එකල ලාංකිකයෝ තම තමන්ගේ එදිනෙදා ගමන් බිමන් ගියේ පයින් හෝ ගොනුන් බැඳි ගැල් වලය. තමන් ගමන පටන් ගත් තැනෙහි සිට ගමනාන්තය දක්වා කොපමණ දුරක් ඇත්දැයි තවෙකෙකුට පැවසීම සදහා ඔවුන්ට මූලික ඒකකයක අවශ්‍ය තාවය පැන නැගිණි.
මේ සදහා ඔවුන් විවිධ වූ රාශීන් භාවිතයට ගත්හ.
එක තැනක සිට තබන ලද හූවක් ඈතින් සිටින අයෙකුට ඇසිය හැකි උපරිම දුර ඔවූහු "හූවක දුර" යැයි භාවිතයට ගත් අතර හොඳින් ඇදුනු දුන්නකින් නිකුත්වන හීයක් ගමන් කරන උපරිම දුර "හීයක දුර" යැයි ද ඔවුන් හැඳින් වූහ.
එකල පිරිමින් බර උසුලන විට සරම කෙටිකර ගැට ගසා ගනී. මෙය කැහැපට ගැසිම නම් වේ. කැහැපට ගසාගත් තැනෙහි සිට එය ලිහෙන දුර එසේත් නැත්නම් ඉණ බැඳි පිලි ලිහෙන දුර "පිල්ලුම" ලෙස ද ඔවුන් භාවිතයට ගත්හ.
බ්‍රිතාන්‍ය ආක්‍රමණයත් සමග මෙම ප්‍රාදේශීය ඒකකයන් කෙමෙන් කෙමෙන් මෙට්‍රික් ඒකක වලට හැරෙන්න විය. බ්‍රිතාන්‍යන් දුර මැනීම සදහා භාවිතා කළේ සැතපුම නම් වූ ඒකකයකි. එය ඉංග්‍රීසි ව්‍යවහාරයේදී මයිල් (mile) නම් වේ.
මෙය භාවිතයට පැමිණියේ රෝමවරුන්ගෙනි. රෝම සොල්දාදුවන් පෙරට තැබූ දකුණු පය නැවත පෙරට එනතෙක් තැබූ දුර පියවරක් ලෙස හැඳින්වූහ. (පළමුව දකුණු පය පෙරට තබා දෙවෙනුව වම් පය පෙරට තබයි. නැවතත් දකුණු පය පෙරට තබයි. මෙම දුර පියවරක් නම් වේ.)
එවැනි පියවර 1000ක් මයිල එකක් එසේත් නැත්නම් "පියවර දහසක දුර" යන අරුත ඇති mille passum එකක් ලෙස ඔවුන් හැදින්විය. එසේ ඔවුන් තබන එක් පියවරක අඩි 5ක් අන්තර්ගත වූ බව ඔවුන් සොයා ගත් බැවින් මයිල් (mile) එකක් නොහොත් සැතපුමක් තුල අඩි 5000ක් අන්තර්ගත වූ බව රෝමානුවන් පිලිගත්හ.
නමුත් සැතපුමට අඩි 5000ක් ඇති බව පිළිගැනීමට බ්‍රිතාන්‍ය ජාතිකයින් අකමැති වූහ. ඒ ඔවුන්ගේ ගණනය කිරීම් වලදී ඇතිවූ යම් යම් අපහසුතා නිසාය. මේ නිසා පසු කලෙක ටියුඩර් ඉන්ග්ලන්ඩ් විසින් 1593 වසරේදී පාර්ලිමේන්තු පනතක් මගින් එක් සැතපුමක් තුල අඩි 5280ක් තිබිය යුතු බව සම්මත කරගත්තේය.
එතැන් පටන් ඔවුහු සැතපුම එසේත් නැත්නම් මයිල් (mile) භාවිතයට ගත්හ. බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක්ව පැවති සමයේ ලංකාවේද දුර මැනීම සදහා භාවිතා වූයේ සැතපුම නැමති ඒකකය වේ.
