තියේ හිටපු අපේ නැන්දගේ පොඩි එකා ඕක එක හුස්මටම හදනවා. මට ලැජ්ජාවේ බෑ. මට ඒක පියවරවල් ලියලත් දුන්නා. ඒ අනුව ගිහින් නම් මම කැටයෙන් තුනෙන් දෙකක් විතර හදාගත්තා. ඒත් කොළය නැතුව මනෝමයෙන් හදන්න නම් බැරි උනා.

මේ ලිපිය ලියන මොහොත වෙනකොට මම යූ ටියුබ් එකෙන් වීඩියෝ 7-8ක් බලලා කොළයකුයි පෑනකුයි අරගෙන රූප සටහන් ඇදලා වැඩේට බැස්සා. ඒ පාර නම් මම ගොඩ ගියා !!

මට සෑහෙන්න හැපි ලූ. ඒ නිසා ඒ හුස්මටම තුන් හතර වතාවක් රූබික් කැටය මිශ්‍ර කර කර හදාගන්න පුලුවන් උනා. ඔන්න ඕකයි මගේ රූබික් කැටය හැදිල්ලේ උත්පත්ති කතාව. මම ඉගෙන ගත්තු විදිහටම ඔයාලට රූබික් කැටය හදන හැටි රූප සටහන් එක්කම කියලා දෙන්නම්.

ඔයාලත් රුබික් කැටයක් අරන් මගෙත් එක්කම රුබික් කැටය හදන්න ලෑස්ති වෙලා ඉන්න. එහෙනම් ඊලඟ ලිපියෙන් හමුවෙමු.

2 comments:

  1. ඔය අපූරු මැජික් කැටේ ගැන මාත් කාලෙකට කළින් ලිව්වා, මේ තියෙන්නේ. ඒ ඇල්ගොරිදම් එක ලියලා තියාගෙන ඒක බල බල විසඳුව හැකි, ඒත් ඒක නොබලා කරන්න පුළුවන් තරමට ඇඟට පත්තියං වෙලා නැහැ තාම. ඇත්තටම මැජික් කැටයක්. :)

    ReplyDelete
    Replies
    1. එක අතකට ඒක විසදන එකත් ජොලි වැඩක්. මට නම් මුල් ලේයර් දෙකම කොළ බලන්නේ නැතුව හදාගන්ඩ පුලුවන්.

      Delete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.