එවකට ඔවුන් ඉදිකරන ලද කන්ද උඩරට මාර්ගයේ දුර මැන්නේද සැතපුම් වලිනි. ඔවුන් මාර්ගය පටන් ගැන්මේ සිට විවිධ ස්ථාන වලට ඇති දුර සැතපුම් වලින් මැන ඒ ඒ ස්ථාන වල සැතපුම් කණු පිහිටවූහ.
ඒවා අදටත් කොළඹ - නුවර මාර්ගයේ තැනින් තැන අදටත් දක්නට ලබේ.
මීට අමතර ව තවත් සැතපුම් කණු ලංකාවේ විවිධ ස්ථාන වල දැකිය හැකි ය. ලංකාවේ උසම සැතපුම් කණුව, දෙවුන්දර නගරයේ පිහිටා ඇත. මෙය 103 යැයි සදහන් සැතපුම් කණුවකි.
එසේම නෝර්ටන් බ්‍රිජ් - මස්කෙලිය මාර්ගයේ ගමන් ගන්නෙකුට සැතපුම් බිංදුව යැයි සදහන් සැතපුම් කණුවක් ද දැකිය හැක.
මා මේ ලිපිය ලිවීමට මුල් වූ සැතපුම් කණුව ඇත්තේ ගාල්ල - කොළඹ මහාමාර්ගයේ කොල්ලුපිටියට ප්‍රදේශයේ ය. ස්ථානය හරියටම කියන්නේ නම් කොල්ලුපිටිය කොමර්ෂල් බැංකුව අසලය. එහි සදහන්ව ඇත්තේ අංක 2 ලෙසය. එනම් දෙවෙනි සැතපුම් කණුව ය.
එය දෙවෙනි සැතපුම් කණුව නම් පළමුවෙනි සැතපුම් කණුව මේ කණුවට කිලෝමීටර් 1.6ක් ඈතින් තිබිය යුතු ය. මන්දයත් වර්තමාන මිනුම් වලට අනූව සැතපුමක් යනු කිලෝමීටර් 1.6ක දුරක් බැවිනි.
කොල්ලුපිටියේ සිට ගාළු මුවදොර හරහා කොළඹ දෙසට ගමන් කරන්නෙකුට ගාළු මුවදොර පිටිය අසල හෝටලයක් ඉදිරිපිට පළමුවෙනි සැතපුම් කණුව දැක ගත හැකි වේ. එහි එක් මුහුණතක "රජ මැදුරේ සිට 1වෙනි සැතපුම" (1 mile from king's House) සදහන් වේ.
(ඉහත රූපය ගූගල් සිතියම හරහා ගන්නා ලද්දකි. මා එහි ගිය දිනෙක පැහැදිලි ඡායාරූපයක් මෙහි පල කරමි.)
බොහෝ විට රජ මැදුර යැයි ඔවුන් හදුන්වන්නට ඇත්තේ ජනාධිපති මැදුර විය හැකිය. නමුත් මෙය මගේ මතයක් මිස නියම ආරම්භක ස්ථානය යැයි කිව නොහැකිය.
ඔබ දන්නා සැතපුම් කණුවක විස්තර ඇතොත් පහලින් කමෙන්ට් එකක සදහන් කරන්න.
එහෙනං... සියළු දෙනාට සුබ රාත්‍රියක් !!!
අර බින්දුවේ කනුව තේරෙන්නේ නැ මොකක්ද හැබැට
ReplyDeleteලංකාවේ පාරවල් වල දුර මනින්නේ ජනාධිපති මන්දිරය අසල තියෙන ප‍්‍රදිපාගාර ඔරලෝසු කනුව පාමුලින් තමයි. ලංකාවේ බිතාන්‍ය ආන්ඩුකාරවරයාගේ නිල නිවසවු කින්ස් හවුස් පසුව කුවින්ස් හවුස් උනා දැන් එකට කියන්නේ ජනාධිපති මන්දිරය කියලා.
ReplyDelete